The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යහන්ගල කඳු වැටියේ ඛේදවාචකය ගැන කඳුළු සටහනක් | තිලක් සේනාසිංහ

T

The Leader Desk

December 17, 2025 • 6:02 AM

යහන්ගල කඳු වැටියේ ඛේදවාචකය ගැන කඳුළු සටහනක් | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ඉකුත් නොවැම්බර් 27 වන දා සන්ධ්‍යාවේ සිදු වූ බව පැවසූ මෙම පුවත මාධ්‍ය කරුවන් අතින් යම් විකෘතියට පත් වූ බව මගේ මුල්ම විශ්වාසය වූ නිසා ය.
  • යහන්ගල නාය යෑමට පෙර එහෙත්, යහන්ගල කඳුවැටියෙන් අයත් පස් කඳු දෙකක් ඊට බොහෝ දුරකින් පිහිටි නෙළුම්මල ගම්මානය යට කරමින් පවුල් දහතුනක තිස් එක් දෙනෙකු එකට පණ පිටින් මිහිදන් ව ගිය එම පුවත සත්‍යයක් බව වැටහෙත්ම මගේ සර්වාංගයම හිරි වැටී ගිය වගක් දැනුණි.
  • එමෙන්ම ඒ ඛේදවාචකයෙන් මිදී තිබුණේ ඒ ගමේ එකම එක නිවසක් බව ද මට දැන ගත හැකි විය.
  • මධ්‍යම කඳුකරයේ සැඟවුණු පෙදෙසක පිහිටි ගල් පර්වතයක් තුළ රන් දෑකැති දහසකින් යුතු නිධානයක් ඇති බව මට මුල්වරට දැනගන්නට ලැබුණේ මීට වසර විසි පහකට පමණ ඉහතදී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ඉකුත් නොවැම්බර් 27 වන දා සන්ධ්‍යාවේ සිදු වූ බව පැවසූ මෙම පුවත මාධ්‍ය කරුවන් අතින් යම් විකෘතියට පත් වූ බව මගේ මුල්ම විශ්වාසය වූ නිසා ය. මක්නිසාද යත් ගත වූ දශක කිහිපයට සාපේක්ෂව එවැනි “පොට වරද්දා ගැනීම්” මේ වන විට බොහෝ මාධ්‍ය මඟින් නිතර අසන්නට දකින්නට ලැබෙන නිසා ය.

yahngala5යහන්ගල නාය යෑමට පෙර
එහෙත්, යහන්ගල කඳුවැටියෙන් අයත් පස් කඳු දෙකක් ඊට බොහෝ දුරකින් පිහිටි නෙළුම්මල ගම්මානය යට කරමින් පවුල් දහතුනක තිස් එක් දෙනෙකු එකට පණ පිටින් මිහිදන් ව ගිය එම පුවත සත්‍යයක් බව වැටහෙත්ම මගේ සර්වාංගයම හිරි වැටී ගිය වගක් දැනුණි. එමෙන්ම ඒ ඛේදවාචකයෙන් මිදී තිබුණේ ඒ ගමේ එකම එක නිවසක් බව ද මට දැන ගත හැකි විය.

ඉන් මගේ සිත වඩාත් සසල වූයේ මෙම ඛේදවාචකය නිසා ඉමහත් ප්‍රසිද්ධියකට පත් යහන්ගල සම්බන්ධයෙන් මා තුළ ඊට පෙර සිටම යම් “දැන හැඳුනුමක්” තිබූ බැවිනි.

 
මධ්‍යම කඳුකරයේ සැඟවුණු පෙදෙසක පිහිටි ගල් පර්වතයක් තුළ රන් දෑකැති දහසකින් යුතු නිධානයක් ඇති බව මට මුල්වරට දැනගන්නට ලැබුණේ මීට වසර විසි පහකට පමණ ඉහතදී ය. ඒ එවක පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකුව සිටි මගේ සුමිතුරු විභාවි විජය ශ්‍රී වර්ධනයන්ගෙනි.මානව විද්‍යා විෂය පිළිබඳ ගැඹුරු හැදෑරීම් කර තිබූ විභාවි, ඒ තොරතුර මට දැනුම් දීමට විශේෂ හේතුවක් තිබිණි. එනම් මා ඒ සමයේ අප රටේ අතීතයේ ජීවත් වූ ප්‍රභූන් මරණයෙන් පසුව ‘මුත්තා දෙවිවරුන්’ වශයෙන් දේවත්වයට පත්වීම පිළිබඳව නිදහස් අධ්‍යයනයක් කරමින් සිටි බැවිනි.
yahngala1යහන්ගල නාය යෑමට පසු
විභාවි හෙළි කරන ලද තොරතුරට අනුව මිණිපේ ප්‍රදේශයේ ඇති එම ගල් පර්වතය තුළ නිදන්කොට ඇති රන් දෑකැති දහස අතීතයේ එම ප්‍රදේශයේ ජීවත්ව සිට මරණයෙන් පසු ‘යහන්ගල මුත්තා’ නමින් දේවත්වයට පත් ජන ප්‍රධානියෙකුගේ සන්තකයකි. යහන්ගල නම් පර්වතය තුළ ආරක්ෂිතව තැන්පත්කොට ඇති එම රන් දෑකැති දහස කිසිවකුටත් ලබාගත නොහැක.
මගේ මතකය අනුව විභාවිට ඒ විස්මිත තොරතුර පවසා තිබුණේ එවක පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨයේ සේවය කළ තෙන්නකෝන් නම් කනිටු සේවක මහතකු විසිනි.
 
සාමාන්‍යයෙන් මගේ විෂය පථයට අදාළ මෙබඳු තොරතුරක් ලැබුණු විට එය කෙටි සටහන් පොතක කුරුටු ගෑමේ පුරුද්දක් මා සතුව තිබේ. ඒ අවස්ථාවක් ලද පසු ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසුම් කිරීමට ය. එහෙත් කුමක් හෝ හේතුවක් මත ඒ යහන්ගල මුත්තා සතු බව පැවසෙන රන් දෑකැති දහස පිළිබඳව වැඩිදුර විමසා බැලීමට වසරක් හමාරක් යනතුරු මට අවකාශයක් නොලැබුණි.
 
yahngala2යහන්ගල
 
vibawi“දැන්ද උඹට ඕක මතක් වුණේ? ඒ මනුස්සයා පෙන්ෂන් ගිහින් දැන් මාස හයකටත් වැඩියි.” ඊට පසුකලෙක ඒ පිළිබඳව කළ විමසුමක දී තරමක නොසතුටින් යුතුව විභාවි කීය. එහෙත්, ඒ සමඟම ඔහු කියා සිටියේ මා තුළ සැබෑ උනන්දුවක් තිබේ නම් ඒ විශ්‍රාමික කනිටු සේවක මහතාගේ ලිපිනය සහ දුරකතන අංක සොයා දිය හැකි බවකි. එහෙත්, ඒ සමයේ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට තිබූ යම් නොහැකියාවක් මත මම එය තවදුරටත් කල් දැමීමි. නමුදු එම ගවේෂණය සඳහා මට තිබූ සියලු අවස්ථාවන් අහිමි කරමින් එතෙක් පැවති රෝගයක් උත්සන්න වූ විභාවි 2006 වසරේ ඔක්තෝබර් 04 වන දා මෙලොවින් සමුගත්තේ සුහද මිතුරකු ද මට සදහටම අහිමි කරමිනි. ඒ වන විට ඔහු හතළිස් හය වන වියේ පසුවිය.

ranjiකීර්ති දිසානායකනමුදු ඉන් පසු ද නිදන්ගලේ මුත්තා නිදන්ගල තුළ නිදන්කොට ඇතැයි කියන රන් දෑකැති දහසේ රසවත් ප්‍රවෘත්තිය සිතින් අමතක කිරීමට නොහැකි වූ මම ඊට පසු දිනයෙක එවක මිණිපේ සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන් කටයුතු කළ කීර්ති දිසානායක මහතාට දුරකතනයෙන් කතාකොට උපකාරයක් ඉල්ලා සිටියෙමි.
 
“එහෙම නම් මම ඒ පැත්තේ ග්‍රාම නිලධාරී මහත්තයව සම්බන්ධ කරලා දෙන්නම්. ඒත් ඔය නිදන්ගල මුත්තාගේ කතාව මිසක් නිධානයක් ගැන කතාව විශේෂයෙන් ඉස්මතු කරන්න එපා. ඕවා පරණ ජනප්‍රවාද මිසක් කිසිසේත් ඇත්ත කතා නොවීම වෙනම කාරණාවක්. නමුත් ඔහොම නිධානයක් තියෙනවා කියලා ඒ ගම්වල මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා නම් ඔබතුමාට කීයටවත් ඒ තොරතුරු ගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම ඕවා බොහොම පිටිසර වනගත ගම් හින්දා ඔය ගමනේදී ඔබතුමාගේ ආරක්ෂාවට තර්ජනයක් නොවේමයි කියලා කියන්නත් බැහැනේ.” දිසානායක මහතා කීය.
දිසානායක මහතා දුන් හෝඩුවාවට අනුව එම යහන්ගල කඳුවැටියට ආසන්නතම පිහිටි උඩගල දෙබොක්ක සහ පල්ලේගල දෙබොක්ක යන ග්‍රාම නිලධාරී වසම් දෙකේම වැඩ බලනුයේ ආර්.කේ.කහවත්ත ග්‍රාම නිලධාරී මහතා ය.
 
yahngala3
“ඔය යහන්ගල කඳුවැටිය, යහන්ගල මුත්තා ගැන මේ පළාත්වල එක එක කතා තියෙනවා තමයි. නමුත් ඒවා එකතු කරගන්න උඩගල දෙබොක්කට යන එකේ නම් තේරුමක් නෑ කියලයි මම හිතන්නේ. මොකද අද වෙනකොට ඒ ගමේ පවුල් තිස්පහකට වඩා නැහැ. අනික ඒ ගමට මාර්ග පහසුකම් මුකුත් නෑ. මහ කැලේ මැද්දෙන් කිලෝමීටර් ගාණක් පයින් යන්න ඕනේ. අනික මේ දවස්වල මෙහාට ලවක් දෙවක් නැතුව වහිනවා. ඒ මදිවට මේ දවස්වල ඔය අතරමග අලි රංචු කීපයක්ම ඉන්නවා. ඒ හින්දා පස්සේ කෝල් එකක් දෙන්න. මම පුළුවන් උදව්වක් කරන්නම්.” හෙතෙම කීය.

කෙසේ හෝ කහවත්ත මහතාගේ කීම පරිදි මා නැවත ඔහු ඇමතීමට පෙරම මට ඔහුගෙන් යළි දුරකතන ඇමතුමක් ලැබිණි. “මම අර යහන්ගල මුත්තාගේ කතාව කීපදෙනෙකුගෙන්ම අහලා බැලුවා. නමුත් ලොකු තොරතුරක් දැනගන්න බැරිවුණා. ඒත් දැන් මෙතන ඉන්නවා ඒ ගැන තරමක් තොරතුරු දන්න මහත්තයෙක්. එයාගෙන් විස්තර අහලා බලන්න.” කී කහවත්ත මහතා දුරකතනය තමන් අසල සිටි අයෙකුට ලබාදුන්නේ ය.
 
විශ්‍රාමික ගොවි නියාමකවරයෙකු වන එම්.ඩබ්.සී.දිසානායක මහතා මා හා දුරකතනයෙන් සම්බන්ධ වූ එම ප්‍රදේශවාසියා වූ අතර ඔහු කීයේ එම යහන්ගල මුත්තා වැදි පරපුරකට අයත් බවත්, පසුව දෙවන රාජසිංහ රජුගේ බිසවගේ රෝගයක් සුව කිරීමට එම යහන්ගල අඩවියෙන් කළුනික නම් ඖෂධය සොයාදීම මත රන් දුන්නකින් සහ රන් පටියකින් පිදුම් ලබා මුදියන්සේ තනතුරකින් ද පිදුම් ලද අයෙකු බව ය. ඒ අනුව අදටත් ඔහුගේ පරපුර නියෝජනය කරන යහන්ගල මුදියන්සේලාගේ, රන්දුනු මුදියන්සේලාගේ ආදී වශයෙන් පෙළපත් නම් සහිත පවුල් එම ප්‍රදේශ බදව දක්නට ලැබෙන බව ද ඔහු කීය.
yahngala4
 
උඩත්තව නෙළුම්මල ගම්මානයේ නාය යාමට හසු නොවූ එකම නිවස

“යහන්ගල මුත්තා ගොවීන්ට දෑකැති දුන්නාය කියන කතාව මේකයි. ඔය කියන කාලේ මේ පළාත්වල ලොකු යකඩ හිඟයක් ඇතිවෙලා තියෙනවා. ඒත් ඔය යහන්ගල මුත්තා ජීවත් වෙලා ඉන්න කාලෙ තරමක පෝසතෙක් නිසා ලෝකුරු නයිදේ කෙනෙකුට සල්ලි දීලා දෑකැති ටිකක් හදාගෙන, ගොයම් කපන කාලෙට ඒවා ගම්මුන්ට දීලා තියෙනවා. ඊට පස්සේ මුත්තාගේ මරණෙන් පස්සේ ඔය ගම්වල අය මුත්තාට කරන කළගුණ සැලකීමක් හැටියට ගොයම් කැපුවට පස්සේ ඔය යහන්ගලට ගිහින් අඩුක්කු පූජාවක් කරලා තියෙනවා.” දිසානායක මහතා කීය.
 
“එතකොට මොකක්ද ඔය යහන්ගලේ රන් දෑකැති දාහක් නිදන් කරලා තියෙනවා කියන කතාව?” ඉන්පසු මම මගේ යටි අරමුණ හෙළි කළෙමි.
 
“ඔය වගේ එක එක කතා මිණිපේ, හසලක වගේ පළාත්වල පැතිරිලා තියෙනවා. නමුත් ඔය රන් දෑකැති කියන එකෙන් අදහස් වෙන්නේ රන්වන් ගොයමේ, රන් අස්වනු කපන දෑකැති කියන එකට මිසක් රත්තරනින් හදපු දෑකැතිවලට කියලා හිතන්න අමාරුයි.” දිසානායක මහතා කීය.
118959774 2753069638299848 6893125771579214167 n
 
ඒ අනුව පසුව මම එවක මිණිපේ සහකාර ප්‍රාදේශීය ලේකම් ධුරය හෙබ වූ කීර්ති දිසානායක මහතාට මෙම පුවත හෙළි කළෙමි.
 
“කොහොම වුණත් මේ කාලේ හැටියට ඕවා බොහොම පරිස්සමින් කතාබහ කරන්න ඕනේ මාතෘකා. මොකද ඔය යහන්ගලේ රන් දෑකැති දාහක් තියනවාය කියන ජනප්‍රවාදය යූටියුබ් චැනල් එකක් කරන කෙනෙකුට දැනගන්න ලැබුණොත් ඒක ඇත්තක් විදියට මවාපාලා ඔය පළාත්වල අහිංසක ජන ජීවිත උඩුයටිකුරු කරවන්නත් බැරි නෑ” ඔහු කීය.ඒ වන විට ද අදාල විෂයන් පිළිබඳ”මළ පොතේ අකුරක් නොදැන” “කන්නට හිතුණු කල කබරයන් ද තලගොයින් කර ගන්නා” සමාජ ජාල ක්‍රියාකරුවන් ගේ බලය වේගයෙන් හිස ඔසවමින් තිබූ බැවින් ඔහු ගේ එම කතාවේ සත්‍යතාව මට ද මනාව වැටහී තිබිණ.
 596806472 943733958814605 7240652182085135794 n
 
ඒ කෙසේ හෝ ඉහත සඳහන් ඛේදවාචකයට පදනම් වූ එම යහන්ගල මුත්තා පිළිබඳ ජනශ්‍රැති වල අනාගතය කෙලෙස විසඳේ දැයි මට කිව නොහැක. අනෙක එවන් දුෂ්කර චාරිකාවක යෙදීමේ මානසික පන්නරය මිස ඒ සඳහා අවශ්‍ය කායික යෝග්‍යතාව ද මේ වන විට මා වෙතින් ගිළිහෙමින් තිබේ. ඒ අනුව උඩත්තව නෙළුම්මල ගම්මානය මතට ඊට කිලෝමීටර පහක් පමණ දුරින් හා ඉහළින් තිබූ යහන්ගල කඳු වැටිය කඩා වැටීමේ පුවත මට මෙතරම් සංවේදී වූයේ අකාලයේ මිය ගිය මගේ සුමිතුරු විභාවි විජය ශ්‍රී වර්ධන නෙළුම්මල ගම්මානයේ අහිංසකයන් තිස් එක් දෙනා පිළිබඳව සේම මා ගැන ද සිතීමෙන් පසුව බව මට හරිහැටි පසක් වූයේ ඊට පසු දිනෙක ය.

(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...