The Leader News
BREAKING
ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●
Top Ad
විශේෂාංග

සතුන්ගේ උතුම් බව ලොවට හඬ ගා කී ඇමරිකානු මහ ගත්කරු මාක් ට්වේන්

T

The Leader Desk

December 30, 2025 • 7:01 AM

සතුන්ගේ උතුම් බව ලොවට හඬ ගා කී ඇමරිකානු මහ ගත්කරු මාක් ට්වේන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව මෙලොව වෙසෙන සතුන් අතුරින් උතුම්ම සත්වයා මිනිසා බවත්, සෙසු සත්ව ගණයා හෙවත් තිරිසනුන් මිනිසාට වඩා පහත් මට්ටමක වෙසෙන බවත් කිසිවකුටත් අභියෝග කළ නොහැකි පොදු සමාජ සම්මතයක් සේ අපි බොහෝ දෙනෙක් සිතමු.
  • ඒ අතරේ යම් හෙයකින් තිරිසනා මිනිසාට වඩා උසස් බවක් පළ කරන කිසිවකු හෝ සිටියි නම්, ඔහු “නොම්බර එකේ ඔළුවේ අමාරුකාරයකු” යැයි බොහොමයක් දෙනා සිතති.
  • ඉකුත් කාලයේ කිහිප දෙනකු වෙතින්ම සිංහලයට ද පරිවර්තනය වී ඇති ටොම් සෝයර් (Tom Sawyer) යනු මාක් ට්වේන් විසින් රචනා කරනු ලදුව ලොව පුරා පොත් කියවන්නන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් කෘතියකි.
  • දී රචිත The Adventure of Tom Sawyer කෘතිය ලොව පුරා විවිධ භාෂාවලට පරිවර්තනය වී පිටපත් මිලියන ගණනින් අලෙවි වී ඇති අතර කිහිප වාරයක් සිනමාවට ද නැඟී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව මෙලොව වෙසෙන සතුන් අතුරින් උතුම්ම සත්වයා මිනිසා බවත්, සෙසු සත්ව ගණයා හෙවත් තිරිසනුන් මිනිසාට වඩා පහත් මට්ටමක වෙසෙන බවත් කිසිවකුටත් අභියෝග කළ නොහැකි පොදු සමාජ සම්මතයක් සේ අපි බොහෝ දෙනෙක් සිතමු. ඒ අතරේ යම් හෙයකින් තිරිසනා මිනිසාට වඩා උසස් බවක් පළ කරන කිසිවකු හෝ සිටියි නම්, ඔහු “නොම්බර එකේ ඔළුවේ අමාරුකාරයකු” යැයි බොහොමයක් දෙනා සිතති.

 

mark t 1

එහෙත්, මාක් ට්වේන් (Mark Twain) යනු සතුන්ට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉතා ඉහළ අගයක් ලබා දුන්, එමෙන්ම සතුන් කෙරෙහි දැඩි කරුණාවකින් කටයුතු කළ ලෝ සුපතල ඇමරිකානු ලේඛකයෙකි. ඉකුත් කාලයේ කිහිප දෙනකු වෙතින්ම සිංහලයට ද පරිවර්තනය වී ඇති ටොම් සෝයර් (Tom Sawyer) යනු මාක් ට්වේන් විසින් රචනා කරනු ලදුව ලොව පුරා පොත් කියවන්නන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් කෘතියකි. 1876 දී රචිත The Adventure of Tom Sawyer කෘතිය ලොව පුරා විවිධ භාෂාවලට පරිවර්තනය වී පිටපත් මිලියන ගණනින් අලෙවි වී ඇති අතර කිහිප වාරයක් සිනමාවට ද නැඟී තිබේ.

සැමුවෙල් ලැන්ග්හෝර්න් ක්ලෙමන්ස් (Samuel Langhorne Clemens) යන සැබෑ නාමයෙන් හඳුන්වන මාක් ට්වේන්, ඇමරිකානු සාහිත්‍ය ඉතිහාසයේ සිටි ශ්‍රේෂ්ඨතම ලේඛකයෙකු සේම ප්‍රහසන මාධ්‍යයෙන් දාර්ශනිකත්වයක් පළ කළ ප්‍රාඥයකු ලෙස සැලකේ. “නූතන ඇමරිකානු සාහිත්‍යයේ පියා” ලෙස ද හැඳින්වෙන ඔහු “එසේ මෙසේ පුතකු” නොවන බව අපට නියත ලෙසම හැඟී යනු ඇත.

 

twain980
හාස්‍යය හා උපහාසය මුසු බස් වහරකින් ඔහු බොහෝ විට පවසා සිටියේ මිනිසාට වඩා සතුන් උතුම් ගතිගුණවලින් හෙබි බවයි. ඒවා හුදෙක් විහිළු ඉක්මවන ගැඹුරු යථාර්ථයකින් යුතු දාර්ශනික මත බව නූතන විචාරකයෝ පිළිගනිති. දිනෙන් දිනම ඉහළ සමාජමය අගැයුමකට ලක් වන මාක් ට්වේන්ගේ මෙම සත්ව ලෝලීත්වය හුදෙක් විනෝදාංශයක් නොව, එය ඔහුගේ ජීවන දර්ශනය සමඟ බද්ධ වූවකි. ඔහු ලේඛන මෙන්ම දේශන මඟින් පවා මිනිස් වර්ගයාගේ අඩුපාඩු විවේචනය කිරීමට බොහෝ විට සතුන්ගේ උදාර ගතිගුණ උපයෝගී කර ගත්තේ ප්‍රතිවාදී අදහස් දරන්නවුන් මුළුමනින් නිහඬ කරමිනි.

තරුණ වියේදී කාලයක් ටොම් සෝයර් කතාවට පසුබිම් වන මිසිසිපි ගඟේ වාෂ්ප නැව් නියමුවෙකු ලෙස සේවය කළ ඔහු, පසුව තම ලේඛන නාමය ලෙස භාවිතා කළේ නාවික භාෂාවෙන් “දිය ගැඹුර රියන් දෙකයි” (ගමන් කිරීමට ආරක්ෂිතයි) යන්න හැඳින්වීමට භාවිතා කළ “Mark Twain” යන සංඥා නාමයයි. පසුව ඒ නමින් ලෝක පූජිත ලේඛකයකු බිහි වන බව අඩුම තරමින් ඔහු වත් නොසිතන්නට ඇත.

මිනිසාගේ ස්වභාවය ඉක්මවා යන සතුන්ගේ උදාරත්වය පිළිබඳ ඉතා තියුණු මෙන්ම උපහාසාත්මක අදහස් පළ කළ ඔහු, සතුන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් දැක්වූ මිනිසකු බව ඉතා පැහැදිලි ය. ඒ බව ඔහුගේ බොහෝ ලේඛන හා ප්‍රකාශවලින් මැනවින් පිළිබිඹු වේ.

 

Fwhh MqXgAIPnop

”ඔබ බඩගින්නේ සිටින සුනඛයකු රැගෙන ඔහුට ආහාර දී සුවපත් කළහොත්, ඔහු ඔබව කිසිදා හපා නොකනු ඇත. සුනඛයකු සහ මිනිසෙකු අතර ඇති ප්‍රධාන වෙනස මෙයයි,” ඔහු ලෝකය හමුවේ පැවසීය. “ස්වර්ගයට යන්නේ සුදුසුකම් මත නම්, ඔබට පිටත රැඳී සිටීමට සිදුවනු ඇත; ඔබේ සුනඛයා ස්වර්ගය ඇතුළට යනු ඇත.” ආදී වශයෙන් සිය කෘතීන් මඟින් ඉදිරිපත් කළ ඔහුගේ මෙම විප්ලවකාරී අදහස් මේ වන විට ලොව පුරා පිළිගැනීමට ලක් වෙමින් තිබේ. “සියලු සතුන් අතරින් ලැජ්ජාව දැනෙන එකම සත්වයා මිනිසා ය. එසේ නැතහොත් ලැජ්ජා වීමට කරුණු ඇති එකම සත්වයා ඔහු ය” ආදී වශයෙන් පැවසූ ට්වේන් විශ්වාස කළේ, සතුන් තුළ මිනිසුන් තුළ නැති සදාචාරාත්මක පාරිශුද්ධත්වයක් ඇති බවයි. ඔහු ලියූ “The Lowest Animal” (පහත්ම සත්වයා) නම් රචනාවෙන් මිනිසා සහ සත්වයා අතර වෙනස හාස්‍යයට ලක් කරමින් මෙසේ කීය: “මිනිසා යනු පළිගන්නා එකම සත්වයා ය.”

511135970 24202259556045044 6107365588961724640 n

 

මාක් ට්වේන්පහත්ම ලැබුවේත්, මියගියේත් හැලීගේ වල්ගා තරු පෘථිවියට දර්ශනය වූ 1835 සහ 1910 වසරවලදී ම ය. ඔහු සුනඛයන්ගේ පක්ෂපාතීත්වය අගය කළේ මිනිසුන්ගේ ව්‍යාජ මිත්‍රත්වයට උපහාස කරමිනි. “සුනඛයා යනු මිනිසාට වඩා උසස් සත්වයෙකි. ඒ ඔහු තමාට ආදරය කළ අයකුට කිසිදා ද්‍රෝහි නොවන බැවිනි.”

“සුනඛයකුට ස්වර්ගයට යාමට අවසර ලැබෙන්නේ නම්, එය ඔවුන්ගේ දක්ෂතාවය නිසා නොව, ඔවුන්ගේ අවංකභාවය නිසා ය. නමුත් මිනිසුන්ට ඒ වරම හිමි වන්නේ නම්, ඒ ඔවුන්ගේ වාසනාවටය.” මාක් ට්වේන්ගේ ‘The Lowest Animal’ වැනි කෘති ලෝක පූජිත බවට පත් වූයේ ඔහුට විශ්ව සාහිත්‍යයේ ඉහළම තැනක් හිමි කර දෙමිනි. සුනඛයකුගේ දෘෂ්ටිකෝණයෙන් ලියැවුණු ‘A Dog’s Tale’ (සුනඛයකුගේ කතාවක්) කතාවේ මිනිසුන්ගෙන් සතුන්ට සිදුවන හිංසනය ඉතා සංවේදී ලෙස විස්තර කර ඇති අතර, එය පසුකාලීන සත්ව හිමිකම් ක්‍රියාධරයන්ගේ අත්පොතක් බවට පත්ව තිබේ.

මාක් ට්වේන් බළලුන්ට ද අතිශය ආදරය කළ පුද්ගලයෙකි. වරක් ඔහු මෙසේ පැවසීය: “යම් නිවසක බළලෙකු සිටී නම්, ඒ නිවසට වෙනත් කිසිදු අලංකාරයක් අවශ්‍ය නැත.” ඔහු බළලුන්ට කොතෙක් ප්‍රිය කළේ ද යත්, පිට පළාත්වල සංචාරය කරන විට පවා තම පාලුව තනිකම මකා ගැනීමට එම ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් බළලුන් “කුලියට” ගත් බව ඉතිහාසයේ සඳහන් වේ.

dog cat black and white whiskers wallpaper preview
සුනඛයන් හා බළලුන් අතර පවතින වෙනස විශේෂයෙන් හුවා දැක්වූ මාක් ට්වේන් බළලුන්ගේ ස්වාධීනත්වය සහ අභිමානය ගැන අදහස් දක්වා තිබුණේ මෙලෙසිනි: “සතුන් අතරින් බළලා පමණක් මිනිසාට වඩා උසස් ජීවිතයක් ගත කරයි. මිනිසෙකුට බළලෙකු සමඟ මිත්‍ර විය හැක්කේ ඔහුගේ කොන්දේසිවලට එකඟ වුවහොත් පමණි.” එමෙන්ම සතුන් කිසිවිටකත් අනවශ්‍ය ලෙස හිංසා නොකරන බව අවධාරණය කළ ඔහු, “මිනිසා යනු විනෝදය සඳහා හෝ කුරිරුකම සඳහා ක්‍රියා කරන එකම සත්වයා ය. බළලෙකු මීයෙකු සමඟ සෙල්ලම් කරන්නේ ඔහුට මීයාව රිදවීමට අවශ්‍ය නිසා නොව, එය ඔහුගේ ජෛවමය පැවැත්මට අවශ්‍ය දඩයම් පුහුණුව සඳහා ය. නමුත් මිනිසා දහසක් සතුන් මරා දමන්නේ හුදෙක් සතුට සඳහා ය,” යනුවෙන් ද ලියා තැබීය.

ඔහු වරක් එකවර බළලුන් 19 දෙනෙකු පමණ ඇති කළ අවස්ථා තිබූ අතර ඔහු වරක් පැවසුවේ, “බළලුන්ට ආදරය කරන ඕනෑම අයෙක් මගේ මිතුරෙකු සහ සහෝදරයෙකි” යනුවෙනි. “මිනිසෙකුට බළලෙකු සමඟ මිත්‍ර විය හැකි නම්, එය එම මිනිසාගේ වටිනාකම වැඩි කරයි. බළලා යනු කිසිම දිනක කිසිවෙකුට ගැති නොවන, ස්වාධීන සත්වයෙකි” ආදී ඔහු දැක්වූ අදහස් පසුකාලීන සත්ව චර්යාවේදීන් ද අනුමත කොට තිබේ.

807b4dc3afd2b81895e20876b8572c0b

මිනිසා සහ සතුන් අතර වෙනස පිළිබඳව සිය ප්‍රසිද්ධ රචනයක් වන “The Lowest Animal” තුළ ඔහු පවසන්නේ මිනිසා පරිණාමයේ ඉහළම තැන සිටිනවා වෙනුවට පහළම තැන සිටින බවයි. එහිදී ඔහු “සියලුම සතුන් අතරින් ඉතාමත් නීච සත්වයා මිනිසා ය. ඔහු පමණක් අන් අයට වේදනාවක් දීමෙන් සතුටක් ලබයි” යනුවෙන් ද පවසා සිටියි. සුනඛයන්ට හා බළලුන්ට පමණක් නොව සෙසු සතුන් සම්බන්ධයෙන් ද විප්ලවීය අදහස් පළ කළ මාක් ට්වේන්, “බූරුවා යනු ඉතාමත් ඉවසිලිවන්ත සත්වයෙකි, මිනිසා ඔහුව අවඥාවට ලක් කළත් ඔහු මිනිසාට වඩා බුද්ධිමත් විය හැක” යනුවෙන් ලියා තැබීය. ඔහුගේ මෙම ප්‍රකාශයට අතිශය සමාන මී ගවයා සම්බන්ධ ප්‍රකාශයක් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘විරාගය’ නවකතාවේ ද තිබේ. අශ්වයන් පැදීම සහ ඔවුන් සමඟ මිතුරු වෙසින් කාලය ගත කිරීම ද මාක් ට්වේන් ප්‍රිය කළ දෙයකි. ඔහුගේ ගමන් බිමන්වලදී හමුවන සතුන් පිළිබඳව ඔහු නිතරම තම දිනපොත්වල සටහන් තැබීය.

එවක කිසිවකුගේ විරෝධයකින් තොරව සිදු වූ සතුන් විච්ඡේදනය කිරීමට (Vivisection), එනම් විද්‍යාත්මක පර්යේෂණ සඳහා සතුන් පණපිටින් කපා කොටා පරීක්ෂණ කිරීමට මාක් ට්වේන් දැඩි ලෙස විරුද්ධ විය. ඔහු ප්‍රකාශ කළේ සතුන් විඳින වේදනාව මිනිසුන් විඳින වේදනාවට සමාන බවයි. සිය “A Dog’s Tale” කෙටි කතාව හරහා ඔහු පෙන්වා දුන්නේ සතුන් මිනිසාට දක්වන පක්ෂපාතීත්වයට පෙරළා මිනිසා ඔවුන්ට කෙතරම් කුරිරු ලෙස සලකන්නේද යන්නයි.

71JXgSUMNkL. AC UF10001000 QL80
9781548231774මාක් ට්වේන් නාමය ලෝකයේ ප්‍රචලිත වීමට ඔහුගේ සෙසු කෘතීන්ගෙන් ලද බලපෑම ද අතිවිශාල ය. මෙහි ඉහළ සඳහන් වන ‘The Adventures of Tom Sawyer’ (ටොම් සෝයර්ගේ වීර ක්‍රියා) ළමා වියේ දඟකාරකම් සහ වික්‍රමාන්විතයන් ඇතුළත් ලෝක ප්‍රකට කෘතියකි. එමෙන්ම ඔහු විසින් ලියන ලද ‘Adventures of Huckleberry Finn’ (හකල්බෙරි ෆින්ගේ වීර ක්‍රියා) ඇමරිකානු සාහිත්‍යයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙන අතර, එවකට සමාජයේ පැවති වර්ගවාදය සහ සදාචාරය පිළිබඳ ගැඹුරු විවේචනයක් ඉදිරිපත් කරයි. ඔහුගේ සෙසු කෙටි කතා සහ නවකතාවල ද සතුන් ප්‍රධාන තැනක් ගන්නා අතර ‘The Celebrated Jumping Frog of Calaveras County’ (කැලවෙරස් ප්‍රාන්තයේ සුපතල මැඩියා) මැඩියෙකු වටා ගෙතුණු හාස්‍යජනක කතාවකි.

සත්ව හිමිකම් පිළිබඳ අපේ රටේ තත්ත්වය අදටත් කෙසේවත් සතුටුදායක නොවන පසුබිමක, මීට සිය වසකටත් ඉහත කාලයක ජීවත් වූ මාක් ට්වේන් නම් ඇමරිකානු මහා ගත්කරුවා සතුන් සම්බන්ධයෙන් දැක්වූ මෙම විප්ලවීය ආකල්පවල අගය අදට වඩා දහස් ගුණයකින් හෙට දිනයේ ඉහළ යනු ඇත. එමෙන්ම මිනිසුන්ගේ අගය අභිබවා යාම කෙසේ වෙතත් ඔවුනට මිනිසුන්ට සාපේක්ෂව ඉහළම අගයක් ලබා දීමට අනාගත බුද්ධිමත් මානවයා නොපසුබට වනු ඒකාන්ත ය. ඒ මාක් ට්වේන් නාමයට අද නොමැති වටිනාකමක් හෙට දිනයේ උදා කර දෙමිනි.

renuka damayanthi psd(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...