කිසිදු සැකයකින් තොරව මා එය සනාථ කර ගත්තේ 1994 පැවති මහ මැතිවරණයෙන් හා ජනාධිපතිවරණයෙනි. හඩු ජාවාරම්කාරයින්ගේ විවෘත වෙළදපල ආර්ථිකයට ආවේනික යෝධ දූෂණ වංචා වලට හිතුවක්කාර, උද්දච්ඡ, මාන්‍යාධික නායකත්වයක් ජන රැල්ලේ හයිය මත එකතු වූ විට ඇති වන සියලු සමාජ ආර්ථික හා පාරිසරික ව්‍යසන අප බුක්ති විඳින්නේ එතැන් සිට යැයි මම කියමි.
ඉන් පසු 2005 නොවැම්බර ජනාධිපතිවරණයේදී සිංහල-බෞද්ධ සමාජයෙහි ජනප්‍රිය අපේක්ෂක වූ මහින්ද රාජපක්ෂට මා ඡන්දය නොදෙනවා යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් මතු කළ කාරණාව වූයේ, එවැනි ප්‍රසන්න, හිනාවෙන, මිත්‍රශීලි නායකයින් පත්කර ගත්තද, සංවර්ධන සැළසුමක් නැති කිසිවෙකුට රටක දියුණුව වෙනුවෙන් වගකිව නොහැකි බවය. අවුරුදු 76 ක් මේ රට විනාස කළේ යැයි චෝදනා කරනවුන්ගේ අඳබාල නොදන්නාකම වන්නේ, ඒ හැම අසාර්ථක රාජ්‍ය නායකයෙකුම, ආණ්ඩුවක්ම පත් කර ගනු ලැබූයේ බහුතර ජනතාවක් විසින් බවය. එනිසා කිව යුතු වන්නේ, “මේ රටේ බහුතරය හැමදාම වැරදි” යැයි කියා ය.

එය වඩාත්ම බරපතල වරදක්ව ඇත්තේ පසුගිය 2024 මැතිවරණ දෙක සමග ය. රට බාර දෙන්නට රැල්ලට යාමෙන් හැමට බරපතල අවුලකට මුහුණ දෙන්නට සිදුවන බැව් මා ඇතුළු සුළුතරයක් පුන පුනා කීහ. එදා මා සමග උරණ වූවන්, දැන් සමාජ මාධ්‍ය ජාලවල ජනාධිපති අනුර කුමාරට සහ ජවිපෙ/මාලිමා ආණ්ඩුවට අපමණ නම් දොස් නගති. එහෙත් ජනාධිපති අනුර කුමාරට හා ආණ්ඩුවට දොස් කියා, මේ විනාසයෙන් ගොඩවිත් සුභවාදී අනාගතයකට යෑමට නොහැක. අනාගතය ගැන යම් විශ්වාසයක් ඇතිකර ගැනීමට නම්, පසුගිය හැම මැතිවරණයකදීම මා මතු කළ, කලාපීය ආර්ථික හා දේශපාලන පසුබිම සැළකීමට ගනිමින් කෙටුම්පත් කෙරෙන “ජාතික සංවර්ධන ප්‍රතිපත්තියක් සමග වන පරිපූර්ණ සංවර්ධන සැළසුම” ගැන විවෘත සමාජ කතිකාවක් ඉදිරියට ගත යුතුය.
මේ අර්බුදය කුමක්ද?
මේ “ඩිට්වා සුළි කුණාටුව” ඉතිරිකර ගිය මහ විනාසයෙන් ඒ සංවාදය ආරම්භ කළ හැක. ඩිට්වා සුළි කුණාටුව පැමිණියේ, 2022 ප්‍රකාශයට පත් කෙරුණු ආර්ථික බංකොලොත්වීම සඳහා සැබෑ විසඳුම් තහවුරු කර ගනු ලබන පසු බිමක නොවේ යැයි මම පළමුව අවධාරණය කරමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වන ප්‍රතිපාදන මත, තාවකාලිකව අටවා ගත් වික්‍රමසිංහ ජනාධිපතිගේ නායකත්වයෙන් වන ආණ්ඩුව විසින් 2023 මාර්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් කොන්දේසි සහිත ගිවිසුමකට අනුව, පැවති විවෘත වෙළඳපල ආර්ථිකයම නැවත ගැට ගසා ගනු ලැබිණ. 2022 දී අපට ගෙවන්නට නොහැකි යැයි කියූ විදේශ ණය ප්‍රමාණ, ප්‍රමාදකර ගෙවීමේ අවස්ථා ලබා දීමක් හා අලුතින් නැවත ණය ගැනීමට හැකි සහතිකයක් පමණක් ඉන් ලැබිණ. දැනට ඇති ණය ගෙවා අවසන් කිරීමට හා වාර්ෂික ආනයන වියදම පියවීමට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීම සඳහා සැළසුමක් එහි කොතැනකවත් නැත. අවුරුදු 44 ක් අසාර්ථක වූ, එනිසාම දිගින් දිගටම ණය ගැනීමට සිදුවූ, “සෘජු විදේශ ආයෝජන” ආකර්ශනය කර ගැනීම වෙනුවෙන්, විවෘත වෙළදපල ආර්ථිකයක කිසිවිට සිදු නොවන දූෂණයෙන් තොර, කාර්යක්ෂම කලමනාකාරිත්වයක් ගැන කතා එහි ඇත.
ඒ ගැන ඉතාම කෙටියෙන් කිවහොත් “වික්‍රමසිංහ පැමිණ රට ගොඩ දැමුවා” යැයි කියන්නේ, 2019 වන විට පැවති අනේක විධ මූල්‍ය දූෂණ වංචා සිදුවූ, බලා සිටියදී පිරිහුණු සමාජයක ඉහළ යන කොන්තරාත් මිනී මැරීම්, කප්පම් ගැනීම්, අන්තරායකර මත්ද්‍රව්‍ය ජාවාරම්, ස්ත්‍රී දූෂණ, බාලවයස්කාර දැරිවියන් දූෂණය, ළමා හිංසන, ළමා අපචාර, ළමා ලිංගික අතවර හා දූෂණ සමග වන විවෘත වෙළදපල ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධීක්ෂණය යටතේ නැවත සක්‍රීය කිරීමක් පමණි. ජනාධිපති අනුර කුමාර 2026 වසර සඳහා ඔවුන්ගේ අයවැය ඉදිරිපත් කරමින් කියුවේද, 2019 රට පැවති තත්ත්වය නැවත අත්පත් කර ගැනීමට ඔවුන්ගේ ආණ්ඩුවට 2025 අවසන් වන විට හැකිවේ යැයි කියා ය. ජවිපෙ/මාලිමා නායක අනුර කුමාර දිසානායක නොව, බොල්ෂෙවික් නායක ලෙනින් ජනාධිපති වූවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාවාරම්කාර උපදේශක පැලැන්තියක් සමග 2019 වසර වෙත මිස, වෙන ගමන් යා නොහැක.
“ඩිට්වා සුළි කුණාටුව” ඉතිරි කළ හපය
එවැනි දූෂිත, පිරිහුණු සමාජ පසුබිමක, ඩිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආපදා වලට විසදුම් ලබා දීම ගැන, මම මෙසේ අසමි. අප හමුවේ ඇත්තේ, තාවකාලික නවාතැන්වල, ඥාතීන්ගේ හා හිතවතුන්ගේ නිවෙස්වල තවමත් නතරව ඉන්නා පිරිස් නැවත ඔවුන්ගේ සුපුරුදු වාසස්ථානවල පදිංචි කිරීමේ වගකීම පමණද? ජීවනෝපායන් අහිමි වූවන්ට කෙටි කලක් ආධාර කිරීමේ වගකීම පමණද? සාමාන්‍ය ගමනා ගමනය සඳහා ප්‍රාදේශීය මාර්ග පිළිසකර කිරීම පමණද? දරුවන් වෙනුවෙන් පාසල් නැවත ආරම්භ කිරීම පමණද? යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම යැයි ප්‍රධාන මහ මාර්ග හා දුම්රිය මාර්ග පිළිසකර කිරීම හා නිෂ්පාදන කාර්යන්ට හා පරිපාලනයට අවශ්‍ය පහසුකම් ගොනුකර ගැනීම පමණද?
ඒ ප්‍රතිසංස්කරණ අවසන් කෙරුණු පසු මෙතෙක් විනාශ වූ සමාජ හර පද්ධතීන් සහ සියලු ආකාරයේ සමාජ විරෝධී පිරිහීම් අවසන් වනු ඇතිද? විවෘත වෙළදපල යළි සක්‍රීය කිරීමෙන් ඒවා වඩා සීඝ්‍රයෙන් වගා වනු ඇත. ඒ පිරිහීම් සඳහා මෙතුවක් කල් ආගම් උත්තරයක් නොවුනි. මේ රටේ සියලු ආගම්, මූලික වශයෙන් අපරාධ විරෝධී, සාමලැදි, පරහිතකාමී සමාජ හර පද්ධතියක් සඳහා වන ආගම් ය. ඔවුන්ගේ දහම්, අවුරුදු සියයකට වැඩි කාලයක් මේ රටේ දහම් පාසල්, ඉරිදා පාසල්, මද්‍රසා වැනි ආගමික අධ්‍යාපනික ආයතන හරහා, ළමුන්ට උගන්වනු ලැබිණ. දැන් බන්ධනාගාර උතුරා යන්නට ඒවායේ පුරවා ඇත්තේ, ළමා වියේදී මේ ආගමික අධ්‍යාපනික ආයතන වෙත ගිය පිරිස් ය.

ආරම්භයක් වශයෙන් මම මෙසේ කියමි. ඒ සියල්ලට උත්තර සොයන්නට නම්, මේ මොහොතේ අප හමුවේ ඇති ආපදා සඳහා සහනාධාර දීම්, යළි පදිංචිවීම් වෙනුවෙන් වන්දි ලබාදීම්, වෙනත් ස්ථානවල නැවත පදිංචි කිරීම් සහ ප්‍රතිසංස්කරණ ලෙස අළුත්වැඩියා කිරීම් වලින් එහාට දුරදිග යන, පුළුල් පුනරුත්ථාපන වැඩසටහනක් “ජාතික සංවර්ධන ප්‍රතිපත්තියක් සමග වන පරිපූර්ණ සංවර්ධන සැළසුම” තුල ක්‍රියාත්මක කළ යුතුව ඇත. අපට “ජාතික සංවර්ධන සැළසුමක්” නොමැත. එහෙයින්, එවැන්නක් සම්පාදනය කර ගැනීමට සැළකිය යුතු කාලයක් අවශ්‍ය වන්නේ ය.
එතෙක් කාලය වැය කළ නොහැකි, හදිස්සි ක්ෂණික විසඳුම් ඉල්ලා සිටින ආපදා සිදුව ඇත. එවැනි ජනතාවට යම් ස්ථාවරත්වයක් ලබා දීමේ පිළියම් වහා යෙදිය යුතුව ඇත. එවැනි “ක්ෂණික” පිළියම් සඳහා,
1. සිටි ස්ථානයේ නැවත පදිංචි විය හැකි සහ පදිංචි නොවිය යුතු
2. නිවෙස් සහමුලින් විනාස වූවන්
3. පදිංචි වන්නට නිවෙස් අළුත් වැඩියා කළ යුතු
4. පදිංචියට පෙර නිවසේ බිත්ති ඉරි තලා ඇතිද, ගිලා බැසීමට ඉඩ ඇතිද
5. ස්වයං රැකියා කළවුන් සඳහා නැවත ඒ ව්‍යාපාර කළ හැකිද
6. විදුලිය කාන්දු වන රැහැන් ඇතිද
7. පානීය ජලය ලබා ගැනීමේ පහසුව ඇතිද
8. ගමන් පහසුව
9. පාසල් යන ළමුන් සඳහා ගමන් පහසුව
වැනි විමසා බැලිය යුතු කරුණු කාරණා ගණනාවක් ඇත. ඒවාට අදාල පිරික්සීම් හා අවශ්‍ය නිර්දේශ කිරීම් සඳහා, පාක්ෂිකයින් නොවන සහ දේශපාලන බලපෑම් වලට නතු නොවන ස්වාධීන, තාක්ෂිණක නිපුණතා ඇති ඇගයුම් කණ්ඩායම් අවම මට්ටමින් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි ස්ථාපිත කළ යුතුව ඇත.
නිවාස සැළසුම් කිරීමද ඒ සමග වහා ආරම්භ කළ යුතුය. එහෙත් ඉදිකිරීම් ඒ ක්ෂණයෙන් කළ නොහැක. එනිසා නැවත පදිංචි කිරීම් මධ්‍ය කාලීන සැළසුමකට ඇතුළු කරන්නට සිදුවිය හැක.
එවගේම, නල ජලය සපයන ප්‍රධාන පිරිපහදු කිරීමේ යන්ත්‍රාගාර සහ පෞද්ගලික ජල පහසුකම් ඇති නිවාස සංකීර්ණවල සහ නිවැසියන්ගේ ජල සැපයුම්, මනුස්ස භාවිතයට සුදුසුද යන්න සහතික කිරීමත් අතිශය වැදගත් වන්නේ, මෙවැනි ජල ගැලීම් සමග මිනිසුන් වහා ගොනුවන පළමු ආරක්ෂක ස්ථාන වෙත මීයන්ගේ සිට ගවයින් දක්වා සතුන්ද පැමිණෙන හෙයින්, එවැනි සතුන්ගෙන් බෝ විය හැකි ලෙඩ රෝග ගණනාවක් ඇති බැවින් ය.

අනෙක් අතිශය වැදගත් සහ මෙතෙක් ආපදා වලදී එතරම් වැදගත්කමක් නොලැබූ මනෝ උපදේශන සේවා සඳහා ආණ්ඩුව නොපමාව පහසුකම් සැළසුම් කළ යුතුය. මෙවර ආපදා වලින් පීඩනයට, ආතතියට, කම්පනයට පත් විශාල පිරිස් රට පුරා ඇත. ඊයේ වන විට, දිස්ත්‍රික්ක 25 ක, පීඩාවන්ට හසුවූ මිලියන 02.17 ක් පුද්ගලයින් ඇතැයි වාර්තාවුනු සන්දර්භයක, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විශේෂඥ මනෝවෛද්‍ය උපදේශක, වෛද්‍ය වින්ද්‍යා විජයබණ්ඩාර මාධ්‍යයට කියා තිබූ කාරණා අනුව, පශ්චාත් කම්පන ආතතික ආබාධ (PTSD) වලින් පෙළෙන සහ මනෝ උපදේශන අනිවාර්යෙන් අවශ්‍ය ගැහැණු පිරිමි වැඩිහිටි පිරිස් සැළකිය යුතු සංඛ්‍යාවක් ඇත. ඔවුන් අතර සියදිවි නසා ගැනීමේ මානසිකත්වයකට ගොදුරුවන පුද්ගලයින්ද සිටිය හැක. කුඩා දරුවන්ටද මේ පීඩනය, කම්පනය දරා ගැනීම එතරම් පහසු නැත. දෙමාපියන් නොමැති, සහෝදර සහෝදරයින්ද කිසිවකු නැතිව අනාථ වූ, නාය යෑමට හසුව දිවි ගලවා ගනු ලැබූ හා ආබාධිත වූ ළමුන් ඇත. දින ගණනාවක් එක දිගට පෞද්ගලිකත්වයක් නොමැති තාවකාලික ස්ථානවලට කොටුවීමෙන් මානසික, ශාරීරික හා ලිංගික අපයෝජන වැනි විවිධ සංකීර්ණ, අප්‍රසන්න අත්දැකීම් නිසා මානසික කම්පන හා ආතතීන්ට හසුවූ ළමුන් ඇත. මොවුන් සියල්ලන්ට, මනෝ උපදේශන සහ මනෝ-සමාජීය උපදේශන (Psycho-social Counselling) වහා ලබා දිය යුතුය.
අපට ඇති අභියෝගය නම්, ඒ සඳහා සුදුසුකම් හා නිපුණතාවක් ඇති වෘත්තිකයින් ප්‍රමාණාත්මකව නොවීම ය. වැඩි දෙනෙකු සතු සහතික පිළිගැනීමේ ගැටළු, සාමාන්‍ය කාලයෙත් තිබිණ. සහතිකය සහ උපදේශන කුසලතා එකට නොමැතිවීමෙන් පාසල් වලට යොමු කළ ඇතැම් උපදේශන සහායකයින් නිසා අනවශ්‍ය අවුල් ඇතිවූ අවස්ථා නැතුවා නොවේ. එබැවින් රජයේ හෙද පුහුණු පාසල් සහ වෛද්‍ය පීඨ යොදා ගනිමින් අවශ්‍ය මනෝ උපදේශන වෘත්තිකයින් පුහුණු කිරීම වහාම ආරම්භ කිරීමට සිදුවන්නේය.
අනෙක නම්, දුම්රිය මාර්ග සමග ප්‍රධාන මහ මාර්ග පද්ධතිය පිළිසකර කිරීමය. එහෙත් එය ක්ෂණිකව කළ හැක්කක් නොවේ. ඇතැම් ප්‍රධාන මාර්ග සහ කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගය වෙනත් ප්‍රදේශ හරහා ගෙන යාමට සිදුවන බවට, දැනටම මත ඉදිරිපත් වන්නේය. එනිසා කෙතරම් හදිස්සි වූවත් ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කරමින් සැළසුම් කිරීමටම, මාසයක් පමණ ගත විය හැක. එවැනි ජාතික කාර්යන් අනිවාර්යෙන් ජාතික සැළසුමක කොටස් ලෙස සැළකීමට සිදුවන්නේය.
“පශ්චාත්-ඩිට්වා ලංකාව” ගොඩ ගැනීම
ඉතා සංක්ෂිප්තව කතා කළ ඉහත කාරණා වෙතින් පැහැදිලි වන්නේ, මෙතැනින් එහාට රට ස්ථාවර ප්‍රතිසංස්කරණයකට හා දියුණුවකට ගෙන යෑම පූර්ණ සමාජ සංවර්ධන සැළසුමක් අනුව සිදු විය යුතු බවය. මා කතා කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ජාවාරම්කාර උපදේශකයින්ගේ සැළැස්මක් ගැන නොවේ. මා කතා කරන්නේ, මේ විනාසය හමුවේ පොදු මහජනතාවට අවශ්‍ය සැළසුම ගැන ය. එවැනි අවශ්‍යතා කිහිපයක් මෙලෙස ගොනු කරමි.
01. ජාතික මට්ටමින් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේදී පළාත් 09 න් පළාත් 04 ක පමණ ජනතාව නැවත පදිංචි කරවීමේ ආරක්ෂිත, විකල්ප ප්‍රදේශ ඇතුළත් අලුත් සිතියමක් තිබිය යුතුය. ඊට අදාල, අලුත් නගර නිර්මාණ කිරීමේ උප සැළසුමක්ද අවශ්‍ය වනු ඇත. නව නිවාස සංකීර්ණ ඉදිකළ යුත්තේ එම සැළසුමට අනුවය. එවගේම සෑම ප්‍රදේශයකම ජනතාවට පහසුවෙන් රාජ්‍ය සේවා ලබාගත හැකි ලෙස රාජ්‍ය ආයතන ස්ථාපිත කිරීමේ සැළසුමක්ද තිබිය යුතුය.
02. ජාතික සෞඛ්‍ය සේවාවේ ප්‍රධානම අරමුණ විය යුත්තේ අඩු රෝගීන් සංඛ්‍යාවක් සමග නිරෝගී සමාජයක් නඩත්තු කිරීමය. වැඩිවන රෝගීන් සඳහා වැඩි වැඩියෙන් fඖෂධ ගෙන්වන, අධි වියදම්කාරී වෛද්‍ය උපකරණ භාවිත කෙරෙන, වැඩි වැඩියෙන් රෝහල් වාට්ටු හැදීමේ සහ ඊට අනුපාතිකව වෛද්‍යවරුන් හෙදියන් හැදීමේ සෞඛ්‍ය සේවාවක් අවශ්‍ය නොවේ. ඉදිරියේදී ඇතිවිය හැකි බෝවන රෝග සහ බාහිර ප්‍රතිකාර වෙනුවෙන්ද පොදුවේ රෝග නිවාරණය වෙනුවෙන්ද මනෝ උපදේශන සේවා සහිත ප්‍රජා සෞඛ්‍ය සේවා ශක්තිමත් කළ යුතු වන්නේය.

03. පොදු මගී සේවය බස්, දුම්රිය ඒකාබද්ධ සේවා ලෙසද දිස්ත්‍රික් කේන්ද්‍රීය සේවා ලෙසද ජාතික අවශ්‍යතාවක් බැව් පිළිගනු ලබන, ආණ්ඩුව බාර ගත යුතු සේවා විය යුතුය. ඒවායේ කාර්යක්ෂමතාව හා සේවා පහසුකම් සතු තත්ත්ව ප්‍රමිතීන් සඳහා ආණ්ඩු වගකිව යුතු වන්නේය.
04. මධ්‍යම පළාත ඇතුළුව පළාත් ගණනාවක ග්‍රාමීය කෘෂි ආර්ථිකය බරපතල ලෙස විනාශවී ඇත. නැවත පදිංචි කරවීම් සමග ඒ පළාත්වල ආර්ථික ජීවිතයද වෙනස් විය හැක. එබැවින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම, ජාතික සංවර්ධන සැළසුමෙහි ප්‍රධාන අංගයක් විය යුතුය. එය, මැද පෙරදිග රටවල්හි, දකුණු කොරියාවේ හෝ සයිප්‍රසයේ රැකියා සොයා සංක්‍රමණය වන්නට අවශ්‍ය නොවන, තමන්ගේ පදිංචි ප්‍රදේශයෙහි සුවපහසු ජීවිතයකට ප්‍රමාණවත් වැදගත් ආදායමක් ලැබිය හැකි ආර්ථිකයක් සහතික කෙරෙන ලෙස සැළසුම් විය යුතුය.
05. ඉහත සියල්ලෙහි මූලික දේශපාලනික සාධකය විය යුත්තේ පළාත් හා ප්‍රාදේශීය මට්ටම දක්වා සියලු නියෝජන ආයතන, ජන සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස බලාත්මක කිරීම ය.
06. එවැනි නව සමාජයක් සඳහා මෙතෙක් පැවති විධිමත් අධ්‍යාපනය තවදුරටත් කපා කොටා, අණ්ඩ දමා අලුත් කළ නොහැක. ඉහතින් සඳහන් කෙරුණු දුර දිග යන ප්‍රතිසංස්කරණ සමග වන “ජාතික සංවර්ධන සැළැස්මට” අනුගත වන නව පාසල් හා උසස් අධ්‍යාපනයක් අපට අවශ්‍ය වන්නේ ය. එවැන්නක් සමාජ කතිකාවකින් සම්පාදනය විය යුත්තකි.
අවසන් වශයෙන් කිව යුත්තේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද ඇතුළු සියලු අණ පනත් සම්පාදනය වන්නේත් සම්මත වන්නේත් රටේ ජනතාව ඒ සියල්ලට ආගන්තුකයින් ලෙස තබා ගෙනය. එනිසා ඒ කිසිවක හිමිකාරිත්වයක් ජනතාවට, සමාජයට නැත. ඒවා ආණ්ඩු විසින් රකින්නේද, උල්ලංඝණය කරන්නේද යන්න ගැන ජනතාව සොයන්නේ, ඔවුන්ට අහිතකර යැයි හැඟුන විට පමණි. එබැවින් මේ යෝජනා කෙරෙන සියලු වෙනස්කම් සිදුවිය යුත්තේ ජනතා අවබෝධය, ජනතා අනුමැතිය හා හිමිකාරිත්වය ඇතිව ය. සමාජ සාකච්ඡාවක අවශ්‍යතාවය ඇත්තේ ඒ වෙනුවෙනි. මෙය ඊට අවශ්‍ය පූර්විකාව යැයි සිතමි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 දෙසැම්බර් 13 වන දින




