The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සුරක්ෂා මධ්‍යස්ථාන වලදී ආපදාවට ලක් වන ළමා හා කාන්තා අයිතිවාසිකම් | සෝබා කෝලියවංශ

T

The Leader Desk

December 20, 2025 • 10:29 AM

සුරක්ෂා මධ්‍යස්ථාන වලදී ආපදාවට ලක් වන ළමා හා කාන්තා අයිතිවාසිකම් | සෝබා කෝලියවංශ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂයෙන් ස්වභාවික ආපදා අවස්ථාවල ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ඇති යාන්ත්‍රණයට වඩා කාර්යක්ෂමවත්, ඉදිරිගාමී ලෙසත් ක්‍රියාත්මක වූයේ මේ මානුෂීය ස්වේච්ඡා බලවේගයයි.
  • විපතට පත් වූවන් නැතහොත් අවතැන්වූවන් දෙස අයිතිවාසිකම් දෘෂ්ටිකෝණයෙන් බැලීම තවමත් සමාජයක් ලෙස අපට හුරු පුරුදු නැත.
  • නමුත් ඇතැම් අවතැන් කඳවුරුවල එසේ නැතහොත් සුරක්ෂා මධ්‍යස්ථාන ලෙස හඳුන්වන ස්ථානවල ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ දැක්මේ හෝ මෙහෙවර ප්‍රකාශයේ ඡායා මාත්‍රයක් හෝ දක්කට නොතිබුණි.
  • ගලහා ප්‍රදේශයේ ජනතාවගෙන් බොහෝ දෙනෙක් වතු කම්කරුවන් සහ ගොවියන් වන අතර, ඔවුන්ගේ ජීවනෝපායන් මුළුමනින්ම විනාශ වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂයෙන් ස්වභාවික ආපදා අවස්ථාවල ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ඇති යාන්ත්‍රණයට වඩා කාර්යක්ෂමවත්, ඉදිරිගාමී ලෙසත් ක්‍රියාත්මක වූයේ මේ මානුෂීය ස්වේච්ඡා බලවේගයයි.

එහෙත් 'මානුෂීය මැදිහත්වීම්' යනු විපතට පත් ප්‍රජාවක් කෙරෙහි යොමු විය හැකි එක් ප්‍රවේශයක් පමණි. විපතක ආසන්න අවස්ථාවේදී එය අතිශයින්ම වැදගත් වන අතර, ඒ සමඟම වැදගත් වන අනෙක් ප්‍රවේශය වන්නේ, ඔවුන්ගේ 'අයිතිවාසිකම් ආරක්ෂා කිරීම' යි.

විපතට පත් වූවන් නැතහොත් අවතැන්වූවන් දෙස අයිතිවාසිකම් දෘෂ්ටිකෝණයෙන් බැලීම තවමත් සමාජයක් ලෙස අපට හුරු පුරුදු නැත. අවතැන්වූවන් හුදු අන්‍යයන්ගේ අනුකම්පාව මත පැවතිය යුතු පිරිසක් නොවේ. අවතැන් වුවද ඔවුන් ද සෙසු පුරවැසියන් සේම සියලු මිනිස් අයිතිවාසිකම්වලට හිමිකම් කියන පිරිසකි. අවතැන් ජීවිතය තුළ පවා එම අයිතිවාසිකම් තහවුරු විය යුතුය. විශේෂයෙන්ම කාන්තාවන්ගේ හා දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මේ ලිපියෙන්  අවධාරණය කරන්නේ එම කරුණ පිළිබඳවයි.

WhatsApp Image 2025 12 20 at 10.08.45 AM

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දැක්ම වන්නේ ‘කාන්තාවන් හා ළමුන් සංවර්ධනයේ පූර්ණ ප්‍රතිලාභ හා අවස්ථාවන් සාධාරණව හා සමානව භුක්ති විඳින උසස් සමාජයක්.’ යන්නයි. එම අමාත්‍යාංශයේ මෙහෙවර ලෙස දැක්වෙන්නේ ‘ජාතික ප්‍රමුඛතා හා අවශ්‍යතා මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන් ද සැලකිල්ලට ගනිමින් කාන්තාවන් හා ළමුන්ගේ ආර්ථික සවිබලගැන්වීම හා සමාජ ආරක්ෂණය සඳහා අවශ්‍ය නෛතික, ප්‍රතිපත්තිමය, ආයතනික හා මානව සම්පත් වැඩිදියුණු කිරීම සඳහා වූ වැඩසටහන් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම’යි. එම අරමුණු අභියෝගයට හෝ අවදානමට ලක් විය හැකි අවස්ථා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් එම යාන්ත්‍රණය සතුව තිබිය යුතුය. නමුත් ඇතැම් අවතැන් කඳවුරුවල එසේ නැතහොත් සුරක්ෂා මධ්‍යස්ථාන ලෙස හඳුන්වන ස්ථානවල ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ දැක්මේ හෝ මෙහෙවර ප්‍රකාශයේ ඡායා මාත්‍රයක් හෝ දක්කට නොතිබුණි.

මහනුවර නිල්ලඹ නිදර්ශනය


WhatsApp Image 2025 12 20 at 10.08.46 AM

නායයෑම් හේතුවෙන් වැඩිම ජීවිත හානි වාර්තා වූයේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. මහනුවර දිස්ත්‍රික්කයේ ගලහා මාර්ගයේ නිල්ලඹ කුරුස හන්දියේ සිදු වූ නායයෑම මෙම කුණාටුවේ බලපෑමේ එක් භයානක උදාහරණයකි. එම ස්ථානයේ නිවාස බොහොමයක් මුළුමනින්ම පස් සහ මඩවලින් යට වී තිබිණි. ගලහා ප්‍රදේශයේ ජනතාවගෙන් බොහෝ දෙනෙක් වතු කම්කරුවන් සහ ගොවියන් වන අතර, ඔවුන්ගේ ජීවනෝපායන් මුළුමනින්ම විනාශ වී ඇත. මෙම නායයෑමෙන් බලපෑමට ලක් වූ බොහෝ දෙනෙකුට තාවකාලික අවතැන් කඳවුරුවල නැතහොත් සුරක්ෂා මධ්‍යස්ථානවල  නවාතැන් ගන්නට සිදු වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයන් වන UNICEF සහ IOM වාර්තා කර ඇත්තේ, මෙවැනි  කඳවුරුවල ජීවත් වන බොහෝ දෙනෙක් කාන්තාවන් සහ ළමුන් බවයි. UNICEF සංවිධානයට අනුව, දරුවන් 275,000කට අධික පිරිසක් මෙම විපතෙන් බලපෑමට ලක්ව ඇති අතර, ඔවුන්ට ආහාර, ජලය, සනීපාරක්ෂාව සහ මානසික සහාය අහිමිවීමේ අවදානමක් පවතින බවද සඳහන් කර ඇත.

WhatsApp Image 2025 12 20 at 10.08.48 AM
නිල්ලඹ කුරුස හන්දියේ පිරිසට සුරක්ෂා මධ්‍යස්ථානය වී තිබෙන්නේ ගැමි සේවා සෙවණ ස්වේච්ඡා සංවිධානයට අයත් ගොඩනැගිල්ලක ප්‍රධාන ශාලාවය. එම ශාලාවේ ළමයින්ට, කාන්තාවන්ට හෝ පුරුෂ පාර්ශ්වයට කියා වෙන් කළ කාමර නැත. බිත්තිවලින් නොව තිර රෙද්දකින් හෝ වෙන් කර නැත. සියලු දෙනාම දිවා කාලයේ රැඳී සිටින්නේත් රාත්‍රියේ නින්දට යන්නේත් එම ශාලාවේමය. නෑයෝත් නොනෑයෝත් එකම සීමිත ඉඩක වෙසෙති.

කාන්තාවන් හා ළමයින්ගේ රැකවරණය

WhatsApp Image 2025 12 20 at 10.08.45 AM 1

අවතැන් කඳවුරුවල ජීවත් වීමේදී ඇති වන ශෝචනීය කාරණය වන්නේ කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ආරක්ෂාව අහිමි වීමයි. දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සුරක්ෂා මධ්‍යස්ථාන කිහිපයකම කාන්තාවෝ ඒ පිළිබඳ අදහස් දැක්වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පැවසුවේ, කඳවුරුවල ආලෝකය අඩු වීම, සනීපාරක්ෂක පහසුකම් සහ ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයම මිශ්‍රව ජීවත්වීම් නිසා පෞද්ගලිකත්වය හා ආරක්ෂාව බිඳ වැටී ඇති බවයි.

දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ගල්ඔය ග්‍රාම නිලධාරී වසමට අයත් සුරක්ෂා මධ්‍යස්ථානයක රැඳී සිට නැවතත් තම නිවෙස් වෙත ආ තීපා විජයකුමාර් සුරක්ෂා මධ්‍යස්ථානයේ ගත කළ ජීවිතය පිළිබඳ අදහස් දැක්වූවාය.

 “මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතා විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක්. එයාව තියාගන්න එතන පහසුකම් නෑ. සමහර අය වෙනස් විදිහට දරුවා දිහා බලනවා. අසූ දෙනෙක් විතර යන්නෙ එකම වැසිකිළියකට. දූලා දෙන්නත් එතන ඉන්න අමාරුයි කියලා හැමවෙලේම මැසිවිලි නගනවා. අවසානයේ අපි තීරණය කළා නැවතත් අපේ ගෙදරටම එන්න. මැරුණත් කමක් නෑ නිදහසේ අපේ තැන අපි එකට ඉඳලා කියලා දැන් හිත හදාගෙන ඉන්නෙ.” විසි හය දෙනෙකු මිහිදන් කරවමින් ගලා ගෙන ගිය හදබිම මහා පස් ගඟ අබියස ඇති ඔවුන්ගේ නිවසේ ද බිත්ති පුපුරා ගොසිනි. ජීවිත අවදානමේ හෙලා ගනිමින් නැවතත් නිවෙස් වෙතටම පැමිණෙන්නට තරම් සුරක්ෂා මධ්‍යස්ථානයෙන් ඔවුන් ලද අත්දැකීම් කටුක වන්නට ඇත.


WhatsApp Image 2025 12 20 at 10.08.50 AM

හිසට වහලයක් පමණක් තිබූ පමණින් එය සුරක්ෂා මධ්‍යස්ථානයක් වන්නේ නැත. කුසට කුමන හෝ අහරක් වැටුණු පමණින් ඔවුන්ගේ ආහාර අයිතිය සුරක්ෂිත වන්නේ ද නැත. සෑම පුද්ගලයෙකුටම තමාව නඩත්තු කිරීමට අවශ්‍ය අවම ආහාර ප්‍රමාණයකට, ආරක්ෂිත, සෞඛ්‍යසම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට මූලික අයිතියක් ඇත. එය ආහාරවලට ප්‍රවේශය පමණක් නොව, ඒවායේ ගුණාත්මකභාවය, ලබා ගැනීමේ හැකියාව, ලබා ගත හැකිවීම සහ ස්ථාවරත්වය යන සියලු අංශ ආවරණය කරයි. අවතැන් කඳවුරුවල කල්දේරම් ආහාර ඉටු කරන්නේ, යන්තමින් කුසගිනි නිවීමේ අවශ්‍යතාව පමණි.


'දරුවන්ගේ ආහාර' අමතක කිරීම

‘ගැමි සේවා සෙවණ’ සුරක්ෂා මධ්‍යස්ථානයේ රැඳී සිටින 67 හැවිරිදි තෙරේසා අම්මා එහි ගෙවන ජීවිතය පිළිබඳ අදහස් දැක්වූවාය. “අපි මෙතනට ආවෙ 28 වෙනිදා. 27 වෙනිදා ‍හවස නාය ඇවිත් අපේ වත්තේ 11 දෙනෙක් නැති වුණා. ඊට පස්සෙ අපි මෙතනට ඇවිත් ඉන්නෙ. මගේ මුණුබුරාට තාම අවුරුද්දක් වගේ වෙන්නෙ මෙතන හදන කෑම එයාට දෙන්න බෑ. බිස්කට්, කිරි වගේ දේවල් තමයි දිගටම දුන්නෙ. දැන් ඒවත් ඉවර වේගෙන එනවා. කඩෙන් ගන්නත් අතේ සල්ලි නෑ. දරුවො බඩගින්නෙ ඉද්දි අපිට කන්න හිතෙන්නෙත් නෑ.” ලුණු, මිරිස්, තුනපහ යහමින් දමා සාදන කල්දේරම් හොදි මාළුපිනි කුඩා දරුවන් ප්‍රිය නොකරන බව කුඩාවට සිටි ඕනෑම කෙනෙකුට සිහිපත් වනු ඇත.

‘ගැමි සේවා සෙවණ’ සුරක්ෂා මධ්‍යස්ථානයේ රැඳී සිටින දරුවන් සඳහා වෙන් කර ඇත්තේ මාරාන්තික අනතුරක් වුවද පහසුවෙන් විය හැකි ස්ථානයකය. ලණු පටකින් හෝ බාධකයක් යොදා නොමැති එම ස්ථානය දරුවන්ගේ ජීවිත ගැන කෙතරම් සිල්ලරට සිතන්නේ ද යන්නට එක් නිදර්ශනයකි.

9
 සරසවිගම හදබිම ජනපදයේ එක් කාන්තාවක් පැවසුවේ "රාත්‍රියේ වැසිකිළියට යන්න බයයි. ආලෝකයක් නැහැ, අපිට වෙනම තැනක් නැහැ. ළමයින්ටත් ඒක බයක්. මෙතන නාන්න කරන්න තියෙන්නේ හැමෝටම පේන තැනක. ඒක ටිකක් අපහසු නිසා අවදානම් කියලා දැනුම් දී තිබුණත් නාන්න වත්තට යනවා." මෙවැනි තත්ත්වයන් නිසා ලිංගික හිංසනයන්, අනවශ්‍ය බලපෑම් සහ මානසික පීඩන ඉහළ ගොස් ඇති බව ඔවුන්ගේ අත්දැකීම්වලින් පැහැදිලි වේ.

මෙය නව ගැටලුවක් නොවේ. 2004 සුනාමියෙන් පසුවද, අවතැන් කඳවුරුවල කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි ලිංගික හිංසනයන් වැඩි වූ බව වාර්තා වී ඇත. දිට්වා කුණාටුවෙන් පසුවද, UNFPA සහ UNICEF අනතුරු ඇඟවීම් කර ඇත්තේ, අවතැන් කඳවුරුවල අධික පිරිසක් රඳවා තැබීම, රෝග වැලඳීම් අවදානම සහ ලිංගික හිංසනයන් (Gender-Based Violence - GBV) ඉහළ යාමේ අවදානම ගැනයි. UNFPA Cyclone Ditwah Appeal වාර්තාවේ සඳහන් වන්නේ, "සීමිත පෞද්ගලිකත්වය, සනීපාරක්ෂාව සහ ආරක්ෂාව සහිත තදබදයෙන් පිරුණු තාවකාලික නිවාස - විශේෂයෙන් නව යොවුන් වියේ ගැහැනු ළමයින්, වැඩිහිටි කාන්තාවන් සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (GBV) අවදානම තියුණු  ලෙස වැඩි කරන තත්ත්වයක්" නිර්මාණය කර ඇති බවයි.

WhatsApp Image 2025 12 20 at 10.08.50 AM 1
මෙම අනතුරු ඇඟවීම කෙතරම් සත්‍යයද යන්න නිල්ලඹ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය තහවුරු කළාය. “ගල්ඔය හදබිම ජනපදයේ සිදු නාය යෑම නිසා අවතැන් හා අවදානමට ලක් වූ පිරිස් සුරක්ෂා මධ්‍යස්ථාන දෙකක  රඳවා තිබෙනවා. ඉන් එක් මධ්‍යස්ථානයක සමේ රෝගයක් පැතිර ගියා. මේ වන විට ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීලා සුව වෙමින් ඉන්නවා. සනීපාරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීම් සිදු කළත් පවතින ඉඩ පහසුකම් එක්ක ඒ අනුව කටයුතු කිරීමේ අපහසුතා තියෙනවා. ‘ගැමි සේවා සෙවණ’ සුරක්ෂා මධ්‍යස්ථානයේ ඉන්න අයටත් පිරිසිදු කාරක ද්‍රව්‍ය වල අඩු පාඩු තියෙනවා. අපි හැකි පමණින් අපේ දායකත්වයත් ලබා දෙනවා. කාර්‍යාලයේ කොටසක මාස හයක දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට ඉඩ පහසුකම් සලසා දුන්නා. අපේ පෞද්ගලික පරිහරණය සඳහා ගෙනැවිත් තිබුණ සබන් වැනි ද්‍රව්‍යත් ඔවුන්ට ලබා දුන්නා.”

අවදානමට හේතු සහ පිළියම්

කාන්තාවන්ගේ ආරක්ෂාව උල්ලංඝනය වීමේ ප්‍රධාන හේතු ලෙස අඩු ආලෝකකරණය සහ පහසුකම් නොමැති වීම පෙන්වා දිය හැකිය. බොහෝ කඳවුරුවල රාත්‍රී කාලයේ ආලෝකය අඩුය. මිශ්‍ර වැසිකිළි සහ නානකාමර නිසා කාන්තාවන්ට තනිව යාමට බියක් ඇති වේ. එක් කඳවුරක පවුල් ගණනාවක් රැඳී සිටීම නිසා පෞද්ගලිකත්වය අහිමි වේ. එමෙන්ම විපතෙන් පසු බොහෝ කාන්තාවන් තනිවම පවුල් පෝෂණය කරති. එමෙන්ම මෙවැනි මධ්‍යස්ථානවල රැඳී සිටින පිරිස් වෙත සැපයෙන පොලිස් ආරක්ෂාව සහ උපදේශන සේවා අඩුය.

1929 Logo

ඇදිවත පමණක් ඉතිරිව අවම පහසුකම් ඇති සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින කාන්තාවන්ගේ සහ දරුවන්ගේ මානසික සෞඛ්‍යය යහපත් මට්ටමකට ගොඩනැගෙන්නට නම් මූලිකවම ඔවුන්ට සුරක්ෂිත හැඟීමක් දනවන්නට අවශ්‍ය වේ. ඒ වෙනුවෙන් ඔවුන්ට වෙන්වූ කාන්තා-ළමා කොටස් ස්ථාපිත කිරීම, ප්‍රමාණවත් ආලෝකකරණය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම, කාන්තා පොලිස් නිලධාරිනියන් සහ ළමා ආරක්ෂක නිලධාරීන් යෙදවීම, ගැටලුවකදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) 1929 hotline භාවිතය පිළිබඳ දැනුම්වත් කිරීම, මානසික සහාය වැඩසටහන් ආදී ක්‍රියාමාර්ග යුහුසුලුව  ක්‍රියාත්මක කළ යුතුව ඇත.

ගලහා කුරුස හන්දියේ නායයෑම මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල සිදුවූ විනාශයන් අපට මතක් කරන්නේ, දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම මෙරටේ කඳුකර ජනතාවට කෙතරම් බරපතළද යන්නයි. නමුත් විපතෙන් පසුව ඇති වන දෙවැනි විපත වන අවතැන් කඳවුරුවල කාන්තා හා ළමා අයිතීන් උල්ලංඝනය ඊටත් වඩා බරපතළය. මෙය වළක්වා ගැනීමට රජය, ජාත්‍යන්තර සංවිධාන සහ ජනතාව එක්ව ක්‍රියා කළ යුතුය. වූ විපත්වල ස්වභාවය අනුව, සැලකියයුතු පිරිකට දිගු කලක් අවතැන් ජීවිත ගත කිරීමට සිදු වනු ඇති බව බැහැර කළ නොහැකි යථාර්ථයකි. එ⁣බැවින්, 'ආහාර, පානීය ජලය සහ නොතෙමී සිටීම' යන අතිමූලික අවශ්‍යතාවලින් ඔබ්බට ගොස්, ඔවුන්ගේ සියලු ආකාරයේ මානුෂීය අයිතිවාසිකම් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක විය යුතු නොවේද?


soba koliyawansha
(සටහන | සෝබා කෝලියවංශ)
manjariya2017@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...