The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

මදුරෝ ඇල්ලුවේ ඇතුළේම ඔත්තුවකින්

T

The Leader Desk

January 5, 2026 • 8:39 AM

මදුරෝ ඇල්ලුවේ ඇතුළේම ඔත්තුවකින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකානු හමුදා වෙනිසියුලාව වෙත ප්‍රහාරයක් එල්ල කිරීමත්, එරට ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගෙන ඇමරිකාවට රැගෙන ඒමත් ඊයේ ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රය තුළ විශාල කැලඹීමක්, කම්පනයක් ඇති කළ සිදුවීමක් විය.
  • පැය දෙකහමාරක් තරම් කාලයක් පුරා මෙහෙයුම දියත් වූ බව සඳහන් වේ.
  • වෙනිසියුලාවේ අගනුවර වන කරාකස් නගරයේ පිපිරුම් හඬ ඇසුණු බවත්, දුම් රොටු අහසට නගිනු දක්නට ලැබුණු බවත් මාධ්‍ය සඳහන් කර තිබිණි.
  • ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ කරාකස් හි පිපිරුම් හතක් පමණ ඇසුණු බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


මාධ්‍ය වාර්තාවල දැක්වුණු ආකාරයට වෙනිසියුලාව වෙත ප්‍රහාරය එල්ල කර තිබුණේ එරට වේලාවෙන් සෙනසුරාදා අලුයම 2 ට පමණ ය. පැය දෙකහමාරක් තරම් කාලයක් පුරා මෙහෙයුම දියත් වූ බව සඳහන් වේ. වෙනිසියුලාවේ අගනුවර වන කරාකස් නගරයේ පිපිරුම් හඬ ඇසුණු බවත්, දුම් රොටු අහසට නගිනු දක්නට ලැබුණු බවත් මාධ්‍ය සඳහන් කර තිබිණි. ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ කරාකස් හි පිපිරුම් හතක් පමණ ඇසුණු බව යි. එමෙන්ම ගුවන් යානයක් ඉතා පහතින් ගමන් කරනු ඇසුණු බව නගරවාසීන් ප්‍රකාශ කර තිබිණි.

 



ඇතැම් හමුදා කඳවුරුවලට ද ප්‍රහාර එල්ල වී තිබූ බව වාර්තා විය.

මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝර්ස් අල්ලා ගන්නා ලද්දේ බලකොටුවක් හා සමාන නිවසක සිටියදී බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනු දැකිය හැකි විය. ඉන්පසු ඔවුන් හෙලිකොප්ටරයකින් ඇමරිකානු යුද නැවක් වෙත ගෙනැවිත් තිබූ අතර පසුව ගුවන් යානයකින් නිව්යෝක් නුවර වෙත රැගෙන විත් තිබිණි. මේ වනවිට ඔවුන් බෲක්ලින් හි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින බව වාර්තා වේ.

මදුරෝ සහ ෆ්ලෝර්ස් අල්ලා ගැනීමේ මෙහෙයුම සැලසුම් කර තිබුණේ මාස ගණනක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද රහස් ඔත්තු බැලීමකින් අනතුරුව ය. වෙනිසියුලාව තුළ රැඳී සිටි රහස් ඔත්තු නිලධාරීන් කණ්ඩායමක් මදුරෝ සම්බන්ධ සෑම දෙයක් ගැනම දැඩි විමසිල්ලෙන් සිට ඇති බව සඳහන් ය. ඔහුගේ ආණ්ඩුවේ කෙනකු ද මෙම කණ්ඩායමට ඇතුළත් වූ බව වාර්තා වේ.

මදුරෝ ගේ ගමන් බිමන් ගැන, ඔහු රාත්‍රිය ගත කරන තැන් ගැන, ඔහු කන බොන දේ ගැන, ඇඳුම් පැලඳුම් ගැන පමණක් නොව ඔහුගේ සුරතල් සතුන් ගැන පවා ඔවුන් දැඩි විමසිල්ලෙන් සිට ඇත.

මදුරෝ අල්ලා ගැනීමේ මෙහෙයුම සඳහා සහභාගි වූ හමුදාවේ කණ්ඩායම ද ඇමරිකාව තුළ මාස ගණනක් තිස්සේ පුහුණුවීම්වල නියැලී තිබිණි. කරාකස් නගරයේ මදුරෝ රැඳී සිටි ආරක්ෂිත නිවසක විශාල ප්‍රමාණයේ ආකෘතියක් ද මෙම පුහුණුවීම් සඳහා යොදා ගැණුනු බව පැවැසේ.

මෙය සැලකෙන්නේ මෑත ලෝක ඉතිහාසයේ කිසි දිනෙක ක්‍රියාත්මක නොකෙරුණු ආකාරයේ අසාමාන්‍ය මෙහෙයුමක් ලෙසිනි.

 


ට්‍රම්ප් ෆ්ලොරීඩා හි පිහිටි ඔහුගේ මාර්-අ-ලාගෝ නිවහනේ සිට වෙනිසියුලා මෙහෙයුම නරඹා තිබිණි. සී.අයි.ඒ ආයතනයේ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැනි අය ද ඔහු සමග සිටි බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඇමරිකාව තුළදී මදුරෝට එරෙහිව නඩු පැවරෙනු ඇති බව ඇමරිකානු නීතිපතිනි පෑම් බොන්ඩි සඳහන් කර තිබේ. ඔහුට එරෙහිව ප්‍රධාන වශයෙන්ම එල්ල වන්නේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය පිළිබඳ චෝදනා ය. ඇමරිකාවට මත් ද්‍රව්‍ය එවන ජාලයකට මදුරෝ සම්බන්ධ බව දැන් ටික කලෙක සිට ඇමරිකාව කරමින් සිටින චෝදනාවකි. එමෙන්ම මදුරෝ යම් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධ බවට ද ට්‍රම්ප් චෝදනා කර තිබිණි.

 

මෙම චෝදනාවලට අමතරව යම් යම් අවි ආයුධ සන්තකයේ තබා ගැනීම සම්බන්ධ චෝදනා ද වෙනිසියුලා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබේ.

ඇමරිකාව වෙනිසියුලාව ආක්‍රමණය කිරීමටත්, එහි රෙජීම වෙනසක් සිදු කිරීමටත් සූදානම් වන බවට ප්‍රබල සැකයක් මාස කිහිපයක සිටම බොහෝ පාර්ශ්ව තුළ මතුවෙමින් තිබෙනු දැකිය හැකි විය.

මෙම සැක සංකා උත්සන්න වන්නට පටන්ගත්තේ වෙනිසියුලාව ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඇතැම් බෝට්ටු ඉලක්ක කර ඇමරිකානු හමුදා ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමත් සමග ය. පසුගිය සැප්තැම්බර් මාසයේ සිටම වාගේ මෙවැනි ප්‍රහාර එල්ල වෙමින් තිබිණි. ඇමරිකාව ප්‍රකාශ කළේ මෙම බෝට්ටු ඇමරිකාව වෙත මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ බව යි. මෙවැනි බෝට්ටු 35 කට පමණ ප්‍රහාර එල්ල වූ බවත්, මෙම ප්‍රහාරවලින් 115 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වූ බවත් වාර්තා විය.

 

එමෙන්ම ඇමරිකාව වෙනිසියුලාව ආසන්න කලාපයේ හමුදා තරකරමින් සිටින ආකාරයක් ද දැක ගන්නට ලැබිණි. විශාලතම යුද නෞකා සහ න්‍යෂ්ටික සබ්මැරීන ආදිය පවා ඒ කලාපයේ ස්ථානගත කිරීමට ඇමරිකාව පියවර ගත්තේය.

මේ සියලු මෙහෙයුම් මත් ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සිදු කළ මෙහෙයුම් බවක් පෙන්වීමටත් ඇමරිකාව කටයුතු කළේය.

නමුත් මේ සියල්ල පිටුපස තිබූ සැබෑ අරමුණ වෙනිසියුලාව ආක්‍රමණය කර එහි රෙජීම වෙනසක් කිරීම බව බොහෝ පාර්ශ්වවල අදහස විය.

කාලයක සිටම වෙනිසියුලාව පාලනය කරන්නේ දැඩි ඇමරිකානු විරෝධී නායකයන් ය. සමාජවාදීන් ලෙස සැලකෙන හිටපු ජනාධිපති හියුගෝ චාවේස් මෙන්ම නිකලස් මදුරෝ ද ඊට නිදසුන් වේ. මේ නිසා මෙම කලාපය තුළ ඇමරිකාවේ වුවමනාවන් සහ වෙනිසියුලාවේ ක්‍රියාකලාපය අතර නිතර ආතතියක්, ගැටුමක් දැකිය හැකි විය.

AP25355780619234

වෙනිසියුලාව යනු තෙල් සම්පත් විශාල වශයෙන් පවතින රටක් බව ද මෙහිදී අමතක කළ නොහැකි කාරණයකි. ලෝකයේ ලොකුම තෙල් නිධිය අයත් වන්නේ ද වෙනිසියුලාවට යි. වෙනිසියුලාව තුළ ඇමරිකානු විරෝධී පාලනයක් පැවැතීම නිසා මෙම තෙල් සම්පතෙන් වාසි ලබා ගැනීම ද ඇමරිකාවට අපහසු ය. මෙම තත්ත්වයන් තුළ වෙනිසියුලාවේ ඇමරිකානු හිතවාදී පාලනයක් ඇති කර ගැනීමේ වුවමනාව කාලයක සිටම ඇමරිකාවට තිබිණි.

05 ap24211194608848

 

කෙසේ නමුත් වෙනිසියුලාවේ සිටි ඇමරිකානු හිතවාදී පාර්ශ්වවලට පසුගිය කාලයේ මැතිවරණ තුළින් බලයට ඒමට හැකියාවක් නොවීය. ඒකාධිපති පාලකයකු ලෙස සැලකෙන මදුරෝ නිදහස් සහ සාධාරණ ආකාරයෙන් මැතිවරණ නොපැවැත් වූ බවට ද ප්‍රබල චෝදනා එල්ල විය. ඔහු බලයේ රැඳී සිටින්නේ ජනතා කැමැත්ත අනුව නොව හමුදාව වැනි පාර්ශ්වවල සහයෝගය මත බවට ද අදහස් පළ විය.

අවසන් වරට එරට ජනාධිපතිවරණයක් පැවැත්වුණේ 2024 වසරේ යි. එහි ප්‍රතිඵලය සම්බන්ධයෙන් ද බොහෝ මතභේද ඇති විය. ඇතැම් පාර්ශ්ව පැවැසුවේ එයින් සත්‍ය වශයෙන් ජය ගත්තේ මදුරෝ නොව ඔහුගේ ප්‍රතිවාදියා වූ එඩ්මන්ඩෝ ගොන්සාලේස් බව යි.

ඇමරිකාව දැන් වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කර ජනාධිපති මදුරෝ අල්ලාගෙන ඇමරිකාවට ගෙනැවිත් ඇත්තේ ඉහත කී ආකාරයේ පසුබිමක් තුළ යි.

 

ඩෙල්සි රොඩ්රිගස්
වෙනිසියුලා ව්‍යවස්ථාවට අනුව දැන් එරට වැඩ බලන ජනාධිපතිවරයා වන්නේ උප ජනාධිපතිනිය වූ ඩෙල්සි රොඩ්‍රිගෝස් ය.

කෙසේ නමුත් ට්‍රම්ප් අඟවා ඇත්තේ නිසි ආකාරයෙන් බල මාරුවක් සිදු වන තෙක් ඇමරිකාව වෙනිසියුලාව පාලනය කරනු ඇති බවකි. අවශ්‍ය වුවහොත් නැවත ප්‍රහාරයක් එල්ල කිරීමට වුව ද ඇමරිකාව සූදානමින් සිටින බවක් ට්‍රම්ප් පවසා තිබේ.

නිකලස් මදුරෝට සහය දක්වන පාර්ශ්ව කරාකස් නුවර වීදිවල රැස්ව ඇමරිකාවට එරෙහිව විරෝධතා දක්වන ආකාරය ද දැකගන්නට ලැබිණි.

මදුරෝගේ පාලනය ලෝකයේ බොහෝ රටවල් අනුමත කළේ නැත. නමුත් ඇමරිකාව එරට ආක්‍රමණය කර ඔහු සහ බිරිඳ අල්ලාගෙන යාම ද බොහෝ පාර්ශ්ව අනුමත කරන්නේ නැත.

 



බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා ප්‍රකාශ කර තිබුණේ මෙම මෙහෙයුම සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම හමුවේ බිහිසුණු පූර්වාදර්ශයක් සපයන්නක් බව යි.

මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් ද කැඳවා තිබේ. එය කැඳවා තිබුණේ කොලම්බියාවේ ඉල්ලීම අනුව බව වාර්තා විය. ඊට රුසියාවේ සහ චීනයේ සහය ද ලැබී තිබිණි. මාධ්‍ය වාර්තාවල දැක්වුණේ මෙම රැස්වීම අද (05) පැවැත්වෙනු ඇති බවයි.

(aruna | සමන් සමරක්කොඩි / නිහාල් පීරිස්)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...