එයට බලපා ඇති ප්‍රධානතම හේතුව වන්නේ ස්වාධීනව පැවතිය යුතු ආයතන සියල්ලේ පාලනය නෛතික අණ පනත්වල බලයට මුවා වෙමින් විධායකයේ අතට ගැනීමට කටයුතු කිරීමත්, ඒ හා සමානවම එම විධායකයේම අනුදැනුම සහිතව ආරක්ෂක ලේකම්වරයාගේ ද අණසකටද යටත් කිරීමත් ය.
සියල්ල විධායකය යටතට
ශ්‍රි ලංකාව මුහුණ දෙන ස්වාභාවික හෝ වෙන යම් ව්‍යසනකාරී තත්වයකදි සිදුවිය යුතු ආපදා කළමනාකරණ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා බලය පැවරුනු ආයතන ගණනාවක්ම තිබෙන අතර ඒ සියළු ආයතන පාලනය කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ නියමයන්ට යටත්ව ආරක්ෂක අමාත්‍යාංශය විසිනි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පරියේක්ෂණ සංවිධානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (National Disaster Relief Services - NDRSC), ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ආදී ආයතන කිහිපයක්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතරම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ( Disaster Management Center - DMC) ව්‍යවස්ථාපිත පනතක් මගින් මේ සියළු ආයතන අභිබවා සෘජුවම අපදා කළමනාකරණය වෙනුවෙන්ම ස්ථාපිතව තිබේ.
'2005 අංක 13 දරණ ශ්‍රි ලංකා ව්‍යසන කළමනාකරණ පනත' යටතේ බලාත්මක කෙරුණු ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අධ්‍යක්ෂක ජනරාල්වරයකු යටතේ මෙහෙයුම් කටයුතු සිදුකරන අතර, ආපදා කළමනාකරණ මෙහෙයුම් වෙනුවෙන් සෘජු මැදිහත්වීමි සිදු කළ යුතු විෂය පථ ගණනාවක්ම එහි වෙබ් අඩවියේ දක්වා තිබේ. නමුත් වර්තමානයේ ඇතිව තිබෙන පශ්චාත් ව්‍යසන කළමනාකාරිත්වය දෙස බැලීමේදී එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව දැඩි අර්බුදකාරී තත්වයක් පෙන්නුම් කෙරෙන බවද අමතක නොකළ යුතුය. ව්‍යසන කළමනාකාරිත්වය පිළිබඳව බලාත්මක සහ ඉහළම අධිකාරි බලලත් නෛතික ලියවිල්ල වන්නේ ඉහත දක්වා ඇති 2005 අංක 13 දරණ ශ්‍රි ලංකා ව්‍යසන කළමනාකරණ පනතයි. එම පනත යටතේ ආපදා කළමනාකරණය වෙනුවෙන් ඉහළ සිට පහළට සැකසුනු ක්‍රියාකාරී කමිටු, උප කමිටු මෙන්ම ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතන සම්බන්ධ කෙරුණු මෙහෙයුම් ජාලයකින් ද යුක්ත ය. නමුත් සැබවින්ම එය පනතේ වගන්ති සහ බාහිරට පෙනෙන්නට ඇති තත්වය මිස ස්වාධීන කළමනාකරණ මෙහෙයුම් ජාලයක් හෝ ආයතන පද්ධතියකින් සැකසී ඇති දෙයක් හෝ නොවේ.
නාමීක ජාතික සභාව
පනත මගින් බලය පැවරුනු ඉහළම ඒකකය වන්නේ ජනාධිපතිවරයා සභාපතිත්වය උසුලන ' ව්‍යසන කළමනාකාරණය සඳහා වූ ජාතික සභාවයි - (National Council for Disaster Management – NCDM)'. ආපදා කළමනාකරණය සම්බන්ධ සියළු තීන්දු තීරණ ගැනීමේ බලය ද ඇත්තේ NCDM සතුවය. ජනාධිපතිවරයා එහි සභාපති වන විට උප සභාපති වන්නේ ද පවතින ආණ්ඩුවේ අගමැති යි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගැටළු හෝ ව්‍යසනකාරී තත්වයකට විසඳුම් සෙවීමේදි අත්‍යාවශ්‍යම වන කරුණක් වන්නේ කමිටුවේ ප්‍රධානියා ජනාධිපතිවරයා හෝ පවතින රජයේ ඉහළ පෙලේ දේශපාලන බලධාරියකු වන විට උප තනතුර සඳහා විපක්ෂ නායකවරයා හෝ ඒ හා සමාන අයකු ආණ්ඩුවට ප්‍රතිපක්ෂ පාර්ශවයකින් පත් වීමට ඉඩ ලබා දීමයි.
එවැනි කමිටුවක ප්‍රධානියා, ජනාධිපතිවරයා හෝ ආණ්ඩුවේ ඉහළ දේශපාලන ධූරයක් දරන්නෙකු නොවී රජයේ බලධරයෙකු නම් ඒ හා සමානවම උප තනතුරද දේශපාලන නොවන වෙනත් පාර්ශවයකට ලබා දීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. සකස් කෙරෙන අණ පනත් නීති රීති සැකසිය යුතු වන්නේ ඒ අකාරයෙන් මිස විමධ්‍ය ගත විය යුතු බලය පවතින රජය යටතටම මධ්‍යගත කර ගනිමින් එක් පාර්ශවයක් අත රඳවා ගැනීම වෙනුවෙන් නොවේ. විසම්මුතියෙන් සම්මුතිය ඇති වන්නේ එආකාරයෙනි.
ව්‍යසනකාරි තත්වයකදීත්, ඉනික්බිත පශ්චාත් ව්‍යසන කළමනාකරණයේදීත් අත්‍යාවශ්‍ය අංගයක් වන බලය විමධ්‍යගත කිරීමේ කාර්යට අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව නොකැමැතිය. ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය පුරාම අප එය දැක ඇත්තෙමු. මේ රටේ දස දහස් ගණනක් වැළලි ගිය දරුණුතම ස්වභාවික විපත වූ සුනාමියෙන් පසුව ස්ථාපිත කරන්නට තැත් දැරු සුනාමී සහන මණ්ඩලයට එරෙහිව අවි අමෝරා එය සුන්නද්දූලි කොට දැමුවේ ස්වභාවික විපතකදි පවා ජාතිවාදය අත්නොහරිමිනි. මළ මිනි මතින් කළ ඔවුන්ගේ දේශපාලනයේ ඉතිහාසය එබඳුය. විධායකය අහෝසි කිරීමේ කවර පුරසාරම් දොඩා තිබුනද, එවන් පිරිසක් රාජ්‍ය බලයට පත් වු පසුව බලය බෙදාහදා ගනීවී යැයි සිතීමද මුලාවකි.
කෙසේ නමුත් පනතට අනුව රේඛීය අමාත්‍යාංශ 20 ක සහ පලාත් ප්‍රධාන අමාත්‍යවරුන් ද, යම් පලාත් සභාවක ප්‍රධාන අමාත්‍යවරයකු පත් වී නොමැති නම් ආණ්ඩුකාරවරයා ද, විපක්ෂ නායකවරයා සහ ඔහු විසින් නම් කොට කතානායකවරයා විසින් පත් කරනු ලබන පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන් පස් දෙනකුගෙන් ද අදාල ජාතික සභාව (NCDM) සමන්විත වන අතර, අවශ්‍ය වෙතොත් පනතින් නම් කොට නැති යම් අමාත්‍යාංශයක් භාර අමාත්‍යවරයකු සභාවට එකතු කර ගැනීමේ බලයද ජනාධිපතිවරයා සතු වන්නේ ය.
ව්‍යසනය අතරත් මිලිටරිකරණය
ජාතික ව්‍යසන කළමනාකරණ පනත මගින් බලය පවරා තිබෙන ජාතික සභාවේ ලේකම් ධුරයට කවරකු පත් කළ යුතු දැයි එහි 3(2) වගන්තියෙහි නිශ්චිතවම අර්ථ දක්වා නැතත් අනුර කුමාර දිසානායක යටතේ එකී ධූරයට පත් කොට ඇත්තේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ය. ආරක්ෂක ලේකම්වරයා ජාතික සභාවේ ලේකම්වරයා ලෙස පත් කළ හැකි බව ඉන් හැඟවෙන්නේ නැත. ඔහු ජාතික සභාව වෙනුවෙනුත්, ව්‍යසන කළමනාකරණ මධ්‍යස්ථානය වෙනුවෙනුත් ආරක්ෂක ලේකම් ලිපි ශිර්ෂ සහ නිල මුද්‍රා යොදා ගනිමින් චක්‍රලේඛ නිකුත් කරන්නේය. අදාල ආයතන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින මුත් පනතේ කිසිදු තැනක එකී ආයතන හෝ විෂය පථයන් ආරක්ෂක ලේකම්ගේ බල සීමාවන්ට හෝ නියෝගයන්ට හෝ යටත් කෙරී නොමැත. එසේ නම් පනතේ නැති තනතුරකින් ලිඛිත හෝ වාචික නියෝග නිකුත් කිරීම ප්‍රශ්නකාරි නොවන්නේ ද?
බලයක් නැති ආපදා කළමනාකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මුලින් එනම් 2005 වසරේදි පැවතුනේ ජනාධිපතිවරයා යටතේ මුත් එම වසරේම දෙසැම්බරයේ දී එය අගමැතිවරයා යටතේ තිබුණු ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ට අනුයුක්ත කරනු ලැබුණි. යළිත් 2006 වර්ෂයේදී අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ මධ්‍යස්ථානය එකම අමාත්‍යාංශයක් යටතට එනම් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ආමාත්‍යාංශය යටතට ගෙනෙනු ලැබුණි. නමුත් යුද්ධයේ උච්චතම සමයේදී සිදුවු බරපතල මානව හිමිකම් උල්ලංඝණ පිළිබඳව චෝදනා පතල වීමේ ආරම්භයත් සමගම එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ආමාත්‍යාංශය අහෝසි කොට යළිත් මෙම ආයතන සියල්ල ජනාධිපතිවරයා යටතේ පිහිටි ආරක්ෂක අමාත්‍යාශය වෙත ඈඳා ගනු ලැබුණි. ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශයේ පළමු සහ අවසන් අමාත්‍යවරයා වූයේ අනුර දිසානායක රජයේ වොෂින්ටනයේ ශ්‍රි ලංකා තනාපති මහින්ද සමරසිංහ යි.
පශ්චාත් ව්‍යසන කළමනාකරණය අද වන විට කෙතරම් දේශපාලනීකරණය සහ මිලිටරිකරණය වී ඇද්දැයි පෙනෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ආරක්ෂක අමාත්‍යාංශයේ "සිරකරුවකුව" සිටින වග පෙනෙන්නට ඇති විටය. මේ සම්බන්ධයෙන් පාර්ලීමේන්තුව හමුවේ කරුණු අනාවරණය වූයේ වරක් දෙවරක් නොවේ.
‘දකුණට බර’ මැදිහත්වීම්
ශ්‍රි ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ සහ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේ දැක්වෙන පරිදි ආපදා කළමනාකරණය විෂයයන් ගණනාවක් යටතේ ක්‍රියාත්මක වන්නේ ය.
ඒවා නම්;
1 . ගංවතුර,
2. නාය යෑම්,
3. කාර්මික උවදුරු,
4. සුනාමී (කම්පන තර්ජන),
5 භූමී කම්පා,
6. ගුවන් අනතුරු,
7. ගිනි ගැනීම්,
8. වසංගත රෝග,
9. පිපිරීම්,
10. ගුවන් යානා කඩා වැටීම්,
11. සිවිල් හෝ අභ්‍යන්තර ගැටුම්,
12. රසායනික අනතුරු,
13. විකිරණ අනතුරු (පනතේ මෙය දැක්වෙන්නේ විකීරණශිලීත්වයෙන් හට ගත් හදිසී අවස්ථාවක් ලෙසය),
14. තෙල් කාන්දුවීම් (ගොඩබිම සහ මුහුදේ ඇතිවන තෙල් පිටාර ගැලීම් ඇතුලුව තෙල් පිටාර ගැලීමක් ලෙස පනතේ එය පුලුල්ව දක්වා තිබේ),
15. න්‍යෂ්ටික ව්‍යසන,
16. නාගරිකව සිදුවන ගිනි ගැනීම් සහ ලැව් ගිනි,
17. වෙරළ ඛාදනය ,
18. ටොනාඩෝ, අකුණු අනතුරු සහ ප්‍රබල අකුණු පිපිරවීම් යන ඒවාය.
මෙම ඇතැම් විෂය කරුණු ඉතිහාසයේ කොතෙක් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූයේද, ඒ සම්බන්ධයෙන් මැදිහත් වන්නට අදාල ආයතනවලට ඉඩක් ලැබුනේද යන වගද අප විසින් සලකා බැලිය යුතුය. පනතේ දැක්වෙන පිපිරවීම්, ගිනි ගැනීම්, සිවිල් හා අභ්‍යන්තර ගැටුම්, රසායනික අනතුරු සහ විකීරණ අනතුරු වැනි කරුණු සම්බන්ධයෙන් සලකා බලන විට ඒවා කෙතරම් නාමික මට්ටමේ ඒවාද යන වග පෙන්නුම් කෙරෙන්නේ පසුගිය යුද සමයන්වල ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් මෙම ආයතන විසින් සිදු නොකළ බැවිනි. දේශපාලන හෝ මිලිටරි මැදිහත්වීමකින් තොරව පනතකින් බලය පැවරෙන ආයතන ස්වාධීනව කටයුතු කිරීමේ වැදගත්කම වැඩියෙන් මතු වන්නේ මෙහිදීය. ඉහත කරුණු සියල්ල යුද සමයේදි උතුරු නැගෙනහිර දෙමළ ජනයා සජීවීව අත්විඳි සිදුවීම් ය. ඒ කිසිදු අවස්ථාවක ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හෝ අනෙකුත් ආයතන නෛතිකව තමන් හට පැවරි ඇති බලතල ප්‍රකාරව කටයුතු කළ බවක් නම් ඉතිහාසයේ කෙදිනකවත් අප අසා දැන නැත. එසේ නම් මේ පනත්, ආයතන සහ ඒවයෙහි කාර්යයන් අදාල වන්නේ දකුණේ ජනයා හට සහය ලබා දීම සඳහා පමණක්ද?
ආරක්ෂක ලේකම්ට යටවු කමිටු
පනතේ ප්‍රතිපාදන යටතේ මෙන්ම DMC ට පැවරි ඇති බලතල අනුවත් ප්‍රධාන සභාවට යටත් කමිටු කිහිපයක්ම තිබෙන්නේ ය. ඉන් එක් ප්‍රධාන කමිටුවක් වන්නේ "අන්තර් කළමනාකරණ කමිටුවයි (Interim Management Committee - IMC). එය පනතින් අන්තර් ග්‍රහණය කෙරුණු ප්‍රධාන ආයතන ගණනාවක ප්‍රධානීන් හෝ වගකිව යුතු නියෝජිතයන්ගෙන් සැදුම්ලත් එකක් වන අතර, සභාව වෙනුවෙන් සියළු වැඩ සටහන්වල ප්‍රගතිය, ඇගයීම හා ඉදිරි සැලසුම් මෙන්ම ක්‍රියාකාරකම් තීරණය කිරීමද මෙම අන්තර් කමිටුවට පැවරී තිබෙන වගකීමකි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් මෙම කමිටුවේ සභාපතිත්වය උසුලන්නේ ය. (වර්තමානයේ එවැනි අමාත්‍යාංශයක් නොපවතින බැවින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විය යුතුය. නමුත් එම බල පැවරුම හෝ වෙනස් වීම යම් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නෛතික බලයක් ලබා දී තිබේ දැයි දැක ගන්නට නොමැත).
ඉහත කමිටුවට අමතරව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ (වර්තමානයේ ආරක්ෂක අමාත්‍යාංශය) ලේකම්වරයා සභාපතිත්වය උසුලන තවත් තමිටුවක් තිබෙන අතර එය හැඳින්වෙන්නේ "ජාතික ආපදා සම්බන්ධිකරණ කමිටුව (National Disaster Management Coordination Committee - NDMCC ) යනුවෙනි. එහි ප්‍රමුඛ වගකීම් වන්නේ ව්‍යසන කළමනාකරණය උදෙසා අන්තර් සම්බන්ධිකරණයක් සහිතව ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීම, ජාතික සැලසුම් මත යමින් ආපදා හඳුනා ගැනීම, ඒ සඳහා සම්පත් වෙන් කිරීම සහ අධීක්ෂණය කිරීම ආදිය යි. ඒ හැරුණු විට ජාතික හා එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනද ඇතුළු අන්තර්ජාතික සංවිධාන ද සමඟ සහයෝගිතාවය වර්ධනය කර ගැනීම, සම්බන්ධිකරණය පවත්වා ගෙන යෑම, ද එයට ඇතුලත්ය.
අවසානයේ මේ සියළු කමිටු, උප කමිටු සහ DMC ක්‍රියාකාරිත්වය ද ජාතික ආපදා කළමනාකරණ සැලැස්මට අනුගතව ක්‍රියාත්මක විය යුතු බවටත් සඳහන් ය.
කවර අර්ථයෙන් ගෙන බැලුවද මෙතරම් ආයතන ව්‍යුහයක්, කමිටු සහ උප කමිටු ගණනාවත් මෙන්ම ඉන් පහලට විසිරී ගලා යන ජාලයක් සහිත පද්ධතියක් තිබියදී පූර්ව ව්‍යසනකාරි තත්වයක් මෙන්ම පශ්චාත් ව්‍යසන කළමනාකරණ අඩුලුහුඩුතාවයන්ද පවතින්නේ නම් එය සුළු වශයෙන් හෝ නොතකා හැරිය නොහැකි බරපතල ගණයේ වරදක් බවද කිව යුතුව ඇත. මන්ද යත් දේශගුණික තත්ව විමසුම්, භූ ගර්භ නිරීක්ෂකයන් සහ තාක්ෂණික නිලධාරින් ආදී ඉහළම පෙලේ විද්‍යාඥයන්, විශේෂඥවරුන්ද ඇතුළු විද්වතුන් බොහෝ දෙනෙක් අඩු වැඩි වශයෙන් මේ කමිටු සහ ආයතනවල සක්‍රීය පංගුකරුවන් ව සිටින බැවිනි.
නමුත් මේ සියළු ආයතනවල බුද්ධිමතුන් හා විද්‍යාඥයන් ජනාධිපතිවරයා හෙවත් විධායකයට සහ ඔහුගේ අණ ක්‍රියාත්මක කරන ආරක්ෂක ලේකම්වරයා හට යටත් ය.
පනතේ නැති මිලටරි තනතුරක්
විෂය දැනුම සහිත සිවිල් බුද්ධිමතකු, විශේෂඥයකු ආයතන ප්‍රධානියා ලෙස පත් විය යුතුව තිබෙන ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත් කොට සිටින්නේ විශ්‍රාම ලැබු හමුදා නිලධාරියෙකි. ඒ මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ යි. ව්‍යසන කළමනාකරණ පනත යටතේ බලය පැවරෙන DMC ට අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් සහ ඔහු යටතේ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කළ යුතුව ඇතැයි සඳහන් වුණිද එම තනතුරට පත් කරන්නා හමුදා නිලධාරියෙක් විය යුතුව ඇතැයි කිසිදු සඳහනක් නැත. ඒ අනුව බලන විට මෙවැනි පත් කිරීම් නෛතික පනතකින් විෂය භාර ඇමතිවරයා ලෙස ජනාධිපතිට පැවරෙන බලය අයථා ලෙස භාවිතා කිරීමකි.
මෙවැනි ආයතනය ක ප්‍රධානියා හමුදා නිලධාරියෙක් වූ විට ඔහු යටතේ කටයුතු කරන සෙසු පිරිස් මෙන්ම සමාජයද හමුදා අණට යටත්ව කීකරුව කටයුතු කරනු ඇතැයි යන සිතුවිල්ල ශ්‍රි ලංකාවේ රාජ්‍ය පාලනයේ පමණක් නොව දකුණේ ජන සමාජයේත් පවතින දුර්මතයකි. නමුත් එය බලය පවත්වා ගෙන යෑම සඳහා රාජ්‍ය පාලකයන් විසින් යොදන උප්පරවැට්ටියක් මිස වෙන යම් දෙයත් නොවේ. එමගින් වක්‍රාකාරව සමාජය බිය වැද්දීම,රාජ්‍ය බලහත්කාරය පෑම සහ අණසකට යටත් කර ගැනීමද සිදුවන්නේ ය. සරලව පැවසුව හොත් මිලිටරි භීතිය පැතිරීමකි. ඉකුත් දශක ගණනාව පුරා ශ්‍රී ලංකාවේ උතුරේත් දකුණේත් දැනුම වන්නේ මිලිටරිකරණයෙන් රටත් ජනතාවත් ව්‍යසනයට පත්වීම ගැන විනා ආපදා කළමනාකරණයක් ගැන නම් නොවේ.
ව්‍යසන කළමනාකරණ පනත අනුව ජාතික ආපදා මධ්‍යස්ථානයේ කටයුතුවලට සහාය වීම සඳහා තාක්ෂණික උපදේශකයන් පත් කිරීම සඳහා බලය පැවරී ඇත්තේ ජාතික සභාවට (NCDM) ය. පනතේ 9(1) වගන්තියේ එය දැක්වෙන්නේ මෙසේය.
"මේ පනත යටතේ ස්වකීය කර්තව්‍ය ඉටු කිරීමේදී සභාව අවස්ථානෝචිත පරිදි සභාවේ අදාල කර්තව්‍ය සහ වගකීම්වලට අදාල විශේෂඥ දැනුමැති වෘත්තිකයන්ගෙන් සහ විශේෂඥවරුන්ගෙන් සමන්විත වන සහ සභාව විසින් අවශ්‍ය යැයි සලකනු ලබන තාක්ෂණික උපදේශක කමිටු සංඛ්‍යාවක් විසින් සභාවට සහ ව්‍යසන කළමනාකරණ මධ්‍යස්ථානයට සහාය විය යුතුය".
ව්‍යසනකාරී පනත පුරාම ඌණතා නොඑසේ නම් රිංගා යෑමේ හිඩැස් බොහෝය. ඇතැම් විට එම හිඩැස් අහම්බයක් නොව විධායකයට, දේශපාලන බලාධිකාරියට රිංගා එන්නට ඉඩ දෙමින් සැකසුනු ඒවා ද විය හැකිය. විශේෂයෙන්ම ඇතැම් පත් කිරීම්වලදී එම පත් කිරීම්වලට අදාලව නිශ්චිත නිර්වචන දක්වා නොමැති බැවින් විධායකයට අවැසි පරිදි පත් කිරීම් සිදු කරන්නට ඉඩ ලැබේ. උදාහරණයක් ගත් විට ඉහත දැක්වු ආකරයට ආරක්ෂක ලේකම්වරයා, ජාතික සභාවේ ලේකම්වරයා ලෙස පත් වන්නේ එබැවිනි. ජනාධිපති ලේකම්වරයාද පනතින් බලය නොලබාම සභාවේ කටයුතුවලට මැදිහත් වෙයි.
ඒ ආකාරයෙන්ම තාක්ෂණික කමිටුවලට පත් කරන තැනැත්තන් ද නිශ්චිතවම කවරෙක්ද, ඔවුන්ගේ සුදුසුකම් මොනවාද, ඔවුන් විශේෂඥවරුන් වන්නේ නම් ඒ කවර නම් විෂය ක්ෂේත්‍රයක් අරබයාද යන වග දක්වා නොමැත. එහි වාසිය ලබා ගන්නේ ජාතික සභාවේ බලය හිමි විධායකය ප්‍රමුඛ දේශපාලන බලාධිකාරිය යි. මන්ද ලේකම්වරයා යනු කවරෙක් දැයි නිශ්චිත අර්ථ නිරූපනයක් පනතේ කිසිදු තැනක සඳහන් නොවේ. නීතිමය වශයෙන් මෙහි ගැටළු නැතැයි යමකුට තර්ක කළ හැකි මුත් බලය තමන් සන්තක කර ගැනීම සහ දේශපාලන සදාචාරය අතින් ගත් විට එවැනි දෑ සිදු නොවිය යුතු මට්ටමේ ඒවාය. නමුත් අප දන්නා පරිදි ඕනෑම පනතකින් බලය දෙන හෝ තනතුරක් නම් කරන විට හෝ ඒ තනතුර සහ එයට බඳවා ගත් යුතු වන්නේ කවරෙක්දැයි පනත මගින්ම අර්ථ නිරුපනයන් ලබා දෙන්නේ ය. එසේ නොවන්නේ නම් එය නෛතික අර්බුදයක් මතු කරන්නකි.
ජාතික සභාවේ ප්‍රධානියා නොඑසේ නම් ජනාධිපතිවරයාගේ විධානයට යටත්ව පත් කිරීමට නියම කර ඇති තාක්ෂණික උපදේශන කමිටුවල සංයුතිය බලන විට මෙය තවදුරටත් වඩාත් පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ ය.
දෙවැනි සුනාමි අරමුදල
රජය දෙසැම්බර් මුල් සතියේදි විශේෂඥ කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ වගකීම ලෙස දැක් වුණේ සුළි කුණාටුවෙන් පසුව පිහිටුවන ලද Rebuilding Sri Lanka අරමුදලේ කටයුතු කළමනාකරණය කිරීමය.

කම්කරු හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ, විදෙස් ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත, බස්නාහිර පලාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න, ආදීන් ය. මෙම සියළු දෙනාම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අතිශය සමීප රාජ්‍ය නිලධාරින් ය. මෙම රාජ්‍ය නිලධාරින්ට අමතරව ව්‍යාපාරික දැවැන්තයන් කිහිප දෙනකුද මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කොට තිබේ. ඒ, හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ, ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක, බ්‍රැන්ඩෙක්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අෂ්රෝෆ් ඔමාර් සහ LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර යන අයයි.
මෙම ව්‍යාපාරික පිරිසෙන් මොහාන් පණ්ඩිතගේ, ක්‍රිෂාන් බාලේන්ද්‍රන් සහ අෂ්රෙෆ් ඔමාර් යන තිදෙනා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2022 වසරේදි පිහිටුවනු ලැබු ආර්ථික කවුන්සිලයේ ද සමාජිකයන්ව සිටියවුන් බව අමතක නොකළ යුතුය.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබු නිවේදනයේ දැක්වෙන්නේ අදාළ කමිටුවේ කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ට අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී අපෝන්සු කටයුතු කරන බවකි.
බැලු බැල්මටම මෙය පනතින් අර්ථ දක්වන තාක්ෂණික කමිටුවක්ද යන කුකුසද අප හමුවේ පැණ නගින්නේ ය. මන්ද මෙය හුදෙක් මුල්‍ය කටයුතු වෙනුවෙන් රාජ්‍ය සහ මහා පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවේ සුසංයෝගය සහිතව ජනාධිපවරයාගේ අභිමතය මතම පත් කළ එකක් වන බැවිනි. මෙම කමිටුව පත් කරන්නට ජාතික සභාවේ මතය විමසා තිබෙන්නේද? විපක්ෂය චෝදනා කරන්නේ මෙම කමිටුව පනතේ දක්වා තිබෙන මුල්‍ය පාලන රෙගුලාසි උල්ලංඝනය කරන බවකි. එය මුසාවක් නොවන්නට ඇති ඉඩ බොහෝ වැඩිය.
"සභාවට සහය වීමට අරමුදලක් තිබිය යුතු යුතුය. අරමුදලට පහත දැක්වෙන මුදල් බැර විය යුතුය".
(අ) සභාවේ ආරම්භක ප්‍රාග්ධනය වශයෙන් ඒකාබද්ධ අරමුදලින් ලැබෙන මුදල්
(ආ) ස්වකීය කර්තව්‍ය ඉටු කිරීමේදී සභාව විසින් ලබා ගත හැකි යම් තාක් වු සියළු මුදල් ප්‍රමාණ සහ
(ඇ) ශ්‍රී ලංකාව තුළදි හෝ ඉන් බැහැරව කවර හෝ නිත්‍යාණුකූල ප්‍රභවයකින් ණය, පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදාන වශයෙන් සභාව විසින් ලබා ගත හැකි යම් තාක් වු සියළු මුදල් ප්‍රමාණ.
* එසේ නම් ගැටළුව ඇත්තේ මුල්‍ය ප්‍රතිපාදන සපයා ගන්නා ආකාරයේ නොව එය පාලනය කරන සහ ඒ සඳහා බලය පැවරෙනා ආකාරය පිළිබඳව ය. ජනාධිපතිවරයා ඔහුට ඉතාම සමීප ව්‍යාපාරික දේශපාලඥයන් ගෙන් කමිටුවක් පිහිටුවා එයට උපදෙස් සැපයීමට තවත් එවැනිම ව්‍යාපාරික උපදේශකයන් පිරිසක් පත් කොට මුදල් රැස් කිරීමට Rebuilding Sri Lanka යනුවෙන් පිහිටවූ අරමුදල දෙවැනි සුනාමි අරමුදලක් නොවන්නේ කෙසේ දැයි යමෙකුට කිව හැකිද?
* පනතේ 18(2) සහ (3) වන වගන්තිවලට අනුව සභාව විසින් පවත්වාගෙන යන මුල්‍ය රැස් කිරීම් ගිණුම් තැබීමට සහ රාජ්‍ය විගණනයට යටත් විය යුතුය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව රාජ්‍ය ගිණුම් විගණනයට යටත්වය. එසේ නම් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන රාජ්‍ය ගිණුම් රෙගුලාසි උල්ලංඝනය කොට තිබේ ද?
* ඊළඟ වැදගත්ම දෙය මෙම අරමුදල ක්‍රියාත්මක වන්නේ කවර නම් අධික්ෂණයක් යටතේ ද වන බවයි. මුදල් නියෝජ්‍ය ඇමතිවරයා මෙහි ප්‍රධානියා වුවද සැබවින්ම මෙම අරමුදල පාලනය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි. අරමුදලට ලැබෙන සියළු මුදල් සංකේතාත්මකව භාර ගනු ලබන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත් කුමනායක විසිනි. ඉහත පරිච්ඡේදයක දක්වන ලද තනතුරු අර්ථ නිරූපනයට යටත් කිරීමේ නෛතික ගැටළුව යළිත් මෙහිදි පැන නගින්නේ ය. පනතට අනුව මුල්‍ය පාලනය සභාව සතු නම් සභාවේ නිල සාමාජිකයකු නොවන ජනාධිපති ලේකම් මුදල් භාරකරු වන්නේ කෙසේද?
මෙයාකාරයටම දෙස් විදෙස් සිට මුදල් බැර කිරීම සඳහා ගිණුම් අංක කිහිපයක් ප්‍රසිද්ධ කරනු ලැබුණු අතර එම ගිණුම් අංක අයත් වන්නේ මහ බැංකු අධිපතිගේ සහ නියෝජ්‍ය භාණ්ඩාගාරිකගේ ගිණුම් වලට ය. දෙසැම්බර් 19 දා වනවිට එම අරමුදලට රුපියල් බිලියන 4.2 ඉක්මවූ මුදලක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර තිබුනත් මේ ලිපිය ලියන විටත් ලැබුණු හෝ වියදම් කළ හෝ මුදල් පිලිබඳ පාරදෘශ්‍ය විස්තරයක් Rebuilding Sri Lanka වෙබ් අඩවියේ පල කොට නැත.
වඩාත් විසුළු සහගත තත්වය වන්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජවිපෙ ඔවුන්ගේ විපක්ෂ දේශපාලනය තුළ මෙවැනි ක්‍රියා මහත් උජාරුවෙන් යුතුව නිර්දය විවේචනයට හසුකළ අය වීමය. අද ඔවුන් රාජ්‍ය බලයට පැමිණි විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පවා අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින්නේ දේශපාලන බලයේ තරම පෙන්වමිනි.

කූප්‍රකට සුනාමි සහන අරමුදල පමණක් නොව, මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පවතින නීතී රීති බිඳ දමා මුදල් රැස් කිරීම වෙනුවෙන් හිතුමනාපයට අරමුදල් පිහිටවූ අවස්ථා ගණනාවක්ම ඉතිහාසය පුරා දක්නට ලැබෙන අතර එහි මෑතම එක වන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී 2020 කෝවිඩ් වසංගතය වෙනුවෙන් පිහිටුවන ලද "ඉටුකම සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල" යි. ‘COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’ යනුවෙන් මුලින් නම්කරන ලද එම ආපදා මුදල් රැස්කිරීමද දෙමාසයකින් ඉටුකම බවට පත්විය. එම අරමුදල ද පාලනය කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂට ඉතා සමීප රාජ්‍ය නිලධාරින්, දේශපාලඥයන් සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන් ය. පසු කලෙක එම අරමුදල ජනාධිපති අරමුදලට බැර කළ බව පැවසුනද ඒ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි තොරතුරුක් හෝ විගණනයක් සිදු වු බවක් හෝ අසන්නට නැත. එම වෙබ් අඩවිය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2023 දෙසැම්බරයේදී අන්තර්ජාලයෙන් ඉවත් කරගන්නා ලදී .
මුල්‍ය කළමනාකරණයෙන් යළිත් ආයතන ව්‍යුහය දෙසට අවධානය යොමු කිරීමේදී අපට දැක ගන්නට ලැබෙන තවත් එක් ප්‍රධාන එහෙත් DMC ය තරමටම අවධානයක් නැති ආයතනයක් වන්නේ "ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ( National Disaster Relief Services Centre - NDRSC)” යි. මෙය, 1996 වර්ෂයේදී සමාජ සේවා හා සමාජ සුබ සාධන අමාත්‍යාංශය යටතේ පිහිටුවා 2005 වර්ෂයේ දී ආපදා සහන සේවා අමාත්‍යාංශය යටතට පත් කරනු ලැබුවකි. අමාත්‍යාංශ කිහිපයක පාලනයට නතු වෙමින් අවසානයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර ඇත්තේ ජනාධිපති විසින් පාලනය කරන ආයතනයක් ලෙසිනි. DMC ය මෙන් මෙම ආයතනය ද දීප ව්‍යාප්තව විසිරුණු සම්බන්ධිකරණ නිලධාරින් සහ ක්‍රියාකාරි ජාලයකින් සමන්විතය. ඒ සියල්ල වර්තමානයේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක දැයි කියන්නට නොදන්නෙමු. මන්ද මේ සියළු ආයතනවල නිල අණ දෙන්නා බවට ජනාධිපති සහ ආරක්ෂක ලේකම්වරයා පත්ව සිටින අවදියක විෂය දැනුම සහිත සිවිල් ක්‍රියාකාරින් එම මිලිටරි අණට යටපත්ව හුදකලා වීම ස්වභාවික වන බැවිනි.
රහසක් කර ගත් ජාතික ව්‍යසනයක්
දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ ගම්බිම් වනසා දමමින් හමා යන්නේ නොවැම්බර් 27 වන දිනය. එයට පෙර අවස්ථා කිහිපයකදීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යම් යම් අනතුරු හැඟවීම්, පුරෝකථන සිදු කළ බව අමතක නොකළ යුතුය. නමුත් ඒ කිසිදු පූර්ව හැඟවීමක් සම්බන්ධයෙන් රජයේ බලධාරින් තැකීමක් කර ඇති බවක් නම් පෙනෙන්නට නැත. දේශපාලන බලධාරින්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, මන්ත්‍රිවරුන් පාර්ලීමේන්තුව තුළත්, ඉන් පිටතදීත් පුන පුනා පවසන්නේ ආණ්ඩුව එවැනි පූර්ව අනතුරු හැඟවීමක් නොදැන සිටි බවයි.
නොවැම්බර් මස 11 වන දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසා සිටියේ ඉදිරි දින කිහිපය තුළදි වැසි තත්වයේ වර්ධනයක් සිදුවිය හැකි බවටයි.
"ඉදිරි දින කිහිපයේදී , විශේෂයෙන්ම 14න් පස්සේ දිවයින අවට බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ කැළඹිලි ස්වභාවයක් ඇති වෙමින් තිබෙන බව අපට පේනවා. කැළඹිලි ස්වභාවයේ සෘජු බලපෑමක් නැති වුණාට වක්‍ර බලපෑම හේතු කොට ගෙන දිවයින තුළ වැසි තත්වයේ වර්ධනයක්, විශේෂයෙන්ම උදේ කාලයේ වර්ෂාපතනයේ වැඩී වීමක් ඇති විය හැකියි" .
ඉන් දිනකට පසුව නැවතත් අධ්‍යක්ෂක ජනරාල්වරයා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් එයටත් වඩා වැඩි පුරෝකතනයන් සිදු කළ අතර, ඒ මේ වන විටත් ආණ්ඩුවේ උදහසට ලක්ව තිබෙන දෙරණ නාලිකාවේ වැඩසටහනකට සජීවීව සම්බන්ධ වෙමිනි. ඒ අවස්ථාවේදි ඔහු සමඟ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ඉහළ නිලධාරිනියකද සහභාගිව සිටියාය.
ආණ්ඩුව හා රාජ්‍ය බලධාරීහු මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් තමන් එවැනි දැනුවත්භාවයක නොසිටි බව ප්‍රකාශ කරති. නමුත් සත්‍ය නම් එය නොවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පමණක් නොව වාරිමාර්ග දෙපාර්තමේන්තුවද අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් යම් යම් නිවේදන, පෙර හැඟවුම් නිකුත් කර තිබුණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද ජාතික ආපදා කළමනාකරණ මධයස්ථානයේ හවුල්කාර පාර්ශවයක් නම් ඒ ව්‍යසනයක පූර්ව අනතුරු හැඟවීම් එම දෙපාර්තමේන්තුව විසින් DMC ලබා දී තිබිය යුතුය. එය එසේම නම් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික සභාව හමුවට ඒ තොරතුරු ඉදිරිපත් කිරීම DMC අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යකි.
ජනාධිපති මාධ්‍ය අංශ වෙබ් අඩවියේ (PMD) දැක්වෙන පරිදි ජාතික ව්‍යසන කලමනාකරණ සභාව පසුගිය අගොස්තු මස 6 වැනි දින රැස්ව තිබේ. ඒ වසර 7 ට පසුවය. අවදානම් කලාපවල ජීවත්වන පවුල් එම ප්‍රදේශවලින් ඉවත් කිරීම පිළිබඳව එහිදි සාකච්ඡාවට ගනු ලැබු බවත්, ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අරමුදලක් පිහිටුවීමට තීරණය කෙරුනු බවත් එහි දැක්වෙයි. එම වෙබ් අඩවියේම පසුව දැක්වෙන්නේ නොවැම්බර් 27 දිනත් ඉන් අනතුරුව දෙසැම්බර් 15 දිනත් සභාව රැස්වුණු බවකි.
මේ අතර පසුගිය 12 වන දින තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පවසා සිටියේ සුළි කුණාටුවක් පිළිබඳව රජය දැන නොසිටි බව මැති ඇමතිවරුන් විසින් විසින් කරන ප්‍රකාශ පිළිගත නොහැකි ඒවා වන බවයි.
"ඇමතිවරු අභියෝග කරනවා මේ ගැන. අභියෝග කරන්න දෙයක් නෑ. සුළි කුණාටුවක් එන්න පුලුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නොවැම්බර් 11 දා සිට 17 දක්වාම දිගින් දිගටම අනතුරු ඇඟෙවුවා. ඒක නැහැයි කියන්න බෑ," රහුමාන් මන්ත්‍රිවරයා තවදුරටත් පවසා තිබුණේ ප්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධානින් නොවැම්බර් මාසය පුරාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවකි.
"ආපදා කළමනාකරණ මධයස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේක්ෂණ සංවිධානය, ජල සම්පාදනය, ධීවර අමාත්‍යාංශය, වාර්මාර්ග දෙපාර්තමේන්තුව, කියන ආයතනවල ප්‍රධානීන් පහුගිය නොවැම්බර් 11 ඉඳලා 27 දක්වා සාකච්ඡා පවත්වලා තියෙනවා. සූම් සාකච්ඡාත් පවත්වලා තියෙනවා. මේ සාකච්ඡාවල ගත්ත තීන්දු තීරණ මොනවද කියලා අපි දන් නෑ. මේ රටේ පාර්ලීමේන්තුවට සහ ජනතාවට ඒ ගැන දැන ගන්න අයිතියක් තියෙනවා. ඒ නිසය අපි තොරතුරු දැන ගැනීම පනත යටතේ එම තොරතුරු ඉල්ලන හිතුවේ,"යැයි පවසන මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා වැඩි දුරටත් කියා සිටියේ එම තොරතුරු ප්‍රසිද්ධ වූ විට ආණ්ඩුව හංගන ඇත්ත එළියට එනු ඇති බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ , ඉංජිනේරු එල්. එස්. සූරිය බණ්ඩාර ද මාධ්‍ය හමුවේ පවසා තිබුණේ ඉදිරියේදි තද වැසි ඇති විය හැකි බැවින් කඳු බෑවුම්වල, පහත් බිම්වල සහ ගංඟා නිම්නවල ජීවත්වන ජනයා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවටයි. එමෙන්ම ඇති විය හැකි කාලගුණ වෙනස් කම් සමඟ පිටාර ගැලිය හැකි ගංඟා සහ යට විය හැකි ප්‍රදේශ පිළිබඳවත් ඔහු විසින් පූර්ව දැනුම් දීමක් කර තිබුණි.
මේ ආකාරයටම ජාතික ගොඩනැගිලි පරියෙක්ෂණ සංවිධානයද ( NBRO) නාය යෑම් ඇති විය හැකි ප්‍රදේශ නම් කරමින්ම අනතුරු අඟවා තිබුණි.
මේ කිසිවක් දේශපාලන බලාධිකාරිත්වය හෝ වගකිව යුත්තන් නොදැනි සිටියේද? එය පුදුම සහගත තත්වයකි. රාජ්‍ය පාලනය සහ රාජ්‍ය නිලධාරින් එතරම්ම දුරස්ථ ද? කළමනාකාරිත්වය දුර්වල ද?
" සදාචාරාත්මකව" තර්ජනය කරන පොලීසිය
කෙසේ නමුත් ව්‍යසනය දරුණු වී ඒ සම්බන්ධයෙන් රජයේ පෙර දැනුවත්භාවය පිළිබඳව විපක්ෂය සහ මාධ්‍ය මගින් ප්‍රශ්න කරන විට ආණ්ඩුවේ දේශපාලන බලධාරිහු එය විපක්ෂයේ සහ මාධ්‍යයේ පදනම් විරහිත කතා ලෙසට පවසමින් බැහැර කළහ. ආණ්ඩුව ඉන් නොනැවති එසේ ප්‍රශ්න කරන්නවුන් දෙස වක්‍රාකාරයෙන් තර්ජනයේ හස්තයද දිගු කරන්නට විය.
ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි ෆ්‍රෙඩ්රික් උදයකුමාර වූට්ලර් පවසා තිබුණේ සදාචාර විරෝධි ලෙස සත්‍යයෙන් තොර පුවත් සමාජ ගත කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන බවකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ එම ප්‍රකාශය ජනාධිපති මාධ්‍ය අංශය මගින් පසුගිය දෙසැම්බර් 02 දා මෙසේ පළ කොට තිබුණි.
" ජනතාව බියට සහ කැළඹීමට පත්වන ආකාරයේ පුවත් සමාජගත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණිලි කිහිපයක්ම ලැබී තිබෙනවා. එම පැමිණිලි පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයෙන් විමර්ශනය කෙරෙමින් තිබෙනවා". පොලිසිය හෝ ආණ්ඩුව විසින් අර්ථ දක්වන සදාචාර විරෝධි ප්‍රකාශන යනු කුමන ඒවා දැයි ඔවුන් විසින්ම පැහැදිලි කිරීමක් කරන්නේ නම් අගනේය.
සුනාමියෙන් මෙපිට ශ්‍රි ලංකාව මුහුණ දුන් දරුණුතම ස්වභාවික ව්‍යසනයට මුහුණ දී සිය ගණනක මිනිස් ජීවිත පොළවට වැළලි අවසන් ය. තවත් ඒ සමානවම පිරිසක් විවිධ ආපදාවන්ට ගොදුරුව සිටිති. තවමත් නිසි පරිදි තක්සේරු නොකළ රුපියල් මිලියන ගණනක නිවාස, දේපල ආදී සියල්ල කුණාටුව විසින් උදුරා ගනු ලැබීය. බලධාරින් විසින් මේ ව්‍යසනයට දක්වන ඇල්මැරුණු හෝ වගකීම් විරහිත ප්‍රතිචාරයන් ප්‍රශ්න කිරීම සදාචාර විරෝධි වන්නේ නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අපට මතක් කර දෙන්නට සිදුවන්නේ මෙවැනි ප්‍රකාශ කිරීමට පෙර පසුගිය සමයේ පාර්ලීමේන්තුව සහ ඉන් පිටත මාධ්‍ය හමුවලදි වත්මන් ජනාධිපතිවරයා සහ ඇමතිවරුන් විසින් මෙයට පෙර ඇතිවු ස්වභාවික විපත් අරබයා පැවති ආණ්ඩුවලට දෙස් දෙවොල් ලබමින් කරන ප්‍රකාශ මදක් කියවා බලන ලෙසයි. මන්ද යත් විපතට පත් වු මිනිසුන්ගේ දුක් අඳෝනාවන්, ප්‍රකාශයන්, ඉල්ලීම් සහ ආයාචනයන් ආදී සියල්ල සදාචාර විරෝධි, නීති විරෝධී ප්‍රකාශන ලෙස අර්ථ දක්වන්නේ නම් වත්මන් පාලකයන් ඒ ආකාරයෙන්ම එදා කළ සියළු ප්‍රකාශනයන්ද සදාචාර විරෝධි වන්නේය. ව්‍යසන කළමනාකරණයේදි අවශ්‍ය වන්නේ සදාචාර පොලිස් පාලනයක් හෝ මිලිටරි පන්නයේ ජුන්ටාවක් හෝ නොවන බව පාලකයන් සිහියේ තබා ගැනීම වැදගත් ය.
බිංඳුවට වැටුණු කළමනාකරණය
ව්‍යසන කළමනාකරණය පරිද්දෙන්ම ආණ්ඩුව සහ රාජ්‍ය බලධාරින් අතර ඇති කළමනාකරණයද බරපතල ව්‍යසනයක් බවට පත්ව තිබෙන බැවි පෙනෙන්නට ඇත. ව්‍යසන කළමනාකරණයේ සම්බන්ධිකරණය අතිශයින්ම දුර්වල සහ දියාරු මට්ටමක පවතින බව බැලු බැල්මටම පෙනෙන්ට තිබෙන දෙයකි. එක් පසකින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඉදිරි පෙළ ඇමතිවරුන්ගේ වගකීම් විරහිත ප්‍රකාශයන් සහ හැසිරීම්ය. අනෙක් පසින් පවතින නීතී රීති සහ පරිපාලන ක්‍රමවේද නොතකා ක්‍රියා කිරීමේ ස්වභාවය යි. මේ සියල්ල අතර ඇත්ත සැඟවීම උදෙසා ගනු ලබන ක්‍රියාකාරකම්ද බොහෝය. තවමත් මඩ පොළවෙන් මළ සිරුරු මතු වෙමින් තිබේ. සහන සැලසීම අතිශයින්ම මන්දගාමී තත්වය පත්ව ඇති බව බොහෝ තැන්වලින් ප්‍රකාශ වේ. සහන සැලසීම ජවිපෙ ග්‍රාමිය කාඩර්වරුන්ගේ අධික්ෂණයට යට කෙරි ඇති බවද චෝදනා එල්ල වෙති. රාජ්‍ය පරිපාලනයේ අතිශයින්ම වැදගත් කාර්යභාරයක් සිදු කරන පහලම පරිපාලන යාන්ත්‍රණය අක්‍රීය හෝ මන්දගාමී හෝ කෙරී ඇත.
රජයේ සංඛ්‍යා ලේඛනවලටම අනුව අති විශාල පිරිසක් තවමත් සහන කඳවුරු තුළ දිවි ගෙවති. අහිමි වුණු නිවාස දේපල සංඛ්‍යාවද ඉමහත්ය. නමුත් මේ සම්බන්ධව ඇති රජයේම සංඛ්‍යා ලේඛන එකි නෙකට පරස්පර බවද කිව යුතුව ඇත. DMC අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් දෙසැම්බර් 15 වන දිනට අදාලව ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ පූර්ණ වශයෙන් හානියට පත් නිවාස 6164 ක සංඛ්‍යාවකි. එමෙන්ම අර්ධ වශයෙන් නිවාස 112110 ක් හානියට පත්ව ඇතැයිද එහි දැක්වෙයි. නමුත් DMC වෙබ් අඩවියේ ඇති සංඛ්‍යා ලේඛනවල දක්නට ඇත්තේ එයට වෙනස් සංඛ්‍යාවකි. ' අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට’ යයි දක්වමින් එහි කාර්ය භාර්ය නිලධාරි ආර්.ඩී දළුගොඩ නමැත්තාගේ අත්සන සහිතව නිකුත් කර ඇති වාර්තාවේ දැක්වෙන්නේ පූර්ණ ලෙස හානියට පත් නිවාස 6200 ක් සහ අර්ධ වශයෙන් හානියට පත් නිවාස 95 545 තිබෙන බවකි. එමෙන්ම රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගල සංඛ්‍යාව අතරද විශාල වෙනසක් දක්නට ලැබේ. මෙ ආකාරයේ සංඛ්‍යා ලේඛන බොහෝ වන අතර සත්‍ය පවසන්නේ කවරෙක්දැයි අපි නොදන්නෙමු.
දිට්වා පලමු ව්‍යසනයෙන් රටම මළ ගෙයක් වී තවමත් මසක් ගෙවී ගොස් නැත. තැන තැන තවමත් මළ සිරුරු පස් යටින් මතු වෙයි. අතුරුදහන් වුවන් සොයමින් ගාටන මිනිසුන්, පස් යට වැළලුනු තම සමීපතමයන් ගේ සිරුරු ගොඩ ගන්නා තුරු බලා සිටින කම්පිත මිනිසුන් බොහෝ ය. දරුවන් සිය ගණණකට දෙමාපියන් අහිමිව ගොසිනි. දෙමාපියන්ට දරුවන් අහිමිව ගොසිනි. පවුල් සිය දහස් ගණනකට උන් හිටි තැන්ද, හිසට සෙවන දුන් නිවෙස් ද අහිමිව ඇත්තේ ඇඳිවත පමණක් ඉතිරි කරමිනි. තවමත් පක්ෂ විපක්ෂ සියල්ලෝම වාද විවාද කරමින් කල් මරති. එකිනෙකාට චෝදනා ගල්මුල් විසිකරති. ඒ අතරේ රටේ සමස්ත මුළු භුමි ප්‍රමාණයෙන් තුනෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයක් යළිත් නාය යෑමේ අවදානමට ලක් විය හැකි බවට විශේෂඥවරුන් අනතුරු හඟවා සිටි. නැවත මෝසම් වැසි සක්‍රීය වන බවටත් දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවටත් ප්‍රරෝකතනවලින් ඔබ්බට ගිය ප්‍රකාශ නිකුත් වෙමින් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඔවුන් යටතේ ඇති මහවැලි ව්‍යාපාරයේ ප්‍රධාන ජලාශ වල සොරොවු විවෘත කරමින් ජනයාට අනතුරුද හඟවමින් සිටි. එහෙත් ආණ්ඩුව තවමත් ව්‍යසනය බරපතල ලෙස පිළිගන්නට සුදානමක් ඇතැයි පෙනෙන්නට නැත. එය ස්වභාවික විපතකටත් වඩා භයානක ක්‍රියාවකි.
සිදුවු ව්‍යසනය හුදෙක් ස්වභාවික විපතකින් එහා ගිය එය නොතකා හැරිය ක්‍රියාවක් බවට ඔප්පු වන්නේ නම් එයට වගකිව යුතු කවර හෝ පුද්ගලයෙකුට, පාර්ශවයකට එරෙහිව නීතිය බලාත්මක විය යුතුමයි. සිදුවුයේ කුමක්දැයි මුල සිට ගැඹුරු සහ විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් පැවැතීම අත්‍යවශ්‍ය ක්‍රියාවකි. වගකීම සහ වගවීම ඒ ආකාරයෙන්ම සිදුව ඇද්දැයි විමර්ශනයට ලක් කළ යුතුය. රාජ්‍ය නිලධාරින් වේවා, විධායකය ප්‍රමුඛ දේශපාලන බලාධිකාරිය වේවා ස්වකීය වගකීම පැහැර හැර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය බලාත්මක කරවීම මේ රටේ නීති ප්‍රජාවේ, යුක්තිය පසිඳලන ආයතනවල, අභිචෝදකවරුන්ගේ සහ විමර්ශකයන්ගේ වගකීමකි. පුලුල් බලතල පැවරෙන කවර හෝ ආයතනයක් මඟින් මේ සම්බන්ධයෙන් ස්වාධින විමර්ශනයක් ආරම්භ කොට සාක්ෂි විමසීම් පටන් ගැනීමට කාලය එළැඹ තිබේ. පස් යට වැළලුනු සියළු ප්‍රාණයන්ට යුක්තිය ඉටුවන්නේ එවිටය.
(සටහන | කේ. විජේසිංහ)
මාධ්‍යවේදී




