The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තේ, කෝපි වගාවට එළි කළ භූමියේ වනාන්තර වගා කරන්න | රෝහණ විජේවීර එදා කීවේ ඇයි ?

T

The Leader Desk

December 13, 2025 • 5:48 PM

තේ, කෝපි වගාවට එළි කළ භූමියේ වනාන්තර වගා කරන්න | රෝහණ විජේවීර එදා කීවේ ඇයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • න් පස්සේ පාලනය භාරගත් කළු සුද්දන් ඉතිරි වනාන්තර ටිකත් කපා මහා විනාශයක් සිදු කරමින් ඉන්නවා.
  • අපේ මාතෘභූමියේ භූගෝලීය තත්ත්වය අනුව ස්වාභාවික පරිසරයේ සමතුලිත බව රැකීමට නම් අනිවාර්යයෙන්ම මධ්‍යම කඳුකරයේ අඩි 5,000ට වඩා උස්භූමිය වනගත කළ යුතුයි.
  • සෝදාපාළුව, නායයෑම් කඳු කඩාවැටීම් වළක්වන්න නම් අඩි 5,000න් ඉහළ මධ්‍යම කඳුකරය නැවත වන වගාවට යටත් කිරීම අනිවාර්යයි.
  • භූ විද්‍යාඥයන්ගේ උපදෙස් අනුව අඩි 2,000-5,000 අතර භූමිය ගැන සලකා බලා කොහෙද වගා කරන්නේ, කොහෙද වගා නොකරන්නේ කියා නිගමනය කරන්න පුළුවනි.
අකුරු ප්‍රමාණය (Font Size):

1971 ජූනි මාසයේ යාපනේ බන්ධනාගාරයේදී ටිරල් ගුණතිලක, සර්නි විජේසූරිය ඇතුළු රහස් පොලිස් නිලධාරීන් හමුවේ එවකට 28 හැවිරිදි රෝහණ විජේවීර පැවැත්වූ දේශපාලන පන්තිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපගේ මාතෘභූමිය යටත් කරගැනීමෙන් පසු කන්ද උඩරට අඩි 5,000 සමෝච්ච රේඛාවට ඉහළ භූමියේ පිහිටා තිබූ ස්වාභාවික වනාන්තර විනාශ කොට, එම භූමි මුලින් කෝපි වගාවටත් පසුව තේ වගාවටත් යට කළා. 1947න් පස්සේ පාලනය භාරගත් කළු සුද්දන් ඉතිරි වනාන්තර ටිකත් කපා මහා විනාශයක් සිදු කරමින් ඉන්නවා. මේ මහා විනාශය නැවැත්වූයේ නැති නම් දශක තුනක් හතරක් යද්දී ගංවතුර, සෝදාපාළුව, නායයෑම්, කඳු කඩාවැටීම් හේතුවෙන් මහා ජන සංහාරයක් සිදු වනවා.

gtyu6yu

අපේ මාතෘභූමියේ භූගෝලීය තත්ත්වය අනුව ස්වාභාවික පරිසරයේ සමතුලිත බව රැකීමට නම් අනිවාර්යයෙන්ම මධ්‍යම කඳුකරයේ අඩි 5,000ට වඩා උස්භූමිය වනගත කළ යුතුයි. කඳුකර වනාන්තර විනාශ කිරීම නතර නොකළොත් අනාගතයේ අප ජීවතුන් අතර සිටියත්, නොසිටියත් නායයෑම්, කඳු කඩාවැටීම්වලින් සිය දහස් ගණන් ජනයා මියයෑම වළක්වන්න බැහැ. සෝදාපාළුව, නායයෑම් කඳු කඩාවැටීම් වළක්වන්න නම් අඩි 5,000න් ඉහළ මධ්‍යම කඳුකරය නැවත වන වගාවට යටත් කිරීම අනිවාර්යයි.

භූ විද්‍යාඥයන්ගේ උපදෙස් අනුව අඩි 2,000-5,000 අතර භූමිය ගැන සලකා බලා කොහෙද වගා කරන්නේ, කොහෙද වගා නොකරන්නේ කියා නිගමනය කරන්න පුළුවනි. අපට ජලාශ ඉදි කරන්න අවශ්‍ය නම්, එය කරන්න වෙන්නේ ඒ ප්‍රදේශවල. මොකද: නිරිතදිග මෝසම් සුළඟින් ලැබෙන වැස්ස රඳවාගත්තොත් පල්ලෙහාට ගංවතුර ප්‍රශ්නය එන්නෙ නෑ. සෝදාපාළුවයි, ජලගැලීමයි නවත්තන්න පුළුවනි. අප දන්නවා උඩරට ඉඩම් ප්‍රශ්නය තදින් තිබෙනවා. අක්කර දෙකක භූමියේ පවුල් 180ක් ඉන්න බව උඩරට ගැමි කොමිෂන් සභාව නිල වශයෙන් වාර්තා කර තිබුණා.

අඩි පන්දහසේ සමෝච්ච රේඛාවෙන් පහළ මිටියාවත් මිනිසුන්ගේ ඉඩම් ප්‍රශ්නය විසඳන්න අවශ්‍ය වනවා. ඊළඟට ඉතිරි ඉඩම් කුඹුරු ගොවිතැනට යොදවන්න පුළුවනි. උඩරට කුඹුරු අක්කර 84,000ක් තිබෙනවා. එහෙත් අස්වැන්න වී බුසල් එකට හතක් ගන්න බෑ. තේ, රබර් වගා නිසා පල්ලෙහාට සේදිලා එන වැලි තට්ටු නිසා පස නිසරු වනවා. රොන්මඩ පල්ලෙහාට සේදිලා යනවා. අපි නැවත ඇති කරන වන වගාව නිසා අපට ඒ තත්ත්වය පාලනය කරගන්න පුළුවනි.

මුළු මධ්‍යම කඳුකරයේම අංශක 30ට වැඩි බෑවුම් සියල්ල නිශ්චිත සැලැස්මකට අනුව අවුරුදු පතා ක්‍රමයෙන් වන වගාව කළ යුතුයි. අංශක 30ට වඩා අඩු බෑවුම් සහිත ප්‍රදේශයේ ජාතික අවශ්‍යතාව සඳහා තේ ටිකක් ඉතිරි කරගන්න පුළුවනි. එතැන අක්කර ගණන වැඩි කිරීම නොවෙයි කරන්න ඕනැ; ඵලදාව වැඩි කරන ක්‍රම අනුගමනය කිරීමයි. අඩි පන්දහසෙන් පහත ප්‍රදේශයේ මෝසම් වැස්සෙන් ලැබෙන ජලය රඳවාගන්න භූ විද්‍යාඥයන්ගේ උපදෙස් ඇතිව කඳු හරහා බැමි සකස් කරන්න පුළුවන්. රඳවාගත් ටැංකිවල ජලය පල්ලෙහාට යද්දි ජල විදුලිය උත්පාදක සවි කිරීමෙන් කර්මාන්ත සඳහා අවශ්‍ය විදුලිය බලය නිපදවාගන්න පුළුවන්.

Mineral Map

අපට ගල්අඟුරු නැති නිසා කර්මාන්ත ආරම්භ කරන්න බැහැ කියලා කන්දයියා වෛද්‍යනාදන් පාර්ලිමේන්තුවේ කියා තිබුණා. අප දන්නවා අපේ රටේ තියෙන ඛනිජ සම්පත්, ස්වාභාවික සම්පත් පිළිබඳ නිසි සමීක්ෂණයක් කර නෑ. ප්‍රථමයෙන් කරන්න ඕනෑ අපේ මහපොළොවෙන් කර්මාන්ත සංවර්ධනයට ගන්න තිබෙන සම්පත් මොනවාද කියලා විද්‍යාත්මක ගවේෂණයක් කරන එක. කර්මාන්ත පටන් ගන්නවා නම් රට වෙනුවෙන් වැඩ කරන්න දේශප්‍රේමි තරුණයන් ඕනෑ තරම් මේ රටේ ඉන්නවා. දැන් සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්නන්න වියදම් කරන සල්ලි විදුලිය ජනක යන්ත්‍ර වගේ කර්මාන්තවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගෙන්වන්න යොදවන්න ඕනෑ.

අපිට හැම දේම අලුතින් පටන් ගන්න වෙනවා. 1505 ඉඳලම අවුරුදු 400ක් තිස්සේ රට කාලා මධ්‍යම කඳුකරයේ ගල්තට්ටයක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ. සරුසාර පස් තට්ටුව තියෙන්නේ කොහේද? ඉන්දීය සාගරය පතුලේ. විද්‍යාඥයෝ ඒ ගැන හොයලා තියෙනවා. ඒ කියන්නේ මුහුදු වෙරළේ ඉඳලා සැතපුම් ගානක් ඈතට ගිහිල්ලා තියෙන්නේ සරුසාර පස් තට්ටුව. යටත්විජිත ආණ්ඩුව තේ වගාව පටන් ගත්තෙ නැති නම් මේ අපරාධය සිදු වන්නේ නෑ. තේ, රබර් වගාවෙන් අපි නොවෙයි ලාබ ලැබුවේ; ඒගොල්ලෝ.

රටක සමාජයේ පදනම වන්නේ ආර්ථිකය. ආර්ථිකය කියන අත්තිවාරම මත තමයි දේශපාලනය කියන බිත්තිය, සංස්කෘතිය, ආගම්, චර්යාධර්ම, ගුණධර්ම කියන වහලවල් සේරම රඳා පවතින්නේ. මේ සමාජ ක්‍රමයේ පදනම ආර්ථිකය. සියලු රෝගවලට නිධානය බඩ කියල කියනවනේ. ඒ වගේ තමයි ප්‍රශ්නවලට මුල ආර්ථිකය. එතකොට ආර්ථික ක්‍රමයේ වෙනසකින් තමයි පටන් ගන්න ඕනෑ.

cfy56| මහවැලි යෝජනා ක්‍රමය

අප ඉන්නේ ‘නිව් කොලෝනියෙල් ඉන්කම් සිස්ටම්’ එකක: ඒ කියන්නේ ධනේශ්වර ආර්ථිකයක. ඒ කියන්නේ ධනේශ්වර සමාජ සම්බන්ධතා තමයි තිබෙන්නේ. මේ ධනේශ්වර සමාජ සම්බන්ධතා රටේ පවතින තත්ත්ව අනුව වෙනස් කරන්න ඕනෑ. අපි දේශපාලන පන්තිවල පැහැදිලි කළා මේ ආර්ථිකය මොකක්ද කියලා. කඳු මුදුන් වන වගා කිරීමයි, කඳු බෑවුම් වනවගා කිරීමයි, ජලාශ ගොඩනැඟීමයි, ජල විදුලිය නිපදවීමයි, ගංගා පාලනය කිරීමයි, ගංගාවල වතුර තෙත් කලාපයෙන් වියළි කලාපයට හරවා යැවීමයි තමයි මූලික සිද්ධාන්තය.

මේ පැත්තේ ජල ගැලීම්; වියළි කලාපයේ වතුර නෑ: නියඟ. මේ දෙකම එකම ප්‍රශ්නයේ දෙපැත්තක්. එතකොට මේ ප්‍රශ්න දෙකම විසඳන්න නම් මෝසම් සුළංවලින් ලැබෙන වැඩි වතුර වියළි කලාපයට ගෙනයන්න ඕනෑ.

මේ ආණ්ඩුවේ මහවැලි යෝජනා ක්‍රමය එහෙම එකක් නොවෙයි; තෙත් කලාපයෙන් වියළි කලාපයට ස්වාභාවිකව ගලන මහවැලි ගංගාව විනාශ කරන යෝජනා ක්‍රමයක්. ඒ කියන්නේ මහවැලි යෝජනා ක්‍රමයෙන් කරන්නේ අපට ඕනෑ කරන දේ නොවෙයි; ඒකෙ අනිත් පැත්ත. මා එය පැහැදිලි කරන්නම්. අපේ තෙත් කලාපය‍: දැදුරු ඔයයි, වලවේ ගඟයි, මධ්‍යම කඳුකරයේ බාගෙකුත් එක්ක, හැටන් සානුවයි, නුවර සානුවයි, රක්වාන බුළුතොට හෙලුයි ඇතුළත් ප්‍රදේශය.

මට කොළයකුයි පැන්සලකුයි දෙන්න. මම ඇඳලා පෙන්වන්නම් (මධ්‍යම කඳුකරය පිහිටා ඇති ආකාරය දැක්වෙන සිතියමක් විජේවීර කඩදාසියේ ඇඳ පෙන්වයි). මෙන්න මේ පැත්තට නිරිතදිග මෝසම් සුළඟින් වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා. ඒක ස්වාභාවික පිහිටීම අනුව, විද්‍යාත්මකව තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙහාට වැඩි වැස්ස; මේ පැත්තට අඩු වැස්ස. මොකද: නිරිතදිග මෝසම් සුළඟ රැගෙන එන ජලවාෂ්ප මෙහාට වතුර ටික දීලා, මධ්‍යම කඳුකරය පසු කරගෙන යන්නේ වියළි සුළඟක් හැටියටයි. අනිත් පැත්තෙන් ඩෙකෑන් සානුව හරහා ඊසානදිග මෝසම් සුළඟ එන්නේ වියළි සුළඟක් හැටියට. මධ්‍යම ආසියාවේ තාර් කාන්තාරය වගේ ප්‍රදේශ හරහා.

xfge56| මධ්‍යම කඳුකරය
හොඳට බලාගන්න: මධ්‍යම කඳුකරය පිහිටා තිබෙන්නේ උතුරට මුල්ල හිටින්න, තුන්හුලස් හැඩයකට. ඒකෙ බෑවුම තිබෙන්නේ උතුරට. අඩි පන්දහසෙන් ඉහළ ප්‍රදේශ අනෙක් පැත්ත හරවපු ඉංග්‍රීසි ‘T’ අකුරක් වගේ. ඒකෙ දකුණට තමයි කිරිගල්පොත්ත, පිදුරුතලාගල වගේ උස්මුදුන් තිබෙන්නේ. නුවරඑළිය, හෝර්ටන් තැන්න වගේ සානු මේ අතර පිහිටා තිබෙනවා. මේ පිහිටීම හරිම වැදගත්. මේක දෙයියෝ දීපු තෑග්ගක් කියල සමහරු කියනවා.

කැලණි ගංගාවේ ජලය හැටන් සානුවේදී ගබඩා කරගන්න පුළුවනි. ඊළඟට නුවර සානුවේ මාඔය, දැදුරුඔය වගේ ගංගාත් ගලනවා. ඒ වතුර ගබඩා කරගත්තොත් ගංවතුර ඇති වීම වළක්වන්න පුළුවන්. ස්වාභාවික බෑවුම් තිබෙන්නේ උතුරට නිසා මේ වතුර උතුරට පහසුවෙන් හරවන්නත් පුළුවනි. එතකොට උතුරට ජලධා‍රිතාව වැඩිපුරම ගෙනයන්න පුළුවන් ගංගාව තමයි කළු ගඟ; ඊළඟට කැලණි ගඟ.

ලංකාවේ ජල ධාරිතාව වැඩිම ගඟ තමයි කළු ගඟ. මහවැලි ගඟ ලොකුම ගංගාව කියන්නේ සැතපුම් 206ක් දිග නිසා. ඒත් මහවැලි ගඟ අවුරුදු පතා මුහුදට ගෙන යන ජල ධාරිතාව කළු ගඟට වඩා අඩුයි. එතකොට, මේ කැලණි ගඟ වගේ ගංගාවල ජල ගැලීම නවත්වන්න නම් වතුර ටික කොහාට හරි තල්ලු කර හරින්න ඕනෑ. ඒක කරන්න පුළුවන් කඳුකර ප්‍රදේශවලදි. රටේ අවශ්‍යතාව අනුව ඒ ජල කඳ තල්ලු කළ යුත්තේ උතුරු පැත්තටයි.

මම කතා කරන්නේ අඩි 1000 සමෝච්ච රේඛාවට ඉහළ කඳුකරය ගැන. ඒ ප්‍රදේශවලින් බෑවුම්වලට ක්‍රමානුකූලව ඒ කියන්නේ සමහර තැන්වල පයිප්ප ක්‍රමයක් යොදාගන්න වෙනවා. නවීන යන්ත්‍රසූත්‍ර, නවීන විද්‍යාත්මක ක්‍රම, කොන්ක්‍රීට් බැමි දාන්න වෙයි. ඒ සේරම කරලා තමයි දැදුරුඔය දක්වා ගංගා සියල්ලේම අතිරික්ත ජලය උතුරට ගෙනයන්න වෙන්නේ. මේගොල්ලෝ වියළි කලාපයට ගලන එකම ගංගාව වන මහවැලි ගඟ උතුරට හරවන්න හදනවා!

kothmale| කොත්මලේ

හැටන් සානුවෙන් පටන් ගන්නවා කොත්මලේ ඔය: ඒ කියන්නේ මහවැලි ගඟේ අත්තක්. උතුරට බරව ගමන් කරලා, ගඟ හැරෙනවා නැඟෙනහිරට; ඊළඟට උරෙයිඔරොප්පුවෙදි ඊසානට ගලනවා වියළි කලාපයට. දැන් මෙන්න අමාරුම තැනට ස්වාභාවිකව ජලය යනවා. මේක හරිම වැදගත්, වටිනා වැඩක්. මහවැලි ගඟෙන්මයි අපට අපේ ජල ප්‍රශ්නය විසඳන්න පුළුවන් වන්නේ. මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔයේ ඉඳලා, උතුරේ තියෙන නයගරායන් ආරු දක්වා ප්‍රදේශයට වතුර ප්‍රශ්න විසඳන්න පුළුවන් එකම ක්‍රමය මහවැලි ගඟ. වෙන කිසිම ක්‍රමයක් නෑ. මහවැලි ගඟේ පිහිටීමේ ස්වභාවය අනුව.

එතකොට මේ ගොල්ලෝ දැන් කරන්නෙ මොකක්ද දන්නවද? මහවැලි යෝජනා ක්‍රමය කියලා කරන්න හදන්නේ වියළි කලාපයට වතුර ගෙනයන එකම ගංගාව වියළි කලාපයේම වෙනත් පැත්තකට හරවනවා. මේ තෙත් කලාපයේ ජල ගැලීම් තිබෙන ගඟක් වියළි කලාපයට හැරවීම නෙවෙයි මේගොල්ලෝ කරන්නේ; වතුර නැති ප්‍රදේශයක තිබෙන ගඟක් වතුර නැති ප්‍රදේශයකටම හරවනවා. ඒකයි මම මහවැලි යෝජනා ක්‍රමය වැරදියි කියන්නේ.

මහවැලි යෝජනා ක්‍රමයේ තවත් වැරදි ගණනාවක් තිබෙනවා. මම කිවුවේ මූලික වැරැද්දයි. මහවැලි ගඟ හැටන්වල ඉඳලා, ගම්පොළ හරහා කටුගස්තොටට එනවා. ඒ හරියේ ජලගැලීම හැමදාම අනිවාර්යයි. ගම්පොළ දුම්රියපොළට ගිහින් බලන්න: අවුරුදු ගණනාවක් ගඟ ගලපු මට්ටම් දැකගන්න පුළුවන්. හැම අවුරුද්දේම වගේ ජල ගැලීම් ගම්පොළ ජනතාවට මහා විනාශයක් ගෙන දෙනවා.

ජනතාවට ආදරේ ආණ්ඩුවක් නම්, මේක කොහොමහරි නවත්වන්න ඕනෑ. භූගෝල විද්‍යාඥයන් හා වාරිමාර්ග විශේෂඥයන් යොදවලා, සුදුසු තැන් පිළිබඳ විද්‍යාත්මක තීරණ අරන් බැමි බඳින්න වෙනවා. ඒ මඟින් ගඟ මට්ටු කරලා, පියවරෙන් පියවර පහළට – ඒ කියන්නේ දුම්බර මිටියාවතට – ගේන්න ඕනෑ. දුම්බර මිටියාවත පිහිටලා තියෙන්නේ මෙන්න මේ විදියට. මෙතන ඌව බේසින් එක තියෙනවා මෙහෙම. ඒ කියන්නේ මඩොල්සිම කඳු පන්තියත් එක්ක. හෝර්ටන් ප්ලේන්ස්, එල්ක් ප්ලේන්ස් කඳු අතරින් දකුණුදිග මහා ප්‍රපාතය කියන කඳුවැටි මැද ඌව බේසින් එක ද්‍රෝණිය තුන් පැත්තකින් වට වෙලා. මේ ගඟ ඇවිල්ලා වැටෙන සුදුසු තැන්වල ඒ ජලය ජලාශයකට එක් කරගන්න පුළුවන්.

අනෙක් පැත්තෙන් කෑගල්ල හරහා ගලන මාඔය බඳිනවා. එහේ උතුරට යන මට්ටම පාතයි නේ. එතකොට වතුර බස්සන්න පුළුවනි. එහෙම දොළොස්බාගේ කඳුවැටි හරහා දැදුරු ඔය හරහා වතුර පාර කෙළින්ම උතුරට ගෙනයන්න පුළුවනි. එතකොට ඒ පැත්තේ ප්‍රශ්නෙත් විසඳෙනවා; මේ පැත්තේ ප්‍රශ්නෙත් විසඳෙනවා. හීන්ගඟ, කළුගඟ, සුදුගඟ වගේ ගංගා ඔස්සේ අඹන් ගඟට වතුර ගත්තොත් වව්නියාව දක්වා ගේන්න පුළුවනි.

කිසිම හැඟීමක් නැතිව විනාශ කරපු රට ගොඩනඟන්න ලොකු කැප වීමක් කරන්න වෙනවා. නායකයන් කැප වෙලා වැඩ කරනවා නම් මිනිස්සු ඕවර්ටයිම් එපා කියලා ගංගා හතරේ බැමි බඳින්න ඒවි. තරුණයන් එක්ක අපිත් බහිනවා බනිස් ගෙඩියක් කාලා වැඩ කරන්න. නායකයන් පරිත්‍යාගශීලිව වැඩ කරනවා නම්, අපට අවශ්‍ය මිනිස් ශ්‍රමය ඕනෑ තරම් තිබෙනවා. රටක්, ජාතියක් ආර්ථික වශයෙන් මහලු වෙන එක හරි නෑ. ජාතියේ වැඩි කොටස තරුණයන් වීම වැදගත් බව ධනේශ්වර ආර්ථික විද්‍යාවත් පිළිගන්නවා; සමාජවාදි ආර්ථික විද්‍යාවත් පිළිගන්නවා.

රටේ තුනෙන් දෙකක් තියෙන්නේ තවමත් වගා නොකළ බිම්. විද්‍යාවට පුළුවන් මේ තුනෙන් දෙකම සංවර්ධනය කරන්න. විද්‍යාඥයන් අර්කුම්, කාර්කුම් මහා කාන්තාර සංවර්ධනය කරනවා. මම අත්දැකීමෙන් දන්න නිසයි කියන්නේ. සෝවියට් විද්‍යාඥයන් සර්ඩේරියා, අමුඩේරියා කාන්තාරවල කපු වවනවා. අපේ රටේ කාන්තාර නෑ. අපට මොනවද වගා කරන්න බැරි?

vhjt758

හම්බන්තොට, මොනරාගල මිනිස්සු වැඩි දෙනෙක් කරන්නේ හේන් කොටන එක. හේන් කෙටීම ස්ථිර රස්සාවක් නොවෙයි. හේන්වල මිරිස් වගා කරනවා. කොළඹ මහත්වරු මිරිස් රාත්තල රුපියල් 1.50ට සත .75ට ගන්නවා. ඒත් තිස්සමහාරාම පොළේ මුදලාලිලා මිරිස් ගන්නේ සත .15ට. සමහර දවස්වල මම දැකලා තියෙනවා මිනිස්සු තිස්සමහාරාම මාර්කට් එකේ මිරිස් ගෝණි දාලා යනවා. මොකද: මිරිස් කඩන්න ගිය ගානවත් හම්බ නොවෙන නිසා. මුදලාලිලා එකිනෙකා කතා කරගෙන, උදේට මිරිස් රාත්තල සත පහළොවයි; හවස් වෙද්දි සත දහයයි. වෙළෙඳ ඒකාධිකාරයක් තියෙන්නේ.

ධනය එක පිරිසක් අතේ කේන්ද්‍රගත වෙනවා. වැඩ කරන මිනිහා ඊළඟට උනන්දු නෑ වැඩ කරන්න. ඒ මිනිස්සු පරම්පරා ගානක් වහල්ලු හැටියට ජීවත් වෙන්නේ. ඇත්ත වශයෙන් ජාතික නිෂ්පාදනයට දායක වෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ කාලකන්නි තත්ත්වය නැති කරන්න ඕනෑ. ඒ මිනිස්සුන්ට අනාගතයක් දෙන්න ඕනෑ.

(silumina)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තේ, කෝපි වගාවට එළි කළ භූමියේ වනාන්තර වගා කරන්න | රෝහණ විජේවීර එදා කීවේ ඇයි ? | The Leader