The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දැන් ප්‍රශ්නය - එළවා දමන්නේ ආණ්ඩුවද? විපක්ෂයද?

T

The Leader Desk

December 16, 2025 • 4:06 PM

දැන් ප්‍රශ්නය - එළවා දමන්නේ ආණ්ඩුවද? විපක්ෂයද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔක්තෝම්බර් 20 වන දින පැවති පළමු ජනාධිපතිවරණයේ සිට එතෙක් හැම මැතිවරණයකින්ම ජනාධිපතිවරුන් පත් වූයේ සියයට 50 ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමෙනි.
  • පසුගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස පත් වූ අනුර කුමාරට තිබූයේ සියයට 42.3 ක් පමණි.
  • ඔහු ජනාධිපති ලෙස පත් වූයේ අනුන්ගෙන් ලබා ගනු ලැබූ දෙවන මනාපය එකතු කර ගැනීමෙනි.
  • දෙවැනියා ලෙස ඡන්ද ලබා ගත් සජිත් ප්‍රේමදාසට වැඩියෙන් ඡන්ද ලක්ෂ 12 ක් පෙන්වීමෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

බහුතරයක් නොමැතිවය. 1982 ඔක්තෝම්බර් 20 වන දින පැවති පළමු ජනාධිපතිවරණයේ සිට එතෙක් හැම මැතිවරණයකින්ම ජනාධිපතිවරුන් පත් වූයේ සියයට 50 ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමෙනි. පසුගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස පත් වූ අනුර කුමාරට තිබූයේ සියයට 42.3 ක් පමණි. ඔහු ජනාධිපති ලෙස පත් වූයේ අනුන්ගෙන් ලබා ගනු ලැබූ දෙවන මනාපය එකතු කර ගැනීමෙනි. දෙවැනියා ලෙස ඡන්ද ලබා ගත් සජිත් ප්‍රේමදාසට වැඩියෙන් ඡන්ද ලක්ෂ 12 ක් පෙන්වීමෙනි. ඔහුගේ සියයට 42.3 ක ඡන්ද ප්‍රතිශතය ගැන දැන් කතාවක් නැත.

එහෙත් ජනාධිපති පුටුවේ වාඩි වූ පසු, විධායක ජනාධිපති ධූරයේ බලය තීන්දු වන්නේ, ලබා ගත් ඡන්ද ප්‍රතිශතය අනුව නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ය. එබැවින් ජවිපෙ/මාලිමා “රැල්ල” හැදෙන්නේ ඊළඟට නොවැම්බරයේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී විධායක බලය ඇතිව ජනාධිපති ලෙස අනුර කුමාර මෙහෙයවූ ඡන්ද ව්‍යාපාරයෙනි.

මැතිවරණ ප්‍රතිපල එළෙස සැසඳීමට අවශ්‍ය වූයේ, ජවිපෙ/මාලිමාව සතුව ඇත්තේ ආණ්ඩු බලය රිසි සේ භාවිත කිරීමේ ජන වරමක් නොවේ යැයි කීමටය. එවැනි බලයක් ගැන ජන සමාජයේ ඇති කතාව, මිථ්‍යා මතයකැයි කීමට ය. එවැනි අනිසි බලයක් වෙනුවෙන් ජන සමාජය අවනත කරගත හැකි පිළිවෙත් දෙකක් ඇත. එකක් ජවිපෙ/මාලිමා පාලනයට අලුත් ජන වරමක් ලබා ගැනීමය. එය එක්තරා ආකාරයකට, තමන්ට බහුතර ඡන්දයක් ලබා ගත හැකි යැයි විශ්වාසයක් ඇතිනම් හෝ ඒ වෙනුවෙන් වෙනත් ක්‍රම තිබේ නම්, ලබා ගත හැක්කකි. 1982 දෙසැම්බරයේදී ජයවර්ධන ජනාධිපති ජනමත විචාරණයක් පැවැත්වීමෙන් ලබා ගත්තේ එවැනි ආණ්ඩු බලයකි. ජවිපෙ/මාලිමා නායකත්වයට එවැනි ජනමතයක් ලෙස අවශ්‍ය නම් පළාත් සභා මැතිවරණය උරගා බැලිය හැක. අනෙක් ක්‍රමය වන්නේ දැනටත් ජවිපෙ නායකත්වය ඔවුන්ගේ ග්‍රාමීය ක්‍රියාකාරීන්ට රාජ්‍ය බලය ලබා දීමට කෙරෙන අනීතික උත්සාහය වේ.

cghtryr5
ආණ්ඩුවේ එවැනි අධිකාරවාදී දේශපාලනයකට ඉඩ ඇත්තේ, විපක්ෂය ජන සමාජයෙන් ඉවත්වන ප්‍රමාණයට ය. අද ඇත්තේ එවැනි විපක්ෂ දේශපාලනයකි. ආණ්ඩු පක්ෂයේ අධිකාරවාදී උත්සාහයට ඉඩ දෙමින් ප්‍රධාන විපක්ෂය වන සජිත් ප්‍රේමදාසගේ ස.ජ.බ, තම දේශපාලනය පාර්ලිමේන්තුවෙහි කොටුකර තබා ගැනීම නිසා, පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂ දේශපාලනයක් නැත.


ඉන් අතරමංව ඇත්තේ, සමාජයේ දේශපාලනිකව අවදිව ඉන්නා පිරිස් ය. ඔවුන් ජවිපෙ/මාලිමා මැතිවරණ රැල්ලෙහි අනුර කුමාර වෙනුවෙන් බහුතර බලයක් ඇති ආණ්ඩුවක් හැදීමට ජනතාවට සහතික ලියා දුන් පිරිස් ය. ඔවුන්ගේ සහතික අවලංගු වන අයුරු ජවිපෙ/මාලිමා ආණ්ඩුවම ක්‍රියා කිරීම දරා ගත නොහැකිව ඔවුහු දැන් ජනාධිපති අනුර කුමාරටත් ආණ්ඩුවටත් ආඩපලි කියති. දොස් කියති. සජිත්ගේ නායකත්වය පිළිගැනීමටද ඔවුන් සූදානම් නැත. එය සාධාරණ ය. එවැනි පිරිස් දිනා ගැනීමට හැකි ආකර්ශනීය නායකත්වයක් දේශපාලනයක් සජිත්ට ඇත්තේ නැත. සජිත්ගේ නායකත්වයෙන් වන ස.ජ.බ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකු පාර්ලිමේන්තුවෙහි නිතර උස් හඬින් කතා කළද, ඒ කතා ජන සමාජයට ගෙන යාමක් නැත. සජිත් ගේ දේශපාලනය යනු සමාජයේ තෝරාගත් පිරිස් සඳහා සහන බෙදා දීමේ පුණ්‍යාධාර ව්‍යාපෘතියකි. පුණ්‍යාධාර බෙදූ පමණින් ඡන්දය ලැබෙන්නේ නැති බව, ඔහුත් ඔහුගේ උපදේශකයිනුත් තේරුම් නොගන්නකි.

සවිඥාණික සමාජ ස්ථර, තමන්ට ගැලපෙන දේශපාලන නායකත්වයක් තෝරා ගැනීමට නොමැතිව, අතරමංව ඉන්නා අතර, ඩිට්වා සුළි කුණාටුවේ මහ විනාශය හමුවේ, ආණ්ඩුව සහ විපක්ෂය “පශ්චාත් ඩිට්වා ශ්‍රී ලංකාව” සඳහා ඔවුන්ගේ සැළසුම් ගැන කතා නැත. එවගේම කතා නොවන ගැටළුව වන්නේ, මේ මහ විනාශය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හා මග පෙන්වීම් සමග ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන කටයුතු කළ නොහැකිය යන්න ය. ඒ වෙනුවෙන් වාර්ෂික වැය කිරීම් අලුතින් සකස් කරන්නට ජා. මූ. අරමුදලේ කොන්දේසි අතර ඉඩක් නැත. එනිසා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා වෙනත් ආදායම් මාර්ග සෙවිය යුතු වන්නේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ උපදෙස වන්නේ, ජාත්‍යන්තර මූ. අරමුදල සමග ණය ගෙවීම් හා ණය ගැනීම් ගැන නැවත සාකච්ඡා කිරීමය. ඔවුන්ගේ කොන්දේසි අලුත් කර ගැනීම ය. එවැනි අවකාශයක් සඳහා කතා කිරීමට ඉඩ ඇත්තේ ඔවුන්ගේ වාර්තා සමග 2026 ජනවාරියේ ය. එතෙක් අනාථ වූවන් හා විනාශ වූ සියල්ල අවිනිශ්චිතයක් සමග තබා ගෙන සිටිය නොහැක.  

xfhe4636
මේ විනාශයට විසඳුම් ඇත්තේ විදේශ ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමෙහිද නොවේ. මේ විනාශය ඉල්ලා සිටින්නේ කැඩුණු බිඳුණු යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම පමණක්මද නොවේ. මේ විනාශය ඉල්ලා සිටින්නේ ඉදිරියේදී නැවත මෙවැනි අපාදා නොවන්නට, අවදානම් ප්‍රදේශ මග හරින නැවත පදිංචිවීම් සමග පරිසර සංරක්ෂණයක් වෙනුවෙන් යටිතල පහසුකම් අලුතින් සැළසුම් කිරීමකි. එය ජාතික සංවර්ධන සැළසුමක ප්‍රධාන අංගයක් විය යුතුය.


මේ විනාශයේ දැනට ආර්ථික ගණන් හැදීම, අනුමාන වශයෙන් ඩොලර් බිලියන 06 ත් 07 ත් අතර යැයි අත්‍යාවශ්‍ය සේවා කොමිසාර් ජනරාල් කියා තිබිණ. 2004 දෙසැම්බරයේ සුනාමි ව්‍යසනය මෙන් එය තෙගුණයකි. මේ විනාශය ඊට වැඩි වන්නටද ඉඩ ඇත. අනෙක් කාරණාව නම්, විනාශයෙන් අහිමි වූ කෘෂි හා අපනයන නිෂ්පාදන වියදම, අපේ ආර්ථිකය දරා ගන්නේ කෙසේද යන්නයි. ප්‍රධාන වශයෙන් තේ වැවිලිකර දිස්ත්‍රික්කවල විනාශ හේතුවෙන් තේ කර්මාන්තයේ ආදායමෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් අපට ඉදිරි මාස ගණනාවක අහිමි වනු ඇත. පසුගිය අවුරුද්දේ තේ කර්මාන්තයෙන් ලද ආදායම ඩොලර් මිලියන 1,430 කි. මේ ආපදාවෙන් ඉන් තුනෙන් පංගුවක (සියයට 35) ආදායමක් අහිමි වුවහොත් එය ඩොලර් මිලියන 477 කි.

ඒ සමග අපනයන නිෂ්පාදන කර්මාන්තයට ද ඩිට්වා සුළි කුණාටුව සැළකිය යුතු ලෙස බලපා ඇත. ඇඟළුම් ක්ෂේත්‍රයේ නිෂ්පාදකයින්ගේ සම්මේලනයේ උප සභාපතිට අනුව, විශාල ඇඟළුම් කර්මාන්ත 300 ත් 350 ත් අතර සංඛ්‍යාවක් ඇත. අවම වශයෙන් ඉන් කර්මාන්ත ශාලා 15 ක් ආපදාවට පත්ව ඇත. සේවක සේවිකාවන්ගෙන් සියයට 20 ක් පමණ සේවයට වාර්තා කර නැත. ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියෙහි පවතින ඇණවුම් තරගයේදී මේ බිඳ වැටීම්, අපට අවාසිදායක විය හැකි යැයිද මතයක් ඇත.

කෙසේමුත් මේ සුළි කුණාටුවෙන් වූ විනාශය මතු කරන්නාවූ මූලික ප්‍රශ්නය වන්නේ, මින් අප එගොඩ විය යුත්තේ “පූර්ව-ඩිට්වා” තත්ත්වයටද නැතිනම් වඩා දියුණු අලුත් සමාජ තත්ත්වයකටද යන්න ය. පූර්ව-ඩිට්වා තත්ත්වයට යෑම යනු දූෂිත, පිරිහුණු සමාජයක් සමග නුදුරු අනාගතයේ තවත් මෙවැනි විනාශයකට අප ඉඩ තබා ගන්නේ යැයි යන්න ය. නමුත් දියුණු අලුත් සමාජ තත්ත්වයක් සඳහා සැළසුම්කර ගැනීමෙන් අපට දූෂණයෙන් හා පිරුහුමෙන් තොර, වඩා ආරක්ෂිත අනාගතයක් වෙත යා හැකිය. එය පැහැදිලිවම, අවුරුදු 45 ක් පුරා අසාර්ථකවූ අන්ත දූෂිත, පිරිහුණු, සදාචාරයක් විනයක් නොමැති, ජා.මූ. අරමුදල සමග අත්සන් කර ඇති ගිවිසුම අනුව, විවෘත වෙළදපල ආර්ථිකය සමග පැමිණි මේ ගමන, අත් හැරීමකි.

cgh5ty546
එය මේ සමාජයේ විකල්ප, විද්වත් කතිකාවක අවශ්‍යතාව මතු කරන්නකි. එවැනි කතිකාවක් වහා ආරම්භ කළ යුතු සේම, එය ජවිපෙ/මාලිමා නායකයින් හා සජිත්ගේ නායකත්වයෙන් කළ හැක්කක් නොවේ. වෙන කිසිවක් නිසා නොව, ඔවුන් විදේශ ආයෝජන ගෙන්වා ගැනීමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවත් අලුතින් තව ණය ගැනීමේ විවෘත වෙළදපල ආර්ථික ආකෘතියෙන් පිටත කිසිවක් දකින්නේ නැති නිසා ය. ඔවුන් අතර “විකල්ප යෝජනා” ගැන සිතිය හැකි සම්පත්ධාරීන් නොමැති හෙයින්ය. එනිසා යැයි, මේ විනාශය සඳහා සුපුරුදු පරිදි කැඩුණු බිඳුණු යටිතල පහසුකම් පූට්ටුකර, අවතැන් වූවන් නැවත සිටි තැන් වලම පදිංචිකර “ගොඩ යෑමක්” ගැන කෙරෙන ආණ්ඩුවේ කතා වලට ඉඩ නොතැබිය යුතුය.


සමාජ ආර්ථික ගැටළු සඳහා ලොව අලුත් විසදුම් සකස්කර ඇත්තේ ආණ්ඩු හා දේශපාලන පක්ෂ පමණක් නොවේ. ඔවුන්ගේ නොහැකියාවන් අභිබවා යන සමාජ ව්‍යාපාරයන්හි දැනුවත් නායකත්ව විසින් ඒ හිඩැස පිරවූ අවස්ථා ඕනෑ තරම් ඇත. එබැවින් ආණ්ඩුවේ සහ විපක්ෂයේ අනුවණ කම් හා නොහැකියාවට දොස් නගමින් විවේචකයින්, සමාජ ක්‍රියාකාරීන් නතර නොවිය යුතුය. සමාජ කතිකාවකට මුල පිරුම, දැනුවත් සවිඥාණික සමාජ නායකත්වයේද වගකීමකි.

kusal perera(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 දෙසැම්බර් 16 වන දින
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...