The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පරණ වයින් අලුත් බෝතලයක: ආණ්ඩුවේ 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත'

T

The Leader Desk

December 19, 2025 • 7:40 AM

පරණ වයින් අලුත් බෝතලයක: ආණ්ඩුවේ 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පරණ උවදුරු සහිත අලුත් නීතියක්
  • එසේම, මෙම නව නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට ඉදිරිපත් කළ ද, පරිපාලනමය රැඳවුම්, හමුදා බලතල සහ පුළුල් අර්තකථන – අපරාධ ඇතුළු PTA හි මූලික ලක්ෂණ එයට වඩා ප්‍රභලව අනුකරණය කරයි.
  •   මෙම පනත් කෙටුම්පත ට මහජන අදහස් ලබා ගැනිම සදහා මාසයක කාලයක් විවෘත කර ඇත.
  • පළමු කරුණ: ඔබේ සාමාන්‍ය සමාජ මාධ්‍ය සටහනක් අපරාධයක් බවට පත්විය හැකියි!
අකුරු ප්‍රමාණය (Font Size):


ජාතික ජන බලවේගය(NPP) විසින්, මතභේදයට තුඩු දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීම සදහා දුන් පොරොන්දු පසෙකලා “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” නමින් නව පනත් කෙටුම්පතක් හඳුන්වා දී ඇත. 

මෙය මානව හිමිකම් සුරැකෙන වැඩිදියුණු කිරීමක් ලෙස ඉදිරිපත් කළ ද, ගැඹුරින් පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පනතේ තිබූ වඩාත් මර්දනකාරී ලක්ෂණ ඒ ආකාරයෙන්ම ආරක්ෂා කර ඇති බවයි. ඊටත් වඩා, එය ඔබගේ සහ මාගේ, එනම් සියලුම පුරවැසියන්ගේ ඩිජිටල් නිදහසට සහ පෞද්ගලිකත්වයට සැලකිය යුතු නව තර්ජන ද පවතී. එසේම, මෙම නව නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට ඉදිරිපත් කළ ද, පරිපාලනමය රැඳවුම්, හමුදා බලතල සහ පුළුල් අර්තකථන – අපරාධ ඇතුළු PTA හි මූලික ලක්ෂණ එයට වඩා ප්‍රභලව අනුකරණය කරයි.

 

PTA 1
මෙම පනත් කෙටුම්පත ට මහජන අදහස් ලබා ගැනිම සදහා මාසයක කාලයක් විවෘත කර ඇත. Ministry of Justice and National Integration  

කෙසේ නමුත්, යෝජිත මෙම නීතිය පුරවැසියන්ගේ දෛනික අන්තර්ජාල ක්‍රියාකාරකම්වලට බලපෑම් කළ හැකි වඩාත්ම අනපේක්ෂිත සහ භයානක ලක්ෂණ කිහිපයක් විමසීමට ලක් කරමු.

පළමු කරුණ: ඔබේ සාමාන්‍ය සමාජ මාධ්‍ය සටහනක් අපරාධයක් බවට පත්විය හැකියි!

 

PTA 2
ඔබ සාමාන්‍ය විරෝධතාවක් ඡායාරූප ගත කර පළ කරනවා. මෙම නව නීතිය යටතේ, ඒ ක්‍රියාව ඔබව ත්‍රස්තවාදියෙකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් විය හැකියි. පනත් කෙටුම්පතේ 78 වන වගන්තිය යටතේ “රහස්‍ය තොරතුරු” යන්නට ඉතා පුළුල්, නොපැහැදිලි අර්ථකථනයක් ලබා දී ඇත. මේ නිසා, ඔබගේ පහත සඳහන් සාමාන්‍ය ක්‍රියාකාරකම් පවා බරපතල අපරාධ ලෙස සැලකිය හැකිය:

• හමුදා මුරපොළවල්වල ඡායාරූප ෆේස්බුක් හි පළ කිරීම.

• පොලිසිය විසින් සිදුකරන ක්‍රියාකාරකමක් ගැන විස්තරයක් පළ කිරීම.

• සිදුවෙමින් පවතින සෝදිසි මෙහෙයුමක් ගැන අසල්වැසියන්ට අනතුරු ඇඟවීමට වට්ස්ඇප් පණිවිඩයක් යැවීම.

• පොදු උත්සවයකට බුද්ධි අංශ නිලධාරීන් පැමිණ සිටින බවට ට්විටර් පණිවිඩයක් පළ කිරීම, ආදී තත්ත්වයන්….

මේවා මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට සහ තම ප්‍රජාවන් තුළ සිදුවන මිලිටරිකරණය ලේඛනගත කරන සාමාන්‍ය පුරවැසියන්ට ඉතා සුලභ ක්‍රියාකාරකම් වේ. මෙම නව නීතිය යටතේ, යම් අයෙකුට මෙම තොරතුරු ත්‍රස්තවාදය සඳහා භාවිත කළ හැකි යැයි සිතෙන්නේ නම්, එවැනි තොරතුරු බෙදාගැනීම බරපතල වරදක් ලෙස අර්ථ දැක්විය හැකිය. ඒ අනුව, මෙම නීතිය උතුරු සහ නැගෙනහිර වෙසෙන දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් වැනි සංඛ්‍යාත්මක සුළුතර ප්‍රජාවන් ඉලක්ක කර අසමානුපාතික ලෙස භාවිතා කිරීමේ බරපතල අවදානමක් පවතී.

එහී දී අනවශ්‍ය ලෙස පුළුල් අර්ථ දැක්වීම් මගින් නීත්‍යානුකූල සිවිල් ක්‍රියාකාරකම්, ජනමාධ්‍ය ක්‍රියාකාරකම් සහ මහජන කතිකාව නොදැනුවත්වම අපරාධයක් බවට පත්කළ හැකිය. යෝජිත පනත සම්බන්ධයෙන් පවතින ප්‍රධාන ගැටළුවක් වන්නේ ද මෙයයි.

දෙවන කරුණ: තොරතුරු සපයන්නන් වීමට බල කෙරේ

 

PTA 3
පනත් කෙටුම්පතේ 15 වන වගන්තිය මගින් ත්‍රස්තවාදය පිළිබඳ තොරතුරු ඔබ දැනගතහොත්, එය වාර්තා කිරීම අනිවාර්ය කර ඇත. එසේ කිරීමට අපොහොසත් වීම වසර හතක් දක්වා සිර දඬුවමක් ලැබිය හැකි අපරාධයකි. මෙමගින්, රහස්‍යභාවය මත විශ්වාසය තබන මාධ්‍යවේදීන්, නීතිඥයන්, වෛද්‍යවරුන් සහ ආගමික නායකයන් වැනි වෘත්තිකයන් ඉතා අසීරු තත්ත්වයකට පත්වනු ඇත. ෆේස්බුක් හෝ වට්ස්ඇප් සමූහයක පරිපාලකයෙකුට(Admin), තම සාමාජිකයන්ගේ සැක සහිත සටහන් පොලීසියට වාර්තා නොකළහොත් සිරගත වීමට සිදුවිය හැකිය.

මෙමගින් නිර්මාණය වන්නේ දැවැන්ත ‘භීතියේ සෙවනැල්ලකි’ (Chilling Effect). වෙනත් ආකාරයක් ලෙස ‘අර්ථකථනය විය හැකි’ කිසිවක් කීමට හෝ බෙදාගැනීමට පුරවැසියන් බිය වන අතර, එමගින් විවෘත සංවාද සහ සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අඩපණ වේ. මෙය ඇදහිය නොහැකි ලෙස, පනත් කෙටුම්පත මගින් තොරතුරු ලබන්නන්වම රාජ්‍යයේ ඔත්තුකරුවන් බවට පත්කරනු ලබයි.

තුන්වන කරුණ: ඔබගේ “සුරක්ෂිත” End-to-End Encryption (E2EE) පණිවිඩ තවදුරටත් ආරක්ෂිත නැත.

 

PTA 4
Signal සහ WhatsApp වැනි End-to-End Encryption (E2EE) කල යෙදුම් ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනු ඇතැයි ඔබ සිතුවද, මෙම නව නීතිය එම ආරක්ෂාව බිඳ දැමීමට ක්‍රම කිහිපයක් නිර්මාණය කරයි.

පළමුව, 55 වන වගන්තිය මගින් ඕනෑම සන්නිවේදනයක E2EE ඉවත් කිරීමට (Decrypt) නියෝග කිරීමේ බලය මහේස්ත්‍රාත්වරුන්ට ලබා දෙයි. තවද, මෙවැනි නිරීක්ෂණ නියෝගයක් ලබාගැනීමට අවශ්‍ය නීතිමය සාධකය වන ‘සාධාරණ සැකය’ ඉතා පහළ මට්ටමක පැවතීම, මෙම බලය අනිසි ලෙස සහ පුළුල් ලෙස භාවිත කිරීමට ඉඩ සලසයි.

දෙවනුව, 19 වන වගන්තිය මගින් ඔබව අත්අඩංගුවට ගැනීමට සහ ඔබගේ දුරකථනය හෝ ලැප්ටොප් පරිගණක හමුදාවට (වෙරළාරක්ෂක නිළධාරින්ට ඇතුලුව) බාරයට ගැනීමට බලය ලබා දෙයි. කෙසේ නමුත් අදාළ අධිකරියට ඔබේ දුරකථනයේ මුරපදය ලබාගැනීමට ඔබට බලපෑම් කිරීමට, එසේත් නැතිනම් වධහිංසා පැමිණවීමට පවා හැකියාවක් තිබිය හැකිය. එවිට ඔබගේ E2EE ලැබෙන ආරක්ෂාව මුළුමනින්ම නිෂ්ඵල වේ.

හතරවන කරුණ: මෙම නීතිය ශ්‍රී ලංකාවේ දේශසීමාවෙන් ඔබ්බට ද විහිදේ

 

1594274325591
පනතේ 2(ඇ) වගන්තියට අනුව, මෙම නව නීතිය විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ද්විත්ව පුරවැසියන් ද ඇතුළු සියලු දෙනාට පැහැදිලිවම අදාළ වේ. උදාහරණයක් ලෙස: නිව්යෝර්ක් හි වෙසෙන දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරිකයෙකු, යාපනයේ සිටින ඥාතියෙකුගෙන් වට්ස්ඇප් හරහා ලැබෙන හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරක් බෙදාගතහොත්, එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ නීතිය යටතේ වරදක් සිදුකරනවා විය හැකිය.

මෙමගින්, තම මව් රටේ ප්‍රවෘත්ති බෙදාගන්නා සහ සිදුවීම් ලේඛනගත කරන ඩයස්පෝරා ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් රාජ්‍යයේ ඔත්තු බැලීමේ සහ පාලනයේ බලය නාටකාකාර ලෙස පුළුල් වේ. ඔබ විදෙස්ගතව සිටියත්, ශ්‍රී ලංකාවේ සිදුවීම් ගැන සමාජ මාධ්‍යයේ අදහස් දැක්වීම නිසා ඔබව අපරාධකරුවෙකු කළ හැකි නීතියක් ගැන ඔබට සිතාගත හැකිද?

‘රහස්‍ය තොරතුරු’ විශ්ලේෂණය (78 වන වගන්ති)

 

250521 Jaffna military 5
78 වන වගන්තියේ දක්වා ඇති “රහස්‍ය තොරතුරු” යන්නෙහි අර්ථ දැක්වීම ඉතා පුළුල් එකකි.

මෙම අර්ථ දැක්වීමට ඇතුළත් වන නිශ්චිත තොරතුරු වර්ග පහත දැක්වේ:

* “නිශ්චිත පුද්ගලයෙකුගේ” කාර්යයන්, ගමන්බිමන් හෝ සිටින ස්ථාන පිළිබඳ විස්තර.

* පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ තොරතුරු.

* ජාතික ආරක්ෂාවට අදාළ “රහස් කේත, වචන, මුරපද හෝ encryption විස්තර

මෙම පුළුල් අර්ථ දැක්වීමේ ප්‍රතිවිපාක ඉතා බරපතළය. ඒ අනුව පහත සඳහන් ක්‍රියාකාරකම් අපරාධයක් ලෙස අර්ථ දැක්වීමට ඉඩ ඇත.

* උතුරේ සහ නැගෙනහිර පළාත්වල හමුදා මුරපොළවල් හෝ සිවිල් ජනතාවට බලපාන හමුදා ක්‍රියාකාරකම් ලේඛනගත කරන සමාජ මාධ්‍ය සටහන්.

* පොලිස් වැටලීම් හෝ අත්අඩංගුවට ගැනීම් වැනි ආරක්ෂක මෙහෙයුම් පිළිබඳ වාර්තා කිරීම.

* හමුදාකරණය ලේඛනගත කරන සිවිල් සමාජ සංවිධානවල ක්‍රියාකාරකම්. (විශේෂයෙන් දෙමළ සමාජ ක්‍රියාකාරීන්)

අදහස් ප්‍රකාශ කිරීමේ වැරදි විශ්ලේෂණය (9, 10, සහ 11 වගන්ති)

Censored 1 073a99a196518b2dbb589f297917ab7a

නව “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත, අංක 2026” යටතේ පුළුල් කථන අපරාධ (Broad speech Offences) අර්ථ දක්වා ඇති ආකාරය, එම නීතියේ මූලික ගැටළුකාරී ලක්ෂණයකි. මෙම පනත යටතේ අදහස් ප්‍රකාශ කිරීමේ වැරදි පුළුල් ලෙස ආවරණය කර ඇති අතර, එය ඩිජිටල් සන්නිවේදනයන්ට දරුණු ලෙස බලපානු ඇත.

9 වැනි වගන්තිය මගින් ත්‍රස්තවාදය දිරිගැන්වීමේ අරමුණින් “යම් ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරන හෝ ප්‍රකාශ කිරීමට හේතු වන, හෝ යම් වචනයක් හෝ වචන කථා කරන, හෝ යම් සලකුණක් හෝ දෘශ්‍ය නිරූපණයක් කරන” ඕනෑම අයෙකුට අදාළ වේ.

* 10 වැනි වගන්තිය මගින් ත්‍රස්තවාදී ප්‍රකාශන බෙදා හැරීම, විශේෂයෙන් ආමන්ත්‍රණය කරන අතර, එය ඉලෙක්ට්‍රොනික සම්ප්‍රේෂණය පැහැදිලිවම ආවරණය කරයි. උපවගන්තිය (2)(e) “ත්‍රස්තවාදී ප්‍රකාශනයක අන්තර්ගත දේ සම්ප්‍රේශණය කරනු ලබන” දක්වා විහිදෙන අතර, උපවගන්තිය (1)(d) යටතේ අන්තර්ජාල සේවා සපයන්නන් (ISPs) හෝ ෆේස්බුක් වැනි වේදිකා වැනි සේවාවක් සපයන අය පවා මෙයට අදාළ විය හැකිය.

* 11 වැනි වගන්තිය මගින් මෙම වරදවල් සඳහා වන “ප්‍රකාශය හෝ ප්‍රකාශනය” හි විෂය පථය තහවුරු කරයි, එහි “අන්තර්ජාලය”, “ඉලෙක්ට්‍රොනික මාධ්‍ය” සහ “වෙනත් ආකාරයේ පොදු දැන්වීම් හෝ ව්‍යාප්තිය” ඇතුළත් වේ. මෙයින් තහවුරු වන්නේ, Online විවරණ (Online Commentary), සමාජ මාධ්‍ය පළ කිරීම් සහ ඩිජිටල් අන්තර්ගතයන් මෙම අපරාධවලට යටත් වන බවයි.

සීමිත ආරක්ෂණ

මෙම පුළුල් වැරදි සඳහා යම් ආරක්ෂණ පියවර තිබුණ ද, ඒවා සීමිතය.

11(1) වගන්තිය යටතේ “ජනතාවගේ ප්‍රතිලාභය සදහා හෝ ජාතික යහපත පිණිස නිසි උද්යෝගයෙන් යුතුව සද්භාවයෙන් පළකරන ලද යමක්” සඳහා ව්‍යතිරේක සපයයි.

කෙසේ වෙතත්, මෙම ආරක්ෂාවන් “අවංකභාවය” (Good Faith) අර්ථ දක්වා නොමැති අතර, ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසය සැලකිල්ලට ගෙන පක්ෂග්‍රාහී, දේශපාලන, නඩු පවරන සහ අධිකරණ අර්ථකථනයට යටත් වේ.

එසේම ” ‘සද්භාවයෙන්’ සිදුකරන ලද යම් මතයක්, සාධාරණ විවේචනයක්, උපහාසයක්, හාස්‍යමය අනුකරණයක්, අවවාදයක් හෝ අධ්‍යාරෝපනයක් ඇතුලුත් නොවිය යුතුය.” යැයි කෙටුම්පතේ සදහන් වේ. ‘සද්භාවයෙන්’ සිදුකළා දැයි යන්න ඉතාමත් විෂයානුබද්ද වන අතර එය පුළුල් පරාසයක විහිදෙන අතර එම නිසාම මෙහි තත්ත්වය තවත් දරුණු විය හැකිය.

ss123456
මෙම පුළුල් අර්තකථන අපරාධ විධිවිධාන හේතුවෙන්, ජනමාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පුළුල් පිරිසකට, තම අන්තර්ගතයන් තුළින් ත්‍රස්තවාදයට දිරිගැන්වීමක් සිදු විය හැකි යැයි (ඔවුන් විසින් අර්ථකතනය කරන) ‘නොසැලකිලිමත් ලෙස අන්තර්ගතයන් බෙදා හැරීම හෝ ප්‍රකාශ කිරීම’/ [‘අනවධානීව’] සම්බන්ධයෙන් දැඩි දඬුවම්වලට මුහුණ දීමට සිදුවීමේ අවදානම ඉහළ යයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) හරයම මෙම නව නීතියට අනුකරණය වී ඇති බව මෙයින් පෙන්නුම් කෙරේ.

අපට අවශ්‍ය ඩිජිටල් අනාගතය මෙයද?

 GettyImages 1949136773 1468x710

සාරාංශයක් ලෙස ගතහොත් යෝජිත “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත”[අංක 2026] එය පවසන ආකාරයේ ප්‍රතිසංස්කරණයක් නොවේ. ඒ වෙනුවට, එය ඩිජිටල් යුගයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට, පෞද්ගලිකත්වයට සහ සන්නිවේදනයේ අඛණ්ඩතාවයට එල්ල වීමට නියමිත බරපතල තර්ජනයකි. එසේම මර්දනකාරී පනතක් වන Online Safety Act (OSA) මේ මොහොතේ ලංකාව තුළ නීතියක් ලෙස පවතින විට එම අවදානම දෙගුණ-තෙගුණ වී පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට බරපතල තර්ජනයන් එල්ල කරනු ඇත.

මෙම කෙටුම්පත නීතියක් බවට පත්වීමට පෙර, ඩිජිටල් අයිතීන් ඇතුලු මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ඔබේ හඬ අවදි කිරීම දැන් වෙන කවරදාටත් වඩා තීරණාත්මක ය. ඔබ නිහඬව සිටිනවාද? පශ්චාත් ආපදා සමයක වුවත් පුරවැසියන් නිහඩව සිටියහොත් සිදු වූ ආපදාවට වැඩි – අයිතිවාසිකම් පිළිබද ආපදාවක් ඉදිරියේදී සිදුවිය හැකිය.

(මෙම සටහන සදහා ආචාර්ය සංජන හත්තොටුව විසින් ලියන ලද Protection of the State from Terrorism Act, No. of 2026: Observations from an information integrity perspective ලිපිය ඇසුරු/ පාදක කරගන්නා ලදි)

(සටහන | සම්පත් සමරකෝන් )
Sampath Samarakoon

උපුටා ගැනීම : vikalpa.org

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...