The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : විද්‍යාරත්නගේ රසාලිප්ත මිත්‍යා කතා - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

December 20, 2025 • 7:12 AM

බල්සාක් කැෆේ : විද්‍යාරත්නගේ රසාලිප්ත මිත්‍යා කතා - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමන්ත විද්‍යාරත්න යනු මුළුමනින්ම සාමුහික මහජන අවිඥානයේ ප්‍රකාශනයකි. ස්වයං ප්‍රීනනයේ පාරප්‍රාප්තවූවකු බව පෙනෙන ඔහුගේ සාකැස්ටික කටහඬ තානය ජනසභාවන්හි ඇඟමැලි බිඳීමෙහි සමත් බව බැලූ බැල්මට වුව පෙනේ.
  •  එවන් මිනිසුන් ඇවිදින පුස්තකාල ලෙස සැළකීම සාමුහික අවිඥානයේ ම ප්‍රකාශමානයක් මිස ඔවුන්ගේ වරදක් නොවේ.
  • ඉක්බිති තමන් ප්‍රකාශ කරන්නට යන වස් කවියට ප්‍රස්තුත වන සිද්ධිය ගැන කටට රහට කියයි.
  • ‘’මේකා මොකාදෝ මට නො දැනෙයි මේකා කකා කුරුම්බා ගෙඩි බිම දමන එකා විකා ඇට නහර මස් ලේ උරා කකා යකා මහසොහොන් උගෙ දිවි හරින් මකා’’ ඉක්බිති මීයාට සිද්ධ වූ දේ, එනම් වස් කවිය කියා අවසන් වූ විගස මීයා මැරී බිමට වැටුණු බව විද්‍යාරත්න පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කවි, සාහිත්‍යයික උපුටන හෝ සාහිත්‍යයික රසයක් උත්පාද නොකෙරෙන විද්‍යාරත්න කතාවක් අන්තර්ජාලයේ කොහේ හෝ වේ නම් එය පරිප්පු නැති හෝටලයක් සිහිගන්වයි.  

ජවිපෙ නායකයන් බොහෝ දෙනෙකුගේ පාරම්පරික උරුමය බඳු එජාප උරුමයක් සහිත පවුලක ඉපදුණ ද, අචල මෙන්ම චපල ජවිපෙ ක්‍රියාකරුවකු වන ඔහුගේ භාවිතය අතිශය සමීපව නිරීක්ෂණය කළහොත් ඔහු කෙරෙන් විද්‍යාමාන වනුයේ සම්භාව්‍ය මාක්ස්වාදී හික්මීමක් සහිත භෞතිකවාදී දේශපාලන සිතීමක් සහිත ජාත්‍යන්තරවාදීයකු  නොව, තනිකරම ඕලාරික කතාකියන, ග්‍රාම්‍ය භාවිතයක් සහිත, සෝවියට් ප්‍රවනතාමය සාහිත්‍යයේ සහ සාම්ප්‍රදායික ජනමූල සහිත්‍යයේ ස්වයං ප්‍රීනනයක් සහිත සාම්ප්‍රදායික රසාලිප්ත ගැමියෙකි.  එවන් මිනිසුන් ඇවිදින පුස්තකාල ලෙස සැළකීම සාමුහික අවිඥානයේ ම ප්‍රකාශමානයක් මිස ඔවුන්ගේ වරදක් නොවේ. ගතවෙමින් පවතින දේශපාලන මොහාත යනු විද්‍යාරත්නලාගේ ‘’සංස්කෘතික’’ අධිනිෂ්චය වීම් සහිත මෙහොත මිස ‘’දේශපාලනය’’ විද්‍යාමාන වන මොහොත නොවේ.

දෙවසරකට පමණ පෙර මහනුවර පැවති රැලියකට ගොස් එතැනදී කුංකාණාවේ හාමුදුරුවන් මෙනෙහි කරමින් කතා කළ විද්‍යාරත්න මට මෙනෙහි වෙයි.

‘’මහනුවර යුගයේ හිටියා අපේ ප්‍රසිද්ධ හිමි නමක්. කුංකුණාවේ හුමුදුරුවෝ. කුංකුණාවේ හාමුදුරුවො වස්කවි වලට හරි දක්ෂයි. උන් වහන්සේ වස් වදින්න, පල දෙන්න වස්කවි ලිව්වා. මහනුවරට ඇවිත් කුංකුණාවේ හාමුදුරුවන්ගෙ වස්කවියක් නොකියා ගියොත් හොඳ නෑ.’’


ඔහු කවියට ප්‍රවිශ්ට වන්නේ එහෙම ය. ඉක්බිති තමන් ප්‍රකාශ කරන්නට යන වස් කවියට ප්‍රස්තුත වන සිද්ධිය ගැන කටට රහට කියයි. කුංකුණාවේ හාමුදුරුවන් වැඩසිටි පන්සලේ පොල් ගසක කුරුම්බැට්ටි හළන මීයෙකු ගැන ය. විවිධ ක්‍රමෝපායන්ගෙන් මීයා පළවා හැරීමට ගත් වෑයම ව්‍යාවර්ථ වූ තැන කුංකුණාවේ හිමියෝ වස් කවියක් කියති. මෙ බඳු ය.

coconut tree

‘’මේකා මොකාදෝ මට නො දැනෙයි මේකා
කකා කුරුම්බා ගෙඩි බිම දමන එකා
විකා ඇට නහර මස් ලේ උරා කකා
යකා මහසොහොන් උගෙ දිවි හරින් මකා’’



ඉක්බිති මීයාට සිද්ධ වූ දේ, එනම් වස් කවිය කියා අවසන් වූ විගස මීයා මැරී බිමට වැටුණු බව විද්‍යාරත්න පවසයි. ඔහු මෙකී ප්‍රවාදය අබිමුඛ කරන්නේ පශ්චාත් අරගල සමයේ කුමන්ත්‍රණකාරී ලෙස බලය ඩැහැගත් රනිල් වික්‍රමසිංහ වෙතට යි. මෙවන් සමයක කුංකුණාවේ හාමුදුරුවන් නැති එක ගැන ඔහු දුක් වෙයි. නමුත් දුක්වීමෙන් නතරවන්නේ නැත. මහනුවර රැලියට ඒමට කලින් සිදුකරන ලද ගෙදර වැඩ ඔහු එළියට ඇද දමයි. තමන්ම කුංකුණාවේ හාමුදුරුවන්ට ඇඳ ගනියි. තමන්ගේ ම වූ වස්කවියක් ජනගත කරයි. මෙලෙසිනි. 

‘’රනිල් රාජපක්ෂ නම් වූ මහ එකා
විකුණා දමයි අපෙ මව් රට කෑලි කකා
වැසියනි රටේ එක්වී අපි එකට එකා
නොපමා වරෙව් පන්නන්නට රීරි යකා’’

සභාවේ අතිපොළසන් සහ සිනහා මැද සමන්ත විද්‍යාරත්න මෙසේ කියයි. ‘’ඔය කවිය වස් වදිනවා ඈ. තව පොඩි කාලෙකින් බඩු හරි’’

රනිල් දේශපාලන වශයෙන් සෙත්තපෝච්චි කරලමින් වස්කවිය පළ දැරී ය. විද්‍යාරත්නගේ නායකයා විධායක බලතල සහිත, මිලිටරි බලතල සහිත රාජ්‍ය නායකයා බවට පත් විය. දළදා දැක්ම හරහා රාජ්‍ය බලය, සිංහල බෞද්ධ අධිකාරී බලය සමඟ සංගත විය. රීරි යකා පන්නන්නට වස් කවියකින් පෙළහර පෑ විද්‍යාරත්න මොන තරම් සතුටක් භූක්ති විඳින්නට ඇද්දැයි මට නම් හිතාගන්නටවත් බැරි ය.

 

මේ රචනාව ලියන්නේ, විද්‍යාරත්නගේ රසාලිප්ත ජීවින භාවිතයේ අලුත්ම සංසිද්ධිය එළි දැක්වුණු ආකාරය රසවිඳිමිනි. ඒ වනාහී,  ඌමා ඇල ව්‍යාපෘතියට සමාන්තර වෙමින් මහා කන්නය සඳහා දියවර සැපයීමේ ‘අධිෂ්ඨාන මහිමය’ සාක්ෂාත් කර ගනු පිණිස පිරිත් පැන් වත්කිරීමේ සංසිද්ධියයි. පිරිත් පැන් කළයක් රත්නපුරදී කළු ගඟට එක් කළ පවිත්‍රා වන්නිආරච්චි එවක සෞඛ්‍යය අමාත්‍යවරිය පරසක්වළ ගැසූ විද්‍යාත්මක චරිතවලට, විද්‍යාරත්න ඌමා ඇළ ව්‍යාපාරයේ පේරවැල්ල අමුණ සහ බෝඹුරු ඇල්ල වාරි ඇල පිළිසකර කිරීමෙන් පසු පිරිත් පැන් කළයත් අමුණට වත්කරන අයුරු දැක බලා ගන්නට සේයා-වීඩියෝ සටහන් ඉතිරිව තිබේ.  කළුපාට කළිසමක් සහ කොළපාට ඩබල් පොකට් කමිසයක් ඇඳ, කහපාට විද්‍යාත්මක දිගු බූට් දමා, රතුතරුව රැඳුනු විප්ලවවාදී කැප් තොප්පියක් හිස පළඳා සිටින විද්‍යාරත්න සහෝදරයා, දියට දිය එක්කිරීම ලැජ්ජාවට කරුණක් නොවන බව සිතට ගත යුතුව ඇත. දේශපාලනය ලෙස පවතින සංස්කෘතික විවිධාංග සහ විචිත්‍රාංග අත්හැර පැවැත්මක් නැත. දළදා දැක්මේ සිට ගලා එන්නේ ‘අවසන් නවාතැන්පොළ’ මෙනෙහි කරවන මෙකී පැවැත්ම පිළිබඳ ප්‍රවාහයයි.  


‘’වෙල්ලස්සේ වෙහෙස නිවන ආසිරි පැන් පොද’’ ලෙස මහා කවි රත්න ශ්‍රී විජේසිංහ ලියා දැක්වූ සාහිත්‍යයික ප්‍රබන්දයක් වන් මෙම සරල මිනිසා,  සමන්ත විද්‍යාරත්නගේ සෑම ප්‍රවේශයක්ම අතිශ්‍ය සාහිත්‍යයික වන්නේ වෙයි. පිරිත්පැන් වත් කරන ක්‍රියාවලියට පවා ඔහු සාහිත්‍යයෙන් මිදෙන්නට ඉඩ දෙන්නේ නැත. ‘’අධිස්ඨානයේ මහිම’’ නම් මෙම සංවර්ධන ක්‍රියාවලිය ඔහුම හඳුන්වාදෙන්නේ මෙලෙසිනි.

599003700 1431071381716190 1289143522931961637 n

‘’බිඳුණු වැව් අමුණු හදන
සිඳුණු කෙත් බිම් වඩන
දිත්වා පරදවන
ධෛර්යයේ මහා වාරි මෙහෙයුම
අධිෂ්ඨානයේ මහිම’’

සමන්ත විද්‍යාරත්න යුනික් චරිතයකි. විශේෂ අනන්‍යතා සහිත දක්ෂතා සහිත, විනෝදාංශ සහිත සුපිරි කථිකයෙකි.

අප මිත්‍ර සාහිත්‍ය-කලා-දේශපාලන විශ්ලේශක  විදර්ශන කන්නංගරට අනුව ‘සඳ සඳ වගේ ය; තරු තරු වගේ ය; මල් මල් වගේ ය; අපි අපි වගේ ය’’

ඒ අනුව විද්‍යාරත්න විද්‍යාරත්න වගේ ය.  විද්‍යාරත්නගේ විද්‍යාව, විද්‍යාරත්නගේ විද්‍යාව වගේ ය. විද්‍යාරත්න ඌමා ඇල ව්‍යාපෘතියට සමාන්තර වෙමින් මහා කන්නට සඳහා දියවර සැපයීමේ ‘අධිෂ්ඨාන මහිමය’ සාක්ෂාත් කර ගනු පිණිස පැන් වත්කිරීම අතිශය සාමාන්‍ය සංසිද්ධියකි. මා මේ ලිවීම හරහා සලකුණු කරන්නේ, සාමුහික ජන අවිඥානයේ ප්‍රකාශයන් වන එවන් සද් ක්‍රියා විහිළුවට ගත යුතු නැති බව ය. එය, පොළොවේ තැනින් තැන මතුවුණු පැලුම් අසබඩට ගොස් පස්-මැටි දමා කොටා තදකර ඒ හිල් වැසීමට බලන් සිටිනා ඔහුගේ අඛන්ඩ භාවිතයේම දිගුවක් මිස බරපතළ ඛන්ඩනයක් ලෙස බාර ගත යුතු නැත.

2019 වසරේ ඔක්තෝබරයේ අග බදුල්ලේ පැවති ජන රැලියේදි සමන්ත විද්‍යාරත්න මෙසේ කීවේ ය.  ‘’පාලකයා අධර්මිෂ්ට නම්, පව්කාර නම්, ස්වභාව ධර්මයතක් විරුද්ධ වෙනවා. රටේ ගංවතුරථ නියං ඇතිවෙනවා. ජනතාව පීඩාවට පත් වෙනවා’’

 

599465593 1431071465049515 8423197688440226078 n
මා මෙම උපුටා දැක්වීමේ සිදුකළේ වත්මන් ජනාධිපතිවරයා ට එම උපුටනය අබිමුඛ කරමින් ඔහු අධර්මිෂ්ටයකු යැයි විද්‍යාරත්නම කියන අයුරු පෙන්වන, ජනප්‍රිය සමාජ මාධ්‍ය පන්නයේ සරල හාස්‍යයක් නංවනු පිණිස නොවේ. මා මේ උපුටනය කළේ සමන්ත විද්‍යාරත්න කර ගහගෙන ආ ග්‍රාම්‍ය, අතිසරල දාෂ්ටිවාදී හික්මීමේ අඛන්ඩභාවය තහවුරු කරනු පිණිස ය. එවන් කතා කියූ මිනිසකු දිය අමුණකට පැන් කලයක් වත්කිරීම මොන තරම් සාමාන්‍ය සංසිද්ධියක් ද.

ඔහු ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරයතකුව කටයුතු කළ අවදියේ ලෝක උරුමයක් වන නකල්ස්  රක්ෂිත කලාපයේ ආයෝජන ව්‍යාපෘති ඇති කිරීමට එරෙහිව සිදුකළ ලස්සන කතාවේදී ඔස්ට්‍රේලියාවෙන් ගවයන් මීළඳීගැනීමේ මුග්ධ දේශපාලන ක්‍රියාවලිය ඔහු අතිශය රමනීයව පැහැදිලි කරයි. කතාව තීව්‍ර කරමින් ඔහු අවසානයේ ‘’ඔන්න ඔය දියවන්නව මධ්‍යයේ තියෙන ඔය තැන වඩා සුදුසු මේ රටේ ගවගාලක්, හරක් මඩුවක් කරන්න. මේ මගේ කතාවෙන් හරක්ට නිග්‍රහයක් වුණා නම් හරකුනේ සමාවෙන්න’’ යැයි පවසයි.

තමන්ගේ නියෝජිතයන් 159ක් සිටිනා පාර්ලිමේන්තුවේ ඔහු මෑතක සිදුකළ පාර්ලිමේන්තු කතාවක මෙසේ කවියක් උපුටනය කරයි. එහි හතරවැනි මනරම් පදය කවර විරිතකට අනුකූලදැයි දන්නා කෙනෙකු වේ නම් පසුව පහදනු සේක්වා!

‘’උන් හොරු කිය කියා අල්ලපු හොරෙක් නැත
මුන් හොරු කිය කියා දුන් දඬුවමක් නැත
උන් මුන් එකතු වී කා දැමු රටක් ඇත
ඒ රට ඇතුළෙ බත් කන හරක් ආයෙත් ඇත්තේ නැත’’

ඉකුත් නොවැම්බරයේ ඔහු පාර්ලිමේන්තුවේ සිදුකළ කතාවකදී මෙසේ තවත් කවියක් උපුටයි.

‘’පෙළක් තැන වල හොඳම දේවල් ළඟ තියෙද්දිත් මිස් වුණා
බුදුන් දැකලත් දේවදත්තට නිවන් යන්නට බැරි වුණා’’

Hon. Samantha Vid 6
විදර්ශන කියන්නා සේ විද්‍යාරත්න බාර ගත යුත්තේ ඒ පුද්ගලයා ලෙසම ය; ගෙඩිය පිටින්ම ය. මාක්ස්වාදී මුහුණුවරකින් හෝ ඔහුගේ නම වර නඟන අර්ථයෙන් ඔහු බාර ගැනීම රසහීන මුග්ධ ක්‍රියාවකි.  ඒ කෙසේ වතුදු අතීතයේ පටන් විද්‍යාරත්න යන නම ඇසෙනා විටම මා තුළ පරිකල්පනය වන්නේ ඒ වනාහී විද්‍යාව වෙනුවෙන් පිරිනමන ‘විද්‍යානිධි’ පන්නයේ  ජාතික ගෞරව සම්මානයක් බව ය. මට හිතෙන්නේ වෙල්ලස්සේ රිදී සීනුව එය සැබෑවක් කර ඇති බවකි. ඔහු ජාතියම පුද ලද ගෞරව සම්මානයක් බඳු සරල මිනිසෙකි; රසාලිප්ත ඇමතිවරයෙකි. ඔහු පිරිත්පැන් වත්කර පැතූ පරිදිම මහ කන්නයේ පළදාව සරුවන්නැයි මමද ප්‍රාර්ථනා කරමි.

manjula wediwardhana
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer

www.wediwardena.com


(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...