The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

හොරු අල්ලන්න ආ අධිකරණ ඇමැතිවරුන්ගේ ඉරණම! - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

T

The Leader Desk

January 31, 2026 • 8:51 AM

හොරු අල්ලන්න ආ අධිකරණ ඇමැතිවරුන්ගේ ඉරණම! - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘හොරු සමග හෙළුවෙන්…’
  • හේතුව 2015 ජනාධිපතිවරණයේදී දේශපාලන වේදිකාවේ ජනප්‍රිය වූ සටන් පාඨය හොරු ඇල්ලීම නිසාය.
  • මේ ව්‍යාපාරයට පසුව පුරවැසි බලය ඇතුළු සංවිධාන ගණනාවක් එක්විය.
  • මේ ව්‍යාපාරය ඉලක්ක කළේ 2015 ජනාධිපතිවරණයට හොරුන්ට එරෙහිව පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමය.
අකුරු ප්‍රමාණය (Font Size):


‘හොරු සහ බොරු…’

‘චරිතෙ හොරු අරන්…’

‘අලුත් හොරෙක් ඕනෑ…‍’

‘හොරු නැතුව බෑ…’


මේ, 2015 ජනාධිපතිවරණයට පසු ලංකාවේ ජනප්‍රිය වූ නාට්‍ය රැල්ලය. හේතුව 2015 ජනාධිපතිවරණයේදී දේශපාලන වේදිකාවේ ජනප්‍රිය වූ සටන් පාඨය හොරු ඇල්ලීම නිසාය.

හොරු ඇල්ලීම ලංකාවේ දේශපාලනයේ ජනප්‍රිය සටන් පාඨයක් කළේ හිටපු කතානායක කරු ජයසූරියගේ නිදහස් සහ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සහ එහි නායක සෝභිත හිමිය. මේ ව්‍යාපාරයට පසුව පුරවැසි බලය ඇතුළු සංවිධාන ගණනාවක් එක්විය. මේ ව්‍යාපාරය ඉලක්ක කළේ 2015 ජනාධිපතිවරණයට හොරුන්ට එරෙහිව පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමය. ඒ, රාජපක්ෂවරුන්ගේ හොරකම් සහ මැරකම්වලට එරෙහිවය.

2015දී මේ ව්‍යාපාරය සමග එජාපය, ෆොන්සේකාගේ පක්ෂය සහ ජවිපෙ එකතු විය. පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රීලනිප ලේකම් මෛත්‍රීපාල ආණ්ඩුවෙන් එළියට ආවේ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු ගණනාවක් සමගය. මෛත්‍රී සහ ඇමැතිවරු කීවේ තමන් එළියට ආවේ රාජපක්ෂලාගේ හොරකම්වලට එරෙහිව කියාය. රාජපක්ෂ පවුල චෞර වළල්ලක් බව ඔවුහු රස කර කර කීහ. ජනතාව ඒ කතා විශ්වාස කොට මෛත්‍රීපාලව ජනාධිපති කළහ. රනිල්ට ආණ්ඩුව දුන්නේය. ඒ ආණ්ඩුවට කිව්වේ යහපාලන ආණ්ඩුව කියාය. ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වුණේ හොරු ඇල්ලීමය. මේ නිසා ආණ්ඩුවේ අගමැති ධුරයටත් මුදල් ඇමැති ධුරයටත් වඩා ජනතා ආකර්ෂණය දිනාගත් ඇමැති ධුරය වූයේ හොරු ඇල්ලීමේ විෂය භාර අධිකරණ ඇමැති ධුරයය.

 

මෛත්‍රී සහ රනිල් අධිකරණ ඇමැති ධුරයට තෝරාගත්තේ නීතිඥ මණ්ඩලයේ හිටපු සභාපති සහ නීතිඥ විජයදාස රාජපක්ෂය. විජයදාස රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වූයේ පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපති ලෙස 2006 රාජපක්ෂලාට එක්වූ යූ.ඇන්.පී. හිටපු ඇමැතිවරුන්ගේ දූෂණ වංචා හොයන්න ගිහිල්ලාය. විජයදාස ආණ්ඩුවේ ප්‍රධානතම සහ ජනප්‍රියතම ව්‍යාපෘතිය වූ හොරු ඇල්ලීමේ ව්‍යාපෘතියට සුදුසු බව හැමෝගේම මතය විය.


ඒත් ටික කලක් යනවිට ආණ්ඩුවේ ප්‍රබලතම නායකයන් වූ සරත් ෆොන්සේකා, චම්පික රණවක, රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ සමග ඩීල් දමා හොරු ඇල්ලීම කඩාකප්පල් කරන බවට චෝදනා කළහ. මේ චෝදනාවට ප්‍රබල හේතුවක් වූයේ පාවෙන අවි නැව අයත් ඇවන්ගාඩ් ආයතනයට එරෙහි විමර්ශනය. ඇවන්ගාඩ් සභාපති සහ විජයදාසගේ මිත්‍රත්වය නිසා විජයදාස නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ යටගහන බවට ෆොන්සේකා, චම්පික සහ රාජිත ප්‍රසිද්ධියේම චෝදනා කළහ.

 



හොරු අල්ලන සටන් පාඨයේ නිර්මාතෘ වූ සෝභිත හිමි තැටිය රත්වෙච්ච වෙලාවේ රොටිය පුච්චාගන්න ඕනෙ කියමින් ආණ්ඩුව හොරු අල්ලන්නේ නැහැ කියා ආණ්ඩුව හොල්ලන මහා හඬක් නැගුවේ මේ කාලයේදීය. පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධානද විජයදාස අධිකරණ ඇමැති ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් සටනක් පටන් ගත්හ. විජයදාසත් තනියම තමන්ට එරෙහිව කතා කරන ඇමැතිවරු සහ සිවිල් සංවිධාන සමග ප්‍රසිද්ධියේ සටන් කරන්න පටන් ගත්තේය. මෛත්‍රී, විජයදාසව ඉවත් කරන්න එතරම් කැමැත්තක් නොදැක්වීය. හේතුව විජයදාස සහ මෛත්‍රී අතර තිබූ සමීප මිත්‍රකමය. විජයදාස මෛත්‍රීගේ වුවමනාවට රනිල්ට සහ රවීට එරෙහි බැඳුම්කර චෝදනාව විමර්ශන කරමින් මෛත්‍රීගේ හිත දිනාගත්තේය.

ඒත් යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී විජයදාස අධිකරණ ඇමැති ධුරයෙන් ඉවත් කරන්න තීරණය කළේය. ඒ සඳහා හේතුව ලෙස යූ.ඇන්.පී.ය නිවේදනය කළේ හොරු අල්ලන්න දුන් ජනවරම විජයදාස කඩාකප්පල් කරන බවය. යූ.ඇන්.පී.යේ බලපෑම සහ ආණ්ඩුව බලයට ගෙන ආ සිවිල් සංවිධානවල බලපෑම හමුවේ මෛත්‍රීට නිශ්ශබ්දව සිටිය නොහැකි විය. ඔහු විජයදාසව අධිකරණ ඇමැති ධුරයෙන් පමණක් නොව සියලු ඇමැති ධුරවලින් ඉවත් කළේය. විජයදාස විපක්ෂයට ගොස් ආණ්ඩුවේ පතුරු ඇරියේය. හොරු අල්ලන්න ආ විජයදාස අන්තිමට හොරු ලෙස හංවඩු ගහපු රාජපක්ෂලාටම එකතු විය. විජයදාස ඉවත් කළේ 2017 අගෝස්තුය. 2018 පෙබරවාරි 10 පවත්වපු පුංචි ඡන්දයෙන් හොරු අල්ලන්න ආ ආණ්ඩුව අන්ත පරාජයකට පත්වී හොරු යැයි කී රාජපක්ෂවරු අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.

Gotabaya Rajapaksa and Wijeyadasa Rajapakshe
ආණ්ඩුවේ ඒ පරාජයට හේතු වූයේ අනෙකක් නොවේ. ආණ්ඩුව හොරු අල්ලන පොරොන්දුව අමු අමුවේ උල්ලංඝනය කරමින් හොරු ඇල්ලීම දේශපාලන සංදර්ශනයක් බවට පත්කර ගත් නිසාය.

සෝභිත හිමි සහ කරු ජයසූරිය ඇතුළු සිවිල් සංවිධාන තමන්ට අභියෝග කළ සරත් ෆොන්සේකාව හිරේ දමා තමන්ට එරෙහිව තීන්දු දුන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකව ගෙදර යවා තම හයිය පෙන්වමින් සිටි රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව හොරු අල්ලන සටන් පාඨය ගෙන එන විට මෛත්‍රීපාල සහ ඔහු සමග ආ ඇමැතිවරු හිටියේ රාපක්ෂලා ආරක්ෂා කරමින්ය. අවසන් මොහොතේ පොදු අපේක්ෂක වී එළියට ආ මෛත්‍රීපාල ඇතුළු ඇමැතිවරු සෝභිත හිමියන්ගේ සටන් පාඨය ඩැහැගත්තේය.

2024 වුණේත් ඒකමය. 2022 රට බංකොලොත් කළ හොරුන්ට දඬුවම් දෙන අරගලය සංවිධාන කළේ පෙරටුගාමීන් ඇතුළු සමාජ මාධ්‍ය නායකයන්ය. ජවිපෙ ඊට එක්වූයේ පසුවය. හැබැයි අන්තිමේදී අරගලකාරීන්ගේ හොරුන්ට දඬුවම් දෙන සටන් පාඨය ජවිපෙ ඩැහැගත්තේය.

 

harshana 12 12 24 1000x600

2015 මෛත්‍රී මෙන් 2024 අනුර ජනාධිපති වී ජවිපෙ බලයට පත්විය. මේ ජවිපෙ ආණ්ඩුවේත් ජනප්‍රියතම සහ ප්‍රධානතම අමාත්‍යාංශය වූයේ හොරු අල්ලන අධිකරණ අමාත්‍යාංශයය. මෛත්‍රී සහ රනිල් රාජපක්ෂලාගෙන් වෙන්වී ආ විජයදාසට ඒ ඇමැති ධුරය දුන්නා වගේ අනුර අධිකරණ ඇමැති ධුරය දුන්නේ සාම්ප්‍රදායික දේශපාලන පවුලකින් පැවැත එන සාම්ප්‍රදායික දේශපාලනයට අක්මුල් ඇති හර්ෂණ නානායක්කාරටය.

විජයදාසට තිබුණු ප්‍රශ්නය විජයදාස රාජපක්ෂලා සමග සටන් කොට එළියට ආවාට රාජපක්ෂලාගේ ව්‍යාපාරික මිතුරන් සහ රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරු සමග තිබූ මිත්‍රකම්ය. හර්ෂණගේ පියා මහජන පක්ෂයේ හිටපු ප්‍රබලයෙකි. 88-89 ජවිපෙට එරෙහිව විජය සහ වාමාංශික නායකයන් සමග සටන් කළ අයෙකි. පියාගේ එක් සහෝදරයෙක් වූ වාසුදේව රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයෙකි. අනෙක් සහෝදරයා හේමකුමාර යූ.ඇන්.පී. ආණ්ඩුවේ හිටපු ප්‍රබලයෙකි.

2015ට පසු හොරු අල්ලන්නේ නැතැයි විජයදාසට ආ චෝදනාවම දැන් හර්ෂණට එරෙහිව එල්ල වෙමින් තිබේ. ඒ, ජවිපෙ ආණ්ඩුවට බලයට එන්න අරගලය දියත් කරපු තරුණ සමාජ මාධ්‍ය නායකයන්ගෙනි.

2015 ආණ්ඩුවට හොරු අල්ලන්න ලැබුණු ජනවරම ශක්තිමත් ජනවරමක් නොවේ. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රී දින්නේ සුළු ජාතික ඡන්දවලින්ය. මහින්ද පරාජය වුවත් බහුතර සිංහල බෞද්ධ ඡන්ද ඔහුට හිමිවිය.

2015 මහ මැතිවරණයේදී රනිල්ට 113ක් ලැබුණේ නැත. ලැබුණේ ආසන 106කි. අනෙක රනිල්ගේ ආණ්ඩුව හවුල් ආණ්ඩුවකි. ජනාධිපති විපක්ෂයේ පක්ෂ නායකයාය.

National People's Power (NPP) party's presidential candidate Anura Kumara Dissanayaka (C) arrives at a polling station to cast his ballot during voting in Sri Lanka's presidential election in Colombo on September 21, 2024. Cash-strapped Sri Lanka began voting for its next president September 21 in an effective referendum on an unpopular International Monetary Fund austerity plan enacted after the island nation's unprecedented financial crisis. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

ජනතාව හොරු අල්ලන්න අනුරට සහ ජවිපෙට දුන්නේ සියලු හිටපු මැති ඇමැතිවරු පරාජය කොට තුනෙන් දෙකක බලයකි. අනුරගේ වචනවලින්ම ජනතාව අනුරට දුන්නේ සුන්බුන් විපක්ෂයකි. ජනතාව මෛත්‍රී-රනිල්ට දුන්නේ ශක්තිමත් විපක්ෂයකි.

2015 ආණ්ඩුව වැට්ටුවේ රාජපක්ෂලා නොව ආණ්ඩුව බලයට ගෙන ආ සංවිධාන හොරු අල්ලන්නේ නෑ කියා නගපු අඳෝනාවය.

‘මේ ආණ්ඩුව වට්ටවන්නෙත් විපක්ෂය නොව ඒ අඳෝනාවමද…?’

(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)

උපුටා ගැනීම - mawratanews
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...