The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

කොල්ල කෑ ශ්‍රමයේ උරුමය ඉල්ලන වතු කම්කරුවන්ගේ නොනිමි අරගලය | සෝබා කෝලියවංශ

T

The Leader Desk

December 28, 2025 • 12:24 PM

කොල්ල කෑ ශ්‍රමයේ උරුමය ඉල්ලන වතු කම්කරුවන්ගේ නොනිමි අරගලය | සෝබා කෝලියවංශ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උදෑසන සීත මීදුම මැදින්, දිවා කාලයේ අව්වේ කර වෙමින්, බොහෝ දිනවල එක සීරුවට ඇද හැලෙන වැස්සට තෙමෙමින් කූඩැල්ලන් හා ඔට්ටු වෙමින් වතු හිමියන්ගේ ගණන්කාරකම් බලමින් එදා වේල සරිකර ගන්නට වතු කම්කරුවෝ ඉමහත් වෙහෙසක් දරති.
  • 2025 වන විට රාජ්‍ය වතු සමාගම්වල EPF/ETF ගැටලුවලට අදාළ නඩු 2,000කට අධික ප්‍රමාණයක් විවිධ පළාත්වල උසාවිවල විභාග වෙමින් තිබුණි.
  • මේ නිසා රජය රුපියල් බිලියන 5ක් වෙන් කර ඒවා පියවීමට තීරණය කළේය.
  • සමහර සමාගම්වලට එරෙහිව මහේස්ත්‍රාත් උසාවිවල නඩු පැවරී ඇති අතර, කළුතර, රත්නපුර සහ නුවරඑළිය මහේස්ත්‍රාත් උසාවිවල එවැනි බොහෝ නඩු පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

මධ්‍යම කඳුකරයේ තේ වතුයායක උදෑසන 5.30ට පටන් ගන්නා කම්කරුවෙකුගේ දිනය අවසන් වන්නේ සවස 5ට වතු කන්තෝරුව ඉදිරිපිටදීය.

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ සියවස් දෙකක ඉතිහාසය තුළ ඔවුන්ගේ ජීවිත වෙනසකට ලක් වූයේ නම්, ඒ ඉතා සුළු වශයෙනි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින්ගේ උවමනාව මත ඉන්දියාවෙන් ගෙන්වාගත් මේ ප්‍රජාවට අදටත් හිමි වන්නේ අසාධාරණයන්ගෙන් පිරුණු, ආන්තීකරණයට ලක් වූ ජීවිතයකි. වැටුප් වැඩිකිරීම්, සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් (EPF,ETF) සහ පාරිතෝශික ගෙවීම් සම්බන්ධ අසාධාරණකම්වලින් ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනයන්ගෙන්ද ඔවුහු නිරතුරුව පීඩාවට පත් වෙති. මෙවැනි අසාධාරණකම්වලට එරෙහිව වතු කම්කරුවන් අධිකරණයට යාම නිරන්තරයෙන් සිදු වෙමින් තිබේ. කම්කරු උසාවි, මහේස්ත්‍රාත් උසාවි සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු එවැනි නඩු බොහෝ ගණනකි.

 

EPF සහ ETF සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග

වතු කම්කරුවන්ගේ විශ්‍රාම ජීවිතයේ ප්‍රධාන ආධාරකය වන්නේ EPF සහ ETF ගිණුම්ය. නමුත් රාජ්‍ය වතු සමාගම් (SLSPC, JEDB, Elkaduwa Plantations) සහ පෞද්ගලික RPC සමාගම් බොහෝමයක මේ ගෙවීම් ප්‍රමාද වීම හෝ නොකිරීම නිසා දහස් ගණන් නඩු අධිකරණවල ගොඩ ගැසී තිබේ. 2025 වන විට රාජ්‍ය වතු සමාගම්වල EPF/ETF ගැටලුවලට අදාළ නඩු 2,000කට අධික ප්‍රමාණයක් විවිධ පළාත්වල උසාවිවල විභාග වෙමින් තිබුණි. මේ නිසා රජය රුපියල් බිලියන 5ක් වෙන් කර ඒවා පියවීමට තීරණය කළේය. මෙය රාජ්‍ය වතු කම්කරුවන්ට සහනයක් වුවද, පෞද්ගලික RPC සමාගම්වල කම්කරුවන්ගේ ගැටලු තවමත් විසඳී නැත.

පෞද්ගලික වතු සමාගම් බොහෝමයක EPF ගෙවීම් ප්‍රමාද වීම නිසා කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි ගොනු වෙමින් තිබේ. සමහර සමාගම්වලට එරෙහිව මහේස්ත්‍රාත් උසාවිවල නඩු පැවරී ඇති අතර, කළුතර, රත්නපුර සහ නුවරඑළිය මහේස්ත්‍රාත් උසාවිවල එවැනි බොහෝ නඩු පවතී. පවතින නීතිය අනුව, එවැනි වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් සහ සිර දඬුවම් නියම කළ හැකිය.

වැටුප් වැඩි කර ගැනීමේ අරගලය

tea Plantation workers

වතු කම්කරු වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් RPC සමාගම් බොහෝ විට අභියෝග කර තිබේ. 2024දී රු. 1,700 දක්වා වැඩි කිරීමට එරෙහිව RPC සමාගම් 20කට අධික සංඛ්‍යාවක් අභියාචනාධිකරණයට පෙත්සම් ගොනු කළේය. ඔවුන්ගේ තර්කය වූයේ මෙය සමාගම්වලට අසාධාරණ බරක් බවයි. නමුත් අධිකරණය එම ගැසට් නිකුත් කිරීම අත්හිටුවීම ප්‍රතික්ෂේප කළේය.

කම්කරුවන්ගේ වෘත්තීය සමිති සහ ක්‍රියාකාරීන් මගින්ද වැටුප් වැඩිකිරීම් ඉල්ලා අධිකරණයට යාම සිදුව තිබේ. සාමූහික ගිවිසුම් බලාත්මක නොකිරීම සම්බන්ධයෙන් කම්කරු උසාවිවල නඩු බහුලය.

අරගලයේ අනාගතය

estate20190303 4
2025 දෙසැම්බර් වන විටත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1,350 මට්ටමේ පැවතීම සහ EPF ගැටලු තවමත් විසඳා නොමැතිවීම අධිකරණ අරගලයේ බරපතළකම පෙන්වයි. රජයේ මැදිහත්වීම් තිබුණ ද, RPC සමාගම්වල කම්කරුවන්ට යුක්තිය ලැබීමට තවදුරටත් අධිකරණයේ පිහිට පැතීම අත්‍යවශ්‍ය වෙමින් තිබේ.

වතු කම්කරුවන්ගේ අරගලය, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සටනකි. වෘත්තීය සමිති, සිවිල් සමාජය සහ කම්කරුවන් එක්ව මේ අරගලය ජයග්‍රහණය කිරීමට උරදිය යුතුය. නමුත් රජයේ සහ සමාගම්වල කැමැත්ත නොමැතිව යුක්තිය ලැබීම අපහසුය.

 

මෙවර අයවැයෙන් එළඹෙන ජනවාරි මාසයේ (2026) සිට වතු කම්කරුවෙකුගේ වැටුප රුපියල් 1750ක් දක්වා වැඩි කරන බවට ප්‍රකාශ කළද, තවමත් ඔවුන්ට ලැබෙන්නේ රු. 1,350ක දෛනික වැටුපක් සහ අර්ථසාධක අරමුදල්  පොතක් පමණි. එම පොතේ අන්තිම පිටුවේ ලියැවී ඇත්තේ 2011 සිට රු. 14,400ක් පමණි. වසර 14කටම, එයට එකතු වී ඇත්තේ එකවර රු. 2,000ක් පමණි. මෙය ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් 150,000කට අධික සංඛ්‍යාවක අර්ථසාධක අරමුදලේ (EPF) ඛේදජනක තත්ත්වයයි.

සුළඟේ ගිය බලාපොරොත්තු

image 7eaccd2cde
2009–2011 රජය සහ RPC සමාගම් එකඟතාවකට පැමිණ “වතු EPF අරමුදල” වෙනමම පාලනය කිරීමට අදාළව ලියවිලි අත්සන් කෙරිණි. 2015 වසරේ දී මහ බැංකුව EPF දෙපාර්තමේන්තුවට අදාළ පැවරීම් සිදු කළ ද, එයින් පසුවත් ගෙවීම් ආරම්භ වූයේ නැත. 2023 ජූලි මාසයේදී එවකට කම්කරු අමාත්‍යවරයාව සිටි මනූෂ නානායක්කාර “ඔක්තෝබර් සිට ගෙවීම් ආරම්භ කරනවා” යි ප්‍රකාශ කළේය. නමුත් 2025 වන විටත් කම්කරුවන්ගේ අර්ථසාධක ගෙවා නැත.

RPC සමාගම් 2006–2022 දක්වා රු. 8.9 බිලියනයක් එකතු කර තිබේ (කම්කරු දෙපාර්තමේන්තු දත්ත). එයින් මහ බැංකුවට ලැබී ඇත්තේ රු. බිලියන 4.2ක් පමණකි. ඉතිරි රු.බිලියන 4.7 තවමත් සමාගම් බැංකු ගිණුම්වල තබාගෙන සිටින බවට වෘත්තීය සමිති චෝදනා කරයි.

අර්ථසාධක අරමුදල සම්බන්ධව අනෙකුත් ආයතන තුළ ක්‍රියාත්මක වන නීති රීති, රෙගුලාසි වතු සමාගම් විෂයෙහි ක්‍රියාත්මක වන්නේ වෙනත්ම ආකාරයකට ය. සාමාන්‍ය EPF ගිණුම්වලට 2024 දී 9.5% පොලිය ලැබුණත්, වතු ගිණුම්වල පොලිය 0%කි! අනෙකුත් සමාගම් හෝ ආයතනවලින් ප්‍රමාද වාරිකවලට දඩයක් නියම කළත් වතු සමාගම් මාස 6කට වරක් ගෙව්වත් ප්‍රමාද වාරික දඩ නැත. තව RPC සමාගම් එකතු කළ මුදලින් 2.5%ක මුදලක් “පරිපාලන ගාස්තු” ලෙස නැවත අය කර ගනියි.

ලංකා වතු සේවා සංගමයේ සහකාර ලේකම් ස්ටැන්ලි ගල්හේන මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළේය.

 1000150042

ස්ටැන්ලි ගල්හේන

 

“අවුරුදු 30ක් විතර වැඩ කරපු කෙනෙකුගෙ සැලකිය යුතු මුදලක් එකතු වෙන්න ඕන. නමුත් ඉල්ලුම් කළාට පසුව ඉතාම සුළු මුදලක් තමයි ලැබෙන්නේ. රජයේ වතු සහ වතු සමාගම් බොහෝමයක තියෙන ලොකුම ප්‍රශ්නය තමයි හැම කම්කරුවෙකුගෙන්ම වැටුපෙන් අර්ථසාධක අරමුදල සඳහා අය කරගත්තත් ඒ මුදල් අර්ථසාධක අරමුදලට බැර කරන්නේ නෑ. සමහර ආයතන අවුරුදු ගණන් මුදල් බැර කරලා නෑ ගිණුම්වලට. ගෙවිය යුතු මුදල් බිලියන ගණන් එකතු වෙලා තියෙනවා. එවැනි බොහෝ වතු සමාගම්වලට නඩු පවරලා තියෙනවා. වතුවල තියෙන වටිනා ගස් විකුණා හෝ කම්කරුවන්ගේ අර්ථසාධක මුදල් පියවන ලෙස පවසා තිබුණත් තවමත් එය සිදු වී නැහැ.”

දහඩිය උරුමයටත් පගාව!

tea planter
ඉන්දියාව අතහැර ලංකාවේ ජීවත් වන්නට පටන් ගෙන පරම්පරා පහක් ගෙවුණ ද ඔවුන්ට හිමි වූ දේට වඩා අහිමි වූ දේ බොහෝය. රටේ සමස්ත අධ්‍යාපනය ගැන පාලක පැලැන්තිය දක්වන සැලකිල්ල කෙබඳුද යන්න තේරුම් බේරුම් කර ගැනීමට හැකිවන්නේ, අනේක විධ දුක් පීඩා මැද සේවය කොට තමන්ට හිමි සේවක අයිතිවාසිකම් පිළිබඳව හෝ සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව හෝ නොදන්නා කම්කරුවන් ප්‍රමාණය ගණන් බැලීමෙන් ය. ඇතැම් වතු කම්කරුවන්ගේ අර්ථසාධකයෙන් වැඩි කොටහක් වියදම් වී ඇත්තේ එය ලබා ගැනීමට යාමේදී ය. වතු ආශ්‍රිත කාර්යාලවල සේවය කරන ඇතැමුන් කම්කරුවන්ගේ අර්ථසාධකයේ වැඩි කොටසකට වගකියන බව හැටන් ප්‍රදේශයේ වතු සමාගමක තලවර් කෙනෙකු ලෙස සේවය කරන ජේ. මෝහන් පැවසුවේය.

“බොහෝ වතු කම්කරුවන්ගේ අධ්‍යාපන මට්ටම එතරම් හොඳ නැහැ. අලුත් පරම්පරාවටත් වඩා කලින් පරම්පරාවේ අධ්‍යාපන මට්ටම ඉතාම දුර්වලයි. අර්ථසාධක ලබා ගන්න කාර්යාලවල ඉන්න නිලධාරීන්ගේ සහය ලබාගන්නවා. ලක්ෂ විස්සක් ලැබෙනවා නම් එයින් ලක්ෂ පහක්වත් ඒ නිලධාරියාට දෙන්න ඕන. නිලධාරීන්ට වගේම කම්කරුවන්ටත් ඒක දැන් පුරුද්දකට ගිහින්. සමහර වෙලාවකට කම්කරුවන්ගේ දැනුම තේරුම අනුව මේ අය කර ගන්නා මුදලේ ප්‍රමාණය වෙනස් වෙනවා.”

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඩෙල්කිත් වත්තෙ ජීවත් වූ වීරප්පන් මාරියන් (55) දැන් ජීවත්වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශයේ ය. වයස අවුරුදු 15 සිට රැකියාව කළත් ඇයට අර්ථසාධක අරමුදලේ ගිණුමක් තිබෙනවා ද නැද්ද යන්න පවා ඇය නොදන්නීය.

tea export 1600
“මම අවුරුදු 15 ඉඳන් වත්තේ වැඩකරන්නේ. මේ ප්‍රදේශයට ඇවිල්ල දැන් අවුරුදු 20ක් වෙනවා. මේ වත්තේ වැඩකරන්න පටන් අරන් අවුරුදු 14ක් වෙනවා. කලින් හිටපු වත්තෙදි අර්ථසාධකයට කියලා පඩියෙන් කොටසක් කැපුවා. ඒත් කිසිම ලියවිල්ලක් දුන්නෙ නෑ. ඒක ගන්නෙ කොහොමද කියලා දන්නෙ නෑ. දැන් ඉන්නෙ කොම්පැනියකට අයිති වත්තක නෙවෙයි. මේවායේ නම් අර්ථසාධක ගෙවෙන්නේ නෑ. අනිත් එක ඕවා අහන්න ගිහින් ඉන්න හිටින්න තියෙන තැනත් නැතිවෙලා යයි.”

ජීවිත කාලයක් වැගිරූ ශ්‍රමයේ ශේෂය වූ සේවක අර්ථසාධක අරමුදලට තමන්ට හිමිකමක් තිබේද යන්න පවා නොදන්නා අවිනිශ්චිත තත්ත්වයක ඇය පසුවන්නීය. එම අවනඩුව විසඳා දිය හැකි සමතකු ඇයට මෙතෙක් මුණගැසී නැත. මතුවටද මුණගැසෙනු ඇත්දැයි සැකසහිතය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදිංචි සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වූ අලගර් සෙල්වරාජු අර්ථසාධක අරමුදල අහිමි වන වැඩිහිටියන් පිළිබඳව සිය අත්දැකීම් විස්තර කළේය.  

 1000422505

අලගර් සෙල්වරාජු

“ගොඩාක් කම්කරුවන්ට සිදුවෙන ගැටලුවක් තමයි, වතු කාර්යාලවලින් නම වැරදියට සඳහන් කිරීම. එකම නම කිහිප දෙනෙකුට තිබීම, ලිපින නොමැති වීම වැනි කරුණු නිසාත් මුදල් ලබාගැනීමට නොහැකි වෙනවා. ඒ කාලෙ වෙද්දී මුල් අවධියේ කාර්යාලවල හිටපු නිලධාරීන් ඉවත් වෙලා හෝ මාරුවෙලා ගිහින්. ඒ ගැන තොරතුරක්වත් දැනගන්න ක්‍රමයක්වත් නැති වෙනවා. සමාගම් සතු වතුවල සේවය කරන කම්කරුවන්ගේ තැපෑලෙන් ලැබෙන ලිපි ලේඛන සියල්ල ලැබෙන්නේ වත්තේ කාර්යාලයට. වත්තට ලිපි බෙදාදීම සිදුවන්නේ කාර්යාලයෙන්. සමහර කාර්යාලවල මාස ගණන් ලිපි පරණ වෙවී තියෙනවා. නම් වෙනස් වීම හෝ ලිපි ලේඛන අස්ථානගත වීම නිසා අර්ථසාධක අහිමි වීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන වතු සමාගම් කාර්යාල. මේ කවර හෝ හේතුවක් මත අර්ථසාධක අහිමි වන වයස්ගත කම්කරුවන් ඉතාම අසරණ තත්ත්වයට පත්වෙනවා. මොකද ඒ මුදල මත තමයි තීරණය වෙන්නෙ එයාලගෙ ඉතිරි කාලය සැපවත්ව ගෙවන්න පුළුවන්ද බැරිද කියන එක. මොකද සමහර කම්කරුවන්ගේ දරුවන්ට හැකියාවක් නැහැ දෙමව්පියන් රැකබලා ගන්න. මේ මුදල තිබුණොත් දරුවන්ට බරක් නොවී ඔවුන්ට ඔවුන්ගේ සැඳෑ සමය ගත කරන්න පුළුවන් වෙනවා.”

2025 බලාපොරොත්තු සහ අනාගතය

tea plantation
රටේ ජීවත්වන අනෙක් පුරවැසියන්ට සේම උඩරට, මැදරට, පහතරට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු වල කම්කරුවන්ටද, පෞද්ගලික වතු සමාගම්වල කම්කරුවන්ටද පමණක් නොව ඉඩම් හිමි වැවිලිකරුවන්ගේ වතුවල සේවය කරන කම්කරුවන්ටද ඔවුන්ගේම සිහින තිබේ. වසර දෙසීයක් තිස්සේ ඔවුන් බලා සිටින්නේ ඒ සිහින එළිවන තුරුය. අර්ථසාධක අරමුදල යනු කම්කරුවාගේ ජීවිතයේ සැඳෑ සමය යහපත්ව ගෙවීම වෙනුවෙන් වෘත්තියේ නිරත වන කාලය පුරා අනිවාර්යයෙන් ඉතිරි කරන බැංකු ගිණුමය. සමස්තයක් ලෙස ගත් කළ නොගෙවූ අරමුදල් වටිනාකම රුපියල් බිලියන 9 කට අධික යැයි ගණන් බලා තිබේ. එය වසර 14 ක් සඟවා තබා ගැනීමට ඉඩ දීම අපරාධයකි.

2025 නොවැම්බර් අයවැයෙන් වැටුප් රු. 1,750 දක්වා වැඩි කිරීමට යෝජනා වුණද, දෙසැම්බර් වන විටත් එය ක්‍රියාත්මක වී නොමැත. රාජ්‍ය වතුවල EPF පියවීමට රු. බිලියන 5ක් වෙන් වුණත්, RPC කම්කරුවන්ගේ ගැටලු විසඳී නොමැත. 2026දී නව වැටුප් වැඩිවීම් සහ රජයේ මැදිහත්වීම් මගින් නව බලාපොරොත්තු ජනිත වෙමින් තිබේ. නමුත් ඒවා ක්‍රියාත්මක වන තුරු වතු කම්කරුවන්ගේ අරගලය නොනවතිනු ඇත. යුක්තිය සාධාරණය අගයන සියල්ලන්ගේ සහකම්පනයේ දෑත් ඔවුන් වෙත යොමු විය යුතු නොවේද?

soba koliyawansha(සටහන | සෝබා කෝලියවංශ)

මාධ්‍යවේදීනී
sobakoliyawanshe@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...