යෝජනා භාරගන්නා අවසන් දිනය පෙබරවාරි 15 වැනිදා වේ. සංවිධාන රැසක් මේ වන විටත් ඊට ප්‍රතිචාර දක්වා ඇත. එම සංවිධාන යෝජනා කර ඇත්තේ මෙරට ජීවත් වුවද ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි රෝහල් සහ ආරක්ෂක අංශ සේවකයන් වැනි කණ්ඩායම් මුහුණ දෙන දුෂ්කරතා මෙන්ම, ඔත්පල වූවන් සහ ආබාධිත තැනැත්තන් විඳින දුෂ්කරතා මීට වඩා ඉක්මනින් විසඳුම් අවශ්‍ය ගැටලු බවයි.
ඡන්ද දායකයන් ඡන්ද පොළවලට ඒකරාශී වීමෙන් අනතුරක් සිදුවිය හැකි බවට පැවති බිය සහ කොවිඩ්-19 අගුලු දැමීම් මධ්‍යයේ, අනෙකුත් රටවල් දුරස්ථ ඡන්ද විමසීම්වලදී (සාම්ප්‍රදායික ඡන්ද පොළකින් බැහැර ස්ථානයක සිට ඡන්දය ප්‍රකාශ කිරීමේදී) පැන නගින අභියෝගවලට මුහුණ දී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව 2020 වසරේදී මම පර්යේෂණයක් අධීක්ෂණය කළෙමි. මැතිවරණ කොමිෂන් සභාව සමඟ බෙදාගත් එම විශ්ලේෂණය සහ නිර්දේශ ප්‍රසිද්ධ කර තිබේ. වත්මන් කාරක සභාව සහ ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද කොමිෂන් සභාව වෙතද ඒවා ලබා දෙන ලදී.
ඕනෑම දුරස්ථ ඡන්ද විමසීමේ යාන්ත්‍රණයක් මගින් පහත දැක්වෙන නිර්ණායක සපුරාලිය යුතුය:
1- ප්‍රතිඵලවල නිරවද්‍යතාව:
* සුදුසුකම් ලත් ඡන්ද දායකයන් පමණක් ඡන්දය ප්‍රකාශ කිරීම.
* ඔවුන් එක් වරක් පමණක් ඡන්දය ප්‍රකාශ කිරීම.
* ගණන් කරන ලද සියලුම ඡන්ද වලංගු ඡන්ද වීම සහ සියලුම වලංගු ඡන්ද ගණන් කිරීම.
2- සම්බන්ධිත පාර්ශවකරුවන්ට ප්‍රතිඵල සත්‍යාපනය කිරීමට ඇති හැකියාව
3- ඡන්දවල රහස්‍යභාවය
තමන් පත් කිරීමට දායක වූ පුද්ගලයන් ගන්නා ක්‍රියාමාර්ගවල හොඳ හෝ නරක ප්‍රතිවිපාකවලින් මිදී සිටින, විදෙස්ගතව ජීවත්වන පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දිය යුතුද යන මූලික ගැටලුව මෙම තාක්ෂණික සාකච්ඡා මගින් ආමන්ත්‍රණය නොකෙරේ.
කාර්ය සාධනයේ වගකීම දැරීම (Skin in the game)
දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරිවරුන්, ව්‍යාපාරිකයන් හෝ ඡන්ද දායකයන් ගන්නා ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස යහපත් හෝ අයහපත් දේ සිදුවිය හැකිය. පරමාදර්ශී තත්ත්වයන් යටතේ ඔවුහු එහි ප්‍රතිලාභ මෙන්ම පාඩු ද බෙදා ගනිති. බොහෝ අවස්ථාවලදී, අදාළ ක්‍රියාකාරීහු ප්‍රතිලාභ භුක්ති විඳින නමුත් කිසිදු පාඩුවක් නොවිඳිති. මෙය "කාර්ය සාධනයේ වගකීමක් නොමැති වීම" (having no skin in the game) ලෙස හැඳින්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (GR) මහතා ඡන්ද මිලියන 6.9ක් ලබා ගනිමින් විශාල බහුතරයකින් තේරී පත් විය. ශ්‍රී ලංකාවේ පදිංචි ඡන්ද දායකයන්ට අමතරව, විදෙස්ගතව සිටින බොහෝ ශ්‍රී ලාංකිකයෝ ඔහුගේ මැතිවරණ මෙහෙයුමට සහාය දැක්වූහ. ඇතැම්හු ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණියහ.
ධුරයට පත් වූ වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බදු අනුපාතික කපා හැරියේය. ඒ හේතුවෙන් රජයේ ආදායම බිඳ වැටිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳපොළෙන් ණය ගැනීමේ හැකියාව අහිමි වූ අතර ආර්ථික අර්බුදය නිර්මාණය විය. ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනතාව ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව සහ වෙනත් පීඩාවලට මුහුණ දුන්හ. කුඩා හා ක්ෂුද්‍ර ව්‍යවසායයන් දහස් ගණනක් බිඳ වැටිණි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් බහුතරයක් දෙනා, තමන් තෝරා පත් කර ගත් පුද්ගලයාගේ ක්‍රියාවන්හි අහිතකර ප්‍රතිවිපාකවලින් පීඩා වින්දහ (ඔහුට ඡන්දය නොදුන් අය ද සමඟ). එහෙත්, එක් ඡන්ද දායක කණ්ඩායමක් එසේ පීඩා වින්දේ නැත. ඒ, ඔහුට ඡන්දය දුන් විදෙස්ගතව ජීවත් වන පිරිසයි.
පළමු කණ්ඩායම සතුව "කාර්ය සාධනයේ වගකීම" තිබිණි. ජනාධිපති අපේක්ෂකවරයෙකුට ඡන්දය දීම වැනි ක්‍රියාවක ප්‍රතිඵල කිසිවෙකුට සම්පූර්ණයෙන් අනාවැකි කිව නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බදු කප්පාදුවලින් ප්‍රතිලාභ ලැබූ සමාගම් සහ ඉහළ වත්කම් හිමි පුද්ගලයන් විසින් දැවැන්ත දේශීය ආයෝජන සිදු කරනු ලැබ, ඔහුගේ උපදේශකවරුන් අපේක්ෂා කළ පරිදි වේගවත් ආර්ථික වර්ධනයක් අත්කර දුන්නේ නම්, ශ්‍රී ලංකාවේ පදිංචි ඡන්ද දායකයන්ට එම වාසිදායක තත්ත්වයේ කොටස්කරුවන් වීමට ඉඩ තිබිණි. එහෙත් ප්‍රතිඵලය ඊට හාත්පසින්ම වෙනස් වූ විට, ඔවුහු පෝලිම්වල සහ අඳුරේ දුක් වින්දහ.

ශ්‍රී ලංකාවේ නොවෙසෙන ඡන්ද දායකයන් පසුතැවීම හැර වෙනත් කිසිදු පීඩාවක් නොවින්ද අතර, එය පළමු කණ්ඩායමේ පුද්ගලයන් විඳි පීඩාවට කිසිසේත්ම සැසඳිය නොහැක. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපායමාර්ගය සාර්ථක වූයේ නම්, ඔවුන් යම් මානසික තෘප්තියක් ලබනු ඇති අතර සමහර විට සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට ආපසු පැමිණීමට අවස්ථාව ලැබෙන්නට ඉඩ තිබිණි.ඔවුන්ට ධනාත්මක ප්‍රතිලාභ අල්ප වූ නමුත්, අවාසිදායක පාඩු කිසිවක් නොවීය. ඔවුහු "කාර්ය සාධනයේ වගකීම" දැරුවේ නැත.
"කාර්ය සාධනයේ වගකීම" (Skin in the game) යනු ඇමරිකානු ආයෝජක වොරන් බෆට් සහ ලෙබනන්-ඇමරිකානු කතුවර නසීම් නිකලස් තලෙබ් විසින් ප්‍රචලිත කරන ලද සංකල්පයකි. එහි මූලික තර්කය වන්නේ කාර්ය සාධනයේ වගකීම දරන (ප්‍රතිලාභ මෙන්ම පාඩු ද බෙදා ගන්නා) නියෝජිතයන් විසින් ගනු ලබන අවදානම් සහගත ක්‍රියාමාර්ග වඩාත් උසස් වන බවයි. එමගින් අයහපත් තීරණ වැළැක්වීමේ වැඩි සම්භාවිතාවක් ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් සඳහා මෙම සංකල්පය ආදේශ කළ විට, රජය අසමත් වීමේ ඉඩකඩ අවම වේ.
ශ්‍රී ලංකාවේ පදිංචි නොවන පුරවැසියන්ගේ ඡන්ද අයිතිය
"කාර්ය සාධනයේ වගකීම" මූලධර්මය සෘජුවම යෙදුවහොත්, ශ්‍රී ලංකාවේ නොවෙසෙන සහ එම නිසාම තම ක්‍රියාවන්හි විය හැකි අයහපත් ප්‍රතිඵලවලින් ආරක්ෂා වී සිටින අයට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම වැළැක්වෙනු ඇත. ඡන්ද හිමි නාමලේඛනයේ නම් ඇතුළත්, මෙරට පදිංචි නැති අය ගුවන් ටිකට්පත් ලබාගෙන පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීමට කිසිවක් කළ නොහැකිය. ගනුදෙනු පිරිවැය සලකා බලන විට මෙය විශාල සංඛ්‍යාවක් නොවනු ඇත. එහෙත් සුළු ඡන්ද ප්‍රමාණයකින් වුවද මැතිවරණ තීරණය විය හැකිය.
කාරක සභාව උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ පදිංචි නොවන පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැය වන පිරිවැය අවම කරන යාන්ත්‍රණයක් සකස් කිරීමටයි. පොදුවේ ගත් කල මෙය යෝග්‍ය නොවේ. කෙසේ වෙතත්, සලකා බැලිය යුතු එක් ව්‍යතිරේඛයක් ඇත. එනම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ලියාපදිංචි වී කෙටි කාලීන කොන්ත්‍රාත් මත සේවය කරන ශ්‍රී ලාංකික සේවකයන්ය.

මෙම පුද්ගලයන් විදෙස්ගතව සේවය කරන අතරතුරදීත්, කොන්ත්‍රාත් කාලය අවසානයේ නැවත පැමිණි විටදීත් රජයේ ක්‍රියාමාර්ගවල බලපෑමට ලක්වේ. උදාහරණයක් ලෙස, 2021-22 කාලයේදී විනිමය අනුපාතිකය කෘත්‍රිමව පහළ මට්ටමක පවත්වා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ රජය ගත් උත්සාහය, ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වලට ආධාර කිරීමට ඔවුනට තිබූ හැකියාව කෙරෙහි සෘජුවම බලපෑවේය.
එවැනි සේවකයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම නීත්‍යනුකූලව අනිවාර්ය වේ. කොන්ත්‍රාත් කාල සීමාව මත පදනම්ව, විශේෂ ඡන්ද හිමි නාමලේඛනයකට ඔවුන් ඇතුළත් කළ හැකිය. සියලු පුරවැසියන්ට දුරස්ථව ඡන්දය ප්‍රකාශ කළ හැකි එස්තෝනියාවේ මෙන්, අනන්‍යතාව තහවුරු කළ හැකි ස්මාර්ට් කාඩ්පතක් නිකුත් කිරීමට හැකියාව ඇත.

විදෙස් රටවල ජීවත් වන කොන්ත්‍රාත් සේවකයන් සඳහා ඇති එකම සාධාරණ සහ පරිපූර්ණ විසඳුම අන්තර්ජාලය පදනම් කරගත් දුරස්ථ ඡන්ද ක්‍රමයයි. ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ඡන්ද පොළවල් පිහිටුවීම ප්‍රායෝගික විසඳුමක් නොවේ. මන්දයත්, බොහෝ අවස්ථාවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන්ට විශාල දුරක් ගමන් කිරීමට සිදුවන බැවිනි. උදාහරණයක් ලෙස සෞදි අරාබියේ තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ රියාද් නුවරයි. ජෙඩා නුවර සිට එහි ළඟා වීමට රථවාහනවලින් පැය අටකට වැඩි කාලයක් ගත වේ. එමෙන්ම, විදේශීය මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා දීම සෞදි නීතිය මගින් අනිවාර්ය කර නොමැත.

(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
rohan@lirneasia.net
Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva
https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology




