The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : සජබ - එජාප මගුල තීන්දු කළ මෙහෙයුම

T

The Leader Desk

January 2, 2026 • 11:26 AM

සජිත්ගේ දේශපාලන සතිය : සජබ - එජාප මගුල තීන්දු කළ මෙහෙයුම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෙවුණු 2025 වසර මේ රටේ දේශපාලන, ආර්ථික, සාමාජීය අංශ තුනේම තීරණාත්මක සිදුවීම් රැසක් සිදුවූ වසරක් විය.
  • දීර්ඝ සාකච්ජාවට කිහිපයකින් පසු, මේ සිව්දෙනාගේ හමුව 30 වෙනිදා දහවල් 11.30ට යෙදාගෙන තිබුණු අතර, සජිත් ඊට සහභාගී වුණේ, විපක්ෂ නායක කාර්යාලයේ තිබූ තවත් හමුවීම් කිහිපයකින් පසුවය.
  • ඔහු ටාජ් සමුද්‍රා හෝටලයට යනවිටත්, රුවන්, නවීන්, අකිල තිදෙනාම සජිත්ව බලාපොරොත්තුවෙන් සිටි අතර පැයකට සැලසුම් කර තිබූ සාකච්ජාව පැය 3 කට ආසන්න කාලයක් ඇදී ගොස් තිබුණේ, සියල්ලන්ටම නොදැනීමය.
  • සජිත්ගේ ඒ වචන ටික දිහා බලාගෙන හිටපු රුවන්… “ ඇත්ත, අපි එකතුවෙන එක මීට ඉස්සෙල්ලා සිද්ධ වෙනවා, එදා අපි හැමෝම මේකේ බර කරට ගත්තනම්.
අකුරු ප්‍රමාණය (Font Size):


බහාලුම් වංචාව, බාල ඖෂධ ගෙන්වීම, 6 ග්‍රේණියේ මොඩියුල ප්‍රශ්ණය, දිට්වා සුළි කුණාටුවෙන් වූ බලපෑම වගේම වසර අවසන්වීමට ඔන්න, මෙන්න කියා තිබියදී සිදුවූ සජබ - එජාප දීගයත් ඒ අතර ප්‍රධානය.

මාලිමා ආණ්ඩුවේ අකාර්යක්ෂම රාජ්‍ය පාලනය හා දිනපතා සිදුවන නා ගැනීම් හමුවේ රටේ ජනතාව ක්‍රම, ක්‍රමයෙන් ආණ්ඩුවෙන් ඈත්වෙමින් සිටියත්, විකල්පය කුමක්ද යන්න සිතාගත නොහැකි උඹ තෝ කෝටිකයකට මැදිවී සිටි සමාජයට, පසුගිය දෙසැම්බර් 30 වෙනිදා බ්‍රේකින් නිවුස් එකක් ගලා ආවේ, සජබ - එජාප එකතුවක් ගැන සුබවාදී සිහිනය යතාර්ථයක් වන බවට ඉඟි පල කරමින්ය.

WhatsApp Image 2026 01 02 at 2.54.11 PM

 

සජබයේ නායක සජිත් ප්‍රේමදාස සමග සාකච්ජාවට එක්සත් ජාතික පක්ෂයෙන් එක්වුණේ, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම් සහ එජාප උප සභාපති නවීන් දිසානායක ය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ වෙනම කාමරයක මේ වැඩේ සංවිධානය කළේ, තිරය පිටුපස සජිත්ගේ සැලසුම්කරු වන ලක්ෂ්මන් ෆොන්සේකාය.

ලක්ෂ්මන් මේ වැඩේ භාරගෙන තිබුණේ, සජිත් පසුගිය කළමණාකරන කමිටු රැස්වීමේදී සජබ - එජාප දීගයේ වගකීම තමන්ම ඉටුකරන්නම් කියා වගකීම තම හිස මතට ගත් අවස්ථාවට පසු දිනයේමය.

දීර්ඝ සාකච්ජාවට කිහිපයකින් පසු, මේ සිව්දෙනාගේ හමුව 30 වෙනිදා දහවල් 11.30ට යෙදාගෙන තිබුණු අතර, සජිත් ඊට සහභාගී වුණේ, විපක්ෂ නායක කාර්යාලයේ තිබූ තවත් හමුවීම් කිහිපයකින් පසුවය.

ඔහු ටාජ් සමුද්‍රා හෝටලයට යනවිටත්, රුවන්, නවීන්, අකිල තිදෙනාම සජිත්ව බලාපොරොත්තුවෙන් සිටි අතර පැයකට සැලසුම් කර තිබූ සාකච්ජාව පැය 3 කට ආසන්න කාලයක් ඇදී ගොස් තිබුණේ, සියල්ලන්ටම නොදැනීමය.

 

WhatsApp Image 2026 01 02 at 2.52.47 PM

“ මම බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි, ඒ තමයි අවංකවීම, ඔයාලා දන්නවනේ, මම ඔය ඩීල් පොලිටික්ස් වලට කැමති නෑ. කුකුල් මාට්ටු, දිය යටින් ගින්දර ගෙනියන වැඩ, ඒවනම් එපා කියන්න. මේ එකමුතුකම මීට ඉස්සෙල්ලා වෙනවා, ඕවා සිද්ධ වුණේ නැත්නම්. ඔය පරණ දේවල් මතක තියාගෙන පැසව, පැසව ඉන්න මට බෑ. අපි එකතුවෙන්න පුළුවන් විදිහ කතා කරලා, ප්‍රතිපත්ති ටික හදාගමු එච්චරයි. මගේ කාත් එක්කවත් කිසිම තරහක් නෑ” එහෙම කියමින් කතාව ආරම්භ කළේ සජිත්ය.

සජිත්ගේ ඒ වචන ටික දිහා බලාගෙන හිටපු රුවන්…

“ ඇත්ත, අපි එකතුවෙන එක මීට ඉස්සෙල්ලා සිද්ධ වෙනවා, එදා අපි හැමෝම මේකේ බර කරට ගත්තනම්. ඒත් රට පුරා අපේ පාක්ෂිකයෝ වගේම දැන්, දැන් මේ ආණ්ඩුව ගැන කලකිරෙන මිනිස්සු අපේ එකමුතුවක්, ජයග්‍රහණයක් ගැන හීන දකිනවා. මිනිස්සුන්ට දැන් තේරීගෙන යනවා ඇත්ත මොකක්ද? කියලා”

මේ සාකච්ජාවෙන් පසුව දේශපාලන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් පිරිසක් සමග සජිත්ට තවත් සාකච්ජාවක් ලක්ෂ්මන් සූදානම් කර තිබූ අතර, ඊට එක්වන්නට පැමිණි පිරිසකට, සජිත් සහ එජාප ප්‍රධානීන් එකට සිටිනු දැකීම අදහාගත නොහැකි සිදුවීමක්ව තිබුණේය.

“ මචං, මොකක්ද මේ මෙතන වෙන්නේ අන්න මචං, සජිත්, රුවන්, අකිල, නවීන් මොකක් හරි ගේමකට සෙට් වෙනවද කොහෙද?, මචං පට්ට නිවුස් එකක්නේ ඒක”.

එතන සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු ළග සිටි මිතුරන් දෙදෙනෙකුට එලෙස පවසා තිබුණේය.

එජාප නියෝජිතයින් සමග සාකච්ජාව සාර්ථකව අවසන්වීම නිසා සැහැල්ලුවෙන් සිටි සජිත්ට, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී හමුවට පැමිණ සිටි ගම්පහ වරුණ ආරාධනා කර තිබුණේ හැකිනම් පියානෝ වාදනයක සතුට විඳිමුයැයි ඉල්ලමින්ය.

ඒ ඉල්ලීම සිනහවකින් භාරගත් සජිත් කෙටි වේලාවක් පියානෝව වාදනය කරමින්, එහි සිටි සේවකයින්ටද සංගීත ආශ්වාදයක් ලබාදී තිබුණේය.

සජබ - එජාප දීගය ගැන දෙපැත්තේ කතා:

WhatsApp Image 2026 01 02 at 2.53.09 PM
සමගිය සහ සිරිකොත අතර සාකච්ජා සුබවාදී බවත්, අනිවාර්ය ලෙසම පක්ෂ දෙක එක්වන බවත් පහුවදාම මාධ්‍ය හමුවක් තබා මුලින්ම රටට කිව්වේ මරික්කාර්ය.

එදිනම දහවල් ප්‍රකාශයක් දෙන්නට අල්ලස් කොමිසමට ආපු හරීන් ප්‍රනාන්දුගෙන් මාධ්‍ය විමසා තිබුණේ, ඉදිරියේදී සිදුවන එකමුතුවක නායකයා කවුරුන්ද කියාය.

WhatsApp Image 2026 01 02 at 2.53.08 PM 1

“ සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායකයා විදිහට ඇක්ටිව් පොලිටික්ස්වල ඉන්නේ, ඒක නිසා එතුමා ඒකේ නායකත්වය දැරිය යුතුයි කියන එක මගේ අදහස, ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයත් අනුශාසකවරයෙක් විදිහට සම්බන්ධ වෙයි කියලා මගේ අලුත් අවුරුද්දේ බලාපොරොත්තුව” එහෙම කිව්වේ හරීන්ය.

WhatsApp Image 2026 01 02 at 2.53.08 PM

 

මීට අමතරව ජනවාරි 01 වනදා තිබුණු සජබ දෛනික මාධ්‍ය හමුවට වාඩිවූ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරත් පක්ෂ දෙකේ එක්වීම ස්ථිර බවත්, සජිත් භාරගත් වගකීම මැනවිත් ඉටුකරමින් සිටින බවත් කියා තිබුණේය.

නව වසරේ උදෙන්ම රනිල් සජිත්ට දුන් ඇමතුම :

නව වසර උදාවත් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට දුරකථන ඇමතුමක් දී සුබ පැතුම් එක් කළේය.

එහිදී රනිල්ට ද සුබ පැතූ සජිත්, පක්ෂ දෙක එක්වීම ගැන ඉදිරි කටයුතු කඩිනමින් අවසන් කිරීම ගැනත් සාකච්ඡා කර තිබුණේය.

දේශපාලන විචාරකයෝ පවසන්නේ, මෙම සුබ පැතුම නව වසරේ අලුත් ආරම්භයක් වනු ඇති බවය.

කොහේ හිටියත් සජිත්ට අමතක නොවන නොවැම්බර් 11 :

WhatsApp Image 2026 01 02 at 2.54.57 PM
හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොල මහත්මියගේ අවමගුල් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වුණේ 31 හවසය.

විපක්ෂ නායක සජිත්ටත් අවමංගල සභාවේ කතාවක් වෙන්ව තිබූ අතර, ඔහු ලතා වල්පොල එහිදී හැඳින්වූයේ ඔහුට සුපුරුදු
“ ලතා ඇන්ටී” කියාය.

“ මම ලතා ඇන්ටිව අඳුරගත්තේ තාත්තා නිසා, ඇය ගම්උදාව සමග එක්වුණේ රටේ ජනතාව වෙනුවෙන්, ඇයගේ ගීත වගේම ඇයගේ හදවතත් හරි ලස්සනයි, ඇය ළඟ සෘජු ප්‍රතිපත්ති තිබුනා. හැමවිටම කෙළින් කතා කළා. මට සංගීතය ගැන ගුරු හරුකම් පවා ඇය ලබාදී තියෙනවා. මාත් එක්ක තර්ක, විතර්ක කරලා තියෙනවා, මගේ දිනපොතේ හැම අවුරුද්දෙම නොවැම්බර් 11 වනදා වෙන් කරලා තියෙනවා ලතා ඇන්ටි වෙනුවෙන්, මම කොහේ හිටියත් එදාට ඇයව බලන්න එනවා උපන්දිනයට සුබ පතන්න.”

සජිත් මෙලෙස එතැන කළ විනාඩි 6ක කෙටි කතාව කලාකරුවන් රැසකට ලතා වල්පොල සමග වූ මතක යළි ආවර්ජනය කිරීමක් විය.

ලතා වල්පොල මහත්මියගේ දේහය බොරැල්ල කනත්තේ මිහිදන් කිරීමෙන් පසුව සජිත් සමග කතාබහකට එකතුවෙච්ච කලාකරුවන් කිහිපදෙනෙක් කියා තිබුණේ…,

 

Latha Walpola 3 1024x738
“ ලතා ජීවත්ව ඉන්කොටත් ඔබතුමා ඇයට නිසි ගෞරවය දුන්නා, ඇය මිය ගිය පසු මේ මොහොත වනතුරුමත් ඇයගේ අවමගල්‍ය කටයුතුවලට දායකත්වය දුන්න කියලා අපි දන්නවා, ඒකට ඔබට අපි ස්තුති කරන්නම ඕන, නිහඬවම ඒ කටයුතු ඉටුකර තිබුන එකට” කියාය.

නලින්දටත් බෑ :

දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා තත්ත්වයෙන් හානිවූ මහියංගනය මූලික රෝහලට රු ලක්ෂ 46 අධික වටිනාකමින් යුත්  Hemodialysis යන්ත්‍රයක් සහ Bluedot RO පද්ධතියක් සජිත් පසුගිය සතියේ පරිත්‍යාග කළේය.

 

WhatsApp Image 2026 01 02 at 2.55.16 PM
එම අවස්ථාවට ‌‌සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහියංගන රාජමහා විහාරාධිපති අති පූජ්‍ය ආචාර්ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේද වැඩම කර සිටියේය.

එම පරිත්‍යාගයෙන් පසු රෝහල් භූමියෙන් පිටතට එමින් සිටි බදුල්ලේ ලක්ෂ්මන් සෙනෙවිරත්න…,
“ සර්, අන්න සෞඛ්‍ය ඇමති නලින්ද කියලා තියෙනවා සජිත් ජනතාව හමුවෙන්න යනකොට බිස්කට් පැකට් එකක්වත් අරන් යන්නේ නෑ කියලා. සර් ඔය සල්ලිවලින් නලින්ද කියනවා වගේ බිස්කට් අරන් ගියානම් හරි නේ” කියා පුංචි විහිළුවක් කළේය.

ඒ අවස්ථාවේ පූජ්‍ය ආචාර්ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ කියා තිබුණේ, මේවා සමහරු විහිළුවට ගත්තට මේවා මහා උතුම් පිංකම්, මිනිස්සුන්ට ජීවත් වෙන්න හුස්ම දෙනවා කියන්නේ මහා පිංකමක්, ඔය බනින අයට එක රුපියලක් වියදම් කරලා මේ අඩුපාඩු පිරිමහලා දෙන්න බෑනේ”

WhatsApp Image 2026 01 02 at 2.54.37 PM
ඒ අවස්ථාවේ අසල සිටි අයෙක් කීවේ නලින්දටත් බෑ, කියාය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, අරලගංවිල ප්‍රාදේශීය රෝහලටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය යාය 11 ප්‍රාදේශීය රෝහලටත්, කෑගල්ල දිස්ත්‍රීක්කයේ කරවනැල්ල මුලික රෝහලටත් සජිත් හුස්ම අරන් ගොස් තිබුණේ මහියංගනය ගමනට පසුවය.

ආපදා තත්ත්වයෙන් පසු, පහසුම් ඉහළ නැංවිය යුතු රෝහල් 10 කට මේ වනවිට රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමට සජිත් කටයුතු කර ඇත්තේ රටටම අලුත් ආදර්ශයක් සපයමින්ය.

WhatsApp Image 2026 01 02 at 2.55.48 PM

 

සජිත්ගේ මේ හුස්ම වැඩසටහන ගැන පසුගිය අඟහරුවාදා සිරස “සටන” වැඩසටහනේදීත් කතා බහට ලක්වූ අතර සිරසේ මාධ්‍යවේදීන්ද එය ඇගයීමට ලක්කරනු දුටු අයෙක් කියා තිබුණේ, “ අන්න සිරසටත්, ඇත්ත පිළිගන්න වෙලා, සජිත්ට හොඳක් කියනවා දැක්කමයි” කියාය.

(මම | බංගලා හංදියේ ලියුම්කරු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...