The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

දුන්නෙ අනුරට; ගියෙ ජේ ආර්ට | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

December 27, 2025 • 12:38 PM

දුන්නෙ අනුරට; ගියෙ ජේ ආර්ට | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් රාජ්‍යයේ රාජ්‍ය නායකයා වන්නේ මහජනතාව විසින් මැතිවරණයකදී බහුතර ඡන්දයෙන් තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයා ය.
  • රාජ්‍යයේ නායකයා ලෙස විදේශ තානාපතිවරුන් පත් කිරීම හා විදේශීය රාජ්‍යයන්ගෙන් පත් කර එවනු ලබන තානාපතිවරුන් පිළිගැනීම සිදු කරන්නේ රාජ්‍යයේ නායකයා ලෙස ය.
  • යුද්ධය හා සාමය ප්‍රකාශ කරන්නේ ද රාජ්‍යයේ නායකයා ලෙස ය.
  • ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම් පත් කරන්නේ, අගවිනිසුරුතුමා ඇතුළු ඉහළ අධිකරණ විනිසුරන් පත් කරන්නේ, ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයින් පත් කරන්නේ රජයේ ප්‍රධානියා ලෙස ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අන්දමින් පත් කරගන්නා රාජ්‍ය නායකයාට නිල බලයෙන්ම තවත් භූමිකා හතරක් පැවරේ. ඒ රජයේ ප්‍රධානත්වය, විධායකයේ ප්‍රධානත්වය, ආණ්ඩුවේ ප්‍රධානත්වය හා සන්නද්ධ හමුදාවල සේනාධිනායකත්වය යන භූමිකා හතර ය.

බොහෝ දෙනෙකු නොදන්නවා වුණාට ජනාධිපතිවරයාගේ රාජකාරි සෑම එකක්ම අයත් වන්නේ ඔය භූමිකා පහෙන් එකකට ය. රාජ්‍යයේ නායකයා ලෙස විදේශ තානාපතිවරුන් පත් කිරීම හා විදේශීය රාජ්‍යයන්ගෙන් පත් කර එවනු ලබන තානාපතිවරුන් පිළිගැනීම සිදු කරන්නේ රාජ්‍යයේ නායකයා ලෙස ය. යුද්ධය හා සාමය ප්‍රකාශ කරන්නේ ද රාජ්‍යයේ නායකයා ලෙස ය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම් පත් කරන්නේ, අගවිනිසුරුතුමා ඇතුළු ඉහළ අධිකරණ විනිසුරන් පත් කරන්නේ, ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයින් පත් කරන්නේ රජයේ ප්‍රධානියා ලෙස ය. ඇමතිවරුන්, ලේකම්වරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් ආදී විධායකයට අයත් ප්‍රධානීන් පත් කරන්නේ විධායකයේ ප්‍රධානියා ලෙස ය. අමාත්‍ය මණ්ඩලයේ මුලසුන ගනිමින් එය මෙහෙයවන්නේ ආණ්ඩුවේ නායකයා ලෙස ය. සන්නද්ධ හමුදාවලට අණදීම හා හමුදා නිලධාරීන්ගේ අධිකාරියට පත්වීම් කරන්නේ සේනාධිනායකයා ලෙස ය.

Auditor G
මේ අනුව ජනාධිපතිවරයා අතින් සිදුවන විවිධ රාජකාරි ඔහුගේ මෙම භූමිකා පහ සමග සම්බන්ධ ය. මේ භූමිකාවලින් ජනාධිපතිවරයාට දේශපාලන පක්ෂය සම්බන්ධ කර කළ හැකි වන්නේ ආණ්ඩුවේ නායකයා ලෙස ක්‍රියා කිරීමේ භූමිකාවේදී පමණි. නමුත් එය බොහෝ දෙනෙක් නොදනිති. මේ අටුවාව මුලින්ම ලිව්වේ අද ජනාධිපතිවරයා “හොරගල් අහුලමින්” සිටින විගණකාධිපති පත් කිරීම ගැන නැවතත් ලිවීම සඳහා පූර්විකාවක් වශයෙනි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව අනුව රජයේ මුදල් පාලනය පිළිබඳ පූර්ණ බලය පැවරී ඇත්තේ ව්‍යවස්ථාදායකයට ය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය නැත්නම් පාර්ලිමේන්තුව සම්මත කළ නීතියකට අනුව මිස පළාත් පාලන ආයතනයකට හෝ පොදු අධිකාරියකට කිසිම බද්දක්, වරිපනමක් හෝ කිසිම ආකාරයක බදු විශේෂයක් නියම කිරීමට බලයක් ද නැත. මෙසේ අය කරගන්නා බදු මුදල් ඇතුළු නිශ්චිත කාර්යයන් සඳහා නීතියෙන් වෙන් කර නැති සියලු රාජ්‍ය ආදායම් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු බව ද ව්‍යවස්ථාවේ 149(1) අනුව්‍යවස්ථාවේ දැක්වේ.

එමෙන්ම රජයේ සියලු වියදම් ඒකාබද්ධ අරමුදලින් දැරිය යුතු බව ද එහි දැක්වේ. ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ගෙවීම් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය මත මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් අත්සන් තබන බලපත්‍රයක අධිකාරිය යටතේ හැර අන් අයුරකින් කළ නොහැකි බව ද එහි සඳහන් ය. මුදල් අමාත්‍යවරයාට ඒකාබද්ධ අරමුදලෙන් ගෙවීම් කිරීමට බලපත්‍රය අත්සන් කළ හැකි වන්නේ වාර්ෂික අයවැය ලේඛනය විධිමත් පරිද්දෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසුව පමණි. වාර්ෂික අයවැය ලේඛනය මගින් රජයේ සියලු වියදම් වැය ශීර්ෂයන් හා වැය විෂයන්, වැඩසටහන්, ව්‍යාපෘති ආදී ලෙස විස්තරාත්මකව පෙන්වා දී තිබේ. මේ අනුව සම්මත වන අයවැය ලේඛනයට අනුකූලව වියදම් දැරීමට ඒකාබද්ධ අරමුදලේ මුදල් වැය කිරීම සඳහා බලය ලැබේ.

audit gen

මෙම ඒකාබද්ධ අරමුදල සහ පාර්ලිමේන්තුව විසින් සම්මත කළ වෙනත් නීතියක් යටතේ ස්ථාපිත අරමුදල් පිළිබඳව විගණනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා විගණකාධිපතිවරයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පත් කරනු ලැබ ඇත. විගණකාධිපති තනතුර මෙරටට හඳුන්වා දී ඇත්තේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ය. වාර්තා වන අන්දමට මෙරට පළමුවැනි විගණකාධිපතිවරයා වන්නේ 1806.10.01 දිනැතිව පත් කළ සැමුවෙල් ටොල්ෆ්‍රේ (Samuel Tolfrey) නම් අයෙකි. එවක ඒ තනතුර හැඳින්වූයේ සිවිල් විගණකාධිපති (Civil Auditor General) ලෙසයි. 1841.02.01 දින පත්වූ එච්. රයිට් (H. Wright) යන අයගේ සිට මේ තනතුරට පත් කෙරුණු අයට ගිණුම්පති හා ආදායම් පාලක (Accountant General and Controller of Revenue) නම් තනතුරු ද හිමි විය. අනතුරුව 1907.03.01 දින පත් කෙරුණු බර්නාඩ් සිනියර් යන අයගේ සිට නිදහස ලැබෙන තුරු පත් වූ අයගේ තනතුර හැඳින්වූයේ යටත් විජිත විගණක (Colonial Auditor) ලෙසටයි. අනතුරුව සෝල්බරි ව්‍යවස්ථාවේ 70 වගන්තිය පරිදි විගණකාධිපති තනතුර ඇති කළ අතර, විගණකාධිපතිවරයා ආණ්ඩුකාරවරයා (Governor General) විසින් පත් කරන අයෙකු බවත් යථා පැවැත්මෙන් සිටින තාක් කල් ඔහු ධුරය දරන බවත් සඳහන් වේ.

විගණකාධිපති ධුරය පුරප්පාඩු වන අවස්ථා ගැන ද සෝල්බරි ව්‍යවස්ථාවේ ඇති විධිවිධානවල අද දක්වාම සුළු වෙනස්කම් පමණක් සිදුව ඇත. අනතුරුව 1972 ව්‍යවස්ථාවේ 89(1) ව්‍යවස්ථාවෙන් ද විගණකාධිපතිවරයෙක් වන බවත් ඔහුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන බවත් සඳහන් කර ඇත. එම ව්‍යවස්ථාවේ ද එකී ධුරය පුරප්පාඩු වන අවස්ථා ලෙස ඇත්තේ කලින් සෝල්බරි ව්‍යවස්ථාවට සමාන අවස්ථාවන්මය. 1972 ව්‍යවස්ථාවට විගණකාධිපති ධුරය පිළිබඳව අලුතින් එකතු වී ඇත්තේ විගණකාධිපතිවරයාට ධුරයේ කටයුතු ඉටු කළ නොහැකි අවස්ථාවක වැඩ බැලීම සඳහා අයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට හැකි බව යන්න පමණි. 1978 ව්‍යවස්ථාවේ 153 වගන්තියේ ද 1972 ව්‍යවස්ථාවට සමාන ලෙසම විගණකාධිපති ධුරයට අදාළ විධිවිධාන නොවෙනස්ව පවතී. 1978 ව්‍යවස්ථාවට ගෙන ආ 19 වන සංශෝධනයෙන් විගණකාධිපති ධුරයට අයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට තිබුණු බලය සීමා කිරීමට ප්‍රථම වරට කටයුතු කර ඇත. එහිදී විගණකාධිපති ලෙස පත් කරනු ලබන තැනැත්තා සුදුසුකම් ලත් විගණකවරයෙකු විය යුතු බවත්, ඔහු ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු බවටත් ප්‍රථම වරට විධිවිධාන පැනවෙන්නේ දහනව වැනි සංශෝධනයෙනි. එමෙන්ම විගණකාධිපතිවරයාට සිය ධුරයෙහි රාජකාරි ඉටු කළ නොහැකි විට වැඩ බැලීම සඳහා අයෙකු පත් කිරීම ද ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ කළ යුතු බව එහි සඳහන් කර ඇත. දැනට ක්‍රියාත්මක විසි එක් වන සංශෝධනය සමඟ කියවීමේදී මේ තත්ත්වය වෙනස් වී නොමැති බව පැහැදිලි වේ. විගණකාධිපති ධුරය ගැන මේ හැම ව්‍යවස්ථාවකම සඳහන් වුණේ “විගණකාධිපතිවරයෙක් වන්නේ ය” යන වචනවලිනි. සෝල්බරි ව්‍යවස්ථාවේ වලංගු භාෂාව ඉංග්‍රීසි නිසා එහි සඳහන්ව තිබුණේ “There shall be an Auditor General” කියා ය.

මේ හැම ව්‍යවස්ථාවෙම කියන්නේ ගමේ භාෂාවෙන් කියනවා නම් ‘විගණකාධිපතිවරයෙක් නැතිවම බැරි ය’ යන්න ය. මේ ටික ලිව්වේ විගණකාධිපති ධුරය රටට කොතරම් වැදගත් තනතුරක් දැයි පෙන්වා දෙන්නට ය.

එසේ වුවද දැන් ගැටලුව වී ඇත්තේ “විගණකාධිපතිවරයෙක් නැත්තේ ය” කියා කියන්නට වී තිබීම ය. ජනාධිපතිවරයා විගණකාධිපති ලෙස පත් කිරීමට යෝජනා කළ තිදෙනෙකුගේම නම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය දී නැත. ජනාධිපතිවරයා යෝජනා කළ නම් තුනම පිළිගත් විගණකවරුන්ගේ ය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විගණකාධිපති කමට පත් කිරීමට යෝජනා කළ හැක්කේ පිළිගත් විගණකවරයෙකුගේ නම පමණි. මේ යෝජනා කරන නමට ජනාධිපතිවරයාගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත් නොවේ; ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් පස් දෙනෙකුගේවත් කැමැත්ත අත්‍යවශ්‍ය වන්නේ ය. තමා යෝජනා කළ පළමු නම ප්‍රතික්ෂේප වීමත් සමග ජනාධිපතිවරයා කළේ දැනට විගණකාධිපතිවරයාගේ කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨතම අතිරේක විගණකාධිපතිවරයා තාවකාලිකව වැඩබලන පදනමින් විගණකාධිපති ධුරයේ කාර්යය ඉටු කිරීම සඳහා හය මසක කාලයකට පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඉල්ලා සිටීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධිවිධානවලට අනුව විගණකාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා අයෙකු පත් කිරීමට හැකි වන්නේ ධුරය දරන විගණකාධිපතිවරයාට සිය ධුරයේ කටයුතු ඉටු කළ නොහැකි අවස්ථාවකදී මිස විගණකාධිපති ධුරය පුරප්පාඩු වූ අවස්ථාවක නොවේ. එය එසේ වුවද ව්‍යවස්ථා සභාව ඒ ගැන අවධානය යොමු නොකළ නිසාදෝ ජනාධිපතිවරයා ඉල්ලා සිටි වැඩ බලන පදනමින් මාස හයකට පත් කිරීම අනුමත කරන ලදී. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ගැන සැලකිලිමත් නොවීම ව්‍යවස්ථා සභාවෙන් සිදුවූ අඩුපාඩුවකි. එම කාලය ඉකුත් වූ පසු යළිත් මාස තුනකට වැඩ බැලීමේ පත්වීම දීර්ඝ කිරීමට අනුමැතිය ඉල්ලා සිටීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. 

 
එය ප්‍රතික්ෂේප කළ ව්‍යවස්ථා සභාව සති දෙකකට පමණක් වැඩ බලන පත්වීම දීර්ඝ කිරීමට එකඟත්වය දී ඇත. එම කාලය ඉකුත් වූ පසු වාර දෙකක් විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමට සුදුසු යැයි ජනාධිපතිවරයා එකඟත්වය ඉල්ලූ නම් දෙකක්ම ව්‍යවස්ථාදායක සභාවේදී ප්‍රතික්ෂේප වී ඇත. ඒ අනුව දැන් මාස අටක සිට විගණකාධිපති ධුරය පුරප්පාඩු වී ඇත. ඒ සඳහා කෙනෙකු පත් කිරීම සඳහා ක්‍රියා නොකර කිසියම් හේතුවක් නිසා “පැලැස්තර දමමින්” කල් මැරීම ජනාධිපතිවරයාගේ අරමුණ බව පෙනේ. ව්‍යවස්ථාදායක සභාව ද ජනාධිපතිවරයා එවන නම ප්‍රතික්ෂේප කිරීමට වැඩි දෙයක් නොකරයි. නමුත් ජනාධිපතිවරයා එවන නමට ඉවක් බවක් නොමැතිව එකඟ වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යය විය යුතු ද නැත. ඔවුන්ට ස්වාධීනව තම මතය පළ කිරීමට සම්පූර්ණ අයිතිය පවතී. නමුත් වඩා වැදගත් වන්නේ එකඟ විය හැකි නමක් යෝජනා කිරීම ය.

Nalinda jayathissa 1 860x573
මේ පිළිබඳව ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගෙන් ජනමාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලදී ඔහු සැපයූ පිළිතුර ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දරන මතය පිළිබිඹු කරන්නක් බව සිතීම සාධාරණ ය. ඔහු පවසන පරිදි විගණකාධිපති ධුරයට සුදුසු බොහෝ දෙනෙක් සිටිති. ඒ නිසා ජනාධිපතිවරයා යෝජනා කරන විගණකවරයාගේ නමට ව්‍යවස්ථා සභාව එකඟ විය යුතුව ඇත. ඔහු පවසන අන්දමට ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි. එසේ නැතිව ඒ නම ප්‍රතික්ෂේප කරන්නේ එම සභාවට ඕනෑ කෙනාගේ නම යෝජනා කරන කම් දැයි ඔහු විමසීම් ද කරයි.  
මේ අන්දමේ ප්‍රජාතන්ත්‍රවාදයක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද බලාපොරොත්තු විය. ඔහු ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව නඩු තීන්දුවක් දුන් විනිසුරුවරුන්ගේ ගෙවල්වලට මැර කණ්ඩායම් යොදවා ගල් ගස්වා උද්ඝෝෂණයක් ද කරවීය. ඒ පිළිබඳව රටේ බලවත් සේ ප්‍රශ්න කෙරෙන විට ජනාධිපතිවරයා පැවසුවේ විනිසුරන්ගේ තීන්දුවලට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට පවා හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් තම පාලනය යටතේ සහතික කර දී ඇති බව ය. ඇමති නලින්දගේ පිළිතුර අසා සිටි මට තේරුණේ විගණකාධිපති ධුරය සඳහා වරලත් විගණකවරයෙකු පත් කළ යුතු බවට දහනව වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නියම කිරීම කොතරම් හොඳ ද කියා ය. එතෙක් ජනාධිපතිවරයාට ඕනෑම කෙනෙකු විගණකාධිපති ලෙස පත් කළ හැකි අන්දමේ විධිවිධානයක් ව්‍යවස්ථාවේ තිබුණි. යම් හෙයකින් එය අද දක්වා තිබුණේ නම් පක්ෂයේ මුදල් ලේකම් විගණකාධිපති ලෙස පත් කර ඒ ගැන විමසන අයට ජනාධිපතිවරයාගේ කැමැත්තට විරුද්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ යැයි කියන ඇමතිවරු සිටින්නත් ඉඩ තිබුණා නේදැයි නිකමට සිතුණි. නලින්ද ජයතිස්ස ඇමතිතුමනි, මෙතෙක් පස්යොදුන් කෝරළයේ උපන් අය ලෙස අභිමානයෙන් සිටි අපව රට ඉදිරියේ මෙලෙස අසරණ නොකළ මැනවි.

අතිගරු ජනාධිපති අනුර දිසානායක මැතිතුමනි, ඔබතුමා මේ අපේ රාජ්‍යයේ රාජ්‍ය නායකයා ය. ඔබතුමා බහුතර ඡන්දයෙන් කෙසේ වෙතත් ජනපති ධුරයට තරඟ කළ පළමු දෙදෙනාගෙන් වැඩියෙන් ඡන්ද ලබා, තුන්වෙනියාට ඡන්දය ගත් අයගේ දෙවැනි මනාපයෙන් ද පොඩ්ඩක් අරගෙන අපේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත් විය. ඔබතුමාගේ පත්වීමේ ඇදකුද නොසොයා අප සැමදෙනාම ඔබ අපේ රටේ නායකයා ලෙස 2029 වනතුරු පිළිගෙන සිටිමු.

 AKD Audit Office 1200px675 22 12 25 1000x600
රාජ්‍ය නායකකමේත්, රජයේ ප්‍රධානියා ලෙසත්, විධායකයේ ප්‍රධානියා ලෙසත්, සන්නද්ධ හමුදා සේනාධිනායක ලෙසත් ඔබට පැවරී ඇති භූමිකා ඊනියා පක්ෂ දේශපාලනය කරපින්නාගෙන නොකරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඒ භූමිකාවලදී ඔබතුමා ගුරුකොට ගත යුත්තේ නීතිය, යුක්තිය හා සාධාරණය පමණි. ඔබතුමා රට භාරගන්නා විටත් විකෘතිව තිබුණු රාජ්‍ය පාලන තන්ත්‍රය ප්‍රකෘතිමත් කිරීම කෙසේ වෙතත්, තවත් විකෘති වීම නතර කිරීමටවත් උත්සාහ ගන්න. නීතිය, යුක්තිය හා සාධාරණය පිළිබඳව නම් ප්‍රමාණවත් අවබෝධයක් ඔබතුමාට ඇති බවට අපට සැකයක් නැත. ඒ නිසා රජයේ වැදගත්ම තනතුරක් වන විගණකාධිපති ධුරය සඳහා ව්‍යවස්ථාදායක සභාවට එකඟ විය හැකි නමක් හෝ නම් කිහිපයක් යවා එකඟ විය හැකි නමක් නිර්දේශ කර එවන ලෙස දන්වා, මේ රාජ්‍ය මූල්‍ය පාලනය අස්ථාවර කරන බරපතල ගැටලුව විසඳන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ඔබතුමා දේශපාලන පක්ෂයක හා සන්ධානයක නායකයාය කියා කියන නිසා ආණ්ඩුවේ නායකයා ලෙස කරන ක්‍රියාකාරකම්වලදී ඒ පක්ෂ ප්‍රතිපත්තීන් කරපින්නා ගත්තාට අපේ දොසක් නැත. ඒවා සාධාරණීකරණය කරන කේවට්ට ගණයේ ඇමතිවරු ද සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද වැනි නියෝජ්‍ය ඇමතිවරු හා මන්ත්‍රීවරු ද ඇති තරම් සිටින නිසා අප ඒ ගැන මැදිහත් වන්නේ ද නැත.


sunil Kannangara
(සටහන | සුනිල් කන්නන්ගර)

කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...