The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

මිල මුදලින් ප්‍රේමය මනින නූතන වැලන්ටයින් දින සැමරුම | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

February 14, 2026 • 6:54 AM

මිල මුදලින් ප්‍රේමය මනින නූතන වැලන්ටයින් දින සැමරුම | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑතක සිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ සුවිශේෂ අවධානයකට ලක් වන වැලන්ටයින් දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම පෙබරවාරි 14 වන දිනට යෙදෙන වැලන්ටයින් දිනය, ආදරය සහ සෙනෙහස ප්‍රකාශ කිරීම සඳහා වෙන් වූ දිනයක් ලෙස ප්‍රසිද්ධ ය.
  • එමෙන්ම මෙහි ඉතිහාසය තුන්වන සියවසේ රෝමයේ විසූ බව පැවසෙන වැලන්ටයින් නම් සාන්තු වරයකු දක්වා දිව යන ආගමික මූලයකින් යුතු බව ද පැවසෙයි.
  • දෙවන ක්ලෝඩියස් රෝම අධිරාජ්‍යයා, විවාහක පිරිමින්ට වඩා අවිවාහකයන් දක්ෂ සොල්දාදුවන් වන බව තීරණය කළ නිසා ඔහු එරට තරුණයන්ට විවාහ වීම තහනම් කොට තිබිණි.
  • නමුත් මෙම අසාධාරණ නීතිය දේව නියමයට පටහැනි වූවක් බව පවසා ඊට එරෙහි වූ වැලන්ටයින් පූජකතුමා, ආගමානුකූලව රහසිගතව පෙම්වතුන්ගේ විවාහ කටයුතු සිදු කර දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ආදරය සහ සෙනෙහස විවිධ ස්වරූප දරන මුත් වැලන්ටයින් දිනය යනු කාන්තාවන් හා පුරුෂයන් අතර හටගන්නා ලිංගිකත්වය මුල් කොටගත් ප්‍රේමය තේමා වන්නක් සේ එහි ව්‍යවහාරය අනුව පෙනෙයි. එමෙන්ම මෙහි ඉතිහාසය තුන්වන සියවසේ රෝමයේ විසූ බව පැවසෙන වැලන්ටයින් නම් සාන්තු වරයකු දක්වා දිව යන ආගමික මූලයකින් යුතු බව ද පැවසෙයි.

වැලන්ටයින් දිනය හා සම්බන්ධ පුරාණෝක්ති බොහොමයක් රෝම ඉතිහාසය සහ කතෝලික සාන්තුවර චරිත වටා ගෙතී තිබේ. ඉන් වඩාත් ජනප්‍රිය පුරාණෝක්තිය වන්නේ රෝමය පාලනය කළ දුෂ්ටතම නරපතියකු සේ සැලකෙන දෙවන ක්ලෝඩියස් (Claudius II) රෝම අධිරාජ්‍යයාගේ කාලයේ විසූ වැලන්ටයින් නම් පූජකවරයා පිළිබඳ කතාවයි. දෙවන ක්ලෝඩියස් රෝම අධිරාජ්‍යයා, විවාහක පිරිමින්ට වඩා අවිවාහකයන් දක්ෂ සොල්දාදුවන් වන බව තීරණය කළ නිසා ඔහු එරට තරුණයන්ට විවාහ වීම තහනම් කොට තිබිණි. නමුත් මෙම අසාධාරණ නීතිය දේව නියමයට පටහැනි වූවක් බව පවසා ඊට එරෙහි වූ වැලන්ටයින් පූජකතුමා, ආගමානුකූලව රහසිගතව පෙම්වතුන්ගේ විවාහ කටයුතු සිදු කර දී තිබේ.

මේ පිළිබඳව දැනගත් රෝම අධිරාජ්‍යයා වැලන්ටයින් පූජකතුමා අත්අඩංගුවට ගෙන පෙබරවාරි 14 වන දිනක මරණ දණ්ඩනය ලබා දුන් බව ඒ සම්බආගමානුකූලවත් ප්‍රකට පුරාණෝක්තියයි. තවත් ජනප්‍රිය පුරාවෘත්තයකට අනුව, වැලන්ටයින් පූජකතුමා සිරගත කර සිටියදී ඔහු තම සිරගෙදර ආරක්ෂකයාගේ දියණිය සමඟ සුහද වී තිබේ. ඇය උපතින්ම දෘශ්‍යාබාධිත තැනැත්තියක වූ අතර, වැලන්ටයින් පූජකතුමාගේ ඇදහිල්ල හා යාච්ඤාව නිසා ඇයට පෙනීම ලැබුණු බව කියැවේ. එතුමන් මරණ දඬුවමට ලක් වීමට පෙර ඇයට කියවීම පිණිස ලිපියක් ද ලියා ඇති අතර, එහි අවසානයට “From your Valentine” ලෙස සටහන් කර තිබූ බව විශ්වාස කෙරේ. 

Camasei lupercales prado

වැලන්ටයින් දිනය පෙබරවාරි මැද භාගයේ සැමරීමට රෝමයේ සශ්‍රීකත්වය වෙනුවෙන් පෙබරවාරි 13-15 අතර පවත්වන ලද “ලුපර්කාලියා” (Lupercalia) උත්සවය මුල් වූ බවක් ද පැවසෙයි. මෙය එකල රෝමයේ සශ්‍රීකත්වයට අධිපති ලුපර්කස් (Lupercus) නම් දෙවියන් උදෙසා පවත්වන ලද්දකි. මෙය බුද්ධ කාලීන භාරතයේ පැවැති ‘ගිරග්ග සමජ්ජ’ මෙන් කාමභෝගී සැනකෙළියක් බව ඒ සම්බන්ධයෙන් විමසීමේදී පෙනෙයි. පසුව කතෝලික පල්ලිය විසින් මෙම අන්‍යාගමික උත්සවය ක්‍රිස්තියානි මුහුණුවරකින් සැමරීමට තීරණය කළ අතර, එය සාන්ත වැලන්ටයින් වෙනුවෙන් කැප කරනු ලැබූ බවට මතයක් පවතී.

නමුත් ඉහත සඳහන් පුරාණෝක්තීන් සම්බන්ධ විමසුමක් කිරීමේදී ඒවා අවිච්ඡින්න ඉතිහාසගත ප්‍රවෘත්තීන් නොවන බව පෙනී යයි. කතෝලික සභාවේ නිල ලේඛන සහ සාන්තුවරයන්ගේ නාමාවලිය (Roman Martyrology) පරීක්ෂා කිරීමේදී ඒ සම්බන්ධ යම් නිගමනයකට එළැඹිය හැකිය. ශාන්ත වැලන්ටයින් නාමය කතෝලික සාන්තුවර නාමාවලියෙහි තවමත් රැඳී පවතින නමුත්, එය පොදු ලෝක ව්‍යාප්ත දින දර්ශනයෙන් (General Roman Calendar) ඉවත් කර ඇත.

දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් පසු 1969 දී කතෝලික සභාව විසින් සාන්තුවරයන්ගේ දින දර්ශනය ප්‍රතිශෝධනය (The 1969 Revision) කරන ලදී. එහිදී තීරණය වී ඇත්තේ ශාන්ත වැලන්ටයින් තුමා පිළිබඳ ඓතිහාසික තොරතුරු හා පුරාණෝක්ති ඉතා සීමිත වීම සහ ඒවා අන්‍ය ජනප්‍රවාද සමඟ මුසු වී තිබීම නිසා, ශාන්ත වැලන්ටයින් මංගල්‍යය නිල අනිවාර්ය මංගල්‍යයක් වශයෙන් සැමරීම සඳහා වන ශාසනික කරුණු ප්‍රමාණවත් නොවන බවකි. එය ඉතා විධිමත් හා නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ දිගුකාලීනව කරනු ලබන විමර්ශනයක ප්‍රතිඵලයකි.

8158 RomanMartyrology20243D

කතෝලික සභාවේ නිල සාන්තුවර ලේඛනය වන Roman Martyrology හි පෙබරවාරි 14 වන දිනට අදාළව තවමත් ශාන්ත වැලන්ටයින් යන නාමය සඳහන් වන අතර, “රෝමයේ ෆ්ලැමිනියානු මාවතේ (Via Flaminia) මිහිදන් කරන ලද ප්‍රාණපරිත්‍යාගී ශාන්ත වැලන්ටයින්…” යනුවෙන් එහි සඳහන් වේ. ඒ අනුව එතුමන් තවමත් කතෝලික සභාව නාමිකව පිළිගන්නා සාන්තුවරයෙකි. කෙසේ වෙතත්, එතුමන්ගේ සැබෑ අනන්‍යතාව අනාවරණය කරගත නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

ඉතිහාසඥයන් පවසන පරිදි වැලන්ටයින් නමින් ප්‍රාණපරිත්‍යාගීවරුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සිට ඇත. ඒ රෝමයේ පූජකවරයෙකු වූ වැලන්ටයින්, ටර්නි (Terni) හි රදගුරුතුමෙකු වූ වැලන්ටයින් සහ අප්‍රිකාවේදී මියගිය තවත් වැලන්ටයින් නම් වූ අයෙකු වශයෙනි. මොවුන් සියලු දෙනාම එකම පුද්ගලයෙකු ද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි සාක්ෂි නොමැති වීම නිසා කතෝලික සභාව විසින් එතුමන්ගේ නම පොදු දින දර්ශනයෙන් ඉවත් කර ප්‍රාදේශීය වශයෙන් පමණක් සැමරීමට ඉඩ ලබා දී ඇත. ඒ අනුව පෙබරවාරි 14 වන දා මුළු ලෝකයටම අනිවාර්ය මංගල්‍යයක් ලෙස එය සමරන්නේ නැත. එදින දැන් ශාන්ත සිරිල් සහ මෙතෝඩියස් යන මුණිවරුන්ගේ මංගල්‍ය දිනය ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.

කෙසේ වෙතත්, සාමාන්‍ය ජනතාව අතර පෙබරවාරි 14 වන දා “ආදරවන්තයන්ගේ දිනය” ලෙස ශාන්ත වැලන්ටයින් නාමය හා බද්ධ වී අතිශය ජනප්‍රිය වී තිබේ. මෙය පසු කාලීන සමාජ ආර්ථික සාධක මත හටගත් හා ප්‍රවර්ධනය වූ සංසිද්ධියක් බව පෙනේ. එමෙන්ම අද වන විට මෙම දිනය සැමරීම තුළින් සමාජයීය වශයෙන් යහපත් බලපෑම් වලට වඩා අයහපත් බලපෑම් ඇති වී තිබෙන බව පැහැදිලි ය. සදාචාරාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල, ආදරය යනු හුදෙක් අන්‍යෝන්‍ය වශයෙන් පවත්නා ගෞරවය, විශ්වාසය සහ කැපවීම මත පදනම් වූවකි. නමුත් වැලන්ටයින් දිනය තුළ බොහෝ විට දක්නට ලැබෙන්නේ තෑගි බෝග හුවමාරු කර ගැනීම වැනි බාහිර ප්‍රදර්ශනාත්මක දේවල් බව අතිශයින් පැහැදිලි ය. ඒ අනුව, වර්තමානය වන විට මෙම දිනය හුදෙක් ආගමික, ආධ්‍යාත්මික හෝ සංස්කෘතික සැමරුමකට එහා ගිය, සමාජීය වශයෙන් අධිපරිභෝජනවාදී මුහුණුවරක් ගෙන තිබේ.

 

valantine

වාණිජකරණය නම් බූවල්ලාගේ ග්‍රහණයට ලක්ව ඇති නූතන සමාජය තුළ වැලන්ටයින් දිනය යනු අනේක විධ ව්‍යාපාරික උපක්‍රම ජාලයකි. වැලන්ටයින් සැමරුම මුල් කොට විවිධ සමාගම් විසින් මිනිසුන්ගේ හැඟීම් විකුණා ලාභ ලැබීමට උත්සාහ කරන අතර, මෙය මිනිස් සබඳතාවල ඇති ආධ්‍යාත්මික වටිනාකම හෑල්ලු කරන්නකි. ආදරය යනු මුදල මත පදනම් වන දෙයක් ය යන සදාචාර විරෝධී මතය සමාජගත වීම මෙමඟින් නිරතුරුවම සිදු වේ. ශ්‍රී ලාංකික වැනි පෙරදිග සංස්කෘතීන් තුළ, වැලන්ටයින් සැමරුම ඇතැම් විට සදාචාරාත්මක සීමා ඉක්මවා යාමක් ලෙස දකිනු ලැබේ. විශේෂයෙන්ම පාසල් වියේ පසුවන දරුවන් සහ තරුණ පිරිස් නිසි මඟපෙන්වීමකින් තොරව මෙම රැල්ලට හසුවීමෙන් විවිධ සමාජීය හා මානසික ගැටලුවලට මුහුණ දෙති. මෙම තත්ත්වය මේ වන විට කොතෙක් දුරදිග ගොස් තිබේ ද යත්, ළාබාල යුවතියන් වැලන්ටයින් දිනය මුල් කොට තම පෙම්වතුන්ට “කුමරි බඹසර” පූජා කොට සිදුව ඇති අර්බුද ද මේ වන විට තොග පිටින් සමාජ කරළියට එමින් තිබේ.

විශේෂයෙන් නව ලිබරල්වාදී (Neoliberal) ආර්ථික රාමුවක් තුළ වැලන්ටයින් දිනය යනු හුදු ආදරය සැමරීමේ දිනයක් පමණක් නොව, එය මැනවින් සැලසුම් කළ වෙළඳපොළ උපායමාර්ග ජාලයකින් සමන්විත අධිපරිභෝජනවාදී සංස්කෘතියේ ප්‍රබල නිරූපණයකි. ඒ අනුව හෝටල්, සමාජ ශාලා ආදියේ වැලන්ටයින් දින සැමරුම් සංවිධානය කොට වසරේ පාරිභෝගිකත්වය අඩු පෙබරවාරිය “වැලන්ටයින්ගේ පිහිටෙන් ගොඩ දමා ගන්නා” යාන්ත්‍රණයන් ද කොතෙකුත් දක්නට තිබේ. සෙසු සැමරුම් මෙන් පවුල්, ප්‍රජා හෝ සමාජමය වශයෙන් ක්‍රියාත්මක නොවන මෙම වැලන්ටයින් දින සැමරුම් සඳහා හෝටල් සහ ආගන්තුක නිවාස කාමර යොදා ගන්නා බව අද චිරප්‍රසිද්ධ රහසක් වී තිබේ. මෙම භාවිතයේ යෙදෙන්නවුන් අතරින් අනියම් පෙම්වතුන් ද ප්‍රධාන තැනක් ගනිති. ඒ අනුව පෙනී යනුයේ මෙය සම්මත ශිෂ්ටාචාරයෙන් හා සදාචාරයෙන් බැහැර සැමරුමක් ලෙසය. මෙවන් සමාජ හා සදාචාර අර්බුද සම්බන්ධයෙන් අතිගරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පවා මාධ්‍ය නිරතුරු කරුණු දක්වනු අපි කොතෙකුත් දැක ඇත්තෙමු.එය අතිශයින් ප්‍රසංශා කටයුතු ය.

 

Valentine's Romantic Date. Red Roses Lying On Table, Unrecognizable Spouses Drinking Wine In Restaurant. Selective Focus, Cropped

මෙවන් තත්ත්වයන් යටතේත් වත්මන් ලිබරල්වාදය සහ වැලන්ටයින් දිනය අතර ඇති සම්බන්ධය ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ හඳුනාගත හැකිය. ආදරය “භාණ්ඩකරණය” කිරීම (Commodification of Love) ඒ අතුරින් ප්‍රධාන ය. නව ලිබරල්වාදයේ මූලික ලක්ෂණයක් වන්නේ මානුෂීය හැඟීම් පවා පාරිභෝගික භාණ්ඩයක් හෝ සේවාවක් බවට පත් කිරීමයි. මෙහිදී ආදරය ප්‍රකාශ කිරීමේ නිර්ණායකය බවට පත්වන්නේ තෑගි බෝග, මිල අධික රාත්‍රී ආහාර හෝ මල් කළඹවල් මිලදී ගැනීම බවට සමාජ මතයක් ගොඩනැඟීම අතිශය වේගවත්ව සිදු වේ. ආදරය තක්සේරු වනුයේ වැඩිපුර මුදල් වැය කිරීමෙන්ය යන දුර්මතය සමාජය තුළ ස්ථාපිත කිරීමට වෙළඳපොළ ආර්ථිකය සමත් වී ඇත. එමෙන්ම විවිධ සමාගම් තම නිෂ්පාදන “සැබෑ ආදරයේ සංකේත” ලෙස සන්නාමගත කරමින් පාරිභෝගිකයාගේ හැඟීම් සමඟ සෙල්ලම් කරනු ද මෙහි දී දක්නට පුළුවන. මෙහිදී අප රටේ බොහෝ ජනමාධ්‍යයන් ද තරඟකාරී ලෙසින් මෙම සමාජමය අගතිය නිර්මාණය කිරීමෙහි ලා පුරෝගාමී වනු දැකිය හැක.

නව ලිබරල්වාදී සමාජයක පුද්ගලයා සමාජ පීඩනය සහ තරඟකාරිත්වය පදනම්ව නිරන්තරයෙන් අන් අය සමඟ තරඟ කරන්නෙකි. ඒ අනුව ඇතැමුන් ඉන්ස්ටග්‍රෑම් (Instagram), ෆේස්බුක් (Facebook) ආදී සමාජ මාධ්‍ය මඟින් තම වැලන්ටයින් සැමරුම් ප්‍රදර්ශනය කිරීම හරහා “සාර්ථක පෙම්වතෙකු” හෝ “වාසනාවන්ත පෙම්වතියක” බව ලොවට පෙන්වීමට ආටෝපකාරී උත්සාහයක යෙදෙනු අපට ඉතා හොඳින් දැක බලා ගත හැක. මෙය සමාජයීය වශයෙන් මානසික පීඩනයක් (Social Anxiety) ඇති කරන අතර, එය සමනය කර ගැනීමට නැවත නැවතත් වෙළඳපොළ මත යැපීමට සිදු වේ. අපගේ සාම්ප්‍රදායික ගැමි සමාජය “හොරි කැසීමකට” උපමා කොට ඇත්තේ මෙම සමාජමය සංසිද්ධියයි.

Praneeth Abayasundara
(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...