The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

දිට්වා ආපදාවත් සමඟම ගල්ගමුවේදී නීතියත් ආපදාවට | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

January 6, 2026 • 6:23 AM

දිට්වා ආපදාවත් සමඟම ගල්ගමුවේදී නීතියත් ආපදාවට | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශය ද පසුගිය සමයේ ඇති වූ ‘දිට්වා’ කුණාටුවේ බලපෑමට ලක් වූ ප්‍රදේශයකි. කලාඔය නිම්නයේ පිහිටි ගල්ගමුව, ඓතිහාසික හත්කෝරළයේ වන්නි හත්පත්තුවට අයත් ප්‍රදේශයකි.
  • පසුගිය දිට්වා සුළි කුණාටුව සමයේ ඇදහැලුණු ධාරාණිපාත වැසි නිසා ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුඹුරු සහ මාර්ග පද්ධති ඇතුළු පොදු පහසුකම්වලට දැඩි සේ හානි සිදු විය.
  • මීට පෙර ආපදාවක දී මේ අන්දමේ සහන පැකේජයන් ප්‍රකාශයට පත් කළ අවස්ථා දෙකක් මගේ මතකයට එයි.
  • එවැනි සහන පැකේජයක් මුල්වරට ප්‍රකාශයට පත් කෙරුණේ ඉන් පළමු අවස්ථාවේදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

පැරණි වන්නිවරුන්ගේ පාලනය යටතේ පැවති ප්‍රදේශය යැයි සිතිය හැකි වන්නි හත්පත්තුව; උතුරින් අනුරාධපුර දිස්ත්‍රික්කය හා දෙමළ හත්පත්තුවේ කොටසකට ද, නැගෙනහිරින් හිරියාල හත්පත්තුවේ නිකවැරටිය ගම්පහ කෝරළයට ද, දකුණින් හිරියාල හත්පත්තුවේ මහගල්ගොඩේගොඩ කෝරළයට හා දැදුරු ඔයට ද, බටහිරින් රතඹලා ඔය හා දෙමළ හත්පත්තුවට ද මායිම් වන විශාල ප්‍රදේශයකි.

මේ තුළ පිහිටි ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම් හැට ගණනකින් සමන්විත වේ. සාමාන්‍ය ව්‍යවහාරය පරිදි මෙය කෘෂිකර්මාන්තයෙන් ජීවත්වන ගැමි ජනතාවක් වාසය කරන ප්‍රදේශයකි. පසුගිය දිට්වා සුළි කුණාටුව සමයේ ඇදහැලුණු ධාරාණිපාත වැසි නිසා ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුඹුරු සහ මාර්ග පද්ධති ඇතුළු පොදු පහසුකම්වලට දැඩි සේ හානි සිදු විය.

 

රජය, සිදු වූ හානි යටතේ කෙලින්ම ජනතාවට සිදු වූ නිවාස හානි, ජීවිත හානි සහ දේපළ හානි ආදියට සහන සැලසීමේ කඩිනම් වැඩසටහනක් යෝජනා කර දියත් කළේ ය. ඒ යටතේ ගංවතුරින් යට වූ නිවාස පිරිසිදු කිරීමට රුපියල් විසිපන්දහසක් ද, ගෘහ භාණ්ඩවලට වූ හානි පූර්ණය සඳහා පනස්දහසක් ද වශයෙන් දීමනාවන් කඩිනමින් ගෙවීමට උපදෙස් ලබා දී තිබුණි. ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් ඒ කටයුතු කඩිනම් කරවීමට රජය ගත් පියවර අගය කළ යුතු ය.

මීට පෙර ආපදාවක දී මේ අන්දමේ සහන පැකේජයන් ප්‍රකාශයට පත් කළ අවස්ථා දෙකක් මගේ මතකයට එයි. එවැනි සහන පැකේජයක් මුල්වරට ප්‍රකාශයට පත් කෙරුණේ ඉන් පළමු අවස්ථාවේදීය. එනම්, 2016 ජුනි 05 වැනි දින සවස සිදුවූ කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ආයුධ ගබඩාව ගිනි ගැනීම නිසා සිදු වූ පිපිරීම්වලින් සාලාව අවට නිවාස හා දේපළවලට බලවත් සේ හානි සිදු වූ අවස්ථාවේදී ය. කොස්ගම සාලාව යුද හමුදා කඳවුර පිහිටුවා තිබුණේ පැරණි තුනී ලෑලි සංස්ථාවේ කර්මාන්ත ශාලා ගොඩනැගිලි සංකීර්ණය භාවිතා කරමිනි. ශ්‍රී ලංකා යුද හමුදාව සතු බර අවි සඳහා භාවිතා කෙරෙන සියලුම උණ්ඩ, මෝටාර් හා මල්ටි බැරල් රොකට් ආදිය ගබඩා කර තිබූ මෙම අවි ගබඩාව හදිසියේ ගිනිගෙන පුපුරා යාම ආරම්භ වූයේ එදින සවස 5.00 ට පමණ ය. මේ නිසා බර අවි උණ්ඩ අවට ප්‍රදේශවලට පතිත වූයේ නිවාස හා වෙළෙඳසල් විනාශ කරවමිනි. වාසනාවකට ජීවිත හානි සිදු නොවූවද, සාලාව අවට ජනතාව පූගොඩ, හංවැල්ල, අවිස්සාවේල්ල හා ඇහැලියගොඩ ප්‍රදේශවලට කඩිනමින් පලා ගියහ. අවි ගබඩාව පුපුරා යාම දින තුනක් තිස්සේ සිදු විය.

 


මේ ආපදාවේ පශ්චාත් කළමනාකරණ කටයුතු ලෙස සහන සැලසීම ඇරඹීමට සිදු වූයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ය. එවක කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස එම කාර්යාලය මාගේ අධීක්ෂණය යටතේ තිබූ බැවින්, ආරම්භයේ සිටම ඊට මැදිහත් වීමට මට සිදු විය. සාලාව පිපිරීම ස්වාභාවික ආපදාවක් නොව මිනිසා විසින් ඇති කළ ආපදාවක් බැවින්, එහි වගකීම රජය සතු වන බව අපි නිශ්චය කළෙමු. යුද හමුදාව රජයේ ආයතනයක් බැවින් එහි සිදු වූ දෝෂයක වගකීම රජයට පැවරේ. ඒ අනුව හානි වූ සෑම දෙයක්ම ජනතාවට ප්‍රතිපූර්ණය කර දීමේ වගකීම රජය භාරගත යුතු බවට නිගමනය කෙරිණි.

ක්ෂණික සහන ලෙස ආහාර පාන හා තාවකාලික සුභසාධන මධ්‍යස්ථාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙහෙයවන අතරතුර, දිගු කාලීන සහන වැඩපිළිවෙළ සීතාවක ප්‍රාදේශීය ලේකම් බණ්ඩාර මාපා මහතා සමඟ එක්ව සැලසුම් කළෙමු. අප යෝජනා කළ සහන පැකේජයට පදනම වූයේ ‘රජය වගකීම දරයි’ යන ප්‍රතිපත්තියයි. නිවාස, ගෘහ භාණ්ඩ, වෙළෙඳසල්, කර්මාන්ත ශාලා සහ බඩු තොග සඳහා වන්දි ගෙවීම මෙන්ම, නිවාස අලුත්වැඩියා කරන තුරු මාස තුනක කුලී මුදලක් ගෙවීම, රථවාහන රක්ෂණ වන්දි ලබා දීම, විනාශ වූ රාජ්‍ය ලේඛන යළි ලබා දීම සහ ව්‍යාපාර බිඳ වැටුණු අයට තාවකාලික දීමනාවක් ලබා දීම වැනි කරුණු ඇතුළත් යෝජනාවලිය ආපදාව සිදුවී දින හතරක් ඇතුළත එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කළෙමි. ඒ වන විටත් දේශපාලනික ස්වරූපයෙන් උද්ඝෝෂණ ඇරඹී තිබුණ ද, රජය වගකීම භාර ගැනීම නිසා එම තත්ත්වය සමනය විය. ජනාධිපතිවරයා එම යෝජනා පිළිගැනීමෙන් පසු අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ලංකාවේ ප්‍රථම වරට මෙවැනි පූර්ණ හානිපූර්ණ පැකේජයක් ප්‍රකාශයට පත් විය.

meethotamulla
පසුව ව්‍යාපාරික ස්ථාන අහිමි වූ කුලීකරුවන් වෙනුවෙන් සාලාව නගරයේ හමුදා කඳවුරෙන් නිදහස් කරගත් බිමක කඩ කාමර පේළියක් ඉදිකර දීමට ද පියවර ගැනුණි. 2017 වසරේ සිදු වූ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ ආපදාවේදී ද ක්‍රියාත්මක වූයේ සාලාව ආපදාවේදී අනුගමනය කළ මෙම රාජ්‍ය ප්‍රතිපත්තියයි. මීතොටමුල්ල යනු පැරණි හේවාගම් කෝරළයේ අධිකාරි පත්තුවට අයත් ගම් 16න් එකකි. එහි කුණු කන්ද ඇති කිරීම රජයේ තීරණයකි. ජනතා විරෝධය නොතකා කුණු බැහැර කිරීම නිසා සිදු වූ එම ව්‍යසනයේදී රජය පූර්ණ වගකීම භාර ගත්තේය. එහිදී විපතට පත් වූවන්ට ලක්ෂ හතළිහක් වටිනා මහල් නිවාස, ගෘහ භාණ්ඩ සඳහා ලක්ෂ දෙකහමාරක්, කුලී දීමනා, රථවාහන වන්දි සහ ජීවිත හානි වෙනුවෙන් ලක්ෂ දහයක වන්දි මුදලක් ද ගෙවන ලදී.

ස්වාභාවික ආපදාවක් වන ‘දිට්වා’ සුළි කුණාටුවේදී රජය මෙලෙස සහන සැලසීම අගය කළ හැකි වුවත්, රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය නිසි ලෙස සක්‍රිය නොකිරීමේ වගකීමෙන් රජයට මිදිය නොහැකි ය. මෙහිදී ද සිදු වන්නේ මහජන මුදලින් වන්දි ගෙවා, හානි අවම කිරීමට පියවර නොගත් වගකිව යුත්තන් ආරක්ෂා කිරීමකි.

 



ගල්ගමුව ප්‍රදේශයෙන් ලැබෙන ආරංචි අනුව පෙනී යන්නේ, මෙවර ස්වාභාවික විපතත් සමඟම නීතිය ද ‘ආපදාවට’ ලක්ව ඇති බවයි. ගල්ගමුව ප්‍රාදේශීය සභාව ආපදා මාර්ග ප්‍රතිසංස්කරණය මුවාවෙන් රජයේ ඉඩම්වල හා වැව් තාවුලුවල නීති විරෝධී ලෙස පස් හා බොරළු කපමින් මහා පරිසර විනාශයක් සිදු කරන බවට මාධ්‍ය වාර්තා කරයි. මෙම ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කිරීමේදී කාර්මික නිලධාරීන්ගේ සම්බන්ධයක් නැතිව, ඇතැම් සභිකයන්ගේ හිතූමතයට ව්‍යාජ ඇස්තමේන්තු සකසා මුදල් වංචා කරන බවට චෝදනා එල්ල වේ. පසුගිය වසරේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාරගත වූයේ ද මෙවැනිම වංචාවක් නිසා ය. ගල්ගමුව පාලනාධිකාරිය එම සිද්ධියෙන් පාඩමක් උගත යුතුය.

ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් පුද්ගලික ඉඩම්වලට පවා ඇතුළු වී පස් කැපීම සිදු කරන බව ප්‍රදේශවාසීහු පවසති. “මේ බොරළු ගෙදර ගෙනියන්නේ නැතැයි” මාධ්‍ය හමුවේ කී ගල්ගමුව ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට කොළ අතු වලින් වසා ඇති බොරළු කන්දක් මාධ්‍ය මගින්ම පෙන්වා දෙන ලදී. රජයේ ඉඩම් කැලෑ ආඥා පනත යටතේ ආරක්ෂිත ය. ඉන් පස් හෝ බොරළු ඉවත් කිරීමට නම් ප්‍රාදේශීය ලේකම් හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ බලපත්‍ර අවශ්‍ය වේ. එසේ නොකිරීම වසරක සිරදඬුවම් ලැබිය හැකි වරදකි.

 

dit2
භූ විද්‍යා නිලධාරීන් අත්අඩංගුවට ගත් වාහන සහ පුද්ගලයන්, පොලිසිය විසින් නිදහස් කර යවා ඇති බව වාර්තා වේ. මහජන ආරක්ෂක අමාත්‍යවරයා එම ප්‍රදේශයේ දේශපාලන නායකත්වය දරන බැවින් ඔහුගේ බලපෑම මත පොලිසිය මෙසේ ක්‍රියා කරන බවට ජනතාව සැක කරති. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මා පෞද්ගලිකව හඳුනන, දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ නීතිගරුකව කටයුතු කළ නිලධාරියෙකි. එම නිසා ඔහු මෙවැනි අනීතික නියෝග දෙනු ඇතැයි මම විශ්වාස නොකරමි. එහෙත් දේශපාලන අනුදැනුම මත දුර්වල පොලිස් නිලධාරීන් නීතිය හෑල්ලු කිරීමට ඉඩ ඇත.

ආපදාව මුවාවෙන් නීති විරෝධී ක්‍රියා කිරීමට කිසිවෙකුට ඉඩක් නැත. මෙවැනි දූෂණ ගැන පොලිස් කොමිසමට, අල්ලස් කොමිසමට හෝ විගණකාධිපතිට පැමිණිලි කිරීමට මහජනතාවට අයිතියක් ඇත. වැරදි ගෙවීම් අනුමත කරන සභිකයන්ගෙන් එම මුදල් අධිභාර ලෙස අය කර ගැනීමටත්, ඔවුන්ගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමටත් නීතියෙන් ප්‍රතිපාදන ඇත.

dit4

ගල්ගමුවේ සිදුවන මෙම ‘ද්විතීයික ආපදාව’ පාලනය කළ හැක්කේ මහජනතාව නොබියව ඉදිරිපත් වීමෙන් පමණි. පොලිසිය පැමිණිලි භාර නොගන්නේ නම් ලියාපදිංචි තැපෑලෙන් උසස් නිලධාරීන්ට දැනුම් දිය හැකිය. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අප්‍රමාදව කටයුතු කළ යුතු ය. නැතිනම් ඔවුන් ‘යුනිෆෝම් පඹයන්’ ලෙස ගෙදර යා යුතු ය.

ගරු ආනන්ද විජේපාල අමාත්‍යතුමනි, ඔබ රාජ්‍ය නිලධාරියෙකු ලෙස ගොඩනඟා ගත් කීර්ති නාමය කෙළෙසීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මක් නිසාද යත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමස්ත සමාජයේම සංතීක්ෂණ අවධානය ඔබ කෙරෙහි යොමුව ඇති බැවිනි.

sunil Kannangara
(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...