ශ්‍රී ලාංකික තාක්ෂණික ප්‍රජාව තාක්‍ෂණික භාවිතයේ ඉදිරියෙන් ම සිටීම ගැන සැමවිට ම තමන් ගැන ආඩම්බර වී ඇත. ජංගම දුරකථන භාවිතය අප මුලින් ම කළේද යන්න හෝ වෙනත් දේ ගැන බොහෝ කතා මම අසා ඇත්තෙමි. එබැවින්, ශ්‍රී ලංකාව දත්ත මධ්‍යස්ථාන කේන්ද්‍රයක් (Data Center Hub) බවට පත් කිරීමේ ජනාධිපතිවරයාගේ අයවැය යෝජනාව තාක්ෂණික ක්ෂේත්‍රයේ අයවලුන්ගේ ප්‍රසාදයට ලක් වී ඇති බව සිතිය හැකිය.
නමුත් මෙයට කර ගහන්නට වන්නේ බදු ගෙවන්නාටය. වියදම 2026 දී රුපියල් මිලියන 500 (ඇමරිකානු ඩොලර් මිලියන 1.6) ක් වනු අතර, ඉදිරි වසරවල දී තවත් වැඩි වීමට ඉඩ ඇත. මෙම යෝජනාව හොඳින් සිතා බලා සකස් කර තිබේද? එය කළ හැකිද? රුපියල් මිලියන 500 ට වැඩි විය හැකි මුදලින් ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

අතීත තාක්ෂණික වරද්දාගැනීම්
මහා තාක්ෂණික පිමි සඳහා වූ පෙර රජයන් විසින් කර ලද යෝජනා සම්බන්ධයෙන් ඉහත ප්‍රශ්නවලට පිළිතුරු නොලැබුණි. ශ්‍රී ලාංකික චන්ද්‍රිකාව (චිචිසැට්) සම්බන්ධයෙන්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුල් හවුල්කරු වූ සරේ සැටලයිට් ටෙක්නොලොජි ලිමිටඩ් හි නියෝජිතයෙකුට මම ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළෙමි. පිළිතුරු ගැන සෑහීමකට පත් නොවූ හෙයින් මම ඒ ගැටළු ප්‍රසිද්ධියට පත් කළෙමි. අවසානයේ දී, එම සමාගම චීන ජාතික සමාගමක් මගින් විස්ථාපනය කරනු ලැබීය. හොඳ දෙය නම් මහජන අරමුදල් කිසිවක් වියදම් කර නොමැති බව පෙනී යාමයි.

මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ පිටරට ගමනකදී එවැන්නක් දැක තිබීම හේතුවෙන් ගොඩ නගන ලද රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණ ඉදිකිරීමේ දී ක්‍රියාවලිය ඊටත් වඩා පාරදෘශ්‍ය බවෙන් අඩු විය. අවසානයේ සම්ප්‍රේෂණය සඳහා ඉඩක් නෙළුම් කුළුණෙහි නොතිබුණ නමුත් එය චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගත්, රජය විසින් සහතික කරන ලද 2026 ජූලි වන විට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 88.6 ක ණයක් ඇතුළුව මහජන මුදල් විශාල ප්‍රමාණයක් කා දැමීය. වත්මන් මෙහෙයුම් වලින් ලැබෙන ආදායම ණය ගෙවීමට ප්‍රමාණවත් නොවේ.
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් ඉහත විස්තර කළ ආකාරයේ නිරර්තක වියදම් වැළැක්වීමට උත්සාහ කරයි. දත්ත මධ්‍යස්ථාන වැනි රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති සඳහා දැන් අනිවාර්ය කර ඇති සමාලෝචනවලට වර්තමාන සාකච්ඡාව ප්‍රයෝජනවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දත්ත මධ්‍යස්ථාන වලට හේතුකාරක සාධක
ශ්‍රී ලංකාවේ දැනට Tier III දත්ත මධ්‍යස්ථාන හයක් ඇත. ඒවා සාපේක්ෂව කුඩා වන අතර දේශීය වෙළඳපොළට සේවය සපයයි. Tier III දත්ත මධ්‍යස්ථාන සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කළ යුතුය. වසරකට පැය 1.6 ක අක්‍රීය කාලයක් සඳහා පමණක් අවසර දෙනු ලැබේ.
Tier IV දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් තත්ත්වය වන්නේ වසර දෙකකින් විදුලිබල ප්‍රතිසංස්කරණ අවසන් වන තුරු සහ විදුලි බලය සහ සිසිලන පද්ධති එකිනෙකින් වෙන් කරන තුරු ශ්‍රී ලංකාවට ඒවා ඇතිකළ නොහැකි බවයි. මෙම මධ්‍යස්ථානවල සියලු ම සංරචක අනුපිටපත් කර තබයි. ඒවාට සම්පූර්ණයෙන් ම දෝෂවලට ඔරොත්තු දිය හැකි විය යුතු අතර, අපේක්ෂිත ක්‍රියාකාරී කාලය 99.995% (වාර්ෂිකව උපරිම අක්‍රීය කාලය මිනිත්තු 26.3) විය යුතුය.
අඩු බලශක්ති ගාස්තු සහ පුනර්ජනනීය බලශක්තියේ ඉහළ ප්‍රතිශතයක් සහිත වියට්නාමය, දත්ත මධ්‍යස්ථාන කේන්ද්‍රයක් නිර්මාණය කිරීමට (දේශීය ඉල්ලුමට සේවය සැපයීමට පමණක් නොව, බාහිර ආයතන සඳහා දත්ත මධ්‍යස්ථාන සේවා සැපයීමට සහ එමඟින් අපනයන ආදායම් උපයා ගැනීමට) උත්සාහයක් දරමින් සිටියි. එහි ප්‍රගතිය මෙහි කළ යුතු දේ පිළිබඳව ආලෝකයක් ලබා දෙනු ඇත.
වියට්නාමයේ ක්‍රියාකාරී දත්ත මධ්‍යස්ථාන 34ක් ඇත. එරට සියයට සියයක විදේශ හිමිකරීත්වයකට ඉඩ ලබාදෙයි. දත්ත මධ්‍යස්ථානවලට පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයින්ගෙන් සෘජුව ම විදුලිය මිල දී ගත හැකිය. වියට්නාමයේ, සාමාන්‍ය ඉදිකිරීම් පිරිවැය මෙගාවොට් එකකට ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක් (2026 ශ්‍රී ලංකා අයවැය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගන්න) වන අතර එය තායිලන්තය, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි කලාපයේ අනෙකුත් බොහෝ රටවලට වඩා ලාභදායී වේ.

2027 වන විට ක්‍රියාත්මක වීමට ඉඩ ඇති දත්ත මධ්‍යස්ථානයක් සඳහා ගූගල් සමාගම ඩොලර් මිලියන 300-650 අතර මුදලක් ආයෝජනය කරනු ඇත. ඇමසන්, අලිබබා සහ මයික්‍රොසොෆ්ට් වැනි සමාගම් උනන්දුවක් දක්වා ඇත. දැනට වියට්නාමයේ මුහුද යට කේබල් පහක් ඇති අතර, තවත් දහයක් 2030 වන විට සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත.
සම්පූර්ණයෙන්ම රාජ්‍ය අරමුදල් සහිතව සැලසුම් කර ඇති Tier IV දත්ත මධ්‍යස්ථානය අග්නිදිග ආසියාවේ විශාලතම මධ්‍යස්ථානය වනු ඇත. එය හෙක්ටයාර 20 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක පැතිරී තිබෙනු ඇති අතර සර්වර් රාක්ක 1,300 ක ධාරිතාවයකින් යුක්ත වෙයි. සම්පූර්ණ පිරිවැය දැනගන්නට නැත..
2025 දී වියට්නාමය ජාතික දත්ත සංවර්ධන අරමුදල පිහිටුවන ලද අතර එය අයවැයෙන් පරිබාහිරවූ රාජ්‍ය මූල්‍ය අරමුදලක් ලෙස ක්‍රියාත්මක වන අතර එහි මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 38.4 කි. මෙමගින් ඩිජිටල් යටිතල පහසුකම්, ජාතික දත්ත පද්ධති සහ රජය ආයෝජනය කිරීමට සැලසුම් කරන අනාගත දත්ත මධ්‍යස්ථාන සඳහා මූල්‍යකරණය කිරීමට අපේක්ෂා කෙරෙයි.
වියට්නාමය ආකර්ෂණය කර ගත යුතු ආයෝජන පරිමාණය නිරූපණය කරයි. පැහැදිලිව ම, ණය රැස්කිරීමේ හැකියාව සීමිත රජයකට වියට්නාමය වැනි දත්ත මධ්‍යස්ථාන ගොඩනගා ගත නොහැකිය. නමුත් එය එක ම සාධකය නොවේ. ශ්‍රී ලංකාවේ ඕනෑ ම ආයෝජනයක දී අනෙකුත් දකුණු ආසියානු රටවලින් එල්ල වන තරඟකාරිත්වය සැලකිල්ලට ගත යුතුය. එමෙන් ම සංසන්දනාත්මක යෙදවුම් පිරිවැය සහ අපේක්ෂිත ස්ථානවල යෙදවුම් ලබා ගැනීමේ හැකියාව දෙස බලන්න. මෙම වගුව මගින් දර්ශකයක් සපයයි.
රජයක් තම භූමිය තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම ප්‍රවර්ධනය කරන්නේද නැතහොත් පහසුකම් සපයන්නේද යන්න පිළිබඳ තීරණ ගැනීමේ දී ඉඩම්, විදුලිය සහ ජලය යන ප්‍රධාන යෙදවුම්වල ලබා ගැනීමේ හැකියාව සහ ආවස්ථික පිරිවැය සලකා බැලිය යුතුය. දත්ත මධ්‍යස්ථානයකට ජලය ලීටර් මිලියන දෙකක් භාවිතය වනුයේ නම්, ඉන් ගම්‍ය වන්නේ වෙනත් යෙදුමකට ලීටර් මිලියන 2 ක් අඩු වන බවයි.
දත්ත මධ්‍යස්ථාන වලින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද? ඒවා විශාල රැකියා ප්‍රමාණයක් ජනනය නොකරයි. බංග්ලාදේශයේ Tier IV දත්ත මධ්‍යස්ථානය නිර්මාණය කළේ රැකියා 69ක් පමණකි. ඒවායින් බදු ආදායම් ලැබිය හැකිද? මෙම ආර්ථික සාධක ඉක්මවා ගොස් ඇතැම් ආණ්ඩු ආර්ථික නොවන සාධක මගින් පෙළඹීමට ලක්වෙයි. 2026 රාජ්‍ය අයවැයේ දී මැලේසියානු අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ ස්වෛරී කෘතීම බුද්ධි කල්වුඩ් සේවාවක් (AI cloud) ගොඩනැගීම සඳහා රජය එරට මුදලින් RM බිලියන 2 ක් වෙන් කරන බවයි. සියලු ම රාජ්‍යයන් ස්වෛරී ක්ලවුඩ් පහසුකම් සඳහා ප්‍රමුඛත්වය දෙන්නේ නම්, වියට්නාමය වැනි බාහිරට අවධානය යොමු වූ කේන්ද්‍ර සඳහා ව්‍යාපාර අවස්ථා පවතීද?

ඉන්දියානු රජය විසින් පිරිනමනු ලබන අවුරුදු 21 තරම් බදු සහන කාලයක් සඳහා පිරිවැය-ප්‍රතිලාභ තක්සේරුව මගින් පැහැදිලි සහායක් ලැබෙන්නේ නැත. නමුත් ඇත්ත වශයෙන් ම, සෑම රජයක් ම දත්ත මධ්‍යස්ථානවලින් තමන්ට අවශ්‍ය දේ තේරුම් ගත යුතු අතර පිරිවැය සහ ප්‍රතිලාභ තක්සේරු කර සුදුසු නිගමනවලට එළඹිය යුතුය. ඉන්දියාව වැනි විශාල ආර්ථිකයකට ලැබෙන පිළිතුර ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයකට සමාන නොවනු ඇත.
අද පවතින විශාල භාෂා ආකෘති සඳහා අවශ්‍ය වත්මන් සිලිකන් පාදක නිර්මාණ ශිල්පයට සහාය වීම සඳහා දත්ත මධ්‍යස්ථාන සඳහා උද්යෝගයක් අද තිබුණත්, අනාගතයේ දී ඒවා යල් පැන යාමේ හැකියාව ද සැලකිල්ලට ගත යුතුය. සමහර විට ක්වොන්ටම් හෝ ජීව විද්‍යාත්මක පරිගණකකරණය කෘතීම බුද්ධි සංවර්ධනයේ ඊළඟ අදියර මෙහෙයවනු ඇති අතර අද ඉදිකරමින් පවතින විශාල දත්ත මධ්‍යස්ථාන අතරමං වනු ඇත.
(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
rohan@lirneasia.net
Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva
https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology




