වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි ජී ඒ කේ ටිෂාන් මරණයට පත්වී ඇත්තේ හෘදය වස්තුවට ඇතුල්වූ උණ්ඩයකින් බව ජනවාරි 13 දා පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
පොලිසිය පවසන පරිදි මියගිය තරුණයා මතට ඇබ්බැහි ව සිටිය නඩු කිහිපයක ද සැකකරුවෙකි.
මාරාන්තික වෙඩිල්ලට පෙර මහමග තුන් පොලකදීම තරුණයාට පොලිසිය විසින් වෙඩි තබන ලද බව ඥාතීහු පවසති.
ශ්‍රි ලංකාවේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක නීතිඥ සේනක පෙරේරා පවසන්නේ පොලීසිය විසින් තරුණයාට වෙඩි තබන ලද්දේ ඝාතනය කිරීමේ අරමුණින්ම විනා හදිසියේ ඇති වු තත්වයක් මත නොවන බවයි. එමෙන්ම ඝාතනයෙන් අනතුරුව පොලිසියේ ඉහළ නිලධාරින්ගේ ක්‍රියාකලාපයද බලවත් සැකයට තුඩු දෙන්නක් බවයි මියගිය තරුණයාගේ දෙමාපියන් මුණ ගැසීමෙන් අනතුරුව හෙතෙම කියා සිටියේ.
පැටිකිරිය සොයා අපරාධ වළ දැමීම
නීතිඥ සේනක පෙරේරා
"පැහැදිලිවම මේ ඝාතනය අත්වැරදීමක් හෝ ආත්මාරක්ෂාවට හෝ කරපු එකක් නෙමෙයි. පොලීසිය උපරිම බලය යොදලා අනීතිකව සිදු කරපු මනුෂ්‍ය ඝාතනයක්. පොලීසිය ඒ ඝාතනය සාධාරණීයකරණය කරන්න හදන්නේ ඒ තරුණයාගේ අතීත පැටිකිරිය ඉස්සරහට දාගෙන. ඔහුට විරුද්ධව නඩු තිබුණා කියමින් මේ ඝාතනය යුක්ති සහගත කරන්නත්, කිසිම පරික්ෂණයක් නැතුව යටපත් කර හරින්නත් මේ වෙන කොට පොලිසිය ලොකු උත්සාහයක් ගන්නවා," යි චෝදනා කරන නීතිඥ සේනක පෙරේරා, පොලිසියේ එම චර්යාව අලුත් තත්වයක් නොවන බවට කරුණු දක්වයි.
"පොලිසිය හැමදාම කළේ මේ ටිකම තමයි. පහුගිය දවස්වලත් මරලා දාපු මිනිස්සුන්ට පොලිසිය කරපු චෝදනා අපි දැක්කනේ. මේ කරන්න හදන්නේ පොලිසියේ මනුෂ්‍ය ඝාතන වරද යටපත් වෙන්න ඒ මරලා දාපු තැනැත්තා පිළිබඳව වැරදි උලුප්පලා ඒවා සමාජගත කරලා, පොලිසියේ පැත්තට පොදු මහජන මතය හරව ගන්න උත්සහ කරන එකම නේද?”
රටේ ජනතාව මෙවැනි අපරාධ අනුමත කරන තුරු පොලිසියට ගැටළුවක් ඇති නොවන බව අවධාරණය කරන නීතිඥ සේනක පෙරේරා වැඩි දුරටත් පවසා සිටියේ පොලීසිය විසින්ම සිදු කළ මනුෂ්‍ය ඝාතනයකින් අනතුරුව මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීම මගින් නිසි විමර්ශනයකට ඇති ඉඩ බරපතල ලෙස අහුරා දමන බවකි.
නමුත් පොලීසිය පවසන්නේ පොලිස් වෙඩි පහරින් මරා දැමුණු තරුණයා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුණු එමෙන්ම කළහකාරිව හැසිරෙන අයෙකු බවයි.
"එයාට නඩු තියෙනවා" පොලොන්නරුව SSP
ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි බුද්ධික මනතුංග
"මේ තරුණයා ට එරෙහිව නඩු ගණනාවක් අධිකරණය ඉදිරියේ ඇසෙමින් තිබෙනවා. සමහර නඩුවලින් ඔහුට දඬුවම් ලබා දීලත් තියෙනවා," යනුවෙන් අප හා කියා සිටියේ පොලොන්නරුව දිසාව භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ය.
'ගාර්දි අම්බ්‍රෝසි කංකානම්ගේ ටිෂාන් ගේ පෙර වැරදි හා පවතින නඩු,' මැයෙන් ලේඛනයක් අප වෙත එවමින් ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි මනතුංග වැඩිදුරටත් පවසා සිටියේ සිද්ධිය වු දින ද එම තරුණයා මහ මග කළහකාරිව හැසිරී ඇති බවකි. කෙසේ වෙතත්, ටිෂාන් ගේ ඝාතනය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳ කිසි ලේඛනයක් අපට ලබා දී නැත.
මේ සම්බන්ධයෙන් බලවත් විරෝධය පළ කරමින් නීතිඥ සේනක පෙරේරා ප්‍රශ්න කරන්නේ පෙර වැරදි තිබු පමණින් මේ ආකාරයෙන් නිරායුද පුද්ගලයකු හිතාමතාම වෙඩි තබා මරා දැමිය හැකි වන්නේ කවර නීතියක් යටතේ ද යන්නයි.
"කෙනෙක්ව මරලා දාන්න පොලිසියට තියෙන අයිතිය මොකද්ද? නඩු අහන්නේ පොලිසිය ද? පෙර වැරදි තිබුණු පළියට මේ විදිහට ගෙවල්වලට කඩා පැනලා මිනිස්සුන්ව මරලා දාන්න පොලිසියට ලයිසන් දුන්නේ කවුද? මේවා මෙහෙම වෙනවා නම් රටකට අධිකරණයක් මොකටද? නීතිය ක්‍රියාත්මක කරන එක අධිකරණයේ වගකීමක්. විමර්ශනය යි, නඩු විසඳන එකයි දෙකම තමන්ගේ අයිතියක් කියලද පොලීසිය හිතා ගෙන ඉන්නේ?” යි හෙතෙම දැඩිව විමසීය.
තම සහෝදරයාට එරෙහිව නඩු කිහිපයක් පැවතුනද එදින සිදුවු සිදුවීමට එම නඩුවල ඇති සම්බන්ධය කුමක්දැයි ප්‍රශ්න කර සිටියේ මරා දැමුණු ටිෂාන්‌ගේ බාල සොයුරු ජී.ඒ.කේ දිල්ශාන් ය.
"අයියට නඩු කිහිපයක් තිබුණු බව ඇත්ත. ඒ බරපතල අපරාධවලට නෙමෙයි. පොලීසිය කිහිප වතාවක්ම අයියට විරුද්ධව නඩු දාලා තිබුණා. ඒහෙම වුණා කියලා මේ විදිහට ගෙදරටම පන්නගෙන ඇවිත් අම්මා තාත්තා ඉස්සරහා පපුවටම වෙඩි තියලා මරලා දාන්න පුලුවන්ද? වෙඩි තියලා මරලා දාලා එයාට කලින් නඩු තිබුණා කියන එක හරිද?" යි දැඩි වේදනාවෙන් යුක්තව හෙතම කීය.
පන්නා පන්නා වෙඩි
තම සොහොයුරා ඔහුගේ මිතුරන් දෙදෙනකු සමඟ මෝටර් බයිසිකලයක නැග එමින් සිටියදි සිංහපුර හන්දීයේදි එය නතර කරන ලෙසට පොලොන්නරුව පොලිසියේ රථ වාහන කොට්ඨාශයේ නිලධාරින් දෙදෙනෙකු විසින් අතින් සංඥා කොට තිබුණු බවත්, මෝටර් බයිසිකලය නතර නොකරම ධාවනය කර ඇති බැවින් එම නිලධාරින් ද පසු පස එමින් අතර මග ස්ථාන තුනකදීම වෙඩි තබා ඇති බවත් මිය ගිය තරුණයාගේ බාල සොයුරු තවදුරටත් පැවසීය.
ටීෂාන්
"අයියගේ යාළුවෝ දෙන්නා අපිට කිවුවා පොලිසියෙන් ඉස්සල්ලාම එයාලට වෙඩි තිබ්බේ වැලිකන්ද සිංහපුර පාරේ LG ෆාර්ම් ඒක ළඟදි ය කියලා. ඒ වෙලාවේ වෙඩි වැදිලා නෑ. පොලිසියත් පස්සෙන්ම ඇවිත් ආයේ මුතුවැල්ල හන්දිය ළඟදි වෙඩි තියලා තිබුණා. ඊටත් පස්සේ ගල්කන්ද ගමට ඇතුළු වෙන කොට ආයෙම වෙඩි කිහිපයක් තිබ්බා කියලයි අයියගේ යාළුවෝ දෙන්නා අපිට කිවුවේ," යැයි දිල්ෂාන් පැහැදිලි කළේය.
පොලිස් රථ වාහන නිලධාරින් විසින් මෝටර් බයිසිකලය නතර කිරීමට සංඥා කරනු ලැබු ස්ථානයේ සිට ගල්කන්ද ගම්මානයට කිලෝ මීටර් 18 ක පමණ දුරක් ඇති බව ද, ඒ අතර මග හමුදා කඳවුරක් ද තිබෙන බවද මියැදුණු ටිෂාන්ගේ සොයුරා අප හා වැඩි දුරටත් පැවසීය.
ටිෂාන් ලුහුබඳිමින් ඔහුගේ නිවසට පැමිණි පොලිස් නිලධාරින් මෝටර් බයිසිකලයක් පොලිස් අණ නොතකා ධාවනය වන බවට හෝ මිය ගිය තරුණයා කළහාකාරිව හැසිරෙන බවට හෝ පවසමින් පොලිස් මෙහෙයුම් මැදිරිය හෝ ඉහළ නිලධාරින්ව හෝ දැනුම් දෙනු ලැබුවේ දැයි විමසීමේදි ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි බුද්ධික මනතුංඟ කියා සිටියේ එසේ කිරීම සඳහා අවස්ථාවක් නොලැබී ඇති බවයි.
" ඒගොල්ලන්ට එහෙම කියන්න ඉඩක් ලැබිලා නෑ. තනි අතින් මෝටර් බසියිකලය පැද ගෙන පොලිසියට කතා කරලා කියන්න බෑනේ," යනුවෙන් ඔහු විසින් පවසා සිටියද ටිෂාන්ගේ දෙමාපියන් පවසන පරිදි තරුණයා හඹා ඔවුන්ගේ නිවසට පැමිණි පොලිස් භටයන් පැයකට ආසන්න කාලයක් ධීවර තරුණයා සමග බහින් බස් වී තිබේ.
"පපුවටම වෙඩි තියපන්"
නිවසට පැමිණි එම නිලධාරින් ඉන් අනතුරුව ක්‍රියා කළ ආකාරය මේ වන විටත් රහසක් නොවන්නේ සමාජ මාධ්‍යවල සංසරණය වන විඩීයෝ පටයක් හේතුවෙනි. එම වීඩියෝ පටයේ ඇති රූප රාමු සහ දෙබස් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ පුද්ගලයන් විසින් ඔවුන්ගේ අවධානයට හසු කර ගනු ලැබුවේ නම් වෙඩි තැබීම සිදු කළ නිලධාරින් මේ වන විටත් සිටිය යුතු වන්නේ බන්ධනාගාරයේ ය.
එම වීඩියෝ පටය ඉතා වැදගත් අපරාධමය සාක්ෂියක් ලෙස සලකා අදාල පොලිස් නිලධාරින් පිරිසද සමඟ අධිකරණය හමුවට ඉදිරිපත් කළේද යන්නට දැන ගන්නට නොමැත.
විඩියෝ පටයේ ඉතා පැහැදිලි හඬින් අසන්නට ලැබෙන්නේ අදාල පොලිස් නිලධාරින් එම තරුණයාට වෙඩි තැබීම සඳහා සුදානම් වන ආකාරයකි.
" ඒයි තුවක්කුව අරන් වරෙන්. මේක අන්ලෝර්ඩ්. ටක්ගාලා එන්න, ටක්ගාලා එන්න," යනුවෙන් එක් නිලධාරියෙක් පවසන විට අනෙක් තැනැත්තා පවසන්නේ " මේකේ තියෙනවා" යනුවෙනි.
"ඒයි වරෙන්, පපුවට හරි වෙඩි තියන්න ඕනේ. පපුවටම තියපන්," යළිත් පලමු හඬින්ම පවසන ආකාරය ඉතා පැහැදිලිව අසන්නට ලැබෙන අතර ඒ අවස්ථාවේදි යම් කාන්තාවක් හඬනු පසෙකින් ඇසෙන්නේ ය. ඒ සිය දරුවාට අනතුරක් නොකරන ලෙස ටිෂාන් ගේ මව විසින් පොලිස් නිලධාරින් වෙත කරන ආයාචනය යි.
ඉන් අනතුරුව දක්නට ලැබෙන්නේ ඇසෙන වෙඩි හඬත් සමග එම තරුණයා ක්ෂණිකව බිමට ඇද වැටෙන ආකාරයකි.
ඝාතනය සිදුවන අවස්ථාවේ එම තරුණයා සමඟ නිවසේ සිට ඇත්තේ ඔහුගේ මව සහ පියා පමණි.
පියා පවසන්නේ ටිෂාන් ලුහුබඳිමින් පැමිණි පොලිස් නිලධාරින් ඔහුට උසුළු විසුළු සහ නොයෙක් අපහාස කරමින් ඔහු කෝප ගැන්වෙන ආකාරයට කටයුතු කළ බවකි.
"දරුවා පිහියක් උස්සන් ආවේ පස්සේ. එයා වරදක් කරලා තිබුණා නම් ඊට කලින් එයාව අල්ල ගන්න හරි අත්අඩංගුවට ගන්න හරි පොලිසියට ඕනේ තරම් ඉඩක් තිබුණා. පොලිසියේ අය කියපුවා අහගෙන ඉන්න බැරිම තැනයි පුතා මන්නය යි, දොරට තියන පොල්ලයි අරන් ඉස්සරහට ගියේ," යි මරා දැමුනු ටිෂාන්ගේ පියා වන ඩී.ඒ.කේ තිලකසිරි කීය.
ඔහු පවසන්නේ සත්‍යයක් බව දැනට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විඩියෝ පටය නරඹන කවරකුට වුව වැටහෙනු නොඅනුමානය.
"පැය භාගයක් විතර නිරායුධව හිටිය දරුවව තමයි අපේ ඇස් ඉදිරිපිට දීම සතෙකුට වගේ වෙඩි තියලා මරලා දැම්මේ. වෙඩි තියන්න හදන කොටම පුතාගේ අම්මා බිත්තිය පැත්තට හැරුනා. මොකද පොලිසියේ අය කිවුවෙම මරනවා කියලමයි. වෙඩි තියනවා මම දැක්කත් මට මොනවත් කර ගන්න හයියක් තිබුණේ නෑ. පුතයි පොලිසියේ අයයි හිටියේ මීටර් දෙක තුනකවත් දුරකින් නෙමෙයි. වෙඩි තිබ්බේම පපුවටම අල්ල ලා. තුවක්කු බටේ හරියටම ඉලක්ක කරේ පපුවට. ඊට පස්සේ මට කම්පනයක් ඇති වුණා." ටිෂාන්ගේ පියාගේ වෙවුලුම් සහගත හඬ බොහෝ කම්පා සහගතය.
" වෙඩි සද්දේ අහන්න බැරුව කන් දෙක වහ ගත්තා"
"මම පොලීසියේ මහත්තුරුන්ගෙන් ඇහුවා සර් මොකද කරන්න යන්නේ කියලා. 'මොනවා කරන්නද වෙඩි තියනවා' කියලා එයාලා කිවුවාම මම දුවගෙන ගේ අස්සට ගිහින් බිත්තිය පැත්තට හැරිලා කන් දෙක තදින් වහ ගත්තා. එතකොටම වෙඩි සද්ද දෙකක් ඇහුනා. ටිකකින් මම හෙමින් එලියට ගිහින් බලද්දි ළමයා වැටිලා හිටියා. මම ළගට යද්දි පොලිසියේ අය කිවුවා අල්ලන්න එපා කියලා. එතකොට මම ඇහුවා, ඇයි සර් මේ ඇස් ඇරිලා තියෙන්නේ ? ' ආ එයාට කලන්තයක් හැදිලා තියෙන්නේ' කියලා මට කිවුවා" යැයි හඬමින් පැවසුවේ ටිෂාන්ගේ අම්මා යි.
නීතිඥ සේනක පෙරේරා හමුවේ ප්‍රකාශයක් දෙමින් ඒ මව තවදුරටත් පවසා ඇත්තේ වෙඩි තැබුවේ කොහේටද යනුවෙන් තමන් පොලිස් නිලධාරින්ගෙන් ඇසු විට 'නෑ, නෑ ප්‍රශ්නයක් නෑ කකුලට තිබ්බේ ' යැයි ඔවුන් තමන් හා පැවසු බවකි.
ටීෂාන්ට වෙඩි පහරවල් දෙකක් තබා ඇති අතර පළමු වෙඩිල්ල පපුවටත්, දෙවන වෙඩිල්ල වම් කකුලටත් තබා ඇතැයි වෛද්‍යවරුන් පවසා තිබේ.
"පොලොන්නරුව මහා ඉස්පිරිතාලේ දී අම්මට ජේ.එම් .ඕ මහත්තයා කියලා තිබුණා පපුවට වැදුනු වෙඩි පාරින් පපුව ඇතුලට ලේ ගිය නිසයි අයියා මැරිලා තියෙන්නේ කියලා," යි සොයුරු දිල්ශාන් පැවසීය.
පපුව පසාරු කෙරූ මූණිස්සම
පශ්චාත් මරණ පරික්ෂණය සිදු කොට ඇති පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ලසන්ත එස් කේ ද සිල්වා විසින් නිකුත් කොට තිබෙන' පශ්චාත් මරණ පරික්ෂණයකින් පසු මෘත දේහය රෝහලින් පිට කිරීමේ අවසර පත්‍රයේ ' පැහැදිලිවම දැක්වෙන්නේ පපු කුහරයට ලේ බැස්ම (Hemothorax) සහ හෘදය වස්තුව උණ්ඩයකින් තුවාල වීම (Bullet injury to the heart) මරණයට හේතුවූ බවකි.
ටිෂාන් ට වෙඩි තැබු පොලිස් රථ වාහන කොට්ඨාශයේ නිලධාරින් දෙදෙනා තම අනන්‍යතාවය සඟවා ගෙන සිට ඇති අතර, පුද්ගලයකු අත්අඩංඟුවට ගැනීම සඳහා පැමිණෙන පොලිස් නිලධාරියකු අනන්‍යතාවය රහසක් ලෙස තබා ගන්නට කටයුතු කරන්නේ නම් එය බරපතල සැකයට තුඩු දෙන්නකි.
ගෝනී බිල්ලන් වූ පොලිස් නිලධාරින්
" දරුවට වෙඩි තියපු පොලිසියේ දෙන්නා නිල ඇඳුමින් හිටියට මූණ සම්පූර්ණයෙන්ම වැහෙන්න හෙල්මට් දාගෙනයි හිටියේ. ඒ දෙන්නගේ මුණ බලා ගන්න බැරි වුණා ඒ නිසා," ටිෂාන්ගේ පියා එසේ පැවසුවේ පැමිණි නිලධාරින් හඳුනා ගත හැකි දැයි අප විසින් කරන ලද විමසීමේ දී ය.
ටිෂාන් මරා දැමීමෙන් අනතුරුව පොලිස් ජීප් රියක් ද පැමිණ තිබු අතර, පසුව ත්‍රිරෝද රථයක දමා ගෙන ඔහු වැලිකන්ද රෝහලට රැගෙන ගොස් තිබේ. නමුත් ඒ වන විටත් ටිෂාන් මිය ගොස් සිටි බැවින් පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර පසුදා පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දී තිබුණි.
පොලොන්නරුව වැඩ බලන මහේස්ත්‍රාවරයා ටිෂාන්ගේ නිවසට 12 වන දින රාත්‍රියේම පැමිණ ඔහුගේ දෙමාපියන් ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි. ඉන් පසුව සිදුවූ මහේස්ත්‍රාත් පරික්ෂණයක් පිළිබඳව මේ තාක් දැන ගන්නට නොමැත.
එමෙන්ම මෙම අපරාධයට වගකිව යුතු පොලොන්නරුව පොලිස් රථ වාහන කොට්ඨාශයේ නිලධාරින් පිරිස කිසිදු ප්‍රශ්න කිරීමකට හෝ යටත් නොවී සුපුරුදු රාජකාරියේ නිරතව සිටින බවද දැන ගන්නට ලැබුණි.
අප විසින් මේ පිළිබදව පොලොන්නරුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි බුද්ධික මනතුං වෙගතින් දුරකතනය ඔස්සේ කරුණු විමසා සිටියදි හෙතම පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව ඔහුගේ වට්ස්ඇප් අංකයට අප විසින් 2025 ජනවාරි 18 වැනිදා ප්‍රශ්න කිහිපයක් යොමු කර සිටියද මේ දක්වාම ඔහුගෙන් කිසිදු පිළිතුරක් ලැබී නැත.
පොලිස් හිටපු මාධ්‍ය ප්‍රකාශකද වන ඔහුගෙන් අප විසින් අසන ලද එක් පැණයක් වූයේ වෙඩි තැබීම සිදු කළ පොලිස් නිලධාරින් වෙතින් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කොට විමර්ශනයක් සිදු කෙරෙන්නේද යන වගයි. එසේම අදාල විඩීයෝ පටය අපරාධමය සාක්ෂියක් වන බැවින් එය විඩියෝ ගත කළ පුද්ගලයා හඳුනා ගෙන ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ ද යන වගද අප විසින් අසන ලදී.
මෙම අපරාධය යටපත් කිරීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විටත් සිදුවෙමින් තිබෙන අතර එහි පළමු පියවර බව පෙනී යන්නේ ඝාතනය සම්බන්ධයෙන් කවර හෝ පාර්ශවයකක් සමඟ කතා බස් කොට තිබුණ හොත් අවසන් කටයුතු සඳහා මළ සිරුරු නිවැසියන්ට භාර නොදෙන බවට පොලිසිය විසින් සිදු කර තිබුණු තර්ජනය යි.
"මේ ගැන කතා කරන්න එපා කියලා පොලීසිය අපිට කිවුවේ පුතා මරලා දාපු දවසේමයි. පිට අය එක්ක මේ ගැන කතා කෙරුවොත් නඩුකාරතුමාට කියලා මළ සිරුර එයාලම වළ දානවා කියලයි පොලිසිය අපිට කිවුවේ" යැයි ටිෂාන්ගේ මව නීතිඥ සේනක පෙරේරා හමුවේ කර ඇති ප්‍රකාශයක සඳහන් ය.
(සටහන | කේ. විජේසිංහ)




