The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගිනි පුපුරක් වත් නොමැතිව සිදු කෙරෙන අති නවීන 'ජල ආදාහනය' | ඒ.ජී. රේණුකා දමයන්ති

T

The Leader Desk

December 13, 2025 • 9:07 AM

ගිනි පුපුරක් වත් නොමැතිව සිදු කෙරෙන අති නවීන 'ජල ආදාහනය' | ඒ.ජී. රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් එවන් තත්ත්වයක් තබා ගිනි පුපුරක්වත් නොමැතිව ජලය යොදා මෘත දේහ ආදාහනය කරන නවතම ක්‍රමයක් ද දැන් ලොව දියුණු රටවල් කිහිපයක ක්‍රියාත්මක වේ.
  • ජලය මාධ්‍යයක් වශයෙන් යොදා සිදු කෙරෙන ජල ආදාහනය (Aquamation) නම් වන එම ක්‍රමය මෘත දේහයක් බැහැර කිරීමේ නවීන ක්‍රමයක් වන අතර, එය සාමාන්‍ය ගින්දරින් කරන ආදාහනයට (Flame Cremation) සහ භූමදානය සඳහා හඳුනාගෙන ඇති නවතම විකල්පයකි.
  • ගින්න භාවිත කෙරෙන ආදාහනයට වඩා හරිත විකල්පයක් ලෙස එහි අගය රඳා පවතිනුයේ ඉන් පරිසරයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 90% දක්වා අඩු කරන නිසා ය.
  • නමුදු අපට හුරු පුරුදු ගිනි ආදාහනය අභිබවා ජල ආදාහනය පෙරට එයි ද යන්න නම් තාමත් නිශ්චිතව කිව නොහැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත් එවන් තත්ත්වයක් තබා ගිනි පුපුරක්වත් නොමැතිව ජලය යොදා මෘත දේහ ආදාහනය කරන නවතම ක්‍රමයක් ද දැන් ලොව දියුණු රටවල් කිහිපයක ක්‍රියාත්මක වේ. අප සිතන අන්දමට අප සමාජය තුළ ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සන්නිවේදනයක් සිදු වී නොමැත.

ජලය මාධ්‍යයක් වශයෙන් යොදා සිදු කෙරෙන ජල ආදාහනය (Aquamation) නම් වන එම ක්‍රමය මෘත දේහයක් බැහැර කිරීමේ නවීන ක්‍රමයක් වන අතර, එය සාමාන්‍ය ගින්දරින් කරන ආදාහනයට (Flame Cremation) සහ භූමදානය සඳහා හඳුනාගෙන ඇති නවතම විකල්පයකි. එමෙන්ම මෙම නව ආදාහන ක්‍රමය කෙරෙහි ලෝකයේ වැඩි අවධානයක් දිනා ගැනීමට එහි පවත්නා සොබාදම් මිතුරු ස්වරූපය ඉවහල් වී තිබේ. ගින්න භාවිත කෙරෙන ආදාහනයට වඩා හරිත විකල්පයක් ලෙස එහි අගය රඳා පවතිනුයේ ඉන් පරිසරයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 90% දක්වා අඩු කරන නිසා ය. නමුදු අපට හුරු පුරුදු ගිනි ආදාහනය අභිබවා ජල ආදාහනය පෙරට එයි ද යන්න නම් තාමත් නිශ්චිතව කිව නොහැකිය.

gini2
අඩු බලශක්ති පරිභෝජනය ජල ආදාහනයකින් හිමිවන ප්‍රධානතම ප්‍රතිලාභයයි. ජල ආදාහනය සඳහා අවශ්‍ය වනුයේ ගින්දරින් කරන ආදාහනයට වඩා 90%ක් දක්වා අඩු ශක්තියකි. සාමාන්‍යයෙන් ස්වාභාවික වායු ආදාහනාගාර කුටීරයක උෂ්ණත්වය 760°C සිට 980°C දක්වා (1,400°F – 1,800°F) ඉහළ නැංවීමට විශාල බලශක්ති ප්‍රමාණයක් අවශ්‍ය මුත්, මෙම ජල ආදාහනයේදී අවශ්‍ය වන්නේ ඉතා අඩු උෂ්ණත්වයක් (150°C – 160°C) පමණි. එමඟින් පොසිල ඉන්ධන භාවිතය සහ ඒ ආශ්‍රිත කාබන් විමෝචනය සැලකිය යුතු ලෙස අඩුවීම ද විශේෂත්වයකි.

සාම්ප්‍රදායික ආදාහනය මඟින් කාබන් ඩයොක්සයිඩ් (Co2) සහ අනෙකුත් හරිතාගාර වායු” වායුගෝලයට මුදාහරින අතර, අනාගතයේ දී එය අදට වඩා බලපවත්වන පාරිසරික ප්‍රශ්නයක් වනු නියත ය. නමුත් මෙම ජල ආදාහන ක්‍රියාවලිය එලෙස දහනය මත පදනම් නොවන බැවින්, එය අතිශය “අහිංසක” ආදාහන ක්‍රමයක් ලෙස සැලකේ. අප බොහෝ දෙනෙක් නොදන්නා මුත්, මියගිය පුද්ගලයන්ගේ දත් පිරවීම්වල තිබූ රසදිය ඉතා සුළු වශයෙන් හෝ සාම්ප්‍රදායික ආදාහනයේ දී රසදිය වාෂ්ප ලෙස වායුගෝලයට මුදා හැරේ. මෙය පරිසරයට සහ මානව සෞඛ්‍යයට ඉතා හානිකර ය. නමුත් ජල ආදාහනයේ දී එම රසදිය පරිසරයට මුදා හැරීම පවා මුළුමනින් ම වැළකේ.

එමෙන්ම ජල ආදාහන ක්‍රියාවලිය අවසානයේ ඉතිරි වන ජල කොටස (Sterile Liquid) ද විෂ රහිත වන අතර, එය ඇමයිනෝ අම්ල, සීනි සහ ලවණවලින් සමන්විත ය. ඒ අනුව ජල ආදාහනය මඟින් මෘත ශරීර බැහැර කිරීමේ ක්‍රියාවලිය ස්වාභාවික චක්‍රයට සමීප සහ පරිසරයට අවම බලපෑමක් සහිත ආකාරයකට සිදු කිරීමට ඉඩ සලසයි. මෙම දියර බොහෝ විට නයිට්‍රජන් සහ පොස්පරස් සහිත පොහොරක් ලෙස භාවිත කළ හැකි අතර, ආදාහනයෙන් පසු නීත්‍යානුකූලව ජල පද්ධතිවලට මුදා හැරිය විට පවා එය පරිසරයට හානියක් සිදු නොකරන තරමට “අහිංසක” ස්වභාවයක් දරයි.

gini4

එමෙන්ම මෙම ජල ආදාහන ක්‍රමය භෞතික සම්පත් සංරක්ෂණය සඳහා ද බෙහෙවින් ඉවහල් වන බව ඒකාන්ත සත්‍යයකි. භූමදානයේ දී මෙන් නොව, ජල ආදාහනය සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක් හෝ දිරාපත් නොවන ලී හෝ ලෝහ පෙට්ටි අවශ්‍ය නොවේ. අවමංගල්‍ය කටයුතු සඳහා භාවිත කරන අනෙකුත් ද්‍රව්‍ය සේම මිනී පෙට්ටි ද කුලියට ගැනීම ප්‍රමාණවත් ය. ඒ දේහය ලොම් හෝ සේද වැනි ස්වාභාවික රෙදි ආවරණයක ඔතා ආදාහනාගාර කුටීරයට ඇතුළු කරන බැවිනි. ඒ සඳහා ලෝහ, පොලිතින්, ප්ලාස්ටික්, කෘත්‍රිම රෙදි ආදී කිසිවක් කෙසේ වත් යොදා නොගැනෙයි.

මෙම ජල ආදාහන ක්‍රමය විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ ඇල්කලයින් හයිඩ්‍රොලිසිස් (Alkaline Hydrolysis) යන නමිනි. එහි සාමාන්‍ය ක්‍රියාවලිය මෙසේය: දේහය මළ නොබැඳෙන වානේ බඳුනක (Stainless Steel Chamber/Vessel) තබා, ජලය සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි ක්ෂාරීය ද්‍රාවණයක් (Alkaline Solution) මිශ්‍ර කරනු ලැබේ.

ආදාහන කුටීරය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 150°C ත් 160°C ත් අතර ප්‍රමාණයකට (ෆැරන්හයිට් අංශක 300°F – 350°F) ඉහළ නැංවෙන අතර, වාෂ්පීකරණය වීම වැළැක්වීම සඳහා පීඩනය යොදනු ලැබේ. එවිට මෙම ඉහළ උෂ්ණත්වය සහ ක්ෂාරීය ද්‍රාවණය මඟින් මෘත දේහයේ ඇති මෘදු පටක සහ අවයවවල රසායනික බන්ධන බිඳ දමා ඇමයිනෝ අම්ල, පෙප්ටයිඩ, සීනි සහ ලවණ යන මූලික අංග බවට පත් කරයි.

Picture of bone fragments

පැය 3-4 ක් වැනි කාලයක් තුළ සිදුවන මෙම ක්‍රියාවලියෙන් පසු ඉතිරි වන්නේ දේහයේ අස්ථි කොටස් පමණි. පසුව ඒවා සෝදා, වියළා, ආදාහන යන්ත්‍රයක් (Cremulator) භාවිතයෙන් කුඩු කරනු ලැබේ. මෙම සියලු පියවර සම්පූර්ණ වූ පසු, සාමාන්‍ය ආදාහනයකදී සිදුවන පරිදි, මියගිය අයගේ කැමැත්තට අනුකූලව එම භෂ්මාවශේෂ භූමදාන කිරීමට හෝ විසුරුවා හැරීමට හැකි ය. නමුත් සාමාන්‍ය ආදාහනයකින් ලැබෙන භෂ්මාවශේෂවලට වඩා තරමක වැඩි ප්‍රමාණයක් මෙම ජල ආදාහනයෙන් ලද හැකි වීම ද විශේෂත්වයකි.

ඉහත සඳහන් සාධනීය කරුණු මුල් කොට ජීව-ආදාහනය (Biocremation) සහ ගිනි රහිත ආදාහනය (Flameless Cremation) ආදී නම්වලින් ද හැඳින්වෙන මෙම ආදාහන ක්‍රමය නීතිගත කර ඇති හෝ වාණිජමය වශයෙන් ලබා ගත හැකි ප්‍රධාන රටවල් සහ ප්‍රදේශ ගණනාවකි. එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා, කැලිෆෝනියා, මිනසෝටා, ජෝර්ජියා ආදී ප්‍රාන්ත 24 කට අධික සංඛ්‍යාවක මෙය නීත්‍යානුකූල වී ඇති අතර, කැනඩාවේ සස්කැචුවාන්, ක්විබෙක්, ඔන්ටාරියෝ ආදී ප්‍රාන්ත කිහිපයක ද මෙම ආදාහන ක්‍රමය නීත්‍යානුකූල කර ඇත.

එක්සත් රාජධානියේ අයර්ලන්තය 2023 දී මෙම සේවාව ලබා දුන් යුරෝපයේ පළමු රට බවට පත්ව ඇති සේම, එංගලන්තය ද මෙය නීත්‍යානුකූල කර ඇති අතර දැන් එය හඳුන්වා දීමට පටන් ගෙන ඇත. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් වැනි ප්‍රාන්තවල ද මෙය ලබා ගත හැකිය. එමෙන්ම වර්ණභේදවාදයට එරෙහිව උදාර සටනක නිරත වූ, 2021 වසරේ දෙසැම්බර් 26 වන දා ස්වර්ගස්ථ වූ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායක ඩෙස්මන්ඩ් ටූටූ අගරදගුරුතුමන්ගේ දේහය සඳහා මෙම ක්‍රමය භාවිත කිරීම නිසා මෙම නව ආදාහන ක්‍රමය තවදුරටත් ලෝක අවධානයට ලක් ව තිබේ.

gini3

මේ අතරතුර මෙක්සිකෝවේ බාහා කැලිෆෝනියා වැනි ප්‍රාන්තවල මෙම සේවාව අරඹා ඇති අතර, නවසීලන්තය මේ වසරේ සිට මෙම ජල ආදාහන සේවාව ලබා දීමට පටන් ගෙන ඇත. ඊට අමතරව බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් වැනි ප්‍රදේශවල විද්‍යාත්මක පරීක්ෂණ සහ නීතිමය අනුමැතිය ලැබී ඇති අතර, නෙදර්ලන්තය ද මෙම ක්‍රමය ආරක්ෂිත හා තිරසාර ලෙස හඳුනාගෙන එය අනුමත කෙරෙන නීති සම්පාදනය කරමින් පවතී. මෙම නව ආදාහන තාක්ෂණය පරිසර හිතකාමී විකල්පයක් ලෙස ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින්, ඉදිරියේදී තවත් බොහෝ රටවල් මෙය නීතිගත කිරීමට ඉඩ ඇත.

මෙම ජල ආදාහන කටයුත්තක් සඳහා සාමාන්‍ය ආදාහනයක මෙන් දෙතුන් ගුණයක වියදමක් දැරිය යුතුය. නමුත්, මිනී පෙට්ටියක් කුලියට ගැනීම ආදී වශයෙන් වන ලාභදායී පියවර නිසා එහි වියදම එතරම් වැඩි බවක් ද පෙනෙන්නට නැත. කෙසේ නමුත් මෙම ජල ආදාහන තාක්ෂණය සහ ක්‍රමය තවමත් ශ්‍රී ලංකාවට අතිශයින් නුහුරු බැවින්, අප රටේදී එම සේවාව ලබා ගැනීම පිණිස අපට තව බොහෝ කාලයක් බලා සිටීමට සිදු වනු ඇත.

 



renuka damayanthi psd
සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...