The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

බස් පෙරළන ඩී.එම්.එස්.

T

The Leader Desk

January 12, 2026 • 5:49 AM

බස් පෙරළන ඩී.එම්.එස්.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *දෙවරක්ම හොඳම පරිවර්තනයට රාජ්‍ය සම්මාන ලැබුවා
  • එකේ සිට 5 වැනි පංතිය දක්වා පමණක් සමන්විත ගමේ පාසලට සිටියේ එකම ගුරුවරයෙකි.
  • මුලින්ම අකුරු 26 කියාදීලා මගේ නම ඉංග්‍රීසියෙන් ලියන්න ඉගැන්නුවා.
  • අපේ ගමේ ඉස්කෝලේ 5වැනි පංතියෙන් අවසන් වෙන නිසා 6වැනි පංතියේ ඉඳන් ඉස්කෝලේ යන්න අපිව තාත්තාගේ අක්කලාගේ අයියලාගේ ගෙවල්වල නැවැත්තුවා.
අකුරු ප්‍රමාණය (Font Size):


*උපන් ගම දැන් සිතියමේවත් නැහැ
*යාපනේ දරුවන්ට සිංහල උගන්වමින්, ඔවුන්ගෙන් දෙමළ බස ඉගෙනගත්තා

 

එක් පසෙකින් උමා ඔය ගලා බසිද්දි අනෙක් පසින් වේරගල කන්දට මැදි වූ වේරගල නම් දුෂ්කර ගම්මානයට 60- 70 දශකයේ වාහනයකින් යා හැකි පාරක් තිබුණේ නැත. බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව මැතිවරණ කොට්ඨාසයට අයත් වේරගල ගම්මානයේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට නම් කන්දකැටියට පයින්ම යායුතු විය. හේන් කුඹුරුවල අස්වැන්න තවලම් මගින් රැගෙන ගිය වේරගල ගම්වාසින්ගේ පහසුම ගමන්මඟ වූයේ උමා ඔය තරණය කිරීමයි. එකේ සිට 5 වැනි පංතිය දක්වා පමණක් සමන්විත ගමේ පාසලට සිටියේ එකම ගුරුවරයෙකි. ඉංග්‍රීසි බස ඉගැන්වීමක් තිබුණේම නැත. එම පාසලෙන් මූලික අධ්‍යාපනය ලබාගත් ගොවි පවුලක දරුවෙක්, දශක කිහිපයකට පසු හොඳම පරිවර්තන සාහිත්‍යය වෙනුවෙන් රාජ්‍ය සම්මානයට පාත්‍ර විය. ඔහු ධනපාල මුදියන්සේලාගේ සුනිල් ආරියරත්න හෙවත් ඩී.එම්.එස්. ආරියරත්නය.

මේ වන විට පරිවර්තන කෘති 14ක්ද ස්වතන්ත්‍ර කෘති 2ක්ද  ප්‍රකාශයට පත් කර ඇති ඔහු, චීන ජාතික යුංග් චෑංග්ගේ Wild Swans  “වන හංසියෝ” ලෙස පළ කළ කෘතියට 2005 වසරේදීද, ඉවාන් තුර්ගෙනෙව්ගේ A Hunter’s Sketches “දඩයක්කාරයකුගේ සටහන්” ලෙස පළ කළ කෘතියට 2024 වසරේදීද හොඳම පරිවර්තනය සඳහා වූ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. පරිවර්තන කාර්යය, ඔහුගේ අසිරිමත් ජීවන චාරිකාවේ එක් භූමිකාවක් පමණි.

නෙළන්න බැරි ඉංගිරිසිය

ඩී.එම්.එස්. තරුණ වියේදීඩී.එම්.එස්. තරුණ වියේදී
“මට පොඩිකාලේ ඉංග්‍රීසි ඉගැන්නුවේ මගේ අක්කා. මුලින්ම අකුරු 26 කියාදීලා මගේ නම ඉංග්‍රීසියෙන් ලියන්න ඉගැන්නුවා. අපේ තාත්තාට ඒ කාලේ කූපන් කඩයක් තිබුණා. ඒ කඩේ තිබුණ සබන්කෑලිවල, බිස්කට් පෙට්ටිවල අකුරු ගළපලා නමක් කියවාගන්න මම ඉගෙනගත්තා. අපේ ගමේ ඉස්කෝලේ 5වැනි පංතියෙන් අවසන් වෙන නිසා 6වැනි පංතියේ ඉඳන් ඉස්කෝලේ යන්න අපිව තාත්තාගේ අක්කලාගේ අයියලාගේ ගෙවල්වල නැවැත්තුවා. මාව නැවැත්තුවේ වලපනේ කුරුපනාවල නැන්දලාගේ ගෙදර. මම 4වැනි පංතියේ ඉඳන් සාමාන්‍ය පෙළ දක්වා කුරුපනාවල ඉස්කෝලේට ගියේ. මම සාමාන්‍ය පෙළ හොඳට සමත් වුණාට ඉංග්‍රිසි විෂය අසමත් වුණා. ඒත් දෙවෙනි සැරේට පෙනී ඉඳලා සමත් වුණා. මම 9,10 පංතිවල ඉන්න කාලේ තමයි මහවැලි ව්‍යාපාරය පටන්ගත්තේ. අපේ ගමේ තිබුණ දුෂ්කරකම නිසාම ගමේ අය මහවැලියෙන් ඉඩම් ඉල්ලලා තිබුණා. ගොඩක් අයට දෙහිඅත්තකණ්ඩියෙන් ඉඩම් ලැබුණා. අපේ පවුල සහ තවත් පවුල් 5කට ඉඩම් ලැබුණෙ ගිරාඳුරුකෝට්ටෙන්. ඒ නිසා 1982දි අපි ගිරාඳුරුකෝට්ටේ පදිංචියට ගියා. වේරගල ගම නැතුව ගියා. මම 1984දි සාමාන්‍ය පෙළ විභාගය කළේ කුරුපනාවල ඉස්කෝලේ. මම උසස් පෙළ ගණිත අංශයෙන් කළේ ගිරාඳුරුකෝට්ටේ පාසලෙන්. ඒ කාලේ අපිට උගන්වන්න ගුරුවරු හිටියෙ නැහැ. කොහොමහරි මම විභාගය අසමත් වුණා” ඩී.එම්.එස්. සිය අතීතය ආවර්ජනය කරයි.

අ.පො.ස. උසස් පෙළ අසමත් වී පාසලේ ඔබමොබ යමින් කල්ගත කළ ඩී.එම්.එස්. ආරියරත්නගේ ජීවිතය, සිංහල ඉගැන්වීමට පැමිණි සුදම් එස්. පහළගම ගුරුවරයාගේ ආගමනයත් සමඟ මුළුමනින්ම වෙනස්  විය. වේදිකා නාට්‍ය ඇතුළු කලා ක්ෂේත්‍රයේ විවිධ මංපෙත්වල සැරිසැරූ සුදම් එස්. පහළගම ගුරුතුමා පාසල් දරුවන් එකතු කරගෙන වේදිකා නාට්‍යයක් නිර්මාණය කළේය. “සුර නර පුත්තු” නම් වූ එම නාට්‍යයේ රඟපෑමට අවස්ථාවක් ඩී.එම්.එස්. ආරියරත්නට හිමි විය. එය ඔහුගේ දිවිමඟේ හැරවුම් ලක්ෂ්‍යයක් වූවාට සැක නැත. ඩී.එම්.එස්. තුළ සැඟවී තිබුණු කුසලතා හඳුනාගත් ගුරුතුමා ඔහු කැටුව කොළඹට පැමිණියේය.

පීල්ලට වැටුණු හැටි

“මම ඉස්සෙල්ලාම කොළඹ ඇවිත් තිබුණේ 1983දි. ඒ, ලෝවැඩ සඟරා දහම් දැනුම තරඟයේ සමස්ත ලංකා තරඟයට සහභාගි වෙන්න. ඊටපස්සේ තමයි මම සුදම් සර් එක්ක කොළඹ එන්නේ. සුදම් සර් මාව ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංගකලාව පාඨමාලාවට යොමු කළා. එතනදි මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සුගතපාල ද සිල්වා, මංගල සේනානායක වගේ ප්‍රවීණයන්ගේ ඇසුර ලබන්න තරම් මම වාසනාවන්ත වුණා. එයාලා ඔවුන්ගේ නාට්‍යවලට මා ඇතුළු පාඨමාලාවේ හිටපු සිසුන්ව සම්බන්ධ කර ගත්තා.

ඒ අතරේදි සුදම් සර් මාව ජිනරතන කාර්මික විදුහලේ ඉංග්‍රිසි පාඨමාලාවටත් සම්බන්ධ කළා. මට සුගතපාල ද සිල්වා සර් ඉංග්‍රීසි හදාගන්න ගොඩක්  උපදෙස් දුන්නා. ඉංග්‍රීසි නාට්‍ය පිටපත් ශබ්දකෝෂය ළඟ තියාගෙන කියවන්න කිව්වා. මම ඒ විදිහට ගොඩක් මහන්සි වුණා. මම 10.30, 2.30, 6.30 සහ රෑ 9.30 දර්ශන වාර 4ට ඉංග්‍රිසි චිත්‍රපට 4ක් එක දවසට බැලුවා. ගුවන්විදුලියේ ඉංග්‍රීසි සේවය ඇහුවා. ඒ විදිහට මම මගේ උත්සාහයෙන් ඉංග්‍රීසි බස ප්‍රගුණ කළා.” ඩී.එම්.එස්. පැහැදිලි කළේය.

ආරියරත්නගේ ගුරුතුමා වූ සුදම් එස්. පහළගම, විශාරද ගුණදාස කපුගේගේ “කම්පන” ඒක පුද්ගල ගී ප්‍රසංගයටත් විශාරද මාලනි බුලත්සිංහලගේ “මා ද ඔබම විය” ගී ප්‍රසංගයටත් සම්බන්ධ වීමත් සමඟ ඩී.එම්.එස්. ආරියරත්නටද එම ප්‍රසංගවල වේදිකා පරිපාලනය සඳහා දායක වීමට මඟ පෑදිණි. ඊට අමතරව මහාචාර්ය සුනන්ද මහේන්න්ද්‍ර ‘චෙකෝෆ්ගේ සන්ධ්‍යාව’ රංජිත් ධර්මකීර්තිගේ ‘මෝදර මෝල’ සහ ‘මේඝ’ මංගල සේනානායකගේ ‘උතුරු සළුව’ ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකම වේදිකා පරිපාලකවරයකු ලෙස කටයුතු කිරීමට ඔහුට අවස්ථාව හිමි විය. ඒ අතරේදි අ.පො.ස. උසස් පෙළ කලා විෂය ධාරාවෙන් පුද්ගලිකව හදාරා සමත් වීමටද ඔහු අමතක කළේ නැත. අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කරගැනීමට නිරතුරුව ඔහු දිරිමත් කළේ ඔහු නැවතී සිටි කොහුවල චමරියේ මිතුරන්ය.

‘පසන් ඇසුරේ’ අසිරිය

dms 6
කොහුවල චමරියට පැමිණි පසන් කොඩිකාර දැනහඳුනා ගැනීමට හැකිවීම, ඔහුගේ ජීවිතයේ දෙවෙනි සන්ධිස්ථානය විය. ඊට හේතුව පසන් කොඩිකාර පරිවර්තන සාහිත්‍යවේදියකු ලෙස කටයුතු කරන අයුරු බලා සිටීමෙන් ඩී.එම්.එස්. ආරියරත්නටද පොතක් පරිවර්තනය කිරීමේ ආසාවක් ජනිත වීමයි. ඩී.එම්.එස් මේ වන විට රාවය, දිවයින ආදී පුවත්පත්වලට කවි රචනා කිරීමෙන් සමකාලීන කවි පරපුර අතර නමක් දිනාගෙන තිබිණි. ඔහුගේ කෙටිකතාද විවිධ ප්‍රකාශනවල පළ විය. එහෙත් පසන් නිසා ඇවිළුණු පරිවර්තන උද්‍යෝගය, ඔහු තුළ සිටි ස්වතන්ත්‍ර නිර්මාණකරුවා පසු කර ගියේය. ඔහු හා හා පුරා කියා ප්‍රකාශයට පත් කළේ පරිවර්තන කෘතියකි. ඔහු ඒ  ඩැනියෙල් ඩෙෆෝගේ ‘රොබින්සන් කෲසෝ’ හි සංක්ෂිප්ත පරිවර්තනයකි. ඉන් අනතුරුව අර්නස්ට් හෙමිංවේගේ ජීවිතය පදනම් කර ගත් “හෙමිංවේ” කෘතිය “පෙම් හබ හතරක් නිමා වූ සඳ” නමින් පරිවර්තනය විය.

‘වේලාසන කොක්කු සරති’ (චින්ගීස් අයිත්මාතොව්ගේ Cranes Fly Early කෘතිය), ‘ඉගිලෙන්නට සිහින දකිමි’ (සුන්-මී- හ්වෑන් ගේ The Hen Who Dreamed She Could Fly කෘතිය), ‘මේරි’ (ව්ලැදිමිර් නබකෝව්ගේ Mary) ඔහු පළ කළ පරිවර්තන පොත්14 අතරින් කීපයකි. “නිමුං කුරුල්ලා” නවකතාව සහ “යල් සැන්දෑවක්” කවි පොත ඔහුගේ ස්වතන්ත්‍ර කෘති 2වේ.

ඉරණම්කාර බයිසිකල් ගමන

dms 3බයිසිකලයෙන් යාපනය බලා යන ඩී.එම්.එස්. ආරියරත්න.
කාලයක් කොළඹත් තවත් කාලයක් ගමෙත් ජීවත්වූ ඩී.එම්. එස්. ආරියරත්න නිතරම ගිරාඳුරුකෝට්ටේ යෑම ඒම  නිසාම  ඔහුට වේදිකා පරිපාලන කටයුතු අත් හැරුණි. එහෙත් ඔහු පොතපත කියවීමත් පරිවර්තනය කිරීමත් අත් හැරියේ නැත. ඊට වැඩිපුර කාලයක් යෙදවිය හැකි විය. ඒ අතරවාරයේදී ඔහු ස්වෝත්සාහයෙන් රුසියානු බසද ඉගෙනගත්තේය. රටේ යුද්ධය අවසන් වීමත් සමඟ ඔහුට අපූරු අදහසක් පහළ විය. ඒ, බයිසිකලයකින් යාපනයේ යෑමයි.  2010 වසරේ දිනෙක බොරැල්ලෙන් බයිසිකලයක් මිලදී ගත් ආරියරත්න, සිය කලණ මිතුරකු වූ ජයසිරි ජයසේකර පදිංචිව සිටි තලපත්පිටියේ නිවසින් පාන්දර 5ට බයිසිකලය පැදගෙන යාපනය බලා පිටත් විය. පළමු දවසේ හලාවත දක්වා ගමන් කළ ඔහු එහි රාත්‍රි ගත කළේය. දෙවෙනි දවස පුත්තලමෙත්, තුන්වෙනි දවස අනුරාධපුරයේත් හතරවෙනි දවස වව්නියාවේත් පස්වෙනි දවස කිළිනොච්චියේත් නවාතැන් ගත් ආරියරත්න හයවෙනි දවසේ යාපනයට සේන්දු විය.

“අනුරාධපුරයට එනකම් මට කිසිම ගාණක් තිබ්බේ නැහැ. සිංහල අය  ඉන්න නිසා මට කතාබහ කරන්න පුළුවන්. පන්සලක හරි නවාතැන්  ගන්න පුළුවන්. ඒත් එතනින් එහාට කතා කරලා උදව්වක් ඉල්ලාගන්නවත් මම භාෂාව දන්නේ නැහැනේ. මගේ අයියලා දෙන්නෙක් හමුදාවේ හිටියා. 2010දි එයාලා විශ්‍රාම ගිහින් හිටියේ. එයාලා හමුදාවේ යාළුවන්ට කතා කරලා විස්තර කියලා තිබුණා. මට හමුදාවේ ඒ යාළුවො උදව් කළා. යාපනයේ මම දන්න එකම එක්කෙනයි හිටියේ. ඒ  යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල්  විතරයි. එයා මාව පිළිඅරගෙන සංග්‍රහ කරලා මට ගොඩක් උදව් කළා. ඒ සංචාරය තමයි මගේ ජීවිතය තවත් වෙනසකට ලක් කළේ. ඒ ගමන ඉවර කරලා ආපහු කොළඹ ආවත්, යාපනයටත්, දෙමළ ජනයාටත්, දෙමළ භාෂාවටත් මට ලොකු ඇල්මක් ඇති වුණා. ”

ඉන් පසුව ඔහු ගමත්, කොළඹත්, දකුණේ සමාජයත් මුළුමනින් අත්හැර යාපනයට සංක්‍රමණය විය. එය සැබෑ ලෝකයේ නොව, සාහිත්‍ය කෘතිවලදී හමුවන ආකාරයේ අපූරු අභිනිෂ්ක්‍රමණයකි. එසේ දකුණෙන් ගැලවී උතුරට බැඳුණු ඔහු අවුරුදු 8ක් එකදිගට යාපනයේ ජීවත් විය. ඔහු යාපනයේ මිනිසුන් ඇසුරෙහි දෙමළ බස උගත්තේය. ළමයින්ට සිංහල බස ඉගැන්නුවේය. යාපනය පුස්තකාල පරිශ්‍රයේ සතිඅන්තවල ළමයින්ට කතන්දර කියා දුන්නේය. දෙමළ කවිවල තාලයට සිංහල කවිත්, සිංහල කවිවල තාලයට දෙමළ කවිත් ගැයුවේය. යාපනයේ දරුවෝ මේ අපූරු ආගන්තුකයා වටා රොද බැඳගත්හ.

සතුට බෙදන ගුරුවරයා

dms 1ක්‍රීඩාව විනෝදය සමග සිංහල උගන්වන අයුරු
2011 වසරේදී යාපනයේ සිවිල් සේවා සංවිධානයකට බැඳී කටයුතු කිරීමට අවස්ථාව ලැබීම, ඔහු ස්වේච්ඡාවෙන් කරගෙන ගිය සංස්කෘතික මෙහෙවර විධිමත් දිසාවකට යොමු කිරීමට ඉවහල් විය. එකී සිවිල් සේවා සංවිධානය ක්‍රියාත්මක වූයේ ජාතින් අතර සහයෝගය හා සාමය ඇති කිරීම වෙනුවෙනි. වරක්, ඩී.එම්.එය් ඇතුළු කණ්ඩායමක්  යාපනයේ පාසලක පැවති පොදු ශ්‍රම කඳවුරකට සහභාගි වූ අතර  ඩී.එම්.එස් පාසල් දරුවන් සමඟ කටයුතු කරන ආකාරය දෙස අවධානයකින් පසුවූ තවත් ආයතනයක් විය. එකී ආයතනය  වූයේ  ‘ළමා සතුටු මධ්‍යස්ථානය’ යි. යුද්ධයෙන් බැටකෑ දරු දැරියන්ට කතාන්දර කීම, නාට්‍ය කිරීම සහ සිංහල භාෂාව ඉගැන්වීම වැනි කටයුතු ළමා එහි කාර්‍යභාරය විය. ළමා සතුටු මධ්‍යස්ථානය, යාපනයේ දමිළ දරුදැරියන්ට සිංහල ඉගැන්වීම සඳහා  ආරියරත්නට ආරාධනා කළේ ඔහු දරුදැරියන් හා එක්ව කටයුතු කරන විලාශය ගැන ඇති වූ පැහැදීමෙනි. එහෙත් ඔහු වෙනත් සිවිල් සංවිධානයක කටයුතු කරන කෙනකු නිසා එම සංවිධානයට කතා කර ආරියරත්න පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ අතර අවසානයේ ළමා සතුටු මධ්‍යස්ථානය එකී සිවිල් සංවිධානය සමඟ එකතු විය. 2015 වසරේ සිට අවුරුදු 8ක් ආරියරත්න යාපනයේ රැඳෙන්නේ ඒ ආකාරයටය.

 

467848592 10234357742383150 8401071971460215052 n

“දමිළ ප්‍රජාව වෙනුවෙන් යමක් කරන්න ඕනෑ කියන අදහස මට ඉස්කෝලේ යන කාලේ ඉඳලාම තිබුණා. මොකද මම වලපනේ කුරුපනාවල නැන්දලාගේ ගෙදර ඉන්න කාලේ නැන්දලාගේ තේ වත්තෙ වැඩට එන දමිළ කට්ටිය එක්ක මගේ යම් පමණක ඇසුරක් තිබුණා. මම වත්තෙ හිටපු ඒ ළමයි එක්ක සෙල්ලම් කළා. 83 ජූලි කලබලවලදි දෙමළ අයගේ බඩු මංකොල්ල කාපු හැටි, දෙමළ අය මරපු හැටි, ඒ අයට අඩන්තේට්ටම් කරපු හැටි මගේ ඇස් දෙකින්ම දැක්කා. ඒක මගේ හදවතට තදින්ම වැදුණා. ඒ නිසා යාපනයේ දරුවන්ට සිංහල ඉගැන්වීමේ කටයුත්ත මම  භාරගත්තේ හරිම සතුටින්.” ඩී.එම්.එස්. ආරියරත්න සඳහන් කළේය.

මුලදී දමිළ ප්‍රජාව සමඟ කටයුතු කිරීමට භාෂාව හරස් වුවද ඩී.එම්.එස්. දැනගෙන සිටි දෙමළ වචන කීපය ඔහුට රුකුලක් විය. ඒ හැර සන්නිවේදනය සඳහා යොදා ගැනුණේ හස්ත මුද්‍රාවයි. දමිළ දරුවන්ට සිංහල උගන්වද්දි ඔහු එම දරුවන්ගෙන් දමිළ භාෂාව ඉගෙනගත්තේය. මේ වන විට මැනවින් දමිළ බස කතා කිරීමටත් ලිවීමටත් සමත් මේ අපූරු ගුරුවරයාගේ දමිළ භාෂා ගුරුවරුන් වූයේ ඔහුගේම සිසු- සිසුවියන්ය.

 

588755880 10239094177311063 1861672121365269464 n
බස් පෙරළියේ ඊළඟ පියවර

“මම යාපනයේ ඉන්න කාලේ මට ඇහුණේම දෙමළ වචන, දෙමළ සිංදු. ඒනිසා මට ඉක්මනින්ම දෙමළ භාෂාව ඉගෙනගන්න පුළුවන් වුණා. අනික මම යාපනයේ අස්සක් මුල්ලක් නෑර ගියේ බයිසිකලය පැදගෙන. බස්වලින්, ත්‍රීවීලර්වලින් ගියේ නැහැ. ඒ යන ගමන් මම පුංචි රබානක් තට්ටු කර කර යනවා. අතරමඟ නැවතිලා කට්ටිය එක්ක කතා කරනවා. දරුවන්ට උගන්වන විටදි ගීත, නාට්‍ය වගේ උපක්‍රම භාවිත කරනවා. ඒ නිසා දරුවන් වගේම දරුවන්ගේ මව්පියන්, ගම්වාසින් හැමෝම මා එක්ක යාළු වුණා. සිංහල මිනිස්සු ගැන තියෙන බය නැති වුණේ මාව ආශ්‍රය කරන්න වුණාට පස්සෙ කියලා ඒ අය මට නිතරම කිව්වා” යනුවෙන් සංහිඳියාව සම්බන්ධයෙන් සිය අත්දැකීම් ඩී.එම්.එස්. විස්තර කළේය.

dms 2ඩී.එම්.එස්. ආරියරත්න කොට්ටම් වේදිකා නාට්‍යයේ

ළමා සතුටු මධ්‍යස්ථානයෙන් කෙරෙන ළමා නාට්‍ය වැඩමුළු සඳහාද ආරියරත්න සම්බන්ධ වූයේ ඔහුද  නාට්‍යකරුවකු වන නිසාය. යාපනයේ නාට්‍ය නිර්මාණවේදියකු වන සත්‍ය සීලන් මෙකී වැඩමුළුවට සහභාගි වූයේ ඔහු ළමා නාට්‍ය නිර්මාණකරණයේද යෙදී සිටින අයකු වන බැවිනි. සත්‍ය සීලන් දැන හඳුනා ගත් ඩී.එම්.එස්, පසුව ඔහුගේ නාට්‍යවලට සම්බන්ධ වී කටයුතු කරන්නේ යටපත් වී තිබුණු හැකියාවන්  නැවත ඔපමට්ටම් කර ගැනීමේ අදහසිනි. සත්‍ය සීලන් නිර්මාණය කළ “කොට්ටම්” වේදිකා නාට්‍යයේ රඟපාන එකම සිංහල නළුවා ඩී.එම්.එස්. ආරියරත්න ය.

යාපනයේ දමිළ දරුවන්ට සිංහල භාෂාව උගන්වමින් ඔවුන්ගෙන් දමිළ භාෂාව ඉගෙනගත් ඩී.එම්.එස්. ආරියරත්නගේ ඊළඟ ප්‍රයත්නය වන්නේ දමිළ සාහිත්‍ය කෘති සිංහලට පරිවර්තනය කිරීමය. එය උතුර - දකුණ යාකරන සංහිඳියාවේ පාලම තවත් ශක්තිමත් කිරීමට හේතු වනවා නොඅනුමානය.

Hasrha Sugathadasa(සටහන | හර්ෂා සුගතදාස)
නිදහස් මාධ්‍යවේදිනී
harshasugathadasa@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...