The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

'වෙනිසියුලාවට අත නොතබනු'? කාටද මේ කියන්නේ? | කුසල් පෙරේරා

T

The Leader Desk

January 8, 2026 • 10:39 AM

'වෙනිසියුලාවට අත නොතබනු'? කාටද මේ කියන්නේ? | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය යුධ අවි, ආම්පන්න නිෂ්පාදනය හා අලෙවිය නොකරන රටවලට පැවරිය යුතුයි
  • ට්‍රම්ප්ගේ අධිකරණයේ විනිසුරු ඉදිරිපිට මදූරොගේ පළමු ප්‍රකාශය වූයේ, “මම වැදගත් මනුස්සයෙක්....
  •   කොළඹ මේ විරෝධතාකරුවන් ජනවාරි 05 වන සහ 06 වන දිනවල “වෙනිසියුලාවට අත නොතබනු” යැයි කියන්නේ කාටද?
  • ට්‍රම්ප් ගේ ඇමෙරිකාව ජනවාරි 02 වන දින උදේ 08 පසු වන විට වැනිසියුලාවට “අත” පමණක් නොව, “පය” තබාද අවසන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


දකුණු ආසියාව “අවිහරණ කලාපයක්” ලෙස තීන්දු කිරීමට කලාපීය රාජ්‍ය සමුළුවක් කැඳවිය යුතුයි
 

වෙනිසියුලාව ආක්‍රමණය කර එරට ජනාධිපති නිකොලෙස් මදූරො සහ ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලොරෙස් පැහැරගෙන යාමට එරෙහිව, ජනවාරි 06 වන දින කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දෙවන විරෝධය පැවැත් වින. මේ විරෝධයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගය හැර, පාර්ලිමේන්තුවේ නියෝජනය වන හා නොවන සිංහල විපක්ෂයේ පක්ෂ ගණනාවක් සමග මුස්ලිම් කොංග්‍රසය හවුල්ව සිටියහ. ඔවුහුද කලින් දින විරෝධයේ පෙරටුගාමීන් මෙන්ම, “වෙනිසියුලාවට අත නොතබනු” යැයි සටන් පාඨ කීහ. පුවරු ඔසවා ගෙන සිටියහ.

 


ඊට දින 03 ට ඉහතින් ඉකුත් ජනවාරි 02 වන දින අළුයම, වෙනිසියුලාවේ අගනුවර වන කැරකාස් වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ, අධිවේගී හමුදා මැදිහත්වීම් වෙනුවෙන් යොදවනු ලබන ඇමෙරිකානු “විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් අධිකාරිය” යටතේ වන “ඩෙල්ටා ෆෝස්” බලකාය වෙනිසියුලානු ජනාධිපති මදූරො සහ ඔහුගේ බිරිඳ සීලියා පැහැරගෙන ගොස් තිබිණ. මෙහි විරෝධතා පැවැත්වෙන විට, ඔවුන්ව නිව්යෝක් නුවර ඇමෙරිකානු දිස්ත්‍රික් විනිසුරුවරයෙකු වන ඇල්වින් කේ. හෙලස්ටයින් හමුවට ගෙනෙනු ලැබ තිබිණ. ට්‍රම්ප්ගේ අධිකරණයේ විනිසුරු ඉදිරිපිට මදූරොගේ පළමු ප්‍රකාශය වූයේ, “මම වැදගත් මනුස්සයෙක්.... මම තවම වෙනිසියුලාවේ ජනාධිපති....මම කිසි වරදක් කරලා නැහැ....මාව පැහැරගෙන ඇවිත් තියෙන්නේ....” යන්න ය.

 

කොළඹ මේ විරෝධතාකරුවන් ජනවාරි 05 වන සහ 06 වන දිනවල “වෙනිසියුලාවට අත නොතබනු” යැයි කියන්නේ කාටද? ට්‍රම්ප් ගේ ඇමෙරිකාව ජනවාරි 02 වන දින උදේ 08 පසු වන විට වැනිසියුලාවට “අත” පමණක් නොව, “පය” තබාද අවසන් ය. ඇමෙරිකානු තෙල් සමාගම් වෙනිසියුලාවේ තෙල් වෙළඳපල අතට ගැනීමට වහා ඉදිරිපත් නොවුනත්, ස්ථාවර පාලනයක් ඇතිකරන තෙක් වෙනිසියුලාව තමන් පාලනය කරන්නේ යැයි ට්‍රම්ප් කියුවේය. ඇමෙරිකානු කොන්දේසි වලට පිටු පෑවහොත් වැනිසියුලාවේ නියෝජ්‍ය ජනාධිපතිනී රොඩ්රිගුඒස්ටද ලොකු මිලක් ගෙවන්නට සිදුවෙතැයි ඔහු මුලදී කීවේය. ඇයද වෙනිසියුලාව කිසිවකුගේ අගුපිලක් වන්නට සූදානම් නැතැයි කීවාය. එහෙත් ඇය මදූරො ගේ පුරප්පාඩුවට ජනාධිපති ලෙස දිවුරුම් දෙන විට, දෙපාර්ශවය යම් ගනුදෙනුවකට මුල පුරා ඇතැයි, විපක්ෂයට සැකයක් තිබිණ.

 

සහයෝගිතාවය සඳහාවන හවුල් න්‍යාය පත්‍රයක් මත එක්ව වැඩ කිරීමට, ඇය ට්‍රම්ප් වෙත ආරාධනාවක් යොමු කළේ යැයි, ජනවාරි 04 වන ඉරිදා රොඩ්රිගුඒස් ප්‍රකාශ කළාය.

ඇයට බලයේ සිටිය හැක්කේ “ඇය අපට අවශ්‍ය දේ කරන්නේ නම් පමණකැයි” ට්‍රම්ප් කීවේ ය. ඊශ්‍රායලය සමග ඉතා සමීප සම්බන්ධකම් පැවැත්වූ සහ පසුගිය වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන්නට ඊශ්‍රායලවාදය හරස් නොවුනු වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ, දින කිහිපයක් ඇතුළත ට්‍රම්ප් ගේ වැනිසියුලාවෙහි මැකී ගිය චරිතයක් විය.

 


 

ඒ අතර, බොහෝ ආර්ථික හා ගෝලීය වෙළදපල විශ්ලේශකයින් බලාපොරොත්තු නොවූ අයුරු, වෙනිසියුලාවට පනවා තිබූ සම්භාධක හමුවේ ලෝක තෙල් මිල පහත වැටින. එනිසා ඇමෙරිකානු තෙල් සමාගම් වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයට වහා අත ගැසුවේ නැත. වෙනිසියුලාවේ “බර” බොර තෙල් පිරිපහදුව වෙනුවෙන් විශාල පිරිවැයක් දැරිය යුතු වූයෙන් ඇමෙරිකානු සමාගම් එය මේ වෙලාවේ “අවදානම්” ආයෝජනයක් විය හැකි යැයි කල්පනා කරන්නට වූහ. ලතින් ඇමෙරිකාවේ ආයෝජන සඳහා කිසිදු අවදානමක් නැතැයි කීමේ ට්‍රම්ප්ගේ භාෂාව වූයේ කොලොම්බියාව, කියුබාව හා මෙක්සිකෝවද නොබෝ දිනෙකින් තමන්ගේ පාලනයට නතු කර ගන්නේ යැයි කීම ය. එවගේම ට්‍රම්ප් පළමු වර ජනාධිපති වූ පසුව ග්‍රීන්ලන්තය ඇමෙරිකානු බලපෑමට නතු විය යුතු යැයි කියූ කතාව, ඔහු නැවත මතක් කරන්නේ ය.

 

මේ සියල්ලෙන් කියන්නේ, යුරෝපා සංගමය ඇතුළු ජපානය, ඕස්ත්‍රේලියාව, චීනය, රුසියාව, ඉන්දියාව වැනි යම් ආර්ථික බලයක් ඇති රටවල්, ට්‍රම්ප්ගේ ම්ලේච්ඡ හමුදා බලය අභියෝග නොකරන බව ය. ඇමෙරිකානු බලහත්කාරී හමුදා බලය විසින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා ජාත්‍යන්තර නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් රටක ස්වාධීනත්වය හා ස්වෛරීත්වය අහෝසි කළ පළමු රටත් අවසන් රටත් වෙනිසියුලාව නොවන්නේය.
 
වෙනිසියුලාව සම්බන්ධව ජනවාරි 05 වන දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමතූ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් ගේ ප්‍රකාශය, එදින රැස්වීමේදී කියවනු ලැබුවේ, දේශපාලනය හා සාමය ගොඩනැගීම සම්බන්ධ උප මහ ලේකම් රෝස්මරී ඒ. ඩිකාර්ලො විසිනි. ඇමෙරිකා එක්සත් ජනපදය “වෙනිසියුලාවේ දියත් කළ හමුදා ක්‍රියාකාරිත්වය” හමුවේ එදින ඔවුන් රැස්වන බව සහ ඉන් ජීවිත විනාසද සිදුව ඇතැයි කියනවා මිස, ඇමෙරිකාවේ ම්ලේච්ඡත්වය ගැන කිසිදු සඳහනක් එහි නොවින. ඇමෙරිකා එක්සත් ජනපදයේ මේ අශීලාචාර, බලහත්කාරී හැසිරීම වහා නතර කළ යුතු යැයි කියන්නේ නැත. ට්‍රම්ප්ගේ ම්ලේච්ඡ හමුදා මෙහෙයුම ගැන සඳහන මග හරිමින් ගෝලීය රාජ්‍ය නායකයා ලෙස ඔහු කියන්නේ නිවට, නියාලූ, නින්දිත කතාවකි. ඔහු සිය ප්‍රකාශය අවසන් කරන්නේ :-

“.......තත්ත්වය තීරණාත්මක ය. නමුත් තවමත් වඩා බරපතල් විනාශකාරී ඇවිලීමක් වළකා ගැනීමට හැකිය. සෑම වෙනිසියුලානු පාර්ශවකරුවකුගෙන්ම මා ඉල්ලා සිටින්නේ, සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වය ඇති, සමාජයේ සියලු කොටස්කරුවන්ට තම අනාගතය තීන්දු කරගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයකට හවුල්වන ලෙස ය. එය මානව හිමිකම්, නීතිමය පැවැත්ම සහ වෙනිසියුලානු ජනතාවගේ පරමාධිපත්‍යයට ගරු කිරීමක් වනු ඇත. ප්‍රතිපත්ති, නීති සහ සාමකාමී සහජීවනය සඳහා හදනු ලැබූ රෙගුලාසි වලට අනුගතව සහ සහයෝගීව මැදිහත් වන්න යැයි මම වෙනිසියුලාවේ අසල්වැසියන්ගෙන් සහ පුළුල් අර්ථයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලමි. වෙනිසියුලානු ජනතාවට සාමකාමී ඉදිරි ගමනක් වෙනුවෙන් කෙරෙන සියලු ආධාර හා උත්සාහ මා අගය කරන අතර ඒ සඳහා සහාය දැක්වීමටද සූදානම් ය.

සභාපති තුමනි, අතිගරු සියල්ලනි,

අප මේ මොහොතේ මුහුණ දෙන ආකාරයේ අවුල් සහගත සංකීර්ණ තත්ත්වයන්හිදී, ප්‍රතිපත්ති රැක ගැනීම ඉතා වැදගත් ය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ සාමයත් ආරක්ෂාවත් සුරැකීමේ අනෙකුත් නීතිමය ප්‍රතිපාදන සඳහා ගරු කිරීමත් අවශ්‍ය වන්නේය. ස්වෛරීත්වය සම්බන්ධ ප්‍රතිපත්තීන්ට, දේශපාලන ස්වාධීනත්වයට හා රාජ්‍යයන්හි භෞමික අඛණ්ඩත්වයට ගරු කිරීමත් අවශ්‍ය වන්නේය. බලය යොදා ගැනීම හෝ තර්ජනය තහනම් විය යුතුය. නීතියේ ආධිපත්‍ය පැවතිය යුතුය. අන්තරායකර මත්ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය, සම්පත් සම්බන්ධ ආරවුල් සහ මානව හිමිකම් සම්බන්ධ සැක සාංකා ආමන්ත්‍රණය කිරීමේ මෙවලම් ජාත්‍යන්තර නීතියෙහි ඇත. අප ගත යුතු මාවත එය ය.
ස්තුතියි.”

UN sec
මදූරො සහ බිරිඳ නිදහස්කර, වැනිසියුලාවේ ජනතාවට ඔවුන්ගේ ඉරණම ස්වාධීනව තීන්දුකර ගැනීමේ අයිතිය තහවුරු කිරීමට ට්‍රම්ප් වැනිසියුලාවෙන් වහා ඉවත් විය යුතුයි කියා ආරක්ෂක මණ්ඩලයට යෝජනා කරන්නට, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට කොන්දක් නැති බව ඔහු නිරුවත්ව ප්‍රදර්ශනය කළේ ය.

ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයින් 05 දෙනාගෙන් කවුරුන් හෝ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීති උල්ලංඝණය කළ අවස්ථාවල පවා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරුන් ඉතිහාසය පුරා කරනු ලැබ ඇත්තේ මෙවැනි නිවට, නීච ප්‍රකාශ පමණය. එබැවින් අන්තෝනියෝ ගුතරෙස් එවැනි පළමු වැනියා නොවේ. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් මෙලෙස වගකීම් නොසළකා සිටියහොත් ඔහු අන්තිමයාද නොවනු ඇත.

මෙහි පහතින් ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය රාජ්‍ය නායකයින්ගේ කතිකත්වය ඇගයීමට ලක් කෙරුණු ජාත්‍යන්තර සභාවකට සීමා වූයෙන්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකු වන ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ අනෙකුත් ජාත්‍යන්තර නීතිමය ප්‍රතිපාදන මෘග ලෙස උල්ලංඝණය කළ අවස්ථා ගණනාවක් සටහන් වන ලේඛනයකි.

01. කොරියාව - 1950/1953 හමුදා ක්‍රියාන්විතයේ යෙදවීම
02. වියට්නාමය - 1961/1973 කොමියුනිස්ට්වරුන් පරාජය කිරීමේ හමුදා ක්‍රියාන්විත
03. ඉරාණය - 1953 අගමැති මොසඩෙග් හමුදා කුමන්ත්‍රණයකින් ඉවත් කිරීම
04. කියුබාව - 1961 ඌරු බොක්ක ආක්‍රමණය
05. ලාඕසය - 1965/1973 වියට්නාම් යුද්ධයේ දිගුවකි
06. ඩොමිනිකන් සමූහාණ්ඩුව - කියුබානු බලපෑම් ඇතැයි 1965 හමුදා ගොඩ බැස්සවීම
07. කාම්බෝදියාව - 1969/1973 වියට්නාම් යුද්ධයේ දිගුවකි
08. චිලිය - 1973 ජනාධිපති අයන්දෙ ඝාතනය හා ජෙනරාල් පිනොචේ බලයට ගෙන ඒම
09. ග්‍රෙනාඩාව - 1983 කියුබානු බලපෑම් ඇතැයි හමුදා ගොඩ බැස්සවීම
10. පැනමාව - 1989 පැනමා ඇල පාලනය කිරීමේ හමුදා ආක්‍රමණය
11. යුගෝස්ලාවියාව-සර්බියාව - 1995/1999 බෝම්බ ප්‍රහාර හා හමුදා සහාය
12. සුඩානය - 1998 ත්‍රස්තවාදය ඉලක්ක කෙරුණු හමුදා ක්‍රියාන්විත
13. හයිටිය - 1994/2004 රාජ්‍ය සහායට හමුදා ක්‍රියාන්විතය
14. ඇෆ්ගනිස්ථානය - 2001/2021 කොමියුනිස්ට් විරෝධී යුද්ධය
15. ඉරාකය - 2003/2011 තෙල් නිධි සඳහා ආක්‍රමණය හා රාජ්‍ය අත්පත් කර ගැනීම
16. ලිබියාව - 2011 තෙල් නිධි සඳහා හමුදා ප්‍රහාර, රාජ්‍ය නායකයා ඝාතනය හා රාජ්‍ය බිඳ දැමීම
17. සිරියාව - 2014/2015 හමුදා ප්‍රහාර
18. සොමාලියාව - 2007/අද දක්වා ආක්‍රමණික හමුදා නවතා තැබීම

ඊට අමතරව, අවුරුදු 70 ට වැඩි කාලයක් පලස්තීනු ජනතාවට එරෙහි ඊශ්‍රායල ම්ලේච්ඡ බලහත්කාරය නඩත්තු කෙරෙන්නේද ඇමෙරිකානු යුධ සහායට අමතරව, ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඊශ්‍රායලයට පක්ෂව සිය නිශේධ බලය භාවිත කිරීම හේතුවෙනි.

 


 
මේ අවලං ඇමෙරිකානු බලහත්කාරය අවුරුදු 75 ට පසුව හෝ නතර කිරීමට පියවර නොගෙන “වෙනිසියුලාවට අත නොතබනු” යැයි කීමත් නිවට නියාළු කමක් බැව්, තේරුම් ගත යුතුව ඇත. 1946 සිට නිශේධ බලය සමග ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ඇත්තේ ලොව යුධ අවි ආම්පන්න වෙළදපල පාලනය කරන ප්‍රධානම රටවල් වන ඇමෙරිකාව, ප්‍රංශය, බි්‍රතාන්‍ය, රුසියාව හා චීනයට ය. යුධ ගැටුම් නොමැති ලෝකයක ඔවුන්ට ලාභ ලැබිය නොහැකි බව සාමාන්‍ය සරළ දැනුමකි.

වෙනිසියුලාව වෙනුවෙන් උද්ඝෝෂණ පුවරු ඔසවන සියල්ලන්ට මා කියන්නේ, ඇමෙරිකාව වැනි අවලං තිරිසන් බලයක් අතු ගා දැමිය හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය යුධ අවි, ආම්පන්න නිෂ්පාදනය හා අලෙවිය නොකරන රටවලට පැවරීමෙන් යැයි කියා ය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාණ්ඩුව එක්සත් ජාතීන්ගේ මහ සභා රැස්වීමකට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළ යුතු යැයි මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුවට බල කළ යුතුව ඇත. උද්ඝෝෂණ පුවරු එසවිය යුත්තේ ඒ වෙනුවෙනි. ඊට සමගාමීව, දකුණු ආසියාව “අවිහරණ කලාපයක්” බවට තීන්දු කිරීමේ රාජ්‍ය සමුළුවක් කැඳවීම සඳහාද ආණ්ඩුව වහා පියවර ගත යුතු යැයි බල කළ යුතුව ඇත. මොහොතකට වෙනිසියුලාව පැත්තකින් තබා, ඒ යෝජනා දෙක වෙනුවෙන් ඉදිරිපත් වන්නට යැයි ප්‍රජාතන්ත්‍රවාදය, සාමය ඉල්ලා පුවරු ඔසවන සියල්ලන්ගෙන් මම මෙයින් ඉල්ලමි.


(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 ජනවාරි 08 වන දින

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'වෙනිසියුලාවට අත නොතබනු'? කාටද මේ කියන්නේ? | කුසල් පෙරේරා | The Leader