The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ

T

The Leader Desk

January 7, 2026 • 5:51 AM

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ.
  • මේ වන විට ජාත්‍යන්තර අවධානයට පවා යොමු වෙමින් පවතින මෙම කලාවන් පිළිබඳ නිසි වැටහීමක් බොහෝ ශ්‍රී ලාංකිකයන් තුළ නොමැති බව අපගේ වැටහීම ය.
  • මේ වන විට පිබිද ඇති ජනප්‍රිය සංස්කෘතික ප්‍රවාහය හමුවේ ඒවා මව මරා උපන් කුමරා ලෙසින් ප්‍රතිනිර්මාණය වනු මිස සැබෑ ලෙස ම සුරක්ෂා වන බවක් අපට නම් නොපෙනේ.
  • මිනිසුන් සහ යකුන් අතර පවතින සබැඳියාව අතින් ශ්‍රී ලාංකේය අප ලොව බොහෝ ජාතීන්ට ඉදිරියෙන් සිටින බවට ඓතිහාසික හා මානව විද්‍යාත්මක කරුණු තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රධාන වශයෙන් සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක වශයෙන් විමසා බැලෙන මෙම තත්ත්වය මුල් කොට අපගේ සංස්කෘතිය තුළ ගායන, වාදන හා රංගන වශයෙන් වන පුළුල් ජන කලා සම්ප්‍රදායන් බිහි ව තිබේ. මේ වන විට ජාත්‍යන්තර අවධානයට පවා යොමු වෙමින් පවතින මෙම කලාවන් පිළිබඳ නිසි වැටහීමක් බොහෝ ශ්‍රී ලාංකිකයන් තුළ නොමැති බව අපගේ වැටහීම ය. මේ වන විට පිබිද ඇති ජනප්‍රිය සංස්කෘතික ප්‍රවාහය හමුවේ ඒවා මව මරා උපන් කුමරා ලෙසින් ප්‍රතිනිර්මාණය වනු මිස සැබෑ ලෙස ම සුරක්ෂා වන බවක් අපට නම් නොපෙනේ.

මිනිසුන් සහ යකුන් අතර පවතින සබැඳියාව අතින් ශ්‍රී ලාංකේය අප ලොව බොහෝ ජාතීන්ට ඉදිරියෙන් සිටින බවට ඓතිහාසික හා මානව විද්‍යාත්මක කරුණු තිබේ. බටහිර ජනතාව යක්ෂයා (Demon/Evil) යනු මිනිසාට පරම අයහපත උදා කරන පවිටු බලවේගයක් ලෙස හඳුනා ගන්නා අතරේ, අප රටේ පූර්ව ඓතිහාසික යුගවල ‘යක්ෂ’ නම් වූ මිනිස් කොට්ඨාසයක් පවා සිටි බව තහවුරු වී තිබේ. බලි තොවිල් ශාන්ති කර්මවල එන යක් නැටුම්වල සමාජ මනෝවිද්‍යාත්මක මූලය එම යක්ෂ-මිනිස් සහසම්බන්ධතාව මත පදනම් වන බව පෙනෙයි. අදත් ඉතා බලගතු යක්ෂ සේනාධිපතියකු සේ සැලකෙන ‘ඔඩ්ඩි යකා’ට පහතරට ශාන්ති කර්මවල දී “ඔඩ්ඩි මස්සිනේ” ලෙසින් හෙවත් ව්‍යවහාරික වදන්වලින් ම කිවහොත් “මචං ලෙවල් එකෙන්” නැතහොත් සුහද ඥාතිත්වයෙන් ඇමතීම පදනම් කරගත් අපේ සාම්ප්‍රදායික යක් නැටුම් කලාව නූතන සමාජය විසින් අතපල්ලෙන් බිම හෙළා තිබීම අතිශය බරපතල ඛේදවාචකයකි. 

දේශීය යක් තොවිල්
යුරෝපීය ශිෂ්ටාචාරයන් තුළ එතරම් ප්‍රවර්ධනය නොවූ මෙම යක් නැටුම් ආසියානු හා අප්‍රිකානු ජන සංස්කෘතික මූලයන් නිසා බිහි වූ අතර, එය පසුව අප්‍රිකාවෙන් ලතින් ඇමරිකානු රටවලට ද ව්‍යාප්ත වී තිබේ. ශ්‍රී ලංකාවේ යක් නැටුම් කලාව විදේශිකයන් අතර අතිශය ජනප්‍රිය වෙමින් පවතින අතර, වෙනත් රටවල පවතින යක්ෂ හෝ භූත වන්දනා ආශ්‍රිත නර්තන සඳහා ද මේ වන විට ලෝක සංස්කෘතික වෙළෙඳපොළේ ඉහළ ම ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතී.

වර්තමානයේ ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් යුරෝපය, ඇමරිකාව සහ ජපානය වැනි ජාත්‍යන්තර වේදිකාවල සංදර්ශන පැවැත්වීමත්, ලෝකයේ ප්‍රධාන නගරවල පවත්වන සංස්කෘතික ප්‍රසංගවල දී පහතරට යක් නැටුම්වලට ඉහළ පිළිගැනීමක් හිමි වීමත් මත ශ්‍රී ලංකාවේ යක් නැටුම් ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත. මේ හේතුවෙන් යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් නුදුරේ දීම ඒවා අස්පර්ශනීය සංස්කෘතික උරුම (Intangible Cultural Heritage – ICH) ලැයිස්තුවට එක් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.

මොන්ගෝලියාවේ චාම්
යුනෙස්කෝ සංවිධානය විසින් යම් සංස්කෘතික අංගයක් අස්පර්ශනීය සංස්කෘතික උරුමයක් ලෙස පිළිගැනීමට නම් ප්‍රධාන නිර්ණායක සහ සුදුසුකම් කිහිපයක් සම්පූර්ණ විය යුතු ය. යක් තොවිල් හා සාම්ප්‍රදායික නැටුම් මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම් අතර පරම්පරාවෙන් පරම්පරාවට උරුම වීම ප්‍රධාන තැනක් ගනී. එමෙන් ම එම සංස්කෘතික අංගය එක් පරම්පරාවක සිට ඊළඟ පරම්පරාවට වාචික ව, පුහුණුවෙන් හෝ අත්දැකීමෙන් උරුම වී තිබේ ද යන්න ද විමසා බැලෙයි. එමෙන් ම එය හුදෙක් ඉතිහාසයට පමණක් සීමා නොවී, වර්තමානයේදීත් ප්‍රජාව අතර ජීවමාන ව පැවතිය යුතු ය. එපමණක් නොව, අදාළ ප්‍රජාව හෝ ජන කණ්ඩායම එම සංස්කෘතික අංගය තමන්ගේ අනන්‍යතාවයේ කොටසක් ලෙස පිළිගත යුතු ය. එය ඔවුන්ට අඛණ්ඩ පැවැත්මක් පිළිබඳ හැඟීමක් ලබා දිය යුතු ය.

එසේ ම එම උරුමය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන්ට අනුකූල ද යන්න ද මෙහි දී විශේෂයෙන් විමසා බැලෙයි. පුද්ගල ගෞරවයට හානි කරන සේ ම සතුන්ට වධ හිංසා පමුණුවන හෝ පරිසරයට දැඩි හානි පමුණුවන චාරිත්‍ර මෙයට ඇතුළත් නොකිරීම ද විශේෂත්වයකි. අදාළ උරුමය යෝජනා කිරීමේ දී එම සංස්කෘතියේ හිමිකරුවන් වන ජනතාවගේ නිදහස් සහ පූර්ව කැමැත්ත ද අනිවාර්යයෙන් ම අවශ්‍ය වේ. එය රජයක් හෝ ආයතනයක් පමණක් තීරණය කිරීම ප්‍රමාණවත් නොවේ. එම උරුමය අනාගතයට රැකගෙන යාම සඳහා දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ සහ ඉදිරි සංරක්ෂණ සැලසුම් මොනවා ද යන්න ද පැහැදිලි කළ යුතු ය. විශේෂයෙන් ම වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති උරුමයන් සඳහා මෙහි දී ප්‍රමුඛතාව ලැබේ. මේ සියලු තත්ත්වයන් සපුරා ඇති අප රටේ යක් නැටුම් යුනෙස්කෝ අස්පර්ශනීය සංස්කෘතික උරුම ලේඛනයට ඇතුළත් කිරීමට උපරිම සුදුසුකම් ලබනු ඇත.

මෙම කලා සහ සංස්කෘතිකාංග හා සබැඳි වෙස් මුහුණු ජර්මනියේ හම්බර්ග් කෞතුකාගාරය ආදී ලෝකයේ ප්‍රසිද්ධ කෞතුකාගාර රැසක ප්‍රදර්ශනය කිරීම ද අපගේ මෙම කලාවන් ජාත්‍යන්තර තලයට පිවිසෙන කදිම මංපෙතකි. එමෙන් ම මේ වන විට බටහිර රටවල වේගවත් සංවර්ධනයකට පත් වෙමින් පවතින නාට්‍ය සහ රංග කලාව හදාරන සිසුන්, ශ්‍රී ලංකාවේ පවතින මෙම සාම්ප්‍රදායික රංගන, ගායන, වාදන ක්‍රම සහ වෙස් මුහුණු භාවිතය පිළිබඳ ප්‍රායෝගික අධ්‍යයනයක නිරත වීම ඔස්සේ ශ්‍රී ලාංකේය සුවිශේෂ අනන්‍යතාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතිය තවදුරටත් ඉහළ නැංවෙනු ඇත. මක් නිසා ද යත් අප රටේ පහතරට යක් නැටුම් මුල් කරගත් ශාන්තිකර්ම කලාවේ අනන්‍යතාව ලොව අන් කිසිදු රටකින් පළ නොවන බැවිනි. නමුත් මේ වන විට අප රටේ ඇතැම් සමාජ ජාල ක්‍රියාකාරීන් මෙම සංස්කෘතික උරුමයන් බරපතල ලෙස අවභාවිත කිරීම මෙහි ඉදිරි ගමන හමුවේ පැන නැඟී ඇති බරපතල තර්ජනයකි.


yak4මැක්සිකෝවේ ඩැන්සා ඩි ලොස්
ලොව අනෙකුත් රටවල ද දේශීය යක් නැටුම්වලට සමාන ගායන, වාදන හා රංගන ඇතත් ඒවා වෙනම සම්ප්‍රදායන් මුල් කරගත් ඒවා බව තහවුරු වී තිබේ. එවන් අමනුෂ්‍ය බලවේග පලවා හැරීම සඳහා සිදු කරන නර්තන (Exorcism Dances) වශයෙන් වඩාත් ප්‍රකට රංගන බොහොමයක් ආසියා මහාද්වීපයට සීමා වීම ද සුවිශේෂත්වයකි.

 

thyyamතෙයිවම්

ඉන්දුනීසියාවේ බාලි දූපතේ ‘බාරොං’ (Barong Dance) නම් යහපත් සත්වයා සහ ‘රංග්ඩා’ නම් නපුරු යක්ෂණිය අතර සටනක් නිරූපණය කෙරෙන සාම්ප්‍රදායික රංගනයක් තිබේ. මෙය අපේ යක් නැටුම්වලට තරමක් සමාන වුව ද එහි සම්ප්‍රදාය, ශෛලිය හා සන්දර්භය බෙහෙවින් වෙනස් ය. ඉන්දියාවේ කේරළයේ ද ‘දෙයිවම්’ (දෙවියන්) යන්නෙන් බිඳී ආ ‘තෙයිවම්’ යනුවෙන් හැඳින්වෙන, වෙස් මුහුණු භාවිතය සහිත ඉතා විචිත්‍රවත් දේව/යක්ෂ නර්තන විශේෂයක් දක්නට ලැබේ. ටිබෙටයේ හා මොංගෝලියාවේ ‘චාම්’ (Cham) නර්තනය ද ටිබෙට් සම්ප්‍රදායට අයත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙස් මුහුණු පැළඳ නපුරු බලවේග පලවා හැරීම සඳහා පවත්වන යාතුකර්ම ගණයේ පූජනීය නර්තනයකි.

Thimpu, Bhutan - October 2nd, 2012 : group of dancers in traditional Bhutanese clothing and masks at the Dechenphodrang Lhakhang monestary - Bhutan has many festivals where monks and professional dancers perform age old ritualsසෙචූ

 

භූතානයේ ‘සෙචූ’ (Tshechu) යනු ද විවිධ යක්ෂ සහ දේව රූප නිරූපණය කරන වෙස් මුහුණු නර්තන උත්සවයකි. එමෙන් ම ඉන්දියාවේ කේරළයේ ‘කුඩියට්ටම්’ ද එවන් ජන රංගනයක් වන අතර ඒවා මේ වන විටත් අස්පර්ශනීය සංස්කෘතික උරුම යුනෙස්කෝ ලැයිස්තුවට එක් කර තිබේ. ලතින් ඇමරිකානු කලාපයේ මෙක්සිකෝවේ ‘ඩැන්සා ඩී ලොස් ඩියබ්ලොස්’ (Danza de los Diablos) යනු අප්‍රිකානු-මෙක්සිකානු සංස්කෘතියට අයත් යක්ෂ වෙස් මුහුණු භාවිතා කෙරෙන ජන රංගනයක් වන අතර එය ද යුනෙස්කෝ ලැයිස්තුවට එක් කර තිබේ.

yak6ඉන්දුනීසියාවේ බාරොන්ග්

විදේශ රටවල පවතින මෙවැනි නර්තන සහ ශ්‍රී ලංකාවේ යක් නැටුම් අතර සමානකම් මෙන්ම වෙනස්කම් ද තිබේ. බොහෝ රටවල මේවා ආගමික උත්සවවල කොටසක් වන අතර, ලංකාවේ යක් නැටුම් වැඩිපුර ම ඉදිරිපත් වනුයේ සුවකාරක රංගනයක් (Healing Dance) වශයෙනි. ශ්‍රී ලංකාවේ යක් නැටුම් සඳහා යක් බෙරය මූලික වන අතර, වෙනත් රටවල බෙරවලට අමතරව නලාව, සක් පිඹීම සහ රළු හඬක් නංවන ලෝහමය සංගීත භාණ්ඩ බහුල ව භාවිතා වේ. ලෝකයේ කොතැනක පැවැත්වුව ද, මෙම නර්තන කලාවන් තුළින් පෙනී යන්නේ මිනිසාට බලපාන නපුරු බලවේග පලවා හැර යහපත උදාකර ගැනීම යන පොදු මානුෂීය අරමුණයි. ඒ සඳහා යාග, වාදන, රංගන යන කලා මාධ්‍යයන් එක් කර ගැනීම නිසා ඒවා ‘සුවකාරක කලා’ (Healing Arts) ලෙස හඳුන්වනු ලැබේ. 

චීනයේ ඉතා පැරණි සංස්කෘතික නර්තනයක් වන ‘නුවෝ’ (Nuo Dance) රංගනය ද ශ්‍රී ලංකාවේ මෙන් ම බියකරු වෙස් මුහුණු භාවිතා කරමින් නපුරු ආත්ම පලවා හැරීම සහ ලෙඩ රෝග සුව කිරීම සිදු කරන යාතුකර්මයකි. දකුණු අප්‍රිකාවේ සහ නැමීබියාවේ ‘සැන්’ (San) ගෝත්‍රිකයන් අතර පවතින නර්තනයේ දී බෙර වාදනය සහ අත්පුඩි ගැසීම මඟින් නර්තන ශිල්පීන් සේ ම සහභාගී වන්නන් ආවේශ (Trance) තත්ත්වයකට පත් වේ. මෙය අප රටේ බලි තොවිල් ශාන්ති කර්මවලට අතිශය සමාන ය. එමඟින් රෝගීන් සුව කිරීමට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තිය ලබා ගන්නා බව ඔවුහු විශ්වාස කරති.


yaka1දේශීය යක් තොවිල්
කොරියානු සංස්කෘතියේ ‘මුඩැන්ග්’ (Mudang) නමින් හඳුන්වන පූජකවරියන් විසින් සිදු කරන සුව කිරීමේ නර්තනය, ගායනය සහ ආහාර පූජා කිරීම මඟින් අමනුෂ්‍ය බලපෑම් ඉවත් කර සහනය ළඟා කර දෙයි. බර්කිනා ෆාසෝ සහ නයිජීරියාව වැනි බටහිර අප්‍රිකා රටවල යොරුබා (Yoruba) ගෝත්‍රිකයන් අතර පවතින ‘ඉගුන්ගුන්’ (Egungun) නර්තනයේ දී මුළු සිරුර ම වැසෙන සේ වර්ණවත් ඇඳුම් ඇඳගත් නර්තන ශිල්පීන් මියගිය මුතුන් මිත්තන්ගේ ආත්මයන් ගෙන්වා ගෙන ජීවත් වන්නන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටිති.

ඉහත සඳහන් කරුණු මුල් කොට අප ජන සංස්කෘතියේ එන යක් තොවිල් ඇතුළු ශාන්ති කර්ම ලොව ප්‍රමුඛතම තැනකට ගෙන ඒම වෙනුවට, ඒවා හුදෙක් භෞතික විද්‍යාත්මක චින්තනය මත පදනම් ව පුහු නිසරු ක්‍රියාකාරකම් සේ වර්ග කිරීමට යාම කිලෝමීටරයකට ඇති කිලෝග්‍රෑම් ගණන සෙවීම වැනි තකතීරු කමක් බව මගේ වැටහීම ය.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ | The Leader