තව හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ය.
රනිල්ට ලව් කරන සජබ කට ඇති පුතුන්

නාය යමින් තිබෙන කඳුකරය වගේ ම සමගි ජන ජන බලවේගය ද ඉරි තළා නාය යන්නට ඔන්න ඔන්න මෙන්න වී ඇති බව දේශපාලනය ගැන සූක්ෂම දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට වැටහී යන කාරණයකි. හතර අතින් ඉරිතළා ඇති සජබ අර්බුදය සුළු දෙදරීමකින් මහා නායක් බවට පත් වෙන දවස ඉතා ආසන්න බව දේශපාලක විචාරකයන්ගේ මතය යි.
රනිල් ජනපති සමයේ මාධ්‍ය ලොක්කෙක් වූ ශානුක රනිල්ට සැල කර සිටියේ එලෙස නාය යන කෑලි තමන් ගේ ඔඩොක්කුවට ගන්නට පක්ෂ කීපයක් ම දත කට මැදගෙන සිටින බවයි. මන්ත්‍රීවරුන් නොවන, සජබ කට ඇති පුතුන් කිහිප දෙනකුට ම රනිල් ගේ දැක්ම ගැන ලව් එකක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබෙයි. ඔවුන් කිහිප දෙනෙකුම රනිල් ගේ දේශපාලනයේ ගැඹුර පිළිබඳව ප්‍රසිද්ධියේ උදම් අනා තිබිණි.
කෙසේ වුවද ඉදිරි කාලයේ දී එවැනි දේශපාලන කරණම් දකින්නට හැකි වනු ඇතැයි දේශපාලන අනාවැකි කරුවෝ කියති. සජිත්ගේ අපරණිත දේශපාලනය නිසා කැඩී යන සජබ බල කණු කීපයක් පොහොට්ටුව දෙසට පාවෙන්නට නියමිත බව ද ආරංචිය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් කියා තිබුණේ මතයක් නැති පුද්ගලයෙක්ගේ දේශපාලන නායකත්වය ඇතුළෙ මතයක් සහිත දේශපාලන අංකුර සිර විය යුතු නැති බවයි.
බකන්නිලා බලා සිටින නළුවන්

ජනපති දැන් රට වටේ යන්න පටන් ගෙන තිබෙනවා නේ දැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් කරුණාරත්න මතු කළ කරුණට පිළිතුරුක් දෙමින් රනිල් කීවේ " ඔය විදියට ටිකක් යන්න දෙන්න," කියා ය.
" දැන් රඟ දැක්වෙන්නේ ජනාධිපතිගේ තනි රංගනයෙන් යුත් නාට්‍යයක් පමණක් බවත් ඉතුරු 159 මුකුත් නොකර බකන්නිලා බලා සිටින නළුවන් පමණක් බවත් කියන්නේ විරුද්ධ පාක්ෂිකයන් නොව මාලිමාවට ඡන්දය දුන් උදවිය ම ය.අනිත් උදවිය මහජනතාවට දැනෙන දෙයකට කියා කරන්නේ විහිළු සැපයීම පමණ ය. පොළොන්නරුවේ සරත් ඒ වගේ කෙනෙකුට දිය හැකි කදිම උදාහරණයකි. "පොළොන්නරුවේ රාජ්‍ය නායකයා මම තමයි," යනුවෙන් ඔහු ඉකුත් සතියේ සිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.
ලාල් කාන්ත කියා තිබුණේ නුවර අම්පාරට අරගෙන යන්නට සිදුවිය හැකි බවයි.
25000 ලැබුණා ද...? 25000 ලැබුණා ද...? 25000 ලැබුණා ද...?

හරි විපක්ෂයක් තිබුණා නම් මේ කතා කියන උදවිය ගේ කටවල් යළි නාරින්නට වැඩ හදනු ඇත. එහෙත් දැන් ඉන්න විපක්ෂ නායකයා 25000 ලැබුණා දැයි අසමින් ගෙන් ගෙට යන මට්ටමට පත්ව තිබේ.
ආපදාව කළමනාකරණය කරගන්නට ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නැති බව දැනටමත් ඔප්පු වී හමාරය.
ඉකුත් සතියේ ජී.එල් සහ නීතිඥ පිරිසක් අතර හමුවක් පැවැත්විණි.ආණ්ඩුවට විරුද්ධව නඩු පැවරීම්, නීති ආධාර ලබාදීම් ආදිය ගැන එහි දී අදහස් පළවී ඇති බව ආරංචි ය. මේ අතර එක්සත් ජාතික පක්ෂ නීතිඥයින්ගේ හමුවක් ද බ්‍රහස්පතින්දා පැවැත්විණි. පොහොට්ටුවත් නීතිඥ හමුවක් පැවැත්වීමට සූදානම් කර තිබෙන බව ආරංචි ය.
Rebuilding Sri Lanka වැඩසටහනටත් ඇතුළෙන් වගේ ම එළියෙනුත් විරෝධතා ඇති වෙමින් තිබෙන බව ආරංචි ය. වැඩිපුරම විරෝධතා එන්නේ ඒ කමිටුව ගැන ය. ආපදා කළමනාකරණ පනත තිබෙන විට තව එකක් අවශ්‍ය කුමකටදැයි බොහෝ දෙනාගේ මතය වී තිබේ.
රනිල් ගේ දුම් බෝම්බය

" 2004 පටන් අරගෙන ගොඩක් වැඩ කළේ ඔය පනතක් නැතුව," යැයි අදාළ සංවාදයක දී රනිල් කීය
" ආපදා කළමනාකරණයකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉතා වැදගත්. හමුදාව සහ පොලිසිය තමයි මේ වැඩ කටයුතු බාර අරගෙන ඉස්සරහින් ඉන්නේ.ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මාර්ගයෙන් මේ වැඩ කටයුතු කරනවා. 2016 ගං වතුර වෙලාවේ එහෙම වැඩ කළේ සී.ඩී.එස්. ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට ඒ වගේ අවස්ථාවක සියලු අමාතංශ ලේකම්වරු කැඳවන්න පුළුවන්. ආපදාවක් එනවා නම් ඉස්සෙල්ලා ම හමුවෙන්න අවශ්‍ය ආරක්ෂක මණ්ඩලය, ඊට පස්සෙ කැබිනට් මණ්ඩලයත් ආපදා කළමනාකරණ කමිටුවත් රැස් වෙන්න ඕන. මොකද ඒකේ විපක්ෂ සාමාජිකයෙනුත් ඉන්නවා.තීරණ අරගෙන එහෙම තමයි වැඩ කරන්න ඕන,'' යැයි රනිල් මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවසීය.
"ඒ වගේම අපි ආපදා කළමනාකරණ සැලැස්ම කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා පිට කළා.ඒ නිසා ඒක ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා. නමුත් ඒ වෙනකොට ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ආවා.මේ ආණ්ඩුවේ ලේකම්තුමා ඒක ජුලි මාසෙ ක්‍රියාත්මක කළා.එදා ඉඳන් මොකක්ද උනේ.ඒක අපිට කියන්න ඕන.ගත්ත තීරණ රටට කියන්න."
රනිල් තවත් දුම් බෝම්බයක් අතෑරියේ එලෙස යි.
ජනතාවට මුහුණ දීමට සිදුවිය හැකි අබග්ග ගැන රනිල් ගේ පුරෝකතනය

"මහවැලි සංවර්ධන ව්‍යාපෘතියත් රටට සාපයක්,'' යැයි මාලිමාවේ මන්ත්‍රීවරයෙක් කියා ඇති බව විපක්ෂ මන්ත්‍රීවරයෙක් රනිල් සමග කියන විට රනිල් කිසිවක් මුවින් ප්‍රකාශ නොකර ඉවත බලාගෙන සිනාසුණේ මෙවන් පාලක පෙළැන්තියක් නිසා ජනතාවට මුහුණ දීමට සිදුවිය හැකි අබග්ග පිළිබඳව පුරෝකතනයක් කළ අයුරිනි.
ඇත්තෙන් ම මේ ආපදාවේ දී විපක්ෂයක් කියා කොන්ද පණ ඇතිව පෙනී සිටියේ එක්සත් ජාතික පක්ෂය පමණි. විපක්ෂයේ සෙසු පක්ෂ අඩු වැඩි වශයෙන් අහුලාගෙන ඇදගෙන ගියේ ඒ මතවාදයයි. කෙසේ වුවත් මේ සතියේ රනිල් ප්‍රකාශයක් කිරීමට නියමිත බව ආරංචිය.
කන්ද උඩරටට මේ ආපදා ඇති වූයේ දේව සාපයකින් යැයි පැරැන්නෝ විශ්වාස කරති. දිවුරුම් දීපු වෙලාවේ නාථ දේවාලයට නොගිය බැවින් මේ අබග්ගය වූ බව ඇතැම්හු කියති.
ලොක්කා නොදන්න මාතෘකාව සොයන මන්ත්‍රි කණ්ඩායම
රනිල්ගේ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී චිත්‍රපට පිළිබඳ සංවාදයක් ද ඇති විය. රනිල් කොහොමත් හොඳ චිත්‍රපට ලෝලියෙකි.
"ගම්පෙරළිය චිත්‍රපටයත් ඩිජිටල්කරණය කරලා අනාගත පරපුරට පෙන්වන්න තියෙනවා නම් හොඳයි. සංදේශය වගේ චිත්‍රපටත් වැළලෙන්න දෙන්න හොඳ නෑ. එහි ගීත අරිසෙන් අහුබුදුගේ රචනා. පළවෙනි එක මර්සලින් ජයකොඩි පියතුමාගෙ නේ. පස්සේ නිමල් මෙන්ඩිස් ගඟ අද්දරට කළා. තායිලන්තෙත් හොඳ සිනමා කර්මාන්තයක් තියෙනවා. නමුත් දැන් ඔවුන් ලෝකෙට එන්න උත්සාහ කරනවා.තායි භාෂාවෙන් කරන චිත්‍රපට පවා ඉංග්‍රීසියෙන් සහ ප්‍රංශ පෘතුගීසි භාෂාවලට ඩබ් කරලා එවනවා.''
පසුව මන්ත්‍රී කණ්ඩායම පිටත්ව ගියේ ලොක්ක නොදන්න මාතෘකාව මොකක්ද කියලා දැනගන්න කුතුහලයක් තියෙනවා නේදැයි කතා කරමිනි.
උසස් හමුදා නිලධාරීන් රනිල් සමග කතාබහක්

බෙන්තර ඇල්පිටියේ ව්‍යාපාරිකයකු වන ප්‍රිය ධර්මරත්න ගේ දියණියගේ විවාහ මංගල උත්සවය වාද්දුව හෝටලයක දී පැවැත්විණි. එහි අත්සන් කිරීමට ආරාධනා කර තිබුණේ නායක රනිල්ට ය. වජිරට ද ඊට ආරාධනා ලැබ තිබිණි. නැකත් වේලාවට විවාහ ගිවිස ගැනීම වෙනුවෙන් අත්සන් යෙදු රනිල් පැය දෙකකට ආසන්න කාලයක් එම උත්සවයේ සිටියේ ය. ප්‍රදේශයේ ඉහළ ව්‍යාපාරිකයන් ද උසස් හමුදා නිලධාරීන් ද රනිල් සමග කතාබහට ආවේ ඉතා උනන්දුවෙනි; එහි මාතෘකාව වූයේ දිට්ඨා සුළි කුණාටුවයි.
“මේ අයට තාම බැරි වුණානේ ආපදාව නිසා මිය ගිය අය සහ අතුරුදහන් වූ ප්‍රමාණය ගණනය කරන්න. ඇත්තටම ඒක ඉතාම සරල ක්‍රමවේදයක්. මම රාජ්‍ය පරිපාලන ඇමතිවරයාව සිටිද්දී ගංවතුරක් ආවම අපි කොච්චර කාරයක්ෂමව වැඩ කළාද? ඒ හරහා අපිට පුළුවන් වුණා පැය 72 ක් තුළ මේ සියලු තොරතුරු අනාවරණය කරගන්න,” වජිර ඒ මොහොතේ කීවේය.
ආපදාවක් ගෙන තොරතුරක් පැමිණි විට ක්‍රියා කළ යුතු ආකාරය ගැන රනිල් දීර්ඝ විස්තරයක් කළේ ය.
නිවැරැදි ලෙස කළමනාකරණය නොකළොත්...?
"ඔබතුමා එදා ජනාධිපති විදියට ජාත්‍යන්තර සමුළුවලට ගිහිල්ලා පළ කරපු අදහස් අද ෆේස්බුක් එකේ හරියට යනවා. ඒ කාලේ මේ උදවිය කළේ මේවා අපහාසයට ලක් කරලා විවේචනය කරපු එක. දැන් භූමරංගයක් වගේ මේ අයගේ ඇඟට ඇවිල්ල,'' යැයි බෙන්තර - ඇල්පිටිය ආසන සංවිධායක නෙවිල් කීය.
මේ අර්බුදය නිසා ආහාර හිඟයක් ඇතිවෙන්න හැකියාවක් තිබේදැයි ව්‍යාපාරිකයෙක් රනිල්ගෙන් විමසූ විට රනිල් කීවේ
“ඒ කතාව ඉතින් බොහෝ දුරට හරි. මොකද මේ නිසා ලංකාවේ කුඹුරු ගොඩක් හානි වුණා. කුඹුරු විතරක් නෙමෙයි වෙනත් බෝග වගා හානි වුණා. ඉතින් මේ තත්ත්වය අපේ රටේ ආර්ථිකයට දරා ගන්න අමාරුයි. මොකද අපි සම්පූර්ණයෙන් ආර්ථික වශයෙන් ශක්තිමත් නෑනේ. මෙහෙම දෙයක් උනාම ඒක ටිකක් බරපතළයි. හරි ආකාරයෙන් මේ දේ කළමණාකරණය නොකලොත් ප්‍රශ්නය උඩ දුවන්න පුළුවන්.” යනුවෙනි
(සටහන | මල් පාරේ ලියුම්කරු)




