The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සැන්ටාට උගස් තැබූ ජේසුගේ නත්තල

T

The Leader Desk

December 24, 2025 • 8:33 AM

සැන්ටාට උගස් තැබූ ජේසුගේ නත්තල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි තවත් නත්තලක් අභිමුවට පැමිණ සිටිමු. මුළු නත්තල් උත්සවයේම අර්ථය සහ ජීවය වන කිතු උපත අද වන විට නත්තලේ එක් සංකේතයක් පමණක් බවට පත්වීමේ ඛේදවාචකයකට ද අපි ඒ සමඟම මුහුණ පා සිටිමු. නමුත් එම ඛේදවාචකයේ තවත් පැතිකඩක් වනුයේ ඒ සම්බන්ධයෙන් අප ජන සමාජයේ බහුතරය සංවේදී නොවීමය.
  • ඒ අනුව මෙය හුදු මිනිස් උපතක් නොවේ; මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇති අසීමිත දිව්‍යමය ප්‍රේමය මිනිසා හමුවට ඉදිරිපත් කිරීමකි.
  • එනම් සරල හා චාම් බව පිළිබඳ උතුම් පණිවිඩයයි.
  • නත්තලේ සැබෑ සැමරුම සරල චාම් බව මත පදනම් විය යුතුය යන පණිවිඩය නූතන උඳුවප් සුළඟේ දැවටී, අප නිදන්නා නොපෙනෙන මානයකට ඇදී ගොස් ඇති බව අද කිතුනු බහුතරය නොදනිති.
අකුරු ප්‍රමාණය (Font Size):


කිතුනු විශ්වාසයට අනුව, නත්තල යනු දෙවියන් වහන්සේ මනුෂ්‍ය වේශයෙන් මෙලොවට පැමිණීමයි. ඒ අනුව මෙය හුදු මිනිස් උපතක් නොවේ; මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇති අසීමිත දිව්‍යමය ප්‍රේමය මිනිසා හමුවට ඉදිරිපත් කිරීමකි.

Nativity scene 1024x682

ජේසු බිළිඳා රජ මාලිගාවක නොව, සතුන් ලගින ගව ලෙනක උපත ලැබීම තුළින් ලෝකයට ලබා දුන් සුවිශේෂ පණිවිඩයක් තිබේ. එනම් සරල හා චාම් බව පිළිබඳ උතුම් පණිවිඩයයි. නත්තලේ සැබෑ සැමරුම සරල චාම් බව මත පදනම් විය යුතුය යන පණිවිඩය නූතන උඳුවප් සුළඟේ දැවටී, අප නිදන්නා නොපෙනෙන මානයකට ඇදී ගොස් ඇති බව අද කිතුනු බහුතරය නොදනිති. එමෙන්ම ගව ලෙනක සිදු වූ කිතු උපත තුළින් ජාති, ආගමික භේදයකින් තොරව සියලු දෙනා එකිනෙකාට ප්‍රේම කළ යුතු බව උගන්වයි. එහිදී නිහතමානීත්වය, බැගෑපත් බව, ඉවසිලිවන්ත බව, සංවර බව ආදිය එක් කොට ගත් “බැහැපත් බව” ආදර්ශයට ගත යුතු බව කිතුනු ඉගැන්වීමය.

අඳුරේ සිටි ලෝකයට ආලෝකයක් උදා කළ කිතු උපත, දුක, වේදනාව සහ බලාපොරොත්තු සුන් වූ මිනිසුන්ට නව ජීවනයක් සහ බලාපොරොත්තුවක් ඇති කරවීම පිණිස යොදා ගැනීම නූතන සමාජමය අවශ්‍යතාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් එය අද වන විට කොතෙක් දුරට ඉටුවේද? යන්න අප අපගේ හදවත්වලින්ම විමසා දැනගත යුතුය.

නත්තල් ගස, තරු සහ තෑගි බෝග ළමා අවදියේ සිටම අපට නත්තලේ මිහිර ආශ්වාදය හිමි කර දෙන බව ඇත්තකි. නමුත් ඒ සියල්ලේම කේන්ද්‍රය විය යුත්තේ මිනිස් හදවත් තුළ උපදින, සැම වෙත එක සේ පැතිරවිය යුතු කරුණාව, දයාව සහ ප්‍රේමයයි. නමුත් වර්තමානයේ මෙය ප්‍රායෝගික වශයෙන් කොතෙක් සමාජගත වී තිබේද යන්න බරපතළ පැනයකි. නත්තල ජේසුගේ බවත් එනිසා අප කිතු බැතිය සේම කරුණාව, දයාව සහ ප්‍රේමය පදනම්ව සැමරිය යුතු බවත් කුඩා කාලයේ වැඩිහිටියන් අපට කියා දී තිබේ. නමුත් මේ වන විට මෙම අර්බුදයට මුල් වී ඇත්තේ ජේසුගේ නත්තල අපේ කර ගැනීම නිසා බව මගේ වැටහීමය.

 

chrismas tree
ජේසුස් වහන්සේගේ ජීවිතය දෙස බලන විට උන්වහන්සේ භෞතික සම්පත්වලින් තොර සරල සහ නිහතමානී ජීවිතයක් ගත කිරීම බයිබලය අපට ලබා දෙන උතුම් ආදර්ශයකි. ක්‍රිස්තියානි ධර්මයේ වැදගත් ඉගැන්වීමක් වන එය අපගේ දැනුම් පද්ධතියෙන් එපිට මානයක පිහිටි අවබෝධ ඥානයට පිවිසවා ගත යුතු වේ. නමුත් එය ප්‍රමාණවත් ලෙස සිදු වී ඇති බවක් නොපෙනේ.

ජේසුස් වහන්සේගේ දෙමාපියන් වන මරියතුමිය සහ ජුසේ තුමන් ඉතා සරල චාම් ජීවිත ගත කළ අය වන අතර, ජේසුස් වහන්සේ දේව මාලිගාවට කැප කිරීමේදී ඔවුන් ඔප්පු කළේ ධනවතුන් දෙන බැටළුවෙකු නොව, දිළින්දන් විසින් දෙනු ලබන කොබෙයි ජෝඩුවකි. නමුත් මෙහි හුදු පුරාණෝක්තියක් ඉක්මවන උතුම් දර්ශනයක් හා ආදර්ශයක් පවතින බව බොහෝ දෙනා නොදනිති.

”නරියන්ට ගුල් ඇත, අහසේ කුරුල්ලන්ට කැදලි ඇත, නමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබාගන්නටවත් තැනක් නැත” (මතෙව් 8:20) යනුවෙන් දේව සේවය කරන කාලයේදී උන්වහන්සේ කළ ප්‍රකාශය හුදු සාහිත්‍යමය කරුණක් සේ නොසිතිය යුතු ය. උන්වහන්සේ සහ ශ්‍රාවකයන් බොහෝ විට යැපුණේ අන් අයගේ ආගන්තුක සත්කාරයෙනි. ජේසුස් වහන්සේ නිරතුරුවම දිළිඳුකම අගය කළහ. එය හුදෙක් මුදල් නොමැතිකම නිසාම නොව, එය දෙවියන් වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන් කැප වීම සංකේතවත් කරන නිසාය. “ආත්මයෙන් දිළිඳු වූවෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය” (මතෙව් 5:3) යන්න අප නිතර අසා ඇති ශුද්ධ බයිබලයේ එන සඳහනකි. එහෙත් අප සමාජයේ කීයෙන් කී දෙනකු නම් එහි දාර්ශනික අරුත විමසා අවබෝධ කර ගෙන තිබේද?

chrismas god
ජේසුස් වහන්සේ සැමවිටම සමාජයේ කොන් වූ, දිළිඳු සහ අසරණ මිනිසුන් සමඟ සමීපව කටයුතු කළ සේක. උන්වහන්සේගේ පණිවිඩය වූයේ සැබෑ ධනය ඇත්තේ ලෞකික වස්තුව තුළ නොව, ආත්මීය වශයෙන් පවත්නා ප්‍රේමය සහ පරිත්‍යාගය තුළ බවයි. නමුත් නත්තල හා සම්බන්ධ මේ සකලවිධ ජීවන හා සමාජමය හරයන් නව ලිබරල්වාදය (Neo-liberalism) වෙත උගස් කොට ඇති අද සමාජයේ බහුතරයක් ජේසුස් වහන්සේ අමතක කොට, එය තම ප්‍රායෝගික ආගම හෙවත් ඇදහීම බවට පත් කරගෙන සිටිති.

නව ලිබරල්වාදය යනු හුදෙක් ආර්ථික ක්‍රමයක් පමණක් නොව, එය මිනිස් සබඳතා සහ සංස්කෘතික වටිනාකම් පවා “ලාභය” සහ “පාරිභෝජනය” මත පදනම් වූ රාමුවකට කොටු කරන, ආධ්‍යාත්මික හරයන් සුනු විසුණු කරන දර්ශනයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස නත්තලේ සැබෑ ආධ්‍යාත්මික සහ මානුෂීය අරුත ක්‍රමයෙන් ගිලිහී යමින් පවතින අතර, මෙහි නිමාව කෙබඳු වේදැයි සිතීමට පවා අපහසුය. දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වයට ආදරය කරමින් සරලව මෙලොවට පැමිණීම නත්තලේ සැබෑ අරුත වුවද, නව ලිබරල්වාදය විසින් නත්තල ද ලොව වැඩිම මිලකට “විකිණිය හැකි භාණ්ඩයක්” බවට පත් කර ඇත.

hristmas promotion

අද නත්තල අගැයුමට ලක් වනුයේ යාච්ඤාවෙන් නොව, වෙළඳසැල්වල ඇති ‘වට්ටම්’ (Discounts) සහ ‘වෙළඳ ප්‍රචාරණ’ මගිනි. ඒ අනුව අද සමාජය අන් කවරදාටත් වඩා තමන්ට අවශ්‍ය දේට වඩා, වෙළඳපොළ විසින් පටවනු ලබන දේ මිලදී ගැනීමට පෙළඹී සිටියි. නත්තල යනු බෙදා හදා ගැනීම සහ ආදරය පතුරුවන කාලයකි. එහෙත් වර්තමානයේ ආදරය ප්‍රකාශ කිරීමේ මාධ්‍යය බවට පත්ව ඇත්තේ “මිල අධික තෑගි” ය. මිනිස් සබඳතාවල වටිනාකම තෑග්ගක මිල අනුව තීරණය වන තත්ත්වයට පත්ව ඇත. මෙය ජේසුස් වහන්සේගේ අගැයුම්වලට සපුරාම පටහැනිය. එමෙන්ම උන්වහන්සේගේ අවධානයට හා සැලකිල්ලට ලක් වූ දිළිඳු සහ අඩු වරප්‍රසාදිත ජනතාව සමාජයෙන් තවදුරටත් කොන් කිරීමටත්, ඔවුන් තුළ හීනමානයක් ඇති කිරීමටත් හේතු වී තිබේ.

image 4
එමෙන්ම ශාන්ත නිකුලස් මුනිවර නාමය පදනම්ව 1930 දශකයේ කොකා කෝලා සමාගම හඳුන්වා දුන් සැන්ටා, මේ වන විට බහු ජාතික සමාගම් ඇතුළු සමස්ත වෙළඳ සේම ජාවාරම්කරුවන්ගේ රූකඩයක් බවට පත්ව තිබේ. අතීතයේ නත්තල් සීයා නම් වූ ඒ සාන්තුවර චරිතයේ ඇඳුමේ කොළ සහ දුඹුරු පැහැයන් පවා පසුව කොකා කෝලා පැහැයට අනුරූප ලෙස වෙනස් වී ඇති බව බොහෝ දෙනෙක් නොදනිති. නමුදු ශාන්ත නිකුලස් නම් වන එම උතුම් සාන්තුවර චරිතය මේ අයුරින් විකෘති කොට අඥානයන් හමුවේ දෘශ්‍ය මායා මැවීම සම්බන්ධයෙන් කිසිවකු හෝ හාවක් හූවක් නැත.

 

chrismas party
දිළිඳුකම හා දිළින්දා එලෙස කොන් කරන නව ලිබරල් සමාජය තුළ නත්තල නැවත නැවතත් වර නැඟෙනුයේ ඉහළ මධ්‍යම පන්තියේ සහ ධනවතුන්ගේ උත්සවයක් ලෙසිනි. සුඛෝපභෝගී හෝටල්වල පැවැත්වෙන සාද සහ උත්සව මගින් නත්තලේ “සරල බව” සහ “දිළින්දාට ඇති ප්‍රමුඛතාවය” ගෙළ සිඳ දමන අන්දම ඉතා හොඳින් දැක ගත හැකිය. දිළින්දා කෙරෙහි දක්වන අනුකම්පාව පවා දෙවියන් වෙනුවෙන් කරන සේවයක් සේ සලකනු වෙනුවට, “තම ප්‍රතිරූපය නංවාලන ප්‍රදර්ශනාත්මක ප්‍රජා සත්කාරයක්” බවට පත්වීම ද මේ වන විට නිතර අත්දකින්නට පුළුවන.

නිහඬතාව, මෙනෙහි කිරීම සහ ආධ්‍යාත්මික පුනර්ජීවනය ඔස්සේ දෙවියන් වහන්සේ වෙත යොමු වීම සම්බන්ධයෙන් පවත්නා අවකාශය කිතු දහමේ මනාව විස්තර කෙරේ. එහෙත් නව ලිබරල්වාදී සංස්කෘතිය තුළ එය ඝෝෂාකාරී සංගීතය, නිසරු රංගන, මායාකාරී ආලෝකයන්, මත්පැන් සහ පුහු විනෝදය පමණක් ඉතිරි වූ සැණකෙළියක් බවට පත්ව ඇත. අද වන විට මෙම හරසුන් අංගවල ඇතැම් කොටස් නිවෙස්වලින් දේවස්ථාන කරා ද සම්ප්‍රේෂණය වී ඇත්තේ, නත්තල යනු හුදු කානිවල් එකකින් එහාට නොගිය සැමරුමක් බව අපගේ සිත් තුළ මඳින් මඳ පසක් කරමිනි.

news worst christmas party confesions
නව ලිබරල්වාදය විසින් නත්තල “උතුම් ආධ්‍යාත්මික අත්දැකීමක” සිට මිනිසා තුළ පවත්නා අසංතෘප්තිය තවදුරටත් වඩවාලන “ආර්ථික ගනුදෙනුවක්” දක්වා ලඝු කර ඇත. නමුත් නත්තලේ සැබෑ අරුත සොයා ගත හැක්කේ වෙළඳපොළෙන් ඔබ්බට ගොස්, ජේසුස් වහන්සේ පෙන්වා දුන් සරල චාම් බව සහ සහෝදරත්වය වැළඳ ගැනීමෙන් පමණි. නත්තල සම්බන්ධ මෙම උදාර පණිවිඩය කතෝලික සන්නිවේදන මාර්ග ඔස්සේ ජන හදවත් තුළට පිවිසවා ඇත්තේ කන්ද කෙන්ද කරමින් බව ඒ සම්බන්ධ විමසුම්වලදී පෙනී යයි. ඒ බව මේ වන විට නිරතුරු ප්‍රකාශයට පත් වන කතෝලික ප්‍රකාශන පිරික්සීමෙන් මනාව තහවුරු කර ගත හැක.

ඒ අනුව අපට ඒ සම්බන්ධයෙන් කිව හැක්කේ අප අතීතයේදී බැතිමත් ලෙස සැමරූ ජේසුගේ නත්තල මේ වන විට නූතන කිතුනු සමාජය විසින් නව ලිබරල්වාදී ව්‍යාපාරිකයන් හා ජාවාරම්කරුවන්ගේ රූකඩයක් වන සැන්ටා හමුවේ උගස් කොට ඇති බවකි.

Screenshot 2024 12 25 at 10.13.44 copy 1
(සටහන | රීටා ජෙනට් පෙරේරා)

madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...