එසේ තිබියදී දැන් තවත් ගැටලුවක් පැන නැගී තිබේ.ඒ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ ඉංග්‍රීසි පෙළ පොතක පාඩමකින් වාර්ගික ඒකාකෘතිකරණයක් සිදුවන බවට චෝදනා එල්ලවීමෙනි. මෙම ගැටලුව මතුකරනු ලැබ ඇත්තේ සිංහල ජාතිකවාදී ධාරාවේ ප්‍රකට මතධාරියකු වන තමලු මලිත්ත පියදිගම විසිනි.

Global studies මැයෙන් වූ මෙම පාඩම යටතේ නයිජීරියාව, ඕස්ට්‍රේලියාව හා ජපානය නියෝජනය කරන දරුවන් තිදෙනෙකුගේ ජීවන අත්දැකීම් සංග්‍රහ කර ඇත. ලොව පුරා ජීවත් වන මිනිසුන්ගේ විවිධ ජීවන රටා හඳුනාගෙන ඒවා සසඳා බලා ජීවන රටාවල අනන්‍යතා අගය කිරීම එම පාඩමේ අරමුණක් සේ දක්වා තිබේ. ' The beauty of the world lies in the diversity of its people ' හෙවත් ලෝකයේ සුන්දරත්වය එහි ජනතාවගේ විවිධත්වය මත පවතී යනුවෙන් මෙම පාඩම ආරම්භවේ. එහි විවාදයට ලක්ව ඇති ප්‍රධාන කරුණක් වන්නේ 'බරාසා' නැමැති දරුවාගේ කතාවයි.
විවාදයට තුඩු දුන් බරාසා කවුද?

ඉංග්‍රීසියෙන් දැක්වෙන බර අසාගේ කතාව කෙටියෙන් මෙසේය.
"මගේ නම බරාසා. මම ඉන්නේ නයිජීරියාවේ. මම, මගේ පියා, මව, සහෝදරයන් දෙදෙනා හා සහෝදරියන් දෙදෙනා සමග ජීවත් වෙනවා. අප සිටින්නේ විදුලි බලය නැති එක් කාමරයක් පමණක් ඇති නිවසකයි. මගේ ආච්චි හා සීයා අසලම ජීවත් වෙනවා. මගේ මවට මන්දාසී පිසීම සඳහා මම උදේම අවදි වී දර සොයා දෙනවා. මන්දාසි ඉතාම රසයි. මම ඒවාට කැමතියි "
මෙම කතාව හරහා අප්‍රිකානු දරුවන් සම්බන්ධයෙන් ඒකාකෘතිකරණයක් සිදුවන බව මතුව ඇති චෝදනාවයි. ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා වර්ගවාදය ප්‍රවර්ධනය කරන බවට ඔවුහු චෝදනා කරති. Facebook සටහනක් තබා ඇති සමිල ද සිල්වාගේ විවේචනය ඊට උදාහරණයකි.

ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය ප්‍රතික්ෂේප කරන වර්තමාන "පුනරුද ආණ්ඩුව" නව විෂය නිර්දේශය හරහා " වර්ගවාදය" ප්‍රවර්ධනය කරන අයුරු හා එයට විද්‍යාත්මක විවේචනයක්!' මැයෙන් වූ ඔහුගේ සටහනෙහි උද්ධෘත කීපයක් මෙසේය.
"අද වන විට විද්‍යාත්මක ලෝකය පිළිගන්නා සත්‍යය නම්, මිනිසා විවිධ වර්ගවල එකතුවක් නොව තනි මානව සංහතියක් බවයි. මෙහි ඉදිරිපත් කර ඇති නව විෂය නිර්දේශයේ ඇතුලත් කර ඇති පිටුවල දැක්වෙන වර්ගීකරණයන් වර්තමානය වන විට විද්‍යාත්මක පදනමක් නොමැති, ඉතිහාසයට පමණක් සීමා වූ යල් පැන ගිය මතයන් වේ.
පාසල් පෙළපොත්වල තවමත් මෙම කරුණු අඩංගු වන්නේ නම්, එමඟින් සිදු වන්නේ නව පරපුර වෙත විද්‍යාත්මකව සාවද්‍ය සහ සමාජයීය වශයෙන් හානිකර විය හැකි පණිවිඩයක් ලබා දීමයි. එබැවින් මෙම ඉගැන්වීම්වල ඓතිහාසික පසුබිම සහ ඒවා බැහැර කිරීමට හේතු වූ කරුණු නිවැරදිව වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ.
නයිජීරියාවේ දරිද්‍රතාව ගැන යුනිසෙෆ් දත්ත
"1750 දශකයේ කාල් ලිනේයස් වැනි විද්‍යාඥයන්ගේ සිට 19 වන සියවසේ මානව විද්‍යාඥයන් දක්වා පිරිසක් මිනිසාගේ බාහිර ලක්ෂණ මත පදනම්ව මෙම බෙදීම් ඉදිරිපත් කළහ. කෙසේ වෙතත්, දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව, එනම් 1950 දශකයේ සිට යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ මැදිහත් වීමෙන් මෙම "ජාති (Race)" යන සංකල්පය විද්‍යාත්මක ලෝකයෙන් ක්‍රමයෙන් බැහැර කිරීම ආරම්භ විය."
මෙම විවේචනය වඩාත් තීව්‍ර වී ඇත්තේ හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ කරූ පරණවිතාන හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් ද එයට පක්ෂව කරුණු දැක්වීමෙනි. කරු පරණවිතාන එය විග්‍රහ කරතිබුණේ " වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් ඔළුවට කඩා වැටෙන තවත් මරාලයක්" හැටියටය.
ජෙෂ්ඨ කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ගමන් මගට මතවාදීව විවේචනාත්මකව සහාය දක්වන්නෙකි. ඔහු ඒ ගැන දරන්නේ මෙවැනි අදහසකි.
ආචාරධර්මවලට මුළුමනින් පටහැනියි: අනුරුද්ධ ප්‍රදීප් 
"මේ පොතත් වහාම යළි කැඳවන්න ඕනේ. විසි එක්වෙනි සියවසට දරුවෝ පුහුණු කරන්න හදන කට්ටියට අඩුම තරමේ විසි වන සියවසේ අගභාගයේ වර්ධනය වුනු මූලික ආචාර ධර්ම ගැනවත් අදහසක් නැහැ.
මේ විදිහට ස්ටීරියෝ ටයිප් කරලා අප්‍රිකාව සහ බටහිර ගැන දැන් කතා කරන්නේ නැහැ දෙයියනේ. සමහර වෙලාවල් වලට බාහිර සමාජයේ සමහර තැන්වල එහෙම කතා කළත්, කවදාවත් පාසල් අධ්‍යාපනය තුළ මේ විදියට රටවල් හෝ ජන වර්ග හඳුන්වා දෙන්නේ නැහැ. මේක යථාර්ථයටත්, ආචාර ධර්මවලටත් කියන දෙකටම පටහැනියි.
නයිජීරියාවේ ළමයා ජීවත් වෙන්නේ තවත් සහෝදර සහෝදරියෝ හතර දෙනෙක් සහ අම්මයි තාත්තයි එක්ක තනිකාමරයක, එයා උදේ නැගිටලා දර කඩන්න යන්න ඕනේ, ඔස්ට්‍රේලියාවේ ළමයා ජීවත් වෙන්නේ සුරංගනා ලෝකයක සුරදූතයෙක් විදියට වගේ කතා ලියපු අයට ඉස්සෙල්ලම මූලික අධ්‍යාපනය දෙන්න ඕනේ.
මේ වගේ මුග්ධ, ගල් යුගයේ අදහස් අපේ අනාගත පරපුරේ ඔලුවලට ගිල්ලවන එකද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් කරන්න යන්නේ?
අර පොත වගේම මේ පොතත් වහාම පරිහරණයෙන් ඉවත් කළ යුතුයි. විසි එක් වන සියවසක් ගැන කතා කළාට මේවා හදන අයගේ දැනුම තියෙන්නේ හැත්තෑව දශකයේ. මරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මේක."
විවේචකයෝත් ඒකාකෘතිකයි : ත්‍යාගරාජා වරදාස්
කෙසේ වෙතත් කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යනාංශයේ හිටපු කතිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් මේ සම්බන්ධයෙන් මතුකරන්නේ වෙනස් තර්කයකි. ඔහු පවසන්නේ අදාල පාඩම විවේචනය කරන්නන්ද රාමුගතව සිටින්නේ තවත් ඒකාකෘතියක් තුළ බවය.
කරූ පරණවිතාන නියෝජනය කරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සමලිංගිකත්වයේ රෝගයක් සේ සැලකීම ගැන පරණවිතානගේ අදහස කුමක්දැයි ඔහු විමසා සිටි. අසල්වැසි ඉන්දියාවේ හතරවැනි ශ්‍රේණියේ පාඩමකට පවුල ගැන උගන්වද්දී සාම්ප්‍රදායික පවුලෙන් ඔබ්බට ගොස් පියවරුන් දෙදෙනකු සිටින පවුල් හා මව්වරුන් දෙදෙනකු සිටින පවුල් ගැන සඳහන් කර ඇති බව වරදාස් පවසයි. ඔහුගේ අදහස මෙසේය.
"මමත් කැමති ටිකක් අනුරුද්ධලා පරණවිතානලා වගේ උදවිය ගේන මේ ඒකාකෘතිවලට එරෙහි ඒ වගේම විසි එක්වන සියවසේ මූලික ශිෂ්ටසම්පන්න කරුණු ගැන පොඩ්ඩක් කතා කරන්න.
මේ උදවිය කියන හැටියට අප්‍රිකාව ඒ වගේම ඕස්ට්‍රේලියාව වගේ රටවල් හදුන්වා දෙනකොට ළමයින්ට ඔය පරණ විදිහට ඒකාකෘතී උගන්වන්න හොඳ නැහැ. මං එකඟයි. ඒ වගේම මේ අයගෙන් දැන ගන්න කැමැති එහෙම ඒකාකෘතී නැතුව මේක උගන්වන්නේ කොහොමද කියලත් මේ උදවිය කියලා දානවා නම්. එතකොට වත් බැරිය ඔය ජාතික අධ්‍යාපන ආයතනය අරක් ගෙන ඉන්න ප්‍රාමාණික යයි කියා ගන්න උගත්තු ටිකට පොඩි මග පෙන්වීමක් හරි දෙන්න...
මේ දෙපළගෙන් මන් අහන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකාකෘති ගැන විරුද්ධ වෙලා ළමයින්ට දේවල් ගැන පුළුල්ව හිතන්න ලෝකයේ තියෙන විවිධත්වය ගැන සිලබස් හදන්න ඕනා කියන කොට පවුල ගැනත් අපි උගන්වන්නේ ස්ටීරියෝ ටයිප් කරපු ඒවා නෙමෙයි ද? ලෝකේ පවුල් කියන්නේ අම්මයි තාත්තයි දෙන්න ඉන්න ඒවා විතරක් ද? නැහැ නේ...බලන්න මේ අල්ලපු රටේ ඉන්දියාවේ 4වන පන්තියට පවුල ගැන දාලා තියෙන සිලබස් එක. මේක නෙමෙයි ද ලංකාවේ ළමයින්ටත් අපි කියලා දෙන්නා ඕන එහෙනම්?
ඉන්දීය පාසල් පොතේ පවුල් පාඩම
ඔට්ටුයි මේ එකෙක්ටවත් කොන්දක් නැහැ ඔය ඒකාකෘති කියලා කෑ ගැහුවට පවුල ගැන එනකොට ඒකෙන් මිදෙන්න ඕන කියලා කියන්න. මොකද ඔගොල්ලන්ගේ ඔය විවේචනය තියෙන්නේම ඒකාකෘතී එකක් ඇතුලේ... ඒ තමයි ජාතිවාදී රාමුව කියන එක. කරු කොච්චර කෑ ගැහුවත් වැඩක් නැහැ එයාගේ පක්ෂේ ඉන්නේ අර දොස්තර කාවින්ද ජයවර්ධන තාම මාකට් කරන්නේ සමලිංගිකත්වය ලෙඩක් කියලා නේ ඉතින්. නරක ද පොඩ්ඩක් එක දිහා බැලුවොත්..."
ඒ අනුව පොදුවේ මෙකී සාකච්ඡාවෙන් මතුවන කරුණ වන්නේ 'Race' යන සංකල්පය නව විෂය නිර්දේශය තුළ කෙසේ පෙනී යයිද යන්නයි. විශේෂයෙන්ම මිනිසාගේ විවිධත්වය ගෝලීය අධ්‍යාපන ප්‍රවණතාවයට නොගැළපෙන ආකාරයකින් නිරූපණය වීමේ අවදානමක් පවතින බව එයින් අවධාරණයවේ.
එකී සංකල්ප සම්පූර්ණයෙන්ම ඉතිහාසීය සහ විවේචනාත්මක සන්දර්භයකින් තොරව ඉදිරිපත් කරන්නේ නම්, එය විද්‍යාත්මකව යල්පැන ගිය දෘෂ්ටියක් නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමක් බව එයින් නොකියා කියයි.
මේ චෝදනාවත් ජාතික අධ්‍යාපන ආයතනයටද?

නව අධ්‍යාපන ප්‍රතිංස්කරණය යටතේ නිකුත් කර තිබෙන English Language First Term Module Grade 6 මොඩියුලයේ, සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නාමයක් සඳහන් වීම සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පසුගිය දෙසැම්බර් 31 වැනිදාය.
මෙම වාර්ගික ඒකාකෘතිකරණ ප්‍රශ්නය පැන නගින්නේ ඉන්පසුවය. රජයේ පාර්ශ්වය මේ තවත් ගැටළුවක් ලෙස බාරගන්නේද යන්නට තවම පිළිතුරක් දී නැත.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




