The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ගිය නුවණ ඇතුන් ලවා ඇද්ද වීමට සූදානම් වන රනිල්

T

The Leader Desk

December 18, 2025 • 4:25 PM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ගිය නුවණ ඇතුන් ලවා ඇද්ද වීමට සූදානම් වන රනිල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් නැමැති තනි මිනිසාට විධායක ව්‍යවස්ථා දායක පූර්ණ බලැති ආණ්ඩුව මෙතරම් බය වී දාඩිය පොල්ල දමා ගෙන
  • යළිත් හීං සීරුවේ වැඩ ආණ්ඩුවේ උදවියගේ කට වගේම වැඩත් ඇතැයි මේ රටේ බහුතරයක් දෙනා සිතුවා වගේ ම හිස මුදුනින් විශ්වාස කළහ.
  • ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්නට බැරි බව පැරැණි කතාවකි.
  • කොහොම වුනත් ඇතුන් ගේ පක්ෂයේ නායක රනිල් ඇත් බලය පෙළ ගස්වන්නට යළිත් හීං සීරුවේ වැඩ පටන් ගනිමින් සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

 රනිල් දේශපාලන පිටියෙන් ඉවත් කිරීමට කැස කවන්නේ මන්දැයි දැන් ඉතා කදිමට කරුණු නිරාවරණය වෙමින් පවතී.

යළිත් හීං සීරුවේ වැඩ

ආණ්ඩුවේ උදවියගේ කට වගේම වැඩත් ඇතැයි මේ රටේ බහුතරයක් දෙනා සිතුවා වගේ ම හිස මුදුනින් විශ්වාස කළහ. රටේ සංචිත බින්දුවට වැටී තිබිය දී රට බාරගෙන ඇස් පනාපිට රට ගොඩ දැමූ මිනිහා සිටිය දී ඔහුට පිටුපා ගොහින් මාලිමාවට කතිරය ගැසූ මිනිස්සු රොත්ත පිටින් අද හන්දි ගානේ කඩපිල් ගානේ දෙස් දෙවොල් තබමින් සිටිති. 

එහෙත් දැන් කරන්නට දෙයක් නැත. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්නට බැරි බව පැරැණි කතාවකි. කොහොම වුනත් ඇතුන් ගේ පක්ෂයේ නායක රනිල් ඇත් බලය පෙළ ගස්වන්නට යළිත් හීං සීරුවේ වැඩ පටන් ගනිමින් සිටී. ඒ ලබන අවුරුද්දේ සිට ශීඝ්‍රගාමී ගමනක් ආරම්භ කරන බලාපොරොත්තුවෙනි.

එකතුවට බාධාව මම නම්, මම ඉවත් වෙන්නම්

cghr67578

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉකුත් බදාදා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වූයේ රනිල්ගේ ප්‍රධානත්වයෙනි. එහිදී රනිල් සුවිශේෂී කාරණයක් කෘත්‍යාධිකාරී  මණ්ඩලයට දැනුම් දුන්නේ ය. ඒ, එජාප - සජබ එකතුවට තමා බාධාවක් නම් එජාප  නායකත්වයෙන් වුවත් ඉවත් වීමට සූදානම් ය යන කාරණය යි. රනිල් එය කෘත්‍යාධිකාරී  මණ්ඩලයට දැනුම් දුන් පසු සභික සියල්ලෝ ම මුහුණට මුහුණ බලා ගත්හ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග සහයෝගීතා සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන අතර ඒ සඳහා නියෝජ්‍ය නායක රුවන්, මහලේකම් තලතා,ජාතික සංවිධායක සාගල  ඇතුළු කමිටුවක් පත් කර ඇත. සමගි ජන බලවේග පාර්ශවයේ කටයුතු මෙහෙයවන්නේ විපක්ෂ නායක සජිත් ය.

මධ්‍යම කඳුකරයේ නාය යෑම = ආණ්ඩුවේ නාය යෑම

රනිල් තමන්ගේ තීරණය ගැන කෘත්‍යාධිකාරී  මණ්ඩලයට ඉතා තදින් කරුණු අවධාරණය කළේ ය.

"පක්ෂ දෙකේ සාකච්ඡාවල ප්‍රගතිය ගැන නිල වාර්තාවක් තාම මට ලැබිල නෑ. මේ සාකච්ඡා දෙපැත්ත අදිමින්  ඉඳලා බෑ. ඉක්මනටම අවසන් කරලා තීරණයකට එන්න ඕන. සාකච්ඡා මන්දගාමීව ඇදගෙන යන්න ඕන කාලයක් නෙමෙයි මේ."

රනිල් නළල රැලි ගන්වමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට කීය.

"සර් අපි ඉක්මනටම තීරණයකට එනවා. කොහොමත් ආණ්ඩුවේ ජනප්‍රියකම දරුණු නායකට අහුවෙලා තියෙන්නේ. මධ්‍යම කඳුකරයේ කඳු නාය යනවට වඩා වේගෙන් ආණ්ඩුවේ ජනප්‍රියකම නාය යන්න පටන් අරගෙන."

සභාපති වජිර  කීවේ රනිල් කී කතාවට පිළිතුරක් ලෙසිනි.

රනිල් ගේ තීරණයේ වෙනසක් නැහැ.

" ලබන අවුරුද්දෙ ඉදන් විපක්ෂයේ පක්ෂ ඔක්කොම  ඒකාබද්ධ වෙලා ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන බලයක් ගොඩ නගන්න ඕන. ඒ ජන බලය දැනටමත් ගොඩ නැගෙමින් තිබෙන්නේ. අපි කරන්න ඕන ඒ ජන බලය ඒකරාශී කරන එක."

රනිල් කීය.

" සර් මේ රටේ අසාර්ථක වෙච්ච නායකයෙක් නෙමෙයි. මෑත යුගයේ සාර්ථක ම ජනාධිපති රනිල්; එහෙව් එකේ සර් මොකටද වෙන කාටවත් දීලා යන්නේ...?''

රනිල් කී කතාවට පිළිතුරු ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එවැනි මත දැක්වීම් ඉදිරිපත් වුව ද රනිල් තමාගේ ස්ථාවරය වෙනස් කරන පාටක් පෙනුනේ නැත.

අත්හැරීම මට ගැටලුවක් නොවේ

cgvjhr6756

''එජාපෙත් සජබෙත් එකතු වෙන්න ඕන කියලා සාකච්ඡාවල දී එකඟතාවයකට ආවොත් ඒකට ඔයගොල්ලෝ කැමති නම් මට කිසිම ගැටලුවක් නෑ. මේ පක්ෂ දෙක එකතු වෙන එකට මමත් උඩින් ම කැමතියි. ඔය සාකච්ඡාවල දී මම නායකත්වයෙන් ඉවත් වෙලා සජිත්ට හරි වෙන කෙනෙකුට හරි නායකත්වය දෙන්න ඕන කියලා යෝජනාවකට ආවොත් ඔයගොල්ලො කැමති නම් ඒකටත් මගේ විරුද්ධත්වයක් නෑ. ඒ වගේ එකතුවකට ඕනම වෙලාවක නායකත්වයෙන් යන්න මම ලෑස්තියි.''

රනිල් ඒ කතාව කීවේ දැඩි අවධාරණාත්මක ස්වරයකිනි.

" මම පක්ෂ නායකයා ලෙස බොහෝ කල් හිටියා. රටේ ජනාධිපති වුණා. යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් ඉවරයි. ඒ වගේම රට අසීරුම මොහොතකට පත් වූ අවස්ථාවේ  බාරගෙන ඉහළට ඔසවා තබන්නට කටයුතු කළා. ඒ නිසා මේ අත්හැරීම මට ගැටලුවක් නොවේ. හැබැයි මෙය ඉක්මනින්ම ඉවර කළ යුතුයි."

රනිල් ඒ කතාව අවසන් කළේ එසේ කියමිනි.

පවුඩර් බබාලට දැන් ඉඩ නැහැ

cfgyhr567

ඉකුත් සතියේ සජබ මන්ත්‍රී මනෝ ගනේෂන් ගේ උපන් දිනය යෙදී තිබිණි. ඒ වෙනුවෙන් වූ සාදයේ ගෞරවනීය ආරාධිතයකු වූයේ රනිල් ය. තිගාම්බරන්, කාවින්ද, මන්සිල්, සාගල, තිස්ස අත්තනායක, නිමල්කා ප්‍රනාන්දු එහි වූහ. එහි දී මනෝලා ගේ ඒකමතික මතය වී ඇත්තේ එක්ව වැඩ කළ යුතු බවයි.

ඇත්තෙන්ම සජිත්ට කිසිම ප්‍රතිපත්තියක් නැති බව සජබෙ සියලුම දෙනා දැන් හොඳින්ම අවබෝධ කරගෙන සිටී.

"මොනවද කරන්නේ එකතු වෙන්නේ කොහොමද? ඔය කිසිම දෙයක් සජිත් දන්නේ නැහැ.''

සජබෙ මන්ත්‍රීවරයෙක් රනිල්ට කීවේ සියලුම දෙනාගේ මතය එය බව හුවා දක්වමිනි.

"මම අයින් වුනොත් ඔයාලට එකතු වෙන්න පුළුවන් ද? ඇත්තෙන් ම එහෙම එකතු වෙනවා නම් කියන්න. ඒකත් වෙන්නෙ නෑනේ.''

සජබ මන්ත්‍රීවරු රනිල් ඒ කී කතාවට කිසිත් නොකියා මුවට මුව බලා ගත්හ.

මන්ත්‍රී කණ්ඩායම් සහ රනිල්ගේ දේශපාලන සගයන් අතර හමුවක දී හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක පැවැසූයේ "මේ වෙලාවේ ඉල්ලුම තියෙන්නේ පව්ඩර් බබාලට නෙමෙයි. රනිල් වගේ චරිතෙකට. අත ගහලා අභියෝග බාර අරගෙන වැඩ පෙන්නපු මිනිහෙකුට," යනුවෙනි.

ඒ කතාව සියල්ලෝ ම හිස වනා අනුමත කළහ.

වල් පැළ බවට පරිවර්තනය වූ මල් පැළ

xfdgy54676tyik

"ඩොලරය ආපහු  312කට විතර නැගලා නේද? ආපහු ගෝඨගෙ කාලෙට ටිකෙන් ටික ගමන් කරනව ද කියලා සැකයි..."

මන්ත්‍රීවරයෙක් කීවේ රටේ ඇත්ත ප්‍රශ්න අමතක කිරීමට රන්වලලා වැනි නාඩගම් ආණ්ඩුව විසින් ම ඉදිරියට ගෙන එනවා ද යන සැකය මතුවන බවට කරුණු ගෙනහැර දක්වමිනි.

" ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා ගෙදරයි ඉඩමයි ගියොත් කතා දෙකක් නැතුව කෝටියක් දෙනවා කියලා. දැන් එදා දීපු පොරොන්දු වෙනස් කරන්න චක්‍රලේඛ කෝටියක් විතර ගහලා, අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවට තමයි.''

චාමර කීවේ නිහඬතාව බිඳ දමමිනි.

" කොහොම වුනත් රංවල සාධකය නිසා ආණ්ඩුවේ කලිසම ටිකෙන් ටික පහළට වැටිලා ඇත්ත හෙලුව පේන්න පටන් ගන්නවා. නීතියේ ආධිපත්‍ය තමන්ගේ අයටත් පිට අයටත් එක විදියට ක්‍රියාත්මක වෙනවද නැත්නම් දෙවිදියක් ද කියන එක මිනිස්සුන්ට තේරුම් ගන්න මේක හොඳ අවස්ථාවක්."

අකිල කීවේය.

කොහොම වුණත් මෙච්චර ඉක්මනට මල් පැළ වල් පැළ බවට පත් වේවි යැයි අනුර වත් නොසිතන්නට ඇත.

වන්දි පිළිබඳ රනිල් ගේ මතය

" අනුර උත්තමයා ට්‍රම්ප්ටත් වඩා ලොකු පපුවක් දාගෙන ත්‍රිකුණාමලයේ ඇවිදිනවා දැක්කා.ඒ නාට්ටිය දැක්කම මට මතක් උනේ පිම්බිලා පිම්බිලා පිපිරෙන්න ආපු ගෙම්බාගේ කතාව."

රාජිත පැවසූයේ සිනහවක් මතු කරමිනි.

දිට්වා ව්‍යසනයෙන් පසු දත්ත නැති ආණ්ඩුව දැඩි අර්බුදයක පැටලී සිටින  බව ආරංචි ය. දත්ත  තිබුණත් නැතත් ආණ්ඩුවේ  පැටිකිරිය යන්නේ කොහෙ ද මල්ලේ පොල් ජාතියේ එකක් බව රටෙන් සීයට අනූවකට විතර දැන් හොඳින්ම වැටහී ගොස් තිබේ. වන්දි ගෙවීමත් කටින් බතල කොළ හිටවීමක් බවට  පත් වී තිබෙයි.

"ඔය වන්දි හරියටම මෙපමණයි කියලා එහෙම ගණනය කරන්න පුළුවන් කමක් නෑ. උසාවියට ගියොත් දැනට ප්‍රකාශ කරලා තියෙන ගානට වඩා වැඩි වන්දියක් නියම කරන්නත් පුළුවන්. මොකද මෙතෙන්දි ආණ්ඩුව හරි අනතුරු ඇඟවීමක් කරලා තිබුණෙත් නැහැ."

රනිල් වන්දි ගැන කීවේ එහෙම කතාවකි.

මාස තුනක් ඔක්කොම එක ලයින් එකේ

" සර් පාර්ලිමේන්තුවට එනවා කියලා කතාවක් ආපහු ෆේස්බුක් වල යන්න පටන් අරගෙන තියෙනවා.ඒ කතාවේ ඇත්තක් තියෙනව ද?''

මන්ත්‍රීවරයෙක් ඇසූ පැනයට රනිල්  ඔළුව ගස්සා ඉවත බලා ගත්තා මිස කිසිවක් නොකීවේ ය.

ලබන අවුරුද්දේ සිට විපක්ෂයේ සියලු පක්ෂ එක අරමුණකින් කටයුතු කරනු දැකීම රනිල්ගේ අපේක්ෂාවයි. ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා ඔහු විපක්ෂයේ පක්ෂ බළමුළු ගන්මින් සිටී.

"මාස තුනක් ඔක්කොම එක ලයින් එකේ ගියා නම් අරමුණ සාර්ථකයි."

දිනිත් ද රනිල්ගේ කතාව අනුමත කළේය.

ලබන අවුරුද්දෙ වැඩ ගොඩයි

vghjrytu56

ආපදාවෙන් විපතට පත් පාසල් සිසුන්ට පොත්පත් බෙදා දීමේ උත්සවයක් හලාවත දී ඉකුත් සතියේ පැවැත්විණි. සජබ ගම්පහ සංවිධායක වරුණ, හොරණ සංවිධායක චරිත් අබේසිංහ එය සංවිධාන කර තිබිණි. මේ සත්කාරයට ප්‍රධාන නිමිත්තක් වූයේ වරුණගේ යූටියුබ් චැනලයට වසරක් පිරීමයි. පුත්තලමේ  සජබ මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දුත් රනිල් ජනපති සමයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුකක් එහි පැමිණ සිටියහ. වැඩේ අවසන් වී දිවා ආහාරය සූදානම් කර තිබිණි. ඔය අතරවාරයේ ශානුකගේ දුරකථනයට රනිල්ගෙන් ඇමතුමක් ආවේ ය. වරුණට සුභපැතුම් එක් කළ රනිල් කීවේ ලබන වසරේ වැඩ ගොඩක් තියෙයි" යනුවෙනි. වරුණ එහිදී කීවේ "සර් අපි ඔක්කොම එකතු උනොත් මේ වැඩේ ගොඩදාන්න ලේසියි යනුවෙනි. සජබෙ චිත්‍රාල්ට ද කතා කළ රනිල් ''අපි වෙලාවක හමුවෙමු'' යැයි කියා දුරකතනය තැබුවේ ය.

වජිරට, රනිල් බාර දුන් වගකීම

ry45645

ඉකුත් සතියේ එජාප අභ්‍යන්තරයේ වැඩිපුරම කතා කෙරුණේ රටට මුහුණ දීමට සිදුවූ ආපදාව ගැනයි.

මෙම සාකච්ඡාවලින් අනතුරුව නායක රනිල් සිය කණ්ඩායමට පවසා තිබුණේ තත්ත්ව කළමණාකරණය කරගැනීම සඳහා තම පක්ෂය සතු දැනුම ආණ්ඩු පක්ෂයට ලබාදෙන ලෙස යි. නමුත් ආණ්ඩුව පාර්ශවයෙන් ඊට සෘජුව ඇහුම්කන් දීමට බලාපොරොත්තුවක් නොවන නිසා මාධ්‍ය සාකච්ඡා මගින් එය ආණ්ඩුවටත් සමස්ත ජනතාවටත් අවබෝධ කරවන ලෙස නායක රනිල් පවසා තිබුණි. ඒ අනුව මෙම මාතෘකාව කතා කිරීමට විශේෂ මාධ්‍ය සාකච්ඡා වාර කිහිපයක් ම කැඳවන ලෙස නායක රනිල් පක්ෂයේ නිලධාරීන්ට පැවසූ අතර පළමු මාධ්‍ය සාකච්ඡාව  සභාපති වජිර ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලෙස උපදෙස් ලැබිණි.

හිටපු රාජ්‍ය කළමණාකරන ඇමතිවරයා වශයෙන් ආපදා තත්ත්ව කිහිපයක් ම මනා ලෙස කළමණාකරනය කර අත්දැකීම සහ පළපුරුද්ද වජිරට ඒ වගකීම බාර දීමට හේතුවයි. ආපදා කළමනාකරණය මෙන්ම ආධාර කළමනාකරණය ගැනත් වජිර එහි දී වටිනා කරනු රැසක් හෙළි කළේ ය.

(සටහන | මල් පාරේ ලියුම්කරු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...