The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

සම්මුති විසම්මුති : මෙරට ඉදිරිගාමී දේශපාලන ප්‍රතිසංස්කරණ අවකාශයේ අවසානය | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

January 2, 2026 • 12:16 PM

සම්මුති විසම්මුති : මෙරට ඉදිරිගාමී දේශපාලන ප්‍රතිසංස්කරණ අවකාශයේ අවසානය | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙනෙන විදිහට අප අවතීර්ණ වෙමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ ඉදිරිගාමී සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ අවකාශය අවසානයක් කරා ගමන් කරමින් සිටින කාල වකවානුවකට ය.
  • එය  දිසානායක ආණ්ඩුකරණය අභියෝගයකට මුහුණ පා සිටින බවට ප්‍රබල සංඥාවකි.
  • මෙම පසුගාමී ප්‍රවණතාවය නතර කර දිසානායක පාලනය හරි පාරට ගැනීමට තවමත් ඉඩ ඇත්ද නැද්ද යන්න විවාදාත්මකය.
  • දැන් එළඹ තිබෙන්නේ අශ්වයා පැන යන්නට සූදනම්ව ඇති විට ඉස්තාලය වැසීමට ප්‍රයත්න දැරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉදිරිගාමී යන යෙදුම වාමාශික යනුවෙන් ද  පාවිච්චි වන එකකි.

පසුගිය වසර පුරා ජනාධිපති දිසානායකගේ ආණ්ඩුව සුසමාදර්ශී වෙනසක් ලෙස හඳුන්වා දෙමින් එය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සිදු වූ වැදගත්ම වෙනස ලෙස අගය කළ සමාජ ක්‍රියාකාරීන්ගේ සිට ශ්‍රාස්ත්‍රඥයින් දක්වා වන විවිධ පිරිස් මෑතක දී සිට ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් සහ විරෝධයක් පල කරන්නට පටන් ගෙන තිබේ. එය  දිසානායක ආණ්ඩුකරණය අභියෝගයකට මුහුණ පා සිටින බවට ප්‍රබල සංඥාවකි. මෙම විවේචකයින් අතරට ජාතික ජන බලවේගයට ප්‍රසිද්ධියේ සහාය දුන් සිවිල් සමාජීය පිරිස් ද  දැන් එක් වෙමින් සිටිති.

මෙම පසුගාමී ප්‍රවණතාවය නතර කර දිසානායක පාලනය හරි පාරට ගැනීමට තවමත් ඉඩ ඇත්ද නැද්ද යන්න විවාදාත්මකය. දැන් එළඹ තිබෙන්නේ අශ්වයා පැන යන්නට සූදනම්ව ඇති විට ඉස්තාලය වැසීමට ප්‍රයත්න දැරීමයි. දැන් හෝ එය කළ හැකි නම් හොදය.

 


ආණ්ඩුවට එල්ල වන විවේචන මෑත දී එළිදක්වන ලද ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ නිසාම ඇති වූ එකක් නොවේ.  සමහර විට එය කඩ ඉමක් විය හැකිය.

දිසනායක ආණ්ඩුකරණයෙහි පල්ලම් බැසීම පෙන්නුම් කරන ප්‍රබල  සාධක ගණනාවක්ම පසුගිය කාලය පුරාම දක්නට ලැබුණි. එකල බොහෝ අය නිහඬව සිටියහ. එම කාරණයට පසුව එමි.

මෙරට ඇති වූ විශාලතම සාමකාමී මහජන නැගිටීම වූ ‘අරගලය’ අපේක්ෂා කළ ක්‍රම වෙනස යනු  දක්ෂිණාංශික මාවතක් නොව ඉදිරිගාමී සහ ප්‍රගතිශීලී මාවතකි.

1W0A1161 1200x550

ජාතික ජන බලවේගය සියයට තුනේ සිට පනහ දක්වා ඉහළ නැගුණේ  අනුර කුමාර දිසානායකගේ වාග් චාතූර්ය නිසා නොවේ. ‘අරගලය’ විසින් ජනිත කරවන ලද සමාජ දේශපාලන සුළි කුණාටුව නිසාය. අද ආණ්ඩුවේ ප්‍රධාන දුබලතාව පැන නගින්නේ එතැනිනි. එනම් තමන් බලයට පත් වූයේ ක්‍රම වෙනසක් පැතූ සමාජ බලවේග නිසාය යන සත්‍යය වෙනුවට ‘පැලවත්ත’ ආදේශ කර ගෙන ඇති නිසාය.

‘පැලවත්ත’ යනු වත්මන්  සන්දර්භයෙහි මෙරට ඇති බලවත්ම දේශපාලන කේන්ද්‍රය වේ. එය මානව සම්පත් මෙන්ම මූල්‍ය සම්පත්වලින් පොහොසත්ය. භෙෘතික වශයෙන් මෙරට ඇති විශාලතම පක්ෂ කාර්යාලය ද එයයි.  

ජනාධිපති දිසානායකගේ නිවහන ද එයයමය. නමුත් එය පාලනය කරන්නේ ලොකු අයියා වන ටිල්වින් සිල්වා සහ ඔහු යටතේ ඇති බොල්ෂෙවික් පන්නයේ දේශපාලන මණ්ඩලයයි. එහි සාමාජික සාමාජිකාවන් ද ජනපති මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය මෙන් රහසකි. කව්රු කුමක් කීවත් දිසානායකට පැලවත්ත අබිබවා යා නොහැක. ජාතික ජන බලවේගය යනු දැන් පරණ වූ කවරයකි. පොත තේරුම් ගැනීමට නම් පැලවත්ත කියවිය යුතුය. පැලවත්ත පරණ පන්නයේ නිර්ධන පංති ආඥාදායකත්වයක් කෙරෙහි විශ්වාසය තබයි. ක්‍රියාවෙන් නිර්ධන පංතියේ ආධිපත්‍ය යනු පක්ෂයේ ආධිපත්‍යය බව ලොව පුරාම අත්දැකීම් අපට පෙන්වයි.

Tilvin Silva 2024.08.26 1

පැලවත්තේ දේශපාලනය  පක්ෂ කේන්ද්‍රීය එකකි. මහජන කේන්ද්‍රීය එකක් නොවේ. එයට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය අදාළ නැත. එයට නීතියේ පාලනය අදාළ නැත. පැලවත්ත ජවිපෙ මූලස්ථානය වුවද ජාතික ජන බලවේග පුවරුව යටතේ තරඟ කර මැතිවරණ ජය ගත් සියලු දෙනා මත අයෝමය පාලනයක් ගෙන යාමට එයට පුලුවන. ඒ සියලු දෙනාගේ වැටුප් පක්ෂ අරමුදලට ලබා ගන්නේ ඒ අනුවය. ඉන් ඇති වූ කැළැල් මැකීමට පික් අප් රථ දීමට ගොස් සිදු වූයේ ඉඳුරුවේ ආචාරියාට වූ දෙයයි.

ජනාධිපතිවරයාගේ සමීපතම දේශපාලන මිතුරකුව සිටි මාධ්‍යකරුවකු පෙන්වා දී ඇති පරිදි, මංත්‍රීවරයකුට ලබා ගත හැකි පස් දෙනෙකුගේ කාර්ය මණ්ඩලයෙන් තිදෙනෙකු පුරවන්නේ පැලවත්තේ පක්ෂ යාන්ත්‍රණයෙනි. ජාජබ පාලනය කරන බොහෝ පලාත් පාලන ආයතනයන්හි සභාපති හෝ සභාපතිනිය පාලනය කිරීමට වැටුප් ලබන පැලවත්තේ පක්ෂ නියෝජිතයකු පත් කර තිබෙන බව මම පුද්ගලිකව දනිමි.

නීතියේ පාලනය පිහිටුවන බවට හිසේ දෑත් ගසා බලයට පත් ආණ්ඩුවක්, ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩල නාම ලේඛනය සඟවා ගෙන සිටින්නේ කුමන ප්‍රතිපත්තියක් මතද?  ඒ එම පුද්ගලයින් දේශපාලන ඥාති සංග්‍රහය මත බඳවා ගත් පුද්ගලයින් නිසාද?

දිසානායක ආණ්ඩු කරණය, මින් පෙර පැවති ආණ්ඩු තරමටත් වඩා දේශපාලන ඥාති සංග්‍රහයේ යෙදෙන බවට මෙම පත් කිරීම් බිඳ හෙළිය නොහැකි සාක්ෂියකි. මෙය දේශපාලන දූෂණයකි.

එපමණක්ද?

මාස අටක් මුළුල්ලේ විගණකාධිපතිවරයෙක් නැත්තේ දිසානායකගේ සුරතලුන් ඊට පත් කිරීමට දරන ලද උත්සාහයෙන් නිසාය. අවසානයේ දී දිසානායක යෝජනා කළේ  විගණකාධිපති වාර්තා මගින් දිගින් දිගටම මූල්‍ය දූෂණ ඇති ආයතනයක් ලෙස පෙන්වා දෙන ලද යුද හමුදාවේ විගණන නිලධාරියාගේ නමය. කුමන ක්‍රම වෙනසක්ද? කුමන නීතියේ පාලනයක්ද?

 

eewer43444456456 රියර් අද්මිරාල් (වි.) ටෙරන්ස් සුන්දරම් - මේජර් ජෙනරාල් (වි.) පාලිත ප්‍රනාන්දු

දිසානායකගේ පත්කිරීම් අතර දේශපාලන සංග්‍රහය මුල් බැස තිබේ. ඔහු හානි පූර්ණ කාර්යාලය පත් කළ හතර දෙනාගෙන් දෙනෙක්ම මිලිටරි පසුබිමකිනි. එහි තවත් සාමජිකයකු යුද හමුදාවෙනි.විශේෂයෙන් යුද්ධ කාලීන වින්දිතයිනට හානිපූර්ණය සළකන ආයතනයක කමිටුවෙහි පස් දෙනාගෙන් තිදෙනෙකු යුද්ධ හමුදාවන්ගෙන් වීම සාධාරණ කරන්නේ කුමන ක්‍රම වෙනසක් අනුවද?

තොරතුරු කොමිසමට අවශ්‍ය කාර්ය මණ්ඩල නොදෙන්නේ, මාස අටක් එම ඉල්ලීම සඟවන ලද්දේ සහ ඊට නොගැලපෙන සභාපතිවරයකු පත් කරන ලද්දේ එය අඩපණ කිරීමටය. අල්ලස් සහ දූෂණ කොමිසමටත් ලබා ඇත්තේ එම දසාවමය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු හදිසි නීති පාලනයක් ප්‍රකාශ කරන ලද්දේ නිසි ලෙස නොවේ. එය සංසෝධනය කරන ලෙස මානව හිමිකම් කොමිසම කල ඉල්ලීම  ජනාධිපති කාර්යාලයේ කුණූ කූඩයේය. දිට්වා සුළි සුළගින් පසු පිහිටුවන ලද ‘රි බිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල කුමන නීතියක් යටතේ පිහිටුවන ලද දැයි දැන ගන්නට නැත. එහි පිටු බලය විධායක ජනපතිගේ බල පරාක්‍රමය පමණය.

බලය ලබා ගැනීමට ජනපති දිසානායක යොදා ගත් ප්‍රධාන දේශපාලන මෙවලම නම් නීතියේ පාලනය නැත්නම්  ආධිපත්‍ය යළි පිහිටුවීමයි. නීතියේ ආධිපත්‍යය යන්නෙන් අදහස් වන්නේ රාජ්‍යයේ බලය දරන අය ඇතුළු සියලු දෙනාම නීතියට යටත් වීම සහ නීතිය සියලු පුරවැසියන්ට සමාන ලෙස, සාධාරණව හා පැහැදිලිව ක්‍රියාත්මක වීමයි. එය පුද්ගල බලය හෝ අභිමත තීරණ මත නොව, නීතිය මත පදනම් වූ පාලනයක් ඇති වීම තහවුරු කරයි.

 

ASP Wootler

දැන් සිදු වන්නේ පාලක දේශපාලනඥයින් ආරක්ෂා කරමින් පොලිස් නිලධාරීන් පවා සිර ගත කිරීමකි. පොලිස් ප්‍රකාශක රූපවාහිනී ආයතන තහනම් කරන සේ තමන්ට නැති බලයක් ආරෑඩ කර ගනී. විපක්ෂ දේශපාලනඥයින් ඝාතනය වූ වහාම පොලිසිය ඔවුන් මත් ද්‍රව්‍ය හා පතාලයට සම්බන්ධ කරයි. දේශබන්දු කාලයේ මෙන් අද පොලිසිය ද බොරු පුවත් වපුරයි.

මෙරට නීතියේ වත්මන් ආධිපත්‍ය කොතෙක්ද යත් ත්‍රීරෝද මාෆියාව සංචාරකයින් ගසා කෑමට අවස්ථාව ඉල්ලා ප්‍රසිද්ධියේ පෙළපාලි යති. මෙරට තමන්ගේ නීති ඇත්තේ පුද්ගලික බස්  ජාවාරමෙහි පමණක් නොවේ. ත්‍රි රෝද මාෆියාවද පවත්වා ගෙන යන්නේ තමන්ගේ නීතිය. ආණ්ඩුව කට අරින්නේ නැත.

පුද්ගලික ව්‍යාපාරයන්ට නිදහස දිය යුතු බව කියන මෙරට දක්ෂිණාංශික දේශපාලනය එම ජාවාරම් දෙකම විධිමත් කිරීමට කවර විටකවත් පිියවරක් ගත්තේ නැත. වසරක් ගෙවී ගිය තැන අද දිසානායක ගමන් කරන්නේ ද එම පාරේමය. පළමුව පෙට්ටි වෑන් වලටද පසුව තනි තින බස් හිමියන්ටද මෙරට පොදු ප්‍රවාහණය බාර දුන්නේ මෙරට දක්ෂිණාංශයේ මහ රජු වන ජේ.ආර්. ජයවර්ධනය.

 

48371387 10218627499067204 2245764761864110080 o e1546196535341
1978 ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් කාර්ය බහුල ජනාධිපති පද්ධතිය, කාලයත් සමඟ පාර්ලිමේන්තුව දුර්වල කරමින්, පාලන බලය එක් පුද්ගලයකු හෝ සීමිත කණ්ඩායමක් අතට එක්රැස් වීමට හේතු වූ බව ඉදිරිගාමී දේශපාලන චින්තනයේ ප්‍රධාන විවේචනයක් විය. එවැනි බල මධ්‍යගත කිරීමක් දූෂණයට, බල අපයෝජනයට සහ රාජ්‍ය ආයතන දුර්වල වීමට මඟ පෑදූ බව ද අපි දනිමු.

නමුත් අද ජාතික ජන බලවේගය සමස්තයක් ලෙසම රඳා පවතින්නේ එම විධායක බලය මතය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට අගමැතිනිය මෑතදී ප්‍රකාශයක් කළේය. අඩුම වශයෙන් නව ව්‍යවස්ථාවක් සකස් කර ගෙන ඒමට දෙවසරක් වත් ගත වන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ අදහසය. ත්‍රස්ත පනත විස්ථාපනය කිරීමට ගෙන ආ පනත දෙස බලන විට පැලවත්තේ නව ව්‍යවස්ථාව ගැන සිතා ගැනීමට අමාරු නැත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය වාර්ගික සහ ප්‍රාදේශීය ගැටළු වලින් වෙන් කර බැලිය නොහැකි බවද (වාමාංශික) ප්‍රගතිශීලී අදහසයි. දිගු කාලයක් පුරා පැවති මධ්‍යගත සහ සන්නද්ධ රාජ්‍ය පද්ධතිය, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සුළුතර ප්‍රජාවන්ගේ දේශපාලන ගැට‍ළු විසඳීමට අසමත් වූ බව මුල සිට කීවේ වාමාංශිකයින්ය. දිසානායක ආණ්ඩුුකරණය බලය බෙදා හැරීමට විරුද්ධ බව ප්‍රසිද්ධ රහසකි. පළාත් සභා මැතිවරණය කල් දමන්නේ ද එනිසාය. එයට වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් නැත.

ජාතික ජන බලවේගය ඉදිරියට යන්නේ අද පවතින අන්දමට  නම් එළඹෙන කිසිදු මැතිවරණයක දී බහුතර බලයක් ලබා ගැනීම ඉතා දුෂ්කර වනු ඇත. එවැනි ලකුණූ පෙ‍ෙනන ආණ්ඩුවක් නව ව්‍යවස්ථාවක් තබා ත්‍රී රෝද නියාමකයකට යෑමටත් බියවනු ඇත. ඉදිරිගාමී ක්‍රම වෙනසක් ඇති කිරීමට නම් දිසානායක තන්ත්‍රය අලුතෙන් පටන් ගත යුතු වන්නේ එනිසාය.

පසු සටහන: ආණ්ඩුවේ නව ත්‍රස්ත පනත සම්මත වුවහොත් මේ ලිපිය නිසා මට 15වසරක දඬුවමක් පැනවිය හැකිය.!

sunanda deshapriya 1(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...