The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

කුණාටුවෙන් පසු ගමන්මග | මහාචාර්ය චරිත හේරත්

T

The Leader Desk

December 28, 2025 • 9:27 AM

කුණාටුවෙන් පසු ගමන්මග | මහාචාර්ය චරිත හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේත් කුණාටුව සමග ගැට ගැසුණු කාරණයක් පිළිබඳවය. මේ වන විට දිට්වා කුණාටුවේ බලපෑම තක්සේරු කිරීමේ වාර්තාවක් ලෝක බැංකුව වෙතින් ද නිකුත් කර ඇත.
  • එසේම ආර්ථික විද්‍යා චින්තකයින් කණ්ඩායමක් විසින් ලිපියක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ IMF ණය ප්‍රතිව්‍යුහගතකරණය යළිත් වරක් දික් කර ගැනීමට ආණ්ඩුව ඉදිරියට යා යුතු බවය.
  • දිට්වා කුණාටුව ඒ ප්‍රශ්නය අප ඉදිරියට මතූ කර ඇත.
  •  නමුත් අපි තවමත් එයට පිළිතුරු සෙවීම වෙනුවට, එක්කෝ විපත්තිය “කාලගුණික අවාසනාවක්” ලෙස සීමා කරමින් කථ කරන අතර තවත් පැත්තකින් දේශපාලන බලය රැක ගැනීමට හෝ බලය ලබා ගැනීමට මෙවලමක් ලෙසින් යොදා ගනිමින් සිටින්නෙමු.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි අන්තර්ගතය ගැන යම් ආකාරයක විමසීමක් සිදු කළ යුතුය. එසේම ආර්ථික විද්‍යා චින්තකයින් කණ්ඩායමක් විසින් ලිපියක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ IMF ණය ප්‍රතිව්‍යුහගතකරණය යළිත් වරක් දික් කර ගැනීමට ආණ්ඩුව ඉදිරියට යා යුතු බවය. ඒ ආර්ථික විද්වතුන් අතර ජෝශෆ් සිඩ්ලිග්ස් (Joseph Stiglitz), තෝමස් ෆිකටි (Thomas Piketty) වැනි අයත් සිටිති. ඒ අයගේ යෝජනාව පිළිබදවද අවධානය යොමු කිරීම වැදගත් ය.

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ මේ කාරණා දෙක ගැනය.

ලෝක බැංකු වාර්තාව


දිට්වා කුණාටුව ගැන මේ දිනවල රට පුරා කතාබහක් තිබෙන්නේ යම් ආකාරයක නිෂේධනාත්මක භාෂාවකිනි. වැස්සේ  ප්‍රමාණය, ගංවතුර මට්ටම්, විනාශ වූ නිවාස, බිඳ වැටුණු මාර්ග හා පාලම් වැනි දේ ඒ අතර වේ. ඒ සියල්ල අත්‍යවශ්‍ය තොරතුරුය. නමුත් ඒ තොරතුරු බොහෝ විට එකතු වෙන්නේ “සිද්ධ වූ දේ” ලියා තැබීමට පමණි. කුණාටුවෙන් පසු අපි යා යුතු ගමන් මග ගැන, එනම් මේ විපත්තියෙන් අපි උගත යුතු පාඩම ගැන, තවමත් ගැඹුරු ජාතික සංවාදයක් ආරම්භ වී නැත.

කුණාටුවක් කියන්නේ ස්වභාවික සිදුවීමක් පමණක්ද? නැත්නම් අපි දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනගාගෙන ආ ආර්ථික හා දේශපාලන ව්‍යුහය හදිසියේම නිරුවත් කර සිදූ වූ  සිදුවීමක්ද? දිට්වා කුණාටුව ඒ ප්‍රශ්නය අප ඉදිරියට මතූ කර ඇත.  නමුත් අපි තවමත් එයට පිළිතුරු සෙවීම වෙනුවට, එක්කෝ විපත්තිය “කාලගුණික අවාසනාවක්” ලෙස සීමා කරමින් කථ කරන අතර තවත් පැත්තකින් දේශපාලන බලය රැක ගැනීමට හෝ බලය ලබා ගැනීමට මෙවලමක් ලෙසින් යොදා ගනිමින් සිටින්නෙමු.

IDU 43584faa 2666 4dde a3ac 07877a840562.pdf

ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවට කියන්නේ GRADE Report කියාය. එහි තේරුම වන්නේ Global Rapid Post Disaster Damage Estimation Report කියන එකය. එයින් පෙන්වා දෙන්නේ දිට්වා කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ භෞතික හානිය ඩොලර් බිලියන 4කට අධික බවයි. ගොඩනැගිලි, මාර්ග, පාලම්, ජල සැපයුම් පද්ධති, විදුලි ජාල—මෙම සියල්ලට සිදු වූ හානි එහි ගණන් බලා ඇත. එවැනි වාර්තාවක් තිබීම අත්‍යවශ්‍යය. විපත්තියෙන් පසු ප්‍රතිසංස්කරණය ගැන කතා කරන්න නම්, විනාශයේ පරිමාණය දැනගත යුතුය. මෙහිදී තවත් යමක් පැවසිය යුතුය. UNDP වැනි ආයතන මගින් ද මේ වන විට සමහර වාර්තා ඉදිරිපත් කර ඇති අතර මේ වාර්තාව ඒ සියල්ල අතින් වඩාත් සවිස්තරාත්මක එකක් බවයි.

 

ditwah 3
නමුත් මේ වාර්තාව කියවද්දී වුවත් අපි අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්‍රශ්න ද නැතිවා නොවේ. මේ වාර්තාවෙන් පෙන්වන්නේ දේ මෙන්ම නොපෙන්වන දේ පිළිබදවද අවධානය යොමු කිරීම වැදගත් ය.  සමහර ක්ෂේත්‍රවල භෞතික හානිය ගණන් මෙහි ගනන් බලා ඇත. එහෙත් නමුත් ගොවි ජනතාවගේ අහිමි වූ වගා කාලය, කුඩා ව්‍යාපාරවල බිඳ වැටුණු ආදායම්, දරුවන්ගේ අධ්‍යාපන ගමනට සිදු වූ බාධා, පවුල්වල ආරක්ෂාවට වැදුණු සාමාජීය ශ මනෝවිද්‍යාත්මක කඩාවැටීම් වැනි ද සංඛ්‍යාත්මක වගු වලට සරලව ඇතුළත් කළ නොහැකි දේවල්ය. ඒත් ඒවා නොසලකා හැරිය හැකි දෙවල් ද  නොවේ. විපත්තියක සත්‍ය පරිමාණය තේරුම් ගැනීමට නම් එහි පෙනෙන හානි මෙන්ම එහි අදෘශ්‍ය හානියත් එකට සලකා බැලිය යුතුය.

මෙම වාර්තාවට අනුව හානි අධ්‍යයනය කර ඇත්තේ පහත සදහන් මූළික අංශ යටතේය.

1.  මූලික යටිතල පහසුකම් හා හානිය: මාර්ග, පාලම්, දුම්රිය පද්ධති, ජල සැපයුම් ජාල සහ විදුලිබල පද්ධති වැනි base infrastructure මෙම හානියෙන් බොහෝ විට විනාශ වී ඇත. මෙවැනි යටිතල පහසුකම් නාශය සාපේක්ෂවම ඉහළ ප්‍රමාණයක් (USD 1.735 බිලියනයක්) ගණන් කර තිබේ.

2. නිවාස හා පවුල් හානිය: පදිංචි ගොඩනැඟීම් සහ ගෘහ භාණ්ඩ සඳහා ඇති හානිය USD 985 මිලියනයක් පමණ ලෙස ඇස්තමේන්තු කර තිබේ.

3. කෘෂිකර්ම හා ආහාර ආරක්ෂාව: වාර්තාවට  අනුව කෘෂිකර්මානතයට සිදුවු  හානිය USD 814 මිලියනයක් පමණ වන අතර, වී වගාව, දෛනික එළවළු, ‍ ප්‍රධාන වගාවන් හා සතුන්ගේ හානි ඊට ඇතුළත්ය. මෙය ජාත්‍යන්තර ආහාර සුර්ක්ෂිතතාව  සහ ග්‍රාමීය  ජනතාවගේ ආදායම් සඳහා දැඩි අවදානමක් බවට පත් කරන ලද බව එහි සදහන් ය.

4. නිවාස, ගොඩනැඟිලි හා ආර්ථික ක්ෂේත්‍ර: පාසල්, රෝහල්, ව්‍යාපාරික කාර්යාල, කර්මාන්තශාලා වැනි non-residential structures සඳහා වූ හානි USD 562 මිලියනයක්ට වඩා වෙයි. ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, වාණිජ ක්ෂේත්‍ර හා කාර්ය මණ්ඩල සේවාද බෙහෙවින් බාධා වී ඇත.


GRADE වාර්තාවේ තවත් වැදගත් කරුණක් වන්නේ මෙම ඇස්තමේන්තුවෙහි ආදායම් හා නිෂ්පාදන අලාභ, හා ප්‍රතිසංස්කරණය සම්පූර්ණ වියදම් ඇතුළත් නොවන බවයි. එනම්, සෘජු හානිය ප්‍රමාණය පමණක් ඇස්තමේන්තු කර ඇති අතර, මෙම හානියෙන් එළියට පැමිණෙන සංචිත ආර්ථික හා සමාජ වියදම් ඉදිරියේ දී තවත් වැඩි වශයෙන් සැලකිය යුතුය.

ආර්ථිකයේ සම්බන්ධතාව


ලෝක බැංකු වාර්තාව අපට මෙම විපත්තියේ ප්‍රමාණය පෙන්වා ඇත. නමුත් එයින් මෙහි ඇති ආර්ථික කඩාවැටීම දරා ගන්නේ කෙසේද කියා කියන්නේ නැත. එසේම මේ කඩාවැටීම අපේ ආර්ථිකයට දරා ගත හැකිද යන්න පිළිබදව එහි යමක් කියන්නේ ද නැත.  මා කියූ දෙවන වාර්තාව හෙවත් මැදිහත්වීම මගින් කරන්නේ එයයි. මේ ආර්ථික විද්වතුන්ගේ කණඩායම The Guardian පුවත්පත හරහා මේ පිළිබදව ඔවුන්ගේ අදහස ඉදිරිපත් කර ඇත.  ඔවුන් පෙන්වා දෙන්නේ, මෙවැනි දේශගුණීය ආපදාවකට මුහුණ දී සිටින රටක් ලෙසින් ශ්‍රී ලංකාවට, ඔවුන් මීට පෙර එකඟ වූ IMF ණය ප්‍රතිව්‍යුහගතකරණ කාලසටහන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම යුක්තිසහගත නොවන බවයි. මෙය ඉතාමත් වැදගත් කාරනයක් වන්නේ අපේ රටේ රජය සහ අනෙක් කණ්ඩායම් මේ ප්‍රශ්නය ආමන්ත්‍රිණය කිරීමටත් කළින් මෙම කණඩායම මේ ප්‍රශ්නය සාකච්ජා කිරීමය.

මෙහි අදහස වන්නේ සරළ අර්ථයෙන් “ණය නොගෙවන්න” කියන ඉල්ලීම නොවේ. එසේ ලෙස අර්ථකථනය කිරීම වැරදිය. මෙතැන මතු කරන්නේ තවත් ගැඹුරු ප්‍රශ්නයක් වන අනාගතයේ මතුවිය හැකි ආර්ථික අර්බූදයක් මුළින් තේරුම් ගැනීමක් ලෙසින් සිතිය යුතු කාරණයක් ය. විශේෂයෙන් අපි රටක් ලෙස අපි තෝරාගෙන ඇති ආර්ථික ප්‍රමුඛතා මොනවද යන්න සහ ඒ ප්‍රමුඛතාවන් තව දුරටත් එසේම තබා ගෙන ගමන් කළ හැකිද යන්නත් මෙහිදී මතු කෙරී ඇත.

 

ශ්‍රී ලංකාව මේ වන විට IMF වැඩසටහනක් යටතේ දැඩි මූල්‍ය සීමා තුළ ජීවත් වෙන රටක් බව අපි හැමෝම දන්නා කාරණයකි. මේ වන විට අපිට සිදුවී තිබෙන්නේ IMF එක කියන ආකාරයට රටේ ආර්ථිකය මෙහෙයවීමය. රාජ්‍ය වියදම් කප්පාදු කිරීම, බදු බර ජනතාව මත පටවීම, සහ ණය ගෙවීම් සඳහා ප්‍රමුඛතාවය දීම වැනි  macro-level වෙනස්කම් හරහා ආර්ථික සංඛ්‍යා වල “ස්ථාවරතාව” පෙන්වීමට රජයට බල කෙරී ඇත. නමුත් ඒ සංඛ්‍යානමය ආර්ථික ස්ථාවරතාව ජන ජීවිතයේ යථාර්ථයජ් බවට  පරිවර්තනය වන්නේ කෙසේද යන්න තවමත් ප්‍රශ්නයක් ය. මේ කුණාටුව අපේ පිටට කඩා වැටුනේ එවැනි තත්වයක සිටින අවස්ථවේදීය. සිදුවුනේ ‘ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා’ වගේ දෙයක් ය.  

වෙනත් ලෙසකින් කිවහොත් දිට්වා වැනි කුණාටුවට අපි ගොදුරු වෙන්නේ IMF ආකෘතිය තුළ ඉදිරියට යාමට මහන්සි වෙමින් සිටින අවස්ථවකය. එවිට මතුවන ප්‍රශ්නය වන්නේ අපි එකවර කුණාටුවෙන් බිඳ වැටුණු ජන ජීවිත නැවත ගොඩනඟනවද, නැත්නම් IMF කාලසටහන් අකුරටම රැකගන්නවද යන්නය. මෙය තාක්ෂණික ගිණුම් ප්‍රශ්නයක් නොව දේශපාලන, නෛතික සහ සමාජීය ප්‍රශ්නයකි.

ණය ප්‍රතිව්‍යහගතකරණය පිළිබදව යළි සළකා බැලිය යුතු යැයි මේ විද්වතුන් කියන කාරණය ගැන අවධානය යොමු කළ යුත්තේ එවැනි තත්වයකදීය. මෙය කර හැකි දෙයක් ද යන්න තේරුම ගැනීම වෙනම ප්‍රශ්නයකි. ණය හිමියන් මීට පෙර අවස්ථාවේ එකග වූ කොන්දේසිවලට පිටින් යාමේ හැකියාවක් නැති අතර අලුත් තත්වය හමුවේ අපි රටක් ලෙසින් කියන දේ නොසලකා හැරීමේ තත්වයක් ඔවුන්ට ද නැති බව පැහැදිලිය. ඒ පැත්තෙන් මේ යෝජනාව ගැන සොයා බැලීම නිවැරිදිය.

මෙහිදී මතු වන එක් කාරණයක් වන්නේ  fiscal sovereignty පිළිබඳ කාරණයයි. රටක් ලෙස අපට අපගේ සම්පත්  භාවිත කරන්නේ කෙසේද, කුමන අවස්ථාවලද, ජන ජීවිතයට ප්‍රමුඛතාවය දිය යුත්තේ කුමන තත්වයන් යටතේද,  කුමන අවස්ථාවල ණය ගෙවීම් ප්‍රමුඛ කරගන්නවාද වැනි සියල්ල sovereign තීරණයන්ය. ඒ කියන්නේ ආර්ථික ස්වාධිපත්‍ය බලය මත රටේ ජනතාවගේ තීරණයන් ය.  නමුත්  IMF කොන්දේසි යටතේ ඒ ආර්ථික ස්වාධිපත්‍ය සංකල්පය යම් ආකාරයකින් නාමික දෙයක් බවට පත් වී ඇති බව පැහැදිළිය. තවදුරටත් රට පවතින්නේ බොහෝ අය සිතන තරම් නිදහස් තත්වයක නොවන අතර අපේ රට ජාත්‍යන්තරයේ පවතින්නේ සමාන අයිතීන් ඇති රටක් ලෙසින් නොවේ යන්න අමිහිරි සත්‍යයක් බවට පත් වී ඇත.

මෙම විද්වතුන් ගේ ප්‍රකාශයේ ඉදිරිපත් වන “debt justice” යන අදහස වැදගත් එකකි. විපත්තියකට මුහුණ දීඇති අයෙකුට හෝ රටකට, එම විපත්තිය නොසලකා හරින ආකාරයේ ණය ගෙවීම් බරක් තවත් පැටවීම  යුක්ති සහගතද යන්න මෙහි තේරුමයි.  ණය කියන්නේ නීතිමය ගිවිසුමක් විය හැක. නමුත් දේශගුණීය විපත්ති නව සාමාන්‍යය බවට පත්වුණු ලෝකයක, ඒ ගිවිසුම් ජන ජීවිතයට ඉහළින් තැබීම සදාචාරමය වශයෙන් සාධාරණද කියන ප්‍රශ්නය මඟහැරිය නොහැක. මේ ප්‍රශ්නය සිංහලෙන් කිව හැක්කේ ‘ණය ගෙවීමේ යුක්තිසහගතභාවය’ කියා ය.

මෙහිදී කිව යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. අද රට තුළ ක්‍රියාත්මක වන IMF වැඩසටහන මේ ආණ්ඩුවත් තමන්ගේ “නව ආර්ථික දෘෂ්ටියක්” ලෙස ඉදිරිපත් කළත්, සත්‍යය නම් එය පසුගිය වසර කිහිපය පුරා රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුගමනය කරගෙන ආ ආර්ථික මාර්ගය බවයි. එම වැඩ සටහන පිළිබදව යම් ආකාරයක මූලධාර්මික එකගතාවක් වත්මන් ආණ්ඩුවට තිබෙනවාදැයි මා දන්නේ නැත. එසේ නොමැතිව වෙන කරන්නට දෙයක් ණැතිව මේ වැඩේ කරනවාදැයි අපි නොදන්නෙමු. එවැනි තත්වයකදී ණය ප්‍රතිව්‍ය්හගතකරණය පිළිබදව යලි සිතන්නට වත්මන් රජය කටයුතු නොකරන්නට ද ඉඩක් ඇත.

debt restructuring

 

තවත් පැත්තකින් මේ ස්වභාවික අනතුර මගින් පෙන්නුම් කරන්නෙ වත්මන් කාලයේ රටක පාලනය සදහා ආර්ථිකමය සහ දේශපාලනමය තීරණ සමග දේශගුනික විපර්යාශයන් පිළිබද දැනුමද අවශ්‍ය බවයි. වෙනත් ලෙසකින් කිවහොත් අපට වෙළඳපොළ මත පමණක්  විශ්වාසය තබා ගමන් කිරීමට තවදුරත් නොහැකිය.  සමාජ ආරක්ෂාව, සහ ජන ජීවිතයේ ස්ථාවරතාව සමගින් දේශගුණීය සූදානම,  ආර්ථිකයේ අතිරේක කොටස් නොව, මූලික කොටස් විය යුතුය. එවැනි තත්වයක අප ජීවත් වෙන්නෙමු.

ඒ නිසා කුණාටුවෙන් පසු ගමන් මග කියන්නේ IMF ගිවිසුම් “අනුගමනය කරනවාද, නැද්ද” කියන සරල ප්‍රශ්නය පමණක් නොව ආණ්ඩුව මේ අලුත් තත්වයන් සැළකිල්ලට ගැනීමට සූදානම්ද යන ප්‍රශ්නයයි. මේ ආණ්ඩුව සතුව අලුත් ආර්ථික සිතුවිල්ලක් තිබේද, නැත්නම් පරණ මාර්ගයේම වෙනස් නාමයකින් ඉදිරියට ගෙන යනවාද යන කාරණය මෙන්ම, දේශගුනික විපර්යාශ සමග පළල් සංවර්ධන කෝණයකට ගමන් කිරීමට ආණ්ඩුව සූදානම් ද යන්න මෙහිදී මතුවන කාරණය ක් බව මගේ අදහසයි. දිට්වා කුණාටුව මගින් අප සැම තල්ලු කර තිබෙන්නේ මෙවැනි ප්‍රශ්නයන් සාකච්ජා කළ යුතු තත්වයකට ය.

ඒ අනුව අද අපි ඉදිරියේ තියෙන්නේ සරල තීරණයක් නොවේ. කුණාටුවෙන් පසුවත් රනිල් ගේ පරණ මාර්ගයේම ආපසු ගමන් කරණවාද, නැතිනම්  ඒ කුණාටුවෙන් ලැබුණු බරපතල පණිවිඩය තේරුම් ගෙන ගමන් මග වෙනස් කරනවාද  කියන තීරණයයි. එක් අතකින් එය ආණ්ඩුවකට පමණක් අයත් තීරණයක් ද නොවේ. එය සමාජයක් ලෙස අපි ගත යුතු තීරණයක් ද වන බව මගේ අදහසය.

WhatsApp Image 2025 12 28 at 7.53.05 AM(සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com

(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...