The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

ට්‍රම්ප්ගේ වෙනිසියුලා ආක්‍රමණය, චීනය සහ රුසියාව | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

January 9, 2026 • 12:32 PM

ට්‍රම්ප්ගේ වෙනිසියුලා ආක්‍රමණය, චීනය සහ රුසියාව | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකානු ජනාධිපති නියෝගයෙන් ඇමෙරිකානු හමුදා වෙනිසියුලාවට බෝම්බ දමා නීති විරෝධීව ගොඩ බැස එරට ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරෙස් පැහැර ගැනීම, එරට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට හෝ මත් ද්‍රව්‍ය කාටල විනාශ කිරීමට කරන ලද සත් ව්‍යායාමයක් යැයි අද පිළිගන්නා කෙනෙක් දැන් සොයා ගැනීමට අමාරුය.
  • ට්‍රම්ප්ගේ අණින් වෙනිසියුලා ජනාධිපති මදුරෝ අත්අඩංගුවට ගැනීමට දෙන ලද ප්‍රධාන හේතුව ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම නොව මත්ද්‍රව්‍ය ජාවාරමට ඔහු සම්බන්ධ බවට කරන ලද  චෝදනාවය.
  • මෙම චෝදනාව ඔහුට විරුද්ධව පවරා ඇති නඩුවෙහිද එක් කරුණකි.
  • නමුත් ආක්‍රමණයෙන් පැය 72ක් යෑමට පෙර ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවය එනමින් කාටලයක් නැති බව ප්‍රකාශ කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම ප්‍රහාරයේ දී කියුබානු සොල්දාදුවන් 32 ක් ඇතුළුව සියයකට අධික සිවිල් සහ මිලිටරි පුද්ගලයින් ඝාතනය කරන ලදී. වෙනිසියුලාව පුරා ආක්‍රමණයට විරුද්ධ පෙළපාලි පැවැත්වේ.

ට්‍රම්ප්ගේ අණින් වෙනිසියුලා ජනාධිපති මදුරෝ අත්අඩංගුවට ගැනීමට දෙන ලද ප්‍රධාන හේතුව ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම නොව මත්ද්‍රව්‍ය ජාවාරමට ඔහු සම්බන්ධ බවට කරන ලද  චෝදනාවය. මෙම චෝදනාව ඔහුට විරුද්ධව පවරා ඇති නඩුවෙහිද එක් කරුණකි. මදුරෝ Cartel de los Soles දෙ ලොස් සොලස් නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කාටලයකට සම්බන්ධ යැයි එම චෝදනාවෙහි හරය විය. නමුත් ආක්‍රමණයෙන් පැය 72ක් යෑමට පෙර ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවය එනමින් කාටලයක් නැති බව ප්‍රකාශ කර තිබේ. දැනටමත් ආක්‍රමණයේ මතුපිට හේතුව බිඳ වැටී තිබේ. ඇත්ත හේතුව එරට ඛනිජ සම්පත් සූරා කෑමයි.

 

ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් 2003 දෙසැම්බර් මාසයේ දී ඉරාකය ආක්‍රමණය කළේ එරට සමූහ ඝාතක අවි ඇතයි යන චෝදනාව මතය. නමුත් එය ව්‍යාජ හේතුවක් බව පසුව අනාවරණය විය. එරට ජනාධිපති සදාම් හුසේන් අත්අඩංගුවට ගෙන මරණ දඬුවම පනවන ලද්දේ කැන්ගරු උසාවියකිනි. සදාම් තනි පක්ෂ පාලනයක් ගෙන ගිය ඒකාධිපතියකු වූ බව සැබෑය. ඔහු ඝාතනය කරන ලද්දේ එම හේතුව නිසා නොව ඉරාකයේ තෙල් සම්පත කොල්ලකෑම පිණිසය. ලිබියානු ජනාධිපති ගඩාපි ඝාතනය කරන ලද හේතුවත් එයමය. අද ලිබියාව යනු මිලිටරි කල්ලි විසින් පාලනය කරන විනාශ වූ දේශයකි. ඉරාකයේ තෙල් සම්පත  නැතිව ඇමෙරිකාවට එරට හැර යාමට සිදු විය. ලිබියාවෙහි තෙල් සම්පත මිලිටරි කණ්ඩායම් විසින් පාලනය කරයි.

ඇමෙරිකානු වාම දේශපාලනඥයකු වන බර්නි සැන්ඩරස් පෙන්වා දී ඇති පරිදි නිකොලෙස් මදුරෝගේ පාලනය සහ සවුදි අරාබියේ ඇත්ත පාලකයා වන එරට ඔටුන්න හිමි කුමරු සහ අගමැති වන  මොහොමඩ් බින් සල්මාන්ගේ පාලනය අතර වෙනසක් නැත. නමුත් බින් සල්මාන් ට්‍රම්ප්ගේ ගජ මිතුරෙකි. බ්‍රසීලයේ ඒකාධිපතියකු වීමට වලි කෑ බෙල්සෙනාරෝ මෙන්ම එල් සැල්වදොරයේ  ජනප්‍රිය අර්ධ ඒකාධිපති පාලකයා වන නයුබ් බුකලේද ට්‍රම්ප්ගේ හිත මිතුරන්ය.

ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙවළමක් පමණි. ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් මගින් ඇමෙරිකානු එක්සත් ජනපද උපාය මාර්ගික සහ ආර්ථික අවශ්‍යතා සමඟ පෙළ ගැසෙන  ආණ්ඩු බිහි කර ගත හැකි නම්  පමණක් යෝග්‍ය යැයි සලකන දේශපාලන පද්ධතියකි. එසේ නොවේ නම් ඇමෙරිකාව සම්බාධඛ පැනවීමේ සිට හමුදා බලය යෙදවීම වැන ක්‍රියා මාර්ග කරා ගමන් කරයි.

ඇමෙරිකානු ආක්‍රමණ හෙළා දැකීම පිණිස මදුරෝ පාලනය ද හෙළා දැකීම කොන්දේසියක් විය යුතු යන අදහස වැරදි වන්නේ එනිසාය. මදුරෝගේ ඒකාධිපති පාලනය සහ ඔහු පැහැර ගැනීම අතර සම්බන්ධයක් නැත. සම්බන්ධය නව යටත් විජිතවාදී සම්පත් කොල්ලකෑමේ අවශ්‍යතාවයයි. ට්‍රම්ප්, ඩෙන්මාර්කයට අයත් ග්‍රීන්ලන්තය යුද බලයෙන් අල්ලා ගැනීමට යන්නේ ද ප්‍රජාතන්ත්‍රවාදය නිසා නොව නිරුවත් නව විජිතවාදී වියරුව නිසාය.

 


දැනටමත් ට්‍රම්ප්, මදුරෝගේ පාලනය ඔහුගේ උප ජනාධිපතිවරියවන ඩෙල්සි රොඩ්රිගස් හරහා ගෙන යෑමට එකඟ වී තිබේ. ඇය බොහෝ විට ඇමෙරිකානු තෙල් සමාගම් වලට වෙනිසියුලාවේ දොර හැරීමට ඉඩ තිබේ. ඇය පසුගිය වසර කිහිපය තුළ වෙනිසියුලා ආර්ථිකය යළි විවෘත කිරීමට පියවර ගනිමින් සිටියාය. ඇය සිටින්නේ දුෂ්කර තත්වයකය. එනමුත් ඇය ට්‍රම්ට්ට යටත් නොවන බව පැහැදිළිය.

මදුරෝට පෙර බලයේ සිටි හියුගෝ චාවෙස් සිය පාලනය හැදින්වූයේ බොලිවේරියානු විප්ලවය ලෙසයි. 1999 දී බලයට පත්වීමෙන් පසු, ඔහු බොලිවේරියානු ජනරජය සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට මග පෙන්වීය. එමඟින් ජනාධිපති බලතල සහ වාර සීමාවන් වැඩි කර ගන්නා ලදී. මෙම නව ක්‍රමය යටතේ දෙවන වරටත් ඔහු  තේරී පත් විය.

ඔහු ඉහළ ගිය තෙල් මිල ප්‍රයෝජනයට ගෙන අරමුදල් ඇති කර දුප්පතුන්ට සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ ආහාර සහනාධාර ලබා දුන්නේය. ආරම්භයේ දී දරිද්‍රතාව සහ අසමානතාව සීග්‍රයෙන් අඩු විය. එක්සත් ජනපදයට එරෙහිව දරුණු ප්‍රකාශ කරමින් දරුණූ සතුරකු ඇති කර ගත්තේය. එමෙන්ම ඔහු බොහෝ සමාජවාදී රටවල මෙන් බලය තමා වටා සංකේන්ද්‍රණය කර ගත්තේය. 2013 දී ඔහු මිය යන විට රට ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබුණි. බොහෝ කර්මාන්ත ජන සතු කළ නමුත් ඒවායේ පරිපාලනය දුර්වල විය. දැඩි මුදල් සහ මිල පාලනයක් පැනවී තිබුණි.

මදුරෝ යටතේ වෙනිසියුලාව ඒකාධිපති රාජ්‍යයක් බවට පත් වූයේ ඇමෙරිකානු සම්බාධක මගින් ආර්ථිකය තවත් දුර්වල කර තිබූ තත්වයක් තුලය.

 


මදුරෝගේ සහායට නව ලෝක බලවතුන් බවට පත්ව සිටි පුටින් ගේ රුසියාව සහ ෂී ජිං පිං ගේ චීනය පැමිණියේ ය. චීනය බොර තෙල් සඳහා ඩොලර් බිලියන 60ක් මදුරෝ පාලනයට ලබා දුන්නේය. විවිධ මූලාශ්‍රයන් දක්වන්නේ රුසියාව වෙනිසියුලාවෙහි ඩොලර් බිලියන 600ක් තරම් ආයෝජනය කර ඇති බවයි. දෙරටම වෙනිසියුලාවට යුද්ධායුද ලබා දුන්නේය.

ලෝක ආධිපත්‍ය සඳහා චීනයේ උපාය මාර්ගය සහමුලින්ම වාගේ ආර්ථික සබඳතා මත රඳා පවතී. චීනයේ විදේශ ප්‍රතිපත්තිය ගොඩනැගී ඇත්තේ මැදිහත් නොවීම සහ රජයන් සමඟ ඔවුන්ගේ දේශපාලනය නොසලකා කටයුතු කිරීම මත ය. ඒ අනුව ආසියාවේ පමණක් නොව අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ සිය වාණිජ සහ දේශපාලන සබඳතා තර කර ගැනීමට චීනය සමත් විය. ඇමෙරිකානු ආධිපත්‍යට අභියෝග කරන බ්‍රික්ස් නම් එකතුව මෙන්ම සේද මාවත ව්‍යාපෘතියද වේගයෙන් වර්ධනය වෙයි. ෂැංහයි සහයෝගිතා සංවිධානය තවත් එවැනි බල කේන්ද්‍රයකි. ලතින් ඇමෙරිකාවෙහි සේද මාවතෙහි ප්‍රධාන සංධිස්ථානයක් වූයේ වෙනිසියලාවය. දැන් එය බිඳ වැටී ඇත.

රුසියාව ඊට වෙනස්ය. එය අප්‍රිකානු රාජ්‍ය ගණනාවක සිය සමාන්තර හමුදා පවත්වා ගෙන යන අතර මිලිටරි ආණ්ඩු ඇති කිරීමට දායක වී තිබේ. යුක්‍රේන ආක්‍රමණය රටවල් අල්ලා ගැනීමේ රුසියානු පිළිවෙතට නිදසුනකි. ජනාධිපති පූටින් ලෝකයේ අයෝමය දේශපාලනඥයකු ලෙස සිය ප්‍රතිරූපය ගොඩ නඟා ගැනීමට කැමතිය.නමුත් දැන් එම ප්‍රතිරූපයට දරුණූ පහරක් වැදී තිබේ.  වෙනිසියුලාව යනු බටහිර අර්ධගෝලයේ රුසියාවට තිබූ වැදගත්ම උපාය මාර්ගික බල කොටුවය. එය අහිමි වීම රුසියාවේ බලය ප්‍රක්ෂේපණය කිරීමේ හැකියාව අඩපණ කරනු ඇත.

ඉරාක නායකයා වූ සදාම් හුසේන් මෙන්ම ලිබියානු නායකයා වූ කර්නල් මුවම්මර් අල් ගඩාෆිද රුසියාවේ මෙන්ම චීනයේ සමීප මිතුරන් විය. එම දෙදෙනා බටහිර රටවල් විසින් පෙරළා දැමීම වැළැක්වීමට දෙරටම අසමත් විය. එපමණත් නොව මැද පෙරදිග රුසියාවට පක්ෂව සිටි අවසාන  රාජ්‍ය නායකයා වූ සිරියාවේ නායක බෂාර් අල් අසාද් පෙරළා දැමීමට ඇමෙරිකාව සහ තුර්කිය එක් විය. අද මැද පෙර දිග චීනයේ සහ රුසියාවේ යුදමය මිතුරා වන්නේ ඉරානය පමණි. එනමුත් එක්සත් ජනපදය ඉරානයට පහර දුන් අවස්ථාවෙහි ප්‍රකාශයක් කිරීමෙන් එපිටට දෙරටම ගියේ නැත. ආගමික ඒකාධිපති රාජ්‍යක් වන ඉරානය තිබෙන්නේද අවදානම් අඩියකය. විරෝධතා පෙළපාලිවලින් ඉරානය දෙදරා යමින් තිබේ.

 


ඇමෙරිකානු බලහත්කාර දේශපාලනයේ ප්‍රබලම අවියක් වන සම්බාධක පැණවීම නිසා කියුබාව මෙන්ම ඉරානයද තිබෙන්නේ උග්‍රවන ආර්ථික අර්බූදයකය.

ලෝක ආධිපත්‍ය පවත්වා ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ උපාය මාර්ගික සැලැස්ම තුල රුසියාව සහ චීනය අඩපණ කිරීම ඉදිරියට යමින් තිබෙන බව මෙම කරුණූ අපට පෙන්වයි. එක්සත් ජනපද යුද- දේශපාලන අක්ෂය ලෝකයේ සම්පත් අල්ලා ගැනීම පිණිස චීනය සහ රුසියාව සමඟ යුද්ධයකට යෑමට සූදානම් වෙයි. චීනයේ වෙනිසියුලා පුරුක බිඳ දැමීම එම දීර්ඝ කාලීන සැලැස්මේ එක් පියවරක් ද වේ.

වෙනිසියුලා අර්බුදය පිළිබඳ වඩා තීරණාත්මක ප්‍රශ්නය වන්නේ බලවතුන් ගණනාවක් අතර බෙදී ගොස් තිබූ බහු ධ්‍රැවීය ලෝක ආධිපත්‍ය දැන් කවර දිසාවකට ගමන් කරනු ඇත්ද යන්නයි. ලංකාව වැනි භූ දේශපාලන අතින් කේන්ද්‍රීය ස්ථානයක් ගන්නා රටවලට මෙම නව වර්ධනය කෙසේ බලපානු ඇත්ද යන්නයි. අනුර කුමාර ආණ්ඩුව ගමන් කරන්නේ ධ්‍රැව දෙක අතර ඇති කඹයක් මතය.

වෙනිසියුලා ආක්‍රමණය විසින් මෙම බහු ධ්‍රැවීය ලෝක බල තුලනය වෙනස් නොකරනු ඇති නමුත් චීනය සහ රුසියාව බලගතු අර්බුදයකට මුහුණ දෙයි.

 



ඇමෙරිකා එක්සත් ජනපදය වඩා ශක්තිමත් වන්නේ යැයි ඉන් අදහස් නොවේ. යුරෝපයේ බලගතු රාජ්‍ය එක්ව ඩෙන්මාර්කයට අයත් ග්‍රීන්ලන්තයට එක්සත් ජනපදයට කිසිදු අයිතියක් නැති බවට කළ ප්‍රකාශය ඒ සඳහා නිදසුනකි. ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අල්ලා ගැනීමට යුද බලය යෙදවුව හොත් යුරෝපය සහ එක්සත් ජනපදය අතර බරපතළ ගැටුමක් ඇති වනු ඇත. පෙනෛ විදිහට එම ගැටුම අත ළගය.

වඩාම බලගතු නිශේධනාත්මක සාධකය වන්නේ එක්සත් ජනපද අනුග්‍රහය ලත් මිලිටරි පාලන නිසා බැට කා ඇති ලතින් ඇමෙරිකානු ජන මතය වෙනිසියුලා ආක්‍රමණය විසින් යළි පණ ගන්වා තිබීමයි.

රුසියාව සහ චීනය යන දෙරටම ඇමෙරිකානු ආක්‍රමණය හෙළා දැක නිකලොස් මදුරෝ නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රබල ප්‍රකාශ නිකුත් කළ නමුත් ඉන් එහාට ගත හැකි පියවරක් දෙරටම නැත. යුක්‍රේනය ආක්‍රමණය කර සිටින රුසියාවට ඇමෙරිකානු ආක්‍රමණය හෙළා දැකීමට සදාචාර පදනමක් නැත. චීනය දෙවන ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ස්වෛරී රාජයන්ට එල්ල වන එක්සත් ජනපද යුද ආක්‍රමණයන්ට මුහුණ දීමට තමන් සූදානම් බවයි. ඇමෙරිකාව රුසියානු බෙලිසේ නෞකාව පැහැර ගැනීමට පිළිතුරු දෙන්නේ යුක්‍රේනයේ අග නගරයට සුපරි සොනික් මිසයිල විදීමෙනි. චීනය තායිවානයට තර්ජනය කරයි.

දැනට පෙනෙන්නේ ට්‍රම්ප් පිටියේ තත්වය මැන ගැනීමට පසුපස පාදයේ ක්‍රීඩා කරන බවයි. චීනය ක්‍රීඩා කරන්නේ තරඟය පමා කිරීමටය. පූටින්ට යුක්‍රේනයේ සටන් විරාමයකින් තොරව ක්‍රීඩා පිටියෙහි ප්‍රහාරකයකු වීම දුෂ්කරය. සෙලෙන්ස්කි ට්‍රම්ප් සමඟ එක්ව පූටින්ට දඟර පන්දු යවයි. යුරෝපා ග්‍රීන්ලන්ත ක්‍රීඩකයෝ පිටියට පැමිණෙන බවට තර්ජනය කරති.

මේ ක්‍රීඩාව අපේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සඳහා  නොවේ. ලෝකයේ සම්පත් සහ භූමිය බෙදා ගැනීම පිණිසය. එය මාරාන්තික ක්‍රීඩාවකි. ඉදිරි සති සහ මාස ලෝකයට තීරණාත්මක වන්නේ එනිසාය.

(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist

sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ට්‍රම්ප්ගේ වෙනිසියුලා ආක්‍රමණය, චීනය සහ රුසියාව | සුනන්ද දේශප්‍රිය | The Leader