අද ජනතාව අතර වඩා අවධානයක් යොමුවී ඇත්තේ විශයමාලා අන්තර්ගතයට උවද, මෙම යෝජිත ප්‍රතිසංස්කරණ හරහා සිදුවන භයානකම ව්‍යසනය එය නොවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට වන හානිය, හය වසර පෙළ පොතට ලඝු කොට, එය හරහා ජනතා අවධාණය වෙනතකට යොමු කොට සැබෑ පරමාර්ථය යට ගැසීමට රජය සැරසෙනවාදැයි මට සිතේ.
ඇත්ත වශයෙන්ම අපගේ අවධාණය යොමුවිය යුත්තේ සම්පූරණ යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවළියටය. මක්නිසාද යත් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුවහොත්, මේතාක් දුරට රැකගෙන ආ ලංකාවේ සාධාරණ, වංචා දූෂණ වලින් තොර දරුවන්ගේ හැකියාව මනින තරග විභාගයක් මත පමණක්ම පදනම් වන නොමිලේ ලබා දෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ස්වාධීවත්වය සහ සාධාරණත්වය නැත්තටම නැතිවී යන බැවිනි.
යෝජිත ප්‍රතිසංස්කරණ දෙමාපියන්ට සහ දරුවන්ට විකුණන්නේ “කට පාඩම් විභාග මධ්‍යස්ථ අධ්‍යාපනයෙන් ඉවත් වෙමින්, දරුවාගේ දක්ෂතා හා නිපුනතා මධ්‍යස්ථ අධ්‍යාපනයක්” හඳුන්වා දීම හරහා දරුවාට ආතතියක් නැති, තරගයක් නැති ළමා කාළයකට මග පාදන පොරොන්දුව මතය. මතු පිටින් බලන කළ එය සංකල්පමය වශයෙන් ඉතා වටිනා අදහසක් ලෙස පෙනේ. එහෙත් රජය යෝජනා කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ලංකාවේ අධ්‍යාපන ව්‍යුහය, ආර්ථික ව්‍යුහය හා සමාජ ව්‍යුහය තේරුම් ගත හැකි උගත් බුද්ධිමත් මිනිසුන් තුළ බිය, සැක සහ විරුද්ධත්වය පවතින්නේද මෙම කොටසටයි.

මෙය සත්‍ය වශයෙන්ම ලංකාවට මේ මොහොතේ අවශ්‍ය ප්‍රගතියක්ද? නැත්නම් විශ්වාස කළ නොහැකි, පාරදුශ්‍යභාවය හා සාධාරණත්වය සපථ කල නොහැකි දූෂිත පද්ධතියක් තුළ දරුවන්ගේ අනාගතය උකසට තබා සිදුකරන භයානක පරීක්ෂණයක්ද? එසේත් නැතිනම් පවතින රජය ශ්‍රී ලංකාව දේශපාලනිකව ගෙන යාමට වෙර දරන “පැසිස්ට් රාජ්‍ය” සංකල්පයට තවත් එක් පියවරක්ද? අප ගැඹුරින් සළකා බැලිය යුත්තේ එයයි.
අද සමාජයේ මේ පිළිබදව පක්ෂව හා විපක්ෂව කතා කරන බොහෝ දෙනා, අරගල උද්ඝෝෂණ කරන විවිධ පාර්ෂවයන් යෝජිත ප්‍රතිසංස්කරණ වල මූලික පදනමවත් නොදනී. මෙවැනි ප්‍රධාණ සහ රටේ අනාගතයට බලපාන වෙනස් කිරීම් වලදී වෙනත් රටවල් හෝ අපේ රටේම පහුගිය රජයන් කල පරිදි, මාලිමා රජය මෙම ප්‍රතිසංස්කරණ වලට අදාල විස්තර සමාජ ගත කරන්නේද නැත. එබැවින් දැනට අපට සැළවී ඇති අන්දමට මෙම යෝජිත ප්‍රතිසංස්කරණය පදනම් කර ඇත්තේ ප්‍රධාන කුළුණු පහක් (5 pillars) මතය.

- විෂය මාලා සංස්කරණය ; මතකය මත පදනම් වූ විෂය මාලාව වෙනුවට STEM අධ්‍යාපනයට (Science, Technology, Engineering and Mathematics), ICT, ජීවන කුසලතා, විචාරාත්මක චින්තනය ඇතුළත් නව විෂය මාලාවක්. (ICT යනු සාම්ප්‍රදායික පරිගණක පාදක තාක්‍ෂණයන්ට (ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පරිගණක වැනි) වඩා වැඩි යමක් වන අතර එය තොරතුරු සහ සන්නිවේදනය භාවිතා කරන සහ බෙදාහදා ගන්නා ආකාරය පිළිබඳව ද වේ. බොහෝ සන්දර්භයන්හිදී, තනි කේබල් හෝ සම්බන්ධක පද්ධතියක් හරහා පරිගණක ජාල සමඟ ශ්‍රව්‍ය දෘශ්‍ය සහ දුරකථන ජාල අභිසාරී වීම හැඳින්වීමට ICT භාවිතා වේ).
- පාසලට නිබන්දන හරහා ඇගයීම් හා තක්සේරු ක්‍රම හදුන්වා දීම ; මේ තුලින් දරුවන්ගේ කුසලතා සහ නිපුනතා පරීක්ෂණ විභාගයක් මත තීරණය කරන ක්‍රමයෙන් ඉවත් වීම
- මානව සම්පත් සංවර්ධනය ; ගුරුවරුන් සහ අධ්‍යාපන පරිපාලනය නව ක්‍රමයට පුහුණු කිරීම.
- යටිතල පහසුකම් හා පරිපාලන සංස්කරණ ; පාසල්, ඩිජිටල් පහසුකම්, පරිපාලන ව්‍යුහ නවීකරණය
- මහජන අවබෝධතාව ; දෙමාපියන්, ගුරුවරුන් සහ සමාජය සමඟ සංවාදය තුලින් ජනතාව දැනුවත් කීරීම.
න්‍යායක් ලෙස ගත් කල, මෙය නවීන, ගෝලීය ප්‍රවණතා සමඟ ගැලපෙන යෝජනාවක් ලෙස බැලූ බැල්මට පෙනේ. නමුත් ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යුහයට හා ආර්ථික යථාර්ථයට මෙය ප්‍රායෝගිකද යන්නය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දැනට ඇති විශාලම අර්භුධය පාසල් අධ්‍යාපනය නොවේ. ලංකාවේ දරුවන්ගේ අනාගතයට බලපාන විශාලතම පසුබෑම ඇත්තේ උසස් පෙළ අවසාන කරන දරුවන්ටය. ඒ ලංකාවේ පාසල් හැර යන්නන්ට නිදහස් අධ්‍යාපනයට ඉඩ අහුරා ඇති නිසාය.
ශ්‍රී ලංකාවේ වසරකට දරුවන් 450,000 ක් පමණ පළවෙනි ශ්‍රේණියට ඇතුලත් කෙරේ. ඉන් දරුවන් 100,000 පමණ සාමාන්‍ය පෙළ අවසන් කොට පාසල් හැර යන අතර, දරුවන් 350,000 ක් පමණ උසස් පෙළ විභාගය සදහා පෙනී සිටියි.
මෙම උසස් පෙළ හදාරා විභාගයට මුහුන දෙන දරු දැරියන්ගෙන් විශයයන් තුනට සාමාර්ථ තුනක් ලබා ගන්නා සෑම දරුවෙක්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුය.

නමුත් ප්‍රශ්ණය වන්නේ රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුල් වීමට වරම් ලබන්නේ මෙම උසස් බෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගෙව් 40,000 කට පමණක් වීමය. එනම් 10% පමණි. ඉතිරි වන 90% දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය අහිමි වන්නේ, එම දරුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් නොලබන නිසා නොවේ. ඒ ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල නොමිලේ ඉගැන්වීමට හැක්කේ සීමිත ප්‍රමාණයට පමණක් වීම නිසාය. ධණවත් දෙමාපියන්ගේ දරුවන් මුදල් ගෙවා දේශීය සහ විදේශීය අධ්‍යාපනය ලබා ගන්නා අතර, නැති බැරි දෙමාපියන්ගේ දරුවන්ට විකල්පයක් නැත. ඔවුන්ට ඇති එකම මග උසස් පෙළ විභාගය පමණි.
වාර්ෂිකව මෙම 10% තෝරා ගැනීම සදහා පහුගිය වසර 76 පුරා ස්ථාපිත කරන ලද ක්‍රියාවළිය වනිනේ අපක්ෂපාතී ජාතික විභාග ක්‍රමය සහ දිස්ත්‍රීක් පදනම මත නගර සහ ගම් අතර පවතින සම්පත් පරතරය සැළකිල්ලට ගෙන කරනු ලබන ක්‍රියාපටිපාටියයි. මේ හරහා, රජයට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දිය හැකි සිසු සිසුවියන් ප්‍රමාණය සාධාරණ ක්‍රමවේදයක් තුලින් තොරාගනු ලබයි. මෙම විභාග ක්‍රමය නිසා ධණය හෝ දේශපාලන බලය යොදවා තම දරුවා හෝ තම දේශපාලන පක්ෂයේ සමාජිකයන්ගේ දරුවන් හෝ සාමාජිකයන් විශ්ව විද්‍යාල තුලට රිංග වීමට ඉඩ නැත.
මෙම මාලිමාවේ යෝජිත නව ක්‍රමය යටතේ සිදුවන විශාලම ඛේදවාචකය වන්නේ, මේ අපක්ෂපාතී විශ්ව විද්‍යාල ප්‍රවේශ යාන්ත්‍ර්‍ණය බිද වැටීමයි.
මාලිමා රජයේ ක්‍රමය යටතේ විශ්වවිද්‍යාල ප්‍රවේශය එකම A/L – Z score පදනමෙන් ඉවත් වෙමින්,
• විභාග,
• දක්ෂතා පරීක්ෂණ,
• පාසල් මට්ටමේ ඇගයීම්
• තාක්ෂණික හා වෘත්තීය මාර්ග එකට එකතු කළ බහු-මාර්ග (multiple pathways) ක්‍රමයකට වෙනස් කරයි.
ඉතා නවීන අදහසක් ලෙස පෙන්වීමට උත්සහ ගත්තද, මෙය විශාලතම ධණය හා දේශපාලන බලය යොදා ගනිමින් දරුවන්ගේ අනාගතය මංකොල්ල කන අක්‍රමිකතා ඇති කරන ක්‍රමවේදයක් සඳහා පාර කැපීමකි.
අධ්‍යාපන ප්‍රකිසංස්කරණ ගෙන ඒමට පෙර ලෝක අත්දැකීම් විශ්ලේෂණය කල යුතුය. විශේෂයෙන්ම එම රට වල එය සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට හේතු සළකා බැලිය යුතුය.

යෝජිත අධ්‍යාපන ව්‍යුහය සාර්ථකව සිදුකල රටක් ලෙස ෆින්ලන්තය ඉදිරියෙන්ම සිටියි. ගරු අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ලංකාවට ඔබ්බවන්නට හදන්නේ මෙම ෆින්ලන්ත ක්‍රමයයි.
ෆින්ලන්තය යනු යුරෝපයේ ඉතා ධණවත් රටකි. එහි ජනගහනය මිලියන 5.6 ක් (ලංකාවේ ජනගහණය මිලියන 23 කි) වන අතර 2022 වන විට, ෆින්ලන්තය IMF සංවිධානයට අනුව ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් ගෝලීය වශයෙන් 16 වන ස්ථානයට පත්විය. ෆින්ලන්තය සැමට නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දීමට හැකියාවක් ඇති අතර කැමති සෑම පුරවැසියෙකුටම නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව රජය මගින් නොමිලේ ලබා දෙයි. එය සෞඛ්‍ය සේවා සහ හොඳින් සංවර්ධනය වූ සුභසාධන පද්ධතියක් ඇති ධනවත් රටකි. එහි රැකියා අතර සමාජ පරතරයක් හෝ රැකියා අතර වැටුප් පරතරයක් නැත.
එබැවින් ෆින්ලන්තයේ අධ්‍යාපන පද්ධතිය තුල දරුවන්ට විභාග නැත. තරග විභාග තුලින් පවතින සීමිත අවස්ථා සදහා දරුවන් තෝරා ගැනීමේ අවශ්‍යතාවයක් ෆින්ලන්තයට නැත. එබැවින් ඔවුන් අඛණ්ඩ තක්සේරු ක්‍රමය සහ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනීම ස්ථාපිත කොට ඇති අතර ද්විතීයික අධ්‍යාපනය අවසන් වන තුරුම දරුවන්ට ජාතික විභාගයක් නොමැත.
ෆින්ලන්තයේ පාසල් ඇත්තේ 3,042 පමණි. ෆින්ලන්තය ආර්ථිකය අතින් ඉතා දියුණු ධණවත් රටකි. එහි ඇති-නැති පරතරය නැතුවා වාගේම ග්‍රාමීය හා නාගරික පාසල් අතර පහසුකම්වල හෝ සම්පත් අතර පරතරයක් නැත. සෑම දරුවෙකුටම අවස්ථා සහ සම්පත් සමානව ලැබේ. එම නිසා දරුවන් කුමන නගරයක හෝ ගමක පාසලක අධ්‍යාපනය ලැබුවත්, ඔවුනට ඇති පහසුකම් එක සමානය.
ෆින්ලන්තයේ සියලුම පාසල් ගුරුවරුන්ට අඩුම වශයෙන් ශ්‍රාස්ථපති හෝ විද්‍යාපති උපාධියක් ඇත. ෆින්ලන්තය පුරාම ගුරුවරුන්ගේ දැනුම් මට්ටම මහ ඉගැන්වීමේ විශමතාවයක් නැත. ගුරුවරුන්හට අඛණ්ඩ අධ්‍යාපන පාඨමාලා ඔස්සේ යාවත්කාළීන දැනුම සහ පුහුණුව ලබාදීමට ශක්තිමත් යාන්ත්‍රණයක් ඇත.
තවද ගුරු වෘත්තිය යනු, වෘත්තියේ වැඩ ධාරිතවට සරිලන වැටුපක් සහිත තෘප්තිමත් වෘත්තියකි. එම නිසා ත්‍යාග පඩුරු පාක්කුඩම් හෝ පගා ගැනීමේ අවශ්‍යතාවයක් ගුරුවරුන්ට නැත. දේශපාලන ඇඟිලි ගැසීම් සහ බලපෑම් නොමැති වීම නිසා අධ්‍යාපන ක්ශේස්ත්‍රය ස්වාධීනය. එබැවින් පාසල් මට්ටමේ සම්මුඛ පරීක්ෂණ සහ ඇගයීම් කෙරෙහි විශ්වාසනීයභාවයක් ඇත. විනිවිද භාවයක් ඇත.
තවද ෆින්ලන්තයේ මෙම වෙනස්කම් සිදුකලේ වසර 20 කටත් වඩා විහිදෙන පරිදි ක්‍රමානුකූලවය. වසරක් තුල තිබුන පද්ධතිය සම්පූරණයෙන් කනපිට හරවා නොවේ.
සමස්ථයක් ලෙස ගත් කල, ෆින්ලන්තයට මෙම අධ්‍යාපනය ගැළපීමට සහ එම ක්‍රමය සාරථක වීමට මූලික හේතු යන්නේ රටේ ආර්ථික හා ඒ තුලින් ඇතිවී ඇති සමාජ දියුණුවයි.

සින්ගප්පූරුවද මීට සමාන අධ්‍යාපන ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක කරන රටකි. එහි ශක්තිමත් විභාග ක්‍රමයක් තවමත් පැවතියද බහු මාර්ග (අධ්‍යයන / තාක්ෂණික / ව්‍යවහාරික) පද්ධතියක් ඔස්සේ දරුවන් තෝරා ගැනීම කරනු ලබයි. ශක්තිමත් රාජ්‍ය ධාරිතාවක් ඇති සිංගප්පූරුවේ ගුරුවරුන් හොඳින් පුහුණු කිරීමට ක්‍රමවේදයක් ඇත. සෑම පාසලකටම යටිතල පහසුකම් සමානය. මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරුව භාවිතා කරන්නේ තද නීති රීති සහ දඩුවම්ය. පැහැදිළි විනිවිදභාවයෙන් යුතු නීති පද්ධතියක් හරහා දූෂිතයන් සහ අපයෝජකයන් හට උපරිම දඩුවම් ලබා දෙයි. එබැවින් පාසල් පද්ධතිය තුල වංචා, දූෂණ හෝ අකර්මන්‍යතාවයන් නැත.
ඉංදියාව, කෙන්යාව හා දකුණු අප්‍රිකාව ෆින්ලන්තයට සමාන අධ්‍යාපන ක්‍රියාවළියක් ක්‍රියාත්මක කිරීමට උත්සහා කොට අසාර්ථක වූ රටවල්ය. ඊට ප්‍රධාණ හේතූන් වී ඇත්තේ සම්පත් සහ පහසුකම් අසමානතාවය, සුදුසුකම් සහිත පුහුණු ගුරුවරුන්ගේ හිගය, පාසල් තුල වංචනික සහ ව්‍යාජ ඇගයීම් සහ ලකුණු දීම් සිදුවීම, සෘජු දේශපාලන මැදිහත්වීම්, රජයන් වලට ප්‍රමාණවත් අධීක්ෂණයන් සදහා අවශ්‍ය ප්‍රතිපාදන නෙමැති වීම සහ දරුවන්ගේ, දෙමාපියන්ගේ සහ සමාජයේ මෙම ක්‍රියාවලිය සදහා විශ්වාසයක් නොමැති වීම තුලින් පාසල් තුල විශාල ගැටලු සහ විරෝධතා ඇති වීම යනාදියයි.
මේ උදාහරණ සහ ලෝකයේ අනෙකුත් රටවල් දෙස බලන කල, විභාග අවම අධ්‍යාපන සංස්කෘතියක් ඇති කිරීමට එම රටවල් ආර්ථිකව ඉතාම ශක්ති සම්පන්නව තිබීම ඉතා වැදගත්ය. දියුණු රටවල කුමන ක්‍රියාපටිපටිය තුල ගියත්, අවසානයේ දරුවාට උසස් අධ්‍යාපනය හෝ කුසලතා සංවර්ධණය තුලින් කැමති වෘත්තියක් කරා දරුවා/පුරවැසියා ගෙන යාමට තරම් හැකියාවක් රජයට ඇති. ඒ වාගේම සෑම වෘත්තියකම නිරත වෙන පුද්ගලයන්ගේ ජීවන තත්වයන් සමානය. පාසල් තුල තරගය අඩු වීමට, වංචාව, දූෂණය නැති වීමට ප්‍රධාණ හේතුව එයයි. තවද එම රටවල නීති පද්ධතිය තුලින් වංචා, දූෂණ හා අපහරණට කරන්නන්හට දැඩි දඩුවම් ලබා දෙයි. ඒ තුලින්ද පසල් තුල මෙම ක්‍රයාවළියට දැඩි නියාමනයක් ලබා දී ඇත. අනෙක් කරුණ නම් පරිණත දේශපාලන සංස්කෘතියයි. මෙවැනි රට වල දේශපාලන මැදිහත් විම් සහ දේශපාලන බලය තුලින් මෙවැනි ක්‍රමවේදයන් අවභාවිතය අවමය.
ලංකාවේ මෙම ප්‍රතිසංස්කරණ වලට අප විරුද්ධ වීම “අධ්‍යාපන ප්‍රගතියට හෝ ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වීමක්” නොව, පද්ධතිය කෙරෙහි විශ්වාසය නොමැතිකම සහ අසාධාරණ සහ දූෂිත ක්‍රමයට විරුද්ධ වීම ලෙස තේරුම් ගත යුතුය.
ඊට ප්‍රධාණතම හේතුව නම්, මෙම නව ක්‍රමය යටතේ දුප්පත් දරුවන්ගේ විශ්ව විද්‍යාල සදහා ඇති එකම අපක්ෂපාතී සාධාරණ දොරටුව වැසී යාමයි.

උසස් පෙළ විභාගය යනු අඩු අදායම්ලාභී පවුල් වල හා, ග්‍රාමීය දරුවන්ට උසස් අධ්‍යාපනයට තිබෙන අවම දූෂණය සහිත සාධාරණ අවස්ථාවයි. නව ක්‍රමවේදය යටතේ පාසලට සහ ගුරුවරුන්ට දරුවන් ඇගයීමේ සම්පූරණ බලය හිමි වෙයි. අවුරුද්ද පුරා දරුවාගේ ක්‍රියාකාරකම් පාසල මගින් සම්මුඛ පරීක්ෂණ, නිබන්දන පැවරුම් ලකුණු ක්‍රම යන දේවල් මගින් ඇගයීමට ලක් කරයි.
මෙම ක්‍රමය සාධාරණ, අපක්ෂපාතී සහ දූෂණයෙන් තොරව ලංකාවේ පාසල් තුල ස්ථාපිත කරන්නේ කෙසේද? අද ලංකාවේ පාසල් තුල පාසලට ළමුන් ඇතුලත් කිරීමේ සිට පන්ති නායකයා, ශිෂ්‍ය නායක පට්ටං, ක්‍රීඩා ඇතුලු සියල්ලේදීම පගා ගැනීම්, සුදුස්සාට සුදුසු තැන නොලැබීම, ගුරුවරුන්ට “සළකන” දෙමාපියන්ගේ දරුවන්ට “වැඩි සැළකිළි” ලැබීම, දේශපාලකයන්ගේ දරුවන්ට සහ දේශපාලකයන්ගේ ගැත්තන්ගේ දරුවන්ට වැඩි අවස්ථා ලැබීම වැනි දේවල් දිනපතා අප පාසල් පද්ධතිය තුල අත් විදියි. මෙවැනි තත්වයක් ඇති ලංකාවේ, විශ්ව විද්‍යාල ප්‍රවේශ ලකුණු දීමේ බහුතර බලය පාසල් සහ ගුරුවරුන් අතට පත් කිරීම දරුවන්ට කෙසේ වෙතත් දූෂිත ගුරුවරුන්ට සහ දේශපාලකයන්ට වසන්තය උදා වීමකි.
අනෙක් කාරණය නම්, ලංකාව යනු අනෙක් දකුණු ආසියාතික කළාපයේ අනෙක් රටවල් වාගේම ග්‍රාමීය–නාගරික පරතරය වැඩි රටකි. නගරයේ පාසල් වල ඇති පහසුකම්, සම්පත්, ගුරුවරු සහ ආකල්ප ග්‍රාමීය පාසල් වලට නැත. පාසල් අතර විශාල ගුරු හා භෞතික සම්පත් විශමතාවයක් පවතී. STEM සහ ICT අධ්‍යාපනය නගර පාසල්වලට වාසිදායකය. නමුත් ග්‍රාමීය පාසල් වලට ඒ සදහා අවශ්‍ය සම්පත් නැත. මෙම පරතරය නිවැරදි නොකර අධ්‍යාපන පද්ධතිය වෙනස් කිරීම තුලින් අසාධාරණයට ලක් වන්නේ ගම් වල දරුවන්ය. පාසල් 10,000 ක පමණ සම්පත් එකම මට්ටමකට ගෙන ඒමට ලංකාවට හැකියාවක් නොමැත. කොළඹ රාජකීය විද්‍යාලයේ හෝ විශාඛා විද්‍යාලයේ ඇති පහසුකම් ඇඹිලිපිටිය කොළොන්න පාසල් වල තියා ඉතා විශාල ඉතිහාසයක් සහ කීර්ති නාමයක් ඇති අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාපයේ වත් නැත. පහේ ශිෂ්‍යත්ව විභාගය තුලින් රටේ සෑම දරුවෙකුටම කොළඹ නුවර හෝ තම දිස්ත්‍රීක්කයේ හොදම පාසලකට ඇතුලත්වීමට තම දක්ෂතාවය හා හැකියාව මත උත්සහා ගැනීමට අවස්ථාව සකසා ඇත. ශිෂ්‍යත්ව විභාගය අහෝසි කලොත් රටේ දරුවන්ට නැති වන්නේ එම අවස්ථාවයි. එය එසේ සිදු වුව හොත් “කොළඹට කිරි, ගමට කැකිරි” යන්නෙහි සැබෑ අරුත ජනතාවට වැටහෙනු ඇත.
තවත් ප්‍රධාණතම කාරණයක් වන්නේ, ලංකාවේ ගුරුවරුන්ගේ ආකල්ප සහ වැඩ කිරීමේ ධාරිතාවයි.

අතීතයේ, ලංකාවේ ගුරු වෘත්තිය ඉතාමත් ගෞරවාන්විත වෘත්තියක්ව තිබිනි. එහෙත් පහු ගිය දශක තුන ඇතුලත දේශපාළණීකරණය තුලින් සහ සමහර ගුරුවරුන්ගේ ක්‍රියාකළාපයන් නිසා ගුරුවරුන් කෙරෙහි කළින් පැවති විශ්වාසය හා ගෞරවය සමාජයෙන් බොහෝ දුරට ගිළිහී ඇත. එසේම ලංකාවේ ගුරුවරුන්ගේ සුදුසුකම්, වැඩ කිරීමේ හැකියාව හා ඔවුන්ගේ ආකල්ප උසස් මට්ටමක නැත. මේ අවස්ථාවේදීත් ලංකාවේ ගුරුවරු ඉන්නේ තම අයිකිවාසිකම් දිනා ගැනීමේ සටනකය. ඔවුන්ගේ වැටුප්, නිවාඩු, මාරුවීම්, තම දරුවා තමන් උගන්නන පාසලටම ඇතුලත් කර ලැනීම පමණක් නොව තමා පාසලට ඇදිය යුතු ඇදුම ගැන පවා ඔවුන්ට ගැටලු ඇත, ඔවුන් තෘප්තිමත් නැත. වසරකට කිහිප වතාවක් ඔවුන් වැඩ වර්ජණ වලය, උද්ඝෝෂණ වලය. ලෙඩ නිවාඩු පිට දේශපාලන රැළි වලය. එහෙව් පරිසරයක, විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි දරුවන්ගේ අනාගතය තීරණය කරන කඩයිමක තීරණය ගැනීමේදී පාසල් ගුරුවරුන් සෑම අවස්ථාවකම සාධාරණ, අදූෂිත සහ අපක්ෂපාතී තීරණ ගනීවි යැයි සපත කල හැකිද?
තවද, අද රාජ්‍ය යාන්ත්‍රණය දෙස බලන කල රජයේ නිළධාරීන්ට උඩින් නිරීක්ෂණයට හා අනුමත කිරීමට පක්ෂ කාඩරයේ පුද්ගලයින් යොදවා ඇතැයි රජයට චෝදනා ඇත. මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය හා YouTube අවකාශයේ පළවන තොරතුරු වලට අනුව, සුදුසුකම් රහිත, පක්ෂයේ දේශපාලන හෙන්චයින්ගේ අණට කීකරු වීමට රාජ්‍ය නිළධාරීන්ට සිදුව ඇත. ගම් සහ දිස්ත්‍රීක්ක මට්ටමේ තරුණ සමිති පිහිටුවීමේදී පමණක් නො, දිට්වා කුණාටුවෙන් විපතට පත්වූවන්ට ආධාර ලබා ගැනීමේ රජය ලබා දුන් පෝරමයට පවා, ගමේ පක්ෂ නියෝජිතයාගේ අත්සන ලබා ගැනීමට සිදුවූ අවස්ථා ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍ය හරහා වාර්ථා විය. මෙවැනි පරිසරයක් තුල, සීමිත සංඛ්‍යාවකට පමණක් නොමිලේ ලබා දිය හැකි විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනය ලබා දීමට දරුවන් තෝරා ගැනීමට දේශපාලනය යොදා නොගනීවියැයි සිතීමට තරම් ජනතාව මෝඩ නොවිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය අතහැර චීනයේ හෝ රුසියාවේ පවතින සමාජවාදය යන වෙස්මුහුන දමාගත් පැසිස්ට්වාදය වැළද ගැනීමට දත කන ප්‍රධාණ පක්ෂයක් සහිත මාලිමා ආණ්ඩුව, තම පිරිස වැඩි කර ගැනීමට සහ ඔවුනට මේ සීමිත අවස්ථා ලබා දීමට බලය යොදා නොගනීවි යැයි විශ්වාස කල හැකිද?

අපේ රට ආර්ථික හා සමාජමය වශයෙන් සමාන වන්නේ ඉංදියාවට, කෙන්යාවට හා දකුණු අප්‍රිකාවට මිස ෆින්ලන්තයට, සිංගප්පූරුවට හෝ කැනඩාවට වැනි රටවලට නොවේ. අපට සමාන රටවල අසාර්ථක වූ අධ්‍යාපන ව්‍යුහයක් ලංකාවේ පාසල් තුලට ගෙන ඒමට මාලිමා ආණ්ඩුව වෙර දරන්නේ ඇයිද යන්න ගැඹුරුව අධ්‍යනය කල යුතුය.
අවාසනාවකට අද රටේ අධ්‍යාපන විද්වතුන් සහ රටේ ජනතාවගේ අවධාණය යොමුව ඇත්තේ හයේ පන්තියේ පෙළ පොතක ඇති අන්තර්ගතයටය. රජය යෝජණා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල විශය මාලා සංස්කරණය යනු එක අංගයක් පමණි. විශය මාලා සංස්කරණයද ඔවුන් වරද්දාගෙන ඇත. අධ්‍යාපන විශය මාලා වෙනස් කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය නම්, පළමු වසරේ සිට දහතුන වසර දක්වාම, එනම් ආරම්භයේ සිට අවසානය දක්වාම විශය මාලාව සකස් කල යුතුය. පන්තියෙන් පන්තියට, විශයෙන් විශයට ක්‍රමාණුකූලව දරුවාගේ වැඩීමත් සමග උගන්වන විශයන්ගේ අන්තර්ගතය පැහැදිළි කර ගත යුතුය. සැළසුම් කර ගත යුතුය. අප දන්නා පරිදි ඊළග වාරය සදහා වත් නව විශය මාලා පෙලපොත් තවම නිමවා නැත.
පාසල් සදහා අවශ්‍ය සම්පත් ලබා සී නැත. ගුරුවරුන් අවශ්‍ය පරිදි පුහුණු කොට නැත. ගුරු අත්පොත් පවා තවම ලබා දී නැත. එක රැයින් හතු පිපෙන්නා සේ කරන්නන් වාලේ කරන්නට දැගලූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් වී ඇති එකම දේ නම් සමාජ කැළඹීමක් පමණි. සමාජ ව්‍යාකූලතාවයක් පමණි.
ලෝකයේ අපගේ කළාපයේ රටවල් සමග සසදන කල, ලංකාවේ පාසල් අධ්‍යාපනය ඉතා ඉහළ මට්ටමක පවතී. ලංකාවේ පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූවන් ලෝකය පුරා උසස් සාර්ථක රැකියා වල නිරත වේ. දැනට පවතින උසස් අධ්‍යාපනය සදහා දරුවන් තෝරා ගන්නා යාන්ත්‍රණය සාධාරණය. පාරදීෂ්‍යය. අවභාවිතා කිරීමට ඇති හැකියාව අවමය.

එසේ නම් පාසල් තුල ඇති තරගය, තරග විභාග වල ඇති තරගකාරිතිවය නැති කොට දරුවන්ට නිදහසේ ඉගෙනීමට මං පාදන්නේ කෙසේද? උත්තරය ඉතා සරළය. කල යුත්තේ උසස් අධ්‍යාපනයට සහ වෘත්තීය අධ්‍යාපනයට ඇති ඉඩ අවස්ථා වැඩි කිරීමය. රජයේ විශ්ව විද්‍යාල වලට බදවා ගන්නා ප්‍රමාණය වැඩි කිරීමය. ප්‍රමිතියකින් යුතු රජයේ අධීක්ෂණය යටතේ පාලනය වන පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට ඉඩ සලසා දීමය. විශ්ව විද්‍යාල වලට ඇතුල් වන සිසුන් සදහා ශිෂ්‍ය ණය ක්‍රම හදුන්වා දීමය. මීට අමතරව විශ්ව විද්‍යාල මාර්ග සහිත තාක්ෂණික සහ වෘත්තීය විෂය ධාරාවන් ඇති කිරීම කල යුතුය. විශ්ව විද්‍යාල තුල නව ලෝකයට, රැකියා වෙළදපොළට ගැළපෙන පරිදි නව පාඨමාලා ඇති කිරීමය. සැමට නිදහසේ ඉගෙනීමේ අයිතිය ලැබෙන්නේ එවිටයි. නොමිලේ හෝ මුදල් ගෙවා ඉගෙන ගැනීමට සැමට අයිතියක් ඇත. සැමට නිදහසේ ඉගෙන ගැනීමට ඇති අයිතිය ස්ථාපිත කිරීම සැබෑ නිදහස් අධ්‍යාපනය ලබා දීමයි.
එලෙස සෑම දරුවෙකුටම කුමන හෝ මාර්ගයකින් උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනයට ලෙහෙසි පහසු මාවතක් සකසා දෙන්නේ නම්, පාසල් තුල තරගයක් ඇති වන්නේ නැත.
අද මුදල් යහමින් ඇති පවුල් වල දරුවන් පිට රටවල් වලට ගොස් පෞද්ගලික අධ්‍යාපනය ලබන අතර, මුදල් නැති පවුල් වල දරුවන්ට ඒ නිදහස නැත. ඔවුන්ට ඇති එකම මාර්ගය අද පවතින ජාතික විභාග ක්‍රමයයි. මාලිමා ආණ්ඩුව පහර ගහන්නේ ඒ දරුවන්ටය, ඒ දරුවන්ගේ අනාගතයටයය.

අද ශ්‍රී ලංකාවේ ඇති තත්වයට අනුව ෆින්ලන්තයේ හෝ සිංගප්පූරුවේ අධ්‍යාපන ක්‍රමය මෙරටේ ස්ථාපිත කල නොහැක. පවතින ක්‍රමය වෙනස් කිරීමට පෙර මාලිමා රජය සෑම දරුවෙකුටම/පුරවැසියෙකුටම සමාන අවස්ථාවන් ලබා දීමට හැකියාවක් ඇති ආර්ථිකයක් ඇති කර ගත යුතුය. අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම පිළිබදව විනිවිදභාවයෙන් යුතු කතිකාවතක් සමාජයේ ඇති විය යුතුය. විෂය මාලා සංස්කරණය පෞද්ගලික අවශ්‍යතාවයන්ට හෝ ඇජෙන්ඩා වලට අනුව නොව රටේ හර පද්ධතියට හා රටේ අනාගතයට ගැළපෙන පරිදි විය යුතුය.
අධ්‍යාපනය විභාගයෙන් එහාට යා යුතුමය, එහෙත් දිගුකාළීණ දැක්මක් නැති, රටට නොගැළපෙන කරන්නන්වාලේ කරන අදූරදර්ශී අත්තනෝමතික ක්‍රියාවන් තුළින් මේ තාක් රැකගෙන ආ ලංකාවේ අධ්‍යාපනය කඩා වැටීම නෙවැළක්විය හැක. මාලිමා රජය ක්‍රියාත්මක කිරීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අප රටේ ඇති තරගකාරිත්වයට හෝ උසස් අධ්‍යාපන අවශ්‍යතා ගැටලු වලට විසදුමක් නොවේ. එය ඇත්තෙන්ම පය බරවායට පිටකර බෙහෙත් බදිනවා වාගේය. එය උගතුන්ගෙන් පිරි මාලිමා රජය නොදන්නවායැයි කිව නොහැක. එසේ නම් මෙම ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ තම පක්ෂයේ දිගු කාළීණ දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට තම බලය පාසල් පද්ධතිය තුලට ඇතුලු කිරීමට යැයි ඇති වන සැකය සාධාරණය.
(සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජේෂ්ඨ කළමණාකාරිනී
මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය
rasikuma@yahoo.com
(උපුටා ගැනීම - ඉරිදා මව්බිම )




