හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්‍යයේ 05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්‍රිකාවේ අංක 04 වෙනි හා අංක 05 වෙනි තීරණ කිසිවෙකුගේ අවධානයට යොමු නොවීය. එසේ අවධානයට යොමුවූවත්, ඒවායේ අන්තර්ගතයේ බැරෑරුම්කම අවබෝධකර ගැනීම සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිලිබඳ යම් දැනුමක් නැතිව අපහසුය. දැන් සිදුවෙමින් පවතින සිදුවීම් දෙස බලනවිට මේ තීරණ ඒ කැබිනට් පත්‍රිකාවට ඇතුළුකල අය පවා එහි බැරෑරුම්කම වටහා ගෙන නොතිබියේ නම් පුදුමයක් නොවේ. මේ ලිපියෙන් පසු සිදුවීමට ඉඩ ඇත්තේ මේ තීරණය කැබිනට් පත්‍රිකාවට ඇතුළුකලේ කවුරුන්දැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, රහස් පොලීසියට පැමිණිල්ලක් කිරීමයි.
විප්ලවීය තීරණ

දෙවෙනි තීරණය දැනට රජයේ රෝහල් 80 ක ඇති වකුගඩු රෝග සඳහා ඇති කාන්දුකරණ ඒකක පිළිබඳවයි. මින් ඉදිරියට කාන්දුකරණ යන්ත්‍ර සැපයීමේ සිට, ඒ යන්ත්‍රවලට අවශ්‍ය උපාංග සැපයීම, කාන්දුකරණ දියර මිලදී ගැනීම දක්වා සියලු කටයුතු පුද්ගලික අංශය විසින් සිදුකරනු ලැබේ. මෙහිදී මේවාට මුල්‍යමය ආයෝජනයද, ඒවා පවත්වාගෙන යාමද පුද්ගලික අංශය විසින් කරනු ලබන අතර, රජය විසින් ඒ ඒකක පවත්වාගෙන යාමට යටිතල පහසුකම් හා සායනික උපදේශක සේවාවාන් සපයනු ලැබේ. රජය පුද්ගලික අංශයෙන් සපයන සේවාවන් සඳහා පුද්ගලික අංශයට ගෙවීම් කරනු ඇත. මෙයද රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්ව මූලධර්මය තුල සිදුකෙරෙනු ඇත.
කැබිනට් අනුමැතිය ලද මේ යෝජනාවල මෙතෙක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය පැවති දිශානතිය මුළුමනිමන්ම වෙනස් කෙරන භයානක මූලධර්මයන් ගැබ්ව ඇත.
ශ්‍රී ලංකාවේ නිදහස් රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ පදනම

ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය පාලන යුගයේ සිට රාජ්‍ය බටහිර වෛද්‍ය සේවාව ආරම්භ වූයේ මුදල් නොගෙවිය යුතු සේවාවක් ලෙසය.1930 ගනන් වල මැලේරියා වසංගතය නිසා ලංකාවේ මුලු ජනගහනයෙන් 10% පමණ මියයෑමෙන් පසු මේ සෞඛ්‍ය සේවාව තවදුරටත් පුළුල් කිරීම අවශ්‍යවූ අතර, මේ වනවිට මුලු බාහිර රෝගීන්ගෙන් 50% ක්ද, නේවාසික රෝගීන්ගෙන් 95% කට අධික ප්‍රමාණයක්ද ප්‍රතිකාර ගන්නේ, රාජ්‍ය සෞඛ්‍ය සේවයෙනි.
මෙයට හේතුවක් තිබේ. ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය පවතින්නේ ජනතාවට සේවය සපයන සේවාවක් ලෙසයි. එනිසා ඒ සෞඛ්‍ය සේවයට රජය කරන ආයෝජනයට කෙටිකාලීන මූල්‍යමය ප්‍රතිලාභයක් කිසිසේත් රාජ්‍යය බලාපොරොත්තු නොවේ. රාජ්‍යයේ මූලික පරමාර්ථය සෞඛ්‍ය සම්පන්න ජනතාවක් තැනීමයි. මෙයට ප්‍රතිවිරුද්ධව පුද්ගලික අංශය විසින් සෞඛ්‍ය සේවාවන් සැපයීමේදී රෝගීන්ට සපයන සේවාවන්ගෙන් කෙටිකාලීනව මූල්‍යමය ප්‍රතිලාභ ලැබීම ඒ අංශයේ මූලික පරමාර්ථය වේ.
මෙවන් ප්‍රාථමික වෙනස්කමක් තිබෙන ක්‍රම දෙකක් බද්ධ කිරීමට යාමේදී බරපතල ගැටළු රැසක් ඇතිවේ. පුද්ගලික අංශය රජය වෙනුවෙන් හෝ යම් ආයෝජනයක් කරනුයේ ඒ ආයෝජනය සඳහා මූල්‍යමය ප්‍රතිලාභ ලැබීමේ අරමුණෙනි. එනිසා ලාභය නොව සේවාව මුල්කොට පවතින ක්‍රමය විශාල අවුලකට යයි. පුද්ගලික අංශය තමන් කරන සේවාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම නොවෙනස්වන සුලු හෝ අවම ආදායමක් හෝ නිශ්චිත කාලසීමාවක් තුල බලාපොරොත්තුවේ. මේ මුදල ලබාදීමට රජය බැඳී සිටින අතර යම් හෙයකින් ඒ ගෙවීම රජයට කලනොහැකි නම් එවිට සිදුවනුයේ පුද්ගලික සමාගම තමන් සපයන සේවාවන් සීමා කිරීමයි. එවිට දුක් විඳින්නේ මේ සේවාවන් ලබාගත නොහැකි වන රෝගී ජනතාවයි.
මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාව විනාශකල අයුරු

මෙවැනි පුද්ගලික අංශයේ මූලධර්ම එතෙක් රජය විසින් සේවාවක් ලෙස පවත්වාගෙන යනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවට එක්කර, එය අද වනවිට මුලුමනින්ම විනාශකිරීමට මග පෑදුවේ අන්ත දක්ශිණාංශික බ්‍රිතාන්‍ය අගමැතිනියකවූ මාග්‍රට් තැචර්ය. ඇය මෙවන් රාජ්‍ය-පුද්ගලික හවුල් ක්‍රියාකාරිත්වයන්ද, පුද්ගලික අංශයේ සංකලපද බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවට හඳුන්වාදුණි.
මෙසේ රෝග සත්කාර සේවා දුර්වල වුවත්, පුද්ගලික අංශයේ මූලධර්ම රාජ්‍ය සෞඛ්‍ය සේවාවට හඳුන්වාදීමෙන් පසු එහි රජයේ සෞඛ්‍ය වියදම් අහස උසට නැඟ ඇත. මහා බ්‍රිතාන්‍යයේ ඒක පුද්ගල සෞඛ්‍ය වියදම ඩොලර් 6025 ක් වන අතර ලංකාවේ එය ඩොලර් 260 කි. මෙය සිදුවූයේ කෙසේද යන්නත්, ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවයට මාග්‍රට් තැචර්ගේ භයානක සංකල්පය හඳුන්වාදීමෙන් එය වලපල්ලට යෑමේ ක්‍රියාදාමය ආරම්භවන්නේ කෙසේද යන්නත්, මෙයට වඩා දීර්ඝව පැහැදිලි කලයුතුය. එය ඉදිරියේදී ලිපි පෙලකින් සිදුකෙරනු ඇත.
ප්‍රාග්ධනය නැත්ද? මහනුවර කාන්දුකරණ ඒකකයට යන්ත්‍ර ගත්තේ කෙසේද?

මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් අන්දමට මෙසේ පුද්ගලික අංශයේ මුදල් යොදා ගත යුත්තේ රජයට මේ උපකරණ මිලදී ගැනීමට අරමුදල් නැති නිසාය. මෙය අමූලික අසත්‍යයකි. 2025 වසරේ රජය සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන්කල මුදල් වලින් 80% ක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන නැවත භාණ්ඩාගාරයට ලැබී ඇත. එසේම මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන්වන්නේ යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ නිසා, ඒවා සැපයීම පුද්ගලික අංශයට භාරදෙන බවයි. මෙයද නොදැනුවත්කම නිසා කරන ප්‍රකාශයකි. යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියට වඩා පුද්ගලික අංශයෙන් තාක්ශණික සේවාවක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අතිශයෙන්ම සංකීර්ණය. එනිසාම එය දූෂණයට මගපාදනු ඇත.
මේ පදනම මත පුද්ගලික අංශය විසින් සවිකරන ලද කාන්දුකරන යන්ත්‍ර මහනුවර ශික්ෂණ රෝහලේ ඇතිබව මේ කැබිනට් ප්‍රතිකාවේ සඳහන්ව ඇත. කුප්‍රකට දූෂිත හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකුගේ නිජබිම වන මහනුවර මේ පදනම මත යන්ත්‍ර සවිකර ඇත්තේ නම් වහා කලයුතුව ඇත්තේ එසේ සවිකිරීමට සම්බන්ධවූ නිලධාරීන් එයට පෙර නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර එසේ කලේදැයි, විගණන පරීක්ශණයක් පවත්වා සොයා බැලීමයි. එසේ නැතිනම් ඒ සඳහා නීතිමය පියවර ගැනීමයි.
ලංකාවේ තැචර්ගේ හොල්මන

බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සෞඛ්‍ය සේවාව මෙවන් භයානක සංකල්ප මගින් වලපල්ලට යවා ඒ නිසා මහ ජනතාවත්, රෝගීනුත්, රෝහල් සේවානනුත්, සේවකයනුත් අනතුරේ හෙලූ මාග්‍රට් තැචර් මියගොස් දැනට වසර ගනනාවක් ගතවී ඇත. එහෙත් ඇයගේ පිරිමි අවතාරය රතු කමිසයකින් හා රතු තොප්පියකින් සැරසී ලංකාවෙන් මතුව ඇත. මේ අවතාරය පෙනුණු සැනින් එයට විරුද්ධවීම ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය සුරැකීම පරමාර්ථය කරගත් සියලුදෙනා විසින් වහා කල යුතුය.
(සටහන | අජිත් අමරසිංහ)Amarasinghe_ajith@yahoo.com
(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ මනිපාල් විශ්ව විද්‍යාලයෙන් සෞඛ්‍ය සේවා පිලිබඳව එම්. බී .ඒ උපාධියක් ලබා ඇත.)




