The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

අද කාලයේ බහුල වෙඩි තැබීම්වලින් බේරෙන්නට හෙනරාජ තෛලයේ පිහිට?

T

The Leader Desk

January 5, 2026 • 9:04 AM

අද කාලයේ බහුල වෙඩි තැබීම්වලින් බේරෙන්නට හෙනරාජ තෛලයේ පිහිට?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2025 වසර තුළ දිවයින පුරා වෙඩි තැබීම් සිද්ධීන් 114ක් වාර්තා වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 60 දෙනෙකු මියගොස් තවත් 57 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වී තිබේ.
  • නමුත් ආණ්ඩුවේ ඇතැම් වගකිවයුත්තන් ප්‍රකාශ කරනුයේ මෙම වෙඩි තැබීම් බොහොමයක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් විසින් කරන ලද ක්‍රියා බැවින් ඒවායින් ජාතික ආරක්ෂාවට හෝ මහජන ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී නොමැති බවකි.
  • නමුදු එම වෙඩි ප්‍රහාර අප සමාජයේ සිටින අහිංසකයන්ගේ ද ජීවිත බිලිගෙන හෝ ඔවුනට ද බරපතළ තුවාල සිදු කොට ඇති පසුබිමක, ඔවුන්ගේ රැකවරණය සඳහා වගකිව යුතු අංශවල පිහිට වෙනුවට හෙනරාජ තෛලයේ පිහිටවත් ලද නොහැකි දැයි මේ වසර උදාවේ මට නිකමට සිතුණි.
  •   වෙඩි ප්‍රහාරවලින් වැළකී සිටීම පිණිස පළඳින ආරක්ෂිත කබා ආදී මෙවලම් පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු.
අකුරු ප්‍රමාණය (Font Size):


එම වසර අවසන් වීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදීත් දිවයිනේ ප්‍රදේශ දෙකකින් වෙඩි තැබීමේ සිද්ධීන් දෙකක් වාර්තා වූ බව පොලිසිය පවසයි. නමුත් ආණ්ඩුවේ ඇතැම් වගකිවයුත්තන් ප්‍රකාශ කරනුයේ මෙම වෙඩි තැබීම් බොහොමයක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් විසින් කරන ලද ක්‍රියා බැවින් ඒවායින් ජාතික ආරක්ෂාවට හෝ මහජන ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී නොමැති බවකි. නමුදු එම වෙඩි ප්‍රහාර අප සමාජයේ සිටින අහිංසකයන්ගේ ද ජීවිත බිලිගෙන හෝ ඔවුනට ද බරපතළ තුවාල සිදු කොට ඇති පසුබිමක, ඔවුන්ගේ රැකවරණය සඳහා වගකිව යුතු අංශවල පිහිට වෙනුවට හෙනරාජ තෛලයේ පිහිටවත් ලද නොහැකි දැයි මේ වසර උදාවේ මට නිකමට සිතුණි.

 

1531065710 Shoot Jampatarstreet L

වෙඩි ප්‍රහාරවලින් වැළකී සිටීම පිණිස පළඳින ආරක්ෂිත කබා ආදී මෙවලම් පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. නමුත් වෙඩි සහ අකුණුවලින් මුළුමනින්ම ආරක්ෂා වීමට සුරයක බහා ගෙල පළඳින තෙලක් පිළිබඳ බොහෝ දෙනෙකු අසා ඇතුවාට සැක නැත. එම තෙල හැඳින්වෙනුයේ ‘හෙනරාජ තෛලය’ නමිනි. එක්දහස් නවසිය හැත්තෑව දශකයේ පොළොන්නරු ප්‍රදේශය ආශ්‍රිත විවිධ සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සැක කළ එච්.එම්. විජයසුන්දර හෙවත් ‘පොඩි විජේ’ බොහෝ දෙනෙකු හඳුන්වන ලද්දේ වෙඩි නොවදින විස්මිත බලයක් ඇත්තෙකු ලෙස ය. ඊට හේතුව ඔහු නිතරම හෙනරාජ තෛලය සහිත සුරයක් ගෙලෙහි පැළඳ සිටි නිසා බව කියැවෙයි. නමුත් පසුකලෙක ඔහු මරණයට පත්වූයේ ද පොලිස් වෙඩි පහරකට ලක්වීමෙනි. ඒ සම්බන්ධයෙන් පැතිරගිය කටකතාවක් වූයේ පොඩි විජේ කිසියම් කිලි සහිත කාරියකට සම්බන්ධ වීමට එම මහා බලගතු සුරය ගලවා තැබූ අවස්ථාවක, සෝදිසියෙන් සිටි පොලිසිය ඒ මොහොතේ ඔහුට වෙඩි තැබූ බවය. කිලි සහිත කාරිය කාන්තා ඇසුරක් බව එවකට ප්‍රචාරය වුවද එය මුළුමනින්ම පදනම් විරහිත කටකතාවක් විය යුතුය යන්න මගේ පෞද්ගලික විශ්වාසයයි.

sura1

 

නමුත් එම කටකතාවට අනුව පැහැදිලි වෙන්නේ හෙනරාජ තෛලය කෙතරම් බලවත් එකක් වුවද ‘කිල්ල’ නමින් ජනසම්මත තත්ත්වයන් හමුවේ එහි බලය නිෂේධ වන බවකි. මම ඉන්පසු මෙම හෙනරාජ තෛලය පිළිබඳ අප්‍රකට තොරතුරු විමසා දැනගනු පිණිස ඒ සම්බන්ධයෙන් කරුණු දැන සිටි කිහිපදෙනෙකු වෙත ගියෙමි. ප්‍රදේශවාසීන් විපුලසේන නමින් හඳුන්වන ලද ගණේමුල්ලේ, තිබ්බටුගොඩ පියදාස විද්‍යාරත්න මහතා ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී පරපුරක සාමාජිකයෙකි. තම පරපුරේ පැරැන්නන් විසින් පුස්කොළ පොත්වලින් උපුටාගෙන සටහන් කළ පැරණි යන්ත්‍ර මන්ත්‍ර රාශියක් සහිත අභ්‍යාස පොත් ගොන්නක් එවක විපුලසේන අයියා සතුව තිබිණි.

ඊට අඩ සියවසකට හෝ ඊටත් එපිට කාලයක කටු පෑනකින් හෝ තීන්ත පෑනකින් ලියන ලද ඒ සටහන් පසුකලෙක දුර්වර්ණ තත්ත්වයක තිබූ අතර, ඔහු මට එම පොත් පරිශීලනය කිරීමට දීම කාරුණිකව ප්‍රතික්ෂේප කරන ලද්දේ එය තම පරපුරේ ආදිතමයන් එදා මෙදා තුර තරයේම ආරක්ෂා කළ සම්ප්‍රදායක් බව පවසමිනි. එහෙත් හෙනරාජ තෛලය ජීවම් කිරීමේ මන්ත්‍රය හැරුණුකොට සෙසු කරුණු පැවසිය හැකි බව කී ඔහු, නැවත දිනයෙක පැමිණ හමුවන මෙන් ඉල්ලා සිටි අතර මම මහත් කැමැත්තෙන් ඊට එකඟ වීමි.

 

468182977 612679357878051 6344630664400334297 n
“ඔය හෙනරාජ තෛලය හිඳලා ජීවම් කරනවාය කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඕක හිඳින ක්‍රම කීපයක්ම තියෙනවා. අපේ පරම්පරාවේ මන්තර පොත්වල තියෙන්නේ මෙන්න මෙහෙමයි.” විපුලසේන අයියා තම කතාව ඇරඹීය.

ඔහු කී පරිදි ඒ සඳහා රන් තැඹිලි ගසකින් ලබාගන්නා නෑඹුල් පලය ආරක්ෂිතව නෙළාගෙන, ජ්‍යෝතිෂයේ ඒ සඳහා සුදුසු බව හැඟවෙන නැකතක් මුල්කොට එය වියළා තෙල් සිඳගත යුතුය. පසුව එම රන් තැඹිලි තෙල් හෙනරාජ තෛලය ජීවම් කරන මන්ත්‍රයෙන් ලක්ෂ වාරයක් ජීවම් කරගත යුත්තේ දහසකුත් බාධා අභිබවමිනි. එම මන්ත්‍රය ජීවම් කරන අතරේ එය ඇසෙන මානයක කෑරලකුගේ හෝ කණකොකෙකුගේ හැඬීමක් සුනඛ උඩුබිරුමක් සිදු වුවහොත් එම ජීවමේ බලය මුළුමනින්ම සිඳී බිඳී යයි. ඒ අතරවාරයේ මරණයක් සිදුවීම සේම මාස් ශුද්ධිය සිදුවන කාන්තාවක් හෝ කොටහළු වූ හෙවත් අලුත වැඩිවිය පත්වූ දැරියක ඒ අහලින් පහලින් ගියද ජීවම මුළුමනින්ම බල රහිත වේ. එමෙන්ම එම ජීවම සිදු කරන්නා මස්, මාළු, කරවල, උම්බලකඩ ආදී මාංසමය ආහාරයන්ගෙන් මෙන්ම පුහුල් වැනි ඇතැම් ශාකමය ආහාරයන්ගෙන් ද මුළුමනින්ම වැළකී සිටිය යුතුය. ඔහු වෙතින් ඉහත සඳහන් වත්පිළිවෙත් ගිලිහී ගියහොත් ජීවම පුස්ස බින්දාක් මෙන් බිඳී යයි.

“කොහොමත් ඒ මන්තරෙන් ලක්ෂ වාරයක් ජීවම් වෙනකොට හරියට තාච්චියක නටන තෙලක් වගේ ඔය තෙල බුබුළු දමමින් නටන්න ඕනේ කියලයි මන්තර පොත්වල තියෙන්නේ. ඊට පස්සේ ඒ තෙල්වලින් ටිකක් රත්තරන් හරි රත්තරන් ආලේප කරපු සුරයක හරි දාලා ආයෙත් ජීවම් කරන්න ඕනෙ. එතකොට තමයි ඒ හෙනරාජ තෛලයේ බලය පිහිටන්නේ කියලා පරණ මන්තර පොත්වල තියෙනවා.” විපුලසේන අයියා කීය.

 

පුස්කොළ පොත්
එමෙන්ම ඉන්පසු එම හෙනරාජ තෛලය නිසි පරිදි සැකසී තිබේද යන්න තහවුරු කරගත හැකි පාරම්පරික ක්‍රමයක් ගැන ද විපුලසේන අයියා කීය. එනම් එම හෙනරාජ තෛලය සහිත සුරය කිසියම් ගසක අත්තක එල්ලා දක්ෂ වෙඩික්කරුවෙකු ලවා ඊට පතරොම් තුවක්කුවකින් වෙඩි තැබීමය. එවිට එම සුරය ඒ වෙඩි පහරට ලක් නොවුවහොත් එය බල පිහිට වූ හෙනරාජ තෛලය සහිත සුරයක් බව පිළිගැනෙයි. නමුදු තමන් මෙම තෙල නිපදවා හෝ අත්හදා බලා නොමැති අතර මේවායේ සත්‍යතාව තහවුරු කිරීමට තමන්ට නොහැකි බවද ඔහු වැඩිදුරටත් කීය.

“ඕක ඔය ඕලන්ද කාලේ වගේ ඉඳලා මිනිස්සුන්ගේ අතරේ පැතිරුණු මිථ්‍යාවක්. විශේෂයෙන් ඕක ඒ කාලේ තරමක් දියුණු සංස්කෘතික ලක්ෂණ පළ කරපු ගාල්ල, මාතර පැත්තේ මිනිස්සු සබරගමුව, ඌව, මධ්‍යම වගේ පළාත්වල හිටපු විශාල ධනස්කන්ධයන්ට හිමිකම් කියපු ප්‍රභූවරුන්ගේ ඉන ඉහ අතගාගන්න කරපු උප්පරවැට්ටියක් කියලයි මට හිතෙන්නේ.”

ඉන්පසුව මෙම හෙනරාජ තෛලය සම්බන්ධ මන්ත්‍ර ගුරුකම් සහිත පැරණි පුස්කොළ පොත් සොයා කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයට ගිය මට, එවක එහි අධ්‍යක්ෂ ධුරය හෙබවූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා එසේ පැවසීය.

sirinimalආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ“මෙහේ පුස්තකාලේ ඔය වගේ එක එක යන්ත්‍ර මන්තර පොත් තියෙනවා තමයි. මම හිතන්නේ ඒවා ලියපු ඒ කාලේ සාක්ෂරතාව තියෙන මිනිස්සු ඒ පුස්කොළ පොත් වගේම ඒවයින් ජීවම් කරපු තෙල් පරණ නින්දගම් හිමි ධන කුවේරයන්ට හොඳ ගණන්වලට විකිණුවා. ඒත් බුද්ධිමත්ව පරිශීලනය කරනකොට තේරෙනවා ඒවායේ තියෙන්නේ අතේ පත්තුවෙන බොරු කියලා. මොකද ඒවායේ තියෙන විස්තර සිහිකල්පනාවෙන් කියවන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඒවා කවදාවත් හරි නොයන වැඩ බව. ඒ හින්දා ඒක වංචාවක් කියන්නත් බෑ” ඔහු වැඩිදුරටත් කීය.

කිසියම් සියුම් ඉලක්කයකට වෙඩි තැබීමේදී ඒ සඳහා පැහැදිලි මානසික ඒකාග්‍රතාවයක් තිබිය යුතුම ය. එහෙත් එසේ වෙඩි තැබීමට තුවක්කුවේ කොකා ගස්සන මොහොතේ එහි සාර්ථකත්වය පිළිබඳව නිෂේධනාත්මක මානසික ඇණවුමක් (Negative Suggestion) සිත තුළට පිවිසියහොත් එසැණින් එම ඉලක්කය වැරදීමේ පැහැදිලි හැකියාවක් තිබේ. හෙනරාජ තෙල මහා බලගතුය යන හැඟීම මුල්කොට ඊට වෙඩි තැබීමට සැරසෙන වෙඩික්කරු තුළ ක්ෂණික මානසික ඇණවුමක් ස්ථාපිත වීම මත කුරුමානම වැරදීමේ ඉතා පහසු ඉඩකඩක් පවතී.

නමුත් මෙම වෙඩි තැබීම පිණිස “චට පට” ගා උණ්ඩ වරුසා විසිරුවන නවීන ස්වයංක්‍රීය ගිනිඅවියක් යොදා ගතහොත් එමගින් මෙම හෙනරාජ තෛලයේ බලය පහසුවෙන්ම යටපත් කළ හැකි වනු ඇත. මා එසේ පවසන්නේ මේ වන විට සමාජයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති නාඳුනන තුවක්කුකරුවාගේ භූමිකාව අකා මකා දැමීම පිණිස ඊට වඩා යථාර්ථවාදී හා විද්‍යාත්මක විසඳුම් සෙවීමේ කාලීන දැඩි අවශ්‍යතාව බලධාරීන් හමුවේ අවධාරණය කරමිනි.


Thilak Senasinghe(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අද කාලයේ බහුල වෙඩි තැබීම්වලින් බේරෙන්නට හෙනරාජ තෛලයේ පිහිට? | The Leader