The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

අලගල්ල කඳු මුදුනේ පැවැති අමුතුම තාලේ නිදහස් සැමරුමට මොකද වුණේ? | තිලක් සේනාසිංහ

T

The Leader Desk

February 4, 2026 • 5:10 AM

අලගල්ල කඳු මුදුනේ පැවැති අමුතුම තාලේ නිදහස් සැමරුමට මොකද වුණේ? | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව එතෙක් යටත්ව තිබූ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම මුල් කරගත් හැත්තෑ අට වන (78) නිදහස් සැමරුම අදට (පෙබරවාරි 04) යෙදී තිබේ.
  • එහෙත්, එවන් කිසිදු චාරිත්‍රමය පදනමක් නොමැති, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "නිදහස්" ලෙස සැලකිය හැකි අමුතුම නිදහස් සැමරුමක් ගැන මීට වසර දහහතකට පෙර, එනම් 2009 වසරේදී මට අසන්නට ලැබිණි.
  • නමුත් මගේ විස්මය වඩාත් තීව්‍ර වූයේ එම කාලයේ නිදහස් දිනයට එලෙස අලගල්ලට නඟින පිරිස පන්දහසක් පමණ වන බව ඇසීමෙනි.
  • නමුත් පුදුමේ කියන්නේ ඔය කන්දට නඟින එක මුල් කරගෙන සාමය කඩ වන කිසිම සිද්ධියක් වාර්තා නොවන එකයි."   මධ්‍යම හා සබරගමුව නැතහොත් මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකට මැදිව පිහිටි අලගල්ල කන්ද උසින් මීටර් 1140 කි (අඩි 3740 කි).
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වෙනුවෙන් වන ජාතික නිදහස් සැමරුම් උත්සවය අද කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන අතර, දිවයින පුරා ප්‍රදේශ බොහොමයක ද විවිධ නිදහස් සැමරුම් උත්සව පැවැත්වීමට නියමිතය.

එහෙත්, එවන් කිසිදු චාරිත්‍රමය පදනමක් නොමැති, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "නිදහස්" ලෙස සැලකිය හැකි අමුතුම නිදහස් සැමරුමක් ගැන මීට වසර දහහතකට පෙර, එනම් 2009 වසරේදී මට අසන්නට ලැබිණි. ඒ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැණික්දිවෙල ප්‍රදේශයේදීය.

alagalla 01

"දැන් සෑහෙන කාලෙක ඉඳලා නිදහස් දවසට මේ පැත්තේ මිනිස්සු දහස් ගණනක් මේ අලගල්ල කන්ද නඟිනවා. මුකුත් වැඩකට නෙවෙයි, නිකම් විනෝදෙට. ඒ අයගෙන් සියයට අනූවක්ම කොල්ලෝ කෙල්ලෝ තමයි. කට්ටිය පුළුවන් තරම් උදෙන් ඔය අලගල්ල කන්දට නැඟලා විනෝද වෙලා කළුවර වැටෙන්න කිට්ටුව ආපහු බහිනවා. ඔය අතරේ සමහරු රෑට කූඩාරම් ගහගෙන ඔය කන්ද උඩම නතර වෙනවා."

අලගල්ල කන්ද පාමුල ගැමියන් කිහිපදෙනෙකුම එසේ කී මුත්, ඒ අමුතු මාදිලියේ නිදහස් සැමරුම ගැන මුලක් අගක් සොයා ගැනීමට මට නොහැකි විය. ප්‍රදේශයේ ගැමියන්ගෙන් තබා එවක අඩුම තරමින් අන්තර්ජාල පරීක්ෂාවකදීවත් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි විය.

alagalla 02
"උත්සව කොහොම වුණත් අඩුම තරමින් එදාට කන්ද මුදුනේ ජාතික කොඩියක්වත් එල්ලන්නේ නැද්ද?" ඒ සම්බන්ධ සුලමුල කෙසේ හෝ හාරා ඇවිස්සීම පිණිස ඊට පසු දිනයෙක එහි ගිය මම යළි විමසීමක් කළෙමි.

"එහෙම ජාතික කොඩි එල්ලන්න මොකක් හරි උත්සවයක් තියෙන්න එපායැ. ඒත් ඕක නිකම් විනෝදෙට කරන වැඩක් නේ." අලගල්ල කන්ද අවට සෑම ගැමියකුම කීවේ එවන් කතාවකි. නමුත් මගේ විස්මය වඩාත් තීව්‍ර වූයේ එම කාලයේ නිදහස් දිනයට එලෙස අලගල්ලට නඟින පිරිස පන්දහසක් පමණ වන බව ඇසීමෙනි.

"ඔය අතරේ මාවනැල්ල පැත්තේ මුස්ලිම් ඉලන්දාරිත් එක එක රසකැවිලි, සිසිල් බීම වගේම තොරොම්බල් බඩු වගේ දේවල් අරන් බිස්නස් කරන්න කන්දට නඟිනවා. නමුත් පුදුමේ කියන්නේ ඔය කන්දට නඟින එක මුල් කරගෙන සාමය කඩ වන කිසිම සිද්ධියක් වාර්තා නොවන එකයි."

 

alagalla 04
මධ්‍යම හා සබරගමුව නැතහොත් මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකට මැදිව පිහිටි අලගල්ල කන්ද උසින් මීටර් 1140 කි (අඩි 3740 කි). උඩරට දුම්රිය මාර්ගය මෙම අලගල්ල කඳු පාමුලින් වැටී ඇති අතර ඊට ආසන්නතම දුම්රිය ස්ථානය ඉහළ කෝට්ටේ ය. දුම්රිය මඟින් මෙම කන්ද නැඟීමට එන්නෝ ඉහළ කෝට්ටෙන් බැස අලගල්ල වත්ත මාර්ගය යොදා ගනිති. වාහනවලින් පැමිණීමේදී වඩාත් පහසු වන්නේ පොත්තපිටිය මාර්ගයයි. මෙම කන්ද නැඟීම සඳහා පැය දෙකක පමණ කාලයක් ගත වන අතර, කඳු මුදුනට පිවිසෙන මංපෙත වනයෙන් වැසී තිබීම, කාලගුණික පීඩා, ගල් කුළුවල දියසෙවල බැඳී තිබීම, කූඩැල්ලන් බහුල වීම හා කඳු ශිඛරය වරින් වර මිහිදුමින් වැසී යාම ආදී හේතූන් මත එය දුෂ්කර කටයුත්තක් වීමට ද බොහෝ අවකාශ තිබේ. එහෙත් පෙබරවාරිය යනු ඒ අපල උපද්‍රව බොහොමයක් සංසිඳී යන සමයකි. මෙම සැබෑ නිදහස් සැමරුම මෙතරම් සාර්ථක වීමට එම කරුණු ද බල පෑ බව නියතය.

එහෙත්, මේ අපූරු විස්මයජනක අලගල්ල මුල් කොටගත් නිදහස් සැමරුමේ යටගියාව සොයා ගැනීමට නොහැකි වීම මට මහත් ගැටලුවක් විය. එහි යටගියාව සම්බන්ධ කුමක් හෝ ඉඟියක් මතු කර ගත හැකි වේවායි මා නොදන්නා සේම නොඅදහන දෙවිවරුන් සිහිපත් කරමින් දිනක් මැණික්දිවෙල උප තැපැල් කාර්යාල අගුපිළට වී කල්පනා කරමින් සිටින අතරේ, ඊට පිවිසෙන සාරි හැඳගත් කාන්තාවන් දෙදෙනකු දක්නට ලැබිණි. ඉන් එක් කාන්තාවක මැදි විය පසු කරමින් සිටි අතර අනෙක් තැනැත්තිය තරුණියක වූවාය. ඔවුන් එවක මැණික්හින්න මධ්‍ය විදුහලේ හෝ උප තැපැල් හල අද්දරම පිහිටි ප්‍රාථමික පාසලේ ගුරුවරියන් බව මතකය.

"මේ පැත්තේ මිනිස්සු නිදහස් දවසට කන්ද නඟින්න මුල් වුණු හේතුවක් ගැන නම් මම අහලා තියෙනවා. ඒත් ඒක පත්තරේක පළ කරන එක හරිද මන්දා? කොහොම වුණත් මේ විස්තරෙත් එක්ක මගේ නම ගම නම් ගාවන්න එපා. මට මෙහේ ඉන්න හම්බ වෙන එකක් නැහැ." ඔවුන්ගේ ගුරුකම සලකා, නොදන්නා දෙයක් අසා දැනගන්නා සිසුවකුගේ ස්වරූපයෙන් එම කරුණ විමසීමේදී එම වැඩිහිටි ගුරුවරිය එසේ කීවාය.

 

alagalla 03
"මම ගුරු පත්වීම් අරගෙන මේ පළාතට ආවේ අසූ හතරේ අවුරුද්දේ. මගේ ගම මෙහෙ නෙවෙයි. මම මෙහේ ඇවිත් නතර වුණේ මේ පැත්තේ හිටපු පරණ මුල් ගුරුවරයකුගේ ගෙදර. 1948 අපිට නිදහස ලැබෙන කොට ඒ මුල් ගුරුතුමා මේ පැත්තේ පාසලක ශිෂ්‍ය ගුරුවරයෙක් හැටියට වැඩ කරලා තියෙනවා." එම ගුරුවරිය සිසුන්ට ඉගැන්වීමේදී යොදන පැහැදිලි ස්වරයෙන් පවසන අයුරු මම සවන් පත් සේම දෑස් සහ මුව ද විවර කොට නොඉවසිලිමත්ව අසා සිටියෙමි.

"මේ අලගල්ල කන්දේ කොටසක් අයිති හතරලියද්ද පළාත ඉස්සර ප්‍රසිද්ධ වුණේ 'තුම්පනේ' කියලා. ඒ වෙනකොට තුම්පනේ කියන්නේ හුඟක්ම නොදියුණු පළාතක්. කොහොම හරි 1948 පෙබරවාරි හතරවැනිදා ලංකාවට නිදහස ලැබෙනවා කියන ආරංචිය රට පුරාම පැතිරිලා යන අතරේ මෙහේ තුම්පනේ මිනිස්සුත් ඒක දැනගෙන. ඒත් එදාට කොළඹදී නිදහස ලැබෙනවා කියන දේ අහගෙන හිටියා මිසක්, නිදහස කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න තරම් දැන උගත්කමක් මේ පැත්තේ සමහර මිනිස්සුන්ට තිබිලා නැහැ. ඒ නිසා ඒ කාලේ තුම්පනේ ගම්මු පිරිසක් ලංකාවට නිදහස ලැබෙන හැටි අහම්බෙන්වත් දැකබලාගන්න පුළුවන් වෙයිද කියලා බලන්න, හතළිස් අටේ අවුරුද්දේ පෙබරවාරි හතරවැනිදා උදේ පාන්දරම ඔය අලගල්ලේ කන්දට නැඟලා උදේ ඉඳලා හැන්දෑ වෙනකම්ම කොළඹ පැත්ත බලාගෙන ඉඳලා තියෙනවා. කොහොම හරි එදා හැන්දෑවේ ආපහු කන්දෙන් බහින ඒ මිනිස්සුන්ගෙන් වටපිටාවේ අය අහලා තියෙනවා 'හැබෑට උඹලා ඔය ලැබුණයි කියන නිදහස දැක්කද?' කියලා. එතකොට තමයි කන්දට නැඟපු අය ලැජ්ජාව මකා ගන්න කියලා තියෙන්නේ 'බුදු අප්පොච්චියේ... දැක්කද කියලත් අහනවා, අපි එහෙම නිදහසක් නම් අපේ උපන් හදවියකට දැකලා නැහැ' කියලා. ඒ මුල් ගුරුතුමා කියපු විදිහට නම් ඒ සිද්ධියෙන් පස්සේ තමයි ඔන්න මේ පළාත්වල සමහරු නිදහස් දවසට අලගල්ල කන්ද නඟින්න පුරුදු වෙලා තියෙන්නේ. නමුත් පසුවෙනකොට ඒක ඉබේටම විනෝද කටයුත්තක් වෙලා."

එම ගුරුවරිය කීවේ ඒ සම්බන්ධ මගේ දැනුම් පිපාසාව මනාව සපුරාලමිනි. තුම්පනේ යනු අතිශය පිටිසර අඥාන ගැමියන්ගේ පාරාදීසයක් වූ බවට අදටත් නොනැසී පවත්නා ජන විශ්වාසය හා සම්බන්ධ "තුම්පනේ ගැමියන්ගේ මෝඩකම්" මුල් කොටගත් ජනශ්‍රැති දාමයක් තිබේ. නමුත් ඒවායින් වැඩි කොටසක් අතීතයේ එවන් නූගත් ගැමියන් සිටි බව පැවසෙන ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පෙ සේම මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරලය මුල් කොට ද අසන්නට ලැබේ. නමුත් තුම්පනේ ගැමියන් හා සබැඳුණු මෙම මෝඩකම් පිළිබඳ ජන ප්‍රවාදවලට අතිශය ප්‍රබල ඓතිහාසික පසුබිමක් ද තිබේ. එනම් බුදුසමය හා සම්බන්ධ වත්මන් පුනර්ජීවනයේ නිර්මාතෘවරයාණන් වන වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපාණන් (1698-1778) තුම්පනේ වැලිවිට කුලතුංග බණ්ඩාර නමින් ජන්ම ලාභය හිමි කර ගැනීමයි. පසුව උන්වහන්සේ විසින් දියත් කළ ශාසනික පුනර්ජීවන වැඩසටහන එවක සමාජයේ විවිධ පිරිස්වලට බරපතල ලෙස රිදුම් දුන් අතර, ඔවුන් ඊට ප්‍රතිචාර දක්වන ලද්දේ උන්වහන්සේගේ උපන් ගම වන තුම්පනේ ඉලක්ක කොට "මඩ ප්‍රහාර" දියත් කිරීමෙනි.

alagalla 05
ඒ කතාව පසෙක තිබියදී, කවර නිමිත්තක් මුල් කොට හෝ වසරේ එක් දිනයක්වත් කඳු නැඟීමට යොදා ගැනීම කෙසේ වෙතත් නරක දෙයක් නොවේ. කඳු නැඟීම යනු හුදෙක් ශාරීරික ව්‍යායාමයක් පමණක් නොව, එය මනැස නිරවුල් කර ගැනීමට සහ මානසික නිදහස ලබා ගැනීමට ඇති ඉතා සාර්ථක ස්වාභාවික චිකිත්සාවක් බැවිනි. කාර්යබහුල ඒකාකාරී ජීවන රටාවෙන් මිදී ජීවිතයට විවිධත්වයක් උදා කර ගනු පිණිස කඳු මුදුනකට පිවිසීමෙන් ලැබෙන මානසික ප්‍රතිලාභ බොහොමයකි.

කන්දක් නඟින විට තබන සෑම පියවරක් කෙරෙහිම මනා අවධානයෙන් සිටිය යුතුය. ලිස්සන සුළු ගල්, බෑවුම් සහ මංපෙත් කෙරෙහි අවධානය යොමු කරන විට, මනස අතීතයේ පසුතැවීම්වලින් හෝ අනාගතයේ බියෙන් මිදී වර්තමාන මොහොත  කෙරෙහි අවධානය යොමු වෙයි. මෙය භාවනාවක් හා සමාන භාව විරේචන අත්දැකීමකි. එමෙන්ම හාත්පස නෙත ගැටෙන හරිත වර්ණය, කුරුල්ලන්ගේ නාදය සහ කඳුකර සිසිල් සුළඟ මඟින් මානසික ආතතිය අවම කරන සෙරොටොනින් (Serotonin), ඩොපමීන් (Dopamine), ඔක්සිටොසින් (Oxytocin) සහ එන්ඩොර්ෆින් (Endorphins) වැනි සතුටු හෝමෝන සක්‍රිය වෙයි.

alagalla 06

කඳු මුදුනකට ගොස් අවට පරිසරය දෙස බලන විට දැනෙන ජයග්‍රාහී හැඟීම මුසු සතුට වචනයෙන් විස්තර කළ නොහැක. එය අප සතු ආත්ම අභිමානය  වැඩි කරන අතර, ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ඉන් ගොඩනංවා ගත හැකිය. එමෙන්ම මෙවන් කටයුතුවලදී අප එදිනෙදා එල්ලී හිඳින ජංගම දුරකතන ඇතුළු ඩිජිටල් අවකාශයෙන් මිදීම මෙම කාරියේ උපරිම ප්‍රතිලාභ හිමිකර ගත හැකි නොවරදින මංපෙතකි.

k r abesingheකේ.ආර්. අභයසිංහනමුත් එදා අලගල්ල කන්දේ පැවැති මෙම අමුතුම මාදිලියේ නිදහස් සැමරුම අද වන විට කෙලෙස යාවත්කාලීන වී ඇද්දැයි විමසනු පිණිස මගේ සුහද හිතවතකු සේම හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂවරයකු වන මැණික්දිවෙල කෙටලිගොඩ පදිංචි ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහයන්ගෙන් විමසුමක් කළෙමි. මගේ ඉහත සඳහන් ගවේෂණය සඳහා යම් තරමකට හෝ ඔහු සම්බන්ධ කර ගැනීමට එවක අවකාශ හිමි වීම මගේ මෙම ප්‍රතිවිමසුම සඳහා බලපෑ ආසන්න හේතුවක් විය.

"පුදුමේ කියන්නේ මීට අවුරුදු දහයක් පහළොවක් වෙනකම්ම තිබුණු ඒ නිදහස් දවසට අලගල්ලේ කන්ද නඟින උනන්දුව දැන් සෑහෙන්න අඩු වෙලානේ. දැන් නිදහස් දවසට කවුරුවත්ම කන්දට නොයනවාම නෙවෙයි. ඒත් ඉස්සර ඒකට තිබුණු උනන්දුවෙන් දහයෙන් පංගුවක් වත් දැන් නෑ" ඔහු කීය.

"ඒ විතරක් නෙවෙයි ඉස්සර සමහර කාලවලට ළමයි බෝල ගහන්න, සරුංගල් අරින්න්න මේ වෙල් එළිවලට එනවා. මේ වෙන කොට බැරි වෙලාවකවත් එහෙම ළමයෙක් දැක ගන්න අමාරුයි. මං හිතන්නේ මේකට ප්‍රධාන හේතුව 'අයි.ටී. ඇඩික්ෂන්' (IT Addiction) එක කියලා. මේක දැනටමත් අලුත් පරම්පරාව අතරේ බෝවෙන වසංගතයක් වෙලා. අපේ අනාගත පරම්පරාව මේ විදිහට ස්වාභාවික ලෝකයෙන් ඈත් වෙන එක නම් ලේසි පහසු සෙල්ලමක් නෙවෙයි" ඔහු කීය.

ඒ අනුව මට පසක් වූයේ මීට දස වසරක කාලයක් දක්වාම අලගල්ල කඳු මුදුනේදී එවක තරුණ පරපුර නිදහසේ සැමරූ නිදහස් සමරුව සැමරීමටවත් වත්මන් තරුණ පරපුරට නිදහසක් නැති බවකි.

Thilak Senasinghe(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...