ජේසුස් ගැන මෙන්ම ප්‍රේමය පිළිබඳ ඔහුගේ ගැඹුරුතම ප්‍රවාද ඇතුළත් දාර්ශනික ක්‍රිස්තියානිය ලෙස මා නම් කරන දර්ශනවාදය පිළිබඳ මගේ හැදෑරීම් ප්‍රබන්ධකරණ කළ ‘මුන්නක්කරේ සංසාරේ’ අතට ගනිමි. ජේසුස්, මනුෂ්‍ය පුත්‍රයකු ලෙස අද්දකින්නට උත්සාහ කළ මගේ හැදෑරීම් තුළ මා බොහෝ විට කල්පනා කළ කරුණක් වූයේ මේ සා විශාල ආදරය ඔහු තුළ පැන නැඟෙන්නට ඔහුට බලපෑ ජීවන සංසිද්ධිය කුමක්ද යන්නයි. ස්තිර වශයෙන්ම ආදරය ළෙලවාගෙන මරියාවන් එක් පසෙක සිටින්නීය. අනෙක් පස සිටින්නේ මරියාවන්ටත් ජේසුස්ටත් ආදරය කළ යෝසෙෆ් මිස වෙන කවුද?
දෙසැම්බර්යේ අග සැමරෙන ක්‍රිස්තෝත්පත්තිය නොහොත් නත්තල සැබෑ ලෙසම ඓතිහාසික සංසිද්ධියක්දැයි යන සංවාදය පසෙක තිබියදී වුව අපට වාර්ෂිකව මෙම මංගල්ලයට මුහුණ දෙන්නට සිදුවේ. එය වෙනම සංස්කෘතික කලාපයකි. එම සංස්කෘතික මොහොතේ හැම නිතරම මගේ හදවත යෝසෙෆ් නම් වූ උත්තුංග ප්‍රේමවන්තයා අබියස අඩදැණි වන්නේ ඇයිදැයි ඔබ දැන ගත යුතුව ඇතැයි මම සිතමි.

ස්වකීය ප්‍රේමවන්තිය වූ මරියාවන්ගේ ආනුභාවසම්පන්න සළුපිළි සෙවණැල්ලේ මහා විසල්බැව් නිසා, කෙතරම් උස මිනිසකු වුව යෝසෙෆ්, ඉතිහාසය තුළ අවශ්‍ය තරම අවධානයට පාත්‍ර වු චරිතයක් නොවුණු බව මගේ හැදෑරීම මෙන්ම විශ්වාසයයි.
මා මුන්නක්කරේ සංසාරේ කෘතිය තුළ යෝසෙෆ්ගේ ප්‍රේමය සලකුණු කරන්නට හිතුවේ මෙකී කරුණු සියල්ලම සළකා බලමින් ය. එහිදී මම මෙසේ ලීවෙමි.
‘’ප්‍රේමය සැබැවින් ම ජනිත වනුයේ නිදහස තුළ යැයි තර්ක කරන්නට අපට පිළිවන. නමුත් මෙසයියානු ජනිතය නිදහස තුළ ඉෂ්ට සිද්ධ වීද? විවාහ ගිවිසගැනීම තිබියදී සිද්ධවන විශ්මප්‍රාප්ත කන්‍යා පිළිසිඳ ගැනීමක කම්පනයට මුහුණ දෙමින් සිටින මිනිසෙක්, එම බඩදරු කන්‍යා යෞවනියද සමඟින්, ආක්‍රමණිකයකුගේ නින්දිත ශ්‍රම සූරාකෑමක වින්දිතයකු වීමට සෘජුවම අදාල, අධිකතර බදුබරකට ගොදුරු වීමට සෘජුවම අදාල සංගණනයකට බෙත්ලෙහෙම කරා යමින් සිටියේ ය.

ස්වකීය ප්‍රේමවන්තිය ගැබ්ගෙන ඇති බව ඔහුට කියන ලද්දෙ කවරෙක් ද? සිහිනයක වෙසිනි සපැමිණි සිහිනයක විසිනි. එකී සිහිනය දැක්කා වුව නො දැක්කා වුව එවන් සිහිනයක් එළිදැක්වීමේ වගකීමක් ඔහු තමන් වෙත පවරා ගත්තා නොවේ ද?
‘’තමන් සිහිනයක් දුටු බව යෝසෙෆ්ට නො කීවා නම් ශුද්ධවර කන්‍යාව මරියා ගර්හිත ස්ත්‍රියක්ව ගල් ගැසුම් කා මිය යන්නට පවා ඉඩ තිබුණා නොවේද? ඉදින් සිහින යනු සිහිනම නොවන බවත්, සිහින වර නැඟීම සෙල්ලමක් නො වන බවත්, ඔබ තේරුම් ගත යුතු වන්නේ ය. ශූභාරංචි ලියැවුණේ පසුව ය. ඒ සඳහා යේසුස් නම් මනුෂ්‍ය පුත්‍රයා ඉපදිය යුතුව තිබිණ. ඒ දිව්‍යමය කළලයට කුස පිදූ තරුණිය, මරියා, ගර්හිත ස්ත්‍රියකව නින්දා විඳන්නට ඉඩ තිබුණු ඉතිහාස මොහොත වෙනස් කරලන ලද්දේ ඇයගේ පෙම්වතා වූ, යෝසෙෆ් බව ඔබ සිත්හි තබා ගත යුතු ය.
‘’කවර දෙවියකු, කවර කන්දක් මත, කවර පඳුරක ඇවිලී, කවර ගල් ටැම් මත, කවර බසකින් කොටා දුන්න ද, ස්ත්‍රීන පීඩාවට පත් කරන්නට නියමිත, එවන් ආඥා මනුෂ්‍ය ශිෂ්ටාචාරය විසින් අත් හැර දමනු ලැබිය යුතු ය. යෝසෙෆ් ඉදිරියේ තිබුණේ තමන්ගේ ප්‍රේමවන්තිය එවන් ඉරණමක ගොදුරක් විය යුතු ද යන බරපතල තිගැස්මයි: සිහිනයක්ව මතුව ආයේ ඒ තිගැස්මේ ප්‍රතිරාවයයි. එය අතිශය බරපතල තත්වයක් ලෙස සඳහන් කරලීම යුක්ති යුක්ත වන්නේ, මරියාවන්ගෙ කුසේ වැඩවාසය කරමින් සිටින්නේ දෙවියන්ගේ දරුවෙක් බව කීවා වුව වෙනස් නොවන ඉරණමක් ම ව තිබූ බැවිනි. කළ හැකි හොඳම දේ වන්නේ, ගිවිසුම් ප්‍රකාරව, ඇය තමන්ගේ වඩු මඩුවේ පියස්ස යටට කැන්දාගෙන ඒම ය; පිපී එන ‘දෙව් කැකුළේ’ වගකීම තමන් වෙත පවරා ගැනීම ය; ඔහු එය ඉෂ්ට සිද්ධ කළේ ය; පැකිලීමින් තොරව ම නොවේ. ඇය අත්හැර පලා යන්නට හෝ ඇයව තම ජීවිතයෙන් පළවා හරින්නට යෝසෙෆ්ට හිතුණා වන්නට පිළිවන. එහි වරද කිම?

‘’නමුත් ඒ සියලු හැඟීම් යටපත් කරලූ බරපතලම හැඟීම වූයේ ප්‍රේමය යි.
‘’යෝසෙෆුවන්ගේ ප්‍රේමය බරපතල වූයේ ඔහු කොන්දේසි විරහිතව මරියාවන්ට ආදරය කළ බැවිනි. මට අනුව නම් ඔහු සැමරිය යුතු මිනිසෙකි. සැබැවින්ම නම් ඔහු සැමරිය යුත්තේ, ඔහු වඩුවෙකැයි කියැවෙන බැවින්, කම්කරුවා වෙනුවෙන් වෙන් කළ දිනයක දේවමෙහෙයකදී නොවේ. ඔහු සැමරිය යුතු වන්නේ ප්‍රේමවන්තයන් වෙනුවෙන් වෙන් කළ ප්‍රේමයේ දිනක ය; උත්කර්ෂවත් උළෙලක ය. ඔහු නම් සැබෑ ම ප්‍රේමවන්තයෙකි.
‘’යේසුස් ක්‍රිස්තුස් පවා ඒ සා විශාල ප්‍රේමයක් තමන් තුළ ගබඩා කරගන්නට ඉගෙනගත් ප්‍රථම ‘ප්‍රේම මූලාශ්‍රය’ යෝසෙෆ් බව මගේ පුද්ගලික විශ්වාසය යි.’’
යෝසෙෆ්ට අදාල සංසිද්ධියේදී ඇදැහිලි කිතුනුවන්ට අනුව යෝසෙෆ් දෙවියන්ට අවනත විය. ඒ අනුව ඔහු ස්වකීය ප්‍රේමවන්තිය දේව සංසේචනය ගැන කී වචනය සංවාද විවාද නොතකරම පිළිගත්තේ ය. එය විශ්වාසය පිළිබඳ ආත්මය ළෙලවීමකි. විශ්වාසය යනු ප්‍රේමයේ වර නැඟෙන උත්තුංග මුහුණුවරකි. ක්‍රිස්තෝත්පත්තියේ බර කරට ගත්තා පමණක් නොව, හෙරෝද් රජුගේ බිළිඳුන් මරා දැමීමේ කෲරතර ව්‍යාපෘතියෙන් ජේසුස් ගළවා ගනු පිණිස පළා යාමේ වගකීම පවා කරට ගනු ලබන්නේ යෝසෙෆ් විසිනි. ඔහු මහා ආදරවන්තයකු වන්නේ මෙයාකාර උත්තම කොලිටීන් හන්දා ය. මරියාවන්ගේ ශුද්ධවූ අයිතිය හෝ මුක්තිය වෙනුවෙන් ඔහු කිසිදාක සටනක් දියත් කළේ නැත. ඇත්ත වශයෙන්ම නම් මරියාවන්ගේ නො කැළැල් ආදරය හිමිවී තිබුණේ ඔහුට ය. නිතරගයෙනි. ඔහු විසින් සිදුකෙරුණේ මරියාවන්ගේ අයිතිය දෙවියන්ට පවරා, ඇයට ආදරය කිරීමේ ආත්මීය අවකාශය පමණක් තමන් කෙරෙහි රඳවා ගැනීම ය.
රැකවල් පියා යන ටයිටලය යටතට පිරිහෙළනු ලැබ සිටින යෝසෙෆ් නම් ප්‍රේමවන්තයා නැවත කියවා ගැනීමට නම් නත්තල් ගවලෙන අබියස වසුපැටවුන්ගේ හිස අතගාමින් සිටින ඔබ ජීවිතයේ කිසියම් මොහොතක් ඒ වෙනුවෙන් වෙන්කරලීමට තීන්දු කළ යුතු ය. ජේසුස්ට ප්‍රේමයේ ආත්මීය පදනම ලැබෙන පසුබිම හැදීම මතු නොව, ජේසුස් මහා විශාල දැනුම් සම්භාරයකට උරුමකම් කී ශාස්ත්‍රීය අධ්‍යයන පිණිස කැපකිරීම් කළ මිනිසා හුදු රැකවල් පියකු නොවේ. මහා මනුෂ්‍යයභාවයකි. ප්‍රතිලාභ කිසිත් නොපතා, ප්‍රතිචාර කිසිත් නොතකා කැපකිරීම් කරන්නේ කෙසේද ආදරය පවත්වා ගන්නේ කෙසේ ද යන්න ගැඹුරින් හිතා බලන්නට ඔබට මේ නැත්තලේ අදහසක් පහළ වුවහොත් ඒ සැබැවින්ම යෝසෙෆ් නම් පෙම්වතා හින්දා ය. මුන්නකරේදී මම මෙසේ ලීවෙමි.
‘’අත්පත් කරගැනීම වෙනුවෙන් පොළොවේ පස්කෑම හිස්කමකැයි මම දැන් සිතමි. අත්පත්කරගැනීමේ ආරම්මණය ඓන්ද්‍රීයව හිස්කමකින් පිරී ඇතැයි මට සිතේ. තමන් තුළ වන හිස්කම අනෙකා තුළ පුරවාලමින්, අනෙකාගේ හිස්කමින් තමන් පිරීයාම ආදරය ලෙස තේරුම් ගන්නේ කොහොමද? ආදරය යනු දෛනික ජීවිතයට එක්ව මුහුණ දීමේ මානව සංසිද්ධියක් නො වේ ද?

‘’මරියාවන් වන් දිව්‍යමය කැඳවීමක් ලත්, ස්වර්ගයීය ස්ත්‍රීයකට ආදරය කිරීම මොන තරම් රමනීය අද්දැකීමක් වන්නට පිළිවන් ද. ස්වර්ගයීය ස්ත්‍රියක් යන්න වරදවා ගත යුතු නොවේ. ස්ත්‍රීයකගේ ස්වර්ගයීයභාවය යනු ඈ සතු ගැඹුරුතර අධ්‍යාත්මිකභාවයට පර්යාය වදනකි. මානව සංහතියේ පීඩිතභාවයට එරෙහි අදහස් පද්ධතියක් ඇති පුතකුට ජන්මයලාභය දෙන්නට හිතහදාගෙන, එකී සමාජ පීඩාව උසුලා දරා සිටින්නට හැකි ස්ත්‍රියක වේ නම් ඇය මරියාවෙකි. එකී පුත්‍රයාගේ අනුගාමිකාවකව ඔහු අසබඩ රැඳෙමින් ඔහුගේ සටන් පෙරමුණෙහි ක්‍රියාකාරිනියකව සිටින්නට හැක්කේ නම් ඒ ස්ත්‍රිය මරියාවෙකි. තමන්ගේ දරුවා විශ්වය තරම් පළල් වේදනාවන් විඳිනු සියැසින් බලා හිඳිමින් කඩා නො වැටී සිටින්නට හැකි ස්ත්‍රීයක් වේ නම් ඒ මරියාවෙකි. එවන් ස්ත්‍රියක හා අචපලව, අඛන්ඩව ප්‍රේමයේ වෙලී ඉන්නට හැකි පුරුෂයකු වේ නම් ඔහු යෝසෙෆුවෙකි.
‘’ආදරය යනු දෛනික ජීවිතය එක්ව තේරුම් ගැනීමයි. කොයි මොහොතක හෝ කඩා වැටීමට නියමිත අධ්‍යාත්මය එක්ව උසුලාගැනීමයි.
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
www.wediwardena.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )




රැකවල් පියා යන ටයිටලය යටතට පිරිහෙළනු ලැබ සිටින යෝසෙෆ් නම් ප්‍රේමවන්තයා නැවත කියවා ගැනීමට නම් නත්තල් ගවලෙන අබියස වසුපැටවුන්ගේ හිස අතගාමින් සිටින ඔබ ජීවිතයේ කිසියම් මොහොතක් ඒ වෙනුවෙන් වෙන්කරලීමට තීන්දු කළ යුතු ය. ජේසුස්ට ප්‍රේමයේ ආත්මීය පදනම ලැබෙන පසුබිම හැදීම මතු නොව, ජේසුස් මහා විශාල දැනුම් සම්භාරයකට උරුමකම් කී ශාස්ත්‍රීය අධ්‍යයන පිණිස කැපකිරීම් කළ මිනිසා හුදු රැකවල් පියකු නොවේ. මහා මනුෂ්‍යයභාවයකි. ප්‍රතිලාභ කිසිත් නොපතා, ප්‍රතිචාර කිසිත් නොතකා කැපකිරීම් කරන්නේ කෙසේද ආදරය පවත්වා ගන්නේ කෙසේ ද යන්න ගැඹුරින් හිතා බලන්නට ඔබට මේ නැත්තලේ අදහසක් පහළ වුවහොත් ඒ සැබැවින්ම යෝසෙෆ් නම් පෙම්වතා හින්දා ය. මුන්නකරේදී මම මෙසේ ලීවෙමි.