The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

ගිනි අවිය හිසට එල්ල වන අතරේත් පන්හිඳ බිම නොතැබූ මාධ්‍ය කලාවේ මහා පෞරුෂය

T

The Leader Desk

January 14, 2026 • 5:05 AM

ගිනි අවිය හිසට එල්ල වන අතරේත් පන්හිඳ බිම නොතැබූ මාධ්‍ය කලාවේ මහා පෞරුෂය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරේදා (12දා) දැයෙන් පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ද සදහටම සමුගත් ඉක්බාල් අතාස් යනු තමන්ටම ආවේණික පෞරුෂයකින් හෙබි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකි.
  • ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය සමයේ දශක ගණනාවක් පුරා ආරක්ෂක සහ යුදමය කටයුතු පිළිබඳව ගවේෂණාත්මක මාධ්‍යකරණයක නිරත වූ ඔහු, ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිත මාධ්‍යවේදියෙකු ලෙස ප්‍රකට වූයේ ඔහු සතු සුවිශේෂ අනන්‍යතාව පදනම් කර ගනිමිනි.
  • ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ ආරක්ෂක තීරු ලිපි රචකයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඉක්බාල් අතාස්, ‘ජේන්ස් ඩිෆෙන්ස් වීක්ලි’ (Jane’s Defence Weekly), සී.එන්.එන්.
  • සිය කාර්යභාරය වෙනුවෙන් ජාත්‍යන්තර පුවත්පත් සම්මාන කිහිපයක් දිනා ඇති ඔහු, 2000 දී ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත මඟින් හඳුන්වා දී ඇත්තේ “රටේ ප්‍රමුඛතම යුද මාධ්‍යවේදියා” වශයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂයෙන්ම ආරක්ෂක කටයුතු පිළිබඳ විශ්ලේෂකයෙකු (Defence Analyst) ලෙස දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමට ලක් වූ ඔහු මියයන විට 81 වැනි වියේ පසු විය.

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය සමයේ දශක ගණනාවක් පුරා ආරක්ෂක සහ යුදමය කටයුතු පිළිබඳව ගවේෂණාත්මක මාධ්‍යකරණයක නිරත වූ ඔහු, ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිත මාධ්‍යවේදියෙකු ලෙස ප්‍රකට වූයේ ඔහු සතු සුවිශේෂ අනන්‍යතාව පදනම් කර ගනිමිනි. ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ ආරක්ෂක තීරු ලිපි රචකයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඉක්බාල් අතාස්, ‘ජේන්ස් ඩිෆෙන්ස් වීක්ලි’ (Jane’s Defence Weekly), සී.එන්.එන්. (CNN) සහ ලන්ඩනයේ ‘ද ටයිම්ස්’ වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සඳහා ද දායකත්වය ලබා දෙමින් තම කීර්ති නාමය ජාත්‍යන්තරයේ ද පතුරුවාලීය. සිය කාර්යභාරය වෙනුවෙන් ජාත්‍යන්තර පුවත්පත් සම්මාන කිහිපයක් දිනා ඇති ඔහු, 2000 දී ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත මඟින් හඳුන්වා දී ඇත්තේ “රටේ ප්‍රමුඛතම යුද මාධ්‍යවේදියා” වශයෙනි.

නාඳුනන තුවක්කුකරුවාගේ අඳුරු සෙවනැල්ල සිය සිරුර මතට වැටී තිබියදීත්, සිය පන්හිඳ බිම නොතැබීමෙන් ඔහු කළ වික්‍රමයන් මෙවන් කෙටි සටහනකට ගොනු කළ නොහැකිය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මඟින් යුද ආම්පන්න මිලදී ගැනීමේ ක්‍රියාවලීන්හි සිදු වූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ඔහු විශේෂ ප්‍රසිද්ධියක් ඉසිලීය. විශේෂයෙන් හමුදා භාරයේ තිබූ මෝටාර් උණ්ඩ 70,000ක් අතුරුදන් වීමේ සිද්ධිය සහ හෙලිකොප්ටර් යානා මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතා පිළිබඳ ඔහුගේ ගවේෂණාත්මක වාර්තා මහත් ආන්දෝලනයක් ඇති කළේය.

ඉක්බාල් අතාස් නාමය වසර ගණනාවක් පුරා ‘සන්ඩේ ටයිම්ස්’ (The Sunday Times) පුවත්පතේ ආරක්ෂක තීරුව (Situation Report) ලිවීම හරහා ඉතා ජනප්‍රියත්වයට පත් වූ අතර, ඒ මඟින් ඔහු අනාවරණය කොට තිබූ තොරතුරු කොතරම් උණුසුම් හා වැදගත් ද යත්, ඒ සැම එකක්ම පාහේ එසැණින් සිංහල හා දෙමළ පුවත්පත්වලට එක් වූයේ එය ඉක්බාල් අතාස්ගේ අනාවරණයක් බව විශේෂයෙන් සඳහන් කරමිනි. ඇතැම් විට තමන්ගේ ඇඟ බේරා ගැනීමට සෙසු මාධ්‍යවේදීන් එසේ කළා වන්නට ද පුළුවන.

විශේෂයෙන් ඉකුත් යුද සමයේ ආරක්ෂක අංශවල දූෂණ සහ අක්‍රමිකතා හෙළිදරව් කිරීම නිසා ඔහුට විවිධ පාර්ශ්වයන්ගේ තර්ජනවලට සහ බලපෑම්වලට මුහුණ දීමට සිදු විය. එනිසාම 90 දශකයේ අගභාගයේදී සහ 2000 දශකයේ මැද භාගයේදී ඔහු දැඩි ජීවිත අවදානමකට පවා ලක්ව සිටියේය. 1998 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රමිතියෙන් තොර පාවිච්චි කළ හෙලිකොප්ටර් යානා මිලදී ගැනීමේ සිදුවීමක් අනාවරණය කළ ඔහුගේ ගවේෂණාත්මක වාර්තාකරණය හේතුවෙන් ඔහුට තර්ජන එල්ල විය.

 


එම වසරේදී ආයුධ සන්නද්ධ පිරිසක් ඔහුගේ නිවසට ඇතුළු වී අතාස්ගේ බිරිඳ අනෝමාට සහ හත් හැවිරිදි දියණිය ෆාරාට තර්ජනය කර අතාස්ගේ හිසට ස්වයංක්‍රීය පිස්තෝලයක් එල්ල කළහ. පසුව අතාස්ගේ නිවස වටා ආරක්ෂක මුරයක් යොදන ලෙස රජය නියෝග කළ අතර එය 2007 දක්වා ක්‍රියාත්මක විය. එම ප්‍රහාරයට සහභාගී වූ බවට ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු 2002 දී අධිකරණය හමුවේ වරදකරුවන් වූ අතර, ඔවුන්ට වසර 9 බැගින් සිර දඬුවම් නියම විය. එම නඩු තීන්දුව දෙමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම අයෙකුගේ දූෂණ හෙළි කිරීමට පුවත්පත්වලට අයිතියක් තිබෙනවා. එය මර්දනය කිරීමට අපරාධ යොදා ගන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි” යනුවෙනි. එහිදී ඉක්බාල් අතාස් ප්‍රශංසාවට ලක් වූ අතර, අනෙකුත් මාධ්‍යවේදීන්ට එල්ල වූ නොවිසඳුණු ප්‍රහාරයන් පිළිබඳ විමර්ශනයක් ද ඉල්ලා සිටියේය. එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ලැබුණු විශිෂ්ටතම අධිකරණ තීන්දුවක් ද වේ.

 

op5

1997 සහ 98 වසරවලදී අතාස් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට ලිපි මාලාවක් මඟින් ශ්‍රී ලංකා රජය විසින් සිම්බාබ්වේ වෙතින් මිලදී ගත් මෝටාර් උණ්ඩ 70,000ක් අතුරුදහන් වීම ගැන කළ අනාවරණය ද අතිවිශිෂ්ටය. “The Mortar Mystery” (මෝටාර් අබිරහස) යනුවෙන් කළ එම අනාවරණය හමුවේ ඉක්බාල් අතාස්ට නිලධාරීන් සහ මැරයන් විසින් ශාරීරිකව පහර දුන් නමුදු ඉන් ඔහු අධෛර්මත් වූයේ නැත.

2005 ජූලි 26 වැනි දින, එවක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හමුදා නිලධාරීන් 1,000කගේ රැස්වීමකදී කියා සිටියේ, බ්‍රිතාන්‍ය ලොජිස්ටික් ගොඩබෑමේ යාත්‍රාවක් මිලට ගැනීම මුදල් නාස්තියක් ලෙස විස්තර කරමින් අතාස් තීරු ලිපියක් ලියා ඇති බවත්, එය රජයේ ආරක්ෂක තොරතුරු ප්‍රසිද්ධ කිරීමක් නිසා නිල රහස් පනත යටතේ නීතියෙන් කටයුතු කිරීම ගැන සලකා බලන බවත් ය. ඒ සඳහා වසර දාහතරක සිරදඬුවමක් හිමි විය හැකිව තිබුණි. නමුත් මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් කියා සිටියේ මෙය එම ගනුදෙනුවේදී සිදු වූ වංචාවක් හෙළි කරන ගවේෂණාත්මක මාධ්‍යකරණයක් බැවින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතු බවයි. “මහජන අවශ්‍යතා පිළිබඳ වාද විවාද ප්‍රවර්ධනය කරමින් මාධ්‍යවේදියෙකු ලෙස තම රාජකාරිය කිරීම වෙනුවෙන් ඉලක්ක කරගන්නා අපගේ ඉක්බාල් අතාස් සගයාට එරෙහි මෙම තර්ජනාත්මක ප්‍රකාශයන් ගැන අපි කම්පාවට පත් වෙමු” යන්න ඔවුහු කියා සිටියහ. 2007 අගෝස්තු මාසයේ ලිපි දෙකකින් අතාස් යුක්රේනයෙන් භාවිතා කරන ලද මිග්-27 (MiG-27) ජෙට් ප්‍රහාරක යානා මිලදී ගැනීම ගැන වාර්තා කළ අතර, එම ආන්දෝලනාත්මක කුප්‍රකට මිග් ගනුදෙනුව අතිශය දූෂිත බව මුල් වරට අනාවරණය කළේ ඔහුය.

 එම වාර්තාවෙන් පසුව ඔහුගේ ආරක්ෂාව එවක රජය විසින් ඉවත් කරන ලදී. නමුත් ‘දේශසීමා රහිත වාර්තාකරුවන්’ (RSF) සහ ‘මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව’ (CPJ) ඔහුගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන ප්‍රකාශ නිකුත් කිරීමට කටයුතු කළේය. එම රජයේ ආධාරකරුවන් විසින් අගෝස්තු 27 දින අතාස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පවත්වන ලදී. එය පැහැදිලිවම රජයේ බලධාරීන් විසින් සංවිධානය කරන ලද සහ අතාස් බරපතල අනතුරේ හෙළන “පෙළපාලියක උපහාසයක්” ලෙස RSF සංවිධානය විස්තර කළේය. ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය එය විවේචනය කළේ “ක්‍රමානුකූල බිය ගැන්වීමක්” ලෙසයි. ඔහුට පමණක් නොව, ‘ලංකාදීප’ පුවත්පතට අතාස්ගේ ලිපි සිංහලට පරිවර්තනය කළ මාධ්‍යවේදී ඩබ්ලිව්. ජී. ගුණරත්නට ද ගුවන් හමුදා නිලධාරියකුගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා විය. ඒ අනුව තමන් වෙත දිගින් දිගටම එල්ල වන මරණ තර්ජන හමුවේ ඉක්බාල් අතාස් කෙටි කලකට රටින් බැහැරව සිටියේය.ඉන් පසුව එම කුප්‍රකට මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් අනාවරණය කළ ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියාට ඉන් ටික දිනකට පසුව අත් වූ ඉරණම පිළිබඳව මෙහි අමුතුවෙන් සටහන් කළ යුතු නැත.

 

Iqbal Athas

නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පසුව මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ අතර, අති කුප්‍රකට මිග් ගනුදෙනුව රට පුරා සුළිසුළඟක වේගයෙන් පැතිර ගියේ ඉක්බාල් අතාස්ගේ මුල් අනාවරණය පදනම් කර ගනිමිනි. මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටීම සහ නිර්භීත වාර්තාකරණය වෙනුවෙන් ඉක්බාල් අතාස් මුල සිටම ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. 1994 වසරේදී CPJ (Committee to Protect Journalists) ආයතනය මඟින් පිරිනමන “ජාත්‍යන්තර පුවත්පත් නිදහස පිළිබඳ සම්මානය” (International Press Freedom Award) ඔහුට හිමි විය.

එම සම්මානය ප්‍රහාර, තර්ජන හෝ සිරගත කිරීම්වලට මුහුණ දී තිබියදීත් මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට නිර්භීතව කටයුතු කරන මාධ්‍යවේදීන් ඇගයීමට ලක් කරන්නකි. 2007 දී, 2004 ඉන්දියානු සාගර භූමිකම්පාව සහ සුනාමිය ආවරණය කරමින් CNN කණ්ඩායමක් සමඟ කළ සේවය වෙනුවෙන් ඇල්ෆ්‍රෙඩ් අයි. ඩුපොන්ට් (Alfred I. duPont-Columbia University) සම්මානය ලබා ගැනීමට ද ඉක්බාල් අතාස් සමත් විය.එහෙත්, ඒ සියළු ජයග්‍රහණයන් හමුවේ හිස උදුම්මවා නොගත් මේ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියා තුළ අල්ලාහ් ගේ නියමයක් වන සරල චාම් නිහතමානී බවින් සපිරි “අල් තවාදු” ගුණය නො අඩුවම පැවැති බව ඔහු ගේ සමීපතමයෝ සහතිකවම කියා සිටිති.

 

pl1c

අල්ලාහ්ගේ උත්තරීතර බව පිළිබඳ විශ්වාසයට පමණක් දෙවැනි වන සේ ජනතා පරමාධිපත්‍යයට පදනම් වන ජනමාධ්‍යකරණයේ උත්තරීතරත්වය විශ්වාස කළ ඉක්බාල් අතාස්, තම වෘත්තිය සම්බන්ධයෙන් නිතර දැරූ විශ්වාසයක් විය. එනම්, “ජන මාධ්‍යයේ යහපැවැත්ම රඳා පවතිනුයේ මහජනතාවගේ බුද්ධිය පිළිබඳව මාධ්‍යවේදියා තබන විශ්වාසය මත පමණි” (The well-being of the media depends only on the journalist’s trust in the intelligence of the people) යන්නය. ඉකුත් 12 වන දා අපගෙන් සදහටම සමුගත් මාධ්‍යවේදී ඉක්බාල් අතාස් නම් යුග පුරුෂයා ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයට සදා නොනිවෙන ප්‍රදීපාගාරයක් වැනි යැයි මා විශ්වාස කරන්නේ ඉහත සඳහන් කරුණු අනුව ය.

රහ්මතුල්ලාහි අලෛහි (අල්ලාහ්ගේ කරුණාව ඔහුට ලැබේවා!)

(සටහන | ෆාතිමා හලල්දීන්)
උපුටා ගැනීම - vinivida.lk)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...