‘’ඩග්ලස් දේවාන්දාට දුන් ගිනි අවි 19ක් සන්තකයේ නැහැ’ : යුද හමුදාව හා ආරක්ෂක අමාත්‍යංශය කියන්නේ කුමක්ද?
එය පටන් ගන්නා ඡේදය මෙයාකාරව උත්ප්‍රාසය ම දනවයි.
‘හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, සිය ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔහුට ලබා දුන් ගිනි අවි අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක් හේතුවෙනි’’
මෙම පළමු ඡේදය දුටු සැණින් මතුවුණු හිනාව ‘ඉස්මොල්ලෙ’ යාමට ආසන්න බව දැනුණෙන් මම සන්සුන් වීමට වෙර දැරීමි. හිනාව මතුවීමට හේතුව මෙම වැදගත් බීබීසී වාර්තාවේ පිවිසුම උත්ප්‍රාසකර ලෙස මතුකරන ‘දේවානන්දා සින්ඩ්‍රොමය’ පිළිබඳ සමස්තයේ සන්දර්භයයි.
සමාජයක් ලෙස පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාම පිරිසිඳ දන්නාවූ ‘සක්සුදක් සේ’ අතිශය සුපැහැදිලි ‘දැනුමක්’ අපරාද විමර්ශන අංශය විසින් නැවත හොයාගැනු ලැබීම ‘දේවානන්දා සින්ඩ්‍රොමය’ ලෙස කියවා ගන්නට බැරි කමක් නැත. දේවානන්දා සින්ඩ්‍රොමයෙන් පීඩා විඳින්නේ කවුදැයි ඒ අනුව සිතාගැනීම අපහසු දෙයක් නොවේ.
ඩග්ලස් දේවානන්දා සහ ඔහුගේ පඩත්තල නඩය ගිනි අවි අවභාවිත කළ බව සමස්ත සමාජය දන්නේ ගෙවුණු දෙසැම්බර 26 වැනිදායින් පසුව ද? දේවානන්දා අත් අංගුවට පත්වීමේ සංසිද්ධිය පිළිබඳ පළවෙන ප්‍රවෘත්ති සහ වාර්තා දැක ගන්නට ලැබී අත් අඩංගුවේ පසුවෙන ඩග්ලස් දේවානන්දාට මතු වූ හිනාව නතර කරගන්නට බැරිවීම නිසා රහස් පොලීසීයේ කට උත්තර ගැනීමේ කාර්යයන්ට බාධා වී ඇති බව නො කියන්නට පරිස්සම් වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සේනාරත්න බීබීසියට මෙසේ කියයි. ‘’2000 අවුරුද්දේ යුද හමුදාව ටී 56 වර්ගයේ ගිනි අවි 13ක් සහ පිස්තෝල 6ක් නිකුත් කරලා තියෙනවා. මේවත් එක්ක ටී 56 උණ්ඩ 1560ක් දීලා තියෙනවා. පිස්ටල් උණ්ඩ දීලා තියෙනවා 100ක්. මේ එකක්වත් දැන් මෙයා සන්තකයේ නෑ’’ අහෝ! ඔහු මේ බව ප්‍රකාශ කරන්නට පවා ඇත්තේ මොන තරම් හිනාවක් හිරගෙකරගෙන ද?

යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේව බීබීසී ය ප්‍රශ්න කරයි. ඔහුට අනුව මේ සියලු ගිනි අවි ලබා දී ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතියට යටත්ව ය. එසේම ගිනි අවි බාර දුන් පසු එහි වගකීම එය දරන්නා සතු බව ඔහු අවධාරණය කරයි. බීබීසී ය ඔහුගෙන් තවත් ඉතා වැදගත් ප්‍රශ්නයක් අසයි. මෙයාකාරව ලබා දෙන ගිනි අවි පිළිබඳව පසු විපරමක් කරනවා ද යන්න යි. බ්‍රිගේඩියර් වරුණ ගමගේ ලබා දෙන පිළිතුර වැදගත් දේශපාලන ප්‍රශ්නයක් ශේෂ කරයි. ඔහුගේ පිළිතුර ඔහුගේ ම වචන වලින් උපුටන්නේ නම් මෙබඳු ය.
‘’’දැන් ඒවා මොනිටර් කරනවා. අපි දන්නෙ නෑ ඒ කාලෙ මොනවා වුණාද කියලා’’
ඒ කාලෙ සිද්ධ වී ඇති දේවල් දන්නා කෙනෙක් හමුවුණු බව මේ වන තුරු නම් නිල වශයෙන් වාර්තා වී නැත. දේවනන්දා අත් අඩංගුවට ගත් පසු වහාම මාධ්‍ය හමුවක් කැඳවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එහි භාණ්ඩාගාරක ලසන්ත අලගියවන්න හරහා මෙසේ පැවසෙන්නට ඉඩ හැරෙයි. ‘’ඩග්ලස් දේවානන්දා ඇමතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණ සහ එක්සත් නිදහස් සංධානයේ සන්ධානගත දේශපාලන පක්ෂයක නායකයෙක්. ඒක මුලින්ම කියන්න ඕනි. ඒ වගේම එතුමා ආයුද අතහැරලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට දශක කිහිපයකට පෙර සම්බන්ද වුණු කෙනෙක්.’’
ඊපීඩීපී හෙවත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ඊළාම් සටන අතහැර සිංහල ආණ්ඩු සමඟ සෙට්වුණු පසු, ආයුද අත් හරින ලද අත්වල නිල වශයෙන්ම ආයුද පැටළුණු බව අලගියවන්න බබා දන්නේ නැත.
ඩග්ලස් දේවානන්දා (වම් පස වාඩි වී සිටී)
අප මිත්‍ර මාධ්‍යවේදී මයිල්වාහනම් නිමලරාජන් ඔහුගේ නිවස තුළම මරා දැමුණේ හරියටම ඩග්ලස් දේවානන්දා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කැබිනෙට්ටුවේ දිවුරුම් දුන් දවසක් වූ 2000 වසරේ ඔක්තෝබර් 19වැනිදා වීම අහම්බයක්ද? එදින ඔහු ‘උතුරු හා උතුරු නැඟෙනහිර පළාත් සංවර්ධන, පුනුරුත්ථාපන, ප්‍රතිසංස්කරණ, කෘෂිකර්ම අලෙවි සංවර්ධන, දෙමළ හා හින්දු කටයුතු, දෙමළ භාෂා පාසල් සහ උතුර සඳහා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස කොළඹදී දිවුරුම් දෙයි. නිමලරාජන් යාපනයේ අධිආරක්ෂක කලාපයේ පිහිටි ඔහුගේ නිවසේදීම ඝාතනය වෙයි. මොන තරම් සැළසුම්සහගත අහම්බයන්ද?

නිමලරාජන් මරා දමා 25 වසරක් ගතවීම නිමිතිකරගෙන ‘සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ’ මූලිකත්වයෙන් 2025 සැප්තැම්බරයේ යාපනයේදී සහ කොළඹදී එළිදැක්වුණු පිටු 70ක් පමණ වන ‘ඉටුනොවූ යුක්තියේ පසුවිපරම’ නමින් යුතු වාර්තාවේ නිමල්රාජන් ඝාතන විමර්ශනය අසාර්ථක වීමට බලපෑ කරුණු ‘අධිකරණ විද්‍යාත්මක විශ්ලේෂණයක්’ හරහා පැහැදිලිවම සලකුණු කරනු ලැබ තිබේ. විමර්ශන නිලධාරීන් ක්‍රියාකළ ආකාරය සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ. මේ නිලධාරීන් කවුදැයි නොදන්නා නිලධාරීහූ කවරහු ද? මෙම වාර්තාව පැහැදිලිවම පෙන්වා දෙන්නේ නිමලරාජන් ඝාතනය පිළිබඳව සෘජුවම ඇඟිල්ල දිගුවුණු ඩග්ලස් දේවානන්දාගෙන් පොලීසිය කිසිම විටෙක ප්‍රශ්න කර නැති බවයි. එමණක් නොව ඔහු එතැක් පටන් ‘ජාතික ජන බලවේගය’ බලයට පත්වන තුරු පැවති සියලුම ආණ්ඩු වල අමාත්‍යධූර හොබවා ඇති බව ද මෙම වාර්තාව දක්වයි.

දේවානන්දා සමඟ 2004 වසරේ එකම කැබිනට් මණ්ඩලය නියෝජනය කළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු මේ මොහොතේ සක්‍රීය ඕනෑම දේශපාලකයෙක් දේවානන්දාට අදාල කුප්‍රකට තොරතුරු අතැඹුලක් සේ දනියි. නමුත් මේතාක් කිසිවකුත් මෙම පැරා මිලිටරි භාවිතයන්ට එරෙහිව සිදුකළ කිසිඳු මළඉළව්වක් නැත.
ඊට එරෙහිව අප නඟනා හඬට අත්වන ඉරණම මා නිමලරාජන් වෙනුවෙන් ලියා තැබුවේ ඔහු අපිට අහිමිව යාමේ පළමු වසරේ ස්මරණය දා ය. එනම් 2001 වසරේ ඔක්තෝබර් 19වැනිදා ය. 2002 වසරේ පළවූ ‘පිළිහුඩුවී’ කෘතියේ මෙ කව අන්තර්ගත ය. ‘නිමලරාජන්’ මැයෙනි.
‘’මගේ පෑනට
කටහඬක් නෑ
නිමලරාජන්
කටහඬට
පියාපත් නෑ
‘’කටහඬක් ඇති කුරුල්ලෝ
ගී ගයන්නෑ
කතා විතරයි
පියාපත් ඇති කුරුල්ලෝ පියාඹන්නෑ
‘’අවුරුද්ද
දවසින් ගියා....
‘’ගැයී නම්
ගීත දහසක්
පියෑඹී නම්
බොහෝ ඈතක්
‘’අවුරුද්ද
දවසින් ගියා
ඊළඟට
අලුත් දවසක්
‘’මගේ පෑනට
කටහඬක් නෑ
නිමලරාජන්
කටහඬට
පියාපත් නෑ’’-
ඒ කවිය ලියා 24 වසරකට පසු ගත වෙන මේ මොහොතේ ඩග්ලස් දේවානන්දා අත් අඩංගුවේ පසුවේ. 25 වසරකට පෙර ඔහු අතට ආයුද දුන් වගකිවයුත්තන් සොයා ගන්නට අලුත් වගකිවයුත්තන්ට නොහැකි බව ඔවුහුම පවසන්නෝ ය. ඔහු ඇප පිට නිදහස් වීමත්, මුළුමනින්ම නිදොස් කොට නිදහස් වීමත් සිද්ධ වන අයුරින් අධිකරණයට කරුණු වාර්තා කරන්නට විශාල පරිචයක් ඇති පොලීසියක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සතු ය. එවන් පසුබිමක පවා අප යලි වරක් ප්‍රශ්න කරන්නේ මෙයයි. අප මිත්‍ර නිමලරාජන් තිරශ්චීන ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ සිට කුඩාතනෛ වෙරලේදී වෙඩි තබා ඝාතනය කළ කේතීස්වරන් තේවරාජා මෙන්ම තවත් බොහෝ ඝාතන වලට සෘජුවම වගකිව යුත්තන් මෙන්ම, එම ආයුද නිකුත් කළ යුද හමුදාව සහ ආරක්ෂක අමාත්‍යංශය එම ඝාතන වලට වගකිව යුතු නැද්ද? මේ වනාහී රාජ්‍ය ත්‍රස්තවාදයේම දිගුවක් බවත් ‘පාර රාජ්‍ය’ පවතින්නේ මෙවන් සංසිද්ධි මත පදනම්ව බවත් විග්‍රහ කර ගැනීමට ‘දේවානන්දා සින්ඩ්‍රොමය’ ප්‍රමාණවත් නැද්ද?
ඩග්ලස් දේවානන්දා අත් අඩංගුවට පත් දවසේ මට වට්සැප් පණිවිඩක් තැබූ මිත්‍රවරයෙක් මෙසේ ලියා තිබුණි. ‘’සහෝදරයා, මූව ඇරෙස්ට් කරා කියලා දැක්ක හැටියෙ මට එකපාරටම මත්වුණේ සහෝදරයා තේවට ලිව්ව කවිය’’
කේතීස්වරන් තේවරාජා
තමන් ඉපදුණු මහපොළොවට දැඩිව ආත්මීයව බැඳුණු කේතීස්වරන් තේවරාජා, සුන්දර මනල්කාඩු වෙරළ තීරය කාබාසිනියා කිරීමට එරෙහිව නැඟූ හඬ, අවසන් කර දමනු පිණිස එම වැලි කන්ද මතදීම ඔහුව ඝාතනය කෙරුණි. එම සිද්ධිය සිංහල සමාජයට අමතකවීමට තිබුණු ඉඩ අහෝසි කරලමින් මා ලියා තැබූ කවියේදී දේවානන්දා මා සලකුණු කළේ මෙපරිද්දෙනි.
‘සීතාම්බර සළු පට පිළි හෙවණැල්ලේ
ආනන්දයක් ඇති දෙයියොත් හෙලුවැල්ලේ
විලි සංගයක් නැති සින්නක්කර වැල්ලේ
සඟමිත් තෙරණියොත් ඉකිබිඳ වැලපිල්ලේ’’

තේවා වෙනුවෙන් ලියැවුණු ‘නියඟලා කවි’ නම් සමස්ත කවි පන්තියේ ඉහත කවියටම යාවුණු ඊළඟ කවිය දේවානන්දාට පමණක් නොව දේවානන්දා මෙතෙක් රැකගත්, එමෙන්ම නුදුරේදී රකින්නට නියමිත සියල්ලන්ම වෙනුවෙන් යලිත් මෙසේ ලියා තබමි.
‘’වැලිකඳුත් ගිලින නැඩ ගිනි මකරුන්ට
ඉඳුමිණක් හැකිද වෙන් කර හඳුනන්ට
මවු බිමත් සමඟ රමණය කළවුන්ට
මව් වුණත් කයක් පමණෙකි හැමිනෙන්ට’’
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
www.wediwardena.com
(මෙම ලිපිය 'අනිද්දා'ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )




ඩග්ලස් දේවානන්දා සහ ඔහුගේ පඩත්තල නඩය ගිනි අවි අවභාවිත කළ බව සමස්ත සමාජය දන්නේ ගෙවුණු දෙසැම්බර 26 වැනිදායින් පසුව ද? දේවානන්දා අත් අංගුවට පත්වීමේ සංසිද්ධිය පිළිබඳ පළවෙන ප්‍රවෘත්ති සහ වාර්තා දැක ගන්නට ලැබී අත් අඩංගුවේ පසුවෙන ඩග්ලස් දේවානන්දාට මතු වූ හිනාව නතර කරගන්නට බැරිවීම නිසා රහස් පොලීසීයේ කට උත්තර ගැනීමේ කාර්යයන්ට බාධා වී ඇති බව නො කියන්නට පරිස්සම් වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සේනාරත්න බීබීසියට මෙසේ කියයි. ‘’2000 අවුරුද්දේ යුද හමුදාව ටී 56 වර්ගයේ ගිනි අවි 13ක් සහ පිස්තෝල 6ක් නිකුත් කරලා තියෙනවා. මේවත් එක්ක ටී 56 උණ්ඩ 1560ක් දීලා තියෙනවා. පිස්ටල් උණ්ඩ දීලා තියෙනවා 100ක්. මේ එකක්වත් දැන් මෙයා සන්තකයේ නෑ’’ අහෝ! ඔහු මේ බව ප්‍රකාශ කරන්නට පවා ඇත්තේ මොන තරම් හිනාවක් හිරගෙකරගෙන ද? 