The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දුඹුරු සීනි කඩෙන් එළියට විත් කිතුලට නඟිනු මැනවි හඳුන්නෙත්ති ඇමතිතුමන්ට ඇරයුමක් | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

December 16, 2025 • 6:40 AM

දුඹුරු සීනි කඩෙන් එළියට විත් කිතුලට නඟිනු මැනවි හඳුන්නෙත්ති ඇමතිතුමන්ට ඇරයුමක් | සුනිල් කන්නන්ගර 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය බෙහෙවින්ම ආකර්ෂණීය පුවතකි.
  • මේ ශාකය සමකය ආසන්න බොහෝ රටවල දකින්නට ලැබුණ ද ඇතැම් විද්වතුන් එහි නිජබිම ලෙස සලකන්නේ ශ්‍රී ලංකාවයි.
  • කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා සංස්කෘතිය කෙරෙහි බෙහෙවින් සමීප සබඳතා සහිත ශාකයක් ලෙස කිතුල් ශාකය සැලකිය හැකි ය.
  • (උසස් පෙළ) කරන්නට 1975 පන්නිපිටියට එද්දී තාත්තා මට රුපියල් 2000ක් දුන්නේ, කොළඹට ගිය පසු මාමාට එය දී මගේ වියහියදම්වලට අවශ්‍ය විටක ඉල්ලා ගන්නා ලෙසට උපදෙස් දෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය බෙහෙවින්ම ආකර්ෂණීය පුවතකි. මා දන්නා හැටියට ලෝකයට කිතුල් මල් මැදීම හඳුන්වා දුන්නේ ශ්‍රී ලාංකීය ගැමියන් ය.

කිතුල් ශාකය යනු තාල වර්ගයට අයත් ශාකයකි. මේ ශාකය සමකය ආසන්න බොහෝ රටවල දකින්නට ලැබුණ ද ඇතැම් විද්වතුන් එහි නිජබිම ලෙස සලකන්නේ ශ්‍රී ලංකාවයි. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා සංස්කෘතිය කෙරෙහි බෙහෙවින් සමීප සබඳතා සහිත ශාකයක් ලෙස කිතුල් ශාකය සැලකිය හැකි ය.

 

image 4ea7e2951b

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ නැගෙනහිර කෙළවරේ, සිංහරාජ මහා වනාන්තරයට පරිවාර රූණකන්ද රක්ෂිත වනාන්තරයට යාබද ගැමි ගෙදරක ඉපදුණු මට කිතුල් කුඩා කල සිටම හුරු ය. අපේ නිවස පිහිටි වත්තේ කිතුල් ගස් විස්සක් තිහක් පමණ විය. අපේ පරණ වත්තේ ද තැන තැන කොස්, දෙල්, පොල්, පුවක් ගස් මැද කිතුල් ගස් ද හත අටක්ම විය. අපේ ආතා රූණකන්ද මහා වනාන්තරය මැද්දේ කොළඹ කන්දේ කුඩා පැලක නතර වී, අවට වනාන්තරයේ බහුලව තිබුණු කිතුල් ගස් මැද හකුරු පැණි හැඳි ගෑවේය. සති දෙකකට වරක් පැණි හකුරු කදක් ගෙන ගමට එන ආතා, ඒවා ගෙදරදීම විකුණා උයන්න පිහින්න අවශ්‍ය අඩුම කුඩුම අරගෙන යළිත් දෙසතියකට කොළඹ කන්දට ගොඩවෙයි. ආතා හකුරු පැණි කදත් අරගෙන ආ දිනට හකුරු ගුලි පොට්ටනියක් අපට නොවැරදීම ලැබේ. මේ හකුරු ගුලි පොට්ටනිය අස්සේ කොස් කොළ ගොට්ටේ වක්කළ කේතුකාකාර හකුරු කැට කෙලින්ම පොඩිවුන් වූ අපේ භුක්තියට ආතා සැකසූ ඒවා ය.

99a55ddf297fe1c0e5cd25b32402e97a XL

 

ආතා හකුරු කද ගෙන එන දිනය කලින්ම දන්නා ගමේ වෙළඳාම කළ උදවිය ගෙදරටම ඇවිත් ගෙඩි රුපියල් දී හකුරු මිලට ගනිති. නමුත් පැණි විකුණන්නට ආතාට එතරම් හදිසියක් නැත. ලොකු මුට්ටිවල එකතු කරන පැණි මසකට පමණ වරක් ‘තුන්හුලස්’ කොළපත් ගොටුවලට වක්කර, කට බැඳ දුම්මැස්සේ එල්ලා තබයි. තුන්හුලස් පැණි මුලේ කටත් මුලු දෙකත් බඳින්නේ කිතුල් පිත්තෙන් ඇද සකස් කරගන්නා “තත් කෙඳි” වලිනි. තත් කෙන්ද හීන් කම්බියක් වාගේ ය. දුම්මැස්සේ එල්ලෙමින් ගිනි රස්නයට වේලෙන පැණි මුල්වල ඉතිරි ජල කොටස් කොළපත් ගොටුව හරහා වාෂ්ප වී සතියක් හමාරක් යන විට රන්වන් පැහැති සූකිරි කුට්ටි බඳු “පැණි හකුරු” සෑදේ.

පැණි මුල් විකුණන්නේ මල් අවසන් වූ පසුව ය. කත් ලීය කර තබාගෙන පැණි ගෙනියන්නට එන වෙළෙන්දෝ, ඉනේ ගසාගෙන එන තරාදියෙන් කිරා බලා රාත්තල් ගණනට සල්ලි දී, පැණි මුල් ඈඳා දෙගොඩක් සකසා කත් ලීයේ දෙපැත්තේ එල්ලා ගෙන අඩිපාර දිගේ පල්ලම් බහිති. ඒ, ඉනේ පටියේ සාක්කුවල තිබුණු දහයේ පහේ කොළ පැණිවලට හිලව්වට ආතාට දීමෙන් පසුව ය. ආතා පැණි විකුණන දාට අපටත් පැණි මුලක් දෙකක් දෙන්නේ කිරි කෑමට ය. අපේ ආතාලාගෙන් පසු පරම්පරාවේ කිතුල් මැදීම අපේ මද්දුම මාමා කළේ කරවිටිකන්දේ ය.

 

Palm wine tapping
අපේ වත්තේ කිතුල් ගස් පූදින්නට පටන් ගත්තේ වාසනාවන්ත කාලයක ය. ඒ 1970 – 1975 වකවානුවයි. එකල සීනි බෙහෙවින් හිඟ විය. සෑම ගෙදරකටම සලාක ක්‍රමයට සමුපකාරයෙන් දුන් සීනි ටික හැරුණු විට වෙනත් කඩවල සීනි තිබුණේ නැත. ඔය කාලයේ කිතුල් මල් වත්තේ හැදීම යනු වාසනාවට ලැබුණු අවස්ථාවකි. අපේ තාත්තා, පොඩි මාමා හා කළු අයියා වත්තේ තිබුණු කිතුල් ගස් කීපයක්ම මැද්දෝ ය. එක් විශේෂ ගසක හැරෙන්නට අනික් ගස් සියල්ල තෙල්දිය සඳහා මැද්ද නිසා හකුරුවලින් ගෙදර පොහොසත් විය. ඒ කාලේ හකුරු මුලක මිල රුපියල් පහකි. රුපියල් පහට හකුරු ගන්නටත් හැඳි ගාන තුරු බලා ඉන්නට ඕනෑ ය. හකුරු වලට ඒ තරම් ඉල්ලුමක් තිබුණි. මම අ.පො.ස. (උසස් පෙළ) කරන්නට 1975 පන්නිපිටියට එද්දී තාත්තා මට රුපියල් 2000ක් දුන්නේ, කොළඹට ගිය පසු මාමාට එය දී මගේ වියහියදම්වලට අවශ්‍ය විටක ඉල්ලා ගන්නා ලෙසට උපදෙස් දෙමිනි. මාමාට මේ බව ගෙදරට යනතුරු නොකියන ලෙස කිව්වේ, තාත්තාගෙන් සල්ලි ගැනීම මාමා ප්‍රතික්ෂේප කරන බව හොඳින් දන්නා නිසා ය. ඒ සල්ලි දුන්නේ හකුරු විකුණා ලබාගත් මුදල් යහමින් තාත්තා ළඟ තිබුණු නිසා ය. ඔය කාලයේ මගේ මාසික පාසල් බස් වියදම රුපියල් 3.80කි.

රා සඳහා මන්ඩි මුට්ටිය එල්ලූ විශේෂ ගසෙන් එක් වේලකට බෝතල් දෙක හමාරකට තුනකට වඩා ආවේ නැත. හැබැයි ඒ යුෂ පැසුණු පසු සාමාන්‍ය කිතුලක රා වලට වඩා බොහෝ සැර ය. අපේ තාත්තා පස්පවෙන් වැළකුණු කෙනෙකු නිසා කොයි රා ගැනවත් උනන්දු වූයේ නැත. ඒත් ඔය ගසක මලක් මැද්දොත් ග්‍රාම සේවක රාලහාමිට රා වීදුරුවක් දෙන්නට තාත්තාට අවශ්‍ය විය. එය සූදානම් කිරීම කළු අයියාට හෝ පොඩි මාමාට පැවරෙයි. තාත්තා රාලහාමිට ආරාධනා කරන්නේ ඉස්තරම් ගසක “බඩු” ඇති නිසා බව රාලහාමි ද දනී. රා වීදුරු දෙකක් බොන රාලහාමි “වැඩක් නැහැ බං, අමු කොස්” යැයි කියා කෙළ ගසන්නේ රා හොඳ යැයි කීම මල් මදින්නන්ගේ කේන්තිය ඇවිස්සෙන කරුණක් බව දන්නා නිසා ය.

image 943a6f865f
කිතුල් රා බීමේදී එබඳු අපූරු චාරිත්‍ර අනුගමනය කළ යුතුය. රා බොන්නේ පොල්කට්ටේ ය; රාලහාමි වැනි කෙනෙකු වීදුරුවෙන් බිව්වාට ගැටලුවක් නැත. වීදුරුවෙන් බොනවා නම් එය ලොකු වීදුරුවක් විය යුතු ය. රා පොල්කට්ට හෝ වීදුරුව පුරවා එක හුස්මට බීම කළ යුතු ය. අවසානයේ පොඩ්ඩක් පොල්කට්ටේ හෝ වීදුරුවේ ඉතිරි කර, ඒ ටික අවසාන කටට ගත් රා උගුරත් සමගම ඉවතට දැමීම අනිවාර්ය ය. මේ චාරිත්‍ර උල්ලංඝනය කළොත් ඒ අයට යළිත් කිසි දිනක රා දෙන්නේ නැත. පැණි හකුරු අරබයා ද යම් යම් චාරිත්‍ර තිබේ. ඇතැම් ගම්වල මල අවසන් වන තුරු ඒ මලේ යුෂයෙන් තැනූ හකුරු හෝ පැණි ඉඳුල් කරන්නේ නැත.

කිතුල් මල යුෂ ලබා ගැනීමට සකසා ගැනීම සංකීර්ණ ක්‍රියාවලියකි. එය පොල් මල හෝ තල් මල මෙන් තැලීමෙන් පමණක් කළ හැක්කක් නොවේ. කිතුල් මලෙන් යුෂ ලබා ගැනීමට මල පිපීමට පෙර කොළපු ඉවත් කර මල පදම් කළ යුතු ය. පදම් කිරීම යනු මලේ වර්ධනය තාවකාලිකව නතර කර, මල මේරීම නතර කර මල ඉදවා, එනම් මෘදු තත්ත්වයේ තබා ගැනීමයි. ඒ සඳහා තමා විසින්ම සකස් කර ගන්නා ඖෂධ වර්ග මලේ දණ්ඩේ හෝ ඉති ආරම්භ වන ස්ථානයේ තැන්පත් කළ යුතු ය. මේ ඖෂධවලට යොදාගන්නා පැළෑටි වර්ග ප්‍රදේශ අනුව වෙනස් ය, විවිධ ය. මාතර ප්‍රදේශයේ යොදා ගන්නා බෙහෙත්වලට වඩා අපේ ගම් ප්‍රදේශයේ යොදා ගන්නා බෙහෙත් වෙනස් ය. ඊටත් වඩා වෙනස්ම බෙහෙත් සබරගමුවේ භාවිතා කරති. බදුල්ල, කොත්මලේ හා මහනුවර ප්‍රදේශවල තවත් වෙනස් ය.

XLt2xZysSW1FOKby 2

 

වර්තමානයේ ජාතික තාක්ෂණික ආයතනය කිතුල් මල් පදම් කිරීම සඳහා ‘කැස්පර්’ (Casper) නම් රසායනික ඖෂධයක් නිපදවා ඇත. සාම්ප්‍රදායික ගැමියෝ අදටත් වඩා කැමති කැස්පර්වලට නොව තම හුරුපුරුදු ගමේ බෙහෙතට ය. “රට බෙහෙත් දාලා පදම් කරන මලේ රා බිව්වොත් මැරෙනවා වගේ ඔළුවේ කැක්කුමක් එනවා” කියා මට කිව්වේ මම ගමේ ගිය දවසක ඉස්තරම්ම කිතුල් රා බෝතලයක් සමග මා හමුවූ මගේ වැලිකෙළියේ සගයෙකි. ඔහු නම් දැරූ කිතුල් මල් මදින්නෙකි. මගේ උගත් මොළය ඒ කතාවට එරෙහිව තර්ක දෙද්දී මම නිහඬ වූයේ කිතුල් මල, එහි යුෂ හා එය පදම් කිරීම ගැන ඔහුගේ අත්දැකීම් ඉදිරියේ මම නිකම්ම නිකං පොඩි එකෙක් පමණක් වූ නිසා ය.

කිතුල් කර්මාන්තය ගැන මට කුඩා කල පටන් තිබූ අවබෝධය රාජකාරියට භාවිතා කරන්නට ඉඩක් ලැබුණේ මා රත්නපුර දිසාපතිවරයාව සිටියදීය. එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමකට පැමිණෙන විට, විවිධ අංශවලින් සංවර්ධනයේ තත්ත්වය පිළිබඳව ආරම්භක ඉදිරිපත් කිරීම මා හට පැවරී තිබුණි. කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත, මාර්ග, ජල සම්පාදනය, විදුලිබල කර්මාන්ත ආදී ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක තොරතුරු ඒ ඒ කාර්යාලවලින් ලබාගෙන දිස්ත්‍රික් සැලසුම් අංශයෙන් සකස් කරන ඉදිරිපත් කිරීම සඳහා මම ‘ග්‍රාමීය කර්මාන්ත’ නමින් කොටසක් එක් කළෙමි. ගම්වැසියන්ගේ දෛනික ආදායම ඉහළ නැංවීමටත්, රටේ විදේශ විනිමය යම් ප්‍රමාණයක ඉතිරියක් ඇති කිරීමටත්, අපනයන වෙළඳපොළක් දක්වා වර්ධනය කළ හැකි ග්‍රාමීය කර්මාන්තයක් ලෙස කිතුල් කර්මාන්තය දියුණු කළ හැකි බවට වූ යෝජනාවක් ඊට ඇතුළත් කිරීමට සිතුවේ රත්නපුරේ චිරප්‍රසිද්ධ කිතුල් කර්මාන්තය යොදාගෙන ය.

 

9PlZw5vaBCrCpmI6 Cover

මේ යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කරවීමට නම් සුවිශේෂී සාධාරණීකරණයක් ඊට ලබාදිය යුතු බව මට සිතුණි. ඒ සඳහා මම සීනි කර්මාන්තය පිළිබඳව මගේ ඇති දැනුම යොදා උක් සීනි නිපදවීම හා කිතුල් පැණි හකුරු නිපදවීම සැසඳීමට ලක් කළෙමි. මා අම්පාර දිසාපතිවරයාව සිටියදී හිඟුරාන සීනි කම්හල භාර ගල්ඔය වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල සාමාජිකයෙක්ව සිටියෙමි. එම වකවානුවේ වෙනම සභාපතිවරයෙකු ඒ සමාගමේ නොවූ නිසා ඒ කාලය පුරාම සභාපති ලෙස කටයුතු කළේද මම ය. එම සමාගම මගින් මා ඉන්දියාවේ සීනි කර්මාන්තය පිළිබඳව අධ්‍යයන චාරිකා දෙකක නියැලී ලබාගත් අත්දැකීම් ද මේ දැනුමට එක්ව තිබුණි. ඒ අනුව උක් හෙක්ටයාර එකක් වගා කර ලබාගන්නා අස්වැන්නෙන් නිපදවිය හැකි සීනි ප්‍රමාණය හා එතනෝල් ප්‍රමාණය ගණනය කර බැලුවෙමි. ඒ අනුව පෙනී ගියේ සීනි කිලෝග්‍රෑම් 4800ක් හා එතනෝල් ලීටර් 720ක් පමණ නිපදවිය හැකි බවයි. එවක සීනි මිල තිබුණේ රුපියල් 100කට ය; එතනෝල් මිල රුපියල් 300 කි. ඒ අනුව උක් හෙක්ටයාරයක් වැවීමෙන් ලබාගත හැකි උපරිම ආදායම රුපියල් ලක්ෂ හතක් පමණ විය. එම සීනි ප්‍රමාණයට සමාන හකුරු ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ කිතුල් ගස් 16ක් මැදීම බවත්, උක් හෙක්ටයාරයක් වගා කර මාස දාහතරකින් ලබා ගන්නා ප්‍රතිඵලය මාස තුනකදී ලබා ගැනීමට කිතුල් ගස් 16ක් මැදීමෙන් හැකි බවත් ඒ ගණන් බැලීමේදී හෙළි විය. උක් වගාවෙන් සීනි නිපදවීමට හෙක්ටයාරයකට දළ වශයෙන් ශ්‍රමිකයින් 25ක් පමණ සම්බන්ධ විය යුතු අතර, ඒ ප්‍රමාණයට පැණි හකුරු නිපදවීමේදී අවශ්‍ය දළ වශයෙන් ශ්‍රමිකයන් ගණන හයකි.

kithul 21

 

මේ සියලු තොරතුරු ඇතුළත් කර රත්නපුර දිස්ත්‍රික්කයේ ගෙවතු ආශ්‍රිතව ඇති ලක්ෂ පහක් පමණ නාඹර කිතුල් ගස් ප්‍රමාණයෙන්, වසර පහකදී ගස් ලක්ෂයක් නිෂ්පාදනයට එක් කිරීමේ සැලැස්මක් ද ක්‍රියාත්මක කර, වසර පහකදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්ෂිකව කිතුල් පැණි හකුරු ටොන් තිස් දහසක නිෂ්පාදනයක් ලබා ගත හැකි තත්ත්වයක් ඇති කළ හැකි බවට වූ තොරතුරු ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි. අනෙක් අතට උක් වගා කරන ඉඩමේ ඒ අතරතුර වෙනත් බෝග වගා කිරීමට ඇති ඉඩ අවම ය. කිතුල් ගස් ඇති ඉඩමේ වෙනත් ඕනෑම බෝගයක් වැවීමට කිසිදු බාධාවක් නැත. තේ වගාව සහිත ඉඩමේ මායිම් වැට දිගේ අඩි විසි පහෙන් විසි පහට කිතුල් වැව්වත්, අක්කරයක ඉඩමේ ගස් හතළිහක් පමණ සිටුවිය හැකි ය. මේ සියලු තොරතුරු ආකර්ෂණීය ලෙස සකස් කර ඉදිරිපත් කිරීමේදී කිතුල් කර්මාන්තය නැංවීමේ යෝජනා කීපයක් ද ඉදිරිපත් කළෙමි.

කිතුල් කර්මාන්තය වෙනුවෙන් විශාල දිරියකින් කටයුතු කරන ඇහැලියගොඩ ‘ජනතා ජීවන සංවර්ධන පදනමේ’ ප්‍රියන්ත කුමාරවත් මේ රැස්වීමට ගෙන්වා, පොදුජන නියෝජිතයින් අතර අසුන් ගන්වා සිටියේ ජනතා ප්‍රශ්න අවස්ථාවේ ඔහුගේ යෝජනා ඉදිරිපත් කරවා මගේ යෝජනාව සමග සමපාත කරවීමට ය. මගේ ඉදිරිපත් කිරීමේ ආකර්ෂණීයම කොටස බවට එදා පත්වුණේ කිතුල් සංවර්ධනය පිළිබඳ කොටසයි. එය බරසාර ව්‍යාපෘති යෝජනාවක් නොවූවාට, ග්‍රාමීය ආර්ථිකයට හා දේශීය ආර්ථිකයට මහත් බලපෑමක් ඇති කරන්නක් බව හොඳින්ම තේරුම් ගත්තේ මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් පී. බී. ජයසුන්දර මහතා ය. 

 

557567799 25395560990050766 2757460882366292420 n
ඇහැලියගොඩ ප්‍රියන්ත, ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ කිතුල් කර්මාන්ත පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් රත්නපුරේ අරඹන ලෙසට ය. ජයසුන්දර මහතා කොළඹ ගිය සැනින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට උපදෙස් දුන්නේ මා සමග සම්බන්ධ වී කිතුල් කර්මාන්තය සංවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙසට ය. ප්‍රියන්ත කුමාරගේ යෝජනාව ඇසුණු ඒ රැස්වීමේ සිටි කිතුල් විෂය භාර අමාත්‍යංශයේ ‘ලොක්කියක්’, රැස්වීම අවසාන වනවාත් සමගම ඔහුගේ ඇඟට කඩා පැන, තමාගෙන් නොඅසා ජනාධිපතිතුමාට කිතුල් විෂයට අදාළ යෝජනාවක් කිරීම ගැන ඔහුට බැණ වැදී තිබුණි. ප්‍රියන්ත එය මා හා පැවසූ විට මට ද වෙසමුණියා ආවේශ විය. වහා රැස්වීමේ අයට දිවා ආහාරය සැපයූ භෝජන ශාලාවට ගිය මම ඒ උත්තමාවිය සෙව්වේ ඇයට රාජකාරිය කියාදීමට ය. මගේ වාසනාවට එතුමිය රැස්වීම නිම වූ විගස කොළඹට පිටත්වී තිබුණි.

ප්‍රියන්තගේ සහායෙන් අපට කිතුල් පර්යේෂණ හා පුහුණු ආයතනයට සුදුසු ඉඩමක් ඇහැලියගොඩ කරඳන ප්‍රදේශයෙන් සොයා ගත හැකි විය. ඒ අතර මම කිතුල් මල් මදින්නන්ගේ ප්‍රශ්න විසඳීමේ සාකච්ඡා සභා කීපයක්ම බලංගොඩ, කරඳන, කුරුවිට හා කලවානේ පොතුපිටියේදී කළෙමි. ඒ සාකච්ඡාවලට සුරාබදු නිලධාරීන් හා පොලිසියේ ස්ථානාධිපතිවරයා කැඳවා, කිතුල් මැදීම සඳහා දැන් අවසර පත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බව ඒ අය ලවාම කියවූයෙමි. රා විකිණීම සඳහා බලපත්‍ර අවශ්‍ය බැවින්, ඒ සඳහා කිතුල් මැදීම කර අමාරුවේ නොවැටෙන ලෙස ද ඉල්ලීමි. ඒ සාකච්ඡා බොහෝ සාර්ථක විය.

557593958 25395561126717419 5882600237986814116 n

කිතුල් කර්මාන්තයේ සාම්ප්‍රදායික දැනුම ලංකාවට ආවේණික බව දැන සිටි මම, ඒ ආශ්‍රිත පාරම්පරික ඥානය ලේඛනගත කරවීමට මගේ මිත්‍ර ගුණසේකර ගුණසෝම ජනශ්‍රැතිවේදියාගෙන් ඉල්ලා සිටියෙමි. ඒ වන විටත් ගුණසේකර ගුණසෝමයන්, මගේම අදහසකට ඇරඹූ ‘සබරගමු ජනශ්‍රැති ලේඛනගත කිරීමේ ව්‍යාපෘතියේ’ නිරත වීමට හැකිවන ලෙස සබරගමු පළාත් සභාවට අනුයුක්ත කරගෙන, පූර්ණ කාලීනව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මුදා හැරීමට මගේ ඉල්ලීම පරිදි සබරගමු ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් ක්‍රියා කර තිබුණි. කිතුල් මැදීමේ පාරම්පරික ඥානය මම හිතුවාටත් වඩා හොඳට ගුණසෝමයන් ලේඛනගත කළේ, එහි විද්‍යාත්මක පැත්ත ද ඔහුගේ බාල දියණිය වන රුහුණු සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ උපාධිධාරී උමයංගනා පූජනී ගුණසේකර සම්බන්ධ කරගෙන විග්‍රහ කරමිනි. මේ පිය-දියණි දෙදෙනාගේ “කිතුල හා පැණි හකුරු” පර්යේෂණ ග්‍රන්ථය, කිතුල් කර්මාන්තය පිළිබඳව මේ දක්වා ලියවුණු විස්තරාත්මක එකම ග්‍රන්ථය වෙයි.

ජයසුන්දර මහතා මහත්සේ උනන්දුව දැක්වූ ජාතික කිතුල් පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම නැවතුණේ 2015 ජනාධිපතිවරණයෙන් පසු ඔහුටත් ගෙදර යාමට සිදු වූ නිසා ය. ඊට පසුව කිතුල් සංවර්ධන අධිකාරියක් ද පිහිටෙව්වේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ කිතුල් පිළිබඳ ඇමතිකමක් ලැබුණේ පොල් බහුල පැත්තේ අයෙකුට ය. ‘ගම සමග පිළිසඳරේ’ යෙදෙද්දී බලංගොඩදී කිතුල් කාර්මිකයෙකු මුහුණ දෙන ප්‍රශ්නය අමුවෙන්ම කිව්වේ අහිංසක කිතුල් මදින්නෙකි. කිතුල මැද ගෙනා රා බෝතල් ටිකෙන් බාගයක් විකුණූ කෙනාටත් තමාටත් එකම දඩය ගැසූ බව ඔහු රාජ්‍ය නායකයාට කියා සිටියේ අහිංසක ලෙස ය. කිතුල මදින්නත් රා බාන්නත් තහනම් නැත්නම්, රා විකුණුවාය කියා දඩ ගැසුවේ ඇයිදැයි ඔහුට තේරෙන භාෂාවෙන් ඇසුවේ එහෙම ය. එහෙත් කිතුල් ගසක්වත් දැක නැති කිතුල් ඇමතිට එය තේරුණේ නැත. ඇමති කිතුල් අධිකාරියේ සභාපති කළේ ද කිතුල් ගසක්වත් නැති පුත්තලම පැත්තේ අයෙකි. ඔවුන් හිතුවේ කිතුල් කර්මාන්තය දියුණු කළ හැක්කේ මල්පිහියේ සිට මලට එල්ලෙන ලබුකැටය දක්වා සියල්ල බෙදා දීම මගින් කියා ය.

 

sunil handun brown sugar
සියල්ලට පෙර පිරිසිදු කිතුල් නිෂ්පාදනවල ප්‍රමිතිය සකසා ප්‍රකාශයට පත් කර, කිතුල් නිෂ්පාදන වෙළඳාමට අදාළව නියමයන් පැනවීම කළ යුතු ය. ප්‍රමිතිගත කිතුල් නිෂ්පාදන මිලට ගත හැකි ස්ථාන සුලබ කළ යුතුය. ව්‍යාජ කිතුල් නිෂ්පාදන වෙළඳපොළට සපයන හොර තක්කඩින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.

ඒ අනුව මට හිතෙන හැටියට මේ විෂය භාර ඇමති අපේ සුනිල් හඳුන්නෙත්ති තුමාට තිබුණේ දුඹුරු සීනි කඩේ දාන්නට නොව, ප්‍රමිතිගත කිතුල් හකුරු කඩ දාන්නට ය. එහෙම වුණා නම් ග්‍රාමීය ආර්ථිකයේ ලොකු පිබිදීමක් සමග දේශීය සාම්ප්‍රදායික කර්මාන්තයක් පුබුදුවාලීමේ ගෞරවය හඳුන්නෙත්ති තුමාට ලබාගත හැකිව තිබුණි. ඒ නිසා කිතුල් කර්මාන්තය ලෝක උරුමයක් වුණු මේ වෙලාවේ වත්, දුඹුරු සීනි කඩෙන් එළියට ඇවිත් කිතුලට නඟින්නැයි සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමාට ඇරයුම් කරමි.


sunil kannangara(සටහන | සුනිල් කන්නන්ගර) 
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...