The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අදට ගැලපෙන උපුටා ගැනීමක්... - කොම්බිට ආවේස වූ නිපුණි සාරදා ගංවතුරට ගියා ද? | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

December 21, 2025 • 8:29 AM

අදට ගැලපෙන උපුටා ගැනීමක්... - කොම්බිට ආවේස වූ නිපුණි සාරදා ගංවතුරට ගියා ද? |  චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේග ප්‍රචාරක වේදිකාවට අනුරාධපුරයේදී ගොඩවූ නිපුනි සාරදා නම් නාට්‍ය ශිල්පිනිය කොම්බි අත්තම්මා යළි කරළියට ගෙනාවාය.
  • කොම්බිගේ පුරා වෘත්තය ඇතුළත් නිපුනි සාරදාගේ හඬපටයට සවන් දුන් මා, ''මාලිමා වේදිකාවේ බව සැබෑය.
  •  අතීත කොම්බිගේ කතාව වර්තමාන විතරක් නෙමෙයි අනාගත අපේ දරුවන්ගේ ඇස් අරවන කතාවක් බවට නිපුනි පත් කලා.
  • ඇය ඒ අභියෝගය කරන්නේ බොහෝ සුදුසුකම් ඇති ව.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ කොම්බි නුවර කලාවියේ නැගෙනහිර නුවරගම් පළාතේ පොතාන වැව් ගම්මානයේ ජීවත්වූ සෙනෙවිරත්න මුදියන්සේලාගේ කිරිහාමිගේ ඩිංගිරි මැණිකා ය.

කොම්බිගේ පුරා වෘත්තය ඇතුළත් නිපුනි සාරදාගේ හඬපටයට සවන් දුන් මා, ''මාලිමා වේදිකාවේ බව සැබෑය. නිර් දේශපාලනික මනසකින් මේ කතාවට සවන් දෙන්න..'' යන හැඳින්වීමේ පාඨය සමග මුහුණු පොතට එක් කළෙමි.

 

....

ඊට සමගාමීව සුනිල් හඳුන්නෙත්ති නිපුනි සාරදා ගැන මුහුණු පොතේ තැබූ සටහන මෙසේය.

''කොම්බි කතාවක් නිසා නිපුනි ගැන හුඟක් දෙනාගෙ අවධානය යොමු වෙලා.  අතීත කොම්බිගේ කතාව වර්තමාන විතරක් නෙමෙයි අනාගත අපේ දරුවන්ගේ ඇස් අරවන කතාවක් බවට නිපුනි පත් කලා. අද බොහෝ දියනියන් ටික් ටොක්වල කොරියානු ටෙලිනාට්‍යවල සුරංගනා සිහින ලෝකවල අතරමං කරන්න මේ ප්‍රාග්ධන බලය සහිත පාලකයන් සමත් උනා. නූතන කොම්බි :නිපුනි- අභියෝග කරන්නේ ඒ පාලකයන්ගේ බලයට. ඇය ඒ අභියෝගය කරන්නේ බොහෝ සුදුසුකම් ඇති ව. ඇය රංගන ශිල්පිනියක් කතිකාචාර්යවරියක්  කොළඹ සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ.  


ඊට සමගාමීව ආචාර්ය දර්ශන ලියනගේ  නිපුනි සාරදා යනු සීතා අරඹේපොලගේ මාලිමා වර්ෂන් එක නමින් ලියු සටහන ඉතා අකාරුණික ප්‍රතිචාරයක් යනුවෙන් සටහනක් තබන මහාචාර්ය මතුගම සුනිල් සෙනවි ''හැබැයි ලංකාවේ හැම තැනින්ම අලූත් ස්ත්‍රීන් පිරිසක් සක්‍රිය අදහස් ප්‍රකාශ කරන්නියන් බවට පත් කර ගැනීමට හැකිවීම එන්එන්පියේ විශේෂ ජයග්‍රහණයක්....'' යනුවෙන් කරන ප්‍රකාශයෙන් නිපුනි සාරදා සීතාගේ වර්ෂන් එක බව සහතික කරයි.

මේ ඊට මා දැක්වූ ප්‍රතික්‍රියාව මෙසේය

නුවරකලාවියේ කොම්බි කිසි විටෙක පාලකයන්ට හෝ පාලකයන් කොම්බිට අභියෝගයක් වී නැත. මාලිමාවට ජයවේවා නො කියන මාද නිපුනි සාරදාගේ කතාවට යළි කියැවීමට සලස්වන ලද්දේ කොම්බි තමන් උරුම සමාජ වටිනාකම් නො තකා ශක්තියෙන් නැගී සිටි  බව හැටි කියන නිර් දේශපාලනික කියවීම නිසාය. කොම්බි යනු රන් පදක්කම් රටට ගෙනා වලල තරුෂි කරුණාරත්නගේ අම්මා වාගේ සිය ශක්තියෙන් නැගී සිටි තවත් අම්මා කෙනෙකි. තරුෂිගේ අම්මා කොවිඩ් වසංගත කාලෙත් ගෙවත්තෙ ජවන පිටිය: ට්‍රැක් හදා දුවගේ ශක්තිය වැටෙන්න නොදී අඛණ්ඩව ආරක්ෂා කළාය. තරුෂිගේ මව කොවිඩ් සම්බාධක :නම් කොම්බි වට කළ වරිග- තහංචි නොතකා කෙළින් හිටගත් ආකාරය කිහිප විටෙක මගේ නිරීක්ෂණයට ලක් විය.  

තරුෂිගේ අම්මා නැති බැරි අසරණ සමාජය ආකර්ෂණය කරවමින් දේශපාලන පක්ෂ දුන් විවිධ පොරොන්දු කෙරෙහි නො රැවටී හුදෙකලාව තම අභිලාෂයන් වෙනුවෙන් කැපවී සිය ශක්තියෙන් ජීවිතය දිනා රටත් ජයග්‍රහණය කිරීමට සමත් වූවාය. මා නැවත කියන්නේ කොම්බිත් ගැටුණේ කාලයේ එළිපත්ත අවුරා තමන්ට බාධා කළ අභියෝගයන් සමග බවය. ලෝකයට අනාවරණය නොවූ නුවරකලාවියේ ජීවත්වූ කොම්බිත් විශ්ව ගම්මානයට විවෘත වර්තමාන ලංකාවේ උඩදුම්බර තරුෂිගේ අම්මාත් කාලයේ වීරවරියන් වන අතර ඔවුන් කාගේවත් කොඩියක් නොවිය යුතු බවය.

kavikara kombi wijayapala kumarasinghe 500x500

නිපුනිගේ කතාන්තරයට මගේ මැදිහත්වීම කෙනෙකු දේශපාලනිකව දැකිය හැකිය. කොම්බි ගැන මා මිත්‍ර කට්ටඹුවාවේ විජයපාල කුමාරසිංහ ලියූ කෘතියේ දැක්වෙන සමහර කවි කොම්බි කී කවි නොවන බව අසා ඇති මා, මේ ගැන සැක හැර දැන ගැනිමට කිහිප වරක් කට්ටඹුවාවේ සම්බන්ධ කර ගැනීමට කළ උත්සාහය අසාර්ථක විය. ජනශ්‍රැති අතර ජීවත්වන බොහෝ චරිත සමකාලීන සමාජ චලනයේ ප්‍රතිපලයන් වෙති. කොම්බි මූදුකරයේ උපන් රංචාගොඩලා ගජමන් නෝනාලා තරම් ප්‍රචරිත නොවන්නී එ දවස ලෝකයෙන් ඈත්ව පිහිටි නුවරකලාවියේ නියම් ගමක ජීවත්වූ ගැහැනියක නිසාය.

සියලු සම්මතයන්ට අභියෝග කර සිය සැමියාගේ මරණයෙන් පසුව අස්වාමික වූ උඩමළුවේ ජයසිරි මහා බෝධියේ භාරය පවුලෙන් පිට යා නොදී මහ සංඝයා සහ යටත් විජිත නිලධාරින් රැස්වූ සභාවේ මූලාසනය ගෙන මෙහෙයවූ ඕවිල්ලේ කුමාරිහාමි ප්‍රකට කළ ඒ ශක්තිමත් කාන්තා භූමිකාව ලෝකය දැන නො සිටියේ මාතලේ උපන් එතුමියත් වන්නියේ හෙවත් නුවර කලාවියේ ජීවත් වූ  නිසාය.  

නූතන කොම්බි හැටියට අබිසේක කිරීම දේශපාලන ව්‍යාපෘතියකි. එහෙත් නුවරකලාවියේ කොම්බි නම් කිවිඳිය, ප්‍රේමවතී මනම්පේරි මෙන් මස් කර දේශපාලන කෑමක් බවට නිපුනි සාරදා යොදා ගැනීම සාධාරණ නැත. ඊට හේතු ලෙස ගිය සතියේ සෙනසුරාදා දිනපතා ලංකාදීප කලා පිටුවේ රෝහණ වීරසිංහ සමන්ත යහම්පත්ට කළ ප්‍රකාශයෙන් තහවුරු කළ හැකිය. තමා දේශපාලනයට ගොදුරු වීමෙන් ගෑවුණ මඩ පැල්ලම සෝදා ගන්නට නො හැකිවීම ගැන රෝහණ වීරසිංහ තුළ පවත්නා පසුතැවිල්ල අවධාරණය කරන මා, නිපුනි සාරදාට කියා සිටින්නේ කා වෙනුවෙන් හෝ නූතන කොම්බිට ආවේස නොවී තම අනන්‍යතාවයෙන් හිට ගන්නා ලෙසය. එහෙම නො වුණොත් නිපුනිකාට දවසක අරයාට මෙයාට  ඇන්දාට කඩේ ගියාට මතක නැද්ද මං කතිකාචාර්ය අහවලා කියන තැනට පත්වීමට සිදුවිය හැකිය. මෙහිදී රාජපක්ෂලාට කවි සිංදු කී සේනානායක වෙහෙරලියැද්දත් උදාහරණයකි.

 

IMG 3184

කොම්බි යනු ස්ත්‍රීයක විසින් උපයා ගත යුතු ශක්තිය නිසා නැගි සිටි අභිමානවත් පෞරුෂයකි. ඇය ශක්තිමත් වන්නේ සුරංගනා කතාවකින් හෝ පිරිමියෙකුගේ හාදුවකින් නොවේ. නිපුනි සාරදාට අනුව කොම්බි දෙවරක් ගබ්සාවූ ගැහැණියකි. ඉහත සඳහන් කළ ධාවනශුරි වලල තරුෂි කරුණාරත්නගේ මෑණියන් ලෝකයක් අඩපන කළ කොවිඩ් වසංගතය හමුවේ සිය අභිලාෂයන් ගබ්සා කර නො ගත්තීය. අම්පාරේ ඈත ගමක උපන් දමයන්ති දර්ෂාගේ අම්මා සමාජ අර්බුදයකින් බේරී දියණියක් කර පුන්නා ගෙන පානදුරේට ආවා මිස ජාතිවාදි දේශපාලනයට ගොදුරු වුණේ නැත.  වයඹ වෙල්පල්ලේ නෙත්මි අහිංසාගේ අම්මා තවත් එවැන්නියකි. මේ කිසිදු මවක ලංකාවේ පිරිහුණ දේශපාලනයේ දෙන්නම් කාසි වලින් උත්තේජනය වී තම අභිලාෂයන් ගබ්සා වෙන්ට හැරියේ නැත.

වල් අලි නිසා දේශගුණික හා කෘමි උවදුරු නිසා පීඩිත ගම්මුන් මාධ්‍ය හරහා කතා කරමින් අපි බලන්න කවුරුත් ආවේ නෑ. අපට මොනවත් දුන්නේ නෑ. ආදි යාචක ප්‍රකාශ කොම්බිලාගෙන් නො කියැවිණ. කොම්බිගේ තරුෂිගේ දර්ෂාගේ අම්මලා සිය අරමුණ අභිලාෂය වෙත ලඟා වීමට දියසේනලා එන තෙක් බලා සිටියේ  නැත. ඔවුන්ට කිසිවෙකු මොනවත් ගෙදරට ගෙනත් දුන්නේත් නැත. රටට එවැනි පණිවිඩයක් අවශ්‍ය මොහොතක මේ විශිෂ්ඨ කාන්තාව විකුණා කෑම නො කළ යුතුවේ.  1977 මහ මැතිවරණයෙදී ප්‍රේමවතී මනම්පෙරි අලෙවි කළ ආර්.ප්‍රේමදාස බලයට පත් පසුව ඇය නමින් ඉදි කළ සිහිවටනය ගමේ මිනිසුන් විරුද්ධ වුණේ උපන් ගමේ ඉදි කළ නිර්මානයේ ඇය නිරුවතින් දිවයන දර්ශනයක් නිරූපනය කළ නිසාය. කීර්තිමත් කිවිඳියකවූ කොම්බි පිරිමින් දෙදෙනෙකුට දාව පිළිසිඳ ගත් දරු ගැබ් දෙකක් ගබ්සා කළ බව නිපුනි ලවා කියවන්නේත් ප්‍රේමදාස ක්‍රමයටමය.

 

88 89jk
මෙයට සමගාමීව රිචඩ් සොයිසාගේ, විජය කුමාරතුංගගේ, නන්දන වීරසිංහගේ අම්මලාගේ කතාන්තර එකිනෙකා තරගයට දේශපාලන වේදිකාවට ගෙනාවොත් ඊළඟ තෙල් නැව පමා වී රට යළිත් ඇද වැටෙන්න බැරි නැත. 88-89 මතක් කරන අයට මාලිමා සගයන් කියන්නේ හැත්තෑ පස් වසරක කෙරුවාව මතක් කර ගන්නා ලෙසය. මේ ගතවන්නේ සිය ඉතිහාසයට පිටු පා එක්ව ගොඩ යා යුතු මොහොතකි. ඉතිහාසය යනු සමහර විට වීරයන් මෙන්ම ද්‍රෝහීන්ද තෙරපෙන උගුලකි. ඊට එක් උදාහරණයක් මෙසේය.

අයිවෝර් ජෙනිංස් සිහි කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් නම් කළ අවස්ථාවේ ශිෂ්‍ය ක්‍රියාකාරින් එකී නේවාසිකාගාරය රජිත ගුණරත්නම් වෙනුවෙන් නම් කරන්නැයි දියත් කළ පන්ති වර්ජනය නොතකා දේශනවලට ගිය සිසූන්ට කළු තෙල් ප්‍රහාර එල්ල විය. එක් දවසක නිවුන් සොහොයුරියන් ලෙස කවුරුත් දන්නා සිසුවියන් දෙදෙනෙකු අරගලයේ නියමුවන් හමු වූහ.

''අපි දෙන්නාට වැදගත් ගුණරත්නම්ද අයිවෝර් ජෙනිංස්ද නොවෙයි. අපේ අධ්‍යාපනය. අප මේකට ආවේ පන්ති යන්ට මිස නො ගිහින් ඉන්න නොවෙයි.'' කිසි විටෙකත් අපේක්ෂා නො කළ මේ අහංකාරකම හමුවේ මතවාද නො ඉවසන ශිෂ්‍ය ක්‍රියාකාරින් වෙව්ලන්නට විය.

''කේන්ති ගන්නේ නැතිව මගේ නංගි කියන කතාව අහන්න. වැඩිමහල් නිවුන් සොහොයුරිය ආවේගවූ ක්‍රියාකාරින්ට කෑ ගැසුවාය.

 

mass grave burning aug 89
''අපි දෙන්නාගේ අප්පච්චි පොලිස් සාජන් කෙනෙක්. 88-89 කාලයේ පොලිසියෙන් අස්වෙන්න අප්පච්චිටත් දේශප්‍රේමින් දැනුම් දීලා තිබුණාලූ. අපේ පවුලම රැකුණේ  පොලිසියේ රස්සාවෙන්. අප්පච්චිට ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැති නිසා එයා අස්වුණේ නෑ. ව්‍යාපාරයට අකීකරු වීමේ වරද කියවලා එක රෑක අපේ ගෙදරට ඇවිත් පුංචි අපි දෙන්නායි අම්මායි ඉදිරිපිට අප්පච්චිට වෙඩි තියලා මැරුවා. ඒක කළේ ගුණරත්නම්ලාගේ ව්‍යාපාරය කියලා අම්මා කිව්වා.  මේ කතා කරන්නේ අප්පච්චි නැතිව ඒ අම්මා හදා ගත්ත දරුවන් දෙන්නා. ලෙක්චර්ස් නො ගිහින් විභාග ෆේල් වුණොත් දුප්පත් අපට කන්ට වෙන්නේ පස්... '' ඒ සිසුවිය තවත් යමක් කියන්නට පෙර ශිෂ්‍ය ක්‍රියාකාරින් වාෂ්ප වී ගොස් තිබිණ.

අප ඉරක් ඇඳ එකිනෙකාගේ (දේශපාලන වාසියට අනුරලා ඉන්දියාවට ගියා සේ) බහුබූත අමතක කොට රටේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු බවට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. මාලිමාව ලෙස පෙනී සිටින ජවිපෙ විශ්වාස කළ මත වාද ක්‍රියාත්මක කොට සාර්ථකවූ රටක් ආර්ථීක දර්ශණයක් ලෝකයේම නැත. 71, 88-89 කාලය, මෙන්ම ඝාතනය වූ ප්‍රේමකීර්තිලා විජය කුමාරතුංගලා විජයවීරලා ගමනායකලා යනු මුග්ධ අරගල ඉතිහාසයේ ගොදුරු පමණකි. කොම්බිලා වේදිකාවට ගෙනාවාට ඩොලර් ලැඛෙන්නේ නැත. 1988 ජනාධිපති මැතිවරණයේදී ඡන්ද පොළට එන මුල් දස දෙනාට මරණය කීවේ ඉන්දියන් හමුදාව ආපසු යවනවා කී ප්‍රේමදාසට එරෙහිවය. ඒ හැසිරීමත් 2023දී මාලිමා නායකයන් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් එවන්න එපා කීමත් එකසේ සහාසිකය. සාපරාධීය. එහෙත් අසීරු අවස්ථාවේ විදේශගත ලාංකිකයන් නො සිතූ ආකාරයෙන් ඩොලර් එවමින් අනුරලා ප්‍රතික්ෂේප කළේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නොවේ. උපන් රටේ ජීවත්වන මිනිසුන් වෙනුවෙනි.

කොණ්ඩය කැපීමේ බඳ පටියේ කලිසමේ යට ඇඳුමේ පටන් කන බොන සියල්ල පිනට ලැඛෙන බව කියන නායකයන්ගේ හිඟන ජීවිත ගැන කියන නිර්ලජ්ජී කතා වලින් ලංකාවේ මිනිසුන් ගොනාට ඇන්දවීම රට නගන ක්‍රමය නොවේ. මාලිමා නායකයන් මෙවැනි විසිතුරු කතා කියද්දී ඔය සහෝදරවරුන්ගේ බිරියන්ට තරුණ දූවරුන්ට අවශ්‍ය වේලාවට සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කරන්නේ කවුදැයි එක මාධ්‍ය වේදියෙකු හෝ නො අසන්නේ හැදිච්චකම නිසාය. ඒ සදාචාරය වසර හැට හැත්තෑ ගණනකට පෙර මියගිය කොම්බි අත්තම්මා මුහුණ දුන් ගබ්සා කතාව සිහිපත් කරවූ  නිපුනි සාරදාට කතා පිටපත ලියා දුන් කෙනාට  තිබුණේ නැත. රට මුහුණ දී ඇත්තේ දැරියන්ගේ ඔසප් කාලය ගැන හෝ අත්තම්මලාගේ ගබ්සා කිළි ගැන කතා හරහා දේශපාලනය කරන මොහොතක නොවේ.

image 8a55e0e326
මේ අරගල  කරුවන් රෝහල් ලෙඩ කරවන්නේ ආබාධිත කොම්බි අම්මලා ගෙන යන රෝද පුටු එකට බැඳ ඉබ්බන් දමලාය. වැඩ කරන අතර, රෝහලේ පයිප්පෙන් දිය නා ඇඟ පිස දමන්නේ ගෝස් වලිනි. ගුරු වර්ජන පටන් ගැනීමට පාසල් වාරය පැමිණිය යුතුම වේ. මේ වෙලාවේ ගුරුවරු වෘත්තීය ක්‍රියා මාර්ගයක් වෙනුවෙන් ඉගැන්වීම ටිකකට නතර කරලා තියෙනවා. ඉතින් මොකක්ද ඒකේ වරද? ගුරු වර්ජන නිසා පාසල් අඩපන වීම ගැන අනිද්දා පුවත් පතේ ප්‍රියාශා හෙට්ටිහේවාට (2021.07.25.දින)  ජෝෂප් ස්ටාර්ලින් දුන් සාඩම්බර පිළිතුර එයයි.

පසුගිය වසරේ උසස් පෙළ පිළිතුරු පත් නො බලා වර්ජනයක් දියත් කළ වෘත්තිකයන් ඉල්ලා සිටි සාකච්ඡාව  උත්තර පත්‍ර බැලීමෙන් පසුව දිය හැකි බවට ජනාධිපති වික්‍රමසිංහ කළ ප්‍රකාශය අසා සිටි ප්‍රතිපල අපේක්ෂිත පාසල් සිසුවෙක් සිය නිවසේදී හුරේ තබා පොළසන් දුන්නේය. එය ඇසූ ජෝෂප් ස්ටාර්ලින්ට අනුගත දෙමාපිය ගුරු යුවල අත්පුඩි ගැහුවේ රනිල්ටදැයි ඇසූ විට පුත්තරයාගෙන් ලැබුණ පිළිතුර මෙසේය.

''මම අත්පුඩි ගැහුවේ ගත්ත තීරණයට. මෙතෙන්ට රනිල් ඇද ගන්න එපා......(ඒ දෙබස කියන්නේ අධ්‍යාපනය සෞඛ්‍ය දේශපාලනයට මිශ්‍ර නො කළ යුතු  බවය.) රටේ ගැටලුව  දරුවන්ගේ පීඩනය රෝගීන්ගේ අසරණකම හරහා අවුල් නො කළ යුතුවේ. මේ තත්වය පෙළ ගස්වන විට,  විසිවෙනි සියවසේ ප්‍රේමදාස ප්‍රේමවතී මනම්පේරිගේ රෙදි ගලවලා නිරුවතින් ඇවිද්දවීමත්, කොම්බිගේ කවි රසයට වඩා ගබ්සා රසය ඉස්මතු කිරීමත් රනිල් වැල් පාලමෙන් ගොඩ කළ බව කී විට කෝ පංචායුදෙයි කොල්ලාගේ අමුඩෙයි කියා ඇසීමත් එක සමානය. පොත පෙරළුවාට රාමලාට සීතලා මුලා කළ නො හැකි වේ.

චණ්ඩි බුද්ධාගම, පොන්න පොලිසිය සහ යහ (ලාලකතිස්ස) පාලනය - Colombo Telegraph(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

උපුටා ගැනීම - විංසති සඟරාවෙනි)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...