The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

සම්මුති - විසම්මුති ; පාස්කු ප්‍රහාර නඩුව: ආණ්ඩුවේ ප්‍රධාන සාක්ෂිකාර රොහාන් ගුණරත්නට පෙරවදනක් | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

February 13, 2026 • 9:07 AM

සම්මුති - විසම්මුති ; පාස්කු ප්‍රහාර නඩුව: ආණ්ඩුවේ ප්‍රධාන සාක්ෂිකාර රොහාන් ගුණරත්නට පෙරවදනක් | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරයේ වින්දිතයිනට යුක්තිය ඉටු කිරීම අනුර කුමාර ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් බව නොදන්නා කෙනෙක් නැත.
  •   ඔහු ඉදිරිපත් කළ වැදගත් ප්‍රශ්නයක් වූයේ මෙම නඩුවෙහි පළමුවැනි සහ දෙවැනි සාක්ෂිකරුවන් ලෙස රොහාන් ගුණරත්න සහ සුරේශ් සලේ නම් කර සිටීමයි.
  • එමෙන්ම ඔහු ඇඟවූයේ මුජිබර් රහමන්, අපරාධ සහායකයකු විය හැකි බවයි.
  •  ඔහු තවදුරටත් කීවේ අවශ්‍ය නම් ඒක පාර්ශවිකව නඩු අසා දඬුවම් දීමට සූදානම් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


දැන් එම පොරොන්දුව ඉටු කිරීම පිණිස නීතිපතිවරයා පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 24 දෙනෙකුට එරෙහිව නඩු විභාගයක් ආරම්භ කර තිබේ. මෙම නඩුව ගෝඨාභය රාජපක්ෂ සමයෙහි සිට පැවත එයි.

මෙම නඩු විභාගය සම්බන්ධයෙන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් පසුගිය දා පාර්ලිමේන්තුවෙහි දී ප්‍රශ්න ගණනාවක් නගන ලදී. ගෝඨාභය සමයෙහි පාස්කු වින්දිතයින්ට යුක්තිය ලබා ගැනීම පිණිස පෙනී සිටි දේශපාලනඥයින් අතර මුජිබර් කැපී පෙනේ.

 



ඔහු ඉදිරිපත් කළ වැදගත් ප්‍රශ්නයක් වූයේ මෙම නඩුවෙහි පළමුවැනි සහ දෙවැනි සාක්ෂිකරුවන් ලෙස රොහාන් ගුණරත්න සහ සුරේශ් සලේ නම් කර සිටීමයි.  එමෙන්ම නඩු විභාගයෙහි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම්ව සිටි නීතිඥවරුන් ගණනාවක් දිනපතා නඩුව ඇසීමට විරුද්ධත්වය පා ඉන් ඉවත් වීමයි.

මෙම කතාවට සැර පිළිතුරක් දුන්නේ ජවිපෙ ප්‍රධානියකු වන අමාත්‍ය සහ සභා නායක බිමල් රත්නායකය. ඔහු මුජිබර් රහමන්ගේ සියලු විවේචනය ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම ඔහු ඇඟවූයේ මුජිබර් රහමන්, අපරාධ සහායකයකු විය හැකි බවයි.  ඔහු තවදුරටත් කීවේ අවශ්‍ය නම් ඒක පාර්ශවිකව නඩු අසා දඬුවම් දීමට සූදානම් බවයි. ජවිපෙ වෙබ් අඩවිය වන ලංකා ට්රුත් අඟවන්නේ මුජිබර් පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව් වීම වැළැක්වීම කටයුතු කරන බවයි. මුජිබර් රහමන්ගේ කතාවෙන් බෝම්බ ගඳ දැනෙන බවද ඔහු කීවේය. බිමිල් රත්නායකට අමතක වූයේ එක් ඇඟිල්ලක් වෙනකෙකු වෙත දිගු කරන විට තමන් වෙතට ඇඟිලි හතරක් දිගු වන බවයි!

 



නමුත් කරුණූ මත පදනම් වන සාක්ෂි පෙන්වන්නේ එහි අනෙක් පැත්තය. මෙම නඩුවෙහි ආණ්ඩුවේ එනම් නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා මේ තාක් උත්සාහ කර ඇත්තේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින දේශපාලන සහ පාර රාජ්‍යමය බලවේග වසං කිරීමටය.

ආණ්ඩුවේ ස්ථාවරයේ අරුමය නම් මෙම නඩුවෙහි ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස බොරු කාරයකු ලෙස නම් දරා ඇති සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක වූ රොහාන් ගුණරත්න සහ ගෝඨාභය විසින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස පත් කරන ලද සුරේශ් සලේ ඉදිරිපත් කිරීම සාධාරණ කිරීමයි. අමාත්‍ය බිමල් රත්නායක සිය කතාවෙහි දී එම දෙදෙනා පිළිබඳ කිසිදු වරදක් කීවේ නැත!

ro gun

 

එම සාක්ෂිකරුවන් දෙදෙනා පාස්කු ප්‍රහාරය විමසා බැලූ ජනාධිපති කොමිෂන් සභාවෙහි දුන් සාක්ෂි කියන්නේ එම කතාවයි.  රොහාන් ගුණරත්න විසින් ලියා පළ කල ‘ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සමූළ ඝාතනය’ නම් කෘතියෙහි දීත් දිගින් දිගටම එම අදහස ඉදිරිපත් වේ.

එම දෙදෙනාගේ අදහස් සහ නිගමන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානියා වත්මන් වන ෂානි අබේසේකර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි හිටපු ප්‍රධානී රවි සෙනවිරත්න යන දෙදෙනා විසින් මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ඉදිරිපත් කර ඇති දිව්රුම් පෙත්සම් වල එන කරුණු වලට හාත්පසින්ම පටහැනිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් 2021 මැයි 03 වන දින සිට රොහාන් ගුණරත්න  ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ (INSS) අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරන ලද අතර ඒ වන විටත් ඔහු  ආණ්ඩුවේ ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් කටයුතු කරමින් සිටියේය.

 

ජනාධිපති අනුර කුමාර ප්‍රසිද්ධියෙහි ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ප්‍රහාරය පිටුපස යටි බිම්ගත රාජ්‍යයක් මෙන්ම මහ මොළකරුවකු සිටින බවය. මහ මොළකරු හෙළිදරව් කරන බවද ඔහු කියා තිබේ.

එසේ නමුත් දැන් ආණ්ඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන රොහාන් ගුණරත්න පුන පුනා කියන්නේ පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන්ගේ කණ්ඩායම ඉස්ලාමීය රාජ්‍යය නම් අන්තර් ජාතික ත්‍රස්ත සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව බවය. පාස්කු ප්‍රහාරය පිටුපස ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය හැර අන් කිසිදු බලවේගයක් තිබුණේ යැයි ඔහු පිළිගන්නේ නැත. අමාත්‍ය බිමල් රත්නායක උඩ පැන පැන ආරක්ෂා කරන්නේ එවැනි පුද්ගලයකු ප්‍රධාන සාක්ෂිකරු ලෙස ඉදිරිපත් කර ඇති නඩුවකි.

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නම් කිරීම අද හෙටම !
ගෝඨාභය රාජපක්ෂ යටතේ තුන්වැනි ඩීඑන්ඒ පරීක්ෂණයක් කර පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත්  සාරා ජෙස්මින් එහිදී මිය ගිය බවට ලබා ගන්නා ලද සහතිකය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙහි වත්මන් පරීක්ෂණ මගින් බොරුවක් බව සනාථ කර ගෙන තිබේ. ( මෙම කරුණු මවිසින් මීට පෙර දීර්ඝ වශයෙන් මෙම තීරුවෙහි ලියා තිබේ.) රොහාන් ගුණරත්න සිය කෘතියෙහි 128 වන පිටුවෙහි සයින්මරුදු හිදී මිය ගිය පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් දක්වයි. එහි 16වන අංකය යටතේ සාරා ජෙස්මින් මිය ගිය බවට වාර්තා කරය තිබේ. නමුත් සාක්ෂි නැත. මෙය පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂට තහවුරු කිරීමට අවශ්‍ය වූ කාරණයක් පුනරුච්චාරණය කිරීමකි.

ආණ්ඩුවේ මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආනන්ද විජේපාලට අනුව, කටුවාපිටිය දේවස්ථානයේ ඝාතන සිදු කළ ස්වයං ඝාතක මොහෙමඩ් හස්තූන්ගේ බිරිඳ වූ පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් සයින්දමරුදු සාමූහික ස්වයං ඝාතනයෙන් මිය ගියේ නැත. එම ඝාතන නිවසින් පළා ගිය ඇය තවම ජීවත් වෙයි.

හිටපු නීතිපති දප්පුල ලිවේරා 2021 මැයි 12 දින ‘නිව්ස් ෆස්ට්’ නාලිකාවට මෙසේ කීවේය. “සයින්දමරුදු වෙඩි හුවමාරුවේදී සහ පසුව ඇති වූ පිපිරීමෙන් සාරා ජෙස්මින්  මිය යාම තවමත් තහවුරු කර නොමැත. ඇය ඉන්දියාවට පලා ගිය බව අපට වැටහේ. නමුත් එයද තහවුරු කර නැහැ. ඇත්ත වශයෙන්ම, ඇය සිටින ස්ථානය තවමත් නොදනී."



නමුත් ආණ්ඩුවේ ප්‍රධාන සාක්ෂිකරු මෙම කරුණ පිළිගන්නේ නැත. ඔහු දරන්නේ ගෝඨාභයගේ මතයයි. එමෙන්ම ගෝඨාභයට අනුවද සහරාන් කණ්ඩායම පිටුපස  වූ එකම බලවේගය වූයේ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයයි.

ගෝඨාභයගේ පොලිස් ඇමතිවරයා වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් පාර්ලිමේන්තුවෙහි දී ෂානි අබේසේකරට විරුද්ධව ඉදිරිපත් කරන ලද ව්‍යාජ චෝදනා ගණනාවක් ද රොහාන් ගුණරත්න සිය පොතෙහි පුනරුච්චාරණය කරයි. ඉන් එකක් නම් මාවනැල්ල බුදු පිළිම විරූපී කිරීම සම්බන්ධයෙන් අන්තර් ජාතික සම්බන්ධයක් ඇත්දැයි සෙවීමට පියවර ගැනීම ඔහු වැළැක්වූ බවයි. (එම සිදුවීම්වලට සම්බන්ධ 14 දෙනෙකු ගොඨාභය ජනාධිපති කාලයේ දී එනම් 2022 මැයි 06 දින නිදොස් කොට නිදහස් කරන ලදී.)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් පුනරුත්ථාපනය කර නිදහස් කිරීමට කාර්දිනල් මැල්කම් රංජිත් විරුද්ධ වූ බවට ද චෝදනාවක් රොහාන් ගුණරත්න සිය පොතෙහි එල්ල කරයි.(පිටුව 192)

 

sainthamaruthu

සියල්ලටමත් වඩා රොහාන් ගුණරත්නගේ තීරණාත්මක ප්‍රකාශය වන්නේ සහරාන් සමඟ සම්බන්ධතා පවත්වමින් ඔහු මෙහෙය වූ බවට සැක කරන ‘අබු හින්ද්’ නම් පුද්ගලයා දකුණූ ඉන්දියානු රහස් පොලිසිය විසින් නිර්මාණය කරන ලද කල්පිත චරිතයක් බවට දක්වන නිගමනයයි. ඔහු මෙම නිගමන සඳහා සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැත. ‘අබු හින්ද්’ යනුවෙන් හඳුන්වන ලද මෙරට උසස් බුද්ධි නිලධාරියකු සිටි බවට ඇති සැකය මෙම ප්‍රකාශය මගින් ප්‍රතික්ෂේප කරයි.

පාස්කු ප්‍රහාරය සිදු වූ විගසම රොහාන් ගුණරත්න මඩකලපු සිර ගෙදරට ගොස් එහි රඳවා සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමු වූ බව වාර්තා ගත කරුණකි. ගෝඨාභයගේ ආරක්ෂක උපදේශකයා ලෙස ඔහු සිටි කාලයෙහි පිල්ලෙයාන් රාජ්‍ය ඇමති තනතුරක් දැරුවේය.

බිමල් රත්නායකගේ දැන ගැනීම පිණිස ඔවුන්ගේ ආණ්ඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන රොහාන් ගුණරත්න, සහරාන්, ප්‍රභාකරන් සහ විජේවීර එම වර්ගයේ ත්‍රස්තවාදීන් ලෙස උක්ත කෘතියෙහි සලකන බව ලියා තැබීම වැදගත් විය හැකිය.(පිටුව 129)

“ප්‍රභාකරන්, විජේවීර සහ සහරාන් සැමරීම මගින් අපට සමගිය, ස්ථාවරත්වය හෝ සමෘද්ධිය ගොඩනැගීමට උපකාරී නොවේ. ඔවුන්ගේ ව්‍යාපාර සැමරිය යුතුද? ඔවුන් ඊළඟ පරම්පරාවේ වීරයන් විය යුතුද? නැතහොත්, අපි අහිංසකයන්ට ගෞරව කළ යුතුද?” ( රොහාන් ගුණරත්න මුහුණු පොතිනි)

 



එපමණක් නොවේ. ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 රණවිරු  දින උත්සවයෙහි දී රණවිරුවන් යන වචනය අමාරුවෙන් පාවිච්චි කළේ යැයි කියමින් ආණ්ඩුවේ සාක්ෂිකාර රොහාන් ගුණරත්න කියන්නේ මෙසේය. ‘නායකත්වයේ දී පරිවර්තනය ඉතා වැදගත් වේ. තමන්ගේම ඉතිහාසය සැලකිල්ලට ගෙන, ජවිපෙ නායකයින්  ජීවිත පරිත්‍යාග කළ පිරිමින් සහ කාන්තාවන් "රණ විරුවන්" ලෙස නොව  "සොල්දාදුවන්" ලෙස හඳුන්වයි. එවැනි මානසිකත්වයකින් පිටතට පැමිණ ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය පවත්වා ගැනීම සඳහා තම ජීවිත පරිත්‍යාග කළ පිරිමින් සහ කාන්තාවන් හඳුනා ගැනීම වැදගත් වේ. රණවිරුවන් තමිල්නාඩුවෙන් හඳුන්වා දුන් විදේශීය දෘෂ්ටිවාදයක් වන අන්ත දෙමළ ජාතිකවාදයේ බෙදුම්වාදී දෘෂ්ටිවාදයට එරෙහිව සටන් කළහ. ඒ හා සමානව, රණවිරුවන් ජවිපෙ මතවාදය වූ මාක්ස්වාදය, ලෙනින්වාදය සහ මාඕවාදයට එරෙහිව සටන් කළහ, එයද විදේශීය විය.’

ආණ්ඩුවේ මහත්වරුනි, මේ ඔබේ ප්‍රධාන සාක්ෂිකාරයාය!


මෙම ආණ්ඩුවේ ප්‍රධාන සාක්ෂිකරු  රොහන් ගුණරත්න පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  පළ කළ කෘතිය පිළිබද මෙරට මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආගමික ආයතනය වන සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU)කීවේ මෙයයි.

“පොතේ පිටු දෙස බැලූ විට බැරෑරුම් පාඨකයෙකුට හෙළි වනු ඇත්තේ එහි දක්වා ඇති බොහෝ ප්‍රකාශ සහ අදහස් ප්‍රමාණවත් ලෙස සනාථ කර නොමැති බවත්,  සංයුක්ත සාක්ෂි සහිතව කරුණූ ඉදිරිපත් කර නොමැති බවත්ය.එහි එන ප්‍රතිවිරෝධී කරුණු වෙනම කතාවති. ව්‍යාකූලත්වය සහ පිළිගත හැකි පැහැදිලිබාවයක් නොමැතිකම මධ්‍යයේ, ඔහු සමස්ත ලංකා ජමියතුල් උලමා  සංවිධානයට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල කර ඇති බව කනගාටුවෙන් යුතුව සටහන් කළ යුතුය. මෙම චෝදනා ස්ථිරවම එහි එන සනාථ නොකළ ප්‍රකාශ, අදහස් සහ උපකල්පන රාශිය අතරට වැටේ.” ( - Ref: ACJU/NGS/2023/186)

දැන් ඔබේ ප්‍රධාන සාක්ෂිකරු දෙස දෑස් හැර බලන්න, බිමල් රත්නායක ඇමතිතුමනි.

ඔබේ දෙවැනි සාක්ෂිකරු වන සුරේශ් සලේගේ වාර්තාව ලබන සතියේ ලියමි.

sunanda deshapriya(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...