The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති - විසම්මුති : සුළි කුණාටුව, ජල ගැලීම සහ නූගත් පාඩම් | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

December 12, 2025 • 12:02 PM

සම්මුති - විසම්මුති : සුළි කුණාටුව, ජල ගැලීම සහ නූගත් පාඩම් | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පශ්චාත් දිට්වා සුළි කුණාටු සමයෙහි වඩත් කැපී පෙනුණේ මානව දයාව උරගා බැලෙන හැටිය.
  • කළ හැකි දේ ඇත්තේ සුළි කුණාටුවට, නාය යෑමට සහ ජල ගැලීමට කලින් සහ පසුවය.
  • යහපත් ක්‍රියාකාරිත්වය නොසළකා ජාතික ජන බලවේග ආණ්ඩුව කල් තබා ලද කාලගුණ අනාවැකි නොසළකා හැරීම ගැන පැහැදිලිව වග කිව යුතු බව ඉතා පැහැදිලිය.
  • IMD විසින් නොවැම්බර් 13 වන දින මුලදී අවපාතයක් ඇතිවීම පුරෝකථනය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පශ්චාත් දිට්වා සුළි කුණාටු සමයෙහි වඩත් කැපී පෙනුණේ මානව දයාව උරගා බැලෙන හැටිය. කුණාටුවේ බලපෑම හමුවේ නැගී ආ ස්වේච්ඡා සිවිල් ක්‍රියාකාරිත්වය නොවන්නට විපතට පත් ජනයා හාමතින් පීඩිත වන්නට පමණක් නොව හුදකලා වී විටෙක මිය යන්නට පවා ඉඩ තිබුණි. මිනිස්සුන්ට  අත දුන්නේ මිනිස්සුය.

G74rMScbsAApMto
ජාතික ජන බලවේග ආණ්ඩුව සුළි කුණාටු සමයෙහි මුහුණ දුන් අභියෝගය නැසූවිරූය. විපතට පත් ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා වෙනුවෙන් ආණ්ඩුව ලබා දුන් සහන ද නෑසු විරූය. බොහෝ ප්‍රදේශයන්හි හදිසි සහන දින දෙක තුනක් තුළ ලබා දීම ද කැපී පෙනුනි. යෝජිත සමස්ත සමස්ත සහන ලබා දීමේ අරමුදල් සොයා ගැනීම ද මහත් අභියෝගයකි.

ආණ්ඩුවට සුළි කුණාටු වෙනතක යැවිය නොහැකිය. නාය යන කඳු බැමි දමා බැද තැබිය නොහැකිය. ගලා එන මහ ජල කද වේලි බැඳ නතර කළ නොහැකිය. කළ හැකි දේ ඇත්තේ සුළි කුණාටුවට, නාය යෑමට සහ ජල ගැලීමට කලින් සහ පසුවය. පසුව කළ යුතු සහ කළ හැකි දේ දැන් ශක්ති ප්‍රමාණයෙන් සිදු වෙයි. යහපත් ක්‍රියාකාරිත්වය නොසළකා ජාතික ජන බලවේග ආණ්ඩුව කල් තබා ලද කාලගුණ අනාවැකි නොසළකා හැරීම ගැන පැහැදිලිව වග කිව යුතු බව ඉතා පැහැදිලිය. එය මඟ හැරිය නොහැකි වගකීමකි. අනාගතය සඳහා අප එම කරුණු සාකච්ඡා කළ යුතුය.

India Intensifies Humanitarian Aid to Sri Lanka Following Cyclone Ditwah
වැදගත් සහ ප්‍රබල අනතුරු ඇඟවීම ලැබුණේ ඉන්දියාවෙනි

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) මෙම කලාපයේ සාගර නිරීක්ෂණය කරන අතර සුළි සුළං සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කරන කලාපීය විශේෂිත කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයක් (RMSC) පවත්වා ගෙන යයි.

IMD විසින් නොවැම්බර් 13 වන දින මුලදී අවපාතයක් ඇතිවීම පුරෝකථනය කළේය. නොවැම්බර් 23 සිට, IMD විසින් පද්ධතියේ පැය තුනකට සහ පැය හයකට වරක් කාලගුණ යාවත්කාලීන කිරීම් නිකුත් කර තිබේ. එම සියලු තොරතුරු ශ්‍රී ලංකාව සමඟ බෙදා ගන්නා ලදී. ඊට අනුව වායු ගෝලීය අවපාතයක් නොවැම්බර් 26 වන දින පමණ එහි වර්ධනය පෙන්නුම් කරන බව දක්වා තිබුණි.

 

ditwah y0298y3
නමුත් මෙරට කාලගුණ ප්‍රධානීන් එම තොරතුරු එහි වැදගත්කම අනුව සැලකුවේ නැත. දෙරණ සාකච්ඡාවෙහි දී කාලගුණ ප්‍රධානියා කල අනතුරු ඇඟවීම මෙම ඉන්දියානු අනාවැකි සමඟ ගැළපේ.

යාපනය විශ්ව විද්‍යාලයෙහි භූගෝලීය විද්‍යා මහාචාර්යවරයකු වන නාගමුතු ප්‍රතීපරාජා නොවැම්බර් 23 දා සවස 5.00 ට සිය මුහුණ පොතෙහි සටහනක් තබමින් මෙසේ ප්‍රකාශ කළේය.

‘ශ්‍රී ලංකාවේ කාලගුණය අනුව ඉදිරි දින කිහිපය වැදගත්ම කාල පරිච්ඡේදය ලෙස සැලකේ. 2025.11.25 සිට 2025.11.29 දක්වා කාලය ශ්‍රී ලංකාවට වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදය වනු ඇත. මන්ද, එළඹෙන 26 දා සිට, ශ්‍රී ලංකාවට අර්බුදයක් ඇති කළ හැකි පහත වායු ගෝලීය අවපාත දෙකක් බෙංගාල බොක්කෙහි හට ගනු ඇති නිසාය. .

‘කෙටියෙන් කිවහොත්, 2025.11.25 සිට 2025.12.02 දක්වා එළඹෙන කාලය තුළ ශ්‍රී ලාංකික ජනතාව දරුණු කාලගුණික විපතකට මුහුණ දීමට සූදානම් වීමෙන් ඉන් ඇති විය හැකි බලපෑම් අඩු වනු ඇත. 2025.11.27 දින සිට තද වැසි සහ ගංවතුර සහ වේගවත් සුළං සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතුය.’

 

මෙම තොරතුරු යාපනයේ දෙමළ පුවත්පත් වාර්තා කළේය. එනමුත් කොළඹ පුවත්පත්වලට හෝ ආණ්ඩුවේ නිලධාරීන්ට එය පුවතක් වුයේ නැත.  
පරිසරය සහ කාලගුණය ගැන උනන්දු වන ‘ග්‍රීන් පොජෙක්ට් අපි’ නම් මුහුණ පොතෙහි පසුගිය නොවැම්බර් 23 දා  මෙසේ සටහනක් පල වී තිබේ.

‘කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ ඇතිවෙමින් තියෙන තත්වය ගැන අනතුරු ඇඟවීමක් දුන්නද කියලා නම් මං දන් නෑ. හැබැයි මේ තියෙන තත්වේ එක්ක ඊළඟ දවස් ටිකේ ඉතා තද වැසි වගේම දැඩි සුළං ඇති වෙන්න පුලුවන්. සුළි කුණාටු තත්වයක් උනත්. විශේෂයෙන්ම 26 වගේ වෙද්දි මේ ගැන මීට වඩා අවධානයක් දෙන්න වේවි. දවස් 10කට විතර කලින් අපි පෝස්ට් එකකින් කිව්වා 24 වගේ වෙද්දි කාලගුණය මෙහෙම වේවි කියලා. හැබැයි තත්වේ ඊටත් වඩා නරක වෙයි වගේ. කාලගුණ හැසිරීම දිහා නිතර නිරීක්ෂණය කරන මට නම් මේ තත්වය ගැන තියෙන්නේ හරිම නරක හැඟීමක්. ඒ නිසා මේ ගැන මීට වඩා අවධානයක් දෙන්න වේවි. - සංජය ප්‍රදීප්’

ආණ්ඩුවේ රේඩාර් වල මේ තොරතුරු කිසිවක් සටහන් නොවීම පුදුමයක් නොවේද? බුද්ධි අංශ හෝ මේ ගැන දැනුවත් නොවීද?


ආණ්ඩුව කාලගුණ අනාවැකි ගැන විමසිලිමත් නොවුවා පමණක් නොවේ. ආපදා කළමනාකරණය සඳහා මෙරට පවතින යාන්ත්‍රණයන් ද නොසළකා හැර තිබුණි. ආපදා කළමනාකරණ පනත ක්‍රියාත්මක කරනු වෙනුවට ජනාධිපති දිසානායක කළේ හදිසි නීති රෙගුලාසි 28දා රාත්‍රියෙහි සිට බලාත්මක කිරීමය.

දිසානායක අපදා කළමණාකරණ පනත ගැන නොදන්නා අයකු නොවේ. සමාජ මාධ්‍ය මගින් පාදා ගන්නා ලද කොවිඩ් සමයෙහි කරන ලද ඔහුගේ කතාවක සඳහන් වන්නේ ගෝඨාභය ආණ්ඩුව එම පනත ක්‍රියාත්මක නොකරන්නේ ආපදා සහන ලෙස රජයට ලැබෙන මුදල් පිළිබඳ වගවීමෙන් ගැලවීමට බවයි. ආපදා කළමනාකරණ පනත ක්‍රියාත්මක කළේ නම් විපක්ෂ නායක සහ මංත්‍රීවරු පස් දෙනෙකුට ද වගකීම පැවරේ.

 

1764596799 rebild L'Rebuilding Sri Lanka' ව්‍යාපාරිකයන්ගේ කමිටුව
දිසානායක විසින් පත් කරන ලද ‘රී බිල්ඩන් ශ්‍රී ලංකා’ නම් ව්‍යාපාරිකයින්ගේ කමිටුවෙහි නීතිමය තත්වය දැන් බරපතල සාකච්ඡාවකට ලක්ව ඇත. එහි මූල්‍ය කටයුතු හැසිරවීම නීති විරෝධී යැයි විවේචන එල්ල වී තිබේ. ඊට අමතරව එම අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන බවද 08දා වාර්තා විය.


ආපදා කළමනාකරණ යාන්ත්‍රණ පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නව විගණන වාර්තාවක සොයා ගැනීම් පෙන්වන්නේ  ආපදා කළමනාකරණ පද්ධතියේ සෑම කුළුණක්ම වක ගැසී ඇති සැටිය. මෙම වාර්තාව නිකුත් වූයේ අනුර කුමාර විපක්ෂයේ සිටි අවධියක දී නම් ඔහු එය ලෙලවමින් ආණ්ඩුවට යගදා පහර එල්ල කරන්නට තිබුණි. එහි පෙන්වා දෙන බිය ජනක දුබලතාවයන්ට ජාතික ජන බලවේග ආණ්ඩුව වගකිය යුතු නැත. එය වගකිය යුත්තේ එම දුබලතා ආමන්ත්‍රණය කිරීමට  අසමත් වීම සම්බන්ධයෙනි.

පශ්චාත් දිට්වා දේශපාලන විවාදය තුල කථිකයකු බවට පත්ව සිටින නාමල් රාජපක්ෂ ඇමැතිවරයකු වූ සහ ඔහුගේ සනුහරය ජනපති, අගමැති, මුදල් ඇමති යනාදී තනතුරු දැරූ 2019-2021 අතරතුර  ආපදා කළමනාකරණය සඳහා වූ ජාතික කවුන්සිලය එක් වරක්වත් රැස්වී නැත.  එය ආපදා සඳහා සූදානම් වීම සඳහා ඇති ඉහළම මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදන ආයතනය වේ. එම වසර තුන අතරතුර දරුණු ගංවතුර, බහු නායයෑම් සහ වසංගත ආශ්‍රිත හදිසි තත්වයන් පැවතුණි.

දිට්වා මෙරටට කඩා වැදුණේ ආපදා කළමනාකරණය රින අගයක පැවැති තත්වයකය.

 

monde87r
දූෂිත ආයතනයක් ලෙස විගණන වාර්තාව දක්වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි අධ්‍යක්ෂක වන චතුර ලියනාරච්චි ආපදාවෙහි විපත මහජනයා මත පටවන්නේ නරුම සහ සාහසික ලෙසය. ඉංග්‍රීසි භාෂා දිනපතා පුවත්පතක් වාර්තා කරන්නේ ඔහු මෙසේ කී බවයි.

‘ රට පුරා බොහෝ නිවෙස්වල  වහලක් මතට නැඹුරු වූ බුරුල් වූ ගස් තියෙනවා. එවැනි නිවෙස් හිමියන්ට තද සුළං හෝ සුළි සුළං පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කළත්, ගස ඉවත් කරන්නේ නැහැ. ඒ වෙනුවට, බහුතරයක් දෙනා එය වැටෙන තෙක් බලා සිට වන්දි ඉල්ලනවා.’

එවැනි ආකල්පයක් ඇති පුද්ගලයින් නායකත්වය දෙන ආපදා කළමනාකරණය ගැන කුමන කතා ද?

අපදා කළමනාකරණ පනත වෙනුවට ජනාධිපතිවරයා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි පෙර අවස්ථාවන්හි පැනවූ රෙගුලාසි අහුලා ගෙන සකස් කරන ලද්දක් බව මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට ලිපියක් මගින් කරුණු ඇතිව පෙන්වා දුන්නේය. මෙම රෙගුලාසි  මෙරට ව්‍යවස්ථාවට පටහැණි බවත් අන්තර් ජාතික මානව හිමිකම් නීතිය සමඟ නොගැලපෙන බවත් එම ලිපියෙහි දක්වා තිබේ.  

එම කරුණු පෙන්වා දී මෙම සටහන ලියන 09 දා වන විට දින හතරක් ගත වී ඇතත් පෙන්වා දෙන ලද දොස් සදොස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන නැත. මෙම හදිසි නීති පැනවීමද රනිල් රාජපක්ෂ විසින් පනවන ලදුව පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෝශ දර්ශනයට ලක් කළ හදිසි නීතියේ ඉරණම උරුම කර ගැනීමට ඉඩ තිබේ.

ditwah4
ආපදා කළමනාකරණයට අදාල ආයතන හතරම ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආරක්ෂක අමාත්‍යාංශය යටතේය. එනම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යි. ස්වාභාවික විපත් පුරෝකථනය කිරීම, පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සහ එවැනි විපත් ඇති වූ විට සහන සැලසීම සඳහා මෙම ආයතන හතර  තීරණාත්මකය.  

දිට්වා සුළි කුණාටුව  කඩා වදින විට ආපදා කළමනාකරණ යාන්ත්‍රණ නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව ජනාධිපති දිසානායක පිළිගෙන තිබේ. ජාතික ආපදා කවුන්සිලය නිතිපතා රැස් කිරීමේ වගකීම ඔහු ඉටු කළේ නැත. මෙවැනි අනතුරු ගැන තොරතුරු රැස් කිරීමත් රාජ්‍ය නායකත්වය දැනුවත් කිරීම දිසානායක යටතේ ඇති රාජ්‍ය බුද්ධි සේවයේ ද වගකීමකි. එය ඉටු වූ බවක් නොපෙනේ. ජාතික ආරක්ෂක කවුන්සිලය නිරන්තරයෙන් රැස්වූයේද  සිදුවීමට නියමිත වූ ව්‍යසනය පිළිබඳ පවතින අනතුරු ඇඟවීම් සමාලෝචනය කළේද යන්න ද අපි නොදනිමු.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා ප්‍රධාන විධායකයාගේ එනම් ජනාධිපතිවරයාගේ සහ අදාළ නිලධාරීන්ගේ වගකීම පැහැදිලිව තහවුරු කළේය. ඉදිරි මාසවලදී, දිට්වා සුළි කුණාටුව සහ  රාජ්‍ය නායකත්වයේ සහ නිලධර තන්ත්‍රයේ වගවීම දේශපාලන සහ නීතිමය වේදිකා අල්ලා ගැනීමට නියමිතය.

sunanda deshapriya(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...