The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

ජනපති උතුරේ දී කළ කතාවේ හානිය පියවීමට නම්.... | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

January 22, 2026 • 7:02 AM

ජනපති උතුරේ දී කළ කතාවේ හානිය පියවීමට නම්.... | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුර දිසානායක ජනාධිපතිවරයා පසුගිය සතියේ යාපනයේ සංචාරය කළේය. ඔහු උදෑසන අවදි වී යාපනයේ මහා මාර්ගයේ ශාරීරික ව්‍යායාම සඳහා ඇවිද යමින් සාමාන්‍ය ජනතාව සමග කතාබහ කරන අයුරු සමාජ මාධ්‍යවල පළ වී තිබුණි.
  • ඔහු ඉතා පැහැදිලිව එම දේශනයේ දී කියා සිටියේ, අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය පසු කරගෙන සිල් සමාදන් වීම සඳහා යාපනයට එන්නේ වෛරය නිසා බවයි.
  • සෑම පෝයකටම යාපනයේ එක් ස්ථානයකට රැස් වී ඉඩම් ඉල්ලා කෑගසන්නේ ද වෛරය නිසා බව ඔහු පැවසීය.
  • මෙසේ කෑගසන අයට එම ස්ථානයේ ඉඩම් තිබේදැයි සොයා බලන ලෙස බුද්ධි අංශවලට තමන් දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

බංකොලොත් වී තිබුණු රට, බලයට පත්ව මාස දෙකක් තුළ ඉන් මුදා ගැනීමට අනුර දිසානායක ජනාධිපතිවරයාට හැකි වූ බව ප්‍රසිද්ධියේ පවසන කැබිනට් අමාත්‍යවරුන් ද සිටින නිසා, ඒ දර්ශනය දුටු විට යාපනය එල්.ටී.ටී.ඊ.යෙන් මුදාගත්තේ ද අනුර ජනාධිපතිතුමා යැයි ඇමතිවරයකු හෙට අනිද්දාට ප්‍රකාශ කළහොත් අප ඒ ගැන පුදුම විය යුතු නැත.

බංකොලොත් ව තිබූ රට මාස දෙකකින් ඉන් මුදා ගැනීම බඳු අතිවිස්මයජනක දක්ෂතාවලින් සපිරි අනුර ජනාධිපතිතුමා, යාපන සංචාරයේ දී පැවැත්වූ දේශනයක දී පැවසූ කරුණු අනුව ඔහු අනුන්ගේ සිතේ ඇති දේ කීමේ විස්මිත හැකියාවක් ඇති කෙනෙක්දෝයි සැකයක් මා තුළ මතු විය. ඔහු ඉතා පැහැදිලිව එම දේශනයේ දී කියා සිටියේ, අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය පසු කරගෙන සිල් සමාදන් වීම සඳහා යාපනයට එන්නේ වෛරය නිසා බවයි. සෑම පෝයකටම යාපනයේ එක් ස්ථානයකට රැස් වී ඉඩම් ඉල්ලා කෑගසන්නේ ද වෛරය නිසා බව ඔහු පැවසීය. මෙසේ කෑගසන අයට එම ස්ථානයේ ඉඩම් තිබේදැයි සොයා බලන ලෙස බුද්ධි අංශවලට තමන් දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා කළ ප්‍රකාශයේ, ශ්‍රී මහා බෝධිය පසුකර යාපනයේ එක් ස්ථානයකට සිල් සමාදන් වීමට එන්නේ වෛරය නිසා යැයි කියූ කොටසට වවුනියාවට දකුණින් ඇති පළාත්වල වැඩි ප්‍රසිද්ධියක් ලැබී ඇත. සෑම පෝයකටම යාපනයේ ස්ථානයකට රැස් වී ඉඩම් ඉල්ලා කෑගසන්නේ ද වෛරය නිසා යැයි කියූ කොටස ගැන දකුණේ කතා කරන්නේම නැත. උතුරේ ද ඒ ගැන කිසිදු හඬක් නැත. මෙසේ ජනාධිපතිවරයාගේ කතාවෙන් තමන්ට අවශ්‍ය කොටසක් පමණක් උපුටා ගෙන, එය තමන්ට එරෙහිව කළ ප්‍රකාශයක් සේ සලකා විරෝධයක් ගොඩනඟනවාට වඩා කළ යුතු වන්නේ, එම කරුණට අදාළව කතාවේ කළ සමස්ත සඳහන ගැනම විශ්ලේෂණයක් සිදු කර එම ප්‍රකාශය උචිත ද අනුචිත ද යන්න විග්‍රහ කිරීමයි. ඒ අනුව මා උත්සාහ කරන්නේ යාපනයේ එම ස්ථානය අරබයා ජනාධිපතිවරයා කළ සමස්ත සඳහනම විශ්ලේෂණය කිරීමට ය.

 



ජනාධිපතිවරයා සිය යාපන කතාවේ දී මෙම කරුණට අදාළව කළ සඳහනේ දී යාපනයේ එක් ස්ථානයක් පිළිබඳව සඳහන් කරයි. ඔහු එම ස්ථානය නම් කර නොදැක්වුව ද, එය කන්කසන්තුරේ තිස්ස විහාරය නම් බෞද්ධ විහාරස්ථානය බව පැහැදිලි ය. මීට පෙර කේ.ඩී. ලාල් කාන්ත ඇමතිවරයා කතාවක දී ‘මිහින්තලේ වනචාරියෙකු’ පිළිබඳව කළ සඳහන මිහින්තලේ වසන 75,000ක් ජනයාගෙන් කවුරුන් ගැන දැයි කිව නොහැකි යැයි පැවසූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැනි අය නම් මෙය ද ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබේ. එහෙත්, ජනාධිපතිවරයා එම සඳහන කළේ තිස්ස විහාරය පිළිබඳව යැයි මම විශ්වාස කරමි.

තිස්ස විහාරය ක්‍රිස්තු පූර්ව යුගය දක්වා දිවෙන පැරණි ඉතිහාසයක් ඇති බෞද්ධ විහාරස්ථානයකි. දේවානම්පියතිස්ස රජ සමයේ ඉදිකළා යැයි පැවසෙන මෙම විහාරය කනිට්ඨතිස්ස, වෝහාරිකතිස්ස වැනි රජවරුන් විසින් සංවර්ධනය කර ඇති බව කියැවේ. මෙම ඉපැරණි සිද්ධස්ථානය උතුරේ යුද සමයේ දී පාළු වී ගියේය. යුද සමයට පෙර එය සක්‍රිය විහාරස්ථානයක් ලෙස පවත්වාගෙන ගියේ ද යන්න දැන ගැනීමට තොරතුරු නැත. නමුත් මෙය පෞරාණික ස්ථානයක් බැවින් ඊට වෙන් වූ ඉඩමක් පැවති බව නිසැකවම තහවුරු වේ. මුළු මහත් යුද සමයේ ද සක්‍රියව තිබුණු නාගදීප විහාරාධිපති නවඳගල පදුමකිත්ති හිමියන් ප්‍රකාශ කර ඇත්තේ, තිස්ස විහාරය සතු ඉඩමට අදාළ ලේඛන උන්වහන්සේ භාරයේ පවතින බවයි.

 

thissa viharaya 250927
2009 යුද්ධය අවසන් වීමෙන් පසුව මෙම තිස්ස විහාරය ඉදිකිරීමේ කටයුතු එම ප්‍රදේශයේ සිටි යුද හමුදාව විසින් සිදු කරන ලදී. හමුදාවේ අනුග්‍රහයෙන් විහාරස්ථානයක් ඉදිකර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වඩමවා එහි නතර කිරීමට හමුදාව කටයුතු කර ඇත. මෙම ක්‍රියාව ගැන කවර විවේචන එල්ල වුව ද, යුද හමුදාව මෙම කාර්යය කරන්නට ඇත්තේ ඓතිහාසික ස්ථානයක් වන තිස්ස විහාරය යළි ස්ථාපිත කිරීමේ කාර්යය ජාතික වශයෙන් වැදගත් බැවින් විය යුතුය. සිල් සමාදන් වීම සඳහා යාපනයට එන්නේ වෛරය නිසාය යන ජනපතිගේ කතාව පසෙක තිබිය දී, තිස්ස විහාරය යළි ස්ථාපිත කිරීම යුද හමුදාවේ ජාතික කාර්යයක් මිස වෛරී ක්‍රියාවක් නොවන බව මගේ පිළිගැනීම ය.

එල්.ටී.ටී.ඊ.ය සමග පැවති බිහිසුණු යුද්ධය පවතිද්දී එම ප්‍රදේශවල ජනතාව පදිංචි ගම්බිම් අතහැර පලා යාම වැළකුණේ එම ගම්වල වැඩ සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිසා ය. කවර තත්ත්වයක දී වත් ගම අතහැර යාමට යුද කලාපයේ ගම්වල භික්ෂූන් වහන්සේලා සූදානම් වූයේ නැත. පන්සලේ ස්වාමීන් වහන්සේගේ නායකත්වය එම ගම්වැසියන්ට ධෛර්යය සපයන්නක් විය. ඒ නිසා ඔවුහු ද ගම අත හැර පසුබැස්සේ නැත. මෙය ත්‍රස්තවාදීන් සමග සටන් කළ හමුදා භටයන්ට විශාල චිත්ත ධෛර්යයක් සැපයූ කරුණක් වූ අතර, ගම්වාසීන්ගේ ජීවිත රැක ගැනීම සඳහා හමුදා භටයන් හා නිලධාරීන් කැපවීමෙන් රාජකාරි කිරීමට ද එය හේතුවක් විය. මේ නිසා ගම්මානයක නැවත පදිංචි කිරීමේ දී බෞද්ධ විහාරස්ථානයක් ඉදිකර භික්ෂූන් වහන්සේ නමක් පදිංචි කිරීම අනිවාර්ය අංගයක් විය.

නැගෙනහිර අම්පාරේ දී යුද හමුදා විශේෂ කාර්ය බලකායේ උදව් ඇතිව ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන් මෙම කටයුතු කළ අතර, එම ප්‍රදේශයේ හා උතුරේ බොහෝ ස්ථානවල එම කාර්යය මුළුමනින්ම සිදු කළේ ත්‍රිවිධ හමුදාවයි. මෙහිදී මට සිහිපත් වන්නේ 1993 දී අම්පාරේ අරන්තලාව ගම නැවත පදිංචි කිරීමේ දී අප සමග ඒකාබද්ධව සියලු කටයුතු සිදු කළ ගුවන් හමුදාව, අත්‍යාවශ්‍ය අංගයක් වූ බෞද්ධ විහාරස්ථානය සම්පූර්ණයෙන්ම ඉදිකළ අයුරුයි. ඒ සමගම කෙවිලියමඩුව හා පුලුකුණාවෙහි නැවත පදිංචි කිරීම්වල දී ගුවන් හමුදාව බෞද්ධ විහාරස්ථාන දෙකක් ඉදිකර නිම කළේය. මෙම විහාරස්ථාන සඳහා භික්ෂූන් වහන්සේලා සොයා ගැනීමට මමත් ගුවන් හමුදාවේ ප්‍රාදේශීය බලධාරියා වූ ස්කොඩ්රන් ලීඩර් පාලිත ඔබේසේකරත් දිඹුලාගල නායක හිමියන් මුණගැසී සාකච්ඡා කළෙමු. උන්වහන්සේ දුන් උපදෙස් අපට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. පාලිත ඔබේසේකර හා ගුවන් හමුදා ප්‍රාදේශීය නිලධාරීන් කිහිප දෙනෙකුම කතෝලික ආගමිකයන් වීම මෙම කාර්යයට කිසිදු බාධාවක් වූයේ නැත.

thissa temple
අප එකල ත්‍රස්තවාදීන්ට මුහුණ දී ආරක්ෂිත බංකර්වල සිටින හමුදා සෙබළුන් බැලීමට ගිය අවස්ථාවල දැක ඇත්තේ, එම බංකර් තුළ පවා කුඩා බුදු පිළිම, බුද්ධ රූප තබාගෙන දෛනිකව පුද පූජා පවත්වන අයුරුයි. ජීවිතයත් මරණයත් අතර අවදානම් සටනක සිටින සොල්දාදුවන්ට ඒ සඳහා අවශ්‍ය මානසික ජවය පන්නරය සඳහා ආගමික පුද පූජා කොතරම් වැදගත් වූයේ දැයි තේරුම් ගැනීමට, යුද කලාපය අහලකටවත් නොගොස් පොතෙන් බලා සාමයේ අනුහස් දෙසන අයට නොහැකි ය. එය හරියට ගොඩ ඉඳන් පිහිනා ජලයේ ශීතල කියාපාන්නක් වැනි දෙයකි. මේ නිසා තිස්ස විහාරය යළි ගොඩනැඟීම යුද හමුදාවෙන් සිදු කිරීම තේරුම් ගත යුත්තේ එවැනි පසුබිමක් පිළිබඳ අවබෝධයෙනි. මෙම විහාරස්ථානය පිහිටුවීම ඇතැම් විට කන්කසන්තුරේ අවට සිටි සෙබළුන්ගේ ආගමික කටයුතු සඳහා පැරණි ස්ථානයක් සැකසීමක් ලෙස ද සිදු වන්නට ඇත. කෙසේ වුවත් මෙම විහාරය ඉදිකර භික්ෂූන් වහන්සේ නමකුත් වැඩම කරවා ඇත.

ගැටලුව වී ඇත්තේ විහාරය අලුතින් ඉදිකිරීමේ දී පෞද්ගලික ඉඩම්වල එය ඉදිකර ඇති බවට ප්‍රදේශවාසීන් කරුණු ඉදිරිපත් කිරීමයි. ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත්ව ගොස් නිවාස බිඳ වැටුණු පසු ඉඩම් මායිම් සොයා ගැනීම පහසු නැත. මේ නිසා ප්‍රදේශවාසීන් නොවන අය මෙම ඉදිකිරීම් කිරීමේ දී වැසියන් සතු ඉඩම් ඊට හසුවීමට ඉඩ තිබේ. නාගදීප විහාරාධිපති නවඳගල පදුමකිත්ති හිමියන් පවසන පරිදි ද විහාරය අලුතින් ඉදිකර ඇත්තේ පැරණි විහාරය පිහිටි ඉඩමේම නොවේ. මෙම ගැටලුව ප්‍රදේශවාසීන් මුල දී රාජ්‍ය නිලධාරීන්ට ඉදිරිපත් කරන්නට ඇත. එසේ වුව ද ඒ ගැන සොයා බලා සුදුසු විසඳුමක් දීමට එම ප්‍රදේශවල නිලධාරීන්ට අපහසු වන්නට ඇත්තේ යුද හමුදාව මෙහි පාර්ශ්වයක් වීම නිසා ය. යුද හමුදාවේ නිලධාරීන් හා සෙබළු සිංහල බෞද්ධයන් වන අතර, එම ප්‍රදේශයේ සිවිල් නිලධාරීන් දෙමළ හින්දු ආගමිකයන් ය. මේ තත්ත්වය යටතේ සිවිල් නිලධාරීන් මෙම ගැටලු විසඳීමට ගොස් හමුදාව සමග ගැටුමකට පිවිසීමට මැලි වීම තේරුම් ගත හැකි ය.

 

President Anura Kumara Dissanayake visited the Nagadeepa Raja Maha Vihara
අවසානයේ එම සාමාන්‍ය වැසියන්ගේ ගැටලුව දේශපාලකයන් අතට පත්ව ඇත. ඔවුනට ආණ්ඩුව සමග ගැටීම මගින් සිය ජනප්‍රියත්වය නඩත්තු කළ හැකි ය. ඒ නිසා ඔවුහු මෙම ගැටලුව වෙනුවෙන් උද්ඝෝෂණ හා විරෝධතා සංවිධානය කරති. පෞරාණික බෞද්ධ සිද්ධස්ථානයක් අරබයා වෙනත් ආගමිකයන්ගේ විරෝධයක් මතු වෙත්ම, බෞද්ධයන්ගේ අවධානය ද ඊට වැඩිපුර යොමු වේ. එය එම ස්ථානයට වැඩිවැඩියෙන් මිනිසුන් ආකර්ෂණය වීමට හේතුවකි. එක් කලෙක දීඝවාපියේ ඉඩම් අරබයා ගැටලුවක් මතු වූ අවස්ථාවේ රට පුරා ප්‍රචාරය වූයේ පන්සලේ ඉඩම් ඩෝසර් කරමින් අන්‍යාගමිකයන් පදිංචි වන බවයි. සත්‍ය වශයෙන්ම සිදු වී තිබුණේ විහාරස්ථානයේ ඉඩම්වලට පිටතින් වූ ඉඩමක් බෙදා දීමට සූදානම් කිරීමේ දී රජයේ මිනින්දෝරුවන් සැකසූ ඉඩම් සැලැස්මට වැරදීමකින් විහාර ඉඩමෙන් කොටසක් ඇතුළත් වී තිබීමයි. එය මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින්ම නිවැරදි කළත්, බෞද්ධයන් තුළ මතු වූ සැක සංකා දුරු වූයේ නැත. 

 ඒ සමගම ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ සංවිධාන, සද්ධාතිස්ස රජ සමයේ දීඝවාපි රජමහා විහාරයට අක්කර 12,736ක් පූජා කර ඇති බවත් එය අන්‍ය ජාතිකයන් අල්ලාගෙන ඇති බවත් ප්‍රචාරය කරන්නට විය. මේ නිසා දීඝවාපි විහාරයට රජ දවස පූජා කළ ඉඩම් ගැන විශේෂ සොයා බැලීමක් කළ අතර, කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වී අමුණු දහසක් වැපිරෙන ප්‍රමාණයක් (අක්කර 2,500කට නොවැඩි) පූජා කර ඇති බවත්, දැනටමත් විහාරයට හා සිංහල බෞද්ධ ගම්වාසීන්ට ඊටත් වැඩි ඉඩම් ප්‍රමාණයක් ඇති බවත් කරුණු සහිතව පෙන්වා දෙන තුරු එම ප්‍රචාර නතර වූයේ නැත. අදටත් ඇතැමුන් එම විශ්වාසයේම පසුවෙති.
දැනට තිස්ස විහාරය අරබයා බෞද්ධ ප්‍රජාව තුළ ඇත්තේ එය ඉවත් කිරීමට දෙමළ දේශපාලකයන් ක්‍රියා කරන බවට වූ මතයකි. ඒ නිසාම දකුණේ සිට උතුරේ සංචාරය කරන බොහෝ දෙනා මෙම ස්ථානය දැකබලා ගැනීමට යති. නමුත් තම ශාසනික උරුමය රැක ගැනීම සම්බන්ධ ඔවුන් තුළ ඇති එම සංවේදීතාව වෛරයක් සේ අර්ථ දැක්වීම, සිරුරේ දහඩිය බිබිලි වසූරිය බිබිලි සේ හුවා දැක්වීමක් වැනිය.

මෙවැනි තත්ත්වයක දී තිස්ස විහාරයේ ගැටලුව ගම්වාසීන්ට මෙන්ම බෞද්ධයන්ට ද සාධාරණ වන ලෙස විසඳීමේ වගකීම ඇත්තේ රජයට ය. රජය එම වගකීම නොපමාව ඉටු කළ යුතු ය. මෙම ප්‍රශ්නයට හේතුව වී ඇත්තේ රාජ්‍යයේ හමුදාව සද්භාවයෙන් සිදු කළ කාර්යයක දී සිදු වූ අතපසුවීමක් බැවින් රජයේ වගකීම ද වැඩි ය. එසේ තිබිය දී ජනාධිපතිවරයාගේ කතාවෙන් සිදු වූයේ බෞද්ධයන් තිස්ස විහාරයට සිල් සමාදන් වීමට යන්නේ වෛරයක් පිරිමැසීමට බව සමාජගත කරවීමකි. එමෙන්ම සිය ඉඩම් ඉල්ලා උද්ඝෝෂණය කරන දෙමළ ජාතිකයන් ද එය කරන්නේ වෛරයෙන් බව ඇඟවීමකි. මේ සම්බන්ධයෙන් උතුරේ දෙමළ හා හින්දු ජනයා නියෝජනය කරන අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පවසනුයේ, ජනාධිපතිවරයා උතුරේ ජනතාවගෙන් දේශපාලන වාසි බලාගෙන කළ ප්‍රකාශයට ඔවුන් සිනාසෙන බවකි.
 
thissa 2
පුරවැසියන් කවරෙකුට වුව ද තනිව හෝ කණ්ඩායම් වශයෙන් ආගමික කටයුතු කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකමකි. එමෙන්ම තමන්ගේ දේපළ අයිතිය ඉල්ලා සාමකාමීව උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය ද සුරක්ෂිත කර ඇත. මෙම අයිතීන් මත කටයුතු කරන දෙපාර්ශ්වයම එකි`නෙකා කෙරෙහි වෛරයෙන් කටයුතු කරන්නේ යැයි පැවසීම එකඟ විය නොහැකි ප්‍රකාශයකි. එම ප්‍රකාශය කරන්නා රාජ්‍ය නායකයා වීම අතිශයින් බරපතළ ය. ඒ නිසා ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය ද අතිශයින් නුසුදුසු එකක් බව කණගාටුවෙන් වුව ද සටහන් කළ යුතු ය.
ඒ කෙසේ වුව ද ඔහු දැන් එම ප්‍රකාශය කර අවසන්ය. එබැවින් එය ආපසු හැරවිය නොහැක. නමුත් මෙම වැරදීම නිවැරදි කළ හැකි ක්‍රමයක් ඇත. එනම් තිස්ස විහාරයේ ඉඩම් ගැටලුවට දෙපාර්ශ්වයටම සාධාරණ විසඳුමක් වහාම ලබා දීමයි. මෙහිදී විහාරයට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය හඳුනා ගැනීම, වර්තමාන විහාර භූමියට හසු වී ඇති වැසියන්ගේ ඉඩම් හඳුනා ගැනීම, ඉන් වැසියන්ට නිදහස් කළ හැකි ඉඩම් වහාම නිදහස් කිරීම, විහාර ගොඩනැඟිලිවලට හසු වී ඇති ඉඩම් සඳහා හිමිකරුවන්ට ප්‍රමාණවත් වන්දියක් ගෙවා ඒවා අත්පත් කර ගැනීම හෝ විකල්ප ඉඩම් ලබා දීම වැනි පියවර ගත හැකි ය.
thissa viharaya 251007
තිස්ස විහාරය කේන්ද්‍ර කරගත් ප්‍රදේශයේ විශේෂ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර, වන්දනාකරුවන්ගෙන් ලැබෙන ආර්ථික වාසිය එම ප්‍රදේශවාසීන්ට ද ලැබෙන පරිදි වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් තිස්ස විහාරය සාමයේ හා සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයක් කළ හැකි ය. ජනාධිපතිවරයා මේ සඳහා මුල් වී ක්‍රියා කිරීමෙන් තමා කළ ප්‍රකාශයෙන් සිදු වූ බරපතළ අඩුපාඩුව සකස් කරගත හැකි වනු ඇත.

sunil Kannangara
(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...