The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

පිළිතුරු නොමැතිව දහසය වසරක්: ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ යුක්තිය උදෙසා කරන නොනිමි සටන | ලයනල් බෝපගේ

T

The Leader Desk

January 19, 2026 • 5:15 PM

පිළිතුරු නොමැතිව දහසය වසරක්: ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ යුක්තිය උදෙසා කරන නොනිමි සටන | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 16 ක නෛතික සටන්, සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සහ කඩ කළ පොරොන්දු වලින් පසුව,
  • එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් තවමත් පීඩාවට පත් කරන දණ්ඩ මුක්තිය පිළිබඳව තියුණු ලෙස යලි මතක් කර දීමකි.
  • මෑත කාලීන තර්ජනය ( https://www.facebook.com/ share/p/1DEuibCbve/) විශ්‍රාමික හමුදා මේජර්වරයෙකු ලෙස හඳුනා ගත් අයෙක් විසින් සිදු කර ඇති බවට වාර්තා වෙයි.
  • 2010 ජනවාරි 24 වන දා ශ්‍රී ලාංකික මාධ්‍යවේදී සහ කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ කිසිදු හෝඩුවාවකින් තොරව අතුරුදහන් කෙරුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලාංකික මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ අතුරුදහන් වීම තවමත් නොවිසඳී පවතී. එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් තවමත් පීඩාවට පත් කරන දණ්ඩ මුක්තිය පිළිබඳව තියුණු ලෙස යලි මතක් කර දීමකි. ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ වත්මන් ආණ්ඩුව යටතේ පවා අපයෝජන සහ මරණ තර්ජනවලට මුහුණ දෙමින් සිටී. මෑත කාලීන තර්ජනය (https://www.facebook.com/share/p/1DEuibCbve/) විශ්‍රාමික හමුදා මේජර්වරයෙකු ලෙස හඳුනා ගත් අයෙක් විසින් සිදු කර ඇති බවට වාර්තා වෙයි. මෙය හුදෙක් භයානක ක්‍රියාවක් පමණක් නොවේ, එය කාන්තාවකගේ සහ වින්දිතයෙකුගේ ආත්ම ගෞරවයට එල්ල කරන ලද ප්‍රහාරයකි.

2010 ජනවාරි 24 වන දා ශ්‍රී ලාංකික මාධ්‍යවේදී සහ කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ කිසිදු හෝඩුවාවකින් තොරව අතුරුදහන් කෙරුණි. වසර දහසයකට පසු, ප්‍රමාද කිරීම්, තර්ජනය කිරීම් සහ ආයතනික ප්‍රතිරෝධයන් නිසාවෙන් පීඩාවට පත් අධිකරණ පද්ධතියක් තරණය කරමින්, සන්ධ්‍යා එක්නැලිගොඩ සත්‍යය සොයා කරන ඇයගේ නිර්දය ගවේෂණය නොකඩවා කර ගෙන යයි. ඔහුව බලෙන් අතුරුදහන් කිරීම පිළිබඳ සංවත්සරය 2026 යලිත් වරක් ගෙවී යද්දී මෙම නඩුව, ශ්‍රී ලංකාවේ වගවීම සහ මාධ්‍ය නිදහස සඳහා ගෙන යන අඛණ්ඩ අරගලයේ වේදනාකාරී සංකේතයක් ලෙස පවතී.

නීතිමය සීමාව තුල කොටු වී

v chb

එක්නැලිගොඩ ගේ අතුරුදහන් වීම ගැන චෝදනා ලැබ සිටින හමුදා බුද්ධි නිලධාරීන් නව දෙනෙකුට එරෙහි නඩු විභාගය ඉතාමත් මන්දගාමී ව ඉදිරියට ඇදේ. ප්‍රගීත් පැහැර ගැනීමෙන් පසු ඔහු දුටු බවට සාක්ෂිකරුවන් වාර්තා කළ ගිරිතලේ හමුදා කඳවුරේ  හිටපු අණදෙන නිලධාරි විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න ද චූදිතයන් අතර වේ. ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව වසර ගණනාවක් විභාග කර තිබියදීත්, කලකිරවන අන්දමින් තීන්දුවකට එළඹීමට නොහැකිව පවතී.

නඩු විභාගයේ වත්මන් අදියරේ අවධානය යොමු වන්නේ දුරකථන වාර්තා සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ඇතුළු අවස්ථානුකූල සාක්ෂි විශ්ලේෂණය කිරීම වෙතයි. එමඟින්, ප්‍රගීත් මහ දවාලේ අතුරුදහන් වීමෙන් පසු ඔහුට සිදු වූ දේ අවසාන වශයෙන් ගොනු කර ගත හැකියි. මුල් විමර්ශනය මෙහෙයවූ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර නඩුවේ 109 වන සාක්ෂිකරු ලෙස නම් කොට ඇත. එය, නඩුවට නව ජවයක් ගෙන එනු ඇතැයි නීතිඥයින් අපේක්ෂා කරන තීරණාත්මක එකතු කිරීමකි.

කෙසේ වෙතත්, 2025 අග භාගයේ සිට 2026 දක්වා පැවති නඩු කටයුතුවල ලක්ෂණය වී ඇත්තේ යලි යලිත් කරන ලද කල් දැමීම් ය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අඛණ්ඩ පුරප්පාඩු වලට මුහුණ පා තිබේ. නඩු විභාග මාස ගණන් කල් දැමුණි. අධිකරණ පත්වීම් නිලධාරිවාදී අවිනිශ්චිතතාව තුල ගිලී ගියේය. වසර 16 ක් තිස්සේ මෙම සටනට උර දී සිටින සන්ධ්‍යා එක්නැලිගොඩට, හැම ප්‍රමාදයක් ම තම සැමියාගේ ඉරණම නොදැන සිටීමේ වේදනාව තවත් උග්‍ර කරවයි.

2024 අවසන් වන විට පැවති බලාපොරොත්තුව 2025 අවසානය වන විට බිඳ වැටී ඇතැයි යන ප්‍රකාශය පිළිබිඹු කරන්නේ නඩුවට සමීප අය පල කරන කලකිරීම යි. රාජපක්ෂවරුන් බලයේ නොමැති විට පවා පුරප්පාඩු වූ අධිකරණ තනතුරු සඳහා විනිසුරුවරුන් පත් කිරීම මාස හයක් හෝ හතක් ප්‍රමාද වනු ලැබීම අවාසනාවන්ත වේ.

 

තර්ජනය කිරීමේ සේයාවන්

vbcgvbncv

සමහර විට යුක්තිය ඉටු කර ගැනීම අඩපණ කර දැමීමට සාක්ෂිකරුවන් ක්‍රමානුකූල ව බිය ගැන්වීම් තරම් වෙනත් කිසිදු සාධකයක් හේතු වී නැත. ප්‍රධාන සාක්ෂිකරුවෝ ඔවුන්ගේ සාක්ෂි ඉල්ලා අස් කර ගෙන හෝ අධිකරණයේ පෙනී සිටීමට අපොහොසත් වී ඇත. ඔවුන්ගේ නිහඬතාව මෙම නඩුව වටා පවතින භීතියේ වාතාවරණය ගැන බොහෝ දේ කියා පායි. බිය ගැන්වීමේ රටාව කෙතරම් මුල් ඇද තිබේද යත්, කතා කිරීමට එඩිතර වන අයව නිහඬ කිරීමට උත්සාහ කිරීමේ දී චූදිතයන් පවා පැටලී ඇත.

2025 ජුනි මාසයේ දී, සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීමේ චෝදනාව මත ෂම්මි කුමාරරත්න කෙටි කලකට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. එය, මාධ්‍යවේදියෙකු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් විවෘතව යුක්තියට බාධා කිරීමට තරම් එඩිතර වන ආකාරය ඉස්මතු කර දක්වන මුරණ්ඩු ක්‍රියාවකි. ගිරිතලේ හමුදා කඳවුරේ සිදු වූ දේ පිළිබඳව තීරණාත්මක සාක්ෂි ලබා දිය හැකි සාක්ෂිකරුවන්ට මෙයින් ලබා දෙන පණිවිඩය පැහැදිලි ය. එනම් සහයෝගීතාවය පුද්ගලික අවදානමක් සමඟ එන බවයි.

මෙම බිය ගැන්වීමේ වාතාවරණය පුද්ගල තර්ජනවලට වඩා ඔබ්බට විහිදේ. විස්තර ලබා ගැනීම සඳහා උත්සාහ කල හැම අවස්ථාවකම ජාතික ආරක්ෂාව පිළිබඳ ගැට‍ළු උපුටා දක්වමින් ශ්‍රී ලංකා යුද හමුදාව ඓතිහාසික ව නඩුව පිළිබඳ තොරතුරු සඟවා ඇත. හමුදා නිහඬතා පවුර හේතුවෙන් සාක්ෂිකරුවන් හමුදා කඳවුරේ දී ප්‍රගීත් අවසන් වරට දුටුවාට පසු ඔහුට සිදු වූයේ කුමක් දැයි තහවුරු කර ගැනීමට නොහැකි ව ඇති තරම් ය.

දෙන ලද පොරොන්දු සහ කඩ කළ පොරොන්දු

vchfdg

2024 සැප්තැම්බර් මාසයේ දී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට තේරී පත්වීමත් සමඟ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අය සහ ප්‍රගීත්ගේ පවුලේ අය අතර මුලදී නව බලාපොරොත්තුවක් ඇති විය. ජාතික ජන බලවේගය විසින් මෙහෙයවනු ලබන නව පරිපාලනය, දිගු කලක් නොවිසඳී තිබූ දේශපාලන පැහැර ගැනීම් සහ ඝාතනවලට අදාළ නඩු කඩිනම් කිරීමට පොරොන්දු විය. සුළු මොහොතකට, අවසානයේ යුක්තිය වෙත ළඟා විය හැකි බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත්, එම බලාපොරොත්තුව කෙටි කාලීන වූ බව සනාථ විය.

2026 ජනවාරි මාසයේ දී, වග වීම ගැන පොරොන්දු වූ ඒ ආණ්ඩුව ම එක්නැලිගොඩ නඩුවේ සැකකරුවෙකු වන ටී.ඊ.ආර්. (එරන්ත) පීරිස් වාර්තා වූ අන්දමට කර්නල් තනතුරට උසස් කලේය. මානව හිමිකම් ප්‍රජාව දැඩි කම්පනයට ලක් කරන ලද මෙම උසස් කිරීම ජාත්‍යන්තර නිරීක්ෂකයින්ගේ තියුණු විවේචනයට ද ලක් විය. මාධ්‍යවේදියෙකු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ අයගේ හමුදා වෘත්තීන්ට උසස් වීම් ලබා දෙන අතරම, ආණ්ඩුවක් යුක්තිය ඉටු කරන බව  ප්‍රකාශ කරන්නේ කෙසේද?

මෙම පරස්පරතාව පෙර පැවති පරිපාලනවල රටා පිළිබිඹු කරයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ, දේශපාලන පළි ගැනීම් පිළිබඳ විමර්ශන කොමිසමක් චූදිත නිලධාරීන් නව දෙනාම නිදහස් කිරීමට නිර්දේශ කිරීම දක්වා දුර ගියේය. ජාත්‍යන්තර නිරීක්ෂකයෝ එම පියවර විමර්ශනය අඩපණ කිරීමට හිතාමතා ගන්නා ලද උත්සාහයක් ලෙස හෙළා දුටුවහ. දඬුවම් නොලබා එවැනි නිර්දේශ ඉදිරිපත් කළ හැකිය යන කරුණෙන් හෙළි වන්නේ හමුදා නිලධාරීන් සම්බන්ධ නඩු වල දී වග වීමට එරෙහිව පවතින ආයතනික ප්‍රතිරෝධයේ ගැඹුර යි.

ජාත්‍යන්තර අවධානය

xc vg

එක්නැලිගොඩ නඩුව මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුළුල් අරගලවල සංකේතයක් බවට පත්ව තිබේ. 2025 වන විට, ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180 අතරින් ශ්‍රී ලංකාව 150 වන ස්ථානයේ සිටී. එය රට තුළ මාධ්‍යවේදීන් මුහුණ දෙන භයානක පරිසරය පිළිබිඹු කරන කණගාටුදායක තත්ත්වයකි.

ජාත්‍යන්තර සංවිධාන නිහඬව සිටියේ නැත. දේශ සීමා රහිත වාර්තාකරුවෝ (Reporters Without Borders) සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, යුක්තිය ඉටු කිරීමට හැකි වන පරිදි නිශ්චිත ප්‍රතිසංස්කරණ කරන ලෙස ඉල්ලා සිටිමින්, නොකඩවා බලපෑම් කරමින් සිටී. විශේෂයෙන් ප්‍රගීත්ගේ අතුරුදහන් වීම වැනි අතීත අපරාධ සඳහා ඇති වගවීම නිරීක්ෂණය කිරීමට අදාලව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2025 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වරම වසර දෙකක් දීර්ඝ කළේය.

මෙම ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම් එක්නැලිගොඩ නඩුව අවසන් කිරීම සඳහා තීරණාත්මක අවශ්‍යතා තුනක් හඳුනා ගෙන ඇත. ඒවා නම්, සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව, පූර්ණ හෙළිදරව් කිරීම සහ අධිකරණමය අඛණ්ඩතාව යි. හමුදා නිලධාරීන්ට එරෙහිව සාක්ෂි දෙන අය බිය ගැන්වීම්වලින් සහ පළි ගැනීම් වලින් ආරක්ෂා කිරීම සඳහා ඵලදායී යාන්ත්‍රණ ස්ථාපිත කළ යුතුය. එවැනි ‍රැකවරණයන් නොමැතිව සත්‍යය භීතියේ ස්ථර යට වැළලී පවතිනු ඇත.

ගිරිතලේ හමුදා කඳවුරේ දී ප්‍රගීත් දුටු පසු ඔහු සිටි ස්ථාන සම්පූර්ණයෙන්ම හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් හමුදාව වගකිව යුතු බවට පත් කල යුතුය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආවරණය කිරීම සඳහා සදාකාලික පලිහක් ලෙස ජාතික ආරක්ෂාව භාවිතා කළ නොහැක. ඊට අමතරව, මෙම නඩුව විදහා පා ඇති උපක්‍රමික ප්‍රමාද කිරීම් වළක්වා ලීම සඳහා විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන් ලබා දිය යුතුය. ඒ, යුක්තිය ප්‍රමාද කිරීම යුක්තිය ප්‍රතික්ෂේප කිරීමක් වන බැවිනි. විනිසුරු මඩුල්ලේ පවතින නිදන් ගත පුරප්පාඩු බාධාවක් ලෙස මිස වෙනත් අරමුණක් ඉටු නොකරයි.

බිරිඳකගේ නොසැලෙන අධිෂ්ඨානය

cvxddsf

නීතිමය සටන්, කඩවුණු පොරොන්දු සහ ආයතනික ප්‍රතිරෝධ රැසකින් සමන්විත වූ මෙම වසර 16 පුරාවටම, සන්ධ්‍යා එක්නැලිගොඩ නොසැලී සිට ඇත. යුක්තිය සඳහා ඇය ගෙන යන මහජන ව්‍යාපාරය ඇගේ සැමියාගේ අතුරුදහන් වීම ශ්‍රී ලංකාවේ කරදර පිරි ඉතිහාසයේ පසුබිමේ මැකී යාමට ඉඩ නොදී ඔහුගේ නඩුකරය ජාතික විඥානය තුළ බහා ඇත.

"ප්‍රගීත්ගේ නඩුව ඉක්මනින් ම අවසන් කළ යුතුයි. මේ ඉල්ලීම කිරීමට මට අයිතියක් තිබෙන බවට මම විශ්වාස කරනවා" යනුවෙන් ඇය උදාර අධිෂ්ඨානයකින් යුතුව ප්‍රකාශ කර ඇත. ඇගේ වදන්වල ඇත්තේ, යුක්තිය ඉටු කිරීමට වඩා වෙහෙස කරවන්නට නිර්මාණය කර ඇති බව පෙනෙන ක්‍රම පද්ධතියක් තරණය කරමින්, පිළිතුරු සොයමින් ඇය ගත කළ දශක දෙකකට ආසන්න කාලයක බර යි.

සන්ධ්‍යා ගේ සටන තනි පුද්ගලයෙකුගේ අතුරුදහන් වීම ගැන පමණක් ම නොවේ. එය ශ්‍රී ලංකාවට එහි දණ්ඩ මුක්ති සංස්කෘතියෙන් මිදිය හැකිද, සිවිල් වැසියන්ට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් වගකිව යුතු බවට පත් කල හැකිද සහ මාධ්‍යවේදීන්ට සදහටම නිහඬ කරනු ලැබීමේ බියෙන් තොරව වැඩ කටයුතු කළ හැකිද යන්න පිළිබඳව වේ.

නිමාව සඳහා පවතින හදිසි අවශ්‍යතාවය

cbxgdg

2026 ජනවාරි 24 වන දිනට ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කර වසර 16 ක් පිරේ. ඔහුගේ නඩුව අවසන් කිරීමේ අවශ්‍යතාවය මීට පෙර කිසිදා මෙතරම් හදිසි කාර්යයක් වී නොමැත. විනිවිද පෙනෙන සහ අපක්ෂපාතී අවසාන තීන්දුවක් යනු නීතිමය වශයෙන් කළ යුතු විධිමත් කටයුත්තක් පමණක් නොවේ. එය, තම අධිකාරවාදී අතීතයෙන් ඔබ්බට යාමට උත්සාහ කරන සමාජයක සදාචාරාත්මක අවශ්‍යතාවයක් ද වේ.

සාක්ෂිකරුවන් බිය ගැන්වීම, ආයතනික ප්‍රතිරෝධය, ආණ්ඩුවේ එකිනෙකට පරස්පර ක්‍රියාමාර්ග සහ ස්වකීයයන් ආරක්ෂා කර ගැනීමට දිගටම කටයුතු කරන හමුදාවක් වශයෙන් පවතින බාධක ඉතා බලවත් ය. එහෙත් මෙම අභියෝගවලට යුක්තිය දින නියමයක් නොමැතිව වළක්වා ලන්නට ඉඩ දිය නොහැකිය. මෙම නඩුව සදහටම නොවිසඳී පවතින අපමණ අනෙකුත් අතුරුදහන් වීම් අතරට එක් වේද, නැතහොත් තරාතිරම හෝ නිල ඇඳුම නොසලකා, කිසිවෙක් නීතියට ඉහළින් නොසිටින බව රට අවසානයේ විදහා දක්වයි ද යනුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප්‍රශ්නය තියුණු ය.

සන්ධ්‍යා එක්නැලිගොඩට සහ මාධ්‍ය නිදහස හා මානව හිමිකම් ගැන විශ්වාසය තබා කටයුතු කරන හැම කෙනෙකුට ම, එම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර ශ්‍රී ලංකාවේ අතීතය තරමට ම, එහි අනාගතය ද නිර්වචනය කරනු ඇත.

වසර දහසයක් යනු යුක්තිය බලාපොරොත්තුවෙන් බලා සිටීමට තරම් වුවමනාවටත් වඩා ප්‍රමාණවත් කාල සීමාවකි. දැන් එළඹ ඇත්තේ අවසාන නිගමනයකට පැමිණිය යුතු කාලයයි.

lIONAL bOPAGE(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
2026 ජනවාරි 17 වන දා

lionel.bopage@gmail.com
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පිළිතුරු නොමැතිව දහසය වසරක්: ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ යුක්තිය උදෙසා කරන නොනිමි සටන | ලයනල් බෝපගේ | The Leader