The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

සාම සඟ පෙරහැර සමඟ 'ආලෝක' වොෂිංටනයට !

T

The Leader Desk

January 12, 2026 • 5:17 AM

සාම සඟ පෙරහැර සමඟ 'ආලෝක' වොෂිංටනයට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ 'ඕවල් කාමරයේ' සිට යුද බෙරය වයමින් සිටිය දී ඔහුට ඇසෙන්නට මෙන් සාම බෙර හඬ රැගත් සංසුන් පා ගමනක් (Walk for Peace) එක්සත් ජනපද ප්‍රාන්ත ඔස්සේ වොෂින්ටනය දෙසට ගමන් ගනිමින් ඇත. යුද්ධය පිළිකුල් කරන ඇමෙරිකානු බුද්ධිමතුන් සහ ජන මාධ්‍යය ද ඇතුළුව එරට අතිවිශාල ජනකායක් මෙම සාම පා ගමන සම්බන්ධයෙන් කතා කරන්නට පටන්ගෙන ඇත.
  • ඉහත සඳහන් කළ සාම පා ගමනෙහි නිරතවෙමින් සිටින්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේ සමූහයකි.
  • සංඛ්‍යාවෙන් දහනව දෙනකු වූ භික්ෂූන් පිරිස පසුගිය ඔක්තෝබර් 26 වෙනි දින ගමන් ආරම්භ කරන ලද්දේ ටෙක්සාස් ජනපදයේ ෆෝර්ට් වර්ත්(Fort Worth) නගරයේ  හුඕං ඩාඕ (Huong Dao) විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙනි.
  • වියට්නාම බෞද්ධ සම්ප්‍රදායට අයත් පඤ්ඤාකර නම් භික්ෂුවකගේ නායකයත්වයෙන් සිදුකෙරෙන සාම පා ගමනේ ඉලක්කය දවස් 120 ක් ඇතුළත ප්‍රාන්ත දහයක් ඔස්සේ ගමන් කරමින් වොෂින්ටන්(Washington D.C) අගනුවරට සම්ප්‍රාප්ත වීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ට්‍රම්ප් පරිපාලනය විසින් වෙනිසියුලාව ආක්‍රමණය කරමින් එරට ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ පැහැර ගනු ලැබීම, Minneapolis හි කාන්තා ඝාතනය, ග්‍රීන්ලන්තය යටත්කර ගැනීමට දැල එළීම මෙන්ම ඉරානයට ද තර්ජන එල්ල කරමින් සිටින මොහොතක මෙම සාම පා ගමන සිදුවීම විශේෂයෙන් ම ඓතිහාසික වෙයි. තවද, තුවක්කු නීතිය සැහැල්ලු රාජ්‍යයක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්තවල නිදැල්ලේ සිදුකෙරෙන වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන පිළිබඳ පුවත් බොහෝවිට මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබෙන පරිසරයකයි මෙම සාම චාරිකාව සිදු කෙරෙන්නේ.

ඉහත සඳහන් කළ සාම පා ගමනෙහි නිරතවෙමින් සිටින්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේ සමූහයකි. සංඛ්‍යාවෙන් දහනව දෙනකු වූ භික්ෂූන් පිරිස පසුගිය ඔක්තෝබර් 26 වෙනි දින ගමන් ආරම්භ කරන ලද්දේ ටෙක්සාස් ජනපදයේ ෆෝර්ට් වර්ත්(Fort Worth) නගරයේ  හුඕං ඩාඕ (Huong Dao) විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙනි. වියට්නාම බෞද්ධ සම්ප්‍රදායට අයත් පඤ්ඤාකර නම් භික්ෂුවකගේ නායකයත්වයෙන් සිදුකෙරෙන සාම පා ගමනේ ඉලක්කය දවස් 120 ක් ඇතුළත ප්‍රාන්ත දහයක් ඔස්සේ ගමන් කරමින් වොෂින්ටන්(Washington D.C) අගනුවරට සම්ප්‍රාප්ත වීමයි.

දවස් 120ක් සිදුකෙරෙන සාම චාරිකාවේ නිරත භික්ෂූන් විසින් ගෙවා යා යුතු දුර ප්‍රමාණය සැතපුම්  2300 (කිලෝමීටර් 3,700) කි. "ගෞතම බුදුන්ගේ ඉගැන්වීම්වලින් ලද ආභාෂය අනුව මෙම සාම වන්දනාවේ  අරමුණ වන්නේ සාමය, දයාව, කරුණාව සහ අනුකම්පාව සම්බන්ධයෙන් ඇමරිකාව ද ඇතුළුව සමස්ත ලෝකය දැනුවත් කිරීම යයි "  සිටිසන් ටයිම්ස් (Citizen Times)උපුටා දක්වන මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.

සාමයේ පණිවුඩය රැගෙන ගව් ගණන් මග ගෙවමින්  ගම්දනව් නගර පසුකරන භික්ෂූන් පිළිගැනීමට සහ සත්කාර කිරීමට මහජනතාව බලා සිටින්නේ දහස් ගණනිනි. සාම භික්ෂූන් වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලයෙහි  විශාල ප්‍රේක්ෂක පිරිසක් ගොණු වී සිටින අතර ෆේස්බුක් හි  පමණක් අනුගාමික සංඛ්‍යාව හාර ලක්ෂය (400,000 ) ඉක්මවන බව වාර්තා වෙයි. මේ අතර බොහෝ ඇමෙරිකානුවන් පෙළෙන මානසික ආතතීන්හි ස්වභාවය ප්‍රදර්ශනය කෙරෙන්නේ  සාම භික්ෂූන් දැකගැනීම සඳහා පැය ගණනක් මහ මග බලා සිටින ඇතැම් කාන්තාවන් සහ  පුරුෂයන් ළයෙහි අත තබා කඳුළු වගුරවන දර්ශන ඇතුළත් රූපරාමු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟය. පාද චාරිකාවේ නිරත භික්ෂූන් වෙනුවෙන් විශාල වශයෙන් මහජනතාව එකරාශීවීමත් සමඟ ඔවුන් විසින් අනුගමනය කළ යුතු හැසිරීම් රටාවක් ද අනුග්‍රාහකයන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. ඔවුහු මෙසේ ඉල්ලා සිටිති.

භික්ෂූන් වහන්සේලාට ආචාර කිරීමේදී, සාමකාමීව හා සන්සුන්ව සිටින්න.

අවසර ලදොත්  මිස භික්ෂූන්ගේ සිරුරු ස්පර්ශ කිරීමට උත්සාහ නොකරන්න.

ඔවුන් ද්‍රව්‍යමය පරිත්‍යාග පිළිගන්නේ නැත.

භික්ෂූන් ආශිර්වාද කරනු ලබන්නේ නිරාමිශවය. ඔවුන් ඒ වෙනුවෙන් ගෙවීම් පිළිගන්නේ නැත.

භික්ෂූන්ට ඉදිරියෙන් ගමන් නොකරන්න. එසේම  එක පෙළට ගමන් කරන ඔවුන්ගේ ගමන් රේඛාව අවහිර නොකරන්න.

මග දෙපස බලා සිටින මහජනයා අතින්  පිරිනමන මලක් හෝ වතුර බෝතලයක් වැනි දෙයක් පමණක් මෙම භික්ෂූන් විසින් පිළිගනු ලබන්නේ ඒ වෙනුවෙන් සතුට ප්‍රදර්ශනය කරමිනි.

 


මෙවන් දීර්ඝ වූ පාද චාරිකාවක්  එතරම් සුව පහසු නොවන බව පැහැදිළි කෙරන සිදුවීම් සම්බන්ධයෙන් ද වාර්තා ලැබෙයි. දවස් ගණනක් එකදිගට ඇවිදයාම හේතුවෙන් එක් භික්ෂුවකගේ "කකුලේ සැලකිය යුතු තුවාල" ඇති වූ අතර උන්වහන්සේ හෙලිකොප්ටරයකින් හූස්ටන්හි රෝහලකට ගෙන යාමට සිදු වූ බව එක වාර්තාවක දැක්වෙයි. බරපතල නොවන තුවාල ලද තවත් භික්ෂුවක්  ගිලන් රථයකින් හූස්ටන්හි  පිහිටි වෙනත් රෝහලකට ගෙන යන ලදී. බරපතල තුවාල ලැබූ භික්ෂුවගේ පාදයක හාණි සිදු වූ අස්ථියක් සුව කිරීම සඳහා සැත්කම් මාලාවක් කිරීමට සිදුවනු ඇතැයි අදහස් පළ විය.

 වඩාත් ඛේදජනක පණිවුඩය වාර්තා වුනේ පසුගිය දෙසැම්බර් මස තුන්වෙනි (03) දින සාම ගමන අතරමග සිදු වූ රිය අනතුරකට ගොදුරු වූ භික්ෂුවකගේ පාදයක් කපා දැමීමට සිදුවීමත් සමඟය. දෙපා තුවාළ වීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදු වූ භික්ෂූන් සුවයක් ලද වහාම යළිත් පාගමනට එක්වීම මිනිසුන් අතර ඇති කරන ලද්දේ ආකර්ෂණයකි.

මෙම භික්ෂු චාරිකාවේ වැදගත් ම කරුණ වන්නේ එය ආගමික ප්‍රචාරක වැඩ පිළිවෙලක් නොවීමය. ඔවුහු බෞද්ධ ගාථා සජ්ඣායනා කරමින් සුපුරුදු ආශීර්වාද කිරීම් සිදුකරන නමුත් ධර්මය දේශනා නොකරති. ඒ වෙනුවට ඔවුන් දේශනා කරන්නේ සියළු මිනිසුන් විසින් ජීවිතාදර්ශය කරගත යුතු මානව ධර්මතාවන්ය.


තමන් පිළිගැනීම සඳහා ක්‍රිස්තියානි දේවස්ථානයක පැවැත්වුන හමුවක දී අදහස් දැක්වූ දේශක භික්ෂුවක් මෙසේ සඳහන් කළහ.

"සම්මතය අනුව අපි විවිධ ජාතීන්වලට අයත්වන්නෝ වෙමු. විවිධ ආගම් අදහන්නෝ වෙමු. විවිධ  වර්ණවලින් සැදී සමක් සහිත සිරුරු දරන්නෝ වෙමු. කෙලෙස වුවද , මේ සිරුරු අපගේ නවාතැන්  පමණි. පොදුවේ අප සියළුදෙනා මිනිසුන් වෙමු. අප බෙදාගත යුතුව පවතින්නේ ජාති ආගම් හෝ වෙනත් එවැනි දේ නොව සාමය දයාව කරුණාව සහ අනුකම්පාව වැනි හැඟීම් පමණකි"

සාම පා ගමනේ තොරතුරු ඇතුළත් ෆේස්බුක් පිටුව මෙතෙක් ලද ප්‍රගති වාර්තා, ආශ්වාදජනක සටහන් සහ කාව්‍ය නිර්මාණ ඇතුළත් කරමින් නිතර යාවත්කාලීන කෙරෙයි.

එක් පෝස්ටුවක ඇතුළත් වුනේ මෙවැනි ප්‍රකාශයකි.

 

alola post
"අපි තනිවම ඇවිද යන්නෝ නොවෙමු. සාමය වෙනුවෙන් විවෘත වූ හදවතක් සහිත, කරුණාව  ආත්මය කරගත්, ජීවිතය යනු අවබෝධය වර්ධනය වන උද්‍යානයක් බවට පත් කර ගෙන සිටින සෑම පුද්ගලයෙකු සමඟම අපි එකට ඇවිද යන්නෙමු"

ගමන් සගයා ආලෝක

භික්ෂු සාම පාද චාරිකාවට එක්ව සිටින තවත් සුවිශේෂී චරිතයක් මේ වනවිට ගෝලීය සාම සංකේතයක් බවට පත්ව ඇත. ඔහු 'ආලෝක' යනුවෙන් නම් කරනු ලැබ ඇති සුනඛයෙකි. නළල මැද හදවතක හැඩය ගත් සුදු පැහැති රෝම කලාපයක් සහිත මෙම සුනඛයා භික්‍ෂූන්ට හමුව තිබෙන්නේ ඔවුන් ඉන්දියාවේ සිදුකරන ලද දින සියයක සාම පා ගමනකදී ය.මිනිසුන් දෙන දෙයකින් පෝෂණය ලබමින්  දඩාවතේ යමින් සිටි සුනඛයා මෝටර් රථයක ගැටීමට ගිය අනතුරක දී  වහා ඉදිරියට පැන දෑතින් වඩා ගනිමින් බේරා ගන්නා ලද්දේ සාම භික්ෂුවක් විසිනි. අනතුරුව  'ආලෝක' යනුවෙන් නම් ලද සුනඛයා  ඉන්දියානු සාම පා ගමනේ දී භික්ෂූන් වහන්සේලා අනුගමනය කරමින් ගම් නගර, ප්‍රාන්ත සහ වනාන්තර කඳුවැටි හරහා ඔවුන්ගේ වේගයට අනුකූලව සැතපුම් දහස් ගණනක් දුර ඇවිද ගියේය.

aloka 3

aloka 4"ඔහුගේ ගමන සැබවින්ම විශේෂයි. ඔහු වරක් ඉන්දියාවේ අයාලේ යන සත්වයකුට පමණක් සීමා වූ අතර අනතුරුව භික්ෂූන් වහන්සේලා අනුගමනය කිරීමට පටන් ගත්තේය. ඔහු ඔවුන් සමඟ දින සීයකට (100) වැඩි කාලයක් ඉන්දියාව පුරා ඇවිද ගියේය. අද සිදුකෙරෙන ඇමෙරිකානු Walk For Peace සාම පා ගමනේ දී මෙන්ම!. ආලෝකගේ  නිශ්චිත උපන්දිනය අභිරහසක්ව පැවතුනද, ඔහුගේ පක්ෂපාතිත්වය සහ සාමකාමී ආත්මය ඔහු හමුවන සෑම කෙනෙකුටම පැහැදිලිය" යනුවෙන් ෆේස්බුක් සටහනක සඳහන් විය.

අද වනවිට ආලෝකට ලක්ෂයකට අධික අනුගාමිකයින් සිටින අන්තර්ජාල පිටුවක් ඇත.භික්ෂූන් වහන්සේගේ  සාම පාගමන යාවත්කාලීන කිරීම් සමඟ ඉන්ස්ටග්‍රෑම් හි පවා, ආලෝක ද  නිරීක්ෂණය කෙරෙයි.  #AlokathePeaceDog

upali Gajanayake
(සටහන | උපාලි ගජනායක)
බීබීසී සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
upaligajanayake@yahoo.co.uk



 



සබැඳි ලිපියක් :

මිනිස් ශිෂ්ටාචාරයට නව ආලෝකයක් උදා කරන ආලෝකා

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...