එය තරමක තාක්ෂණික කරුණු අඩංගු සාකච්ඡාවක් වන අතර 2023 වසරේ පෙබරවාරියේ ලහිරු සමඟම කළ සාකච්ඡාවේදී වත්මන් ජනාධිපතිවරයා තමන්ගේ ජීවන ඉතිහාසය පිළිබඳ සංවේදී කරුණු තරමක් දුරට විවෘතව නිරාවරණ කරයි.
මා අනුර කුමාර සහෝදරයාට මිත්‍ර ස්වරයෙන් සිදුකළ දේශපාලන ආමන්ත්‍රණය‘කුමාරොදය’ නම් කවියෙහි පවතී. මේ කවියෙහි ඇතුළත් ඇතැම් සංසිද්ධි ලහිරු සමඟ සිදුකළ සංවාදයේ ඇති බැවින් මේ කවිය එම සංවාදය ඇසුරෙන් ලියූවක්දැයි මගෙන් විටින් විට විමසා තිබූ සහෘදයන්ට මා ලබා දෙන පොදු පිළිතුරක් ලෙස මෙම ලියවිල්ල බාර ගන්නට පිළිවන.‘බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්’ මැයෙන් පළකළ මගේ 12වැනි කාව්‍ය සමුච්චයෙහි ඇතුළත් ‘කුමාරොදය’ තවමත් කියවා නැති කිසිවකු වේ නම් ඔවුන් වෙනුවෙන් එය යළි මෙසේ දිගහැර දමමි.
මෙ තරම් ලස්සනක් කොහිද වෙන ලිපිනෙක
‘’කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල’’
නල්ලච්චියෙ අහසට රතුපාට ගෑව
මෙච්චර දුරකට ඇහුණද දේවහූව
කලා නිහින රිලා පැටව් විකුම් පෑව
කලාවැවට කැරකෙනවද මාලිමාව
නෑගම් ගිය රිලව් පැටව් පුරුදු කෙරුව
දුරට පෙනුණි කුඩාගමේ මද්දහනය
නැව් නැඟ ගිය මතකය සිහියට එනකොට
වැව් දහසක එගොඩ මෙගොඩ පිහිනනවද
අපි කොච්චර පිච්චිල දියවෙලා ඇද්ද
ටොපි සිකැරැට් ටොපි සිකැරුට් ටොපි ගාණට
රේල්ලු හඬ සිහිවනමුදු අඹ වාරෙට
කර්තකොලොම්බන් අහිමිද සංසාරෙට
තනි සිංහල මඩ වගුරක කළල් අතර
විකසිතවනු හැකි ද මිතුර අරවින්දය!
රතන සූත්‍රය රඳවා මල් පඳුරක
ගෙය ගිනිලෑවද ලිපිනය නිරුපද්‍රිත
මෙකව එවමි කවියක් බඳු ඒ ලිපිනෙට
‘‘කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල’’

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ දෙවැනි පදවි ප්‍රාප්තිය සඳහා 1999 දෙසැම්බරයේ පැවති ජනපතිවරණයේ කලාවැව මැතිවරණ බල ප්‍රදේශයේ ඡන්දය කෙසේ පැවතියේද යන්න අරභයා මා විසින් ‘රාවය’ පත්තරයට ලියැවුණු විශේෂාංගයේ ශීර්ෂය වූයේ ‘’රාජ්‍ය ත්‍රස්තවාදයට බිළිවුණු රජරට ඡන්දය’ යන්න ය. අනුර කුමාර සහෝදරයාද ඇතුළත් කුටුම්භය මාතලේ දේවහූව සිට පැමිණ පදිංචි වූ තඹුත්තේගම නල්ලච්චිය යනු චන්ද්‍රිකා ආණ්ඩුව විසින් බර්ටිකරණය කරන ලද රජරට කලාවැව ආසනයේ කොටසකි.
එම ලිපියේ ඉන්ට්‍රෝව මෙබඳු ය.
‘‘රාජ්‍ය ත්‍රස්තවාදය මැතිවරණ ජයග්‍රහණය කිරීමේ නිසැක මඟ බවට පත් වෙමින් තිබේ. උතුරු මැද පළාතෙහි පොදු පෙරමුණේ දේශපාලන බලවතා වන බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ මෙහෙයවීම යටතේ කලාවැව ආසනය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්ත වී ඇති මැරකම් රජරට ජනතාවගේ මරණ බියෙන් තොරව ජීවත් වීමේ නිදහස උදුරාගෙන ඇත.‘’
මෙම කවියට අදාල ඉතිහාසය යම් තරමක් ලහිරුගේ සංවාදය හරහා කියවා ගැනීමට හැකි වුවද සත්‍ය වශයෙන්ම නම් මෙකී ඉතිහාසය දැනකියා ගැන්මේ මඟ පෑදුණේ අනුර කුමාර සහෝදරයාගේ ගමේ මිත්‍රයන්ගෙන් මෙන්ම, එයාසන්න කලාපයේ ඔහුගේම ඥාති මිත්‍ර සමූහය වෙතිනි.
රාවය පත්තරයේ වැඩ කළ සමයේ ගමක් නගරයක් ගානේ මුණ ගැහුණු මිත්‍රයන් අතරින් ජීවිතයේ වඩාලාත් සමීප මිත්‍රවරයන්ගෙන් කෙනෙක් බවට පත් වූයේ තඹුත්තේගම ඉකිරිවැව අතුල සමරවීර බව රාවයේ වැඩ සමකාලීන මිත්‍රයෝ සියල්ලක්ම පාහේ දනිති. අතුළ සමඟ විශ්වාසවන්ත මිත්‍රභාවයක් ගොඩනඟාගන්නට කීර්තිමත් වාම ක්‍රියාකාරිකයතු වූ අතුළගේ පියා නොහොත් ‘සමරවීර සහෝදරයා’ හේතු වූවා වන්නට පිළිවන.
තිඹිරියාගම බණ්ඩාරගෙන් ඇරඹෙන රාවය පත්තර නඩයෙන් චාමින්ද නාගොඩවිතාන, අජිත් සෙනෙවිරත්න, විමලනාත් වීරරත්න, ජයසිරි ජයසේකර, ආනන්ද ජයසේකර, ආදී නා නා විද විශ්මිත ලියන්නෝ ඉකිරිවැවට ස්තිරවම පැමිණ, රාජාංගන වැවේ නාකියාගෙන, වැව් මාළුවක් සමඟ බත් ඩිංගක් සප්පායම් නො වුනෝ වන්නට නොහැකිය.
මා මුලින්ම ඉකිරිවැවට ගියේ, නයි-රිළව් නටවන, සාත්තර කියන කුඩාගම තෙළිඟු වංශික මිනිස්සුන් මුණැසෙන්නට තිඹිරි සහ චාමින්ද සමග ය. එම ගමනින් පසු අනේක වාරයක් ඉකිරිවැවට නොහොත් තඹුත්තේගමට බඩගා ඇත. කිසියම්ම වැඩකට අනුරාධපුර එන්නේ නම් හෝ අනුරාධපුරය පසුකර යන්නේ නම් ඉකිරිවැවට ගොඩ වැදී යාම සම්ප්‍රදායයි.ඉකිරිවැව නවාතැන් ගන්නේ නම්, නා නා පාන වර්ග අඩුම කුඩුම ද, පසුව එහි අඩු වැඩියද ගෙනෙන්නේ ඇසට පෙනෙන මානයේ ඇත්තේ තඹුත්තේගම ටවුමයි.

බර්ටි දිසානයක රජරට නොහොත් උතුරුමැද පළාත් සභාව මුක්තියට ලියා ගන්නා කල කලාවැව ආසනයට සිය අනුප්‍රාප්තිකයා ලෙස පත් කර එවන්නේ සිය පුත්‍ර රත්නය වූ දුමින්ද දිසානයකයි. මේ කාලපරාය තුළ භෞතිකවම තඹුත්තේගම ඇතුළු කලාවැව ආසනයේ කරක්ගසමින් මැතිවරණය සිදුවන අයුරු වාර්තා කර ඉතිහාසයට එකතු කෙරුවේ අප ය. ඡන්ද භීෂණය කවරාකාරදැයි දැන ගැන්මට නම් එය භෞතිකව අත්විඳ එය වාර්තා කළ යුතු යැයි ඇදැහූ අපි එසේ කළෙමු. කලාවැව මතු නොව, දෙවිනුවර, උඩු තලවින්න ආදී භීෂිත මැතිවරණ නගරවල නිර්භීතව මැතිවරණ දා සැරී සරන්නට තරම් ධෛර්යයක් ජනමාධ්‍යවේදීන්ට තිබුණු බව සලකුණු කර තිබීම යුක්ති යුක්ත වන්නේ ය.
අඛන්ඩව මැතිවරණ කිහිපයකටම කලාවැව රැඳී සිටින්නට තරම් ඡන්ද භීෂණයට මුහුණ දීමේ උණක් අපට තිබිණ.

අතුල සමරවීරගෙන් ඇරඹුණු මිතුරු වළල්ලක් එකල එහි අපට තිබිණ. ඒ ඇතැමුන්, අනුර දිසානායකගේ පාසල් මිතුරන්ය. ඇතැමුන් දහම් පාසල් මිතුරන්ය. තවත් අය ගමේ ගොඩේ මිතුරන්ය. ඒ අතර එකට දේශපාලනය ඇරඹූ මිතුරෝ ද සිටිය හ.
අනුර කුමාරගේ ජීවන ඉරණම පිළිබඳ තතු අපට අසන්නට ලැබුණේ එවන් කලෙක ඔවුන්ගෙනි. කොළඹ දෙසට තනි සිග්නල් කණුව තිබුණු තැන, ගිනි ලෑ ගේ තිබි තැන ආදී කවියෙහි වන බහුතරයක් සංඛේත එකල හදෙහි තැන්පත් වූ සංකේත ය.
මේ කවියෙහි වන සංකේත වැඩිමනක්ම ලිහාලීම විචාරානුසාරයෙන් සිද්ධ කෙරුණේ අනුරාධපුර පොළොව ස්පර්ශ කරමින් ජීවත්වන බරපතළ ශිෂ්‍යයකු වන ජිමුත් ඉඳුසර රත්නායක විසිනි. ඔහු මෙසේ ලිවී ය.
‘’මංජුල වෙඩිවර්ධන මෙරට දේශපාලනය තුළ වූ නාගරික ප්‍රභූ භූමිකාවෙන් බැහැර ප්‍රදේශයක හා සමාජ ස්ථරයක ඉපිද, සිය ජීවිතය වෙනුවෙන් පොරබැද, දේශපාලන ප්‍රවාහය තුළට පිළිපන් අනුර කුමාර දිසානායක විසින් මෙසේ මෙරට පළමු පුරවැසියා බවට පත්වීම කුමාරොදයක් සේ හඳුනාගැනීම අපහසු නොවේ. අනුර කුමාර හා ජාතික ජන බලවේගයේ නැගී ඒම මෙරට දේශපාලන ප්‍රවාහය බලාපොරොත්තු දෑසින් බලා සිටි එවන් කාලවකවානුවක 'මංජුල වෙඩිවර්ධනගේ' ප්‍රබල කාව්‍යමය පුරෝකථනය අනුර කුමාර දෙස ඉලක්කගත වීම ද විමතියට කරුණක් නොවේ.
සිංහලයේ කුමාරොදය, කුමාර + උදය නමින් විසන්ධිව දැක්විය හැකි අතර, මෙකී කවෙහි මාතෘකාව හා බද්ධව පවතින තේමාත්මක විග්‍රයේ දී එකී 'කුමාරොදය' නම් වදන් සමුච්චය ඔස්සේ අනුර 'කුමාර' ගේ පිබීදීම නැතහොත් උන්නතිය වැනි අදහසක් වෙත ප්‍රවිශ්ට විය හැකිය. එහෙත් ජනාධිපතිවරණ සටනේ දී තම ප්‍රධාන සටන් පාඨය වූ පුනරුදය (පුනර් + උදය) ඇති කිරීම ද ඊට සම රේඛීය චලිතයෙන් එකිනෙක සම්මුඛ වීම අරුමයක් නො වෙ ද ?
වෙඩිවර්ධනගේ කවිය එක්වරම අනුර කුමාර වෙත හෝ එකී දේශපාලන ප්‍රවාහය වටා කුළුනොගැන්වෙන සේ අතිශය සුමටව ධ්වනිය දනවන අයුරින් හා සංකේතාර්ථ බාහුල්‍ය වශයෙන් භාවිතා කරමින් රචනා වූවක් වන අතර ප්‍රවේශමෙන් අඩි තබමින් ඇවිද ගොස් ගැඹුර දැනගැනීමේ සියුම් උපායමාර්ගික කියවීමක් අපේක්ෂා කරන්නක් ද වන බව පැහැදිලිය.’’
1995 අගෝස්තුවේ ලංකාදීප පත්තර ආයතනයේ පැවති වෘත්තිය අරගලයෙන් රැකියාවෙන් දොට්ට දැමුණු මාත්, තිස්ස නිහාල් වික්‍රමසිංහ සහෝදරයාත් එක් සති අන්තයක පේරාදෙණියට ගියේ සටන් ඇවිලෙන භූමි වෙත ඇදී යාම ස්වයංසිද්ධ දෙයක් වූ බැවිනි. එහි වූයේ අඛන්ඩ ශිෂ්‍ය සත්‍යග්‍රහයකි. මේ ගිය ගමනෙන් ශිෂ්‍ය සටන අරභයා හිරු පත්තරයට ලිපියක් ලිවිය යුතු යැයි තීන්දු කළ අප දෙදෙනා ශිෂ්‍ය ක්‍රියාකාරීන් හමුවුණෙමු. ජනතා විමුක්ති පෙරමුණේ අධීක්ෂණය යටතේ ප්‍රකාශයට පත්වුණු ‘හිරු’ පත්තරයේ රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයා ඇතුළු කණ්ඩායම ජාතික ප්‍රශ්නය කේන්ද්‍රීයව පැවති න්‍යායික සංවාදයෙන් පසුව පක්ෂයෙන් වෙන්ව සිටියෙන් 'හිරු' පත්තරයට කතා කිරීමට ශිෂ්‍ය නායකයෝ මුලදී අකමැති වුවද පසුව ඔවුහු හිරු පත්තරයට සංවාද ලබාදුන්හ. ඊළඟ සතියේ හිරු පත්තරේ මැද පිටු දෙක වෙන්වූයේ පෙරාදෙණියේ අඛණ්ඩ ශිෂ්‍යය සත්‍යග්‍රහය වෙනුවෙනි.
අනුර කුමාර දිසානායක හෙවත් අරවින්ද සහෝදරයා මට මුලින්ම භෞතික මුණ ගැසුණේ 1995 පේරාදෙණිය සරසවිය පරිශ්‍රයේදී පැවති මෙන්න මේ අඛන්ඩ ශිෂ්‍ය සත්‍යග්‍රහය අතරතුර ය. එකල ශිෂ්‍යන්ගේ සමාජවාදී විභවය තීව්‍ර කරමින් සිටි ශිෂ්‍ය නායකයා මෙකී අරවින්ද ය. අරවින්ද නම පටලා මා මෙහිදී ලී කවි දෙපද ය ඔහුට බල පෑ ඇති බව සත්‍යයක් නො වන්නේ ද?
අනුර කුමාර සහෝදරයා යාපනයේ දී සිදුකළ කතාවේ මූලික හරය පවතින්නේ ජාතිවාදයට එදිරිව ය. ජාතිවාදී බහුරු කෝලම් ඔහුට එරෙහිව අවදිව ඇත්තේ එ බැවිනි. වමේ සාමුහික දේශපාලන අධිෂ්ඨානය තීව්‍ර විය යුත්තේ මෙකී ජාතිවාදය පරාජය කිරීමේ දේශපාලන කතිකාව තීව්‍රකිරීම වෙනුවෙන් බව අවධාරණය කරමි. වෛරය කරපින්නාගෙන් වන්දනා ගමන් යන්නේ කෙසේදැයි නොදන්නා තොත්ත බබාලා සියල්ලන්ටම නුහුමාන්ගේ ‘බුදුන් ඝාතනය’ කියවන්නට දී, යාපනය පුස්තකාලය පෙන්වීමට (වන්දනා ගමන් නොව) විනෝද චාරිකා සංවිධානය කළ යුතු කාලය එළඹෙමින් තිබේ.
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
www.wediwardena.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )




