The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දේශපාලන හා ආණ්ඩු බලය හමුවේ රාජ්‍ය සුරැකීමේ වගකීම ඇත්තේ කාටද? | කුසල් පෙරේරා

T

The Leader Desk

December 20, 2025 • 3:37 PM

දේශපාලන හා ආණ්ඩු බලය හමුවේ රාජ්‍ය සුරැකීමේ වගකීම ඇත්තේ කාටද? | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වූ සහ මෙතෙක් ව්‍යාජ යැයි නොකියවුනු හඬ පට කිහිපයකින් ඉකුත් 17 වන දින සිට
  • විෂය භාර නියෝජ්‍ය ඇමති ලෙස ඔහු එසේ කියුවේ, හදිසි නීතිය පනවමින් එය කිසිදු ආකාරයකින් ආණ්ඩු විරෝධය හා විසම්මුතීන් මර්දනය කිරීමට යොදා නොගන්නා බවට ජනාධිපති අනුර කුමාර සහතිකවී තිබියදී ය.
  • ඔවුන්ගේ “වචනය” අවසන් වචනය ලෙස පිළිගත යුතු යැයි කීමකි.
  • ආණ්ඩු “පක්ෂයේ බලය” යොදා තමන්ට රිසි සේ රාජ්‍ය නිලධාරීන්ගෙන් නිලධාරිනියන්ගෙන් වැඩ කරවා ගැනීමට ගොස් ඇතිවූ ගැටුම්ද වාර්තා වන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

වයිරසයක් වූ කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් ගේ හඬ පටයක් විය. තමන් නිලනොලත් මහේස්ත්‍රාත්වරයෙකු බවත් තමන් හමුවේ උසාවියේ හැසිරෙන අයුරු හැසිරෙන්නට ඉඩ නොදෙන බවත් පවසමින්, ඔහුගේ නගරාධිපති තනතුරෙහි බලය පීඩාකාරී, බලහත්කාරී, අශිෂ්ඨ බලයක් ලෙස භාවිත කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියකට බැණ වැදී, ඇය සහ පැමිණිලි පාර්ශවය මහ නගර සභාවෙන් පිටමං කළ අයුරු ඉන් ඇසිය හැකි විය. 

ඔහුම ඊට පෙර වාරයකදී, ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතියක සාමාජිකයෙකු සමග වූ දුර කතන වාදයකදී “මම මැරෙන්න බයත් නැහැ. මරන්න බයත් නැහැ” යැයි කියමින්, ආණ්ඩු බලය ගත්තේ එක එකාට නැවෙන්නට නොවේ යැයිද, “නරි ප්‍රවේසම් වෙන්න දැන ගන්න ඕනෙ” යැයිද තර්ජනය කරන හඬ පටයක් සමාජ මාධ්‍යවල සංසරණය විය.

එවගේම, පාර්ලිමේන්තු කටයුතු ඇමති සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල පොලීසියේ නිලධාරීන් සමග වූ රැස්වීමකදී කියා තිබුණේ, මේ බරපතල ආපදා තත්ත්වය හමුවේ ඇතැමුන් ජනාධිපතිට හා ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන්ට ද්වේශසහගත ලෙස පහරදීමට සමාජ මාධ්‍ය යොදා ගැනීමට විරුද්ධව හදිසි නීතිය යටතේ පියවර ගත යුතු යැයි කියා ය. විෂය භාර නියෝජ්‍ය ඇමති ලෙස ඔහු එසේ කියුවේ, හදිසි නීතිය පනවමින් එය කිසිදු ආකාරයකින් ආණ්ඩු විරෝධය හා විසම්මුතීන් මර්දනය කිරීමට යොදා නොගන්නා බවට ජනාධිපති අනුර කුමාර සහතිකවී තිබියදී ය.

පාර්ලිමේන්තු වරප්‍රසාද යොදා ගනිමින් ජනාධිපතිට පහර ගැසීමට, පරිභව කිරීමට හෝ පදනම් විරහිතව හෙළා දකින්නට ඉඩ දිය නොහැකි යැයිද, එවැනි මන්ත්‍රීවරුන්ට කතානායක දඬුවම් නියම කළ යුතු යැයිද මාලිමා මන්ත්‍රීවරියක් වන නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර තවත් දිනෙක පාර්ලිමේන්තුවෙහි ප්‍රකාශ කළ බවට මතකයක් ඇත.


ඒ හැමකින්ම කියවෙන්නේ, ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ දේශපාලනයට අනුව, ඔවුන්ව ප්‍රශ්න කිරීමට, ඔවුන් වැරදි යැයි කීමට, ඔවුන්ගේ දේශපාලන පැවැත්ම අභියෝග කිරීමට, කිසිවෙකුට අයිතියක් බලයක් නැතැයි කීමකි. ඔවුන්ගේ “වචනය” අවසන් වචනය ලෙස පිළිගත යුතු යැයි කීමකි.


මේ, ඒ ජවිපෙ/මාලිමා කාසියේම අනෙක් පැත්ත ය. ආණ්ඩු “පක්ෂයේ බලය” යොදා තමන්ට රිසි සේ රාජ්‍ය නිලධාරීන්ගෙන් නිලධාරිනියන්ගෙන් වැඩ කරවා ගැනීමට ගොස් ඇතිවූ ගැටුම්ද වාර්තා වන්නේය. බිම් මට්ටමේ එවැනි සිදුවීම් සඳහා සාපේක්ෂව වැඩියෙන් මුහුණ දෙන්නට සිදුවන ග්‍රාම සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගම් කිහිපයක්ම මාධ්‍යයට කර ඇති ප්‍රකාශ වලට අනුව, ඔවුන්ගේ රාජකාරි කටයුතු දේශපාලන බලහත්කාරයෙන් තොරව කිරීමට අවශ්‍ය පරිසරයක් නොමැති නම්, “ඩිට්වා” ආපදා සහන බෙදීමේ රාජකාරි කටයුතු වලින් ඉවත් වීමට ඔවුන්ට සිදුවන්නේ ය. ඉකුත් දෙසැම්බර 08 වන දින මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා එක්සත් ග්‍රාමසේවා නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහට අනුව, ජවිපෙ/මාලිමා දේශපාලකයින් හා ඔවුන්ගේ ගෝලයින් ආපදා සහන වැඩ සටහන්වලට අත ගසා අවුල් කරනවා මදිවාට, ග්‍රා.සේ නිලධාරීන්ට ඒ කටයුතු කිරීමේදී එමට බාධා කරති. ඔහුට අනුව රජයේ නවාතැන් හා සුභසාධන මධ්‍යස්ථාන වෙත ජවිපෙ/මාලිමා පාක්ෂිකයින් පත් කරන මෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත, “දේශපාලන අධිකාරිය” විසින් ලිපි යවාද ඇත.

පසුගිය දිනවල වයිරසයක් වූ විඩියෝවකින් විපතට පත් වූවන්ගේ මරණ සහතික බෙදා දීමේ දේශපාලන උත්සවයක් දැකගත හැකිවූ අතර, ඒ ගැන විපක්ෂ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේදී විවේචනාත්මක සඳහනක් කර තිබිණ. ඒ මරණ සහතික බෙදීමේ තිබූයේ මිය ගිය පුද්ගලයාට කෙරුණු නොසැළකිල්ල හා නිග්‍රහය පමණක්ම නොවේ. ඔවුන්ගේ නම් හඬ නගා කතා කර, පවුලේ අයෙකුට මරණ සහතිකය දීම ඡායාරූප ගත කර, ආපදා කළමනාකරන කාර්යන් නොපමාව ඉටු කරන්නේ යැයි ජනප්‍රිය වීමට ගත් උත්සාහයද වේ. ඒ සමග ඇති වැදගත්ම කාරණව වන්නේ, ආපදා කලමනාකරණය සමග, රාජ්‍ය සේවාවට පක්ෂ යාන්ත්‍රණය ආදේශ කිරීමේ උත්සාහය ය.

මේ සමාජයේ උගත් යැයි, විද්වත් යැයි අත්දැකීම් බහුල යැයි පිළිගනු ලබන හා “අපට දේශපාලනයක් නැහැ” යැයි කියන්නාවූ බොහෝ දෙනා, ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ ඒ බාල දේශපාලනය සාධාරණය කිරීමත් සමාජ වටිනාකම් හා ප්‍රතිපත්තීන් නාය යැවීමකි. ඔවුන්ට අනුව, මේ ආපදා තත්ත්වය හමුවේ අපගේ දූෂිත, ආකාර්යක්ෂම, අළස රාජ්‍ය සේවය සමග කිසිවක් කළ නොහැක. එහෙයින් “පක්ෂ යාන්ත්‍රණය” යොදා ආණ්ඩුව ඒ කාර්යන් ඉටු කිරීම හැර විකල්පයක් නොමැතිය.

පළමු කාරණාව නම්, එවැනි උගතුන් විද්වතුන් මේ ව්‍යසනයෙහි මේ මොහොතේ ඉටුවිය යුතු කාර්යන් ගැන අවබෝධයක් නැතැයි ප්‍රදර්ශනය කරන්නාවූ පිරිසක් වීම ය. මේ මහා ව්‍යසනයෙහි වත්මන් අවදිය වන්නේ සහනාධාර හා මූලික වන්දි ගෙවීම් ය. ඒ වෙනුවෙන් විපතට පත් වූවන් හඳුනා ගැනීමය. ඒ කාර්යන් කිරීමට ග්‍රාම සේවා නිලධර තන්ත්‍රය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල තවමත් ප්‍රමාණවත් ය. ඒ කාර්යන් කළ නොහැකි තරමට ඒවා කඩා වැටී නැත. අනෙක, ආණ්ඩුවක් ඇත්තේ ඒවා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කරවා ගැනීමට මිස, තමන්ගේ පක්ෂ ක්‍රියාකාරීන් යොදවා බාල ප්‍රසිද්ධියක් ගැනීමට නොවේ. මේ කෙරෙන්නේ, ග්‍රාම සේවා නිලධර තන්ත්‍රය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කෙරෙන ආපදා සහන බෙදීම, ඔවුන්ගෙන් ඉවත් කර “පක්ෂය” අතට ගැනීමකි.

e34534t

මේ සිදුවීම් ගත් විට, ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ නොදැනුවත්කම හා රාජ්‍ය පාලන නොහැකියාව ඔවුන් වසා ගන්නට දරණ උත්සාහය හඳුනා ගත හැක. පළමුව ඔවුන් විවේචනය කිරීම, ඔවුන්ව ප්‍රශ්න කිරීම, ආණ්ඩුවේ හයිය මත නිහඬ කරවීමට ගන්නා උත්සාහය ය. වටගලලා, ලක්මාලිලා, රන්ජන් ජයලාල්ලා ප්‍රදර්ශන කරන්නේ එය ය. දෙවැන්න, “පක්ෂ යාන්ත්‍රණය” රාජ්‍ය සේවාවට ආදේශ කර, රාජ්‍ය සේවය ක්‍රියාත්මකවන පරිපාලන හා මුල්‍ය නීති රීති නොමැතිව, ජවිපෙ/මාලිමා ක්‍රියාකාරීන්ට ඇවැසි ලෙස සමාජය හැසිරවීමේ හා පාලනය කිරීමේ ටිල්වින් ප්‍රමුඛ ජවිපෙ ව්‍යාපෘතිය වන්නේ ය.


මේ අතර, පැමිණි විගස ආදේශක කිසිත් නැතිව අහෝසි කිරීමට පොරොන්දුව සිටි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හිරිකිතයක් නැතිව අවුරුද්දක් පුරා යොදා ගත් ආණ්ඩුව, එය අහෝසි කිරීම සඳහා දැන් විකල්ප පනතක් සම්මත කිරීමට සූදානම් වන්නේය. එය “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත” (Protection of the State from Terrorism Act – PSTA) යැයි නම් කෙරුණකි. ඒ පනත එන්නේ, ආණ්ඩු පක්ෂය රාජ්‍යයට ආදේශ කෙරුණු පසු ඔවුන්ගේ කටයුතු සියල්ල, ප්‍රශ්න කිරීමකින් තොරව සමාජය බාරගත යුතු යැයි කීම සඳහා ය.

එබැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි “පොලිස් අධිකාරිවරයෙකුගේ ලිඛිත දැන්වීමක් මත, උප පොලිස් පරීක්ෂකවරයෙකුට හෝ ඉන් ඉහළ නිලධාරියෙකුට” පමණක් පරීක්ෂා කිරීමට හා අත් අඩංගුවට ගැනීම සඳහා ලබාදී තිබුණු බලය, මෙම යෝජිත රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත මගින්, පොලිස් සේවාවේ ඕනෑම අයෙකුට ලබා දීමට යෝජිත ය. ඩිට්වා සුළි කුණාටුව විසින් ඉතිරි කළ මහ ව්‍යසනය හමුවේ රාජ්‍ය දේශපාලනීකරණය කිරීම වේගවත් කෙරෙන අතර, ඊට ප්‍රයෝජනවත් වන මෙවැනි ප්‍රතිපාදන සහිත රාජ්‍ය ආරක්ෂා කිරීමේ නීති සම්මත කිරීම, අතිශය අවදානම් යැයි අවධාරණය කළ යුතුව ඇත.


මෙහි සටහන් කෙරුණු කාරණා ත්‍රිත්වය එක පෙළට තැබුවහොත්, (1) දේශපාලන බලය බලහත්කාරී ලෙස යොදා ගැනීම, (2) ආණ්ඩුව විවේචනය කිරීම ආණ්ඩුවේ නායකයින්ට පරිභව කිරීමක් ලෙස ඊට දඩුවම් කිරීම සහ (3) ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමට යැයි වන අසීමිත බලයක් සහිත පනතක් ගෙන ඒම සමග ජවිපෙ/මාලිමා නායකයින් නිර්මාණය කරන්නාවූ රාජ්‍ය පාලනය අප තේරුම් ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී, වගවීමක් හා පාරදෘශ්‍ය භාවයක් ඇති පාලනයක් ලෙස නම් නොවේ.


kusal perera(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 දෙසැම්බර් 20
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...