The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

සැර බාල ගල් අඟුරු ගැන ආණ්ඩුවේ සැර බාල කතා

T

The Leader Desk

January 28, 2026 • 5:57 AM

සැර බාල ගල් අඟුරු ගැන ආණ්ඩුවේ සැර බාල කතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් ආණ්ඩුව විසින් අනුමත කොට ඇති බාල ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් එක් දිනකට රුපියල් මිලියන 75ක පමණ පාඩුවක් සිදුවන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
  • ඒ අනුව, ජනවාරි 2 සිට 9 දක්වා කාලය තුළ පළමු ගල් අඟුරු නෞකාවෙන් ලබාගත් ගල් අඟුරු පරීක්ෂා කිරීමේදී, ජනන යන්ත්‍රවල මෙගාවොට් 15ක විදුලි නිෂ්පාදන ධාරිතාවක් අහිමි වී ඇති අතර, ජනන යන්ත්‍ර තුනම එකතුවෙන් මෙගාවොට් 45ක බලශක්ති අහිමි වීමක් සිදුව ඇති බව ඔහු කීය.
  •   දෙවන ගල් අඟුරු නෞකාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැහැදිලි තොරතුරක් නොමැති බවත්, ඒ පිළිබඳව වගකිවයුතු පාර්ශ්ව කිසිවකු නිශ්චිතවම කතා නොකරන බවත් ඔහු චෝදනා කළේය.
  •   තෙවන නෞකාවෙන් ගිය මස 20 වැනි දින රාත්‍රියේ සිට 22 වැනි දින උදෑසන දක්වා දින එකහමාරක් තුළ ගල් අඟුරු සැපයූ නමුත්, එමඟින් ජනනය විය යුතු මෙගාවොට් ප්‍රමාණයට වඩා මෙගාවොට් 100කට ආසන්න අඩුවක් පැවැති බව ද ඔහු එහිදී පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, පසුගිය දිනවල ගෙන්වන ලද ගල් අඟුරු නැව් තුනක් සම්බන්ධයෙන් සමාජ අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරමිනි.

ඒ අනුව, ජනවාරි 2 සිට 9 දක්වා කාලය තුළ පළමු ගල් අඟුරු නෞකාවෙන් ලබාගත් ගල් අඟුරු පරීක්ෂා කිරීමේදී, ජනන යන්ත්‍රවල මෙගාවොට් 15ක විදුලි නිෂ්පාදන ධාරිතාවක් අහිමි වී ඇති අතර, ජනන යන්ත්‍ර තුනම එකතුවෙන් මෙගාවොට් 45ක බලශක්ති අහිමි වීමක් සිදුව ඇති බව ඔහු කීය.

 



දෙවන ගල් අඟුරු නෞකාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැහැදිලි තොරතුරක් නොමැති බවත්, ඒ පිළිබඳව වගකිවයුතු පාර්ශ්ව කිසිවකු නිශ්චිතවම කතා නොකරන බවත් ඔහු චෝදනා කළේය.

 

gal aguru
තෙවන නෞකාවෙන් ගිය මස 20 වැනි දින රාත්‍රියේ සිට 22 වැනි දින උදෑසන දක්වා දින එකහමාරක් තුළ ගල් අඟුරු සැපයූ නමුත්, එමඟින් ජනනය විය යුතු මෙගාවොට් ප්‍රමාණයට වඩා මෙගාවොට් 100කට ආසන්න අඩුවක් පැවැති බව ද ඔහු එහිදී පැවසීය. එමෙන්ම එම අඩුව පිරවීමට ඩීසල් භාවිතයෙන් විදුලිය ජනනය කිරීමට සිදුවීම හේතුවෙන් දිනකට රුපියල් මිලියන 75ක අමතර වියදමක් දරා ඇති බවත්, මෙය සෘජුවම විදුලි පාරිභෝගිකයා මත පටවන පාඩුවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඔහුගේ මෙම ප්‍රකාශය, වත්මන් ආණ්ඩුවේ අවංක බව කෙරෙහි තවමත් අචල විශ්වාසයක් තබා ඉන්නවුන් හට වැදුණු අධිබලැති විදුලි සැරයක් සේ දැනෙන්නට ඇති බව මගේ වැටහීමය. එම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම්වරයා මෙසේ ද කීය:

“නොරොච්චෝලේ බලාගාරයේ බොයිලේරුව මඟින් පරිසරයට මුදාහැරෙන අළු ප්‍රමාණය හේතුවෙන්, ඉදිරියේදී වැසි සහිත කාලගුණ තත්ත්වයන් සමඟ ජනතාවට සෞඛ්‍ය ගැටලු මතුවිය හැකියි. මේ තත්ත්වය මත ආණ්ඩුව නොරොච්චෝලේ අවට ජනතාවට වහාම වන්දි ගෙවිය යුතුයි. නියමිත ලෙස ගල් අඟුරුවල අළු අන්තර්ගතය සියයට එකොළහක් (11%) විය යුතුයි. එය සියයට දහසය (16%) ඉක්මවන්නේ නම් එම ගල් අඟුරු ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ ආණ්ඩුව එසේ නොකළේ මන්දැයි බරපතළ ප්‍රශ්නයක් මතුව තිබෙනවා. මෙම සිද්ධියෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව ජනතාව හා විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කිරීම නොව, අදාළ ඉන්දියානු සමාගම ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කරමින් සිටින බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වහාම පරීක්ෂණයක් ආරම්භ කර, සිදු වූ සමස්ත පාඩුව ගණනය කර ජනතාවට අනාවරණය කළ යුතුයි.”

norochchole gal
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම්වරයා මෙහිදී ඉදිරිපත් කොට ඇත්තේ ඉතා සාධාරණ තර්කයකි. බාල ගල් අඟුරු (Low-quality Coal) මෙරටට ආනයනය කිරීම සාමාන්‍ය ජන සමාජය හමුවේ එක්වරම ඉස්මතු වී නොපෙනෙන අතිශය බැරෑරුම් අර්බුදයකි. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට ඉන් ඇතිවන අහිතකර බලපෑම් සහ ගැටලු කිහිපයක් හඳුනාගත හැකිය: බාල ගල් අඟුරු දහනය කිරීමේදී පරිසරයට හානිකර වායු වර්ග සහ අපද්‍රව්‍ය වැඩි වශයෙන් මුදා හැරේ. බාල ගල් අඟුරුවල සල්ෆර් ප්‍රතිශතය වැඩි බැවින් සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) පිටවීම ඉහළ යන අතර එය අම්ල වැසි ඇති වීමට ප්‍රධාන හේතුවක් වේ. මෙය සමස්ත ජෛව පද්ධතිය කෙරෙහිම එල්ල වන අන්තරායකාරී බලපෑමකි. විදුලි බලාගාරවල යන්ත්‍රෝපකරණ නිර්මාණය කර ඇත්තේ නිශ්චිත ප්‍රමිතියක ගල් අඟුරු දහනය කිරීමටය. එබැවින් බාල ගල් අඟුරු භාවිතය නිසා බොයිලේරු (Boilers) සහ අනෙකුත් කොටස් ඉක්මනින් දිරාපත් වීමට හෝ අක්‍රිය වීමට ඉඩ ඇත. අපේක්ෂිත තාප ප්‍රමාණය උත්පාදනය නොවීම නිසා විදුලිය නිපදවීමේ පිරිවැය ද ඉහළ යයි.

නමුත් මෙම අයහපත් තත්ත්වයන් එක්වරම ජනතාව හමුවේ ප්‍රදර්ශනය නොවීම මත, බාල ගල් අඟුරු ආනයනය පිටුපස බොහෝ විට මූල්‍ය අක්‍රමිකතා සිදුවීමේ ඉඩකඩක් පවතී. උසස් තත්ත්වයේ ගල් අඟුරු සඳහා ගෙවන මිලම බාල තත්ත්වයේ ගල් අඟුරු සඳහා ගෙවීම හරහා රජයට විශාල පාඩුවක් සිදු විය හැකිය. විනිවිදභාවයකින් තොරව ටෙන්ඩර් ලබා දීම නිසා මෙවැනි අක්‍රමිකතා සිදු වන බව වෘත්තීය සමිති සහ විද්වතුන් නිතර පෙන්වා දී තිබේ. ඉහත සඳහන් බාල ගල් අඟුරු අර්බුදය පැණි වරකාවට හෙන ගැසීමක් බවට පත්ව ඇත්තේ එනිසාය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගල් අඟුරු බලාගාරය වන නොරොච්චෝලේ බලාගාරයේ පිරිවිතරයන්ට (Specifications) අනුව ගල් අඟුරු ආනයනය නොකිරීම මෑතකාලීන විදුලි බිඳවැටීම්වලට සහ නඩත්තු පිරිවැය ඉහළ යාමට බලපෑ බවට චෝදනා එල්ල විය. එවන් පසුබිමක් යටතේ නොරොච්චෝලේ බලාගාරයට මෑතකදී ලබාදුන් ගල් අඟුරු තොගයේ අඩංගු විය යුතු තාප ශක්ති ධාරිතාව (Calorific Value) ප්‍රමාණවත් නොවන බව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් තහවුරු වී තිබීම වත්මන් ආණ්ඩුවට පහසුවෙන් කර හැරිය නොහැකි අභියෝගයකි.

 

සැපයුම්කරු විසින් ලබාදුන් ගල් අඟුරු සාම්පල ඉන්දියාවේදී පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මෙම තත්ත්වය අනාවරණය වී ඇති අතර, මෙම තත්ත්වය පිළිබඳව මුලින්ම පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක චෝදනා කළේ, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු මෙරටට ගෙන්වීම හරහා රජයට රුපියල් කෝටි දහසකට ආසන්න දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු වී ඇති බවයි. ඔහුගේ එම හඬ නැඟීමට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් පාර්ලිමේන්තුව තුළ විශාල හාහෝවක් නැඟුණු අතර, මේ වන විට ඩී.වී. චානක මන්ත්‍රීවරයාගේ එම කතාව සත්‍යයක් බව විද්‍යාත්මකව ද සනාථ වී තිබේ.

අවසානයේ මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේ මෙහි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසිදු දෝෂයක් සිදු වී නොමැති බවයි. නමුත් ගොඩබාන ලද ටොන් 60,000ක ගල් අඟුරු තොගයෙන් ලබාගත් සාම්පලවල තාප අගය අවම මට්ටමක පැවතීම හේතුවෙන්, නීතිරීතිවලට අනුව දෙගුණයක දඩ මුදලක් අය කර ගැනීමට නියමිත බව ඔහු පැවසීය. එහෙත් එය මේ අර්බුදය හා සම්බන්ධ තිරසාර විසඳුමක් නොවේ.

 

gal aguru 1

මේ අතරේ ආන්දෝලයට ලක්ව ඇති ගල් අඟුරු ටෙන්ඩරය යටතේ ලැබුණු ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්, ලබන අප්‍රේල් මාසයට පෙර මෙම වසරට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ආනයනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, එසේ වුවහොත් ඉදිරියේදී රට දැඩි බලශක්ති අර්බුදයකට පත්වන බවත් විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයෝ පවසති. එමෙන්ම ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම් වැසි ආරම්භ වීමට පෙර අවම වශයෙන් මාර්තු මැද භාගය වන විට ගල් අඟුරු මිලදී ගැනීම් අවසන් කළ යුතු බවත්, අප්‍රේල් මස සිට සැප්තැම්බර් මාසය දක්වා මුහුදේ රළු තත්ත්වය හේතුවෙන් ගල් අඟුරු ගොඩබෑම කළ නොහැකි බවත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.

මෙරට විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 බැගින් වූ නැව් 38ක් පමණ රැගෙන ආ යුතු වුවද, මේ වන විට ලැබී ඇත්තේ නැව් තුනක් පමණක් බව ද වාර්තා වේ. තුන්වැනි නැවෙන් ගොඩබෑ ගල් අඟුරු තොගය ද ප්‍රමිතියෙන් තොර බව ලක්විජය බලාගාරයේ ඉංජිනේරුවරුන් තහවුරු කර තිබේ. මෙරට විදුලි පරිභෝජනයෙන් තුනෙන් එකක් සපයන නොරොච්චෝලේ බලාගාරයේ නිෂ්පාදනය අඩුවුවහොත් එය රටේ ආර්ථිකයට පවා දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

 



නිදහසෙන් පසු ගත වූ හැත්තෑ හය වසර “ශාපලත් යුගයක්” සේ සෘජුවම හඳුන්වා දුන් වත්මන් රජයේ වගකිව යුත්තන්, පසුගිය ජනාධිපතිවරණ සහ මැතිවරණ වේදිකාවල කළ කී දෑ තවමත් මෙරට ජනතාවගේ මතකයෙන් ගිලිහී ගොස් නැත. එමෙන්ම ඒ යුගය පුරා රජ කළ සොරකම, අල්ලස සහ දූෂණය තමන් බලයට පත් වූ සැනින් මුළුමනින්ම දැයෙන් අතුගා දමන බවට යටිගිරියෙන් කී ඔවුන්, මෙම සැර බාල ගල් අඟුරු ටෙන්ඩරය නිසා එක් දිනකට රුපියල් මිලියන 75ක පමණ පාඩුවක් සිදුවීම කෙරෙහි “සැර බාල” අයුරින් ප්‍රතිචාර දක්වා නිහඬ වීම බරපතළ ගැටලුවකි.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ යළි ඉස්මතු විය හැකි බලශක්ති අර්බුදය හමුවේ බලධාරීන්ගේ ප්‍රතිචාරවල සැර බාල වන තරමට, මේ රටේ බහුතර ජනතාවගේ ප්‍රතිචාරවල සැර ඉහළ යාමට ඇති හැකියාව ආණ්ඩුව හොඳින් තේරුම් ගත යුතුය. මක් නිසා ද යත් කලින් පැවැති රජයන් සොරකම, අල්ලස සහ දූෂණය යන “මිනී මැරුම්” සිදු කිරීමෙන් පසු බලයට පත් වත්මන් ආණ්ඩුවේ අවිචාරවත් කළමනාකරණය නම් වන “නොමරා එම්බාම් කිරීම්” ජනතාව කෙසේවත් නොඉවසන බැවිනි.

Reeta
(සටහන | රීටා ජෙනට් පෙරේරා)

madampagereetajenet@gmail.com



උපුටා ගැනීම - vinivida

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...