The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

රහත් යැයි කියන්නා ඉදිරියේ ඇඹුල් අච්චාරුවක් තබනු ! | තිලක් සේනාසිංහ

T

The Leader Desk

February 8, 2026 • 8:32 AM

රහත් යැයි කියන්නා ඉදිරියේ ඇඹුල් අච්චාරුවක් තබනු ! | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ පොදු ආගමික අභිලාෂයන් අතර රහතුන් ‘පහළ කරවා ගැනීම’ ද මුල් තැනක් ගෙන තිබේ.
  • එක් සමාජ ජාල ක්‍රියාධරයකු මේ සම්බන්ධයෙන් තැබූ සටහනක මෙය “රහත් මේනියාව” ලෙස ද හඳුන්වා තිබිණි.
  •   යමකුගේ රහත් බව යනු තමන්ගේ ජීවිතයට නව ජවයක් හෝ පන්නරයක් ලබා දිය හැකි ‘ෆෝන් චාජරයක්’ බඳු දෙයක් නොවන බව අද බොහෝ දෙනෙකු නොදන්නා බැවිනි.
  • කෙසේ හෝ වේවා, එම කාලීන අධිපරිභෝජනවාදී සමාජ අවශ්‍යතාව සපුරාලමින්, සියලු කෙලෙසුන් නැසූ බව හා රහත් බව ලැබූ බව පවසන භික්ෂු චරිත ද වරින් වර නූතන සමාජයේ ජනකාන්ත චරිත අතරට එක්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය අප රටේ මධ්‍යම පාන්තික ප්‍රජාව අතර පවතින ප්‍රධානතම ලෞකික අභිලාෂවලින් එකක් බව පෙනේ. එක් සමාජ ජාල ක්‍රියාධරයකු මේ සම්බන්ධයෙන් තැබූ සටහනක මෙය “රහත් මේනියාව” ලෙස ද හඳුන්වා තිබිණි. බැලූ බැල්මටම මෙය බුදු දහමට කෙරෙන නිර්දය උපහාසයක් සේ පෙනුණ ද, මෙහි යම් සත්‍යතාවක් නැත්තේම යැයි කීමට ද නොපුළුවන.

“මේ පින් බිමේ ලක්ෂ ගණන් රහතුන් පහළ වේවා!” යන ප්‍රාර්ථනය සහිත ‘කාර් ලේබල්’ පවා අපට මඟතොටේ දී දක්නට ලැබෙන්නේ ඉහවහා ගිය එම මධ්‍යම පාන්තික සමාජ අවශ්‍යතාවේ ප්‍රතිඵලයක් වශයෙනි. ඔවුන් එසේ කරනුයේ “අපට නම් ඕවාට වේලාවක් නැත; පුළුවන් නම් උඹලා රහත් වෙලා අපිවත් ගොඩ දාපල්ලා, අපි ඒ වෙනුවෙන් ඕනෑ තරම් වියදම් කරන්නම්” යන අදහසින් විය යුතු ය.

cw54y5w6u

 

යමකුගේ රහත් බව යනු තමන්ගේ ජීවිතයට නව ජවයක් හෝ පන්නරයක් ලබා දිය හැකි ‘ෆෝන් චාජරයක්’ බඳු දෙයක් නොවන බව අද බොහෝ දෙනෙකු නොදන්නා බැවිනි. කෙසේ හෝ වේවා, එම කාලීන අධිපරිභෝජනවාදී සමාජ අවශ්‍යතාව සපුරාලමින්, සියලු කෙලෙසුන් නැසූ බව හා රහත් බව ලැබූ බව පවසන භික්ෂු චරිත ද වරින් වර නූතන සමාජයේ ජනකාන්ත චරිත අතරට එක්ව තිබේ. එමෙන්ම ඔවුන් සඳහා දිනෙන් දින විස්තාරණය වන සමාජමය ඉල්ලුම මත රුපියල් කෝටි ගණනක අයථා මුදල් සංසරණයක් ද මේ වන විට සිදුවෙමින් පවතී.

අරහත්ත හෙවත් රහත් සංකල්පය බුද්ධ දේශනාවෙන් මුල් වරට හඳුන්වා දුන් තත්ත්වයක් නොවේ. බුද්ධ කාලයට පෙර සිටම රහතුන් වශයෙන් සමාජය හමුවේ පෙනී සිටි පිරිස් සිටි බවට බෞද්ධ සාහිත්‍යයෙහි සාක්ෂි අපමණ ය. බුදුන් වහන්සේ සිදු කොට ඇත්තේ ඒ ‘අරහත්ත’ නම් තත්ත්වය බුදු දහමෙහි පැවසෙන ආර්ය මාර්ගයට සම්බන්ධ කොට, ඊට ප්‍රඥාවන්ත අර්ථකථනයක් ලබා දීම පමණි.

 

buddhist monk observing enjoying nature 4101639 808x454

බුදු දහමේ ඉගැන්වෙන අන්දමට ආර්ය මාර්ගය ඔස්සේ ගමන් කරන්නකුට හමුවන ගමනාන්තය හෙවත් පරම නිෂ්ඨාව නිර්වාණයයි. ‘වාණ’ යනුවෙන් දක්වා ඇති තෘෂ්ණාවෙන් මිදීම නිවන වශයෙන් පොදුවේ විස්තර කෙරේ. ලෝභ, දෝස, මෝහ වශයෙන් සඳහන් කෙලෙසුන් මුළුමනින්ම ප්‍රහීණ කළ තැනැත්තා රහතන් වහන්සේ ලෙස දහමෙහි විවිධ තැන්වල සඳහන් වේ. ධම්මපදයේ අරහත්ත වග්ගයේ ගාථා දහය මඟින් ද ඉතා සරල ලෙස රහත් බව විස්තර කෙරෙයි. රහත් හෙවත් අරහත් යන්න ‘අර්හ’ යන ධාතුවෙන් නිපදී තිබේ. මෙහි නිරුක්ති අර්ථ රැසක් විසුද්ධිමග්ගයෙහි දැක්වෙන අතර ඒවායේ පොදු අරුත වනුයේ “පූර්ණ සුදුසුකම් ලත් පුද්ගලයා” යන්න ය. ඒ පූර්ණ සුදුසුකම නිවන සඳහා බව අමුතුවෙන් කිව යුතු නැත.

කාම, භව, දිට්ඨි, අවිජ්ජා යනුවෙන් ආශ්‍රව සතරක් ඇති බවත්, යමකු රහත් බවට පත්වීමේ දී මේ ආශ්‍රව සියල්ල එම පුද්ගලයාගේ සන්තානයෙන් ඉවත් වී සිත නික්ලේෂී හෙවත් පරම පවිත්‍ර තත්ත්වයට පත්වන බවත් බුදු දහමේ දැක්වෙයි. රහතන් වහන්සේ ‘ක්ෂීණාශ්‍රවයන් වහන්සේ’ ලෙස හැඳින්වෙන්නේ ද ඒ අනුව ය. අද වන විට සමහර භික්ෂූන් සමාජ මාධ්‍ය ඔස්සේ පවා තම රහත් බව ප්‍රකාශ කරනු මම නොයෙක් වර දැක ඇත්තෙමි. ඔවුන්ගේ එම ප්‍රකාශයන් අනුව ඔවුන් නොයෙකුත් මානසික රෝග, අර්බුද හෝ ව්‍යාකූලතාවලින් පෙළෙන්නවුන් බවට සාධාරණ අනුමානයක් අප තුළ ජනිත වේ.

 

Monk 1
එමෙන්ම මෙහි දී විශේෂයෙන් කිව යුතු යමක් තිබේ. එනම් යමකු සතු බලය, ධනය, කීර්තිය හා සමාජමය පිළිගැනීම ආදී කිසිවක් එම තැනැත්තාගේ මානසික නිරෝගීතාව සහතික කරන සාධක නොවන බවයි. ඒ අනුව ඉහත සඳහන් ඇතැමුන් තුළ තමන් බුදු වී හෝ රහත් වී ඇතැයි යන ‘අභිමාන මෝහය’ (Grandiose Delusion) තිබිය හැකිය. එවිට එම තැනැත්තාගේ කීර්තිමත් බව හා දැවැන්ත සමාජමය ප්‍රතිරූපයට අවනත වන ඔහුගේ අනුගාමිකයෝ ද ඒ මෝහය බෙදා ගනිති. පසුව ඔහු පවසන සියලු දේ විචාර බුද්ධියෙන් තොරව පිළිගැනීම මත එම අනුගාමිකයන්ට සිදු විය හැකි විපත අතිමහත් ය. ආගමික මූලධර්මවාදය (Fundamentalism) නම් වන සමාජීය සංසිද්ධිය සඳහා මුල් වන මෙවැනි තත්ත්වයන් තුළින් මිනීමැරුම් මෙන්ම දිවිනසා ගැනීම් ද සිදුවීමේ අවදානමක් පවතී.

නූතන ජනප්‍රිය බුද්ධාගම තුළින් ද එම මූලධර්මවාදී ආගමික ලක්ෂණ පහළ වෙමින් තිබේ. තම ආගමික මතය පමණක් නිවැරදි වන අතර අන් මත හිස් බව ප්‍රකාශ කිරීමත්, සිය අනුගාමිකයන් විසින් “අති පූජනීය” වැනි අසම්ප්‍රදායික අනන්‍යතාවන්ගෙන් හැඳින්වෙන භික්ෂු ප්‍රතිරූපකයන් සම්බන්ධයෙනුත් පොදු සමාජ අවධානය මීට වඩා යොමුවිය යුතුය. “මේ මතය පමණක් නිවැරදි ය, සෙසු මත හිස් ය” (ඉධ මේව සච්චං – මෝඝ මඤ්ඤං) යන්න දෘෂ්ටියක එල්බ ගැනීම (දිට්ඨි උපාදාන) බව සූත්‍ර පිටකයට අයත් සුත්ත නිපාතයේ අට්ඨක වග්ගය වැනි තැන්වල පැහැදිලිවම සඳහන් වේ. මෙම ‘අති පූජනීය’ නම් වන අසම්ප්‍රදායික ව්‍යවහාරයෙන් ඇතැම් භික්ෂූන්ගේ ජනප්‍රියතාව ප්‍රවර්ධනය කරවීම පිළිබඳව මගේ මිතුරකු අපූරු කතාවක් කීවේය. එනම්, ‘අතිවිශේෂ’ නමින් ලාභ අරක්කු හැඳින්වෙන්නාක් මෙන් ශාසනය තුළ ද ‘අතිපූජනීය’ නමින් “බාල බඩු” හැඳින්වීමේ නව ප්‍රවණතාවක් පවතින බවයි.

171666658 56a0c4c95f9b58eba4b3a8a2

 

බුදු දහමට අනුව යමකු රහත් බව ප්‍රකාශ කිරීම විනයානුකූලව සිදු කළ යුතු අතිශය සංවේදී කරුණකි. රහත් ඵලයට පත් භික්ෂුවක් තම රහත් බව ප්‍රකාශ කළ යුතු ආකාරය පිළිබඳව සූත්‍ර සහ විනය පිටකයේ පැහැදිලි දහම් කරුණු ඇතුළත් වේ. රහතන් වහන්සේලා තමන් “මම රහත්” කියා සෘජුව ලෝකයාට ප්‍රකාශ කිරීම වෙනුවට බොහෝ විට භාවිතා කරන්නේ ‘අඤ්ඤා ව්‍යාකරණය’ නම් වූ විකල්ප ක්‍රමෝපායකි. එහිදී උන්වහන්සේලා තමන් ලැබූ ආධ්‍යාත්මික විමුක්තිය මෙසේ විස්තර කරති: “ඛීණා ජාති” (ඉපදීම අවසන් විය), “වුසිතං බ්‍රහ්මචරියං” (උතුම් වූ බඹසර වැස නිම කරන ලදී), “කතං කරණීයං” (නිවන් මඟ සම්පූර්ණ කිරීමට කළ යුතු දේ කරන ලදී), “නාපරං ඉත්ථත්තායාති” (නැවත ඉපදීමක් නැත) ආදී වශයෙන් ව්‍යංගයෙන් ඇඟවීම බුදු දහමට එකඟ ය.

සමහර රහතන් වහන්සේලා “සියලු තණ්හාවන් ක්ෂය විය, සියලු බැඳීම් සිඳී ගියේය, සිසිල් වූ නිවනට පත් වීමි” යනුවෙන් තමන් ලැබූ සදා සැනසුම පිළිබඳව උදාන වාක්‍ය ප්‍රකාශ කළ බව සූත්‍ර පිටකයේ සඳහන් වේ. තවත් භික්ෂූහු රහත් වූ පසු බුදුන් වහන්සේ හමුවී තමන් සංසාර චක්‍රයෙන් මිදුණු බවත්, තමන්ගේ සිතෙහි කෙලෙස් බිඳී ගිය බවත් දන්වා සිටිති. මෙය බොහෝ විට සිදු කරනුයේ තම ගුරුවරයා වන බුදුරජාණන් වහන්සේට කරන කෘතගුණ දැක්වීමක් වශයෙනි; මිස පම්පෝරි ගැසීමක් ලෙස නොවේ.

බුදුන් වහන්සේ විනය පිටකයේදී භික්ෂූන් වහන්සේලාට රහත් බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නීති පනවා ඇත. යම් භික්ෂුවක් තමන් රහත් නොවී, රහත් යැයි බොරුවෙන් ප්‍රකාශ කිරීම හෙවත් උත්තරීමනුස්ස ධර්ම ප්‍රකාශ කිරීමෙන් එම භික්ෂුව භික්ෂුභාවයෙන් චුත වේ. එය පාරාජිකා පාලියේ සිව්වන පාරාජිකාවයි. ඒ අනුව සැබෑවටම රහත් වූ භික්ෂුවක් වුව ද, ගිහියන් ඉදිරියේ තම අධිභෞතික බලයන් හෝ රහත් බව ප්‍රචාරණය සඳහා ප්‍රකාශ නොකළ යුතු බව දහමේ දැක්වෙයි. හිස සුන් මිනිසකුට ජීවත් විය නොහැක්කාක් මෙන්, එම උත්තරීතර මනුෂ්‍ය ධර්ම සම්බන්ධ පාරාජිකාපත්තියකට පත් වන භික්ෂුවකට පැවිදි උපසම්පදාවේ රැඳී සිටිය නොහැකිය. සරලවම කිවහොත් මෙය පැවිද්දේ ද “බෙල්ල ගහලා යන” වැඩකි.

 

Bahnte meditating Sri Lanka 1024x768

යම් භික්ෂුවක් රහත් බව ප්‍රකාශ නොකළත් උන්වහන්සේලාගේ හැසිරීමෙන් එය අනුමාන කළ හැක. කිසිදු කරුණකදී කෝප නොවීම, ප්‍රශංසා හෝ නින්දා හමුවේ කම්පා නොවීම, ඉඳුරන් සංවරව පැවතීම, මරණයට බියක් හෝ ජීවිතයට ඇලීමක් නොමැති වීම ඒ ලක්ෂණ වේ. “හැබැයි කවුරු හරි උන් වහන්සේ කියන දේ නොඅසා දිගටම වාදයට ගියොත් නම් උන් වහන්සේට මල පනිනවා” යැයි එක් රහත් යැයි කියාගන්නා හිමිනමකගේ අනුගාමිකයෙක් පැවසීය. එවැනි “මල පනින” රහත් බවක් වෙනුවෙන් තව එක වැකියක්වත් අපතේ හැරිය යුතු නැත. මේ අතර තම හැඟීම් ආවේග සඟවා ගෙන ව්‍යාජ මානසිකත්වයක් (Masking) පළ කරන භික්ෂූන් ද කොතෙකුත් සිටිය හැක.

රහතන් වහන්සේලාගේ සැබෑ චර්යාව සඳහා බුදුන් වහන්සේ කදිම උපමාවක් දක්වති. ආහාර සොයා විලකට බසින හංසයන්, ඒවා ලබාගෙන ඉන් නික්මෙන විට එම විලෙහි ඇති කිසිවක් කෙරෙහි ඇලීමක් නැතිව නික්ම යන්නාක් මෙන්, රහතන් වහන්සේ ද කිසිදු තැනක හෝ කිසිදු දෙයක නොඇලෙති. නූතනයේ රහතුන් ලෙස පෙනී සිටින ඇතැම් භික්ෂූන්, තමන් තනා ගත් මාලිගා තුළ පස්කම් සැප උතුරා යන අතිශය කාමභෝගී ජීවිත ගත කරන අයුරු බලන කල, ඔවුන් ‘හංසයන්’ නොව ‘ගල් ඉබ්බන්’ වැනි යැයි මට සිතේ.

main2
බුදු දහමට අනුව රහතන් වහන්සේලා ප්‍රධාන කොටස් දෙකකි: ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේ සහ සමථයානික (සිව්පිළිසිඹියාපත්) මහරහතන් වහන්සේ ය. ශුෂ්ක විදර්ශක රහතුන්ට සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමේ ශක්තියක් නැත. උන්වහන්සේලා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයන් වඩා රහත් ඵලයට පත් වූවෝ වෙති.

බෞද්ධ විනය ප්‍රඥප්තීන් අනුව, වැඳුම් පිදුම් කළ යුත්තේ පැවිදි වූ ජ්‍යෙෂ්ඨත්වය මත මිස ආධ්‍යාත්මික මට්ටම මත නොවේ. රහතන් වහන්සේ නමකට වඩා එක දිනක් හෝ කලින් උපසම්පදාව ලැබූ පෘථග්ජන භික්ෂුවක් සිටී නම්, රහතන් වහන්සේ එම ජ්‍යෙෂ්ඨ භික්ෂුවට වැඳීම සහ ගරු කිරීම සිදු කළ යුතු බව බුදුන්ගේ නියමයයි. සංඝයා අතර සාමකාමී පැවැත්ම සහ ශික්ෂණය උදෙසා මෙය අත්‍යවශ්‍ය වේ.

බුද්ධ කාලයෙන් පසුව, රහත් භාවය පිළිබඳ තීරණය විවිධ පුද්ගලයන් අතට පත්වීම නිසා එහි ප්‍රමිතිය අහෝසි වී ගිය බවක් හැඟේ. විශේෂයෙන් අටුවා ග්‍රන්ථවල රහතුන්ගේ සංඛ්‍යාව දැක්වීමේ දී අතිශයෝක්තියක් පෙනෙන්නට තිබේ. අනුරාධපුර සමයේ රහතුන් වහන්සේලා අහසින් වඩින සෙවනැල්ලට හිරු මුවාවීම නිසා කාන්තාවකට වී ටිකක් වේලා ගත නොහැකි වූ බව පැවසෙන කතා එවැනි අභව්‍යාත්මක ප්‍රවෘත්තීන් ය. ජෝන් ද සිල්වා සූරීන්ගේ “දන්නෝ බුදුන්ගේ” ගීතයේ ද මේ බව සඳහන් වේ. සිතුල්පව්වේ භික්ෂූන් 30,000ක් රහත් වූ බවත් පැවසෙන කතා ද එවැනිම ය.

ත්‍රිපිටක සාහිත්‍යයට අනුව රහත් ඵලය යනු ‘ලොකුකමක්’ නොවේ. උන්වහන්සේලා එදිනෙදා ජීවිතයේ දී සාමාන්‍ය භික්ෂූන් ලෙස අප්‍රකටව වැඩ සිටියහ. අද ද රහතන් වහන්සේලා වැඩ සිටිය හැක්කේ එලෙස අප්‍රකටව ය.

වසභ රජතුමා තමන් රහත් යැයි සිතා සිටි භික්ෂුවක ඉදිරියේ ඇඹුල් අච්චාරුවක් තැබීමෙන් එම භික්ෂුවට තමන් තුළ තවමත් රස තෘෂ්ණාව ඇති බව වටහා දුන් පුවත මජ්ඣිම නිකාය අටුවාවේ එයි. එමෙන්ම කැලණි ගඟේ නාමින් සිටි ‘රහත්’ යැයි කියාගත් හිමිනමකගේ කකුලෙන් දිය යටින් ඇදීමෙන් උන්වහන්සේ මරහඬ දී බිය වූ පුවත ද තවත් නිදසුනකි. රහතුන් කිසිවිටෙකත් තැති නොගනිති (තිට්ඨන්තීති ථාවරා) යන ශාසනික නිර්වචනය මෙහි දී උපාය මාර්ගික ලෙස යොදා ගෙන තිබේ.

monksgicutgu

 

මලියදේව රහතන් වහන්සේ ලංකාවේ සිටි ප්‍රකටම රහත් හිමිනම වුව ද, ඒ නමින් කිහිප දෙනෙකු සිටීම නිසා එය ‘රහත් වංශයක්’ ද යන කුකුස මතු වේ. එසේම දඹරන් පිළිම පිළිබඳ ජනප්‍රවාද ද මෙම මලියදේව නාමය හා බැඳී පවතී. නමුත් ඒවා තුනී රන් තට්ටුවක් ආලේපිත ලෝහමය පිළිම මිස සැබෑ දඹරන් නොවන බව සනාථ වී ඇත. දහතුන්වන සියවස වන විට “රහතුන්” වෙනුවට “රහතුන් සේ” යන වදන යෙදීමට කතුවරුන් පෙළඹී තිබීම ද විශේෂත්වයකි.

අවසාන වශයෙන්, වර්තමානයේ රහත් බව පවසන බොහෝ භික්ෂූන් එය අයථා ලාභ ප්‍රයෝජන සඳහා භාවිතා කරන ‘ගුණ්ඩුවක්’ බව පැහැදිලි ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය බමුණුගම ශාන්ත විමල හිමියන් අප හා වරක් පැවසූ පරිදි, “කොල්ලෙක් රබර් නයෙක් විසි කළොත් ඔය රහත් පලේ එතනින්ම ඉවරයි” යන ප්‍රකාශය සරදමක් වුව ද එහි ගැඹුරු ප්‍රායෝගික සත්‍යයක් ගැබ්ව පවතී.

Thilak Senasinghe(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...