එතෙක් ගුවන් විදුලි දෙපාර්තමේන්තුවක් ලෙස පැවති රේඩියෝ සිලෝන් `සංස්ථාවක් බවට පත් කළ යුතු යැයි නිර්දේශ කෙරුනේ 1965 වසරේදීය.
ජයග්‍රාහි වෘත්තීය අරගලයක් ගුවන් විදුලිය තුල වාර්තා වන්නේ මේ සංස්ථාකරණයෙන් අනතුරුවය. එය මෙරට ගුවන් විදුලි ඉතිහාසය තුලින් කිසිසේත් මකා දැමිය නොහැක්කකි. ඊට නායකත්වය දුන් බොහෝ දෙනා අද වන විට සිය දිවිසරිය නිමාකර හමාරය.මෙම සටහන ඔවුන්ට ගෞරවයක් පිණිසය.
1965 ජුලි 31වැනිදා පත් කරනු ලැබූ හුළුගල්ල කොමිසම මගින් ඉදිරිපත් කළ ප‍්‍රධාන නිර්දේශයක් වූ 1966 අංක 37 දරණ ලංකා ගුවන් විදුලි ආඥා පනත පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි. ඒ අනුව ලංකා ගුවන්විදුලි සංස්ථාව[CBC] නිලවශයෙන් ස්ථාපිත කෙරුනේ 1967 ජනවාරි 05 වැනිදායි.ඒ මීට වසර පනස් නවයකට පෙරාතුවය.
ගුවන් විදුලියට CMU සමිතියක්

ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස සිවිල් පරිපාලන සේවකයෙකු වූ නෙවිල් ජයවීර පත්කරනු ලැබුවේ එවකට පැවති අගමැති ඩඩ්ලි සේනානායකගේ පක්‍ෂ හතේ හවුල් ආණ්ඩුව මගිනි. ඔහු අගමැති සේනානායකගේ සමිපතමයෙකි. ඒ.එල්.එම්.හෂීම්, ධර්ම ශ්‍රී කුරුප්පු, කේ .ඒ.ජි.පෙරේරා, දේවා සුරියසේන සහ පී.ඩබ්ලිව්.එස්. පෙරේරා ආදීහු ගුවන් විදුලි අධක්‍ෂක මණ්ඩලය නියෝජනය කළහ. ජේ. ඒ. අමරතුංග, තොරතුරු හා ගුවන් විදුලි ඇමතිවරයා වූ අතර ඔහුගේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙසින් කටයුතු කළේ,පසුව ජනාධිපතිධුරය දක්වා පැමිණි ආර්. ප්‍රේමදාස ය.
ලංකා ගුවන්විදුලි සංස්ථාව බවට පත්වීමත් සමග එතෙක් දෙපාර්තමේන්තුවක් යටතේ සේවකයන්ට ලබා දී තිබු වරප්‍රසාද එකිනෙක කප්පාදු කෙරෙන්නට විය. විශ්‍රාම වැටුප්, දුම්රිය ගමන් බලපත්‍ර ඇතුළු සේවක හිමිකම් රැසක් ඔහුන්ට අහිමි කෙරෙමින් තිබිණි.මෙසේ සේවක විරෝධය දිනෙන් දින වැඩෙමින් තිබිය දී, ගුවන් විදුලි සංස්ථාවේ පළමු වරට වෘත්තීය සමිතියක් පිහිටුවනු ලැබිණි. ඊට මුලිකත්වය ගත්තේ ප්‍රවීණ සම්මානනීය සාහිත්‍යකරුවෙකු, නීතිවේදියෙකු, වෘත්තීය සමිති නායකයෙකු වූ එච්.ඒ.සෙනෙවිරත්න විසිනි. තවත් ජනප්‍රිය ගුවන් විදුලි නිවේදකයෙකු වූ සිරිල් රාජපක්‍ෂ, පසු කලෙක ජනප්‍රිය රංගධරයෙකු වූ ඩබ්ලිව්.ජයසිරි නව වෘත්තීය සමිතිය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට මුල්වුවන් අතර ඉදිරියෙන්ම සිටියහ.
වෘත්තීය සමිතියේ සභාපතිධූරයට එච්.ඒ.සෙනෙවිරත්න හෙබවූ අතර පත් වූ අතර සිරිල් රාජපක්‍ෂ එහි ලේකම්වරයා විය. එවකට ප්‍රමුඛතම වෘත්තීය සමිතිය ලෙස සැළකුණු බාලා තම්පෝ ගේ නායකත්වයෙන් යුත් ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ අනුබද්ධ ශාඛාවක් ලෙස නව ගුවන් විදුලි සේවක සංගමය ක්‍රියාත්මක විය.
නෙවිල් ජයවීරට එරෙහිව සේවක විරෝධය
වෘත්තීය සමිති විරෝධී, සේවක අදහස් නොසළකා හරින, දේශපාලන හා පෞද්ගලික බලපෑම් මත පත්වීම් හා උසස්වීම් ලබා දෙන,ගුවන් විදුලි වැඩසටහන් අන්තර්ගතයන් සඳහා සිමා පැනවීම,වැනි ගුවන් විදුලි සභාපතිවරයාගේ දරදඬු හා අත්තනෝමතික පාලනයට එරෙහිව සේවකයන්ගේ තීරණය වුයේ වෘත්තීය ක්‍රියාමාර්ගක් දියත් කිරීමය. ඒ අනුව 1969 වසර අග දී සංකේත වර්ජනයක් දියත් කෙරිණි. අතිශයින් සාර්ථක මේ සංකේත වැඩ වර්ජනයෙන් කුපිතවූ බලධාරීහු වෘත්තීය සමිතියේ එච්.ඒ .සෙනෙවිරත්න,සිරිල් රාජපක්‍ෂ, අමරබන්දු රූපසිංහ සහ ඩබ්ලිව්.ජයසිරි සිව්දෙනා ගුවන් විදුලියෙන් දොට්ට දැමුහ.තවත් ක්‍රියාකාරී ගුවන් විදුලි සේවකයන් 28 දෙනෙකු වැඩ තහනමට ලක් කළහ.
අමරබන්දු රූපසිංහ
ගුවන් විදුලිය සියවසක් සමරන විට 1969 ඓතිහාසික වෘත්තීය සටනේදී සේවයෙන් ඉවත් කළ සිව්දෙනාම සිය දිවිසැරිය නිමා කර තිබේ. මෙම ගුවන් විදුලි සේවක සටන ගැන එච්.ඒ සෙනෙවිරත්න හා ඩබ්ලිව්.ජයසිරි සමග කෙටි කතාබහක් කරන්නට හැකිවුයේ ඔහුන් දෙදෙනා දිවියෙන් සමුගන්නට කෙටි කලකට මත්තෙනි.
“ඇත්තටම ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ සාර්ථක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් තමයි මේ සංකේත වර්ජනය. සියයට අසුවක් විතර සේවක සේවිකාවෝ මීට දායක වුණා. මම එතකොට ගුවන් විදුලියට බැඳිලා පරිවාස කාලයක හිටියේ. ඒත් වෘත්තීය සමිතියේ උද්යෝගිමත් සාමාජිකයෙක් විදිහට වැඩ කළා. මාව, එච්.ඒ, සිරිල් සහ අමරබන්දු එක්කම අස් කළා. 28 දෙනෙකුගේ වැඩ තහනම් කළා. එයින් බොහෝ දෙනෙක් ගුවන් විදුලියේ වාදක මණ්ඩලේ අය.`` එදා සිය මතකය අවදිකරමින් ඩබ්ලිව්.ජයසිරි පැවසීය.
ඒ වනවිටත් රෝගාතුරුව සිටී ජයසිරි සිය මතකය අවදි කළේ මහත් ආයාසයකින් යුතුවය.
“වර්ජනයත් යනවා දිගටම. කෑම පැයේදී අපි හැමදාම පිකටින් කරනවා. සීයක් විතර වර්ජනයේ දිගටම හිටියා. ජාතික තලයේ ජනාදරයට පත් වෙලා හිටපු අයගෙන් සුගතපාල ද සිල්වා විතරක් ඇවිත් කෙළින්ම සටනට සහයෝගය දුන්නා. එතකොට තිලක් ජයරත්න, විජයානන්ද ජයවීර වගේ අය ගුවන් විදුලියට සම්බන්ධ වුණ අලුත. ඒ වෙලාවේ වර්ජනයට එක්වුණේ නැතත් පසුව ඒ දෙන්නා වෘත්තිය සමිතියේ ඉහලම වගකීම් අරන් ඒක ඉස්සරහට ගෙනියන්න වැඩ කළා. එදා වෘත්තීය සටනේ ක්‍රියාකාරී හැමෝටම වගේ CMU එකේ සාමාජික අරමුදලෙන් දවසකට රුපියල් දහය ගානේ ගෙව්වා. සටන තවත් ඉදිරියට ගෙන යන්න අරමුදලක් හදා ගන්න කියලා වික්ටෝරියා පාක් එකේ එළිමහන් රංග පීඨයේ අපි සංගීත සංදර්ශනයක් පැවැත්තුවා. ඒකට කේමදාස මාස්ටර්ගේ සහයෝගයත් එක්ක ලංකාවේ ගායක ගායිකාවන්ගේ සියයට අසුවක් විතර ආවා.
1969 දෙසැම්බර් ඇරඹි සේවක සටන 1970 සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වෙන තුරු දිග්ගැස්සුනේ සමිති නායකයන් සේවයෙන් ඉවත් කිරීමත්, සෙසු අයගේ වැඩතහනමත් නිසාය. එමෙන්ම බාලා තම්පෝ ගේ වෘත්තීය සමිති නායකත්වය හා අත්දැකීම් සටන ජයග්‍රාහිව ඉදිරියට යාමට රැකුලක්වූ බව එච්.ඒ මෙන්ම ජයසිරි ද සහතික කළේය.
සටන දිනුම් - දුන්න දුනුගමුවේ හැදෙයි
සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වය යටතේ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ හවුලේ හැදූ සමගි පෙරමුණ 1970 මැයි 27 වැනිදා පැවති මහ මැතිවරණයෙන් බලයට පත්වන තුරු ගුවන් විදුලි සටන දිග්ගැසුණේය. ගුවන් විදුලි සේවක සටන ජයග්‍රාහීව අවසන් වන්නේ සේවයෙන් නෙරපා හරින ලද හා වැඩ තහනමට ලක්වුවන් යළි සේවයේ පිටුවීමට සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රවෘත්ති හා ගුවන්විදුලි ඇමැති ආර්.ඇස්. පෙරේරා විසින් පියවර ගැනීමත් සමග ය. ඇමතිවරයා විසින් වර්ජනයට හේතුවූ සියලු කරුණු ගැන විමර්ශනයට ඩි.සී.ජයසුරිය, එව්ලින් ෆ්රනන්ඩෝ,එම්.ඒ.ද සිල්වාගෙන් සමන්විත ත්‍රිපුද්ගල කොමිසමක් පත් කළේය.
සේවක වර්ජනයත්, බල පෙරළියත් හේතුවෙන් නෙවිල් ජයවීර ට සිය තනතුර අහිමිවූ අතර එම ධූරයට ඔස්වල්ඩ් තිලකරත්න පත් කෙරිණි.
සූසිල් කුමාර මූණසිංහ, නාත්තන්ඩියේ ප්‍රඥාසේකර හිමි, කේ.එල්.ඩි.අලගියවන්න, ධර්මසිරි ජයකොඩි, එච්.එම්.පී.මොහිදීන්, ඩි.විමලසුරිය ගෙන් සමන්විත අධ්‍යකෂ මණ්ඩලයක් විය.
“දුන්න දුනුගමුවේ“ නාට්‍යය පිටපත සුගතපාල ද සිල්වා අතින් නිර්මාණය වන්නේ මෙම වැඩවර්ජනය පදනම් කරගෙන වීම තවත් විශේෂත්වයකි.
ලංකා වෙළඳ,කාර්මික හා පොදු සේවක සංගමය අමතරව බාලා තම්පෝ විසින් නායකත්වය දුන් හතරවන ජාත්‍යන්තරයේ එක්සත් ලේකම් මණ්ඩලයේ ලංකා ශාඛාව වූ විප්ලවීය මාක්ස්වාදී පක්‍ෂයේ (RMP) නායකයෙකු වූ වෛද්‍ය සරවන භගවාන්ගේ (බැගී) සහ තම්පෝගේ දේශපාලන පංති වලට සහභාගීවීමේ අවස්ථාව ගුවන් විදුලි වෘත්තීය සමිතියට ලැබුණේ සංස්ථාවේ සේවක වර්ජනය විසින් ඇතිකරන ලද දේශපාලන පරිසරය හේතුවෙනි.
ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ පුවත්පත වූ “ආරම්භය“ පසුකාලීනව විජයානන්ද ජයවීර, ඩබිලිව්.ජයසිරි, තිලක් ජයරත්න හා එච්.ඒ සෙනෙවිරත්න ඇතුළු එම කණ්ඩායමේ නොමසුරු දායකත්වයෙන් ප්‍රකාශයට පත්කිරීමට පසුබිම සකස්වූයේ ද ඒ අනුව ය.
සටනින් පසු තම්පෝ ගේ ඉල්ලීම මත නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා ලෙස ලංකා වෙළඳ,කාර්මික හා පොදු සේවක සංගමයට එච්.ඒ. සෙනෙවිරත්න එක්වන්නේ ගුවන් විදුලියේ රැකියාවට සමුදෙමින්ය.
1977 පාර්ලිමේන්තු මැතිවරණයට විප්ලවීය මාක්ස්වාදී පක්ෂයෙන් කැළණිය ආසනයට තරඟ කරන්නටද ඔහු ඉදිරිපත්විය.(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
Ishankha Singha Arachchi
Freelance Journalist
ishanka.singhe@gmail.com




