The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පත්තිනි අම්මාගෙන් 'පුරුෂ සම්පතක්

T

The Leader Desk

December 20, 2025 • 10:59 AM

පත්තිනි අම්මාගෙන් 'පුරුෂ සම්පතක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේවාරූඪයන්ට සේම යක්ෂාරූඪයන්ට පත්ව ශාස්ත්‍ර කීමේ යෙදෙන කාන්තාවන් පිළිබඳව අපි කෙතෙකුත් අසා ඇත්තෙමු. එලෙස තමන්ට ලැබෙන දේවාරූඪයක් සතුරන්ට පහර දීම පිණිස පමණක් යොදාගන්නා අරුම පුදුම කාන්තාවක මීට වසර පහළොවකට පමණ පෙර වන්නි හත්පත්තුව නමින් හැඳින්වෙන, කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ග්‍රාමීය ප්‍රදේශයක දී මට හමුවිය.
  • එම ප්‍රදේශයේ ප්‍රධාන දේව ඇදහීම් වන අයියනායක, කඩවර සහ කම්බිලි යන දේව විශ්වාස මුල්කොට සිදු කරනු ලැබූ විමර්ශන කිහිපයක් එක්කොට ‘වන්නි හත්පත්තුවේ ජන කතා – යක්ෂ දේව ප්‍රවාද’ යනුවෙන් කෘතියක් සම්පාදනය කළ මම, එය 2016 වසරේදී එළිදැක්වීමි.
  • ඒ බොහෝ ගමන් වාරවලදී මා හා එක් වීමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මගේ සුමිතුරු වෛද්‍ය සුගත් විජයවර්ධන එක් වූ බව මෙහි සටහන් නොකිරීම යම් අකෘතඥකමකැයි මට සිතෙයි.
  • ඉහත සඳහන් කාන්තාව මට මුල්වරට හමු වූයේ එම චාරිකාවකදී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


sugath wijewardanaවෛද්‍ය සුගත් විජේවර්ධනමම එවක වන්නි හත්පත්තුවේ යක්ෂ, දේව ප්‍රවාද පිළිබඳව දැනගැනීම පිණිස ඒ ප්‍රදේශයේ ක්ෂේත්‍ර අධ්‍යයනයක යෙදුණෙමි. එම ප්‍රදේශයේ ප්‍රධාන දේව ඇදහීම් වන අයියනායක, කඩවර සහ කම්බිලි යන දේව විශ්වාස මුල්කොට සිදු කරනු ලැබූ විමර්ශන කිහිපයක් එක්කොට ‘වන්නි හත්පත්තුවේ ජන කතා – යක්ෂ දේව ප්‍රවාද’ යනුවෙන් කෘතියක් සම්පාදනය කළ මම, එය 2016 වසරේදී එළිදැක්වීමි. ඒ බොහෝ ගමන් වාරවලදී මා හා එක් වීමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මගේ සුමිතුරු වෛද්‍ය සුගත් විජයවර්ධන එක් වූ බව මෙහි සටහන් නොකිරීම යම් අකෘතඥකමකැයි මට සිතෙයි.

ඉහත සඳහන් කාන්තාව මට මුල්වරට හමු වූයේ එම චාරිකාවකදී ය. එවකට තිස් පස් හැවිරිදිව සිටි ඇය තද කාල වර්ණ සිරුරකින් යුත් තැනැත්තියකි. නමුදු සිරුරේ පෘෂ්ඨිමත් බව හා මුහුණේ අංගෝපාංගවල පැවති ක්‍රමානුකූල බව අනුව ඇය රූමතියකැයි ඇය දුටු මුල් අවස්ථාවේදීම මට ද සිතිණි. මගේ මතකය නිවැරදි නම් ඊට වසර දෙකකට පමණ ඉහත හේනට හෝ කුඹුරට යමින් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්වූ ඇගේ සැමියා මියගොස් තිබූ බව ද මට දැනගත හැකි විය.

sasthara 3
ඇයට එම පත්තිනි දේව බැල්ම ලැබී ඇත්තේ තම මියගිය සැමියාට පින් පැමිණවීම පිණිස ඒ ප්‍රදේශයේ පුරාණ බෝධියක් අද්දර පහන් වැටක් දල්වමින් සිටියදී ය. එහිදී ඇය හමුවට පැමිණි පත්තිනි මෑණියන්, මියගිය සැමියාගේ ඉල්ලීම පරිදි තමන්ගේ ප්‍රාණය සිය භාරයට ගත් බව ගුප්ත ක්‍රමයකින් පැවසූ බවත්, පත්තිනි මෑණියන් නිමේෂයකින් අතුරුදන් වූ බවත් එම කාන්තාව මා හා කීවාය.

“ඊට පස්සෙත් මෑණියෝ ඇවිත් මට රෑට රෑට හීනෙන් එක එක පණිවිඩ දුන්නා. මාව හොර හතුරන්ගෙන්, වන මෘගයන්ගෙන් ආරක්ෂා කරලා මට හැමදාම රැකවරණය දෙනවා කියලා මෑණියෝ මට කිව්වා. ඒ වගේම මට පුරුෂයා නැතිව තනියම ජීවත් වෙන්න ධෛර්යය, ශක්තිය දෙන්නත් මෑණියෝ මට පොරොන්දු වුණා. හැබැයි ඒ එක කාරණයක් උඩ.” එම කාන්තාව හමු වූ මුල්ම අවස්ථාවේ ඇය මා හා කීවා ය. ඇය පැවසූ එම කාරණය වූයේ තමන් යළි අන් පුරුෂයෙකුගේ පහසට නතු වන තාක් පමණක් තමන්ට පිහිට වීමට පත්තිනි මෑණියන් එකඟ වූ බව ය.

එම කාන්තාව පිළිබඳ ඒ ප්‍රදේශයේ ගැමියන්ගෙන් අසා දැනගත් කරුණු අනුව ඇය පිරිමින් හත් දෙනෙකුගේ සවිබල ඇති අරුම පුදුම ගැහැනියකි. තම පවුලේ ඥාතීන් ද සමඟ හේන් කුඹුරු වගා කරමින් ජීවත් වූ ඇය පසුව ඉන් උපයාගත් මුදල් ගැමියන්ට පොලියට දීමෙන් අතිරේක ආදායමක් ද උපයා ගෙන තිබිණි.

“එයාට පත්තිනි අම්මා වරමක් දුන්නට ඒක සාත්තර වරමක් නෙවෙයි. හැබැයි ඒ වරමින් එයාට පුළුවන් තමන්ට විරුද්ධ වෙන හතුරන්ව කාබාසිනියා කරලා දාන්න. එයා ඒක කීප සැරයක්ම ඔප්පු කරලාත් පෙන්නලා තියෙනවා.”

 

abbuce 250627

ගැමියන් පැවසූ අන්දමට ඒ වනවිට ඇය පරිහරණය කළ ඉඩම රජය මඟින් ඇගේ සැමියාට බලපත්‍ර ක්‍රමයට ප්‍රදානය කළ බිම් කොටසකි. තමන්ගේ සැමියාගේ මරණයෙන් පසු ඔහුගේ වැඩිමල් සොයුරෙකු එම ඉඩමට හිමිකම් කීමට පැමිණ ඒ කාන්තාව හා ආරවුලක් ඇති කරගෙන තිබේ. එහෙත් ඊට සතියකට පමණ පසු ඔහු එක්තරා රාත්‍රියක අධික ලෙස බීමත්ව නිවසට පැමිණෙන අතරේ වගා ළිඳකට වැටී ඇති අතර, ඔහුගේ මළසිරුර ගම්මුන්ට හමුවී ඇත්තේ පසු දා උදේ ය. මේ අතර දිනක් තනිපංගලමේ ගමනක් යමින් සිටි ඒ කාන්තාවට බලහත්කාරකමක් කිරීමට සැරසුණු පුද්ගලයෙකුගේ මුහුණ වලසකු සපා කෑවාක් මෙන් දරුණු ලෙස තුවාල වී තිබූ අතර, ඒ මොහොතේ ගැමියන්ට එහි සුලමුල කීමට ඇති නොහැකියාව මත ගමින් පිටත් වූ ඔහු ඉන් පසුව ආගිය අතක් නොමැති බව ද පැවසෙයි.

“මට තියෙන්නේ පත්තිනි අම්මාගේ බලය. ඒත් මට මොකක් හරි විපතක්, කරදරයක් වුණු වෙලාවක මට හොඳින් බේරෙන්න බැරි වුණාම පත්තිනි අම්මා තමන්ගේ ඒ බලය කාලි අම්මාට පවරනවා. ඔය අපේ පුරුෂයාගේ අයියව වගා ළිඳට දැම්මේ, මාව බදාගන්න ආපු එකාගේ මූණ ලෙලි යන්න හපා කෑවේ මම එහෙම නෙවෙයි.” ඒ කාන්තාව මා හමුවේ එසේ කීවේ මහත් ආඩම්බරයක් සිත යට සඟවාගෙන බව මට එවර වැටහිණි. ඇතැම් විට ඇය එය ආත්මාරක්ෂක උපක්‍රමයක් (Defense mechanism) ලෙස යොදා ගනු ලබන්නක් බව ද මා ඒ මොහොතේ මගේ මිතුරු සුගත්ට කීවෙමි.

“කෝකටත් උඹත් මුන්දෑ එක්ක පරිස්සමෙන් කතා කරපන්; නැත්නම් තවත් මළ මඟුලක් වෙයි.” ඔහු ඒ මොහොතේ මගේ කනට කොඳුරා කළ සරදම මෙය ලියන මොහොතේ ද මගේ මතකයට නැඟෙයි.

කිසියම් වගාවක් ඇරඹීම පිණිස ඒ ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගැනීමට ඇති හැකියාව සලකා බලන මෙන් මගේ විදේශගත මිතුරකු කළ ඉල්ලීමකට අනුව ඉකුත් කාලයේ නැවත ඒ ගම් ප්‍රදේශයට ගිය මට එහි වෙසෙන මගේ පැරණි හිතවතුන් කිහිප දෙනෙකුම මුණගැසුණි. එහිදී ඔවුන්ගෙන් අනේකවිධ තොරතුරු ඇසූ මට නිකමට මෙන් ඉහත සඳහන් දේව බැල්ම සහිත කාන්තාවගේ වත්මන් තත්ත්වය ද විමසා බැලීමට සිත්විය. එවිට එම ගැමියන් පවසා සිටියේ ඇය මේ වනවිට කොතරම් වෙනස් වී තිබේද යන්නත්, සුද්දියක මෙන් බාහිර පෙනුම පවා සුදු පැහැයට හරවාගෙන ඇති බවත් ය.

 

Woman cooking a colourful and nutritious quinoa stir-fry with mixed vegetables and a drizzle of olive oil.

“මීට අවුරුදු පහ හයකට විතර කලින් පිටරටක හුඟක් කල් ජීවත් වුණු කොළඹ පැත්තේ මහත්තයෙක් මේ පැත්තෙන් අක්කර තිහ හතළිහක ඉඩමක් අරගෙන අඹ, පේර, කජු වගාවක් පටන් ගත්තා. ඒ ඉඩම මැද්දේ හදපු පුංචි බංගලාවක තමයි ඒ මහත්තයා ඒ කාලේ ඉඳලම හිටියේ. කොහොමහරි ඒ කාලේ ඒ බංගලාවේ උයන්න කෙනෙක් නැතුව හොයනකොට තමයි ඔය ගෑනු කෙනා ඒ බංගලාවේ වැඩේට ගියේ. අද වෙනකොට එයා තමයි ඒකේ වගා කරන මිනිස්සු විතරක් නෙවෙයි ඒ මහත්තයවත් පාලනය කරන්නේ. දැන්නම් කාටවත්ම හඳුනගන්න බෑ ඒ අර ඉස්සර හිටපු ගෑනු කෙනාද කියලා. බලන්න එපායෑ එයා ඒ මහත්තයාගේ ජීප් එකේ ඉස්සරහ සීට් එකේ නැගලා යන අපූරුව. කොටින්ම දැන් එයා කුරුණෑගල පැත්තේ බියුටි සැලෝන්වලටත් යනවලු කොණ්ඩේ, මූණ එහෙම හදාගන්න.” එම ගැමියන් එසේ පවසනු මම අන්දමන්දව අසා සිටියෙමි.

“එතකොට එයාට පත්තිනි අම්මා දීපු වරමට දැන් මොකද වෙලා තියෙන්නේ?” අවසානයේ කිසිවක් සිතා ගත නොහැකිව මම ඇසුවෙමි.

“පහුවෙනකොට ඔය ගැන ගමේ කවුරුත් වගේ එයාගෙන් අහලා තියෙනවා. ඒත් එයා අන්තිමට ඒකට උත්තරේ දීලා තියෙන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට. එතැනදී එයා කියලා තියෙනවා, ‘හාමුදුරුවනේ, පත්තිනි අම්මා තමයි මාව ආරක්ෂා කරන්න මේ මහත්තයට භාර දීලා තියෙන්නේ. දැන් මට පත්තිනි අම්මා නැති වුණාට මේ මහත්තයගේ ආරක්ෂාව හොඳටම ඇති’ කියලා.”

 

Samuel Johnson
දහ අට වන සියවසේ විසූ විශිෂ්ටතම භාෂා හා සාහිත්‍යධරයකු වන සැමුවෙල් ජොන්සන්ගේ ප්‍රකාශයකට අනුව “භාෂාව යනු සිතුවිලිවල ඇඳුම ය” (Language is the dress of thought). ඉන් පැවසෙනුයේ පවසන දේ මඟින් තම සිතුවිලි වසා ගැනීමට හා ඒවායේ ස්වරූපය වෙනස් කර ගැනීමට යමකුට ඇති හැකියාව ය. එම කාන්තාව තමන්ට පත්තිනි අම්මා දුන් බව පැවසුණු එම වරප්‍රසාදය තුළ ගැබ්ව ඇත්තේ ද එම අනගි ප්‍රකාශයේ යටි අරුත මිස අන් කිසිවක් නොවේ.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...